කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ‘කතිකා’ අධ්‍යයන කවය

11203122_10153237182011327_640187481102645472_n

කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය –
ධවල පත්‍රිකාව සඳහා යෝජනා සහ නිර්දේශ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශය පිළිබඳ යි.(එම ප්‍රකාශය සඳහා සුනිල් විජේසිරිවරධන ගේ මුහුණු පොත බලන්න.)ධවල පත්‍රිකාව ක් යනු සාමාන්‍ය යෙන් රජයක ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා පෙර ගමන් කරුවෙකු ලෙස ඉදිරිපත් කරන අධිකාරවාදී බලයක් කියා පාන ලියවිල්ලකි, යෝජනාවලියකි. මෙම ධවල පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ ස්වේච්ඡාවෙන් බව කියැවෙයි. ඒ අර්ථයෙන් ගත් කළ මෙය පිටතින් සම්පාදනය වන ප්‍රතිපත්තියක් රජයට පිළිගන්වන්නට දරන උත්සාහයකි. වෙනත් අර්ථයකින් කියතොත් එය කලාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයට ඒ වෙනුවෙන් පෙනී සිටින රජයේ නොවන පිරිසක් ඉදිරිපත් වීමකි. එය විසින්ම ගත් කළ එය යහපත් දෙයක් විය හැකිය. ආර්ථිකය පිළිබඳ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන මිලින්ද මොරගොඩ ගේ pathfinder ආයතනය කලක සිට ලංකාවේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයට මැදිහත් වීම් කරමින් සිටියි. එය ජාත්‍යන්තර ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානයකි. ඉතින්, කලාව හා සංස්කෘතිය සම්බන්ධයෙන් මෙබඳු මැදිහත් වීමකට පිරිසක් තම ධනය, ශ්‍රමය සහ කාලය යොදා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම නරක දෙයක් යැයි කා හටවත් කිව හැකිද? (මේ සඳහා කිසිවෙකු අරමුදල් නොසැපයූ බව ඊට සම්බන්ධ අයෙකු අන්තර්ජාලයේ ප්‍රකාශ කොට තිබිණැයි වාර්තා වෙයි.)ඉතින් අප පහත සාකච්ඡාව අරඹන්නේ මෙම යහපත් උත්සාහය අගය කරමින් බව කිව යුතුය.

එම මාධ්‍ය ප්‍රකාශයේ මෙසේ සඳහන් වෙයි.

“අපි ජාතියක් වශයෙන් වැදගත් කාලසන්ධියක සිටින්නෙමු. සිවිල් සහ දේශපාලන ජීවිත මාන ශක්තිමත්ව හා කඩිනමින් යහපාලනය කරා ගමන් කිරීමට අරමුණු කර ඇත. ඉදිරියට තබන ලද මෙම පියවර තුළ අප බලාපොරොත්තු වන සමාජ, ආර්ථික හා දේශපාලනික පරිවර්තනය පසසන, එය ප්‍රකට කරවන හා ඊට පිටුබලය දෙන පරිවර්තනීය සංස්කෘතික දැක්මක් අත්‍යවශ්‍ය වේ. මෙම සංස්කෘතික පදනම නොමැතිව ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා අවශ්‍ය වන නූතන ශ්‍රී ලාංකික පුරවැසියාගේ සාකල්‍ය සංවර්ධනය ඵල නොදරනු ඇත.”

මෙහි සඳහන් අර්ථයෙන් ගත් කළ මෙය නූතනවාදී සංස්කෘතික වැඩ පිළිවෙලක් සඳහා වන ප්‍රකාශනයකි. කාලය පිළිබඳ මෙහි ගැබ් වන අදහස නූතනවාදී ය. මෙහි එන අනෙක් රූපක ද නූතනවාදී අභිලාශ ප්‍රකට කරයි. වැඩ පිළිවෙලේ ප්‍රකාශිත අරමුණ ද නූතනවාදීය.

