නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර

නව වාම දේශපාලනයක් සඳහා නව ‍දේශපාලන සංස්කෘතියක් – කුමුදු කුසුම් කුමාර
 (මෙම ලිපිය මුල් වරට පළ කෙරුණේ හිරු 2002  මාර්තු 15-31 කලාපයෙහි ය. එකල වමේ දේශපාලනය මුහුණ දුන් ගැටලු පිළිබඳ දැක්මක් මෙම ලිපියෙන් හෙළි වෙයි.  මෙහි එන ඇතැම් අදහසක් අදටත් වලංගු විය හැකිය.) 
 
“දේශපාලනය යනු සම්ප්‍රදායෙන් ඇඟවෙන දේ අනුව යාමයි……….. එය සංවාදයකි, වාදයක් නොවේ.”
– මයිකල් ඕක්ෂොට්

ලංකාවේ නව වාම දේශපාලනයක් ගොඩ නැංවීමට සිත කය වෙහෙසන පිරිස් අතර ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවතින සංවාදයකට මගේ මතයන් එකතු කිරීමට කැමැත්තෙමි. එය නම්, යළිත් වතාවක් අපගේ තරුණ තරුණියන් පිරිසක් දේශපාලනය තුළ කායිකව හෝ ආත්මීය වශයෙන් විනාශයට ලක් නොවන්නට අප කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා වාම දේශපාලනය දිගු කාලීනව අවධානය යොමු කළ යුතු මූලිකම කරුණ නම් දේශපාලනය විනාශය කරා නොයන්නට නම්, එයට බොහෝ දෙනා ක්‍රියාකාරී ලෙස සහභාගි කරවා ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය යන්නයි. මගේ යෝජනාව, එය කළ හැක්කේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීම තුළින් පමණි, යන්නයි. නව දේශපාලන සංස්කෘතියක් යන්නෙන් මා අදහස් කරන්නේ තරුණ තරුණියන් ද ඇතුළුව බොහෝ දෙනා දේශපාලන තලයෙන් ක්‍රියාකාරී සහභාගීත්වයට දිරිගන්වන, කැඳවන සංස්කෘතියකි. මෙහිදී මා දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ පුළුල්ව, අපගේ සාමූහික යහ පැවැත්ම මුල් කොටගෙන අපම එක් වී සාමූහිකව කථා කිරීම සහ ක්‍රියාකිරීමයි.නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමට නම්, පළමුකොටම, බොහෝ‍ දෙනා දේශපාලනයට ක්‍රියාකාරීව හවුල් වීම වළක්වාලන පරිද්දෙන් දෙශපාලනය පැත්තෙන්ම පැනවී ඇති බාධා මොනවාදැයි හඳුනාගෙන ඒ පිළිබඳ විවේචනයක් ගොඩනැංවිය යුතුය, යන්න මගේ යෝජනාවයි. මෙම ලිපියෙන් මා අරමුණු කරන්නේ, එවැනි විවේචනයක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍යයැයි මා සිතන මූලික අදහස් කිහිපයක් හඳුන්වා දෙන්නට ය. පසුව ඉදිරි කාලයේ දී ඉඩ ලැබෙන පරිද්දෙන්, එම අදහස් එකින් එක විස්තර කොට පැහැදිලි කරන්නට අදහස් කරමි.

අද වාම දේශපාලනයට ඇදී එන්නට සිතැ’ති බොහෝ දෙනෙකු ඉන් වළක්වාලන ප්‍රධානතම බාධාව, තම දේශපාලන මතයට අභියෝග කෙරෙන වෙනස්, ස්වාධීන මත හෝ අදහස් නොඉවසමින්, බුද්ධිමය අධිකාරයක පදනම මත ඒවා හෙළා දැක, ඒවාට දැඩිව පහර දී එබඳු මතවාද, අදහස් දරන්නන් නිහඬ කිරීමට දැරෙන උත්සාහයක් වමේ නාමයෙන් මතුව ඒමට ඉඩ සැළසී තිබීම යැයි මම සිතමි. මෙම ප්‍රහාර දකින ස්වාධීන අදහස් දරන බොහෝ දෙනා බියපත්ව දේශපාලන බිමෙන් පළා යති, නිහඬ වෙති. තමන්ට ස්වාධීන අදහස් නැත්තෝ, අනුන් මත බලය පෑමෙන් තම අනන්‍යතාවය සම්පාදනය කර ගැන්මට කැමැත්තෝ, බුද්ධිමය අධිකාරය හමුවේ තමන් තුළ ඇතිවන හීනමානය හේතුවෙන්, මෙම ප්‍රවණතාවයටම එකතු වී තමන් දේශපාලනය කරන්නේ යැයි සිතාගෙන සිටිති.
දෙවැන්න, නම් දේශපාලනය තුළ තම මතවාදී ආධිපත්‍යය ගොඩනැඟීමේ නාමයෙන් සිදුවන ඉහත ක්‍රියාවට ම සම්බන්ධ ‘දේශපාලනය කිරීමට නම් ‘හැදෑරීම’ කළ යුතුය’ යන අදහසයි. පොතපතේ එන න්‍යායික කරුණු අධ්‍යයනය මත නිවැරදි දේශපාලනය ‍ගොඩනැ‍ඟෙන්නේය යනුවෙන් ශාස්ත්‍රීය බුද්ධිය ඉහළට ඔසවා තැබීමේ වෑයමකි, මෙය. මෙලෙස දේශපාලනය තුළ බහුජනයාගේ ව්‍යවහාරික බුද්ධිය, ප්‍රායෝගික ඥානය දරන අතිමහත් වැදගත්කම න්‍යායික බුද්ධියේ නාමයෙන් අවඥාවෙන් ඉවත ලෑම තුළ ගොඩනැ‍‍ඟෙන පොතේගුරුවාදී දේශපාලනය දැක දේශපාලනයට පිවිසෙන්නට සිතැති බොහෝදෙන ඊට මැළි වෙති, නිහඬ වෙති.

තෙවැන්න, නම් ඉහත කී දෙකරුණටම සම්බන්ධ, වමේ දේශපාලනයේ නාමයෙන් ඉදිරිපත් වන, ‘දේශපාලනයට ආචාර ධර්මයක් නැත’ යන අදහසයි. තම අරමුණ තමාට අනුව ‘යහපත්’ නම්, ‘උතුම්’ නම්, ඒවා සපුරා ගැනීම සඳහා ගන්නා කුමන හෝ ක්‍රියාමාර්ගයක් සාධාරණ වන්නේය යන අදහස මෙතුළින් සාධාරණය කෙරේ. පිරිසක් විසින් ‘උතුම්’ යැයි සැළකෙන දේශපාලන අරමුණු සඳහා ප්‍රයෝජනයට ඇති දේවල් වශයෙන් පමණක් අනෙක් පුද්ගලයන් සැළකීම, මෙම අවස්ථා‍වාදී දේශපාලනයේ ලක්ෂණයි. මිනිස් ජීවිතයේ හැම කටයුත්තකටම ආචාරධර්මීය භාවයක් තිබිය යුතු යැයි, තමා අන් අයගෙන් අපේක්ෂා කරන ආචාර ධර්මවලට තමාමත් යටත් විය යුතු යැයි විශ්වාස කරන බොහෝ දෙනෙකු එබඳු දේශපාලනයකට පිවිසීමකට අකමැති වෙති.

සිව්වැන්න, දේශපාලනය යනු, රාජ්‍ය බලය තමන් අතට, තම දේශපාලන කණ්ඩායම අතට ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ හෝ වෙනත් පාලන ආයතන ආදියේ බලය ලබා ගැනීමට කටයුතු කිරීමය, යන විශ්වාසයයි. අද නියෝජනාත්මක දේශපාලන ආයතනවල බලය ලබා ගැනීමේ පොරයේ මුදල්, මැර බලය, රාජ්‍ය බලය මුල්කොට ගෙන කෙරෙන්නක් බව දකින බොහෝ දෙනා ඉන් ඈත් වෙති. මෙම බල කේන්ද්‍රීය දේශපාලනය බොහෝ දෙනාගේ යහපැවැත්ම කෙරෙහි කෙටි කාලීනව හෝ දිගු කාලීනව නිසි අවධානය අවංකව හා සාමූහිකව යොමු නොකොට බහුජනයා නොසළකා හැර තම දේශපාලන මතවාදයේ අදහස්ම ක්‍රියාත්මක කිරීමට යොමුවන හෙයින් ද, බොහෝ දෙනා සක්‍රීයව මෙම දේශපාලනයට සහභාගි වීමෙන් වළකිති. මෙම දේශපාලනය, මීට සහභාගි වීමට කැමති අය හුදු අනුගාමිකයන් හැටියට සළකනවා මිස, මීට සක්‍රීයව සහභාගි වීමට අවකාශ නොසළසන හෙයින් ද බොහෝ දෙනා ඊට ඇදී යාමෙන් වළකිති.

පස්වැන්න, වමේ දේශපාලනයට රාජ්‍ය බලය, පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ‘සමාජය වෙනස් කිරීම’ සඳහාය, යන අදහසයි. ප්‍රායෝගික ඥානය නොව, න්‍යායික විග්‍රහයන් මත කල් තබා සකස් කරගත්, සමාජය උඩු-යටිතුරු කරලීමේ මෙවන් ව්‍යාපෘතීන්, දේශපාලනයට සහභාගි වීමට කැමති බොහෝ දෙනා ‘සමාජ විපර්යාසය‘ යන්න පිළිබඳව දරණ අදහස බැරෑරුම්ව සැලකිල්ලට නොගන්නා හෙයින්, ඔවුහු මෙබඳු දේශපාලනයකට ඇඳී ඒමට මැළි වෙති.

සයවැන්න, දේශපාලනය පදනම වන්නේ, පීඩිතභාවය පිළිබඳ හැඟීම් මත ගොඩනැගෙන සහෝදරත්වයය, යන අදහසයි. එය පංති පීඩනය පිළිබඳ හැඟීම් මත ගොඩනැගෙන්නක් විය හැකිය. නැතහොත් ලිංගික පීඩනය හෝ මානුෂිකත්වය අහිමි කිරීම පිළිබඳ අදහස් මත ගොඩනැගෙන්නක් විය හැකිය. නමුත්, පීඩිතභාවය මත පදනම් වූ සහෝදරත්වය, එම අත්දැකීමෙන් පිටස්තර අයට එපරිද්දෙන්ම බෙදා හදා ගත හැක්කක් නොවේ. එහෙයින්ම, එම පීඩිතභාවය, ඊට ලක් වන්නන්ගේ දෘෂ්ටියෙන් කොතරම් වලංගු වුව ද, එපරිද්දෙන්ම ඊට ලක් නොවන්නන්, දිගු කාලීන දේශපාලනයකට ඇදගැනීමකට එය පදනමක් සපයන්නේ නැත. එනිසා බහුතරයක් තමන් පීඩිතයන් සේ නොදකින තත්ත්වයක් තුළ නම්, පීඩිතභාවය මතම පදනම් වූ දේශපාලනය, අනෙක් බහුජන කොටස් ඉන් ඈත් කර තැබීමට හේතු වෙයි. තවද, සහෝදරත්වය පීඩිතභාවයට එරෙහිවන්නන් එක බැම්මකින් වෙළන්නේ නමුදු, සාමූහික ලෝකයේ යහපත ගොඩනැංවීමේ දේශපාලන කටයුත්තට සහෝදරත්වය ඉක්මවා යන දේශපාලන මිත්‍රත්වයක් අවශ්‍ය වෙයි. මෙම දේශපාලන මිත්‍රත්වය අපේක්ෂා කරන පිරිස් ද සහෝදරත්වය මත පමණක් පදනම් වන දේශපාලනයට ඇදී එන්නේ නැත.

ඉහත සඳහන් කරුණු විවේචනයට ලක් කිරීම, නව දේශපාලන සංස්කෘතියක් අප අතර ගොඩනැංවීමට අත්‍යවශ්‍ය බව මගේ යෝජනාවයි.

වාම දේශපාලනයේ අරමුණ ඉහළ සාමූහික යහ පැවැත්මක් ඇති සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් කටයුතු කිරීමට බහුජනයා දිරිගැන්වීම නම්, එවන් දේශපාලනයකට පදනම සැපයෙන්නේ, එම ‘අපේක්ෂිත අනාගත ලෝකය කෙබඳු ස්වරූපයක් ගත යුතුද?‘ යන්න පිළිබඳව ඊට උනන්දුවක් දක්වන සියළු දෙනට සක්‍රීයව සහභාගි විය හැකි සංවාදයක් ගොඩනැංවීම තුළින් පමණක් බව මෙහිදී තවදුරටත් යෝජනා කිරීමට කැමැත්තෙමි. උදාහරණයක් දක්වතොත්, එම අනාගත ලංකාව, නවීන සමාජවාදී සමාජයක් නම්, නවීකරණය පිළිබඳ, සමාජවාදය පිළිබඳව අපගේ අර්ථ විවරණයන් කවරේදැයි අප සාකච්ඡා කළ යුතුය.

අපගේ දේශපාලන තලය අද පවත්නා තත්ත්වයට පත්වීමට බලපෑ ඓතිහාසික හේතු දෙකක් සඳහන් කරමින් මෙම ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි. ඉන් පළමුවැන්න, නිදහසින් පසු සමයේ අපගේ අධ්‍යාපන ක්‍රමය දේශපාලනයට අවියක් ලෙසින් යොදා ගැනීම සහ උග්‍ර දේශපාලනීයකරණයකට ලක් කිරීම තුළින් එය හුදු තාක්ෂණික කටයුත්තක් බවට පත් කිරීමයි. එහි අවසන් ප්‍රතිඵලය නිරෝගී බහුජන දේශපාලන අවකාශයක් සම්පාදනයට මඟ පාදන ජාතික තලයේ බුද්ධිමය සංවාදයක් නිර්මාණය වීමේ ඉඩකඩට වැට බැඳීමයි. දෙවැන්න, ලාංකික සමාජය සහ දේශපාලන දේහය දරාගත නොහැකි උග්‍ර පීඩනයකට යටත් කළ ජේ. ආර්. ජයවර්ධනගේ උමතු, කඩිනම්, නවීකාරක ව්‍යාපෘතීන් යටතේ, ඊට අභියෝග කළ සියළු මතවාද, දේශපාලන ක්‍රියා රාජ්‍ය බලය යොදා දැඩි ලෙස මර්ධනය කිරීමයි. ජේ. ආර්.‍ගේ මැරයන් ප්‍රසිද්ධ වේදිකාවේදී ම සරච්චන්ද්‍රයන්ට පහර දීම ලාංකික බුද්ධිමතුන් විසින් ඉවසා සිටීම සනිටුහන් කළේ අද අපි අත්දකින දේශපාලන සංස්කෘතියේ ආරම්භයක් බව මගේ අදහසයි.

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )