මේ මාගේ ගමයි (2 කොටස ):පිරිමියා ආදරය හදාගන්නේ ස්වභාවයට, ගැහැණියට පරාජය වීමේ බය යටපත් කරන්න – කුමුදු කුසුම් කුමාර

photo-0

පාලියා කියන්නේ ලිංගික ක‍්‍රියාව මුලික වශයෙන් සමාජමය නොව ස්වාභාවික ගනුදෙනුවක් බවයි. ලිංගිකත්වය යනු, ප‍්‍රතිවිරෝධයන්ගෙන් සහ එකම දේ පිළිබඳ ප‍්‍රතිවිරුද්ධ අදහසින් සැදුණු අඳුරු රාජ්‍යයකි. එය හැමවිටමත් සමාජීය ආකෘතීන්ගෙන් වටහාගත හැකි නොවේ. සමාජීය හෝ සදාචාරමය යෝග්‍යතාව පිළිබඳ කෝණයන්ගෙන් එය හරි ගැස්සිය හැකි නොවේ.

පිරිමියාට හැම සංවාස අවස්ථාවක්ම මව කරා ආපසු යෑමක්, ඇයට යටත්වීමක් වෙයි. පිරිමින්ට ලිංගික ක‍්‍රියාව අනන්‍යතාව සඳහා වන අරගලයකි. පිරිමියාගේ ලිංගික සහජය, ස්වභාවයට එරෙහිව තම අනන්‍යතාව ගොඩ ගැනීම සඳහා , ස්වභාවයේ ප‍්‍රබලම නියෝජනය වන ගැහැනිය අරභයා කෙරෙන කැත, බිහිසුණු ආක‍්‍රමණයකි. සමාජය අවශ්‍යවන්නේ මෙම සහජය පාලනය කිරිමටය. ස්වභාවය ජය ගැනීමේ අවශ්‍යතාවත්, ඊට පරාජය වීමේ බියත් අතරට මැදිවන පිරිමියා ආදරය හදාගන්නේ මේ බය යටපත් කරන්නටය. ශෘංගාරය, ස්වභාවයේ පෘථිවීමයභාවය සමාජයට ඇතුළු වන මෘදු ලක්ෂ්‍යයය, යන්න පාලියාගේ (Camilla Paglia) අදහසයි.

අශිෂ්ට ලිංගික සබඳතා

මේ මගේ සඳයි‘ චිත‍්‍රපටිය, ‘අශිෂ්ට‘ ලිංගික සබඳතා අශිෂ්ට ලෙසම පෙන්වන්නේය යන්නෙන් එක්ස් කණ්ඩායම අදහස් කරන්නේ චිත‍්‍රපටියේ ලිංගික සබඳතා නිරූපණය කෙරෙන ආකාරයෙහි දැකිය හැකි රළු, ප‍්‍රචණ්ඩ, ආක‍්‍රමණශීලී ස්වභාවය විය නොහැකිය. මිනිසුන් අතර සිදුවන ලිංගික කටයුතු, තිරිසනුන්ටත්, මිනිසුන්ටත් පොදු ප‍්‍රජනක කටයුත්තට යොමුවන හුදු කායික ලිංගික ක‍්‍රියා ඉක්මවා යන, ශෘංගාරකාමීත්වයකැයි (eroticism) යෝජනා කරන බතායි (Bataille) එහි සෑම ප‍්‍රකාශිත ආකාරයක්ම දල්වාලන ප‍්‍රාථමික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ හැඟීමක් ඊට යටින් ඇතැයි කියා සිටියි. ඔහුට අනුව, හරයෙන් ගත් කල ශෘංගාරකාමිත්වය පිළිබඳ බල මණ්ඩලය ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ, උල්ලංඝනය පිළිබඳ එකකි. ලිංගික සංසර්ගයම වූ කලී, අමාරුවෙන් පාලනය කරගත් ක‍්‍රෑරත්වය සහ පාරිභෝජනයට ගැනීම පිළිබඳ චලනයන්ගෙන් සැදුම්ගන්නේ යැයි, කැමිල පාලියා (Camilla Paglia) නිරීක්ෂණය කරයි.  තවද, ස්ත‍්‍රී – පුරුෂ ලිංගික සබඳතාවක් ක‍්‍රියාවට නැංවෙන ආකාරයෙහි ඇති ප‍්‍රචණ්ඩත්වයට, උල්ලංඝනයට යොමුවන තීව‍්‍රතාව, හුදෙක් පුරුෂ පාර්ශ්වයේ අධිපතිභාවය මතම හැමවිටම තීරණය වන්නක් ද නොවේ. එය ස්ත‍්‍රී-පුරුෂ දෙපාර්ශ්වයේම අන්‍යොන්‍ය මැදිහත්වීම මතම ඉහළ යමින් ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගනිමින් ඒ තුළින්ම දෙපාර්ශ්වයටම, ප‍්‍රචණ්ඩත්වයේ සතුට ලබාදිය හැකිය.

චිත‍්‍රපටියේ එන ලිංගික සබඳතා ‘අශිෂ්ට‘ වන්නේ ඒවා එළිමහනේ සිදු කෙරෙන නිසාය, යන සදාචාරවාදී අර්ථයෙන් ද විය නොහැකිය. මිනිස් ලිංගික ක‍්‍රියා වූ කලී එහි නිරතවන්නන් තුළ පමණක් නොව, එය නරඹන්නට අවස්ථාව ලබන්නන් තුළත්, ප‍්‍රබල භාවයන් සහ ලාලසාවන් අවදිකරවන්නා ලූ ක‍්‍රියා වන හෙයින්ම නිසාදෝ සාමාන්‍යයෙන් ගත් කල එය අතිශයින්ම පෞද්ගලික – ඊට සහභාගි වන පාර්ශ්වයනට පමණක් සීමාවන කටයුත්තක් සේ සැලකෙයි. මිනිස් ලිංගික ක‍්‍රියාවේ මෙම අතිශය පෞද්ගලික ස්වභාවය බිඳෙන්නේ, ඊට හවුල් නැති, නරඹන්නකු ඊට සම්බන්ධවන්නේ නම් පමණි. ‘මේ මගේ සඳයි‘ චිත‍්‍රපටියේ එන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ අතිශය පෞද්ගලික ලිංගික ක‍්‍රියා නරඹමින්, ඒවා ප‍්‍රසිද්ධියට ගෙන එමින්, ඒවායේ ශිෂ්ට/අශිෂ්ටභාවය පිළිබඳ විනිශ්චයන්ට එළඹීම මාතෘකාවක් කරගන්නට අපට අවස්ථාව සලසා දෙන්නේ චිත‍්‍රපටියේ නිර්මාපක අධ්‍යක්ෂවරයාය.

එසේ නම් මෙම චිත‍්‍රපටියේ එන ලිංගික සබඳතාවල ‘අශිෂ්ට‘ කම රැඳී ඇත්තේ, අනෙකාගේ කැමැත්තෙන් තොරව ඇය තම ලිංගික ප‍්‍රයෝජනය සඳහා බලහත්කාරයෙන් යොදා ගැනෙන්නේය, යන කරුණ මතද? අනෙකාගේ කැමැත්තෙන් තොරව ඇය ලිංගික ප‍්‍රයෝජනය සඳහා යොදාගැනීමට සාමාන්‍යයෙන් අපි දූෂණය(rape) යැයි කියමු. මෙහිදී තීරණාත්මක කරුණ වන්නේ අනෙකා මත මුදාහැරෙන ආක‍්‍රමණශීලීත්වය යි, චණ්ඩතාවයි. මේ අර්ථයෙන් ගත් කල ගණිකා වෘත්තියේ සේවය ලබාගන්නෙකු ඒ නිසාම අනෙකා බලාත්කාරයෙන් තම ප‍්‍රයෝජනය සඳහා යොදා ගැනෙන්නේය, යන තර්කය මතු නොවෙන බව, මේ කරුණ ගැන සිතීමට අපට යොදා ගත හැකිය (ගණිකා වෘත්තිය පවතින්නේ සමාජය විසින් පොදුවේ පැනවෙන බලාත්කාරයක් නිසාය, යනුවෙන් මතු කළ හැකි තර්කය, මෙහිදී අප සාකච්ඡා කරන ආසන්නතම, කායික බලාත්කාරයට සෘජුව අදාළ නොවන ලෙසින් මෙහිදී සලකා ඇත).

ඉතින්, ‘මේ මගේ සඳයි‘ චිත‍්‍රපටියේ දැක්වෙන ලිංගික සබඳතා ‘අශිෂ්ට‘ වන්නේ අනෙකා ගේ කැමැත්තෙන් තොරව ඇය තම ලිංගික ප‍්‍රයෝජනය සඳහා යොදා ගන්නා පිරිමින් ඉන් නිරූපණය කෙරෙන නිසා නම්, එක්ස් කණ්ඩායමේ මෙම විග‍්‍රහය කොතෙක් දුරට චිත‍්‍රපටියේ දැක්වෙන අනුභූතික තත්ත්වයන් පදනම් කරගෙන ඉදිරිපත් කරන්නක් ද යන් ප‍්‍රශ්නය මතුවිය හැකිය. එය පහදා ගන්නට නම් එහි එන ලිංගික කටයුතුවලින් කුමන ඒවා, හුදු බලාත්කාරය අනෙකා මත පටවා ඇය දූෂණය කෙරෙන අවස්ථා ද, අධ්‍යක්ෂගේ අරමුණු තිබියදීත්, කුමන ඒවා හුදු බලාත්කාරය ඉක්මවා යන සංකීර්ණ සිද්ධීන්, අවස්ථා සබඳතා හා ගනුදෙනු මත පදනම් වූ ඒවාද, යන්න සන්සුන් සිතින් විමසා බැලිය යුතු යැයි යෝජනා කරමි. මෙහිදී චිත‍්‍රපටියේ එන එකම පුද්ගලයා වුව ලිංගික කටයුතු සම්බන්ධ යෙන් වෙනස් අවස්ථාවල ක‍්‍රියාකරන ආකාරයත්, මේ සියලු ක‍්‍රියා අතරමැද පුද්ලයන් අතර හෝ කෙරෙහි ඇතිවන බැඳීම්වල ස්වභාවයත්, ආදරය පිළිබඳ මාතෘකාව එය නිශේධනය කිරීමට ගැනෙන උත්සාහය තුළම ජීවමානව පවත්වා ගැනීමත් සලකා බැලිය හැකි ය.

එහෙත්, එක්ස් කණ්ඩායමේ උනන්දුව ඇත්තේ චිත‍්‍රපටියේ එන චරිත මුහුණදෙන අත්දැකීම් අනුභූතිකව විමසා බැලීමකට වඩා එම චරිත ලාංකීය ගැමි මානසිකත්වය පොදුවේ නිරූපණය කෙරෙන ලෙසින් සලකා විග‍්‍රහ කිරීමටය, යන තර්කය මෙහිදී මතු කළ හැකිය. මෙම දෙවනුව කී අදහස අප පිළිගන්නේ නම් එක්ස් කණ්ඩායම අදහස් කරන්නේ, ලාංකිය ගැමියන්ගේ ‘අශිෂ්ට‘ ලිංගික සබඳතා යනු ඔවුන් බලහත්කාරයෙන් ස්ත‍්‍රීන් දූෂණය කරන්නේය, යන්න විය නොහැකිය. ඔවුන් ඉන් අදහස් කරනවා ඇත්තේ ලාංකීය ගැමියන් ස්ත‍්‍රීන් හා ලිංගික සබඳතා ඇසුරේ දී, ඔවුන්ගේ කැමැත්ත, එකඟතාව ඇතුව වුවත් කෙරෙන ලිංගික ඇසුරේ දි, අනෙකා ගේ, ස්ත‍්‍රියගේ සතුට කෙරෙහි අවධානයකින්, සැලකිල්ලකින් තොරව ක‍්‍රියා කරන බව විය යුතුය. මෙලෙස ස්ත‍්‍රිය තම ලිංගික සතුට සඳහා අරමුණක්, වස්තුවක් (object) කොට ගැනීම, ලාංකීය ගැමියන්ගේ පොදු ලක්ෂණයක්ය යන්න අනුභූතිකව පෙන්වාදීම මෙහිදී එක්ස් කණ්ඩායමේ අරමුණ විය නොහැකිය. මන්දයත්, ස්ත‍්‍රිය හුදු ලිංගික වස්තුවක් කොට නොසලකා, ඇයගේ සතුට වැඞීමට ඉවහල් වන, ඇය කෙරෙහි පේ‍්‍රමය ප‍්‍රකාශ කෙරෙන, ඇයගේ රමණීයත්වය ඇගයෙන, ඇය කෙරෙහි දයාන්විත, පෙම්බර, මෘදු, මොළොක් ආකල්පයන් පළ කෙරෙන ගැමි ජන සාහිත්‍යය එවැනි උත්සාහයක දී නොසලකා හැරිය නොහැකි හෙයිනි. එසේ නොමැතිව ලාංකීය ගැමියන් අතර මෙලෙස ‘අශිෂ්ට‘ ලිංගික ක‍්‍රියා පොදු ලක්ෂණය බවට පත්විම මොවුන් අතර හැමදාමත් දකින්නට ලැබුණක් නොව කිසියම් මෑත කාලයක වර්ධනය වූ සංසිද්ධියක් යැයි එක්ස් කණ්ඩායම කියන්නේ නම් ඊට හේතු ද විමසමින් අපට ඒ ගැන සාකච්ඡා කළ හැකිය.

rr
අනෙකා ලිංගික වස්තුවක්, අරමුණක් ලෙස ගැනීම, ලිංගික කටයුත්තේ දී අන්‍යොන්‍ය සතුට ගැන නොව, තමාගේම සතුට පිළිබඳව පමණක් සිතීම අනෙකාගේ සතුට නොසලකා හැරීම,  බෝඩ්‍රියාඩ් සඳහන් කළ පරිදි වසඟයට ගැනීම (seduction) අමතක කොට එක එල්ලේ සූරතාන්තය (climax) කරා යොමුවීම, මිනිස් සබඳතාවක් වශයෙන් අයත් වන්නේ, අනෙකා තම හුදු ප‍්‍රයෝජනය සඳහා අරමුණක් කොට ගැනීම යටතටය. අනෙකා (ලිංගික) අරමුණක් ලෙස ගැනීම යටතටය.
අනෙකා (ලිංගික) අරමුණක් ලෙස ගැනීම

අනෙකා තම ප‍්‍රයෝජනය සඳහා අරමුණක් ලෙස ගැනීම, හැම දෙයක්ම ප‍්‍රයෝජන වටිනාකමින් පමණක් මැනීමේ පිළිස්තීනුවාදී යොමුව, සාම්ප‍්‍රදායික, අත්‍යන්ත ග‍්‍රාමීය වටිනාකමකට වඩා නූතන ධනේශ්වර සමාජයන්හි දක්නට ඇති වටිනාකමකි. ධනවාදයේ තුන්වැනි කාර්තුවේ හැම දෙයක්ම හුවමාරු වටිනාකමක් බවට පත් කොට ඇතැයි කියන විට ඉන් දැක්වෙන්නේත් මෙයම නොවේ ද?

ලිංගිකත්වයේ විෂයයක් වශයෙන් පුද්ගලයාගේ ස්වයං දැනුවත්භාවය පිළිබඳ අත්දැකීම බටහිර කථිකාව තුළ තබා විශ්ලේෂණයට ලක් කිරීම අරමුණු කොට ගත් ලිංගිකත්වය පිළිබඳ ෆූකෝගේ ලියවිලි පෙන්වා දෙන කරුණක් නම්, පෙරදිග බිහිවුණු, ඇත අතීතයේ දී බටහිර ද දක්නට ලැබුණු සියුම් හා අපෞද්ගලික ශෘංගාර කලාව මෙන් නොව, නූතනයේ බටහිර බිහි වූ ලිංගිකභාවය (sexuality) හා ලිංගිකය (sex) පිළිබඳ කථිකාව, මානව රූපය ලිංගිකකරණයට ලක් කළ බවයි. මෙලෙස මානව රූපය පුරුෂ හා ස්ත‍්‍රී යනාදී වශයෙන් ලිංගිකකරණයට ලක් කිරීම, පුද්ගල ඇසුරෙහි ප‍්‍රීතියට හිමි තැන බල අරගලය විසින් ගැනීමට හේතුවෙයි. ස්ත‍්‍රිය තම කාමුක ආශාවේ අරමුණ ලෙසින් දැකීමට ඉබේටම මෙන් අනිවාර්යයෙන් යොමුවීම, ඇය මත තම බලය පනවන්නට ඇති කෙරෙන සමාජීය බලපෑමෙන් ඇති කෙරෙන්නේ මෙම මිනිස් රූපය ලිංගිකකරණය කිරීම පදනම් කොට ගෙනය. තම අධ්‍යයනයන්ගෙන් ෆූකෝ පෙන්වා දෙන පරිදි, ලිංගිකත්වය පිළිබඳ බටහිර නූතන කථිකාව තුළ බටහිර මිනිසා තමා (self) විෂයයක් කරගැනීම හේතුවෙන් අනෙකා තම ලිංගික අරමුණ කරගැනීමට මිනිසා යොමු කෙරෙන කථිකාවක් සම්පාදනය වී යැයි තර්ක කළ හැකිය.

මිනිස් රූපය ලිංගිකකරණය තුළින් ස්ත‍්‍රිය-පුරුෂයාගේ ලිංගික ප‍්‍රයෝජනයේ අරමුණක් බවට ලඝු කෙරෙන නූතන බටහිර කථිකාවෙන් ඔබ්බට යන, පොදුවේ අනෙකා තම ප‍්‍රයෝජනය සඳහා අරමුණක් බවට ලඝු කෙරෙන කථිකාවක් බටහිර නිෂ්පාදනය කෙරුණු බවට, ෆූකෝ අනුව යමින් බර්නාර්ඩ්  මැක්ගේ‍්‍රන් (Bernard Mc Grane) තම  Beyond Anthropology society and the Other නමැති රචනාවෙන් යෝජනා කරයි. ඔහුට අනුව අනෙකා සහ අනෙකා ගේ අන්‍යතරභාවය කෙරෙහි ඇති තමාගේ ප‍්‍රතික‍්‍රියා විෂයමූලික ලෙසින් ගෙන හැර දැක්වීමට ඇති ලෝක සම්මත යථානුභූතවාදී ආවේගය සහ ව්‍යාපෘතිය බටහිර ලෝකය පිළිබඳ මූලික ලාක්ෂණිකයකි. මෙය හෙළිදරව් කෙරෙන්නේ, බටහිර ලෝකය එහි නූතන ඉතිහාසයේ විවිධ යුගයන්හි දී එය භාජනය වු විවිධ සුසමාදර්ශීය විපර්යාසයන් යටතේ බටහිර කථිකාව නැතහොත් ඥාන සංවිධානය තුළ තම බටහිර නොවන අනෙකා ගොඩ නැගූ ආකාරයනි.

මැක්ගේ‍්‍රන් දක්වන පරිදි, 16 වැනි සියවසේ පුනරුද විශ්ව සම්භව ශාස්ත‍්‍රය තුළ යුරෝපීය නොවන අනෙකාගේ වෙනසක්ම සංකල්ප ගත කෙරුණේ එකල අධිපතිව පැවතුණු කථිකාව වූ ක‍්‍රිස්තියානු දහමට ප‍්‍රතිපක්ෂව ගොඩනැගීමෙනි. ඒ අනුව අනෙකා, ආගමක්, භක්තියක් නැති, මිථ්‍යාදෘෂ්ටික, අමනුෂ්‍ය නැතහොත් යක්ෂ, අපායට අයත් එකා විය. සත්‍යය සහ ප‍්‍රබුද්ධත්වය පිළිබඳ ප‍්‍රබුද්ධවාදී කථිකාව තුළ, යුරෝපීය නොවන අනෙකා අඥානයා, මිථ්‍යා දෘෂ්ටිකයා බවට පත්විය. දහනව වැනි සියවසේ දී නව සුසමාදර්ශයක්, එනම් යුරෝපීයයා සහ අනෙකා අතර ඇති වෙනස පැහැදිලි කෙරෙන කාලය, එනම් භූ විද්‍යාත්මක, පරිමාණවාදී, සංවර්ධනවාදී, කාලය පිළිබඳ පරමාදර්ශයක් බිහිවිය. මෙයට අනුව, ‘දැන් සහ මෙහි‘  (now and here) සිටින යුරෝපීයයාගෙන් ඈත පිහිටි කිසියම් අන් ඓතිහාසික කාලයක සහ ස්ථානයක අනෙකා සිටවනු ලැබුණි. මානව විද්‍යාව බිහිවිය. නූතන බටහිර විද්‍යාවේ, ආලෝකයෙන් එළිය වුණු ප‍්‍රගතිශීලී ශිෂ්ටාචාරයේ සවි වූ අවිධින් තුළින්, පරිණාමවාදී සංවර්ධන මාවතේ ප‍්‍රතිපක්ෂ ධ‍්‍රැවයන්හි පූර්ව ඓතිහාසිකව පාෂාණභූත වූ ‘ආදී කල්පිකයාත්‘, ශිෂ්ට සම්පන්න නූතනයාත් බිහි වූහ. ඩාවින් ගේ පිය සටහන් ඔස්සේ යමින් ටයිලර් ආදි කල්පිත සංස්කෘතිය ගොඩ නැංවූ අතර, යුරෝපීය-නොවන අනෙකා පරිණාමයක ප‍්‍රතිජානක ආකාරයක්, විදේශීය සහ අන්‍ය දේ බවට පත්විය. ඊළඟ රජ කරන සුසමාදර්ශය වන, අනෙකාගේ වෙනසකමට හේතු පහදා දෙන, ‘සංස්කෘතිය‘ විසිවැනි සියවසේ මුල් සමයේ දී ඉදිරියට එයි. ‘සංස්කෘතිය‘ යටතේ, අනෙකාගේ පරකීයභාවය, මූලික වශයෙන් සහ සංස්කෘතිමය යන දෙආකාරයෙන්ම වෙනස් ලෙසින් මානව වංශවේදී වශයෙන් හෝ මානව විද්‍යාත්මක වශයෙන් වටහා ගැනෙයි. මැක්ගේ‍්‍රන් ගේ අදහස, බටහිර කථිකාව තම බටහිර-නොවන අනෙකා ගොඩ නගන ආකාරයේ ඇති මෙම සුසමාදර්ශීය වෙනස්වීම්වලින් පැහැදිලි කෙරෙන්නක් නම්, බටහිර මුහුණ පා සිට ඇති අනන්‍යතා අර්බුදයක ඉතිහාසය, බටහිර පැවති ඇති එකිනෙකින් වෙනස් අනන්‍යතාවන්ගේ ඉතිහාසයක් බවයි. මෙම කථිකාවන් එක එකක් තුළ ඉදි කෙරුණු අනෙකාගේ ප‍්‍රතිරූප සැබෑ මිනිසුන් පිළිබඳ ප්‍රක්ෂේපණයන්ය. ඒවා ඔහුම පිළිබඳවත්, ඔහුගේම ඉතිහාසය පිළිබඳවත් විනිශ්චයෝම වෙති, යන්නයි, මැක් ගේ‍්‍රන් ගේ නිගමනය.

නූතන සමාජය පාරිභෝගික සමාජයකි යන්න තම විග‍්‍රහයන්හි කේන්ද්‍රීය අදහසක් කරගත් බෝඩ්‍රියාඩ්  (Baudrillard) ට අනුව නූතන බටහිර පාරිභෝගික සමාජය තුළ සීමාන්තික (සමහරවිට අන්තිම) නිර්මානුෂිකකරණයේ ස්වරූපයක් පහළ වී ඇති අතර දේවල් (objects) විසින් සමාජය තම යටතට ගෙන ඇත. මිනිසුන් ඊට දක්වන ප‍්‍රතිචාරය වී ඇත්තේ, තමන්වමත් හැකිතාක් දුරට මෙම වස්තූන් හා සමාන බවට පත්කර ගැනීමය. මෙම සමාජයේ මිනිසුන් දේවල් පරිභෝජනය කරන්නේ, එම පාරිභෝගික භාණ්ඩ තමනට අවශ්‍ය නිසා හෝ ඒවායින් තම අවශ්‍යතා සපුරාලන නිසා නොව, ඔවුනට ඒවා පාරිභෝජනය කරන්නට සලස්වා ඇති හෙයිනි. ඉතින්, මෙම සමාජය තුළ මානව සබඳතා, ජනයා සමග නොව , එන්න එන්නම දේවල් (objects) යමෙකුගේ ගෙදර, කාරය, ටෙලිවිෂනය යනාදිය සමගින් ගොඩ නැගෙන බව බෝඩ්‍රියාඞ් ගේ අදහසයි. ඊනියා ආදීකල්පිත සමාජයන්හි හෝ, වඩා සාම්ප‍්‍රදායික බටහිර සමාජයේම පවා මෙන් නොව, සමකාලීන බටහිර දේවල් සහ ඒවායේ අරුත් තීරණය කෙරෙනවා වෙනුවට, සිදුවන්නේ දේවල් විසින් සමාජ සබඳතා හා ඒවායේ අරුත් තීරණය කිරීම බව බෝඩ්‍රියාඩ් පවසයි. මෙය මෙසේ සිදුවන්නේ, නූතන සමාජයේ වස්තූන්  සංඥා (signs) ලෙසින් ක‍්‍රියාකරන බැවිනි. මතවාදයේ නිෂ්පාදනය මෙම යුගයේ සංඥා නිෂ්පාදනයක් බවට පත්වී ඇති බව සැබෑ ය. නමුත් ඊටත් වඩා වැදගත්ව භෞතික වස්තූන්ම සංඥා බවට පත්ව ඇත. බෝඩ්‍රියාඩ් ට අනුව වස්තූන්ගේ ස්වභාවය නම් ඒවාට ප‍්‍රයෝජ්‍ය වටිනාකමක් තිබීමයි, යන්නට වඩා මූලික වැදගත්කමක් දරන්නේ, සංඥා වශයෙන් වස්තූන් ගේ ස්වභාවය යි. මෙලෙසින් භාණ්ඩවල ස්වභාවයම සංඥා බවට පත්ව ඇති සමාජයක, මෙම භාණ්ඩ/සංඥා පද්ධතිය තුළට මිනිසුන් තමන්වමත් අවශෝෂණය කර ගැනීම තුළින්, සමාජ සබඳතා තවදුරටත් සැබෑ මිනිස් සබඳතා මත නොව, මෙම භාණ්ඩ/සංඥා මතම පදනම් වන තැනට පත්ව ඇතැයි, බෝඩි‍්‍රයාඩ්  තර්ක කරයි.

ඉහත කෙටියෙන් හඳුන්වාදුන්, ෆූකෝ, මැක්ගේ‍්‍රන් සහ බෝඩි‍්‍රයාඩ් ගේ අදහස්වලින් අපට මතු කර ගත හැකි වැදගත් කරුණක් නම්, අනෙකා තම ලිංගික වස්තුවක් ලෙස ගැනීමත්, ඊටත් එහාට යමින් පොදුවේ අනෙකා තම අනන්‍යතාව සාධනය කරගැනීම සඳහා අරමුණක් ලෙස ගැනීමත්, ඉනුත් ඔබ්බට යමින් මිනිසුන් තමන්වම වස්තූන්ගේ තත්ත්වයට පත්කර ගැනීම යන මේ සියලූ කරුණුවලදී, එම අදහස්වල සංකල්පීය සම්භවය සමීප නෑකමක් දරන්නේ, ලාංකීය ගමට නොව නූතන බටහිර සමාජයට බවයි. අද වනවිට ලාංකීය ගමත් මේ ලක්ෂණයන්ගේ ග‍්‍රහණයට හසුවී ඇත,  ග‍්‍රහණයට පත්වෙමින් ඇතැයි යනුවෙන් අප තර්ක කරන්නේ නම්, එම තර්කය ඉදිරිපත්විය යුත්තේ එම ලක්ෂණ ගමේ සාරයක අංග ලෙසින් සලකා ගෙනද, නැතිනම් නුතනත්වයේ කථිකාවන්ගේ ග‍්‍රහණයට ගම හසුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලෙසින්ද යන්නත් මෙහිදී සිතා බැලිය යුතු නොවේද?

මිනිසාගේ තිරිසන් පාර්ශ්වය සහ ශෘංගාරය
‘මේ මගේ සඳයි‘ චිත‍්‍රපටියේ එන ලිංගික ක‍්‍රියා අශිෂ්ඨ වන්නේ, එහි එන පිරිමින්, ස්ත‍්‍රීන්ගේ සතුට ගැන නොතකා ක‍්‍රියා කිරීම නිසා නම්, එලෙස ආචාර ධර්මීය ලෙස අනෙකා සමග ලිංගිකව හැසිරීමට ඔවුනට බාධා පමුණුවන වැදගත්ම කරුණක් පෙන්වා දිය හැකිය. එය නම් මිනිස් ලිංගික ක‍්‍රියාව වූ කලී, මිනිසා තුල සැඟවී පවතින, ඔහුගේ ස්වාභාවික සහජාශයන් හා බැඳුණු තිරිසන් නැතහොත් සත්ත්ව ස්වභාවයත්, එම සත්ත්ව ස්වභාවය පාලනය කොට ගෙන ශිෂ්ට ස්වභාවයක් ඇති කරගැනීමට ගොඩනැගෙන සංස්කෘතියත් එකට හමුවන සන්ධිස්ථානයක් වීමයි.

මිනිස් ලිංගිකත්වය ද ඇතුළත් වන, තිරිසන් ස්වභාවය මනුෂ්‍ය ස්වභාවයේ ම අංගයක් බව නූතනයේ දී නැවත මතු කළ ප‍්‍රධාන චින්තකයා නම් නීට්ෂේ ය. මනුෂ්‍ය ස්වභාවයේ එකිනෙක හා ගැටෙන පැති දෙකක් හඳුනා ගත් නීට්ෂේ, ඉන් වඩා වනචාරී, ශිෂ්ට නොවූ සහජාශයීය, ආවේගශීලී, විනයකින් තොර නමුත් එමෙන්ම ප්‍රබල, ශක්තිමත් අංගය සුරාවට අධිපති ග‍්‍රීක දෙවියා අනුව යමින් ඩයෝනීසියානු (Dionysian) යනුවෙන් හැඳින්වීය. මීට අසමාන, ඇපලෝ නම් රූමත්කමින් අග තැන්පත් ග‍්‍රීක හිරු දෙවියාගේ නමින් හැඳින්වුණු ඇපලෝනියානු අංගය, සැලකිල්ල දක්වන්නේ විනය, පාලනය. පර්යාය සහ හැඩය යනාදිය පිළිබඳවය. එමෙන්ම එය නීරසය, හිරකරන සුළුය, තර්ක බුද්ධිය ඉහලට ඔසොවා තබමින්, මිනිසාගේ ඩයෝනීසියානු පාර්ශ්වය නිශේධ කරන්නට නූතනයේ දැරුණු උත්සාහය තුළින් බටහිර ශිෂ්ටාචාරයේ සංස්කෘතිය වඳ, පීඩාකාරී එකක් බවට පත්ව ඇතැයි ද, ඒ යටතේ ජීවත්වන පුද්ගලයන් බියසුළු, නිර්හීතකමින් තොර, මැඩ පවත්වනු ලැබූ සත්ත්වයන් බවට පත් කොට ඇතැයි ද තර්ක කළ නීට්ෂේ, ඩයෝනීසියානු ගුණාංග ප‍්‍රකාශයට පත් කිරිම යහපත් මනුෂ්‍ය ජීවිතයක් ගොඩ නංවා ගැනීමට අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. ඩයෝනීසියානු පාර්ශ්වය මිනිස් ජීවිතයේ ඒකාග‍්‍ර අංගයක් ලෙස භාරගෙන, යහපත් ආකාරයට එය ප‍්‍රකාශයට පත්වන්නට යොමු කිරීම තුළින්, එය උත්කර්ෂයට නංවාගැනීම තුළ අභිබවනය කිරීම තුළින් උත්තර මනුෂ්‍යයෙකු සම්පාදනය කරගත යුතු බව නීට්ෂේගේ අදහස විය.

ෆ්‍රොයිඩ්
Sigmund Freud In Home Office At Desk
Civilization and its Discontents නම් තම කෘතියේ ෆ්‍රොයිඩ් අවධාරණය කරන කරුණක් නම්, මිනිසුන් වූ කලී, මෘදු, ආදාරය පතන මිත‍්‍රශීලී, තමනට පහර දුනහොත් පමණක් තමන්ගේ ආරක්ෂාවට කටයුතු කරන සත්වයන් නොවන බවයි. ඔවුන්ගේ සහජමය දායාදයේ කොටසක් ලෙස හඳුනාගත හැකි, ආක‍්‍රමණශීලීභාවය සඳහා වන ප‍්‍රබල ආශාවක් ඔවුන් තුළ තිබේ. මෙහි ප‍්‍රතිඵලය ලෙසින් ෆ්‍රොයිඩ්  හඳුනාගන්නා, මිනිසාගේ ආක‍්‍රමණශීලීභාවයේ අංග අතර වන්දි ගෙවීමකින් තොරව අනෙකාගේ ශ‍්‍රමය සූරා කෑම, අනෙකාට හිමි දේ පැහැර ගැනීම, අනෙකාගේ කැමැත්තෙන් තොරව ඇය ලිංගික වශයෙන් පාවිච්චි කිරීම, කෙනෙකු නින්දාවට අවමානයට පත් කොට ඔද බිඳීම, වේදනා ගෙනදීම, වධදීම සහ මරාදැමීමත් වෙයි. මිනිසාගේ මෙම ආක‍්‍රමණශීලී කෲරත්වය සාමාන්‍යයෙන් කිසියම් කුපිත කිරීමක් අපේක්ෂාවෙන් බලා සිටියි. නැතහොත් වඩා සෞම්‍ය   ආකාරයෙන් සාධනය කරගත හැකිව තිබුණු වෙනත් අරමුණකට සේවය කරන්නට ඉදිරිපත් වෙයි. එය ක‍්‍රියාත්මකවීම සාමාන්‍යයෙන් වළකාලන මනසේ බලවේගයන් ක‍්‍රියාවිරහිත අවස්ථාවක එය ස්වයංසිද්ධව ප‍්‍රකාශිත වී, තමන්ගේම වර්ගයාට ඉන්නට ඉඩ හරින සිතිවිල්ලෙන් දුරස්ථ වනචාරී තිරිසනුන් ලෙසින් මිනිස්සු ප‍්‍රකාශයට පත් වෙති. ලෝකයේ මුල්කාලීන සංක‍්‍රමණයන් හි දක්නට ලැබුණු කෲරකම්, හන්වරුන්ගේ ආක‍්‍රමණ, ජෙන්ඝිස් ඛාන් හෝ තාමුර්ලේන් යටතේ ඊනියා මොන්ගෝලියානුවන්ගේ ආක‍්‍රමණ, ශක්තිවන්ත කුරුස යුදකාමීන්, ජෙරුසලම මංකොල්ල කෑම, (නූතන) ලෝක යුද්ධයේ භීතීන් සිතට නගා ගන්නා ඕනෑම කෙනෙකුට මිනිසා පිළිබඳ මෙම දැක්  ඇති සත්‍යය ඉදිරියේ නිහතමානීව හිස නමන්නට සිදුවනු ඇතැයි,   ෆ්‍රොයිඩ් කීවේය. මිනිසුන් තුළ එකිනෙකා කෙරෙහි ඇති මෙම මූලික පසමිතුරු බව තුළින් බිඳී විසිරී යෑමේ තර්ජනයට සදාකාලිකව මුහුණ දී සිටින ශිෂ්ටවත් සමාජය, මිනිසුන්ගේ ආක‍්‍රමණශීලී සහජාශයන්ට වැට බැඳීමට සංස්කෘතියට හැකි සෑම බලයක් ම යොදා ගනියි.

මේ සඳහා එය යොදා ගන්නා ක‍්‍රම පද්ධතිය මගින් කෙරෙන එක් දෙයක් නම් හුදු පේ‍්‍රමය සඳහාම පේ‍්‍රමයෙන් බැඳීමට මානව වර්ගයා යොමු කිරීමයි. ලිංගික ජීවිතයට පැනවෙන සීමා තවත් එකකි.

තමන් තුළ ඇති ආක‍්‍රමණශීලීභාවය සඳහා වන මෙම නැඹුරුව තෘප්තිමත් කරගැනීම අත්හැර දැමීම මිනිසුන්ට පහසුවෙන් කළ හැක්කක් නොවන බව පැහැදිලිය. මෙම තෘප්තිය ලැබීම අහිමි කළ විට ඔවුහු නොසන්සුන් වෙති. කුඩා ප‍්‍රජාවන්ට ඇති වාසියක් නම් තම ආක‍්‍රමණීලී සහජය පිට කිරීමේ මගක් කණ්ඩායමෙන් පිටස්තරව සිටින්නන් කෙරෙහි දැක්වෙන සතුරු බව තුළ තිබීමයි. ආක‍්‍රමණශිලී ප‍්‍රකාශනයන් සඳහා අරමුණු වශයෙන් කිසියම් පිරිසක් සිටින තාක් කල් මිනිසුන් සැලකිය යුතු සංඛ්‍යාවන් එකිනෙකා කෙරෙහි ඇති පේ‍්‍රමයෙන් එක්සත් කිරීම හැමවිටමත් කළ හැකිය. යාබද භූමි ප‍්‍රදේශයන්හි වසන, සහ වෙන අන්දමකින් සමීපව බැඳුණු ජනයා හැමවිටමත් එකිනෙකා සමග ආරාවුල් කරගනිමින්, එකිනෙකා සමච්චලයට ලක්කරමින් සිටින්නේය යන්න, පුදුම කාරණාවකි. ස්පාඤ්ඤයන් සහ පෘතුගීසීන්, උතුරු සහ දකුණු ජර්මානුවන් සහ ඉංග‍්‍රීසීන් සහ ස්කොට්ලන්ත ජාතීන් මීට උදාහරණය. මෙය සමූහයක සාමාජිකයන් අතර සංස්කෘතිය පහසු කෙරෙන ලෙසින් ආක‍්‍රමණශීලී නැඹුරුවන් තෘප්තිමත් කරගැනීමේ පහසු සහ සාපේක්ෂව හානියෙන් තොර ආකාරයක් බව දැකිය හැකියැයි ෆ්‍රොයිඩ්  පෙන්වා දෙයි.

අපගේ ඓන්ද්‍රීය, ජීව විද්‍යාත්මක සත්ත්ව ස්වභාවයන්ගේ, තෘප්තිමත් කරනු ලැබීම ඉල්ලා සිටින මූලික, සහජාශමය පේ‍්‍රරණයන්ගේ සෘජු ප‍්‍රකාශනය ලෙසින් ෆ්‍රොයිඩ්  අවිඥානය හඳුන්වා දුන්නේය. ලිංගික ආශාව මෙම සහජාශයන් අතර ප‍්‍රධාන එකකි. මිනිසුන් තුළ ඇති සත්ත්ව ස්වභාවය ක්ෂණික සතුට සඳහාම වන වග විභාගයක් නැති, තෘප්තියට නොපැමිණෙන ආශාවකි. ආහාර හෝ ලිංගික සතුට සඳහා වන අපගේ ආශාව නිශ්ඵල වූ විට ගොඩ නැගෙන අප‍්‍රසන්න ආතතීන් සැහැල්ලූ කිරිම සඳහා වන අතාර්කික, පාලනයකින් තොර ඉල්ලීමකි. එවැනි ස්වභාවයක් ඊට රිසිසේ හැසිරෙන්නට ඉඩ දුනහොත් ස්වයං – විනාශයට යොමුවනු ඇත. අවට මානව පරිසරයත් විනාශ කරනු ඇත. මානවයන්ට සහජාශමය අවශ්‍යතාවන් ඇති නමුදු ඒවා තෘප්තිමත් කර ගැනීමේ සහජමය ආකාරයන් නැති හෙයිනි. මෙනිසා මානව පෞරුෂයට පදනම් වන පේ‍්‍රරණයන් පාලනය කොට නිසි මගට යොමු කළ යුතු වෙයි. මේ සඳහා ක්ෂණික තෘප්තිය සඳහා වන ඉල්ලීම, එතරම්ම ඉක්මණින් නොවන නමුත් වඩා ආරක්ෂිත ලෙස තෘප්තිකර වන ප‍්‍රතිචාරයන් වෙනුවෙන් කල් දමන්නටත්, තෘප්තීන් මුදුන් පමුණුවා ගැනීමේ ප‍්‍රයෝගිකව සඵලදායී ආකාරයන් ග‍්‍රහණය කරගැනීම සඳහා තම පරිසරය පිළිබඳව ඉගෙන ගන්නටත් මානවයාට සිදුවෙයි. එලෙසින් තම පේ‍්‍රරණයන් හසුරුවා ගන්නටත්, තම ප‍්‍රතික‍්‍රියාවන් අවස්ථාවන්ට අනුව ගලපා ගන්නටත් ඉඩගන ගන්නා මානව සත්ත්වයා එය තම මූලික පෞරුෂයේ සංවර්ධනය තුළින් කරයි. මෙම සංවර්ධනය පළමුව, පවුල් සබඳතාව තුළිනුත්, පසුව පුළුල් සමාජය ඇතුළතත් සිදුවෙයි.

මෙලෙස ස්වභාවයෙන්ම ආක‍්‍රමණීශීලී, චණ්ඩතාවෙන් යුතු මිනිසා ස්වයං විනාශයෙන් ගලවා ගන්නට පේ‍්‍රමය නමැති සංකල්පය හරහා පවුල ගොඩ නගා සංස්කෘතියට, ශිෂ්ටාචාරයට පදනම දැමීමේ ක‍්‍රියාවලිය තුළ, තම ආක‍්‍රමණශිලීභාවය හසුරුවා ගැනීමට මිනිසාට පුහුණුව ලබාදීම, නැතහොත් ශික්ෂණය කිරීම ආරම්භ වෙයි. නමුත් පවුල තුළ මෙය සිදු කෙරෙන නිසාම, අනුන් මත තම ලිංගික සහජාශයන් ක්ෂණිකව මුදා නොහැර හසුරුවා ගන්නට පුහුණුව ලබන පුද්ගලයාගේ වුව ලිංගික සබඳතාව තුළට ඔහුට පහසුවෙන් හසුරුවා ගත නොහැකි බලපෑමක් ද නිරායාසයෙන්ම ඇතුළු වෙයි. එය නම් මිනිසාගේ ලිංගික අනන්‍යතාව ගොඩ නැගීමට, ඔහු සහ ඔහුගේ දෙමව්පියන් අතර ඇති සබඳතාව තුළින් ඔහුගේ මානසිකයට ඇතුළුවන බලපෑම්ය. ඊඩිපස් සංකීර්ණය, කරැඹීම් සංකීර්ණය යනාදී මනෝවිද්‍යාත්මක සංකල්ප ඇසුරෙන් ෆ්‍රොයිඩ්  පැහැදිලි කරන්නට උත්සාහ කළ කරුණ මෙයයි. පසු කලෙක ලකාන් පරිකල්පනික, සංකේතීය සහ සැබෑ යනුවෙන් හඳුනාගත් මිනිස් මානසික වර්ධනයේ අවධි ඇසුරෙන් ද, කැඩපත් අවධිය වැනි සංකල්ප ඇසුරෙන් ද, භාෂාව තුළ තබා විග‍්‍රහ කරන්නට උත්සාහ කළේ ද මේ එකම කරුණමය. මේ විග‍්‍රහයන්ගෙන් මතුවන ප‍්‍රධානම කරුණක් නම් මානව ලිංගික අනන්‍යතාව වූ කලී, සහජ කාමුක ආශාවන් හැසිරවීමේ පුහුණුව පවුල තුළ ලබාදීමේ දී සමාජයෙන් නිශ්චය කෙරුණු ලිංගික භූමිකාව ගොඩනගා ගැනීමේ ක‍්‍රියාවලියට, ළමයා හා දෙමව්පියන් අතර ඇති සම්බන්ධය තීරණාත්මක වන තත්ත්වයක් තුළ ගොඩ නැගෙන්නක් බවයි. පුද්ගලයෙකුට පරිණත මානසික වර්ධනයක් අත්පත් කරගත හැකිවන්න තමා සහ දෙමව්පියන් අතර සම්බන්ධයෙන් මතුවන ඊඩිපස් සංකීර්ණය සාර්ථකව නිරාකරණය කරගැනීමට හැකිවීම මතය. ෆ්‍රොයිඩ්  පෙන්වා දුන් කරුණක් වූයේ, මෙම සංකීර්ණය ජයගන්නට කෙරෙන අරගලය සදහටම, මුළුමනින්ම නිරාකරණය කරගැනීම උගහට බවයි. මෙම අරගලයේ එක් ශේෂයක් නම්, තහංචි සහ නීති පිළිපැදීම සහ කැඞීම කෙරෙහි මිනිසා දක්වන දෙබිඩි ආකල්පය බව ෆ්‍රොයිඩ්  යෝජනා කළේය.
මිනිස් ලිංගික අනන්‍යතාවයේ ඇති සංකීර්ණ ස්වභාවය පිළිබඳව, විශේෂයෙන්ම, මිනිස් ලිංගික අනන්‍යතාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලිය පුරුෂයා මත ඇති කරන ඉමහත් බලපෑම පිළිබඳව, ඉතාමත් ප්‍රබල ලෙස කරුණු ඉදිරිපත් කරන්නියක නම් කැමිල පාලියාය. නීට්ෂේ සහ ෆ්‍රොයිඩ්  අනුව යමින් ඇය තම Sexual Personaeae නමැති කෘතියේ අවධාරණය කර සිටින කරුණ නම් ලිංගිකය යනු ස්වභාවධර්මයේ උප පද්ධතියක්, මිනිසා තුළ ඇති ස්වාභාවික දේ බවයි. සමාජය යනු ස්වභාවයට එරෙහි ආරක්ෂණයක්, කෘත‍්‍රීම නිර්මිතයකි. ලිංගිකත්වය සහ ශෘංගාරය යනු ස්වභාවය සහ සංස්කෘතිය එකට හමුවන, තේරුම් ගැනීමට අපහසු මංසන්ධියයි. ලිංගිකය හුදු සමාජ සම්මුතිය පිළිබඳ කරුණක් බවට ලඝු කරන ස්ත‍්‍රීවාදීන් කරන්නේ එය අධික ලෙස අතිසරල කිරීමකි. සමාජය නැවත ගලපා, ලිංගික අසමානතාව අහෝසි කොට, ලිංගික භූමිකාවන් පිරිසිදු කළ විට සතුට සහ සුසංවාදීබව රජයනු ඇත යන්න, නියෝජනය කරන්නේ රූසෝ ගේ උරුමයෙන් බිහිවූ දහනව වැනි සියවසේ, ප‍්‍රගිතිශීලීවාදී ලිබරල් චින්තන ධාරාවයි. ඊට අනුව මිහිමත පාරාදීසය අත්පත් කරගැනීමේ මග සමාජ ප‍්‍රතිසංස්කරණයයි. මෙම රූසෝවාදී චින්තනයට අනුව චණඩතාව, ප‍්‍රචණ්ඩත්වය සහ අපාරාධ ඇතිවන්නේ, සමාජමය වශයෙන් ලැබිය යුතු දේ අහිමි කෙරුණු තත්ත්වයන් තුළය. දිළිඳු අසල්වැසි පරිසරයකිනි, නරක ගෙදරකිනි. මීට පටහැනිව, පාලියා මතු කරන කරුණ නම්, ප‍්‍රචණ්ඩත්වය එන්නේ, ස්වභාවය (nature) නැතහොත් නීට්ෂේ බලය සඳහා අධිෂ්ඨානය (Will to Power) යනුවෙන් හැඳින් වූ, ඉහත සඳහන් කළ ඩයෝනීසියානු සහ ඇපලෝනියානු යන මනුෂ්‍ය ස්වභාවයේ ඇති දෙපාර්ශ්වයේම මුල ප‍්‍රභවයෙන් බවයි. එහෙයින් ලිංගික දූෂණය සහ පරිපීඩා කාමුකත්වය මානව ඉතිහාසය පුරාම, සමහර අවස්ථාවන්හි දී සියලුම සංස්කෘතීන්හිත් දක්නට ලැබී ඇත. ලිංගික දූෂකයා නරක සමාජීය බලපෑම්වලින් නිර්මාණය කෙරෙනවා නොව, සමාජීය-හැඩගැස්වීම් අසාර්ථකවීමේ ප‍්‍රතිඵලයකි. සමාජය යනු අපරාධකරුවා නොව, අපරාධ වළක්වා තබාගන්නා බලයයි. සමාජ පාලනයන් දුර්වල වනවිට මිනිසාගේ සහජ කුරිරු බව පුපුරා පිටතට පනියි. ලිංගිකයෙන් බල සබඳතා පළවා හරින්නට අරමුණු කරන ස්ත‍්‍රීවාදීන් සටනට පිවිස ඇත්තේ ස්වභාවයට එරෙහිවය. ලිංගිකය යනු බලයයි. අනන්‍යතාව යනු බලයයි. අනන්‍යතාව යනු ඝට්ටනයයි. වරදකාරී හැඟීමෙන් තොරව, දෝෂයකින් තොරව ලිංගික කටයුත්තේ යෙදීම පහසු නොවේ. කුමන සංස්කෘතියක වුවත්, ලිංගිකය හැමවිටම තහංචිවලින් වට කරනු ලැබ ඇත්තකි. ලිංගිකය යනු මිනිසා සහ ස්වභාවය හමුවන ලක්ෂ්‍යයයි. එහිදී සදාචාරයත්, යහපත් අරමුණුත්, ආදී කල්පිත පෙළඹවීම්වලට ගොදුරු වෙයි. පවුල් පේ‍්‍රමය පිළිබඳ ෆ්‍රොයිඩ් ගේ න්‍යායයෙන් ගම්‍ය වන, ලිංගිකයේ ඇති බිහිසුණු, යක්ෂාවේෂ වූ භූතයන්-ලැගුම්ගත් ස්වභාවය හේතුවෙන්, අප හැම කෙනෙකුම ළමාවියේ සිට මරණය දක්වා අප විසින් රැගෙන යනු ලබන, ව්‍යහිචාරී ලිංගික පාත‍්‍රයන් සමූහයක් හිමිකරගෙන සිටින්නෙමු, යි පාලියා කියා සිටියි. අප ආදර කරන්නේ හෝ වෛර කරන්නේ කාටද, කෙසේද යන්න තීරණය කරන්නේ මෙම පාත‍්‍රයන් විසිනි. මිතුරා හෝ සතුරා සමග වන හැම හමුවක්ම, අධිකාරයත් සමග ඇතිවන හැම ගැටුමක් හෝ යටත්වීමක්ම පවුල් පේ‍්‍රමයේ වැරදි අතට හැරුණු ශේෂයන්ගේ සලකුණු දරා සිටියි. ‘අපට කවර විටෙකවත්, ලිංගිකමය වශයෙන් හෝ අන් ලෙසින්, තවත් පුද්ගලයෙකු බදා වැළඳගත නොහැකිය. ඒ වෙනුවට සිදුවන්නේ ඇයගේ හෝ ඔහුගේ සමස්ත පේ‍්‍රමයම වැළඳ ගැනීමයි‘ ෆ්‍රොයිඩ් කරන ප‍්‍රකාශය ඉහත අදහස් කැටිකර දක්වන්නකි. ලිංගිකයේ දී සහ භාවයන්හිදී ස්ව-අධිෂ්ඨානය පිළිබඳ අංගය අල්පය.  කවීන් දන්නා පරිදි, පෙමින් බැඳීම අවිචාර සම්පන්නය.

Sexual_Personae__Camille_Paglia
මෙපරිද්දෙන් වැඩිහිටි ලිංගිකය හැමවිටකම නියෝජනයයි  (representation), අතුරුදහන්ව ගිය යථාවන්, පිළිවෙත් ස්වරූපයෙන් ක‍්‍රියාවට පෙරළීමයි. පරිපූර්ණව කාරුණික ශෘංගාරත්වයක් අභව්‍ය විය හැකිය. හැම පවුල් පේ‍්‍රමයකම කොතැනක හෝ සතුරුකම් හෝ විරුද්ධභාවය සහ චණ්ඩතාව හෝ ආක‍්‍රමණශීලීභාවය, සහ අවිඥානයේ මනුෂ්‍ය ඝාතක ප‍්‍රාර්ථනාවන් ඇත. බලය සඳහා ඇති අධිෂ්ඨානය සහජය, නමුත් පවුල් පේ‍්‍රමයේ ලිංගික (තිර) පිටපත් ඉගෙන ගත් ඒවාය. සවිඥානය සත්ත්ව සහජයත් සමග තදින්ම පටලැවී, ආකූල වී ඇත. හැම කායික ලිංගික ක‍්‍රියාවක්ම මානසික නැතහොත් අධ්‍යාත්මීය සෙවණැලිවලින් හැඩ ගස්වනු ලැබ ඇත. ශෘංගාරත්වය යනු ලිංගික අවකාශය තුළ අපගේ පරිකල්පනීය ජීවිතයයි. එය අපගේ සමාජ අවකාශය මත එක පිට වැටිය හැකිය. නමුත් එය හා සර්වසම නොවේ.

ආරම්භයේ සිටම ගැහැනියගේ ගුප්ත මෙන් පෙනුණු ස්වභාවයට, ඇයගේ අද්භූත ජාතක කිරීමේ බලයට පිරිමි ගරු කළහ. නමුත් බිය වූහ. ස්වභාවයේම උප පද්ධතියක් වන් ගැහැනියගේ කේන්ද්‍රීයභාවය පිරිමියාට බලවත් බාධකයකි. අනන්‍යතාව සඳහා වන ඔහුගේ සෙවිල්ලට ඇය හරස් කපයි. ඔහු තමා ස්වාධීන සත්ත්වයෙකු බවට, එනම් ඇයගෙන් නිදහස් සත්ත්වයෙකු බවට විපර්යාස කළ යුතුය. එසේ නොකළහොත්, ඔහු නැවතත් ඇ තුළට ආපසු වැටෙනු ඇත. මව සමග මෙලෙස නැවත එක්වීමේ භීතිය පිරිමියාගේ පරිකල්පනයේ හොල්මන් කරන අනතුරු හඟවන නලා හඬයි.

පාලියා කියන්නේ ලිංගික ක‍්‍රියාව මුලික වශයෙන් සමාජමය නොව ස්වාභාවික ගනුදෙනුවක් බවයි. ලිංගිකත්වය යනු, ප‍්‍රතිවිරෝධයන්ගෙන් සහ එකම දේ පිළිබඳ ප‍්‍රතිවිරුද්ධ අදහසින් සැදුණු අඳුරු රාජ්‍යයකි. එය හැමවිටමත් සමාජීය ආකෘතීන්ගෙන් වටහාගත හැකි නොවේ. සමාජීය හෝ සදාචාරමය යෝග්‍යතාව පිළිබඳ කෝණයන්ගෙන් එය හරි ගැස්සිය හැකි නොවේ.

පිරිමියාට හැම සංවාස අවස්ථාවක්ම මව කරා ආපසු යෑමක්, ඇයට යටත්වීමක් වෙයි. පිරිමින්ට ලිංගික ක‍්‍රියාව අනන්‍යතාව සඳහා වන අරගලයකි. පිරිමියාගේ ලිංගික සහජය, ස්වභාවයට එරෙහිව තම අනන්‍යතාව ගොඩ ගැනීම සඳහා , ස්වභාවයේ ප‍්‍රබලම නියෝජනය වන ගැහැනිය අරභයා කෙරෙන කැත, බිහිසුණු ආක‍්‍රමණයකි. සමාජය අවශ්‍යවන්නේ මෙම සහජය පාලනය කිරිමටය. ස්වභාවය ජය ගැනීමේ අවශ්‍යතාවත්, ඊට පරාජය වීමේ බියත් අතරට මැදිවන පිරිමියා ආදරය හදාගන්නේ මේ බය යටපත් කරන්නටය. ශෘංගාරය, ස්වභාවයේ පෘථිවීමයභාවය සමාජයට ඇතුළු වන මෘදු ලක්ෂ්‍යයය, යන්න පාලියාගේ අදහසයි.

මානව ලිංගිකත්වයේ අතිශය සංකීර්ණ ස්වභාවය පිළිබඳව අපගේ අවබෝධය තවදුරටත් පුළුල් කරන බතායි (Battaille) ශෘංගාරකාමිත්වය (eroticism) පිළිබඳ තම කෘතීන්ගෙන් ‘මානව ලිංගිකත්වය හා බැඳුණු අතිශයින් ගැඹුරු ආත්මීය ස්වභාවය‘ අවධාරණය කරයි. මින් පෙරත් සඳහන් කළ පරිදි ඔහුට අනුව තිරිසනුන් අතර සිදුවන හුදු කායික ලිංගික ක‍්‍රියාව මෙන් නොව මිනිසාගේ ලිංගික ක‍්‍රියාකාරකමම ශෘංගාරයයි. මෙය ස්වභාව ධර්මයට සම්බන්ධ කායික ලිංගික තෘප්තිය සෙවීමෙන් ස්වාධීනව පවතින මනෝවිද්‍යාත්මක ගවේෂණයකි. ශෘංගාරත්වය වූ කලී අරමුණක්, ඉඳුරන් පිනවීමේ කාමුක සතුට දැනුවත්ව සොයා යෑමකි. ඉඳුරන්ගේ අන්ධ සහජාශයන් තෘප්තිමත් කිරීම වෙනුවට ස්වේච්ඡාවෙන් කෙරෙන සෙල්ලමකි. මෙම මනෝවිද්‍යාත්මක ස්වභාවය නිසාම ශෘංගාරයේ බල මණ්ඩලය, ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ, උල්ලංඝනය පිළිබඳ බල මණ්ඩලයක් වෙයි. ශෘංගාරයේ ප‍්‍රචණ්ඩත්වය, මරණය හා උපත පිළිබඳව මිනිසා තුළ පවතින ආකල්පයද තමන් මිය යනු ඇත, යන සිතිවිල්ල හා බැඳී පවතියි. කායික ශෘංගාරය එහි නිරතවන්නන්ගේ සත්තාවම (being) උල්ලංඝනය කිරීමක්, මරණයේ කඩම, ඝාතනයේ කඩඉම දක්වාම යන උල්ලංඝනය කිරීමක් සංඥා කරයි. ශෘංගාරය යනු මරණයේ ලක්ෂ්‍යය දක්වා ජීවිතය පිළිගැනීමයි. අසන්තතික (discontinuous) සත්ත්වයන් ලෙසින් උපත ලබන මිනිසුන්ට මරණයෙන් අදහස් වන්නේ සත්තාවේ සන්තතියයි. ඉතා සමීපව එකට බැඳී පවතින උපත, මරණය, අසන්තතිය හා සන්තතිය යන සංකල්පවල ඇති චිත්තාකර්ශනීය බව ශෘංගාරයේ ප‍්‍රධානම අංගයයි. මෙලෙසින් ශෘංගාරය, මිනිස් ජීවිතයේ ඇති අසන්තතිය මැද සන්තතියක් ගොඩ නැංවීමට මිනිසා තුළින් ප‍්‍රකට වන ආශාව හා බැඳුණකි. තම මහත් ශෘංගාරමය ආශාවෙන් මිනිසා තුළ ඇති කරන්නේ භීතියකි. මිනිසාගේ ඇතුළාන්ත ජීවිතය කෙළිබිමට කැඳවන ශෘංගාරය තුළ මිනිසා තම සත්තාව ප‍්‍රශ්න කිරීමට ලක් කරයි. ආදි කල සිටම ශෘංගාරකාමී ජීවිතය සීමාන්තික චිත්තවේග හා බැඳුණකි. ලිංගික කටයුත්තේ දී ඇතිවන ව්‍යාකූලභාවය, සිතේ අපහසුව, මරණය සහ මළවුන් හා සම්බන්ධය. මරණයත්, ලිංගික ක‍්‍රියාවන් මිනිසා තුළ ඇති කරන හැඟීම්වල සාම්‍යයක් දැකිය හැකිය. ක‍්‍රමවත් බවට පත් කළ, සමාජ පර්යායේ ස්ථාපිත රටාවන් කඩා බිඳ දැමීමක් හැමවිටමත් ශෘංගාරකාමිත්වයෙන් උදා කරයි. මේ බතායිගේ අදහස්වලින් සමහරකි.

