19 සම්මත කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවනු! කුමුදු කුසුම් කුමාර

යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නොහැකි නම් වහා පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයකට යා යුතුය. වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් 21 වැනිදා වමේ කේන්ද්‍රයේ ඇරයුමින් මරදානේ සාමයික කේන්ද්‍රයට රැස් වූ බහු ජන සංවිධාන 30ක පමණ නියෝජිතයන් හැටක් පමණ සාකච්ඡා කොට ගත් ඒකමතික ප්‍රධාන තීරණය වූයේ එයයි. හදිසියේ කැඳවූ මෙම රැස්වීමට පැමිණි සංවිධාන අයත් වූයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණය උදෙසා කැප වෙමින් ඔහු සමග ගිවිසුමක් අත්සන් කළ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන සමූහය අතර ප්‍රමුඛතාවක් ලබා ගත් ඒවාටය. මේ අතර විවිධ බහුජන සංවිධාන – වෘත්තීය සමිති, ගොවි සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, විද්වත් සංවිධාන, කලාකරුවෝ යනාදීන් – නියෝජනය වීය.

එහිදී සාකච්ඡා කෙරුණු දෙවැනි ප්‍රධාන කරුණ වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට දිගින් දිගටම බාධා කිරීම පිටුපස ඇත්තේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ බවයි. ඔහු විසින් මෙහෙයවෙන බලවේග උත්සාහ ගනිමින් සිටින්නේ රාජපක්ෂ රෙජීමයේ දූෂිතයන් සහ අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට වත්මන් රජය ගන්නා උත්සාහය වළක්වා ඔවුන් රැක ගැනීම සඳහා මේ මගින් බලපෑම් කොට රජය සමග ගණුදෙනුවකට ප්‍රවිෂ්ඨ වීම බවයි. මෙයට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් වත්මන් රජය රාජපක්ෂ කඳවුර සමග කිසිම ගණුදෙනුවකට නොඑළඹිය යුතු බවත් ඔවුනට එරෙහි නීතිමය කටයුතු දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට රජයට බලකර සිටිය යුතු බවත් මෙහිදී තීරණය කරන ලදී.

ඒ වන විටත් එදිනම සවස හයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග වත්මන් දේශපාලන තත්ත්වය පිලිබඳ සාකච්ඡාවකට ඇරයුමක් බහුජන සංවිධාන නියෝජිත පිරිසකට ලැබී තිබුණි. සාමයික කේන්ද්‍රයේ රැස්වීමට සහභාගී වූ සංවිධාන නියෝජිතයන් සමහරෙකුට ද ජනාධිපති සමග සාකච්ඡාවට ඇරයුම් ලැබී තිබුණු හෙයින් ඉහත සම්මත කරගත් කරුණු ඔවුන් විසින් ජනාධිපති වෙත ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟ වුණි.

එකඟ වූ පරිදි මෙම අදහස් ජනාධිපති වෙත ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගන්නා ලදී. ජනාධිපති සමග පැවැත්වුණු සාකච්ඡාව ඇරඹුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම දිගින් දිගටම ප්‍රමාද විම පිළිබඳ පවත්නා තත්වය පැහැදිලි කරන මෙන් සමාජ සාධාරණය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපතිවරයාගෙන් කෙරුණු ඉල්ලීමකිනි.

ජනාධිපතිවරයා තම අදහස් දැක්වීමේදී මූලික වශයෙන් අවධාරණය කළේ විධායක ජනාධිපතික්‍රමය වෙනස් කිරීමට තමන් තුළ ඇති කැපවීම සහ උත්සාහයයි. මෙය වැළැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ බලවත් උත්සාහයක යෙදෙන බවද මෙහිදී අවධාරණය කෙරුණි. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ සහයෝගය තමාට ලබා ගැනීමට හැකි යැයි තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය. අවම වශයෙන් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බල ගැන්වීමට රජයට නොහැකිවුවහොත් එය පදනම් කරගෙන මහ මැතිවරණයකට යා හැකි බව ජනාධිපතිවරයා ගේ අදහස වීය. තමන් වෙනස් කිරීමට පොරොන්දු වී බලයට පැමිණි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල පාවිච්චි නොකිරීමට තමා තීරණය කර ඇති බවත් මෙය තමා දුර්වල නායකයෙකු ලෙස හැඳින්වීමට ඇතැමුන් යොදා ගන්නා බවත් තමා විශ්වාස කරනුයේ යහ පාලනය පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉහත පසුබිමෙහි අප විසින් අවධානයට ගත යුතු කරුණු කිහිපයක් මෙහිදී මතු කරන්නට කැමැත්තෙමි.

