මේ මාගේ ගමයි (1 කොටස ): රුචිය හා දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

කාන්ට්
කාන්ට්
අශෝක හඳගමගේ මේ මාගේ සඳයි සිනමා කෘතිය පිළිබඳ මෙම සාකච්ඡාවට දායක වූ මෙම ලිපි පෙළ බලය සඟරාවේ 2001- 2002 වර්ෂ වල පලවු අතර ඒවා එලෙසින්ම මෙහි පල කරමු.

x කණ්ඩායම විසින් අශෝක හඳගමගේ මේ ‘මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව ‘අංශක බිංදුවේ සෞන්දර්ය වියමන‘ යන මැයෙන් ප‍්‍රකාශයක් කර තිබිණ (බලය, සැප්තැම්බර් 2001). එම ප‍්‍රකාශයේ හරය මා තේරුම් ගත්තේ මෙසේය. අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි‘ සංකල්ප අගතීන්ගෙන් මිදී තැනූ චිත‍්‍රපටයකි. එනිසා, ලාංකීය ගමේ මිනිස් සබඳතා ‘පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් ඉන් නිරූපණය කෙරෙයි. මෙම ප‍්‍රකාශය ගොඩනැංවීමේදී x කණ්ඩායම පළ කරන තවත් වැදගත් මත දෙකකි. ඉන් පළමුවැන්න, ‘සෞන්දර්ය යනු මිනිසා විසින් සාමාන්‍ය ජන ජීවිතයෙන් වෙන් කොට ගොඩ නගන ලද්දකි. ‘ යන්නයි. දෙවැන්න, මෙතෙක් කල් ලාංකීය කලාකරුවන් විවිධ බටහිර සෞන්දර්ය/සිනමා න්‍යායයන් හිස දරාගෙන කලා කෘති නිර්මාණය කළ ද හඳගම ‘මේ මගේ සඳයි‘ ඒ සියල්ලෙන් මිදී නිර්මාණය කර ඇත, යන්නයි.

ඉහත අදහස් මුල් කොටගත් x කණ්ඩායමේ මෙම ප‍්‍රකාශය, සෞන්දර්යය සහ කලාව පිළිබඳවත්, ඒවා සහ ජන සමාජය අතර ඇති සම්බන්ධය පිළිබඳවත්, මතු කරන මූලික ගැටලූ කිහිපයක් විමසීමට මුල පිරීමට මෙම සටහනින් උත්සාය කරමි.

1. සෞන්දර්යය සහ ජන ජීවිතය
සෞන්දර්යය යනු සාමාන්‍ය ජන ජීවිතයෙන් වෙන් කොට ගොඩ නංවන ලද්දකැයි කීමේ දී x කණ්ඩායම ‘සෞන්දර්යය‘ යනුවෙන් අදහස් කරන්නේ සෞන්දර්ය විද්‍යාව(aesthetics) යන්න මිස, සුන්දරත්වය හා සමබන්ධ යන්න(aesthetic) විය නොහැකිය. මන්දයත්, සෞන්දර්ය විද්‍යාව නොහොත් රසඥානය යනුවෙන් හැඳින්වෙන, සුන්දර දේ අධ්‍යයනය කිරීම (The study of the beautiful) හා බැඳුණු දාර්ශනික/න්‍යායික අදහස් කෙසේ වෙතත්, එම සංකල්පීය ගොඩනැංවීම‘වලට පවා පාදක වන සුන්දරත්වය පිළිබඳ අත්දැකීම සහ ඉන් ලබන වින්දනය මානව ඉතිහාසයේ ආදි කල සිටම සාමාන්‍ය ජන දිවිය හා බැඳී තිබුණු බව ප්‍රකට හෙයිනි.

සෞන්දර්ය විද්‍යාවෙන් කෙරෙන්නේ සෞන්දර්යය නැතහොත් රමණියත්වය (beauty) අධ්‍යයනය කිරිමය. නමුත්, සුන්දර, රමණීය දෙයින් වින්දනයක් ලැබීමට සෞන්දර්ය විද්‍යාවේ පුහුණුවක් ලැබීම අවශ්‍ය නැත. සුන්දරත්වය විඳිම සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යන්ත අංගයක්ව පැවත ඇති බව සාම්ප්‍රදායිකව ජන කලාකරුවාට ජන ජිවිතයේ හිමිව තිබී ඇති වැදගත් ස්ථානයෙන් පෙන්නුම් කෙරෙයි.