මානව ලිංගිකත්වය ස්වභාවයෙන් මතුව එන සහජය හා බැඳී පවතින, මානසික, ආධ්‍යත්මික, ආත්මීය සංකීර්ණතාවන් හා ආකූලව පවතින්නක් බවට ඒ පිළිබඳව ගැඹුරින් සිත් යොමු කළ චින්තකයන් කිහිප දෙනෙකුගේ අදහස් ඉහත ඉදිරිපත් කිරීමෙන් මා අදහස් කළේ පිරිමින් විසින් ස්ත‍්‍රියගේ සතුට පිළිබඳව තැකීමක් නොකොට ඇය තම ලිංගික ප‍්‍රයෝජනය, සතුට සඳහා හුදු වස්තුවක් ලෙස යොදාගැනීමේ ඇති අශිෂ්ටකම, ආචාර ධර්මීය නොවන බව සාධාරණය කරන්නට නොවන බව මෙහිදි අවධාරණය කළ යුතුය. මේ කරුණු පිළිබඳව සන්සුන්ව, මැදහත්ව සිතනු කැමති පාඨකයාට මා යෝජනා කරන්නේ, අනෙකා සම්බන්ධයෙන් ශිෂ්ට සම්පන්නව ක‍්‍රියා කිරීමේ ඇති දුෂ්කරතාව ගැන සිතා බලන ලෙසටය. ශිෂ්ටවීම යනු වරක් සාධනය කරගැනීමෙන් අනතුරුව, එකම මට්ටමේ දිගටම පවත්වාගෙන යා හැකි තානාන්තරයක් බඳු දෙයක් නොව පරිණාමවාදී ක‍්‍රියාවලියක ඵලයක් නොව, හැම එක් එක් අවස්ථාවකදීම නැවත නැවතත් මුදුන් පමුණුවා ගැනිම සඳහා තමා තුළ ඇති සහජ සත්ත්ව බලවේගයන් සමග මෙන්ම මානසික, ආත්මීය ආධ්‍යාත්මික බලවේගයන් සමගින් ද දැඩිව අරකල කළ යුතු දුෂ්කර ක‍්‍රීයාවක් බව අප වටහා ගන්නේ නම් එක් එක් මිනිසාගේ ලිංගික ක‍්‍රියාවමත්  එසේ සිදු කෙරෙන්නේ මන්ද යන්න වටහා ගැනීමට නම්, ඔවුන්ගේ ජීවිත ඇතුළාන්තයට නැඹුරු වී තතු විමසිය යුතු බව අපට වැටහෙනු ඇත.

අවිඥානය භාෂාව මෙන් ව්‍යුහගත වී ඇතැයි ප‍්‍රකාශ කරමින්, මානව ලිංගිකත්වය මුළුමනින්ම සමාජ නිර්මිතයකැයි යෝජනා කෙරෙන ලකාන් අනුව යමින් සම්පාදනය කෙරෙන විග‍්‍රහයකට අනුව නම්, ලාංකීය ගැමියන්ගේ ලිංගික කටයුතු අශිෂ්ට වනු ඇත්තේ, ලිංගිකත්වය පිළිබඳ නූතන කථිකාවට, නිසි කථිකාවට ඔවුන් ඇතුළත් වී නැති නිසා විය යුතුය. ලිංගිකත්වය පිළිබඳ අදහස් පරිණාමයේ, ආදී කල්පික ම්ලේච්ඡ අවස්ථාවක එවුන් සිරවී සිටින නිසා විය යුතුය. සියල්ල කථිකාව යැයි කියා සිටින සමාජ නිර්මිතවාදී චින්තනය කියා සිටින බව පෙනෙන්නේ මානව ලිංගික ක‍්‍රියා වූ කලි මිනිසාට භාෂාව ඇසුරෙන් තමා අභිමත පරිදි හසුරුවා ගත හැකි හුදු කායික ක‍්‍රියාවක් වන බවයි. මෙම චින්තනයෙන් අපේක්ෂා කරන්නේ සංස්කෘතිය ගොඩනැංවීමට මිනිසා යොමු කරන, ඔහු තුළ නිසඟයෙන්ම ඇති, භෞතිකමය, සහජාශමය පාර්ශ්වය නිශේධනය කොට, තර්ක බුද්ධිය ඉහලින් ඔසොවා තබන්නටය. අවිඥානය යනු හුදු භාෂාමය නිර්මිතකයක් නොවේ. ඊට වැඩි දෙයකි, භාෂාව කොතරම් වෙනස් කළත්, මිනිසා තුළ ඇති තිරිසන් පාර්ශ්වය සහමුලින් නැති කළ නොහැකි වනු ඇත. එපමණක් නොව එය නිශේධනය කරන්නට, යටපත් කරන්නට ගන්නා සියලු උත්සාහයන්ගේ ප්‍රතිඵලය වනු ඇත්තේ, නීට්ෂේ පෙන්වා දුන්නාක් මෙන් මිනිසාගේ නිර්මාණශිලීභාවය ද ඒ සමගින් මොට කර දැමීමයි. මානව ලිංගිකත්වය භාෂා නිර්මිතයක් පමණකැයි කියන තර්කයකින් කියා සිටින තවත් කරුණක් විය හැක්කේ, ‘අශිෂ්ට‘ ලිංගික ක‍්‍රියාවල යෙදෙන මිනිසා, පූර්ව-ශිෂ්ටගත තත්ත්වයක සිටින, පූර්ව-මානව තත්ත්වයක සිටින්නෙකු, නැත්නම් සත්ත්වයෙකු විය හැකි බවයි. මානවයා යැයි කියන්නේ ශිෂ්ට වූ තැනැත්තෙකුටය. මෙලෙස ශිෂ්ටවීමේ ප‍්‍රධාන අංගයක් වන්නේ තමා තුළ ඇති සත්ත්ව පාර්ශ්වය සංස්කෘතික ශීක්ෂණය යටතේ, පාලනය කොට තබා ගැනීමටය. එහෙත් හැම ශිෂ්ට මිනිසෙක්ම පාහේ දෙන ලද කිසියම් අවස්ථාවක තම සත්ත්ව සහජාශයන්ට යටවන තත්ත්වයට පත්වීම සිදුවිය හැකිය. යුද්ධය, රංචු පාලනය වැනි, සමාජ පාලනයන් දුර්වල වන ඕනෑම අවස්ථාවක් යටතේ, ශිෂ්ට සම්පන්න මිනිසුන් ද අශිෂ්ට ලෙස හැසිරෙතියි යන්න අපට ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. එවැනි අශිෂ්ට චර්යාවන් අතර දූෂණය නමැති ම්ලේච්ඡ ක‍්‍රියාව ද වෙයි. මේ බව පෙන්වා දෙන්නේ කැමිල පාලියාය.

© ‘කතිකා‘ අධ්‍යයන කවය. සියළු හිමිකම් සපුරා ඇවිරිණි.
උපුටා පළ කිරීම තහනම්.

Advertisements