ඉතින් ඇතැමුන් පශ්චාත් නූතනවාදී පශ්චාත් යථාර්ථවාදී ලෙසින් හඳුනාගන්නා ලංකාවේ වර්ථමාන කලා සංස්කෘතික නිමේශය ට රාජ්‍යය මුල් කොට ගෙන මෙම නූතනවාදී කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති ප්‍රකාශය හඳුන්වාදී එය ලංකාවේ රාජ්‍ය කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය බවට පත් කිරීම මෙම ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ අරමුණ බව හඳුනා ගත හැකිය.

මෙම ප්‍රකාශය ‘අපි‘ සහ ‘ජාතිය‘ යනුවෙන් හඳුන්වන්නේ කවුදැයි කුමක් දැයි පැහැදිළි කළ යුතුව තිබේ.

ජාතිය අවධාරණය කිරීම ජාතික රාජ්‍යය පිළිබඳ සංකල්පය පිළිගැනීම පෙන්නුම් කරයි.

එහි සඳහන් “ මෙම පියවර තුළ අප බලාපොරොත්තු වන සමාජ, ආර්ථික හා දේශපාලනික පරිවර්තනය“ යනු කුමක් ද?

යහපාලනය සිවිල් හා දේශපාලන ජීවිත මාන වල ඉලක්කය බව තීරණය කරන්නේ කවුද? මෙහි ලා යහපාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එය සිවිල් සහ දේශපාලන ජිවිතවල මානය විය යුත්තේ කුමන අර්ථයෙන් ද?

යහපාලනය සඳහා සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනය ට පිටුබල දෙන සංස්කෘතික දැක්මක් අතවශ්‍ය යැයි කරන ප්‍රකාශය සංස්කෘතික දැක්ම රජයේ වැඩ පිළිවෙලට ගැට ගැසිය යුතුයැයි කීමක් නොවේද?

මෙහි සඳහන් පරිවර්තනීය සංස්කෘතික දැක්ම පරිවර්තනය කරන්නේ මොනවාද?

ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා නූතන ලාංකේය පුරවැසියා ගේ සාකල්‍ය සංවර්ධනය ඵල දැරීම අවශ්‍ය යැයි කීමත් ඒ සඳහා යහපාලන සංස්කෘතික පදනමක් අත්‍යවශ්‍ය යැයි කරන අවධාරණයත් අපට කියන්නේ සමාජය ශිෂ්ට කිරීමත් ඒ සඳහා පුරවැසියා සංවර්ධනය කිරීමත් දැන් යහපාලන රජය සහ එහි යහපාලන සංස්කෘතික බලධාරීන් අතට පවරාගන්නා කටයුත්තක් කියා නොවේද?

මෙහි ශිෂ්ට සමාජය යනු කුමක් ද? පුරවැසියාගේ සාකල්‍ය සංවර්ධනය යනු කුමක් ද? යි අප සාකච්ඡා කළ යුතුය.

මෛ ධවල පත්‍රිකා වේ එම ජාතික ප්‍රතිපත්තිය විසින් ආමන්ත්‍රණය කළයුතු ප්‍රමුඛ ගැටළු ක්ෂේත්‍ර 09ක් සහ ඒවා යටතේ ගත යුතු ප්‍රධාන තේමා හඳුනා ගෙන ඇත. ඒවා එම ප්‍රතිපත්තියේ සවිස්තරව සාකච්ඡා කෙරෙණු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එහෙයින් පහත අප නඟන ප්‍රශ්න බොහොමයකට පිළිතුරු එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සැපයෙනු ඇතැයි අපේක්ෂාවෙන් අපි පහත සඳහන් ප්‍රශ්න ලියා තබමු.

1. “ ජනතාවගේ සහ ජාතියේ සංවර්ධනයේ කේන්ද්‍රීය භුමිකාවක් ඉටුකරන ක්ෂේත්‍රයක් බවට කලාව හා සංස්කෘතිය පත්කිරීම“ යන්න අප පැහැදිළි කර ගත යුතුය.

යහපාලනය යන්නෙන් අදහස් කෙරෙන්නේත් මෙම යෝජිත සංවර්ධනයමද? නැතිනම් ඒවා අතර සම්බන්ධයක් තිබේද? ඒ කුමක් ද?

මෙහි ජනතාවගේ , සහ ජාතියේ සංවර්ධනය යනු කුමක් ද? ජනතාවක් සංවර්ධනය කිරීම යනු කුමක්ද? එමෙන්ම ජාතියක් සංවර්ධනය කිරීම යනු කුමක් ද? එය කරන්නේ කෙසේද?

මෙහි සඳහන් සංවර්ධනය කුමක් ද? වත්මන් සංවර්ධන කතිකාවේ අධිපතිභාවය දරන ලිබරල්/නව ලිබරල් ධනේශ්වර සංවර්ධන ආකෘතිය ද? නොඑසේ නම් ඊට වෙනස්ව කුමන සංවර්ධන ආකෘතියක් ද? එම සංවර්ධන ආකෘතිය ජනතාවට ඉදිරිපත් කොට සාකච්ඡාවකින් අනතුරුව ඒ පිළිබඳ පුළුල් එකඟතාවක් ඇති කොට ගෙන තිබේද?

එවැන්නක් වත්මන් යහපාලන රජය විසින් පිළිගෙන තිබේද? ඒ කොහිද? ඉදිරියේදී බලයට පත්වන රජයක් එම සංවර්ධන ආකෘතිය පිළිගනු ඇත්ද?

වඩා වැදගත්ව එවැනි සංවර්ධන වැඩ පිළිවෙලක “කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරන ක්ෂේත්‍රයක් බවට කලාව හා සංස්කෘතිය පත් කිරීමට” අදහස් කරන්නේ කෙසේද? මේ පත්කිරීම කරන්නේ කවුද? කෙසේද? මේ කියන්නේ කලාව හා සංස්කෘතිය තෝරාගත් සංවර්ධන වැඩ පිළිවෙලකට ගැට ගැසීමක් නොවන්නේද?

ඒ කියන්නේ කලාව හා සංස්කෘතියට ඊට අත්‍යන්ත වටිනාකමක් පැවැත්මක් අගයක් නොමැති බව කියා පෑමක් නොවේද?

2. සංහිඳියාකරණය සහ සමාජ- සංස්කෘතික අන්තර්කරණය

පශ්චාත්-යුධ සමයේ කලාව හා සංස්කෘතිය නිසි ලෙස ස්ථානගත කිරීම.

මෙම සංහිඳියාකරණය ක්‍රියාත්මක කෙරෙන්නේ කෙසේද?

මෙහි අන්තර්කරණය යනු ඉංග්‍රීසියෙන් integration යන අදහසම නම් මෙලෙස ඇතුළත් කර ගනු ලැබෙන්නේ කුමක් ඇතුළටද? කවුරුන්ද? කෙසේද? කුමන ක්‍රියාමාර්ගයන් තුළින්ද?

“පශ්චාත්-යුධ සමයේ කලාව හා සංස්කෘතිය නිසි ලෙස ස්ථානගත කිරීම” යනු කුමක් ද? එය තීරණය කරන්නේ කවුරුන්ද? එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

3. රාජ්‍ය සංස්කෘතික ආයතන හා යටිතලව්‍යුහ ප්‍රතිසංස්කරණ
මෙරට ජනතාවගේ සංස්කෘතික ශක්තීන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රාජ්‍ය සංස්කෘතික ආයතන පුනරීක්ෂණය කිරීම හා පරිවර්තනය කිරීම.

රාජ්‍ය සංස්කෘතික ආයතන සහ යටිතල ව්‍යුහ යනු මොනවාද? ඒවා පිහිටුවා ඇත්තේ මෙරට ජනතාවගේ සංස්කෘතික ශක්තීන් ගෙන් ප්‍රයෝජන ගැනීමටද? ඒවා පුනරීක්ෂණය කරන්නේ කවුරුන්ද? පරිවර්තනය කරන්නේ කවුරුන් විසින් ද?

ජනතාවගේ සංස්කෘතික ශක්තීන් යනු මොනවාද?

4. කලාත්මක නිදහස
මෙය පරම හා මූලික අයිතිවාසිකමක් ලෙස සහතික කිරීම

කලාත්මක නිදහස යනු කුමක් ද? එය පරම හා මූලික අයිතිවාසිකමක් ලෙස සැළකීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද? එම නිදහස පිළිබඳ අදහසට මෙම යෝජිත කලාවව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලපාන්නේ කෙසේද? ධනාත්මකවද? සෘණාත්මකව ද?

5. සංස්කෘතික අරමුදල් හා හැකියාවන්.
කලා හා සංස්කෘතික කටයුතු උදෙසා අරමුදල් රැස්කිරීම ක්‍රමවත් හා වැදගත් කොට සලකන මූලධර්මයන්ට හා භාවිතාවන්ට කැපවීම.

අරමුදල් රැස් කිරිම අවශ්‍ය වන්නේ කුමන කලා හා සංස්කෘතික කටයුතු උදෙසාද?

මේ අරමුදල් රැස් කරන්නේ කවුද? කොහෙන්ද? එය ක්‍රමවත් කරන්නේ කෙසේද?

6. කලා අධ්‍යාපනය
කලා අධ්‍යාපනය සඳහා පර්යේෂණ කිරීම සහ ඒ සඳහා ආයෝජනය.

දැනටත් කලා අධ්‍යාපනය අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාසැල් වලත් උසස් අධ්‍යාපනය යටතේ උසස් අධ්‍යාපන ආයතන වලත් සිදු කෙරෙයි.

අධ්‍යාපනයට අදාළ පර්යේෂණද එම ආයතන ව්‍යුහයන් මූලික කොට ගෙන සිදු කෙරෙයි.

ඉන් වෙනස්ව මෙහිදී යෝජනා කෙරෙන පර්යේෂණ සිදු කෙරෙනු ඇත්තේ කවුරුන් විසින් ද?

ආයෝජන මෙම ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන තැනක් උසුලන බව පෙනෙයි.

7. කලාව හා සංස්කෘතිය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය / සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික අඩවිය

ශ්‍රී ලංකාවේ හා ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ ජාත්‍යන්තර සංස්කෘතික ප්‍රතිරූපය, භූමිකාව හා හිමි ස්ථානය පරිවර්තනය කිරීම, ශක්තිමත් කිරීම හා ආයෝජනය.

දැනටමත් විදේශ අමාත්‍යාංශය යටතේ සංස්කෘතික කටයුතු භාර තානාපති නිලධාරීහු තානාපති කාර්යාල වල සිටිති. ඊට අමතරව හා වෙනස් ව මෙහිදී යෝජනා කෙරෙන්නේ කුමක් ද?

8. සාම්ප්‍රදායික කලා හා ශිල්ප කළමනාකරණය
කලාව හා සංස්කෘතික සංරක්ෂණය කිරීම රජයේ වැදගත් හා වෙනමම වගකීමක් ලෙස හඳුනාගැනීම

සංරක්ෂණය යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ කුමක් ද? කෞතුකාගාර, කලාගාර පවත්වාගෙන යාමද? ඊට වෙනස් ව වෙන කුමන නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමද?

9. කලා හා සංස්කෘතික විශිෂ්ටතම භාවිතා.
කලාව හා සංස්කෘතිය අරබයා ‘විශිෂ්ටතම භාවිතා’ යනුවෙන් සංකල්පයක් හඳුන්වා දී, ඒවායේ භාවිතා හා සංවර්ධනය සඳහා ආයෝජනය යනාදී වශයෙනි

‘විශිෂ්ටතම භාවිතා’ යනු මොනවාදැයි තීරණය කරන්නේ කවුද? එලෙස පිරිසක් විසින් තීන්දු කරන ‘විශිෂ්ටතම භාවිතා’ වෙනුවෙන් රජයේ මුදල් යෙදවීම කොතෙක් දුරට සාධාරණද?

දැන් ‘විශිෂ්ටතම භාවිතා’ අපේ සමාජය තීරණය කරන්නේ කෙසේද?

‘කතිකා’ අධ්‍යයන කවය

Advertisements