විමල් රුද්‍රිගු සමුගනියි…! – එස්.යාපා

ඇන්.ඇම්., කොල්වින්, බර්නාඩ් සොයිසා වැනි අභීත වාමාංශික දේශපාලන නායකයන්ගෙන් ගුරුහරුකම් ලැබ, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන දර්ශනයෙන් මනා ලෙස පන්නරය ලද විමල් රුද්‍රිගු නම් නිර්ව්‍යාජ දේශපාලන මිනිසා අද අපෙන් සදහට ම සමුගෙන ඇත. පුරා දශක හතරක් තිස්සේ නිවැරැදි දේශපාලන භාවිතාවක් නියෝජනය කළ ඔහු, සමාජවාදී දේශපාලනය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සක‍්‍රීය දේශපාලනඥයෙකි. ඔහු කිසි විටෙකත් හුදු වරප‍්‍රසාද/වරදාන වෙනුවෙන් තම දේශපාලන දෘෂ්ටිය හෝ කි‍්‍රයාකාරී දේශපාලන ගමන හෝ නිද්‍රාශීලිත්වයට පත් කර නොගත්තෙකි.

මිය යන තුරු ම විමල් තම දේශපාලන සටන අත්හළේ නැත. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ද ඔහු කතා කළේ රටේ පවතින දේශපාලනය ගැන ය. ජනතා පරමාධිපත්‍ය හා අයිතීන් සුරක්‍ෂිත කිරීමෙහිලා ව්‍යවස්ථාදායකය මේ මොහොතේදී කළ යුත්තේ කුමක්දැයි විමල් කතා කළේ ය. පුරා දශක තුනක් තිස්සේ අඛණ්ඩව ම තමන් ද දායක වූ එක් අරගලයක කොටසක් සාර්ථකව ජයග‍්‍රහණය කරමින් පවතින බව දැඩි සත්කාර ඒකකයේ ඇඳක සිටි ඔහු දැන සිටියේ ය. තම අසාධ්‍ය රෝගී තත්ත්වය ද නො සලකා ඔහු තම ආදරණීය බිරිඳ සමඟ ඒ පිළිබඳ කතා කරන්නට විණි. තම දේශපාලන ජීවිතයෙන් දශක තුනක් ම ඔහු කැප කළේ ද එම අරගලය වෙනුවෙනි. ඒ, 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කෙරුණු ‘විධායක ජනාධිපති ක‍්‍රමය’ අහෝසි කිරීම සඳහා ය.

‘එදා ඇන්.ඇම්.-කොල්වින් සහෝදරවරුන් තමයි මුල ඉඳලම මේ ක‍්‍රමය වෙනස් කරන්න ඕන කියලා පැහැදිලිව ම පෙන්වලා දුන්නේ; අරගල කළේ. ඒත් සමහරුන්ට ඒවා අමතකයි. 19 වැනි සංශෝධනයෙන් ඒ දේ යම් පමණකට හෝ සිද්ධ වේවි. කොහොමහරි 19 සංශෝධනය කරගත්තොත් ඇන්.ඇම්. සහෝදරයාගේ පිළිරුවට මල් ටිකක් තියලා මේ අරගලය වෙනුවෙන් එදා ඉඳලා කැප වූ සියලූ දෙනා වෙනුවෙන් ම උපහාරයක් තියන්න..!’

විමල්ගේ අවසන් දේශපාලන වදන් එය විය. ඇන්.ඇම්.,කොල්වින්,බර්නාඩ්,බැටී යන සහෝදරුන්ගෙන් පසුව පත් වූ තම පක්‍ෂයේ ‘නිල නායකත්වය’ මෑත කාලයේදී ඉතා ම නිර්ලජ්ජිතව ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ සන්ධානගතව විධායක ජනාධිපති ක‍්‍රමය ආරක්‍ෂා කිරීම සඳහා කඳවුරු ගසද්දී විමල් ඊට විරුද්ධව දැඩිව කතා කරන්නට විණි. පක්‍ෂයේ බහුතර ප‍්‍රගතිශීලීන් සමඟ එකතු වී එදා ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයන් දිවි හිමියෙන් කැප වූ දේශපාලන අරගල පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් අමු අමුවේ ඝාතනය කරන්නට එපා යැයි මෑත කාලයේ පක්‍ෂයේ ‘නිල නායකත්වය’ නියෝජනය කළ තිස්ස විතාරණලාට දැඩිව කියා සිටියේ ය.

පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය විනා වෙනත් දේශපාලන පක්‍ෂයක ‘පුද්ගලයකුගේ චරිතයක්’ මත කේන්ද්‍ර ගත වී හුදු පෞද්ගලික වරප‍්‍රසාද වෙනුවෙන් තම දේශපාලන දෘෂ්ටිය කෙළසා ගත යුතු නැති බව ල.ස.ස.ප. දේශපාලන ඉතිහාසයෙන් විමල්ලා ඉගෙන ගෙන තිබිණි. ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නිවැරැදි දේශපාලන භාවිතාවක් අනුගමනය කිරීමට ඇන්.ඇම්.,කොල්වින්,ලෙස්ලි,බර්නාඞ් වැනි අතීත ල.ස.ස.ප. දේශපාලන නායකයන්ගෙන් විමල්ලා නිසියාකාරව ඉගෙන ගත්හ.

මහින්ද රාජපක්‍ෂ ඒකාධිපති පාලනය වටා නිර්ලජ්ජිතව පෙළ ගැසී සිටි ල.ස.ස.ප.යේ නිල නායකත්වයට එරෙහිව අභීතව හඬ නඟන්නට විමල්ලා ඉදිරිපත් වූයේ එබැවිනි. තම ජීවිතයේ පෞද්ගලික අපේක්‍ෂාවන්ට වඩා පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රමුඛ බවත් වමේ දේශපාලනය යනු දුක් විඳින ජනතාවගේ විමුක්තිය උදෙසා කොන්දේසි විරහිත අරගලයක නිරත වීම බවත් විමල්ලා දැඩිව කියා සිටියේ එබැවිනි. යහපාලනයක් උදෙසා පොදු ජනතාවගේ හඬ වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී අනෙකුත් ප‍්‍රගතිශීලී වාමාංශිකයන් සමඟ ඔහු නිර්භීතව ම අත්වැල් බැඳ ගත්තේ එනිසාවෙනි.

19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට බඳුන් වන විට විමල් සිටියේ රෝහල් ඇඳේ ජීවිතයත් මරණයත් අතර සටනක ය. ඒ සටනින් විමල් පැරදුණේ ය. සදහට ම පැරදුණේ ය. එහෙත් තම දේශපාලන ජීවිතයෙන් පුරා දශක තුනක් පමණ අරගල කළ සටන එදින පාර්ලිමේන්තුවේදී සාර්ථකව ජයග‍්‍රහණය කරමින් තිබිණි. එම ජයග‍්‍රහණයේ නිල ‘ප‍්‍රතිඵල’ දැක ගැනීමට විමල් ජීවතුන් අතර නො සිටියත් කෙසේ හෝ ඒකාධිපතියකු බිහි කරන විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමා කිරීමට පසුගිය ජනාධිපතිවරණයේදී එකතු වූ සියලූ ම ප‍්‍රගතිශීලී කොටස් ඒකරාශී වෙන බව විමල් දැන සිටියේ ය. එම ඒකරාශී වීම 19 වැනි සංශෝධනය සම්මත කිරීමට තරම් ප‍්‍රබල වන බව ද විමල් දැන සිටියේ ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් විමල්ලා පැතූ සියලූ දේ ම ඉටු නො වූවත් යම් කරුණක් හෝ ඉෂ්ට වී ඇත. ඒකාධිපතියකු බිහි කරන විධායක ජනාධිපති ධූරයේ බලතල බොහෝදුරට අඩු කිරීමට එයින් හැකියාව ලැබී ඇත.