මේ වනවිට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂඨාධිකරණ තීන්දුවට අනුව සම්මත කරගැනීමේ ප්‍රධාන බාධාව එල්ල වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමෙනි. ඔවුහු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව එයට කොන්දේසියක් ලෙස ගැට ගසා 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම කල් දමමින් සිටිති. මැතිවරණ ක්‍රමය වහා වෙනස් කිරීමට සුළු දේශපාලන පක්ෂ සියල්ලම පාහේ තදින් විරුද්ධය. ශ්‍රීලනිප කණ්ඩායම කියන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් නොකොට 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය හෙයින් එජාපයේ සිතැඟි ඉටු කර ගන්නට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. මෙය වැදගත් ජාතික අවශ්‍යතාවක් තම පටු දේශපාලන එදිරිවාදිකම් වෙනුවෙන් බිල්ලට දීමකි.

ශ්‍රීලනිප කණ්ඩායමේ මෙම හැසිරීමේ අවසාන ප්‍රථිඵලය 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම දිගින් දිගටම කල් යාමයි. ඔවුන් ගේ සැබෑ අරමුණ 19 වැනි සංශෝධනය සම්මත වීම වැළැක්වීම යැයි සාධාරණ සැකය මතුවන්නේ මේ නිසාය.

තමා නායකත්වය දරන පක්ෂයේ කැමැත්ත අනුව කටයුතු කිරීම වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිතයි. ශ්‍රීලනිපයත් එජාපයත් එකට තබා ගෙන ජාතික ආණ්ඩුවක් සැදීම අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය යළි නංවා ලීමට ඉවහල් වන්නේ යැයි ඔහු සිතයි. එහෙත් ඒ වෙනුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැප කෙරෙන තැනට ජනපති මෛත්‍රී තල්ලු වී ගිය හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විසින් එහි නායකයා මෙහෙයවෙන තත්වයක් උදාවනු ඇත. එබඳු පිළිවෙතක් දේශපාලන පක්ෂයක් මෙහෙයවීම සඳහා සාර්ථක වේද? යන්න යළිත් සිතා බැලිය යුතුය.

මෙහිදී අප ඇසිය යුතු වැදගත් ප්‍රශ්නය ජනාධිපති මෛත්‍රීට මෙම ශ්‍රීලනිප කණ්ඩායමේ නායකයන් හෝ සාමාජිකයන් විශ්වාස කළ හැකිද? යන්නයි. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා සමග මහින්ද රාජපක්ෂ රෙජිමයේ ආණ්ඩුවෙන් එළියට බැසීමට පොරොන්දු වී සිට ජනාධිපතිවරණය තෙක්ම ඔහු සමග එක් නොවූ කිසිවෙකු කෙරෙහි අපට විශ්වාසය තැබිය හැකිද? ( පොදු අපේක්ෂකයා සමග එළියට ආ සියලු දෙන කෙරෙහි අපට විශ්වාසය තැබිය හැකිය යන විලෝමයද මෙයින් අදහස් නොවන බවද මෙහිලා කිව යුතුය. එය වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි.)

මේ පිරිස මේ රඟ දක්වමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම යළි බලයට ගෙන ඒමේ දේශපාලන රංගනයේම කොටසක් නොවේ යැයි අපට කිසිම සහතිකයක් තිබේද? උදාහරණයක් වශයෙන් මේ සියලු දෙන එකතු වී 19 වැනි සංශෝධනය කල් දමමින් සිටින අතර තුර අවසානයේදී ජනාධිපති මෛත්‍රී ට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කොට ඉදිරිපත් කරන්නට මොවුන් සියලු දෙන හවුල් නොවෙතැයි අපට විශ්වාසයක් තිබේද? එක්සත් ජනතා නිදහස් සංධානයේ කොටස් වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෝෂාභියෝගයක් සම්මත කිරීම සඳහා තුඩුදෙන බවට ඉදිරිපත් කරන තර්ක ඔවුන් ගේ මාධ්‍ය තුළ දැකිය හැකිය.

