පසුගිය ජනාධිපතිවරණය පුරවැසි දේශපාලනය සක‍්‍රීය වුණ අවස්ථාවක් – කුමුදු කුසුම් කුමාර

Image (2)

පසුගිය ජනාධිපතිවරණය තවත් එක් මැතිවරණයක් ද? නැතිනම් සමාජ විද්‍යාත්මකව දක්වන විශේෂත්‍වයන් මොනවා ද?

පැහැදිලි හේතු කීපයක් නිසා විශේෂ මැතිවරණයක්. පැවැතිච්ච පාලනය පරාජය කරන්න මිනිසුන් තුළ තිබුණු බලවත් අවශ්‍යතාවක් ප‍්‍රකාශයට පත් වුණ මැතිවරණයක් ඒක. මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ යුද්ධය අවසන් කළ පසු සහ එයට පෙර කරපුවත් මීට සම්බන්ධයි. ලංකාවේ බුද්ධිමතුන්, පුරවැසි සංවිධාන, සිවිල් සමාජය පමණක් නොවෙයි, ජනතාවගෙන් බහුතරයකට මේ පාලන ක‍්‍රමය ඉවත් කරන්න අවශ්‍යව තිබුණා. එල්.ටී.ටී.ඊ, ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කළ ජනාධිපති පරාජය කෙරෙන අවස්ථාවක්. දේශපාලන විද්‍යාව දන්න අය අතර පිළිගැනීමක් තියෙනවා, යුද්ධයක් දිනුවට පස්සේ ඒ වන විට රටක සිටි නායකයා බලයෙන් ඉවත් කළ යුතුයි කියලා. පශ්චාත් යුද සමයේ රට පාලනයට එවැනි නායකයකු සුදුසු නෑ. සාමාන්‍ය ජනතාව 2010දී ඉහළින් ම මහින්ද රාජපක්‍ෂ දිනවලා මේ අවස්ථාවේ දී පරාජය කරන්න පෙළඹෙන්නෙ එබඳු දේශපාලන විද්‍යාත්මක අවබෝධයකින් නොවෙයි. කොහොම හරි යුද්ධය දිනූ ජනාධිපති මේ වර පරාජය කිරීම එක පැත්තකින් ත‍්‍රස්තවාදයට විරුද්ධ වෙච්ච ජනතාවට ගැටලූවක්. එබඳු තත්ත්වයක් තිබිය දී ජනතාව හැටතුන් ලක්ෂය ඉක්ම වූ ජනතාවක් ඡන්දය පාවිච්චි කරලා ඔහුව පරාජය කිරීම විශේෂත්‍වයක්.

තව වැදගත්කමක් තමයි, නීතියේ පාලනය නැවත රටේ ස්ථාපිත කිරීමේ බලවත් අවශ්‍යතාවක් මතු වීම. ඒ වෙනකොට රටේ පාලනය සම්පූර්ණයෙන් නීතියක් නැති තත්ත්වයකට පත්ව තිබුණා. විධායක බලය එක පැත්තකින් ජනාධිපති අතේ තබාගෙන ඔහු වටා සිටින පවුලක් සහ කූට්ටාලි ධනවාදී කණ්ඩායමක් අත දේශපාලන බලය තිබෙන අතර, ගම් මට්ටමේ සිට නීතියේ බලයක් අත් කරගෙන තිබුණා. එතකොට යුද අධිපතියෙක් සහ ද්වීතීය, තෘතීය බලයට දක්වා ම යුද අධිපති බලය සහිතව පාලනය කරන රටාවක් තිබුණා. දේශපාලන බලය, ආයුධ බලය සහ ඒ වාගේ ම නීතියත් සම්පූර්ණයෙන් ම තමන්ගේ යටතට ගෙන තිබුණා. විශේෂයෙන් ම නීතියේ පාලනය නැති වීම සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජීවිතවලට ඉතා තදින් බලපෑවා. ඔවුන්ට කිසි ම පිළිසරණක් නැතිව ගියා. පෞද්ගලික හෝ සමාජයීය කටයුතුවල දී සහනයක් ලබා ගන්න තැනක් නැතිව තිබුණා.
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාවට නිදහස ප‍්‍රදානය කළාට පස්සේ 1956 දී කඩඉම් මැතිවරණයක් පැවැත්වුණා. අධිරාජ්‍යවාදීන් යටතේ පීඩනයට ලක්ව හිටපු දේශීය ගැමි සමාජ කොටස් කිසියම් ප‍්‍රමාණයකට දේශපාලන ධාරාවට මුදා හැරුණේ 1956 දී. ඊට පස්සේ තීරණාත්මක මැතිවරණය වුණේ 1977 මැතිවරණය. එහි දී ජේ. ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලබාගෙන 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති බලය තහවුරු කර ගැනීම දක්වා ලංකවේ සමාජය වෙනස් කරනවා. ඒ වාගේ ම විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දෙනවා. ඒ අනුව රටේ සමාජ, ආර්ථික, දේශපාලන ක‍්‍රමය වෙනස් මඟකට යොමු කරනවා. ඊට පස්සේ ජනවාරි 08 වැනිදායින් නිරූපණය වෙන්නේ ජේ. ආර්. ජයවර්ධන ඇති කරපු වෙනස ආපසු හැරවීමේ අධිෂ්ඨානයක්.
විවෘත ආර්ථිකයට විරුද්ධව දිගටම අරගලයක් තිබුණා. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ගෙනා සටන් පාඨය වුණේ ‘මානුෂික මුහුණුවරක් සහිත විවෘත ආර්ථිකයක්” හඳුන්වා දෙන බව. ඒකෙන් පෙන්නුම් කරන්නේ ජනතාවගේ තිබූ විරෝධය තේරුම් ගැනීමයි. ඊට පස්සේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයාත් ක‍්‍රමක‍්‍රමයෙන් පිළිගත්තා විවෘත ආර්ථික වැඩපිළිවෙළ ඒ විදියටම ගෙනයන්න බෑ කියලා. ඒ වාගේම අනෙක් පැත්තෙන් 1978 ඇති කළ විධායක ජනාධිපති ක‍්‍රමයට එදා ඉඳලාම දිගටම විරෝධයක් ජනතාවගේ තිබුණා. විවෘත ආර්ථිකය හා විධායක ජනාධිපති ක‍්‍රමය යන දෙකම ආපසු හැරවීමේ අධිෂ්ඨානය මල්පල ගැන්වීමේ ආරම්භක පියවර වශයෙනුත් ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය විශේෂයි.

ජනතාවගේ පැත්තෙන් ආර්ථික සාධක ඉක්මවා ගිය ගුණාත්මක පියවරක් කියල හඳුන්වන්න පුළුවන් ද?

අවසාන විග‍්‍රහයේදී ඔය දෙකේම සම්මිශ‍්‍රණයක් තමයි, ඡන්දයක දී බලපාන්නේ. මිනිසුන්ට ආර්ථික වශයෙනුත් දැනුණු විශාල බරක් තිබුණා. ජේ. ආර්. ජයවර්ධන දියත් කළ විවෘත ආර්ථිකයේ මූලික අංගයක් වන්නේ ජනතාව මත අධික බදු බර පැටවීම. ඒ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වුණා. ලංකාවේ බහුතර ජනතාව උග‍්‍ර පරිපීඩිත භාවයක ඉන්නවා කියලා මම කියන්නේ නෑ. මොක ද? පරිභෝජන රටාවලත් වෙනස්කම් ඇති වෙලා. ඒ නිසා අලූතෙන් බදු බරකුත් එකතු වෙලා. මැද පාන්තික ජනතාව අතර පමණක් නොවෙයි, දිළිඳු ජනතාව අතර පවා පාරිභෝගික රටාවන්ගේ බරපතල වෙනසක් සිදු වී තිබෙනවා. මේ අතර අතිශය පීඩිත කොටසකුත් ඉන්නවා. මේ තුළ තමන්ගේ ජීවන තත්ත්වය ටිකක් ඉහළට ඔසවා ගන්නත් මිනිසුන්ට අවශ්‍යයි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඒ අපේක්‍ෂාවත් තිබුණා.
හැබැයි, තීරණාත්මක සාධක වුණේ තම නිදහස නැති වීම, නීතියේ පිළිසරණ නැති වීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය හකුළා දැමීම කියන තත්ත්වයන්. සමහරුන් කියන්නේ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය වාගේ ඒවා සාමාන්‍ය ජනතාවට ඒ තරම් වටින්නේ නෑ” කියලා. ඒක අපට පිළිගන්න අමාරුයි. අපි දන්න විදියට මේ රටට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඳුන්වා දුන් යුගයේ ඉඳලා ජනතාව සකී‍්‍රයව ඒකට සහභාගී වෙන පිරිසක්. මැතිවරණයක් කියන්නේ අපේ සමාජය ඉතාම උණුසුම් වන අවස්ථාවක්. රට පුරාම විශාල දේශපාලන සාකච්ඡාවක් දියත් වෙනවා. කුඹුරු පනත ඉදිරිපත් කරන වෙලාවේ තිස්සමහාරාම වගේ ප‍්‍රදේශවල ඒකට සහයෝගය දක්වලා මිනිසුන් පෙළපාලි යාමට තරම් සකී‍්‍රය වුණා. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ තිබෙන සීමිත පාර්ලිමේන්තු නියෝජිත ක‍්‍රමය යටතේ භුක්ති විඳින දේශපාලන නිදහස මිනිසුන් අගය කරනවා. 1942 මැතිවරණයේදී උතුර සහ දකුණ අන්ත දෙකෙන්ම වාගේම වතුකරයෙන් වාමාංශිකයන් පාර්ලිමේන්තුවට එනවා. රට පුරා වාමාංශික දේශපාලනයට කොතරම් ඇල්මක් තියේ ද යන්න මෙයින් පැහැදිලි වෙනවා. වම නොවුණත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයටත් රට පුරා ඇල්මක් තිබුණා. මේක තමයි, අපේ සාමුහික දේශපාලන ජීවිතය. ජනවාරි 08 වැනිදා මේ දෙකේම සම්මිශ‍්‍රණයක් නියෝජනය වෙනවා. ඒ වුණත්, ජනවාරි 08 වැනිදා මැතිවරණයේ දී ”අපි ආර්ථික පොරොන්දු කිසිවක් දෙන්නේ නෑ. නීතියේ ආධිපත්‍යය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස දෙනවා” කියලා කිව්වත්, මම හිතන්නේ මහින්ද රාජපක්‍ෂ පරාජය වීමට නියමිතව තිබුණා කියලා.

මැතිවරණවල දී සකී‍්‍රය ජනතා සහභාගීත්‍වයක් තිබුණාට මනාප දීමේ දී වැඩවසම් ලක්‍ෂණ පදනම් කර ගන්න බවක් පේනවා?

ඔබ කියන දේ හරි. අපි ඒක තේරුම් ගන්නේ කොහොම ද කියන එකයි ප‍්‍රශ්නය. ජේ. ආර්. ජයවර්ධන මනාප ක‍්‍රමය හඳුන්වා දුන්නේ දිස්ති‍්‍රක්ක මට්ටමින් ඡන්ද එකතු කරගෙන දිස්ති‍්‍රක්ක මට්ටමින් නායකත්‍වයට පත් වෙන්න. ඔහුට තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කිසි හැඟීමකින් මේක කළා නොවෙයි. පාර්ලිමේන්තු නියෝජන මැතිවරණ ක‍්‍රමයේ ඡන්දදායකයා සහ ඔවුන්ගේ නියෝජිත මන්තී‍්‍ර අතර තිබෙන සම්බන්ධය කඩා දමන්න ඕනෑ වුණා. එහෙම වුණාම ඡන්දදායකයාගෙන් ආණ්ඩුවට බලපෑම් කිරීමේ හැකියාව අඩු වෙනවා. දිස්ති‍්‍රක් මට්ටමෙන් පත් වෙන තමන්ගේ නියෝජිතයාට තමන්ගේ ඉල්ලීමක් බලපෑමකින් යුතුව ඉදිරිපත් කරන්නේ කොහොමද? මනාප ක‍්‍රමයේ දී පුද්ගලයාව හඳුනාගෙන ඡන්දය දෙන එක සාධනීය ලක්‍ෂණයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව හොඳ කෙනෙකු පත් කර ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ අතර, මුල ඉඳලා ම අපේ ඡන්ද ප‍්‍රකාශ කිරීමේ පදනම සකස්ව තිබෙන්නේ ‘අනුග‍්‍රාහක සේවාලාභී’ මනෝ භාවයක් පදනම් කරගෙන. ඡන්දදායකයා සහ දේශපාලනඥයා අතර ධනේශ්වර දේශපාලන සම්බන්ධය ගොඩනැෙඟන්නේ ඒ මනෝ භාවයෙන්. එදා නායකයො වුණේ වතුහිමියන්, ධනවතුන් සහ වැඩවසම් ප‍්‍රභූන් වගේ කොටස්. ඒ අනුව තමන් යටතේ සේවය කරන අය වෙන්න පුළුවන්. කුලය යටතේ ඉන්න අය වෙන්න පුළුවන්. උඩරට පහතරට යනාදී වශයෙන් වෙන්න පුළුවන්. ඒ අයගේ ඡන්ද කුට්ටි වශයෙන් ලබා ගන්න තත්ත්වයක් තිබුණා. මේ තත්ත්වය වෙනස් වෙන්නේ වාමාංශික දේශපාලනයෙන්. නමුත්, වාමාංශික දේශපාලනය තුළට පවා මේ ලක්‍ෂණ එනවා. ”එච්. ජී. එස්. රත්නවීර වැලිගමට දාන්න ඕනැ කරාව කුලයේ ඡන්ද ගන්න” කියලා කොමියුනිස්ට් පක්‍ෂය තීරණය කිරීම උදාහරණයක්. ඒ අනුව ලංකාවේ සමාජයේ තියෙන පන්ති ස්ථර, කුල බෙදීම්, අපේ දේශපාලනය තුළට ඇතුළු වීම වළක්වන්න බෑ, ආසනයට මන්තී‍්‍රවරයෙක් හිටිය කාලෙත් ඔය ලක්‍ෂණ තිබුණා.
නමුත්, දිස්ති‍්‍රක් මට්ටමේ දී මේක වඩාත් උත්සන්න වීම තමයි, දකින්න ලැබෙන ලක්‍ෂණය. මාතර දිස්ති‍්‍රක්කය නිදර්ශනයට ගත්තොත්, එක එක ආසනවල විවිධ කුලවලට අයිති ජන කොටස් විවිධ අනුපාතික මට්ටමින් ඉන්න පුළුවන්. ආසනයක එක කුලයක අය නියෝජනය කරන නියෝජිතයෙක් දිනන්න නම්, ඡන්ද ප‍්‍රමාණයේ අඩුවැඩි වීම් අනුව දිගුකාලීනව දිනන්න හෝ පරදින්න පුළුවන්. නමුත්, දිස්ති‍්‍රක් මට්ටමින් ගත්තොත්, එක කුලයකට අයිති සියලූ දෙනාට ම තමන්ගේ කුලයේ නියෝජිතයාට මනාප දීලා දිනවන්න හැකි වෙනවා. එක කුලයේ දෙන්නෙක් තරග කරනවා නම්, දෙන්න ම දිනවන්නත් පුළුවන්. පූර්ව ධනේශ්වර හෝ වැඩවසම් ලක්‍ෂණ වඩාත් තීව‍්‍රවීමේ අවස්ථාවක් සමානුපාතික ඡන්ද ක‍්‍රමයෙන් ලැබෙනවා.
අද වෙන කොට කුල ප‍්‍රශ්නය ඇරුණාම ජනවාර්ගික කණ්ඩායම්වලට ලැබෙන නියෝජනය සහ ආගමික වගේම කුඩා පක්‍ෂවලට ලැබෙන නියෝජනය දක්වා වෙනස් වෙලා තියෙනවා. ජාතික දේශපාලනයේ ප‍්‍රබල නියෝජනයක් නැති සුළු ජනවර්ග හඳුන්වන අයගේ නියෝජනය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජනතාව මූලික වශයෙන් භූගෝලීයව උතුර සහ නැගෙනහිර පලාත්වල බහුතරයක් ඉන්න අතර ලංකාව පුරා විසිරිලත් ඉන්නවා. කොළඹ වගේ දිස්ති‍්‍රක්කයක වැඩි විසිරීමක් තියෙනවා. මොවුන්ට තම ජනවර්ගයේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට අවශ්‍ය ආකාරයට උදව් කෙරෙන නියෝජිතයකුත් තිබිය යුතුයි. ධනේශ්වර නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී මේක යථාර්ථයක්. නමුත් අපි අපේක්ෂා කරන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේක නෙවෙයි.

එහෙනම් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනඟන්නේ කොහොමද?

අන්න ඒක වැදගත්. ඡන්ද දායකයාට ප‍්‍රතිපක්ෂව පුරවැසියා සක‍්‍රීයකරන සහ බලගන්වන දේශපාලනයක් අවශ්‍යයයි. කෙනෙක් කියන්න පුළුවන් ” ඕක පරම තත්වයක්” කියලා. පරම දේවල් අරගෙන තමයි බොහෝ වෙලාවට අපේ ගමන යන්න වෙන්නෙ ඒ දිශාවට. ධනේශ්වර නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන දේ තවදුරටත් තහවුරු කෙරෙන ක‍්‍රමයක් තමයි සමානුපාතික ක‍්‍රමය. ඒ මිස පුරවැසි දේශපාලනය දෙසට තල්ලූකරනන දෙයක් නෙවෙයි. මේ දෙක අතර දේශපාලනය කරන්නේ කොහොමද? කියනදේ තමයි මූලික ගැටළුව. අනික් කාරණය ජාතික මට්ටමෙන් අඩු නියෝජනයක් තිබෙන ජනවර්ගවල සාධාරණ නියෝජනයක් ලබාදෙන්නේ කොහොමද? කියන එක. ඒ අතර පුරවැසියා බලගන්වන දේශපාලනයකට යොමුවෙන්නේ කොහොමද? ආගම් වලට දේශපාලනයේ නියෝජනයක් තිබිය යුතු බවට තත්වයකුත් මතුවෙලා. දේශපාලනයේ ආගම්වලට නියෝජනයක් තිබිය යුතුද කියල මම දන්නේ නෑ. හරයෙන් ගත්තාම ආගමයි දේශපාලනයයි ප‍්‍රතිවිරෝධාත්මක යන දෙකක්. ආගම මිනිසුන්ගේ පුද්ගලික ඇදහීම් පිළිබඳ කලාපයට ඇතුලත්. ජාතික මට්ටමේදී යම් යම් ජාතික සහ සංස්කෘතික වශයෙන් වැදගත් කරුණු තියෙනවා. නමුත් ඒක රාජ්‍ය ඇතුලට ගෙනල්ලා තහවුරු කරනකොට දේශපාලනය තුළ පැවැත්මක් තියෙන ආයතනගතව අවුල් ඇතිකරන කාරණයක්. ආගමික අධිපතිභාවය දේශපාලනයට එනවා කියන්නේ දේශපාලනික නොවන සාධකයකට මුල් තැනක් දෙනවා කියන එකට මොන පැත්තෙන් ආවත් ආගම දේශපාලනයට ඒම පිළිබඳව අපි ප‍්‍රතිරෝධය දැක්විය යුතුයි.

කුල ප‍්‍රශ්නය, ආගමික සහ ජනවර්ග ප‍්‍රශ්න සමානුපාතික ඡන්ද ක‍්‍රමය තුළ සටනක් කරගන්නේ කොහොමද? කියන සංකීර්ණ ගැටළුවට උත්තර හොයන්න තියෙනවා. අනික් පැත්තෙන් සුළු නියෝජනයක් තියෙන දේශපාලන පක්ෂවල හ`ඩටත් ඉඩක් දීම වැදගත්. මොකද ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන එකක් බහුතරයේ ඡන්ද ප‍්‍රමාණය මත විතරක් තීරණය වෙන දෙයක් නෙවෙයි. සුළු නියෝජනයවත් ජාතික මට්ටමේදී අවකාශයක් තිබිය යුතුයි.

සුළු නියෝජනයට ඉඩක් හදාගන්නේ කොහොමද?

පළමුව ආගම දේශපාලනයට ගේනඑක බැහැර කළ යුතුයි. තදින් ප‍්‍රතිවිරෝධය දැක්විය යුතුයි. කුලය කියන එක අයින් කළයුතු දෙයක් මිසක පවත්වාගතයුතු දෙයක් නෙවෙයි. අද වෙනකොට කුල ක‍්‍රමය සෑහෙන වෙනස්වීමකට ලක්වෙලා. යම් පිරිසකට ගැටළු තියෙනවා නම් ඒ ගැටළු විසඳන්න යාන්ත‍්‍රනයක් සකස් කරන එක වෙනම දෙයක්. අනික ජනවර්ග සඳහා අවශ්‍ය කරන නියෝජනය සහ ජාතික මට්ටමේ ඡන්ද ප‍්‍රමාණය අඩු සුළු පක්ෂවල නියෝජනය මේ ක‍්‍රමය තුළ තහවුරු කරගන්නේ කොහොමද කියන තත්වයන් ගැන අපි සිතිය යුතුයි. ඒකෙදී කළහැකි හොඳම දේ තමයි සම්මුුතියකට එළඹීමේ දේශපාලනය. ප‍්‍රායෝගික වෙන්නේ ඒක. වාමාංශිකයන්ගේ පැත්තෙන් ගත්තොත් අපි යමක් කළයුත්තේ පුරවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කෙරෙන දිශාවකට මිසක තව තවත් පක්ෂ මුල් කරගත්ත දේශපාලනයකට නෙවෙයි. දැනට පවතින පාර්ලිමේන්තු දේශපාලනය තුළ පක්ෂ දේශපාලනය නැතුවම බැරි දෙයක් බවට පත්ව තියෙනවා. නමුත් පක්ෂ දේශපලනය පුරවැසියා නියෝජනය කරන දේශපාලනයකට වඩා සමාජයේ සිටින බල කණ්ඩායම් පංති සහ ස්ථිර නියෝජනය කරන ප‍්‍රභූ කොටස් නියෝජනය කරන තැනක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය උදාහරණ. මේ පක්ෂවල හැම තිස්සෙම දකින්න පුළුවන් වෙන්නේ ප‍්‍රභූ නායකත්වයක්. මේක වෙනස් වෙන්නෙ වාමාංශික දේශපාලන ව්‍යාපාර වලදී. ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් ප‍්‍රභූ කොටස් අත්හැර සමාජයේ පීඩිත ජනකොටස්වල නියෝජිතයන් නායකයන් කිරීම අරමුණයි.

පුරවැසියා බලගන්වන සංඥාවක් ජනවාරි 08 වෙනිදා හඳුනාගන්න පුළුවන්ද?

ඉතා පැහැදිලියි. ජනවාරි 08 වෙනිදා ඡන්දය පුරවැසි දේශපාල න ක‍්‍රියාකාරිත්වයක ප‍්‍රබල නිදර්ශකයක් ලෙස ලංකාව හඳුනාගන්න පුළුවන්. ඉතිහාසය තුළ ගත්තත් එක්තරා ආකාරයක නිහ`ඩ විප්ලවයක්. දැඩි මර්දනකාරී පාලනයක් තිබුණු අවස්ථාවක මර්දනයේ අවධානය තිබිය දී බහුතර ජනතාවක් තමන්ගේ ඡන්දය පාවිච්චි කරල තිබුණු පාලනය වෙනස් කරන්න. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පදනම් කරගෙන පොදු අපේක්ෂකයා ඉදිරිපත් කිරීමේ සිට අවසානය දක්වාම සිදුවුණේ මේ තත්වය. විවිධ සංවිධාන සහ දේශපාලන පක්ෂ වගේම සාමාන්‍ය පුරවැසියා මෙහිදී ක‍්‍රියා කළ ආකාරය අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ. පොදු අපේක්ෂකයා ජනාධිපති කිරීමේ කි‍්‍රයාදාමය තමන්ගේ අතට ගත් පුද්ගලයින් විශාල පිරිසක් හිටියා. පුරවැසි දේශපාලනය ජාතික මට්ටමින් පළල් අන්දමින් සක‍්‍රීය වුණ අවස්ථාවක්. මේකේ සැබෑ වීරයන් වන්නේ නිහ`ඩව ඉඳල වෙන්න යනදේ මොකක්ද යන්න නිවැරදිව තේරුම්ගෙන තමන්ගේ ඡන්දය පාවිච්චි කළ අය.

රාජපක්ෂ රෙජීමය ඡන්දයෙන් පැරදුනත් පාලන බලය පවරා නොදී ඉන්න දරණ ලද ක‍්‍රියාමාර්ග ගණනාවක් තිබුණ. රාජ්‍යයේ විවිධ ආයතනවල සහ හමුදාවන්ගේ ඉන්න පිරිස් අදාල තොරතුරු එලියට සැපයීමෙන් රෙජීමයේ බලය අත් නොහැරීමේ සැලැස්ම පරාජය කිරීමත් ඉතාම වැදගත්. අපි අහල තියෙන විදිහට 1953 හර්තාලය මේ තරම් පුරවැසි බලය උපරිමව ක‍්‍රියාත්මක වුණු අවස්ථාවක්. එදා ජනතාව ස්වයං සිද්ධව නැගිටලා වාමාංශික ව්‍යාපාරයේ නායකයන් අභිබවා ඉදිරියට ගියා. ඊට පස්සේ තිබිච්ච එකම අවස්ථාව තමයි ජනවාරි 08 වෙනිදා දකින්න ලැබුනෙ.

පුරවැසි බලය ඔයතරම් ඉහල මට්ටමක තිබුණ නම් මැයි පළවෙනිදා ආචාර්ය නිර්මාල් රංජිත් සහ ඔබට මැර ප‍්‍රහාරයක් එල්ලවුණේ කොහොමද?

රෙජීමයේ බලපෑම තාමත් තියෙනවා. ඒක දැඩි අවධානමක් තියෙන දෙයක් ලෙස තේරුම්ගත යුතුයි. රෙජීමය පරාජය වුණාට ඒ රෙජීමයෙන් පටන් ගත්තු ජාතික ආරක්ෂක රාජ්‍යය ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් ගොඩනැඟීමේ ක‍්‍රියාවලිය පරාජය වී නෑ. ගෝඨාභය මේකට ඊශ‍්‍රායලයේ උපදේශකයන්ගේ මඟපෙන්වීම මත එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අනියත ලෙස මවා ගනිමින් පුරවැසියන්ගේ නිදහස මර්දනය කිරීමේ උත්සාහයක් විශාල ලෙස ගෙන ගියා. ඒකේ විවිධ අංගෝපාංග ගැන විස්තර අඩුවැඩි වශයෙන් අපි හැමෝම දන්නවා.

ප‍්‍රශ්නය තියෙන්නෙ, මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමෙන් අපි අපේක්ෂා කරපු නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරගන්න ජාතික ආරක්ෂක රාජ්‍යය ගොඩනැඟීමේ කටයුත්ත දිගටම ක‍්‍රියාත්මක වීම තුළ බෑ. සැබෑ ලෙස විදේශීය හෝ දේශීය තර්ජනයක් තියෙනවා නම් සීමාවන්ට යටත්ව ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි. හැබැයි අපි ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනෑ, පුරවැසියන්ගේ නිදහස මර්දනය කිරීමට කිසියම් කණ්ඩායම් පාවිච්චි කිරීමට ඉඩ නොදීමට. පැහැදිලි හේතු නැතුව රාජ්‍ය යන්ත‍්‍රයේ රට තුළ පුරවැසියන් මර්දනයට යොමු නොවිය යුතුයි. වැඩවර්ජන කඩා කප්පල් කරන්න නීතිය පාවිච්චි කරනවානම් දේශපාලන අදහස් ප‍්‍රකාශ කිරීමට, උද්ඝෝෂණ පෙළපාලි වලක්වන්න ජාතික ආරක්ෂාවේ නාමයෙන් නීතිය පාවිච්චි කරනවානම් සහ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න යොදාගන්නවා නම් ඒ සියල්ල ගැන කල්පනාකාරී වෙන්න ඕනෑ. මම ශිෂ්‍ය ව්‍යාපාරයේ සියල්ල අනුමත කරන්නේ නෑ. අපි ශිෂ්‍ය ව්‍යාපාරය තේරුම්ගත යුත්තේ එයට අයිති දේශපාලන ගතිකයන් ඒ වයස් කණ්ඩායමේ අපේක්ෂාවන් සහ බැඳුණු විරෝධාත්මක දේශපාලනයක් ප‍්‍රකාශවන තැනක් ලෙස. ඒ ආකාරයෙන් තේරුම්ගෙන ඔවුන් සමග කටයුතු කරනවා මිසක ඔවුන් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල කරන ත‍්‍රස්තවාදී පිරිසක් ලෙස සලකා ක‍්‍රියා කිරීම කිසිසේත්ම අනුමත කළහැකි දෙයක් නොවේ. ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳව අපි විමසිල්ලෙන් සිටිය යුතුයි.

ඒකෙම අනික් පැත්ත තමයි කිරුළපන මැයි රැුළියේදී සිදුවුණේ. නිර්මාල් රංජිත්ටත් මටත් රංචුවකගේ පහරදීම එක සාධකයක්. මේ ගැන වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කර තිබුණේ උග‍්‍ර මහින්ද විරෝධී දේශපාලනයක යෙදුණු නිර්මාල් මේ වගේ තැනකට ගියාම ඔය වගේ දෙයක් වෙයි කියල අපේක්ෂා කළේ නැද්ද? කියලා. විමල් වීරවංශ මහතා වගේ කෙනෙක් මේ වගේ ප‍්‍රකාශයක් කළා නම් පුදුම වෙන්නේ නෑ. පැරණි වාමාංශික දේශපාලනයේ නායකයෙක් වන වාසුදේව නානායක්කාර මහතා වාමාංශික දෘෂ්ටියක් අත්හැර දමා ඇති බව මේ කාරණයේ දී පේනවා. ඩිව් ගුණසේකර මහතා මීට ප‍්‍රතිපක්ෂව ම්ලේච්ඡ ප‍්‍රහාරය හෙළා දකින බව ප‍්‍රකාශ කර තිබුණා. අඩුම වශයෙන් මේ කාරණයේදීත් ස්වාධීන ස්ථාවරයක් ගැනීමට ඩිව් ගුණසේකර මහතාට හැකිවීම ගැන අපි ස්තූතිවනත වෙනවා.

වැදගත්ම කාරණය මහින්ද රාජපක්ෂ පිල බහුජනතාව විසින් ඉතා පැහැදිලිව පරාජය කර දින සීයකුත් ගෙවී තියෙන අවස්ථාවක තම අනුගාමිකයන් මෙතරම් වෛරකාරී ලෙස තනි නිරායුධ පුද්ගලයකුට රංචුවක ප‍්‍රහාරයට යොමු කරන මානසිකත්වය ගොඩනඟන හැකියාවක් තිබීම. ඒක ඉතාම සැලකිය යුතු ප‍්‍රශ්නයක්. මේ තත්වයට හේතුව ඉතා පැහැදිලිවම මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා සහ රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඉඩදී තිබීම බවයි මගේ හැඟීම.

2015.05.17 දින ලංකා පුවත්පතිනි

Advertisements