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයකු ලෙසින් දශයකටත් වැඩි කාලයක් දිවෙන ඔහුගේ නාගරික මන්ත‍්‍රී දේශපාලන ඉතිහාසය, සැබැවින් ම ඔහුගේ අවංක දේශපාලන ජීවිතයට දිය හැකි පැහැදිලි එක් සාක්‍ෂියක් පමණි. 1991 දී ප‍්‍රථම වරට කොළඹ මහනගර සභාවට තේරී පත් වූ විමල් රුද්‍රිගු මහනගර සභාවේ නිල කාල දෙකක් ම නියෝජනය කළේ ය. එවක කොළඹ මහනගර සභාවේ සෑම මන්ත‍්‍රීවරයෙක්ම වරප‍්‍රසාදයක් ලෙස ලද (වර්තමානයේ රුපියල් ලක්ෂ 40 කට අධික වටිනාකමකින් යුක්ත) කොළඹ සංඝරාජ මාවතේ කඩකාමර බිම් කොටස එකහෙළාම ප‍්‍රතික්ෂේප කළ විමල්, වචනයේ පරිසමාප්ථාර්ථයෙන් ම ජනතාව උදෙසා නිර්ව්‍යාජව ම දේශපාලනයේ නිරත වූවෙකි.

විමල් ප‍්‍රථම වරට කොළඹ මහනගර සභාවට තේරී පත් වූයේ 1991 වර්ෂයේදී ය. විපක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරයකු වශයෙන් විමල් රුද්‍රිගු කොළඹ මහනගර සභාවේදී ඉටු කළ කර්තව්‍ය අතිමහත් ය. කෝටි ගණන් ආදායම් ලැබෙන කොළඹ මහනගර සභාවේ පාලකයන් එම මුදල් දූෂණයට හා වංචාට ලක් කරන විට විමල් එයට එරෙහිව හඬ නැඟුවේ ය. ජනතා නියෝජිතයන්ගේ සැබෑ හඬ යටපත් කිරීම වෙනුවෙන් පාලකයන්

විසින් දෙනු ලැබූ කිසිදු ‘වරදානයක්’ ලබා ගැනීමට විමල් සූදානම් වූයේ නැත. පාලකයන්ගේ ‘පම්පෝරි’ දේශපාලන සැණකෙළි උදෙසා කොළඹ මහනගර සභාව විසින් වැය කරනු ලබමින් සිටි කෝටි ප‍්‍රකෝටි ජනතා මුදල් පිළිබඳ හෙළි කිරීමට ඔහු කිසිසේත් ම පසුබට වූයේ නැත. ඔහුට එල්ල වෙමින් තිබූ මැර තර්ජනවලට කිසිදු බියක් නො දක්වමින් නිවැරැදි දේ වෙනුවෙන් පෙනී සිටියේ ය. ජනතාවගේ වරිපණම් මුදල් මත යැපෙන කොළඹ මහනගර සභාවේ එකදු ශතයක් හෝ ‘පිල්ලි’ ගැසීමට එරෙහි වූ විමල්, නගර සභාවේ අය-වැය විවාදයේදී සැමවිට එවැනි දූෂණයන් පිළිබඳ කරුණු සහිතව හෙළි කොට සිටියේ ය.

තමන් කරන වැඩවලින් හුදු ජනප‍්‍රිය වීමට ඔහු කිසි දිනෙක උත්සාහ ගත්තේ ද නැත. පාරදෘශ්‍ය යහපාලන ක‍්‍රමවේදයක් වෙනුවෙන් විමල් නිරන්තරයෙන් පෙනී සිටියේ ය. 1997 පළාත් පාලන ඡුන්දයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කොට කොළඹ මහනගර සභාවේ විපක්ෂයට පත් වූ විමල් රුද්‍රිගුට මහනගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධූරය පිරිනමන්නේ එනිසාවෙනි. සාමාන්‍යයෙන් එවැනි කමිටුවකට විපක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරයෙක් පත් කරනු ලැබුණේ නැත. එහෙත් 1997-

