නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වූ වගයි! – ආදරයේ අංශු මාත්‍රයක් නොහොත් How I wonder what you are – ප්‍රේක්ෂක

unnamed

1. ගම සහ නගරය ප්‍රතිපක්ෂයන් ලෙසින් දැකීම

අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර මුල් කොට ගෙන බිහිවූ නවරැල්ලේ සිංහල සිනමාව මූලිකවම ගම තුළ පොදුවේත්, මායිම් ගම්මාන තුළ සුවිශේෂයෙනුත්, යුද්ධය පිළිබඳ කතන්දරවලත් සිරකරුවකුව සිටියේ ය (බලන්න, කුමුදු කුසුම් කුමාර, “පශ්චාත් නූතන දෘෂ්ටියෙන් සම්ප්‍රදායික සිංහල ගම බැලීම” ලිපිය http://kathika.lk/old/ ප්‍රාරම්භක කලාපය). ඔවුන් ඇතැමෙකුගේ එම චිත්‍රපට ගම පිළිබඳ ඉදිරිපත් කළ ප්‍රවාදයන්ගෙන් ගම්‍ය කළ කරුණක් වූයේ අශිෂ්ඨ සිංහල ගම සහ උසස් නගරය පිළිබඳ බෙදුමයි, එනම් එලෙස හඳුනා ගත් සිංහල ගමට ප්‍රතිපක්ෂව නගරය සංස්කෘතියේ සහ ශිෂ්ටභාවයේ කේන්ද්‍රය වන බවයි.

දැන් චින්තන ධර්මදාස සහ උදය ධර්මවර්ධන අධ්‍යක්ෂණය කළ ‘ආදරයේ අංශු මාත්‍රයක්’ නොහොත් How I wonder what you are! චිත්‍රපටය නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වීමත්, ලංකාව පශ්චාත්-යුද සමාජයකට පා තැබීමත් සටහන් කරයි.

මෙම චිත්‍රපටය අප සැබෑ ලෙසම නගරයට කැඳවා ගෙන යයි. නමුත්, ඔවුන් නගරය දකින්නේ පෙර කී මුල් කාලීන සිනමාකරුවන් නගරය පිළිබඳ ගම්‍ය කළ අදහසට ප්‍රතිපක්ෂව, ජනයා සමාජයෙන් ද තමන්ගෙන්ම ද දුරස්ථ කරන අවකාශයක් ලෙස ය. අව්‍යාජ මානව සබඳතා ගොඩනඟා ගන්නට අපොහොසත් නගරවාසී පිරිමින්ගේ ජීවිතවල අරුතක් හෝ සතුටක් හෝ නොමැත. චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය ‘ඩී’ නගරයේ මහා ජනකාය මැද හුදෙකලා වී සිටී. විදුලි එළියෙන් බබලන නගරය තුළ විදි කොනක අඳුරු, අපිරිසිදු අවකාශයක සිරවී ඔහු මන්දෝත්සාහීව අන්තරාවලෝකනයේ යෙදෙයි.

නගරය පිළිබඳ ‘ආදරයේ අංශු මාත්‍රයක්’ මෙම සංකල්පීකරණය, නූතනත්වයත් සමඟ නගරය පිළිබඳ මිනිසා ලැබූ අත්දැකීම් න්‍යාය ගැන්වූ සමාජීය න්‍යායේ එන නගරය හා සාදෘශ්‍යභාවයක් දක්වයි. ප්‍රකට සමාජීය න්‍යායධරයෙකු වන රිචර්ඩ් සෙනෙට් (Richard Sennett) නගරය පිළිබඳ රචනා කොට ඇති කෘතීන්වල මේ පිළිබඳ සවිස්තරව කරුණු ඉදිරිපත් කොට ඇත (උදාහරණයක් ලෙස බලන්න, The Uses of Disorder, Personal Identity and City life) (1). සෙනෙට් දක්වන පරිදි, විසිවැනි සියවස ආරම්භයේ දී ජර්මානු සමාජීය න්‍යායධරයෙකු වූ ෆර්ඩිනන්ඩ් ටොනීස් (Ferdinand Tonnies) ප්‍රජාව සහ සමූහය යනුවෙන් එකිනෙකින් වෙනස් සමාජ සංසිද්ධි දෙකක් පිළිබඳ සංකල්පීකරණයක් ඉදිරිපත් කළේය. ඒ අනුව, ජනයාට පූර්ණ මානවයන් ලෙස එකිනෙකා සමඟ භාවාත්මක බැඳීම් හැඟුණු ‘ප්‍රජා ජීවිතය’ වීය. ඊට වෙනස්ව, මිනිසුන් තමන් එක්ව ඉටු කළ විශේෂායනය වූ භාවාත්මකව උදාස වූ කාර්යයන් ඇසුරෙන් තම බැඳීම් දුටු ‘සමූහය’ වීය.

ටොනීස්ගෙන් උගත් පරපුර ප්‍රජාව සහ සමූහය අතර ටොනීස් තමන් දුටු මෙම ඛණ්ඩනය සමාජීය අත්දැකීමේ ප්‍රතිපක්ෂ ධ්‍රැව ලෙස දකින්නට නැඹුරු වීය (බලන්න ඉහත කෘතිය, 3 පිටුව). පළමු ලෝක යුද්ධයෙන් පසු දශකයන්හි චිකාගෝ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ඇතිවූ මහා මල් ඵල ගැන්මේ දී රොබර්ට් පාක්, ලුවී වර්ත් සහ රොබර්ට් රෙඩ්ෆීල්ඩ් වැනි ලේඛකයෝ මෙම වෙනස ගමත්, නගරයත් අතර වෙනසක් ලෙස හැඩ ගැන්වීමට පටන් ගත්හ. ඔවුන් දුටු පරිදි, ජනයාට, ගැමි ජීවිතයේ දී මිනිසුන්ට තමන් එකට අයිති යැයි සහ මානව ක්‍රියාකාරකම් පිළිබඳ සමස්ථ පරාසයම එකිනෙකා සමඟ හවුලේ බෙදා ගන්නේ යැයි, හැඟුණි. නමුත්, නගරයේ දී තමන් එකිනෙකාගේ ජීවිතවල කොටස්කරුවන් වන්නේ යැයි මිනිසුන්ට දැණුනේ පොදුවේ ඉටු කරන කෘත්‍යමය කාර්යයන් හේතුවෙනි. එම කාර්යයන් කොතරම් විශේෂායණය වී තිබිණි ද යත් සම්බන්ධතාව පිළිබඳ නගරයේ හැඟීම අසංඛ්‍යාත කැබලිවලට කැඩී ගියේය. නගරය තුළ මිනිසුන් අතර සංකීර්ණ භාවාත්මික අන්තර් ක්‍රියා විශේෂායණය වූ කාර්යයන් ඉටු කිරීමෙහි ලා බාධා වනවා පමණි (ඉහත කෘතිය, පිටු අංක 32).

පසු කළෙක ෆැනොන් (Fanon) වැනි විප්ලවවාදීන්ගෙන් නගරය පිළිබඳ විවේචන එල්ල වූ ප්‍රධාන හේතුවක් වන්නේ නූතන නගරවල අවශ්‍යතාවක් බවට පත් වූ නිලධාරිතන්ත්‍රය ඉල්ලා සිටින මානව සබඳතාවල නිර්නාමිකත්වය අවසානයේ දී වඩා යහපත් වඩාත් යුක්තිසහගත ජීවිතයක් සියලුදෙනාටම බෙදා ගැනීම අවශ්‍ය කෙරෙන මිනිසුන්ගේ සමීපතාව පිළිබඳ හැඟීම් විනාශ කරන්නේය යන අදහස යි (ඉහත කෘතිය, xiv-xv පිටු).

2. යුද සමයේ නගරය: ජනවාර්ගික ගැටලුව අධිනිශ්චය වීම

‘ආදරයේ අංශු මාත්‍රයක්!’ චිත්‍රපටිය දිග හැරෙන්නේ රජයේ හමුදා කිලිනොච්චි නගරය එල්.ටී.ටී.ඊ ය වෙතින් යළි අත්පත් කර ගැනීමේ ජයග්‍රහණය පසු බිමෙහිය. මේ අනුව, චිත්‍රපටයේ එන නගරය යුද සමයේ නගරයයි.