එලෙස දෝෂාභියෝගයක් අත්සන් කර ඉදිරිපත් කළ විට කථානායකවරයා විසින් එය භාර ගත හොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමේ අවස්ථාව කල් යයි. ඒ අතරතුර පාර්ලිමේන්තු වරප්‍රසාද අපචාරයේ යොදමින් මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය ජන මානසිකත්වය සහ වටාපිටාව සම්පාදනය කිරීමේ කටයුත්තේ සිත් සේ යෙදෙන්නට රාජපක්ෂ පිළට හැකි වනු ඇති. රජයේ මාධ්‍යද ඇතුළු අද වන විට ඉහලින්ම ස්වාධීන ව සිටින සියළු මාධ්‍ය රාජපක්ෂ පිළ විසින් මේ සඳහා ඉතා සාර්ථකව යොදා ගනු ඇත.

අප විසින් වටහාගත යුතු කරුණක් නම් ජනපති මෛත්‍රී ගේ රජය පෙරළා දැමීම අවශ්‍ය කෙරෙන, මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් පෝෂණය කළ නව නන්නත්තාර ධනපති පංතියක් අප සමාජයේ බිහිව ඇති බවයි. මෙම පංතිය විසින් එක් රැස් කර ගත් අති මහත් ධනස්කන්ධයක් ඔවුන් සතුව තිබේ. මෙම පංතියේ සංයුතිය අග නගරයේ සිට ග්‍රාමීය මට්ටම දක්වා පැතිර ගොස් තිබේ. ඔවුන්ට සේවය කිරීම සඳහා රාජපක්ෂ රෙජීමය විසින් මනස සකස් කළ නිලධාරි තන්ත්‍රයද, රාජ්‍ය තන්ත්‍රයද, ජාතිකත්ව මානසිකත්වයෙන් පෙළෙන බහුජන පදනමද සමග එක්වූ කළ මෙම මුල් සිඳුණු නන්නත්තාර ධනපති පංතිය ශක්තිමත් එකකි. ඔවුන් ලෙහෙසියෙන් තම බලය අතහැර වේදිකාවෙන් බැස යනු ඇතැයි අපට සිතිය නොහැකිය. (මෙම නිලධාරි තන්ත්‍රය සහ රාජ්‍ය තන්ත්‍රය යහපාලනය උගන්වා යහ මගට ගත හැකි නොහැකිය. එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ දේශපාලනයෙනි. )

මෙම පංතිය පරාජය කිරීමට වත්මන් රජය විශ්වාසය තැබිය යුත්තේ තමන්ට ඡන්දය දුන් ලක්ෂ හැට තුනකට ආසන්න ජනතාව කෙරෙහි ය. එම ජනතාව යළි දේශපාලනයට කැඳවනු වස්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම තව දුරටත් පමා කෙරෙන්නේ නම් රජය පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරිය යුතුය. 17 වැනි සංශෝධනය යළි බළ ගැන්වීම 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට අවම විකල්පය ලෙස අප භාර නොගත යුතුය. එය මුල් කරගෙන මහ මැතිවරණයකට සාර්ථකව මුහුණ දිය නොහැකිය. අප මහ මැතිවරණයකට යා යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම යළිත් ප්‍රධාන සටන් පාඨය කර ගනිමිනි.

අප අමතක නොකළ යුතු වැදගත් කරුණ නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සියලු විරෝධතා ප්‍රධාන කොටම පැණ නගින්නේ ජාතිවාදී පදනමකිනි යන්නයි, රට බෙදීම පිළිබඳ අනිසි බියක් යළිත් ජනතාව අතර ඇති කිරීම අරමුණු කොට බවයි. 2020 දී තම ජනාධිපති පදවි ප්‍රාප්තිය පිළිබඳ සිහින දකින ෆැසිස්ට්වාදී ජාතිවාදී නායකයන් පරාජය කිරීමේ මාවත වැටී ඇත්තේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම ප්‍රධාන සටන් පාඨය කර ගනිමින් වහා මහ මැතිවරණයකට යාම තුළිනි.

Advertisements