2002 දක්වා වූ නිල කාලය තුළ කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධූරය දැරුවේ විමල් ය. දූෂණයට එරෙහිව හඬ නැඟුවා සේ ම කොළඹ නගරය ‘හරිත පුරවරයක්’ කිරීමේ අනිවාර්යය අවශ්‍යතාව ද විමල් තම පළමු නාගරික මන්ත‍්‍රී නිල කාලයේ සිට ම දිගින් දිගට පාලකයන්ට පෙන්වා දුන්නේ ය. ඒ වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළේ ය. තම පළමු නිල කාලය තුළදී තමන් විසින් ඉදිරිපත් කරන ලද හරිත පුරවර සංකල්පයට මහනගර සභා පාලකයන් සංවේදී නො වූවත් තම දෙවැනි නිල කාලයේදී එහි පරිසර කමිටුවේ සභාපති ලෙස පත් කිරීමෙන් විමල්ට ලැබුණේ විශාල ශක්තියකි.

විමල් රුද්‍රිගු නම් ඒ සටන්කාමී දේශපාලන මිනිසා, දේශපාලනය පිළිබඳ අකුරු කියැවීමට පටන් ගත්තේ 1953 හර්තාලයත් සමඟ ය. ඒ වන විට විමල්ට යාන්තම් අවුරුදු හතක් සැපිරුණා පමණි. සැබැවින් ම විමල් රුද්‍රිගු ගේ ළමා කාලය ගත වූයේ වමේ දේශපාලනයට නැඹුරු වූ තම පියාගේ දේශපාලන ජීවිතය ද බද්ධ කර ගනිමිනි. වාමාංශික දේශපාලනය කියා දීමට තම පියා කිසිවිටෙකත් තමන්ට බලපෑමක් නො කළත් කුඩා විමල්, තම පියාගේ දේශපාලනය නිසා කිව නො හැකි තරම් ජීව ගුණයක් අත්වින්දේ ය.

පාසල් ජීවිතයේදී අධ්‍යාපන හා ක‍්‍රීඩා කටයුතුවල නියැළෙමින් තම සමකාලීනයන් සමඟ යෞවනත්වයේ නිදහස භුක්ති වින්දේ වුව ද ඊට වඩා විමල්ගේ මනස බර වූයේ දේශපාලනය වෙත ය. එවක කොළඹ වැල්ලවත්තේ පිහිටි සිලෝන් සිල්ක් ආයතයනයේ සේවයට බැඳෙන විට ඔහුට සැපිරී තිබුණේ යාන්තම් වයස අවුරුදු 17 ක් පමණි. තම රැකියා ස්ථානයේ සේවකයන් නිරන්තරයෙන් මුහුණ දෙන අසාධාරණයන්ට එරෙහිව හඬක් නැඟිය හැකි වෘත්තීය සමිතියක් නොමැතිකමේ විශාල අඩුවක් තිබෙන බව තරුණ විමල්ට අවබෝධ වන්නට වැඩි කල් ගත වූයේ නැත.
වැඩ කරන ජනතාවගේ සහභාගිත්වයෙන් වූ දේශපාලන හා වෘත්තීය සමිති අරගල කෙරෙහි පාසල් වියේ සිට ම මහත් ආස්වාදයකින් සිටි විමල්ට තම රැකියා ස්ථානයේ අලූත් වෘත්තීය සමිතියක් ගොඩනැංවීමට එතරම් අපහසු වූයේ නැත. එහෙත් වැඩි කල් නො ගොස් ම සිලෝන් සිල්ක් ආයතයනයේ පාලකයන් විසින් ස්වකීය ආයතනයේ සක‍්‍රීය වෙමින් සිටින වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීමේ නින්දිත මෙහෙයුම ආරම්භ කරනු ලැබිණි. එහි ප‍්‍රථම බිල්ල විමල් ය. ඒ වන විට ඔහුගේ සේවා කාලය මාස හතක් පමණි. එම කෙටි කාලය තුළ දී වුව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානාත්මකව පෙනී සිටීමේ ශක්තිය සේවකයන්ට පසක් කිරීමට විමල් ඇතුළු පිරිසට හැකි විණි. විමල්ගේ සේවය අත්හිටවනු ලැබිණි. විමල් නඩු මඟට බැසී ය. එහෙත් ඔහුට ලැබුණේ ‘සොච්චම්’ වන්දියක් පමණි. ඔහුට රැකියාව අහිමි විණි.

කාලය කෙටි වුවත් එකී වෘත්තීය සමිති සටන්වලින් විමල් ලද පන්නරය සුවිශාල ය. ඔහු තව තවත් ක‍්‍රියාශීලි විණි. වැඩ කරන කම්කරු පංතියේ දේශපාලන ව්‍යාපාරය කෙරෙහි තව තවත් නැඹුරු විණි. 1960 මැද භාගයේදී ඇති වූ තෙල් සංස්ථාවේ වැඩ වර්ජන ඇතුළු සේවක වර්ජනවලදී ද 1980 ජූලි වර්ජනයේදී ලංගම සේවක වැඩ වර්ජනයේදී ඒ ඒ අවශ්‍ය තැන්හි නායකත්වය ද ආධාර උපකාරයන් ද ලබා දීමට ඔහු පන්නරය ලබා ගත්තේ ක‍්‍රියාශීලිව ම කම්කරු සටන්වල නිරත වීමෙන් ය.

සිය දේශපාලන ගමන සඳහා ඔහු ලංකා සමසමාජ පක්ෂයේ (ල.ස.ස.ප.) ප‍්‍රතිපත්ති පිළිගනු ලැබුවේ හේතු සාධක සහිතවය. ල.ස.ස.ප. යනු බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස උදෙසා පැහැදිලි දේශපාලන පදනමක සිට ලංකාවේ නිදහස් ව්‍යාපාරයට නිසි නායකත්වත්වයක් ලබා දුන් එකල එකම පක්ෂය වූ නිසාම පමණක් නොව වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ ම අයිතීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින පක්ෂයක් වූ නිසා ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී යටත් විජිත පාලකයන්ගේ කුරිරු පාලන සමයේදී සූරිය මල් ව්‍යාපාරය හරහා තුන් කෝරළයේ පමණක් නොව සමස්ත ලාංකික ජනතාවගේ නීරෝගී ශරීර සෞඛ්‍ය නඟා සිටු වීම මතු නොව ඔවුන්ගේ දේශපාලනික විඥානය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව සැබෑ ආර්ථික, දේශපාලන හා සමාජ නිදහස වෙනුවෙන් අවදි කොට ඔවුන් වෙත ‘නීරෝගී දේශපාලන’ දැක්මක් ලබා දීම උදෙසා ද ඇන්.ඇම්. , කොල්වින්, ලෙස්ලි, බර්නාඩ් වැනි එවක ල.ස.ස.ප. නායකයන් විසින් තම ජීවිත පවා නොතකා කරන ලද උදාර කැපවීම් පිළිබඳ විමල්ට ගැඹුරු අවබෝධයක් ද තිබිණි. ඔහු ලංකා සමසමාජ පක්ෂ ගමන් මාර්ගයේ ම කොටස්කාරයකු වූයේ එබැවිනි.

ල.ස.ස.පක්ෂ සාමාජිකත්වය ලැබී වැඩි කල් නො යාම පක්ෂයේ යම් යම් විශ්වාසනීය වගකීම් ඔහුට පවරන්නට වූයේ ඔහු සතු මනා කැප වීම හා අධිෂ්ඨානශීලිත්වය මෙන්ම ඔහු තුළ වූ විචක්ෂණ හා විශ්වාසනීයභාවය ද නිසාවෙනි. මෙකී සියලූ ගුණාංගයන්ට අමතරව සද්ධන්ත ශරීරයකට ද විමල් උපතින් ම උරුමකම් පෑවේ ය. (1967 සමස්ත ලංකා ආධුනික අයෝම පුරුෂයා තේරීමේ තරගාවලියේ අනුශූරතාව හිමි වූයේ විමල් රුද්‍රිගුට ය). ල.ස.ස.ප. ස්වේච්ඡා රතු භට කණ්ඩායමට බඳවා ගැනුණු විමල් පසුව එහි ලේකම් ධූරයේ වගකීම ද ඉසිලී ය. මධ්‍යම කාරක සභිකයකු, දේශපාලන මණ්ඩල සභිකයකු, නියෝජ්‍ය ලේකම් ආදි පක්‍ෂයේ ප‍්‍රධාන නිලතල සඳහා ඔහුව පත් කෙරුණේ ඔහු සතුව පැවැති සැබෑ දේශපාලන ජවය, විචක්‍ෂණශීලී හා විශ්වාසනීයත්වය නිසාවෙනි. විමල් තම ජීවිතය ම ල.ස.ස.ප. දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැප කළේ ය.

