අගෝස්තු 17 මහ මැතිවරණය බලන්, ප්‍රජාතන්ත්‍රවාදයේ අසිරිය ! – කුමුදු කුසුම් කුමාර

අගෝස්තු 17 මහ මැතිවරණය 1977න් පසු පළමු වරට අපගේ පාර්ලිමේන්තු නියෝජන බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් මෙන්ම එහි නිශේධනාත්මක පැතිකඩ සහ සීමා ද මැනවින් වටහා ගැනීමේ අවස්ථාවක් උදා කර දී ඇත.

අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රධාන පැතිකඩ කිහිපයකි.

ජනවාරි 8 දා මෙරට පුරවැසි ප්‍රජාව විවර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දේශපාලනයට පිවිසෙන සියල්ලන්ට රජයේ පාර්ශ්වයෙන් සම්පූර්ණයෙන්ම පාහේ සම මට්ටමේ තරඟ භූමියක් විවෘත කොට දී තිබේ. රාජ්‍ය බලය හෝ සම්පත් මෙන්ම පෞද්ගලික බලය දේශපාලනයට යොදා ගැනීම ට නීතියෙන් පැනවෙන සීමා ක්‍රියාත්මක කෙරෙමින් පවතී. මෙහිදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ගේ භූමිකාව මෙන්ම පොලිස්පති ඉලංගකෝන් මහතා ද නිහඬව නමුත් ඉටු කරන අතිශය සාධනීය භූමිකාව ජනවාරි 8 දා මෙන්ම අදත් රජයේ සේවයේ නිලධාරීන්ට මහඟු ආදර්ශයක් සපයයි. පොලීසියේ නිලධාරීන්ද නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්නට තමන්ට ලැබුණු දුර්ලභ අවස්ථාවට සාධනීය ප්‍රතිචාර දක්වමින් සිටිති. මෙය 1970 ගණන් සිට දේශපාලනයට යටව පෑගී සිටි රජයේ නිලධාරීන්ගේ වෘත්තීය අභිමානය යළි නඟා සිටුවීමට කෙරෙන දායකත්වයකි.

මෙරට සියලු දේශපාලන ප්‍රවාහයන්ට අයිති පක්ෂ මෙම මැතිවරණයෙහි ලා සහභාගී වෙයි. කිසිවෙකු මැතිවරණය වර්ජනය කරන්නේ නැත. මෙම සහභාගීත්වයේ පරාසයේ එක් අන්තයක ජනවාරි 8 දා ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා ලැබුණු අවස්ථාවක් ලෙස දැකීම ප්‍රතික්ෂේප කරමින්ම නමුත් එහි ලා තරඟ කළ, විප්ලවවාදී වාමාංශික පක්ෂයක් වන පෙරටුගාමි සමාජවාදී පක්ෂය වෙයි. අනෙක් අන්තයේ ඇත්තේ අන්තවාදී සිංහල-බෞද්ධ ජාතිවාදී භික්ෂූ කණ්ඩායමක් වන බොදු බල සේනාව ය.

ජනවාරි 8 දා ජනාධිපතිවරණයෙන් මල් ඵල ගැන්වුණු පුරවැසි ක්‍රියාකාරීත්වය මෙවර වඩාත් පුළුල්ව සහ අතිශයින් සක්‍රීයව පවතී. සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන මෙන්ම ස්වාධීන පුරවැසියන් පුද්ගලයන් හෝ කණ්ඩායම් ලෙසින් මැතිවරණ දේශපාලනයේ තමන්ට රුචි දේශපාලන පක්ෂ වෙනුවෙන් විවිධ මට්ටමින් සහ ආකාරයෙන් මැතිවරණ ක්‍රියාවලියට මැදිහත්ව සිටිති.

අලංකාර ප්‍රදර්ශනකාමීත්වයට පැනවුණු නීතිමය සීමා හේතුවෙන් පෙළපාලි, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, පෝස්ටර්, කටවුට්, සැරසිලි ආදිය අතිශයින් සීමා වී තිබේ. (එම නිසා ප්‍රචාරණයේ නාභිය භෞතික දේශපාලන භූමියෙන් ජන මාධ්‍යයට එක්තරා දුරකට විතැන් වී ඇත. රැස්වීම් පැවැත්වීම හැරුණු විට අනෙක් ප්‍රචාරණය මුද්‍රිත විද්‍යුත් සහ සමාජ මාධ්‍ය වලට විතැන් වීම ඒ සඳහා වියදම් කිරීමට වත්කම් නැති අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණයකි.) මෙනිසා පෙර මැතිවරණයකදී දකින්නට ලැබුණු උද්යෝගය මෙවර දකින්නට නැතැයි පැමිණිල්ලක් තිබුණද ඒ නිසාම මෙම මැතිවරණය ප්‍රචණ්ඩත්වයෙන් හීන ය. එමෙන්ම පරිසර හිතකාමීය. සැබැවින්ම සිදුව ඇත්තේ උද්යෝගයේ ප්‍රකාශමානය සහ දිශාව වෙනස්වීමය. කලබල අඩු වීමෙන් සාකච්ඡාවට සංවාදයට විවාදයට අවලෝකනයට වැඩි අවකාශයක් උදා වී ඇත. මෙම තත්වය ඡන්දදායකයා හුදු දේශපාලන අතකොලුවක් නොවී සක්‍රීය පුරවැසියෙකු බවට පත්වීම සඳහා යොමු කරන අවකාශයක් විවර කරයි.

මෙම වෙනස විශේෂයෙන් විද්‍යුත් ජනමාධ්‍ය තුළ එක්තරා දුරකට පෙන්නුම් කෙරෙයි. විද්‍යුත් මාධ්‍ය අතර ඇති වෙළඳ තරඟය මත මැතිවරණය අතිපිහිතවීමේ හේතුවෙන් ඒවායේ ඉදිරිපත් කෙරෙන දේශපාලන වැඩ සටහන් වල ගුණාත්මක තත්වය එක්තරා දුරකට ඉහළ ගොස් තිබේ. නමුත් දකුණු ආසියාතික කලාපයේම මාධ්‍ය භාවිතය අතින් වුව සළකා බලන කළ අපේ විද්‍යුත් මාධ්‍යයට මේ අතින් පමණක් නොව හැම අතින්ම පාහේ යාමට තිබෙන දුර බොහෝය. මෙම වෘත්තීය මාධ්‍ය භාවිතාව අවහීන වීමට ප්‍රධාන හේතුව ඊට පෙර පැවති රෙජිමයන් අභිබවා යමින් මහින්ද රාජපක්ෂ රෙජීමය යටතේ ජනමාධ්‍ය දැඩි ලෙස දේශපාලන මර්ධනයට යට කර ගැනීම නමුත් එය එකම හේතුව නොවේ. පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතන හිමිකරුවන් ආර්ථික වාසි තකා සහ / හෝ තම දේශපාලන මතවාද හේතුවෙන් රාජපක්ෂ රෙජිමයේ ප්‍රචාරණ ඒකක ලෙසින් කටයුතු කිරීමත් ඊට හේතුවිය. එවිට සිදුවිය හැකි අනෙක් හානිය තම හාම්පුතුන් සතුටු කිරීමට හෝ හාම්පුතුන්ගේ දේශපාලන මතවාදය සමග තමාගේ මතවාදය පෑහෙන හෙයින් හෝ වැඩ සටහන් නිෂ්පාදකයන් සහ ඉදිරිපත් කරන්නන් පවත්නා දේශපාලන මතවාද වෙනුවෙන් වැඩ සටහන් තුළ එළිපිටම පාහේ පෙනී සිටීමයි. මේ අගතිගාමී බලපෑම විශේෂයෙන් දැකිය හැකි එක අවකාශයක් වන්නේ එබඳු ඇතැම් විද්‍යුත් මාධ්‍යයක දිනපතා පුවත් හෝ පුවත් පත් සිරස්තල ඉදිරිපත් කිරීමේ වැඩ සටහන්ය. (හුදු පුවත් ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායික මාධ්‍ය භාවිතාවෙන් පිට පැන ඊට විවිධ ව්‍යාඛ්‍යාන ඇතුළු කිරීම ජනප්‍රියවීම ඉලක්ක කොටආරම්භවීම මෙම තත්වයට අනුබලයක් ලැබෙන්නට හේතු වන්නට ඇති නමුත් එය මාධ්‍ය ප්‍රමිතීන් අවහීන කිරීමට නිදහසට කරුණක් කරගත හැකි නොවේ.) මෙම වැඩ සටහන් වලදී දැකිය හැකි දෙයක් නම් තම අභිනයන් සහ පෞද්ගලික මතයද ඊට ඇතුළු කරමින් අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට අපොහොසත් ඉදිරිපත් කරන්නන් කිහිප දෙනෙකු ගේ දේශපාලන මතවාදීමය සහ ජාතිවාදී හැඟීම් පොළා පැනීම යි. එවැනි දෑ දිගින් දිගටම සිදුකිරීම පෙන්නුම් කරන්නේ මෙම ආයතන වලට තම මාධ්‍ය භාවිතාවේදී ප්‍රශස්ත වෘත්තීය මට්ටම් පවත්වා ගැනීමට පෙළඹවීමක් නැතිකම යි.

අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන නිශේධනීය ලක්ෂණය යැයි කිව හැක්කේ එය බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය වන නිසා මැතිවරණය දිනීමට නම් බහුතරයේ කැමැත්ත දිනා ගැනීම අවශ්‍යවීමයි. එහෙයින් බහුතරයේ හැඟීම් අවුස්සා ඔවුන්ගේ ඡන්දය දිනා ගැනීමට ඇතැම් දේශපාලන පක්ෂ සංවිධාන සහ දේශපාලනඥයෝ ජාති, ආගම් සහ කුල භේද මත පදනම් ව මැතිවරණ ව්‍යාපාර මෙහෙයවති. මතවාදය අතින් ජාතිවාදී ආගම්වාදී සහ කුලවාදී නොවන බව ප්‍රකාශ කරන පක්ෂ සහ පුද්ගලයන් පවා ඡන්දය දිනීම සඳහා එබඳු ආස්ථාන වලට පසු බසිති. මෙයට හොඳම උදහරණය දේශපාලන බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් දෙමළ ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ සන්ධීයකරණ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉදිරිපත් කරන ඉල්ලීමට සිංහල දේශපාලන පක්ෂ දක්වන නිශේධනීය ප්‍රතිචාරය යි. මැදහත් දෙමළ දේශපාලන පක්ෂද බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් කිරීමේදී දෙමළ ප්‍රජාවේ ඇති ආන්තික පක්ෂ හා සංවිධාන වල ආස්ථානයන්ගෙන් මෙහෙයවනු ලැබීම මෙහි ප්‍රතිලෝමය පෙන්නුම් කරයි. ජනවර්ග සහ ආගම් ගණනාවක් නියෝජනය කරන ජන කණ්ඩායම් වලින් ඓතිහාසිකව සැදුම් ලත් ලාංකේය ජන ප්‍රජාවේ සාමාජිකයන්ට පුරවැසි නිදහස සහතික කෙරෙන පරිද්දෙන් සන්ධීයකරණය මත පදනම් වූ සහ ඓහික පදනමක පිහිටුවූ රාජ්‍යයක් දක්වා දේශපාලන ප්‍රතිව්‍යුහගත කිරීමක් ක්‍රියාවට නැංවීමට අප අපොහොසත් වී ඇත්තේ එහෙයිනි. බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය සුළු ජනවර්ග සහ ආගමික කොටස් වලටද සාධාරණය ඉටුවන ක්‍රමයක් දක්වා වෙනස් කිරීමට නම් එය අරමුනු කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවස්ථාවක් උදාකර ගත යුතු වෙයි. ඒ සඳහා මහජන ඡන්දයෙන් බලයට පත් පාර්ලිමේන්තු සහ පළාත් සහා මට්ටමේ සියලු මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සම්පාදනය කෙරෙන ව්‍යවස්ථාවක් පුළුල් සහ දිග්ගැස්සුණු ප්‍රසිද්ධ මහජන සාකච්ඡාවකට බඳුන් කොට අවශ්‍ය සංශෝධන කොට ඒ පිළිබඳ ජනමතවිචාරණයක් පවත්වා සම්මත කර ගත හැකිය. එලෙසින් බහුතරයේ කැමැත්ත ඊට දිනාගැනීමෙන් බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය සුළු ජනකොටස් ද ඇතුළු කරගන්නා සියළු ජනකොටස් වල ප්‍රජාතන්ත්‍රවාදයක් බවට හරවා ගත හැකිය.

අපගේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ප්‍රධාන සීමාව අපට හමුවන ලක්ෂ්‍යය නම් ඉන් පුරවැසි නිදහස පිළිබඳ අදහසට සීමාව පැනවෙන ලක්ෂ්‍යය යි.

ජනවාරි 8 දා ව්‍යාපාරයෙන් පන්නරය ලැබ අගෝස්තු 17 මහ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව සහභාගීවෙමින් සිටින වාම නැඹුරුවක් ඇති තරුණ පරපුර පාර්ලිමේන්තු දේශපාලනයේ ප්‍රබල නව විපක්ෂයක් ගොඩ නැංවීම කෙරෙහි යොමුවීම කිහිප අතකින් සාධනීය ය. පළමුකොටම, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තම කැපවීම දක්වා සිටීම නව පරපුරේ දේශපාලන ආගමනය පිළිබඳ සාධනීය බලාපොරොත්තුවක් අප තුළ ඇති කරවයි. දෙවනුව, ඔවුන්ගේ වාම නැඹුරුව සමාජ සාධාරණය කෙරෙහි ඔවුන්ගේ ඇති කැපවීම අවධාරණය කරයි. තෙවනුව, ඔවුන් ප්‍රකට කරන පුරවැසි ක්‍රියාකාරීත්වය අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කිරීමේ ශක්‍යතාව පිළිබඳ බලාපොරොත්තුවක් අප සමාජයට ගෙන එයි. නමුත්, තම දේශපාලන ස්වාධීනත්වය එක දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු වැඩ පිළිවෙළ වෙනුවෙන් කැප කිරීමේ අවදානම ගැනීමට ඔවුන් යොමුවීම පෙන්නුම් කරන්නේ තමන් අනුයන දේශපාලන වැඩ පිළිවෙලක් උදෙසා රාජ්‍ය බලය ලබාගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයෙහි හරය ලෙස සළකන්නට ඔවුන් පෙළඹීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු පක්ෂ දේශපාලන ක්‍රමය පදනම් කොට ගත් පාර්ලිමේන්තු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය යැයි අප පිළිගත හොත් එහිදී අපෙන් මඟ හැරෙන අදහස නම් ප්‍රජාතන්ත්‍රවාදයෙහි හරය ඇත්තේ පුරවැසි නිදහස පිළිබඳ කරුණෙහිය යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු සවිඥාණකව ස්වයං-පාලනයක් ගොඩ නඟා ගෙන ඇති ප්‍රජාවකි යන අදහසට අප එකඟ වන්නේ නම් පුරවැසියා යනු එම ප්‍රජාව සැදුම් ගන්නා සාමාජිකයා සාමාජිකාවයි. අප පුරවැසි ක්‍රියාකාරීත්වයේ නිරත වන්නේ එබඳු ප්‍රජාවක් අරමුණු කොට විය යුතුය. පුරවැසියාගෙන් අපේක්ෂා කෙරෙන්නේ තම ප්‍රජාවේ යහපත වෙනුවෙන් තම විනිශ්චය අභ්‍යාස කිරීම යි. මෙම විනිශ්චය සඳහා අත්‍යවශ්‍ය කරුණ වන්නේ තම ප්‍රජාවේ යහපත වටහාගැනීමට සහ ඒ පිළිබඳ අවලෝකනය කරන්නට පුරවැසියා සමත්වීම යි. සැබෑ පුරවැසි ක්‍රියාකාරීත්වය වන්නේ ප්‍රජාවේ යහපත පිළිබඳ මහජන තලයේ කෙරෙන සංවාද ඇසුරෙන් මෙම අවලෝකනය සහ ඒ අනුව විනිශ්චය ගොඩ නඟා ගැනීමට පුරවැසියා සක්‍රීයව සහභාගී වීමයි. පුරවැසියා හැමවිටමත් ස්වාධීන විය යුතු වන්නේ මෙම අවලෝකනය සහ විනිශ්චය සඳහා අවශ්‍ය දුරස්ථභාවය ගොඩ නඟා ගැනීමටය.ලාංකේය දේශපාලනයේ මෙම අවස්ථාවේ අපගේ ‘ප්‍රජාවේ යහපත යනු කුමක්ද?‘යන්න පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනයේ පර්යාලෝකයට සීමා නොවී පුරවැසි ප්‍රජාවේ පර්යාලෝකයෙන් අවලෝකනය කරන්නට අපට හැකිවේද?

Advertisements