නව රැල්ලේ සිංහල සිනමාවේ මුල් සිනමාකරුවන් ඔවුන් නිරූපණය කළ ගමට ප්‍රතිපක්ෂව ගම්‍ය කළ සංස්කෘතික වූ, ශිෂ්ට නගරය යුද සමය තුළ මෙරට තිබූ නගරය නොවීය. යුද සමයේ මෙරට නගරය මිනිසුන් බියපත් කොට නගරයෙන් පලවා හරින සුලු එකක් වීය. එහි පැහැර ගැනීම්, මරා දැමීම්, අතුරුදහන් කිරීම්, සුලබ විය. බෝම්බ පිපිරීම් නිසා මිනිස්සු මිය ගියහ. දෙමළ ජනයා බලහත්කාරයෙන් නගරයෙන් පිටමං කෙරුණි. යුද විරෝධීන්ට නගරයේ සිටින්නට සිදු වූයේ සැඟවී ගෙනය. නගරයත් මහජන ජීවිතයේ සියලු ක්ෂේත්‍රත් ජනවාර්ගික ගැටලුව අධිනිශ්චය වීම පිළිබඳ අදහසට යටත් කෙරුණු හෙයින් යුද්ධයට පක්ෂපාතී දේශ ප්‍රේමීන් සහ යුද්ධයට විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් අතර සමාජය ධ්‍රැවීකරණය වීම තුළ නගරවැසි හැම කෙනෙකුටම පිලක් තෝරා ගැනීමට බල කරනු ලැබිණි. ජනවාර්ගික ගැටලුව නිසා මිනිසුන් පුරවරයේ දේශපාලනයට, කලා-සංස්කෘතික ක්ෂේත්‍රයන්ට, මහජන පරිමණ්ඩලයට කැඳවන අවකාශ බොහෝදුරට සිඳී ගියේය. මෙපරිදි වූ යුද සමයේ නගරය කාලකණ්ණි බවට පත් වූවකි.

මෑතකදී ප්‍රදර්ශනය කෙරුණු අශෝක හඳගමගේ ‘ඉනිඅවන්’ චිත්‍රපටිය යාපනය නගරය සහ නගර උපාන්තය පසුබිම් කොට ගෙන නිර්මාණය වී තිබීම සටහන් කරන්නේ ද ‘ආදරයේ අංශු මාත්‍රයක්!’ චිත්‍රපටිය ඉදිරිපත් කරන සංක්‍රමණය වීම යැයි සිතමි. නමුත් යුද්ධයෙන් පීඩාවිඳි යාපනය නගරය මෙන්ම, යුද්ධයෙන් පසු යාපනය නගරයේ ද හඳගමලා නිරූපණය කළ ගමට ප්‍රතිපක්ෂව ඔවුන් ගම්‍ය කළ සංස්කෘතික වූ, උසස්, ශිෂ්ට නගරය නොවේ.

නිලධාරිවාදයේ ග්‍රහණයට ලක්වූ නගර ජීවිතය එහි වැසියන් විලෝපනයට ලක් කරන්නේ නම්, එම තත්වය යුද්ධයක දී උග්‍ර විය හැකිය. අනෙක් අතට යුද්ධය මුල් කොට ගෙන බෙදුණු එක් එක් පිළෙහි ජනයා අතර සහෝදරාත්මක හැඟීම් උත්සන්න වීම උත්ප්‍රාසජනක වන්නේ යුද්ධය ඔවුනට විලෝපනයෙන් මිදීමට අවස්ථාවක් සළසා දෙන හෙයිනි.

නූතන සමාජය, ඊට පෙර පැවැති සමාජයන්ට වෙනස්ව සියලු වැසියන් ඊට ඇතුළත් කර ගැනීම හේතුවෙන් ඉන් බැහැර වන්නට අවශ්‍ය වූවන්ට යා හැකි සියලු ස්ථාන වසා දමා ඇතැයි හනා ආරන්ඩ්ට් (“The Crisis in Culture” in Between Past and Present) (2) පෙන්වා දී ඇත. යුද්ධයෙන් පෙළෙන සමාජයක තම අනන්‍යතාව සම්පාදනය කර ගන්නට වෙර දරන නව-යෞවන තරුණ තරුණියන්ට සමාජයෙන් පිටමං වීමේ අවශ්‍යතාව සාමාන්‍ය තත්ත්වයකදීටත් වඩා වැඩි විය හැකි නමුත් ඒ සඳහා ඇති අවස්ථා ඇහිරී ඇත. එවිට ඔවුනට සිදු වන්නේ තම ඇතුළාන්තයට පිවිසීමට ය.

‘ආදරයේ අංශු මාත්‍රයක්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් වන ‘ ඩී’ නගරයේ ජීවිතයෙන් මෙන්ම, තමාගෙන් ද විලෝපනය වී, හුදෙකලා වී තම ඇතුළාන්තයට හැරුණු පුද්ගලයෙකි. යුද්ධයේ වුව, සාම සමයේ වුව, නගරය තුළ තමා අත මුදල් නොමැතිව, රැකියාවක් නොමැතිව, මිතුරන් නොමැතිව, මානව සබඳතාවක් නොමැතිව සිටින්නෙකුගේ විලෝපනය උත්සන්න විය හැකිය.

මානව සබඳතා ගොඩනඟා ගැනීමට ඇති බිය, අලුත් අත්දැකීම් අභිමුඛ වීමට ඇති බිය නව යොවුන් තරුණ වියට අදාළ අත්දැකීමක් ලෙස හඳුනා ගෙන තිබේ. එනමුත් මෙම අත්දැකීම එම වයස් කාණ්ඩයට සීමා වන්නක් නොවේ. චිත්‍රපටියේ එන ස්ත්‍රි චරිතය වන කැතී, ‘ඩී‘ හා සම වයස් කණ්ඩායමේ වුවද ඇය ‘ඩී‘ ට වෙනස්ව දැනටමත් සබඳතාවක බැඳී සිටියි. එම සබඳතාව තමනට හිංසාකාරී එකක් වූ විට ඉන් මිදී නව සබඳතා ගොඩ නඟන්නට උත්සාහ කිරීම හා බැඳී අවිනිශ්චිතතාවේ අවදානමට තමා අනාවරණය කරන්නට තරම් ඇය ධෛර්යවන්තය.

3. නාගරික විරෝධී ආතතිය සහ නගර පිළිබඳ බිය: රිචර්ඩ් සෙනෙට්

අප අපගේ නගරය කෙරෙහි දැක්විය යුතු සාධනීය ප්‍රතිචාරය කුමක් ද? අප අපගේ නගරය කෙසේ පරිකල්පනය කළ යුතුද? රිචර්ඩ් සෙනෙට් නාගරික විරෝධී ආතතිය, නගර පිළිබඳ බිය ගැන කරන විග්‍රහය අපට මේ පිළිබඳ සිතන්නට ආලෝකය සපයයි. නගරය පිළිබඳ පහත කොටසේ දැක්වෙන අදහස් සකස් කර ගත්තේ රිචර්ඩ් සෙනෙට් ගේ ඉහත සඳහන් The Uses of Disorder, Personal Identity and City life කෘතියෙන් සහ ඔහුගේම The Fall of Public Man පොතෙන් සහ පැරිසියේ පළ කෙරෙන Le Monde Diplomatique ජාත්‍යන්තර පුවත් පතේ ඔහු පළ කළ New Capitalism, New Isolation, A flexible city of strangers,(3) නමැති ලිපියෙනි.

රිචර්ඩ් සෙනෙට් දකින පරිදි ලෝකයේ, ජීවිතයේ අර්ථය සොයා ගැනීමේ නැතහොත් ආමූල ආත්මීයභාවය ගොඩනඟා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින මිනිසාට නගරය විලෝපනයත්, විලෝපනයෙන් මිදීමේ අවකාශයත් එකමවර ඉදිරිපත් කරයි. විලෝපනය නගරයට ප්‍රවිෂ්ට වන්නා ගේ ආරම්භය මිස අවසාන කතාන්දරය නොවේ.

නගර අවකාශය ජනාධික ය, අපෞද්ගලික ය, එහෙයින් එහි වාසීන් විලෝපනයට ලක් කරන සුලුය, එහෙයින් නිරුපද්‍රිත දින චර්යාවක් අනුව කටයුතු කරන මෙන් මිනිසුන් බිය වද්දයි. මේ තත්ත්වය විසින් ඉල්ලා සිටින දෛනික චර්යාවේ රටා චර්යානුගත කිරීම (routinisation) ජීවිතය හීන කරන සුළුය.
unnamed (2)
නිර්නාමිකත්වය, විවිධත්වය සහ අන් අය හමුවීමට ඇති නිදහස පතා, කලෙක මිනිසුන් නගරයට ඇදී ඒමට පුරුදුව සිටියහ. නිර්නාමිකභාවය නිදහස කි. ජනාධික නාගරික ජනාවාසයක බොහෝ ජනයා එක්ව වසන විට ඇති වන සමාජීය විවිධත්වය සහ එය එහි වැසියනට ගෙන එන නිර්නාමිකත්වයත් නිසාම මිනිසුන්ට නව ජීවන අවස්ථාවලට මුහුණ පා තම අනන්‍යතාවය සම්පාදනය කර ගැනීමේ වටිනා අවකාශයක් සපයා දෙන හෙයින් එකම වර බලදායී ද වෙයි.

නගරයේ විවිධත්වය, මනස උත්තේජනය සහ පුළුල් කිරීම සිදු කරයි, ඊට ප්‍රතිපක්ෂව සාම්‍යය මනස තකතිරු බවට පත් කරයි. නගරයට, තමන් පිළිබඳ වඩා සරු, වඩා සංකීර්ණ, හැඟීමක් සංවර්ධනය කර ගැනීමට ජනතාවට ඉඩ සැලසිය හැකි ශක්‍යතාව තිබේ. විවිධත්වය සමඟ – එනම් පංතිමය වශයෙන්, වාර්ගිකව, ජනවාර්ගිකව, ආගමිකව, සංස්කෘතිකව සහ දේශපාලනිකව යනාදී වශයෙන් වෙනස් මිනිසුන් සමඟ – ජීවත්වීම සහ ගනුදෙනුවට යාමට අවස්ථාවක් නගරය මිනිසාට පිරිනමයි. අප, ජීවිතයේ සහ මානව සබඳතාවල සැබෑ සංකීර්ණතාව ඉගෙන ගන්නේ ජනාධික, අපර්යායමය, නොතකා සිටිය නොහැකි තරම් බලවත් නගර සතු විවිධත්වය පිළිබඳ සරු මිශ්‍රණයෙනි. නගරය නම් වනාන්තරයට, එහි අති විශාල බවට සහ හුදෙකලාවට ධනාත්මක මානව වටිනාකමක් තිබේ. එමෙන්ම නගර, සාමුහික අරගලයේ සහ සහෝදරත්වයේ අවකාශද වීය.

නගරය, මිනිසුන් තුළ ඇති ආගන්තුකයන්ට සහ නව අත්දැකීම්වලට ඇති බිය, ජය ගැනීමට කදිම අවකාශයකි. එය ආගන්තුකයන් සමඟ ජීවත්වීමට ඉගෙන ගැනීමට, නුපුරුදු ජීවිතවල අත්දැකීම් සහ ඵල-ප්‍රයෝජනයන්ට ඇතුලු වීමට ඉඩ සලසයි. මහජන තලයේ දී තමාට හමුවන ආගන්තුකයන් ආශ්‍රය, පෞද්ගලිකව සිටින විට ඔවුන් පුබුදුවාලිය හැකි ය. මහජන තලය ප්‍රතික්ෂේප කොට පෞද්ගලික පරිමණ්ඩලයට හැරෙන විට අපගේ පෞරුෂයන් සම්පූර්ණයෙන්ම සංවර්ධනය විය නොහැකි ය.

අනෙකා තම ජීවිතයට සම්බන්ධ වීම මිනිසාට අවශ්‍ය ය. නමුත් තමා කවුද යන්න අනෙකා මත තීරණය කරනු ලැබිය යුතු නොවේ. සමාජීය වීම යනු වෙනස්කම පිළි ගැනීමයි, නමුත් එයින් තීන්දු වීම නොවේ.

සෙනෙට් තම The Fall of Public Man පොතෙහි තර්ක කරන පරිදි, මහජන ජීවිතය යන්නෙන් කලෙක අදහස් කෙරුණේ පවුල සහ සමීප මිතුරන් ගේ කවයෙන් පිටත ජීවිතයේ එම අත්‍යවශ්‍ය කොටස යි. නූතනයේ නගර ආරම්භයේදී ආගන්තුකයන් සමඟ භාවාත්මකව තෘප්තිමත්කරන සුළු ආකාරයකින් සම්බන්ධ වීමත් එනමුත් ඔවුන්ට දුරින් සිටීමත් දුටුවේ සත්ත්වයා සමාජීය – ශිෂ්ට සම්පන්න – සත්ත්වයෙකු බවට විපර්යාස කිරීමේ මඟ ලෙසිනි. යුරෝපයේ ශ්‍රේෂ්ට අග නගර වල මෙයාකාර මහජන ජීවිතය පරිපූර්ණවම මල් ඵල ගැනීම 18 වැනි සිය වසේදී සාක්ෂාත් කර ගන්නා ලදී. නූතනත්වයේ පසු කාලය තුළ නගරය අන් පුරවැසි සගයන් සමඟ අන්‍යොන්‍ය සබඳතා ගොඩ නැගීමේ ප්‍රීතිය සහ එය ශක්තිමත් කිරීමේ අවස්ථාව අහිමි කොට ගෙන තිබේ. ඊට හේතුව නගරය දැඩි ලෙස ප්‍රමිතිකරණයට සහ පාලනයට යටත් කිරීම යි. ගෝලීයකරණය යටතේ ව්‍යාපාර සහ ඒවා අනුව යන ගෘහ නිර්මාණ ශිල්පය අනුව නගරය ප්‍රමිතිකරණයට ලක්වීම සහ අපෞද්ගලිකවීම නගරය තුළ විලෝපනය උත්සන්න කොට තිබේ.

අප කවරදාකවත් කුළුපග ලෙස දැන නොගැනීමට ඉඩ ඇති අය සමඟ සැබෑ සහ ප්‍රීතිය ගෙන දෙන සබඳතා සඳහා ඉඩ සලසනු ඇති අනායාසයේ, කෙළියෙහි ජීවගුණයේ සහ අභිමතයේ ආකාරයේ බොහොමයක් අද අප සතුව නැත.

ජීවිතයේ අභියෝගවලට විවෘතව මුහුණදිය හැකි සහ ඒවා සමඟ ගනුදෙනු කළ හැකි වැඩිහිටියන් බිහි කිරීමට නම්, අරාජිකත්වය, විවිධත්වය සහ නිර්මාණාත්මක අපර්යාය ඇතුළත් කර ගත හැකි කෘත්‍යමය නගරයක් අවශ්‍ය ය.

ජනයා සැබෑ ලෙසම විශ්වදේශී වන පරිද්දෙන්, නගරයක අඩංගු සංකීර්ණතාවලට අන්තර්ක්‍රියාවේ යෙදිය හැකි ය. ජනාකීර්ණ වීදි බිය පිළිබඳ නොව, ස්වයංඥානය පිළිබඳ ස්ථාන බවට හැරවිය හැක්කේ කෙසේද? යන්න නගරය පිළිබඳ නූතනත්වය මුහුණ දෙන අභියෝගය යි. “ආගන්තුකයන්ගේ අසල්වාසී බව” යනුවෙන් ඉම්මානුවෙල් ලෙවිනාස් පලකල අදහස නගරය පිළිබඳ ඉහත අදහස හා සම්බන්ධ බව රිචර්ඩ් සෙනෙට් අපට කියයි.

4. ‘ආහ්ලාදය ට ගේය කාව්‍යයක්’

‘ආදරයේ අංශු මාත්‍රයක්!’ චිත්‍රපටියේ තේමා ගීතය ප්‍රංශ විප්ලවයෙන් ආලෝකමත් වූ නිදහස පිළිබඳ අදහසට සුන්දරත්වය සහ යහපත සම්බන්ධ කරන ‍ෆ්‍රීඩ්රික් ෆොන් ෂිලර් (Friedrich Von Schiller) ගේ Ode to Joy (ආහ්ලාදය ට ගේය කාව්‍යයක්) යන කවිය පදනම් කොට ගත්තකැයි සඳහන් ය.

Ode to Joy කවිය ලොව පතල වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ලොව බිහි වූ විශිෂ්ටතම සිම්ෆනි රචනා කළ, ලොව විසූ ශ්‍රේෂ්ඨතම සංගීතඥයකු බව අවිවාදයෙන් පිළිගැනෙන සහ ‘සම්භාව්‍ය-රොමෑන්ටික්’ සංගීතකරුවකු වන බේතෝවන් විසින් රචිත The Symphony No. 9 D. Minor නමැති, ඔහුගේ අවසාන අංගසම්පූර්ණ සංධ්වනියට සමූහ ගායන සංධ්වනියක් (Choral Symphony) වශයෙන් මෙම කාව්‍ය‍ය ඇතුලත් කර ගැනීම යි. එය ප්‍රධාන පෙළේ සංගීත රචකයෙකු සංධ්වනියක කටහඩ යොදා ගත් ප්‍රථම අවස්ථාව යැයි සඳහන් ය. එම සංධ්වනියේ ‘අවසාන චලනයේ‘ දී (final movement), ෂිලර් ගේ Ode to Joy වෙතින් උපුටා ගත් වචන ගැයේ. බේතෝවන් ගේ මෙම සමූහ ගායන සංධ්වනිය යුරෝපීය මණ්ඩලය විසින් යුරෝපීය ජාතික ගීය ලෙසින් සම්මත කර ගන්නා ලදී.

Ode to Joy කවිය නිදහස, මානව සහෝදරත්වයේ සහ සමස්ත මානව වර්ගයාගේ සමගිය සමරමින් රචනය කරන ලද්දකි. ෂිලර්, 1789 ප්‍රංශ විප්ලවය දක්වා සහ ඉන් පසුත් ජර්මානු ප්‍රගතිශීලී චින්තනයට බල පෑ දාර්ශනිකයෙකු, නාට්‍යකරුවෙකු සහ කවියෙකු වීය. ඔහුගේ චින්තනය හුදු වියුක්ත සෞන්දර්යමය සංකල්පයක් ලෙස පමණක් නොව, සදාචාරාත්මකව බලගතු එකක් ලෙස, සුන්දරත්වය මත පදනම් වීය. ඔහු දුටු පරිදි සුන්දර දේ වන්නේ යහපත් දේ ය. ඔහු මෙම අදහස මානව නිදහසට සම්බන්ධ කළේ ය.

‘ආදරයේ අංශු මාත්‍රයක්’ හි තේමා ගීතය චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ‘ඩී ‘ ගේ අත්දැකීම කැටි කර ගත් කවියකි. ‘ඩී ‘ පතන ප්‍රේමය සාක්ෂාත් වන්නට අවශ්‍ය අවකාශය නිර්මාණය කරන්නට, ෂිලර් ‘ආහ්ලාදය ට ගේය කාව්‍යයක්’ හි පරිකල්පනය කරන ප්‍රේමය ට පදනම් වන නිදහස, මානව සහෝදරත්වයේ සහ සමස්ත මානව වර්ගයාගේ සමගිය ට හැකි වේද?

– ප්‍රේක්ෂක

සටහන්

1. (Richard Sennett) නගරය පිළිබඳ රචනා කොට ඇති කෘතීන්වල මේ පිළිබඳ සවිස්තරව කරුණු ඉදිරිපත් කොට ඇත (උදාහරණයක් ලෙස බලන්න, The Uses of Disorder, Personal Identity and City life

2. The Crisis in Culture” in Between Past and Present, Penguin, 1958.

3. ” New Capitalism, New isolation, A flexible city of strangers,” Le Monde diplomatique, English Edition, 2001/02/16, http://mondediplo.com/2001/02/16cities)

http://kathika.lk/ වෙබ් අඩවියෙන්

Advertisements