ල.ස.ස.ප. විසින් මෙහෙය වන ලද මාක්ස්වාදී දේශපාලන විද්‍යා පීඨයට එකල හිමිව තිබුණේ සුවිශේෂී පිළිගැනීමෙකි. දේශපාලනිකව නිවැරැදි මාවතක සිට ක‍්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා න්‍යායාත්මකව දේශපාලනය පිළිබඳ නිවැරැදි හැදෑරීමක් තිබිය යුතු ම ය. මාක්ස්වාදී දේශපාලන විද්‍යා පීඨයෙන් සිදු කෙරුණේ එයයි. විමල් රුද්‍රිගු මාක්ස්වාදී විද්‍යා පීඨයට ඇතුළත්ව දේශපාලනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත්තේ ජනතා සටන්කාමියකුට එය අත්‍යවශ්‍ය ම වූවක් නිසාවෙනි. ඔහු එහි අධ්‍යාපනය ලැබුවේ 1972-73 කාලයේ දී ය. මාක්ස්වාදී දේශපාලන විද්‍යා පීඨයේ පීඨාධිපති වූයේ ඩොරික්ද සූසා ය. ඇන්.ඇම්.පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, හෙක්ටර් අබේවර්ධන, බර්නාඩ් සොයිසා, ඔස්මන් ජයරත්න, අනිල් මුණසිංහ, කරාලසිංහම් වැන්නෝ එහි දේශන මෙහෙය වූහ.

සැබැවින් ම මාක්ස්වාදී දේශපාලන විද්‍යා පීඨයේ ඉගෙනුම ලද කාලය, විමල් රුද්‍රිගුගේ දේශපාලන ජීවිතයේ ප‍්‍රධාන හැරැවුම් ලක්ෂ්‍යයක් බවට පත් වූයේ නිරායාසයෙනි. කිසිම විටෙක හුදු වරප‍්‍රසාද/වරදාන වෙනුවෙන් තම දේශපාලන දෘෂ්ටිය හෝ කි‍්‍රයාකාරී දේශපාලන ගමන හෝ නිද්‍රාශීලිත්වයට පත් කරවා ගත යුතු නැති බව ල.ස.ස.ප. දේශපාලන ඉතිහාසයෙන් විමල්ලා ඉගෙන ගෙන තිබිණි. එමෙන්ම හුදු ජනප‍්‍රිය හා ප‍්‍ර‍්‍රශංසාත්මක ‘දේශපාලන අල්ලාප-සල්ලාප’ ව්‍යාධියෙන් තම දේශපාලනය කෙළසා ගත යුතු නැති බව ද පක්‍ෂයෙන් ඔහු උගත්තේ ය. ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් නිවැරැදි දේශපාලන භාවිතාවක් අනුගමනය කිරීමට ඇන්.ඇම්., කොල්වින්, ලෙස්ලි, බර්නාඩ් වැනි අතීත ල.ස.ස.ප. දේශපාලන නායකයන්ගෙන් විමල්ලා නිසියාකාරව ඉගෙන ගත්තේ ය.එබැවින් තම ජීවිතයේ පෞද්ගලික අපේක්‍ෂාවන්ට වඩා පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රමුඛ බවත් වමේ දේශපාලනය යනු දුක් විඳින ජනතාවගේ විමුක්තිය උදෙසා කොන්දේසි විරහිත අරගලයක නිරත වීම බවත් විමල් මනාව දැන සිටියේ ය. ඔහු තම ජීවිතය ම ල.ස.ස.ප. දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැප කළේ එනිසාවෙනි.