තවද, සෞන්දර්යය පිළිබඳ දාර්ශනික අදහස්ම පවා වුව, හුදෙක් සුන්දර දේ අධ්‍යයනය කිරීමට සීමා නොවී, සෞන්දර්යය සහ මිනිස් ජීවිතය අතර ඇති සම්බන්ධය විමසා බැලීමට ද යොමු වී තිබේ. කාන්ට් සෞන්දර්යය හා මිනිස් ජීවිතය පිළිබඳ පළ කොට ඇති අදහස් වටා ලොව ගොඩනැගී ඇති දාර්ශනික/න්‍යායික අදහස් සමුදාය මීට උදාහරණයකි.

‘අපි දේශපාලන විනිශ්චයේ සීමාවන තුළ සුන්දරත්වයට ඇලූම් කරන්නෙම්‘ යන පුරාණ ග‍්‍රීක රාජ්‍යතාන්ත‍්‍රික පෙරික්ලීස්ගේ ප‍්‍රකාශය, සෞන්දර්යයත්, ජන ජීවිතයත් අතර ඇති සම්බන්ධයේ වඩාත්ම ප‍්‍රබල මානය මතු කරන බව මගේ අදහසයි. එහෙයින්ම, එය කෙටියෙන් හෝ මෙහි ලා ඉදිරිපත් කළ යුතුය.

හනා අරෙන්ඞ්ට් ‘සංස්කෘතියේ අර්බුදය‘( Crisis in Culture) ලිපියේ පැහැදිලි කරන පරිදි, මිනිසා සුන්දරත්වය විඳීමට මුල්වන්නේ කිසියම් වස්තුවක් අපට දෘශ්‍යමාන වන ආකාරය, එනම් එය රමණීය ද, අශෝභන ද නැතහොත් ඒ දෙකට මැද පිහිටියක් ද යන්න මිල, එම දෙයෙහි ප‍්‍රයෝජන අගය නොවේ. එනිසාම, එම වින්දනය අගති විරහිත ප‍්‍රමෝදයක් ලෙස හැඳින්වෙයි. යමක් එහි හුදු ප‍්‍රයෝජ්‍ය-වටිනාකමින් මැනීම පිලිස්තීනුවාදය නොහොත් අවරසිකභාවයයි. වස්තූන්, සාමාන්‍යයෙන් ප‍්‍රයෝජනයට ගැනෙන වස්තූන් ම පවා එහි රමණීයත්වය නොසලකා, හුදෙක් එහි ප්‍රයෝජ්‍ය අගයෙන් විනිශ්චය කරන්නට අපට සිදුවිණි නම් අපේ ඇස් අපේ දෑතින්ම උගුල්ලා දමන්නට වනු ඇතිව තිබිණි. මෙලෙසින් ගත් කළ සුන්දරත්වය යනු අපට දෘශ්‍යමානවීමම හුදු අරමුණ කොට ගෙන නිපදවෙන දෙය කලා කෘතිය නම් වෙයි.

අරෙන්ඞ්ට් පෙන්වා දෙන පරිදි, රමණීයත්වයට ක‍්‍රියාකාරී සම්බන්ධයක් දක්වමින් එය මානවීයකරණය කරමින් සංස්කාතිය නිර්මාණය කිරීමට අවශ්‍ය දේශපාලන සාමාර්ථ්‍යයට අප රුචිය (taste) යැයි කියමු. මිනිසාට සංස්කෘතික ලෝකයක් අවශ්‍ය වන්නේ තම මරණීය ජීවිතයෙන් මතුවටත් තම ලෝකය අමරණීයව පවතින දැකීමේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමටය. මෙම අමරණීයත්වය ප‍්‍රකාශයට පත්වන රමණීයත්වයෙන් තොරව මිනිසාට මිහිපිට ජීවිතය හුදෙක් නිරර්ථක වනු ඇතිව තිබිණි. ‘දේශපාලන විනිශ්චයේ සීමාවන් තුළ සුන්දරත්වයට ඇලූම් කිරීම‘ පිළිබඳ පෙරික්ලීස්ගේ ප‍්‍රකාශය අර්ථවත් වන්නේ මේ පසුබිම තුළය. මා දකින පරිදි මෙම සංස්කෘතික ලෝකය රැක ගැනීම සඳහා අවකාශය සකස් කිරීම ජන සමාජය තුළ කෙරෙන දේශපාලන ක‍්‍රියාවලියක් මිස, සෞන්දර්ය අධ්‍යාපනයෙන් හෝ පුහුණුවෙන් කළ හැක්කක් නොවේ.

කාන්ට්ගේ අදහසක් මත අරෙන්ඞ්ට් තවදුරටත් පැහැදිලි කරන පරිදි රුචිය අයත් වන්නේ විනිශ්චය කිරීමේ සාමාර්ථ්‍යයටය. අප ලෝකයට ඇති ඇල්ම ප‍්‍රකාශ කරන්නේ රුචිය තුළිනි. රමණීය වස්තුවක අගය මැනීමේ විනිශ්චය වන රුචිය දේශපාලන සාමාර්ථ්‍යයක් වන්නේ, එහමිදී යමෙකුට හුදෙක් තම දෘෂ්ටි කෝණයෙන් පමණක් නොව, තමා අයත් වන ප‍්‍රජාවේ, සාමුහිකයේ සියල්ලන්ගේම පර්යාලෝකයෙන් එම විනිශ්චයට එළඹීම අවශ්‍ය හෙයිනි. මෙබඳු විනිශ්චයක් සඳහා ඇති හැකියාව යමෙකුට මහජන තලයේ තමා ගත යුතු දිශානතිය සොයා ගැනීමට පිහිට වෙයි. ඒ සඳහා ඇති හැකියාවට ග‍්‍රීකයෝ phronesis යැයි කීහ. සිංහලෙන් මීට සමීප වන අරුත් නම් විචක්ෂණභාවය, දූරදර්ශීබව සහ අර්ථ සිද්ධි ඥානය යන ඒවායි. ඉංග‍්‍රීසියෙන් මීට සමීප පද නම් practical reason සහ prudence යන ඒවාය. මෙම අන්තර් දැක්ම (insight) දාර්ශනික/න්‍යායික හැකියාවක් මත නොව සාමාන්‍ය බුද්ධිය (common sense) මත පදනම් වූවකි. මෙලෙස කෙරෙන විනිශ්චය නැතහොත් රුචිය දැක්විම, අන් අය සමග ලෝකය බෙදා හදා ගැනීම සිදු කෙරෙන වැදගත්ම ආකාරයයි. සුන්දරත්වය සහ දේශපාලනයත් එනිසාම ජන ජීවිතයත් අතර ඇති සම්බන්ධය එබඳු යැයි යෝජනා කළ හැක.

11 බටහිර න්‍යායයෙන් මිදීම

මේ මාගේ සඳයි
මේ මාගේ සඳයි

හඳගම, බටහිර සෞන්දර්ය සහ සිනමා න්‍යායයන්ගෙන් මිදී තම නිර්මාණය කර ඇතැයි අවධාරණය කිරීමෙන් x කණ්ඩායම අදහස් කරන්නේ මෙතෙක් කල් ලංකාවේ සිනමාවේ අධිපතිභාවය දැරුවේ බටහිරින් ආ සෞන්දර්ය/සිනමා න්‍යායයන්ය යන්න විය යුතුය. නොඑසේව බටහිර ඒවාට ප‍්‍රතිපක්ෂව හඳගම පෙරදිග න්‍යායයන් යොදාගනී යන්නවිය නොහැකිය. මන්ද x කණ්ඩායමට අනුව හඳගම සියලූ ආකාරයේ සංකල්ප අගතීන්ගෙන් මිදී තම චිත‍්‍රපටය නිපදවා ඇති හෙයිනි.

එසේ වුවද, මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීමේ දී කලාකරුවකු වශයෙන් හඳගමගේ නිර්මාණශිලිත්වය හුදෙක් සෞන්දර්ය/සිනමා න්‍යයයන්ගෙන් මිදීම යැයි x කණ්ඩායම කියන්නේ යැයි අපට සිතිය නොහැකිය. මන්දයත්, අප එසේ සිතුවහොත් හඳගමගේ කලා නිර්මාණයෙන් ප‍්‍රකට කෙරෙන කලාත්මකභාවය අප තේරුම් ගන්නේ කෙසේද? යන ගැටලූව මතුවන හෙයිනි.

හොලිවුඞ් සිනමාවේ මූලධර්මවලට එරෙහිව යාමත්, සිනමා ශිල්පයේ මූලිකම, සරල තාක්ෂණය යොදා ගැනීමත්, තම චිත‍්‍රපටයේ සූවිශේෂ ලක්ෂණ ලෙස හඳගම විසින්ම හඳුනාගෙන ඇත (මෙම සටහනේ සඳහන් හඳගමගේ අදහස් සඳහා බලන්න www. thisismumoon.com වෙබ් අඩවිය සහ 2001 ජුනි 17, Sunday Island පුවත්පත). හිතාමතාම බටහිර සෞ න්දර්යය/සිනමා න්‍යායයන්ට එරෙහිව යාමේ උත්සාහය තුළම, සංකල්පීය වශයෙන්, ඔහු එම න්‍යායයන් සමගම තවදුරටත් බැඳී නොසිටින්නේද? යන ගැටලූව ද මෙහිදී මතුවිය හැක. අනෙක් අතට, ඇමෙරිකාවේ අධිපති වානිජ සිනමාව වන හොලිවුඞ් සිනමාවේ ශිල්ප ක‍්‍රමවලට හෝ න්‍යායයන්ට එරෙහිව යෑම අත්‍යවශ්‍යයෙන්ම බටහිර සෞ න්දර්ය/සිනමා න්‍යායයන්ගෙන් මිදීමක් සනිටුහන් කරන්නේ ද යන්න අපැහැදිලිය. හොලිවුඞ් සිනමාවට එරෙහිව යන චිත‍්‍රපට වෙනත් බටහිර රටවල පමණක් නොව, ඇමෙරිකාවේම පවා නිපදවෙන්නේ නැතැයි අපට කිව හැකිද?

තවද, සිනමාවේ දියුණු ශිල්පක‍්‍රම බටහිර උපත ලද හෙයින්ම නිශේධනාත්මක යැයි අපට කිව නොහැකිය. එම ඇතැම් ශිල්පක‍්‍රම එක් අතකින් ප‍්‍රබන්ධ සාහිත්‍යයේ කලාකරුගේ පරිකල්පනය සිනමාව තුළ ප‍්‍රතිනිර්මාණය කිරීමක් යැයි යෝජනා කළ හැකිය. ශිල්පක‍්‍රම ඒවා විසින්ම යෝග්‍ය හෝ අයෝග්‍ය නොවේ. ඒවායේ යෝග්‍ය අයෝග්‍යභාවය රඳා පවතින්නේ චිත‍්‍රපට නිර්මාණකරු කියන්නට අදහස් කරන දේ වඩාත් සාර්ථක ලෙස කීමට වඩාත්ම උචිත ශිල්පය කුමක් ද යන්න මතයි. එනම් අන්තර්ගතය සහ ආකෘතිය අතර ඇති (සෞන්දර්යාත්මක?) සම්බන්ධය මතයි. ඉතින්, හඳගම හොලිවුඞ් සිනමාවේ ශිල්ප ක‍්‍රමවලට එරෙහිව යන්නේ හුදු බටහිර න්‍යාය විරෝධයකින් නොව තම චි.‍්‍රපටයේ අන්තර්ගතයට, ඉන් කියැවෙන ආඛ්‍යානයට වඩාත් උචිත එම ප‍්‍රාථමික , මූලික, සරල සිනමා ශිල්පයැ‘යි යන අදහස මත නම්, එම විනිශ්චය, සෞන්දර්යය පිළිබඳව හඳගමට ඇති න්‍යායික පදනමක් මත ගොඩ නැගීමට ඇති ඉඩකඩ ගැන අපට සිතා බැලිය හැකිය. හඳගමගේ චිත‍්‍රපටයේ ශිල්පීය මටසිලූටු කිරීම්වලින් තොරව, රූප සෘජුව පිරිද්දීම සහ රූපරාමු ස්ථිතිකව ඉදිරිපත් කිරීම දැකිය හැකිය. ඒ තුළින්, චිත‍්‍රපටයේ එන ආඛ්‍යානය සහ චරිතවල අත්දැකීම් සමග සම නොවැදී ඉන් දුරස්ථ කොට තමා දකින දේ පිළිබඳව අවලෝකනයට පේ‍්‍රක්ෂකයාට බලකෙරෙන්නේ යැයි අප යෝජනා කළහොත් ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙක්ට් විසින් වේදිකා නාටක සම්බන්ධයෙන් අවධාරණය කෙරුණු, ඉපැරණි ග‍්‍රීක නාටකයේ පේ‍්‍රක්ෂකයා සෘජුව ඇමතූ ගායන වෘන්දය තුළින්ම පවා ගොඩ නැගුණු, විලෝපනය (alienation) වැනි සෞන්දර්යාත්මක මූලධර්මයක් හඳගම මෙහිදී යොදා ගෙන ඇතැයි අපට කිව නොහැකි ද?

‘මේ මගේ සඳයි‘ හි සිනමා ශිල්පය පිළිබඳව සලකා බලන කල, පෙනී යන කරුණ නම් සිනමා න්‍යායයන්ගෙන් මිදී කෙසේ වෙතත්, සිනමා න්‍යායයන් වෙත හොඳින් අවධානය යොමු නොකොට මෙවැනි චිත‍්‍රපටයක් තැනීම උගහට බවය. අධ්‍යක්ෂවරයාම ප‍්‍රකාශ කොට ඇති පරිදි (බලන්න, ඉහත සඳහන් මූලාශ‍්‍ර) ඔහු තම චිත‍්‍රපටයට සූවිශේෂ සිනමා ශෛලියක් යොදාගෙන ඇත.

‘හඳගම, පළමු වතාවට සියලූ සංකල්ප අගතීන්ගෙන් මිදී චිත‍්‍රපටයක් තනා ඇත‘ යන්නේ තේරුම නිසැකවම හඳගමගේ ජීවිතයට ද මෙතෙක් ආභාසයක් වූ හඳගම හැදුණු වැඩුණු ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ මෙතෙක් ප්‍රචලිතව පැවත විත් ඇති බටහිර/පෙරදිග සියලූ සෞන්දර්ය න්‍යායයන්ගෙන්/සංකල්පයන්ගෙන් නිදහස්ව මෙම චිත‍්‍රපටය නිපදවීය යන්න නම් එම අදහස හඳගමගේ චිත‍්‍රපටය තුළත්, චිත‍්‍රපටය ආශ‍්‍රිත හඳගමගේ සංකල්ප ලෝකය තුළත්, අපට කොතෙක් දුරට සනාථ කළ හැකිද?

සිනමාව පිළිබඳ මා සතු සාමාන්‍ය දැනීමට අනුව වුව නිරීක්ෂණය කළ හැකි කරුණක් නම්, ඉහත සඳහන් කළ රූප පිරිද්දීමේ දී සහ රූප රාමුවේ ගතික-ස්ථිතික ස්වභාවය තීරණය කිරීමේ දී මෙන්ම, සෞන්දර්යය පිළිබඳව කලාකරුගේ පූර්ව විනිශ්චයන්ගේ මග පෙන්වීම හෙළිදරව් කරන තවත් අංග චිත‍්‍රපටයක තිබේ. මේවා අතර රූප රාමුගත කිරීම, සංස්කරණය සහ සංගීතය ප‍්‍රධාන ලෙස මම දකිමි.

චිත‍්‍රපටයක රූප රාමු අධ්‍යක්ෂවරයා විසින් රචනය කෙරෙන ඒවාය. අධ්‍යක්ෂවරයාගේ අපේක්ෂාව පරිදි ඔහුට අවශ්‍ය පරිදි පේ‍්‍රක්ෂක අවධානය යොමු කෙරෙන අයුරින්, කැමරාව තබන ස්ථානය නිශ්චය කොට, රූපයේ පරිමාණය, සමීප-මැද-දුර රූපවලින් නිර්ණය කොට, උචිත කැමරා කෝණවලින්, නිශ්චිත බැල්මකින් (gaze) නැතහොත් දෘෂ්ටි කෝණයකින්, දර්ශන රූපගත කෙරෙයි. එපමණක් නොව, එක් එක් රූපය තුළ රග දෙන චරිත, පසුබිම, එම රූපයට අයත් වන වෙනත් භාණ්ඩ හෝ සියලූම ද්‍රව්‍යමය දැ ස්ථාන ගත කිරීම, ඒවායේ චලනය පවා අධ්‍යක්ෂගේ අවශ්‍යතාව අනුව සිදු කෙරෙයි.

චිත‍්‍රපටය සංස්කරණය නැතහොත් සමෝධානයේ දී සිදුවන්නේ බාහිර ලෝකයේ යථාවක් නැවත එපරිද්දෙන්ම ප‍්‍රතිනිර්මාණය කරමින්, එම යථාව පිළිබඳ වෙන් වෙන්ව ගත් රූප හුදු එකට පිරිද්දීමක් නොවේ. සුප‍්‍රසිද්ධ සෝවියට් සිනමා අධ්‍යක්ෂ සෙර්ගේයි අයිසෙන්ස්ටයින් දක්වා ඇති පරිදි සමෝධනයේ දී සිදුවන්නේ, යථාව කලාකරු (අධ්‍යක්ෂ) ගේ ‘සවිඥානය සහ භාවයන් තුළින් දුටු ලෙස සහ නිර්මාණශිලී ලෙස පිළිබිඹුවන ආකාරයට‘ රූපවල අනුපිළිවෙලක් සකස් කිරීමකි.

FulPicture1

චිත‍්‍රපටයක සංගීතය හා ශබ්ද/හඬ උපයෝගී කරගැනීමේ අරමුණ වන්නේ ද, කලාකරු චිත‍්‍රපටයේ ආඛ්‍යානයෙන් සහ රූපවලින් නිර්මාණය කරන දෙයින් ගම්‍ය වන අරුත් තීව‍්‍ර කිරීම හෝ ඛණ්ඩනය කිරීමය. චිත‍්‍රපටයේ වර්ණ රචනයේ ද ඇත්තේ මේ හා සමාන අරමුණකි. එක් එක් රූපය සැකසෙන නලූ නිළි ඇඳුම්-පැළදුම්, පසුබිම් තල සහ දර්ශන ආදියේ වර්ණ රචනය ද දක්ෂ අධ්‍යක්ෂවරයා තමාගේ කලාත්මක අරමුණු මුදුන් පමුණුවා ගැනීමට දැනුවත්ව යොදා ගන්නවා නිසැකය.

මට මෙහිලා අවධාරණය කරන්නට අවශ්‍ය කරුණ නම්, මේ සියලූ කටයුත්තකදීම, දක්ෂ සිනමා කලාකරුරෙග් තෝරා ගැනීම්වලට, විනිශ්චයන්ට පදනම් වන්නේ අධ්‍යාපනයෙන් හෝ පුහුණුවෙන් හෝ වේවා ජිවන අත්දැකීමෙන් හෝ වේවා තමා උකහාගත් සෞන්දර්යය පිළිබඳ සංකල්ප මත ගොඩනගා ගත් පූර්ව විනිශ්චයන් බවයත එනම්, දක්ෂ කලාකරුවා තම නිර්මාණය පේ‍්‍රක්ෂකයාගේ චිත්තවේගයන් සහ හැගීම් මත කුමන ආකාරයක බලපෑමක් කළ යුතුද යන්න පිළිබඳව කල් තබා ගොඩනගා ගත් පූර්ව විනිශ්චයන් මත, එම අරමුණ සාක්ෂාත් කරගැනිම සඳහා තම චිත‍්‍රපටයේ ඉහත කී මෙන්ම නොකී හැම අංගයක්ම ඉතා සූක්ෂ්ම ආකාරයට තම අභිමතය පරිදි නිර්මාණය කරන්නට පෙළඹෙන බවයි.

කලාකරුවා සෞන්දර්යය පිළිබඳව ගොඩ නගාගෙන තිබෙන සංකල්ප කලා කෘතිය නිර්මාණය කිරීත්‍ම් දී කොතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවාද යන්න තවදුර පැහැදිලි කිරීමට පේ‍්‍රක්ෂකයාත් සිනමා කෘතියත් අතර ඇති සම්බන්ධය වඩාත්ම ප‍්‍රබලව දැකිය හැකි අංගය වන චිත‍්‍රපටයේ ආඛ්‍යානය පිළිබඳව ද අපි කෙටියෙන් වුව විමසා බලමු.

චිත‍්‍ර කලාව හා වැනි අනෙකුත් ප‍්‍රකාශන කලාවන් හා සසඳන කල සිනමාව හුදු ආත්ම ප‍්‍රකාශන මාධ්‍යයකට වඩා සූවිශේෂයෙන්ම ප්‍රෙක්ෂක සමූහයා අරමුණු කොට ගොඩ නැංවෙන බව පෙනී යයි. වාණිජමය කරුණු ද එක්ව ගත් කළ, වර්තමානයේ දී එය පේ‍්‍රක්ෂකයන් විශාල පිරිසකට කලාකරුගේ ‘ආත්ම ප‍්‍රකාශනය‘ සන්නිවේදනය සඳහා යොදා ගැනෙන කලා මාධ්‍යයකි. මේ අරුතින් ගත් කළ පේ‍්‍රක්ෂක අවධානය තමා වෙත දිනාගැනීම සහ රඳවා ගැනීම සිනමා කලාකරුවා මුහුණ දෙන අභියෝගයයි.

සාර්ථක චිත‍්‍රපටයක ආඛ්‍යාන ව්‍යුහය හෝ නිර්මිතය, එහි දර්ශන පෙළගැස්ම ද ඇතුලූව, එය අඩංගු කොටගත් නාට්‍යමය සංචලනය නිසාවෙන් එහි හැම පියවරක් පාසාම පේ‍්‍රක්ෂකයාගේ චිත්වේග සහ හැඟීම් මත ඇති කරන බලපෑම ඉමහත්ය (මෙහිදී ආඛ්‍යානය හෝ කථාන්දරය යන්නෙන් අදහස් කරන්නේ ජනප‍්‍රිය භාවිතයේ දී අප කථාන්දරය යැයි හඳුන්වන සරල ව්‍යුහයම නොව, ආඛ්‍යාන ශෛලියෙන් ඉදිරිපත් කරන පේ‍්‍රක්ෂක ප්‍රථිචාර ජනනය කෙරෙන කුමන හෝ අවස්ථා/සිදුවීම් සමූහයක් යැයි ගත හැකිය). හැම සාර්ථක අධ්‍යානයකම, දක්ෂ කථාන්දර කීම තුළ නිසගයෙන් දැකිය හැකි, අනාවරණය වන නාට්‍යමය අවස්ථා රැගත් නාට්‍යමය ව්‍යුහයක ඇති සොන්දර්යය දැකිය හැකිය. මෙහි ප‍්‍රපිඵලය, පේ‍්‍රක්ෂකයාත් හවුලේ බෙදාගන්නා සංස්කෘතියකින් ඇති කෙරෙන රස ජනනය මතය. මෙම ‘සෞන්දර්යවාදී‘ විග‍්‍රහය ‘මේ මගේ සඳයි‘ චිත‍්‍රපටයට අදාළ නොවන්නේ යැයි තර්ක කරන්නට නම්, අශෝක හඳගම විසින්ම දක්වා ඇති පරිදි ඔහුගේ චිත‍්‍රපටයට පේ‍්‍රක්ෂකයා අවසානය දක්වාම ඇද-බැඳ තබාගන්නට තිබූ ඔහුගේ අපේක්ෂාව, සාර්ථක වී නම් ඒ කුමක් නිසාදැයි, එම චිත‍්‍රපටය තුළම තබා කරුණු පෙන්වීම අවශ්‍ය වෙයි.

හඳගම සෞන්දර්යය පිළිබඳව ගොඩනගා ගත් සංකල්පීය පූර්ව විනිශ්චයන් මත පදනම්ව තම චිත‍්‍රපටය නිර්මාණය කර ඇත්ද? නැත්ද? යන්න විමසීමේ දී නොසලකා හැරිය නොහැකි තවත් කරුණු දෙකකි. ඉන් එකක් නම් හඳගම තම ජීවන අත්දැකීම තුළ තම සංස්කෘතියෙන් සෞන්දර්යය පිළිබඳව ලැබූ ආභාසයයි. දෙවැන්න, ඔහුම ‘මේ මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව කථාබස් කරන ආකාරයෙන් ප‍්‍රකට වන සෞන්දර්යය පිළිබඳ ඔහුගේ කථිකාවයි.

හඳගම තම ජීවිතය තුළ සෞන්දර්යය පිළිබඳව ලැබූ ආභාසයන් අතර, මිනිසාට පොදු ජීවන ආභාසය හැරුණු විට, කුඩා කල සිට නාට්‍ය කලාවට සම්බන්ධ වීමෙනුත්, පසු කලක නාට්‍ය නිෂ්පාදනයේ නිරතවීමෙනුත් ලැබූ අත්දැකීම් පිළිබඳව ඔහුම සඳහන් කොට ඇත. මීට අමතරව, විවිධ කලා කෘතීන් අත්විඳින්නට ඔහුට ලැබුණු අවකාශය ද ඔහුගේ සෞ න්දර්ය ආකල්පයන් හැඩ ගැස්වීමෙහි ලා වැදගත් වූ බව අපට සිතාගත හැක. ඔහුට එවැනි සංකල්ප ලෝකයක් ඇති බව ‘මේ මගේ සඳයි‘ චිත‍්‍රපටය පිළිබඳව කථා කිරීමේ දී ඔහු දක්වා ඇති අදහස්වලින් ප‍්‍රකට නොවන්නේද?

මෙම කථාබහේ දී, ජන සංස්කෘතිය(folk culture) සහ පෘථග්ජන සංස්කාතිය (මෙම සිංහල යෙදුම ලේඛකයාගේය) (mass culture) අතර ඇති සම්බන්ධය දකින හඳගම, සාරගර්භ චිත‍්‍රපට නිර්මාපකයෙකු වීමේ අභියෝගය පිළිබඳව ද සඳහන් කරයි. ශ‍්‍රී ලංකාවේ කලා පේ‍්‍රක්ෂකයන් සැබෑ කලා පේ‍්‍රක්ෂකයන් නොවන බවත්, ඔවුනට සාරගර්භ කලාව පිළිබඳව මූලික ඥානය නොමැති බවත්, මෙම ඥානය උගත යුතු එකක් බවත්, අපේ රුචීන් ඒකාකාරී හා පැතැලි ඒවා බවත් ඔහු කියයි. හඳගමගේ මේ අදහස් සහ ඔහු මේ දිනවල මාධ්‍ය මගින් පළකරන වෙනත් අදහස්වලින් ද මට පෙනී යන්නේ, හඳගමට සෞන්දර්යය පිළිබඳව ගොඩනගා ගත් අදහස් සමුදායක්, ඇති බවයි.ඉතින් x කණ්ඩායම කියන පරිදි හඳගම තමා ලද කුමන හෝ සෞන්දර්යාත්මක පුහුණුවත්, ඊට වඩා වැදගත්ව ජීවන අත්දැකීමෙන් වර්ධනය කරගත් සෞන්දර්යාත්මක සූක්ෂමාත්මතාවන්ගෙනුත් (sensibilities) ඔහු දැනුවත්ව දුරස්ථ වී ඇති බවක් ඉහත තොරතුරු ආශ‍්‍රයෙන් ප‍්‍රකාශ වන්නේද? x කණ්ඩායම කියන්නේ ඉහත අදහස්වලින් ගම්‍ය වන සෞන්දර්යාත්මක අවබෝධය හඳගම චිත‍්‍රපටය නිර්ණායට යොදා ගෙන නොමැති බව විය නොහැකිය. මන්දයත්, ඔහු මෙම අදහස් පළකොට ඇත්තේ මෙම චිත‍්‍රපටය ගැන කෙරෙන කතාබහ තුළදීම හෙයිනි. එසේ නම් මේ අදහස් අයිතිවන්නේ කුමන කථිකාවකටද? එය සෞන්දර්යය කථිකාවක් විය හැකිද? එය කුමක්ද? අශෝක හඳගම දැනුවත්ව හොලිවුඞ් සිනමාවට එරෙහිව යෑමේ දී ඔහු නැඹුරු වන දිශාව පිළිබඳ ඉඟියක්, මෙම චිත‍්‍රපටයේදී තමා යොදාගත් ස්ථිතික රූප රාමුවල රිද්මය බෞද්ධ පන්සල්වල ඇති සාම්ප‍්‍රදායික බිතු සිතුවම්වල දක්නට ඇති රිද්මය යැයි ඔහු කීමෙන් පළවෙයි. ඉන් කියැවෙන්නේ, හඳගම තම සිනමා ශෛලීය ගොඩනගා ගැනීම සඳහා දේශීය සංස්කෘතික මූලයන් ගවේෂණය කරන බවක් නම්, ඉන් ගම්‍ය කෙරෙන සෞන්දර්යාත්මක සම්බන්ධතාව ගැන සිතිය යුතු වෙයි. බටහිර සිනමාවට ප‍්‍රතිපක්ෂව ආසියාතික සිනමාවක් ගැන අදහස් මීට පෙර ජපන් හා ඉන්දීය චිත‍්‍රපට ආශ‍්‍රයෙන් මතුවී ඇත. සමහර විචාරකයන්ට අනුව, ජපන් චිත‍්‍රවල මෙන්ම ජපන් චිත‍්‍රපටවලත් රූප රචනයේ ගැඹුරක් (depth) දක්වන පර්යාලෝකයක්(perspective)නැත. ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්ෂ සත්‍යජිත් රායිගේ චිත‍්‍රවල මෘදු, නිවිහැනහිල්ලේ යන, සහ ගැඹුරු කාරුණික ලක්ෂණ පෙන්නුම් කරන ඔහුටම සූවිශේෂ වූ පෞද්ගලික ශෛලියක් දක්නට ඇතැයි විචාරකයන් නිරීක්ෂණය කර ඇත.

© ‘කතිකා‘ අධ්‍යයන කවය. සියළු හිමිකම් සපුරා ඇවිරිණි.
උපුටා පළ කිරීම තහනම්.

Advertisements