එහෙත් මෑත කාලයේ පක්‍ෂයේ නිල නායකත්වයට පත් වූ තිස්ස විතාරණලා කිසිදු හිරිකිතයකින් තොරව ම අනුගමනය කරන්නට වූයේ මහින්ද රාජපක්‍ෂවාදී ප‍්‍රතිගාමී දෘෂ්ටියෙකි. ඒ වෙනුවෙන් විමල්ලා දැඩිව පෙනී සිටින්නට වූහ. රාජපක්‍ෂවාදී තිස්ස විතාරණලා අවසානයේදී කරන්නට වූයේ විමල්ලාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ය. එසේ වුවත් ල.ස.ස. පක්‍ෂයේ ජයම්පති වික‍්‍රමරත්න ප‍්‍රමුඛ බහුතර ප‍්‍රගතිශීලී කණ්ඩායම විසින් රාජපක්‍ෂවාදී තිස්ස විතාරණ-පද්මසිරිලා වැනි ජඩ දේශපාලන ප‍්‍රතිගාමීන්ව පරදා පක්‍ෂයේ බහුතර බලය අත්පත් කර ගනු ලැබිණි. විමල් එම සටනේදී මනා කැප වීමකින් හා අධිෂ්ඨානයකින් ක‍්‍රියා කළේ පක්‍ෂය රාජපක්‍ෂවාදී තිස්ස විතාරණලාගෙන් බේරා ගෙන යළිත් ජනතාවගේ සැබෑ හඬ අවදි කිරීම උදෙසා පක්‍ෂය ගොඩ නැඟීමට ය. විමල්ලා එහිදී ජයගත්හ.ඔහු කිසිවිටෙක දේශපාලනය ව්‍යාපාරයක් කර ගත්තේ නැත. දේශපාලනයෙන් අයුතු ප‍්‍රයෝජන ගත්තේ ද නැත. ඔහු දේශපාලනයට තමන් සතු දේ වියදම් කරනවා මිස ජනතා දේශපාලනයෙන් ‘හම්බ’ කළේ නැත.කොපමණ දුෂ්කරතා පැන නැඟුණත් ඔහු තම ප‍්‍රතිපත්ති පාවා දුන්නේ නැත.

1973 වර්ෂයේ දී විමල් සමඟ අතිනත ගත් සිරියාවතී අතුකෝරළ නම් ඔහුගේ බිරිඳ ඔහුගේ දේශපාලන ගමනට ලබා දුන්නී කිව නො හැකි තරම් ශක්තියකි. මීෂා තේජ, තිළිණි, අමන්දා, චතුර යන ඔහුගේ දරුවෝ සිව් දෙනා ද එසේ ම වූහ. ඔවුහු ද පක්‍ෂයේ වැඩ සඳහා කිසිඳු පැකිළීමකින් තොරව ම කටයුතු කරන්නෝ ය.ඇන්.ඇම්., කොල්වින්, බර්නාඩ් සොයිසා වැනි අභීත අවංක දේශපාලන නායකයන්ගෙන් ගුරුහරුකම් ලැබ ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන දර්ශනයෙන් මනා ලෙස පන්නරය ලද විමල් රුද්‍රිගු නම් නිර්ව්‍යාජ දේශපාලන මිනිසාගේ දේශපාලන ජීවිතය අද අපට වඩාත් වැදගත් වන්නේ ‘අවංක දේශපාලනය’ යන මාතෘකාව හුදෙක් සිහිනයකට පමණක් සීමා වී ඇති නිසාවෙනි. විමල්ලා වැනි අවංක සටන්කාමී දේශපාලනඥයන් අප අතරින් සමු ගැනීම පිරිමැසිය නො හැකි පාඩුවෙකි.

විමල් රුද්‍රීගෝ සහෝදරයාට අපගේ උත්තමාචාර..!

Advertisements

One thought on “විමල් රුද්‍රිගු සමුගනියි…! – එස්.යාපා”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )