“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” ට පාඨක ප්‍රතිචාරයක් – සනත් විසිනි

ff

“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි රාවය පුවත් පතට ලියූ ලිපි පෙළ පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීම මුල් කොට ගෙන පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම පළ කළ අදහස් අපි මීට පෙර පළ කළෙමු. ඒ හා සම්බන්ධව සනත් ඉදිරිපත් කළ අදහස් මෙම සාකච්ඡාව පුළුල් කිරීම සඳහා දායක වේ යැයි පෙනී යන හෙයින් එම අදහස් වෙනම ලිපියක් වශයෙන් අපි පහත පළ කරමු. සනත් මෙම අදහස් පළමු වරට ඉදිරිපත් කර ඇත්තේ නිර්මාල් රංජිත් දේවසිරි ‍ගේ ලිපි පෙළ රාවයට සමගාමීව Colombo Telegraph වෙබ් අඩවියෙහි පළවූ අවස්ථාවෙහිය. – ‘කතිකා’ සංස්කාරකවරු


“ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය” ලිපි පෙළට ප්‍රතිචාරයක් – සනත් විසිනි

1. ප‍්‍රභූ කණ්ඩායම් තුළ දේශපාලන ආධිපත්‍යය සඳහා අභිලාෂයක් තිබීම සමාජ විපර්යාස සමඟ ඇතිවන්නකි. එබඳු අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කිරීමේදී ප‍්‍රභූ කණ්ඩායම් අතර ගැටුමක් බවට මෙය පරිවර්තනය විය හැක. “දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය වන්නේ දෙමලාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි” යැයි නිර්මාල් කියන විට අප පැහැදිළි කරගත යුතු කරුණු තිබේ. මෙහි භූ-දේශපාලන අභිලාෂ දෙමළ ප‍්‍රභූ කණ්ඩායම් වලද? පොදු දෙමළාගේද? නිර්මාල් කියනු ඇත්තේ දෙමළ ප්‍රභූ පිරිස පොදු දෙමළා නියෝජනය කරනු ඇති බවයි. පසුගියදා පැවති පලාත් සභා මැතිවරණයෙන් උතුරේ බලයට පත් ප්‍රභූ පිරිස එබඳු නියෝජනයක් බව දෙමළ ජනයා ප්‍රකාශ කොට තිබේ. එම ප්‍රභූ පිරිස දකුණේ අධිපති බන දරන සිංහල ප්‍රභූ පිරිස් සමඟ වත්මන් ව්‍යවස්ථාව යටතේ කටයුතු කරන්නට සූදානම් බව ප්‍රකාශ කොට තිබේ. ඉතින් මේ තත්වය තුළ නිර්මාල් මතුකරන ගැටලුව ප්‍රකාශයට පත්වන්නේ කුමන ආකාරයෙන්දැයි අප සිතා බැලිය යුතුය. දෙවනුව, යුද්ධයට පෙරත් පසුත් උතුර නැගෙනහිර දෙපළාතේ දෙමළ ජන කොටස් අතර පවතින පළාත් සහ කුල වෙනස් කම් (යාපනේ ආධිපත්‍යය, වෙල්ලාල ආධිපත්‍යය) සහ එක් එක් පළාත තුළ ජනකොටස් අතර පවතින පංති සහ කුල වෙනස් කම් ආමන්ත්‍රණය කෙරෙන ආකාරයේ නියෝජනයක් දෙමළ ප්‍රභූ පිරිස වෙතින් කෙරෙන්නේද යන්නත් අප අමතක නොකළ යුතුය.

මෙබඳු ප්‍රශ්න අදත් දකුනේ සිංහල ජන කොටස් තම සමාජය පිලිබඳ ඉදිරිපත් කරති. උතුරු නැගෙනහිර දෙපළාතේ සාමාන්‍ය දෙමල සහ මුස්ලිම් ජනයාගේ අද මූලික හදිසි අවශ්‍යතාව වන්නේ භෞතිකව ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු වහා සම්පාදනය යි. ඒ අතර තමන්ගේ ඉඩම් සහ නිවාස වල යළි පදිංචි වීම සදහා අවස්ථාව, එ සඳහා ද්‍රව්‍යමය සම්පත් සැපයීම ප්‍රමුඛය. එමෙන්ම බියෙන් තොරව ජීවත් වීම සඳහා අවශ්‍ය සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ්‍ය ස්ථාපිත කිරීම ද මූලික අවශ්‍යතාවකි. මේ සඳහා හමුදාව සිවිල් ජන ජීවිතයට මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. ( මෙය දකුණේ ජනතාවගේත් ඉල්ලීමකි.) මෙම අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට උතුරු නැගෙනහිර දෙපළාත් වල පාලක දෙමළ ප්‍රභූ පිරිස් කටයුතු කරනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකි ද? වෙනම රාජ්‍යයක් සඳහා වන දෙමළ ප්‍රභූ කොටස් වල අභිලාෂය සපුරා ගැනීමට යාමේදී දෙමළ ප්‍රභූන්ට සිංහල සහ මුස්ලිම් ප්‍රභූන් ගේ පමණක් නොව දෙමළ ප්‍රභූන් අතරම ඇති ප්‍රභේද වලත් විවිධ සාමාන්‍ය දෙමළ ජන කොටස් වලත් එකඟතාව දිනා ගත යුතුවෙයි. දෙමළ ප්‍රභූන් ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය වන්නේ සිංහල සහ මුස්ලිම් ප්‍රභූන් ට මෙන්ම තම පංතියට ප්‍රාග්ධන සමුච්චායනය සඳහා මිස සාමන්‍ය ජනයාට අවශ්‍ය වන යතුරු ලියනය සඳහා නොවේ. නමුත් ඒ සඳහා සාමන්‍ය ජනයාට යතුරු ලියනය ලබා දීම නරක දෙයක් නොවේ.

Colombo Telegraph

2. නිර්මාල් දෙමළා සම්බන්ධ සිංහලයාගේ ෆැන්ටසිය ලෙසට හඳුන්වන දෙය කුමක් ද? පළමුව, එය සිංහල ජනවර්ගය තුළ දෙමළ සහ මුස්ලිම් ජනවර්ග වල අනන්‍යාතාව ගිලී යාමයි. ශිරන්ත චාමර ගේ විසඳුම මෙයයි. දෙවනුව, “මෙම පැහැදිළි කිරීමට අනුව සාමාන්‍ය දෙමළ ජනයාට වාර්ගික දේශපාලන අභිලාෂ ඇත්තේ නැත. එවැනි වාර්ගික දේශපාලන අභිලාෂ ඇත්තේ දෙමළ ප‍්‍රභූ තන්ත‍්‍රයටයි“ යන ගුණදාස අමරසේකර ගේ මතයයි. ‘දෙමළා සම්බන්ධ සිංහලයාගේ ෆැන්ටසිය‘ යන යෙදුම දේශපාලන යෙදුමක් ලෙස කෙසේ වෙතත් පර්යේෂණ එළඹුමක් ලෙස ගත් කළ ගැටලු සහගතය. දෙමළ ප්‍රජාවන් ගේ අභිලාෂයන් නියෝජනය කරන එක සූත්‍රයක් සොයා ගත නොහැකි සේම සිංහලයන් සම්බන්ධයෙන් ද එයම අදාළය. එවැන්නක් ඇතැයි කීමේ එකම පදනම මෙම ප්‍රජාවන්හි දේශපාලන නියෝජනය යි. දෙමළ දේශපාලන නියෝජනයම වුව සමාජාතීය අභිලාෂයන් නියෝජනය කරන්නේ යැයි සැළකීමේ ගැටළු ඇති බව නිර්මාල් ගේ පළමු ලිපියට ප්‍රතිචාර දක්වමින් මම යෝජනා කළෙමි. සිංහල දේශපාලන නියෝජනය සම්බන්ධයෙන් ද මෙය එකසේ අදාළය. සිංහලයාගේ ෆැන්ටසිය යැයි කියන්නේ කුමන පදනමක් මතද? නලින් ද සිල්වා අනුව සිතන්නන්ගේ මතය අප සිංහල මතය ලෙස ගන්නවාද? සිංහල මතය මනින්නේ කොහොමද? සාධාරණ ලෙස විධිමත්ව පැවැත්වුවහොත් ජනමත විචාරණයකින් එවැන්නක් දත හැකිය. නමුත් මෙම කරුණ පිළිබඳ ජනමත විචාරණයක් තවම පවත්වා නැත. මෙවර උතුරු පළාත් සභා ඡන්ද ප්‍රථිඵලය උතුරේ දෙමළ ජනයා තම දේශපාලන මතය ප්‍රකාශ කිරීමකි. දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ජනයාට තම මැතිවරණ ප්‍රකාශය ඉදිරිපත් කොට මෙම ජයග්‍රහණය ලබා ගත්තාය. නමුත් නැගෙනහිර දෙමළ ජනයාගේ මතය එහි නියෝජනය නොවේ. උඩරට දෙමළ ජනයාගේ මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල වසන දෙමළ ජනයාගේ මතයද උතුරු ඡන්දය තුළ නියෝජනය නොවේ. අතීතයේදී ලංකාවට පිටින් ආ ජනකොටස් කාලයාගේ ඇවෑමෙන් අවශෝෂණය වූ බව ගණනාථ ඔබේසේකර තමබුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක් යන ලිපියෙහි ලා යෝජනාකරයි. මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් ගත් කල ඔවුන් සිංහලකරණය වීමේ වැඩිවන ප්‍රවණතාවක් ඇති බව නුහුමාන් මුස්ලිම් අනන්‍යතාව පිළිබඳ තම රචනාවලින් යෝජනා කරයි. සිංහලයන් හා මිශ්‍රව වසන ප්‍ර දේශ වල මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් මෙය අදාළ විය හැකි නමුත් එසේ නොවන ප්‍ර දේශවල වසන මුස්ලිම් ජනයා පහසුවෙන් සිංහලකරණය වේයැයි සිතිය නොහැක. ලංකාවේ දෙමළ ජන කොටස් වලට ඔවුන් අතර ඇති සියලු වෙනස් කම් තිබියදීත් සහමුලින් සිංහල ජනවර්ගයට අවශෝෂණය වීමක් දැන් සිදුවීමේ ඉඩකඩක් කිසිසේත් නැතිවන තරමට දෙමළ ජනයා අතර ජනවාර්ගික හැඟීම 1920 ගණන් සිට මේ දක්වා වන විට අතිශයින් වැඩී තහවුරු වී පැතිරී ඇත. ලාංකේය දෙමළ ජන කොටස් විශෙෂයෙන් උතුරේ දෙමළ ජනයා සිංහල ජනවර්ගයට අවශෝෂණය කරගැනීමට නම් මැලේසියාවේ චීන ජාතිකයන් යටපත් කොට ගැනීමෙන් මහාතීර් පාලනය කළාක් මෙන් බලාත්කාරයෙන් මර්ධනයෙන් කළ යුතුය. පසුගිය යුද්ධයෙන් පසුව වුවත් ජීවිත පරදුවට තබා වුව එවැන්නකට යටත් නොවීමට තරම් ප්‍රෞඪ ඉතිහාසයක් පිළිබඳ උග්‍ර හැඟීමක් උතුරේ දෙමළ ජනයාට ඇත. අද අප ජීවත්වන ගෝලීය තත්වයන් යටතේ ඉන්දියාව අසල් වැසියා වශයෙන් සිටියදී දෙමළ ජනයා මත සිංහලකරණයක් බලෙන් පැටවීම ෆැන්ටසියක් නොව දුස්ස්වප්නයක් වනු ඇත. ශිරන්ත චාමර ලා දකිමින් ඉන්නේ එබඳු දුස්ස්වප්නයකි.

Colombo Telegraph

3. විෂය කේන්ද්‍රීය නැඹුරුවක් (subjective orientation) සහ සත්‍යය දැනගැනීමේ නැඹුරුවක් ( objective orientation) පිලිබඳ ද්වෛතයක් යෝජනා කිරීමෙන් නිර්මාල් තමා යථානුභූත එළඹුමක් (positivist approach ) ගන්නා බව පෙන්වා දෙයි. ඉතින් මෙය නිර්මාල් මෙහි ගම්‍යමානවීම් පිළිබඳ දැනුවත් කමකින් කියන දෙයක් ද? නිර්මාල් සාකච්ඡාවට ලක්ව ඇති ප්‍රශ්නය එනම් ‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය කුමක්ද?‘ යන්නට පිළිතුර වශයෙන් ඔහු ඉදිරිපත් කරන අදහස මෙසේ සූත්‍ර ගත කරයි. “දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක් ලෙස තම ස්වෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප‍්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප‍්‍රදේශය ( territory ) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.“ මා දැනටමත් කියා ඇති පරිදි ‘දෙමලා‘ යනුවෙන් තනි කෙනෙකු ඇතැයි අභ්‍යුපගමය කිරීම ගැටලු සහගතය. දෙමළ යනුවෙන් තනි ප්‍රජාවක් ඇත්තේද නැත. ස්වෛරීභාවය යනු රටකට තමන් ස්වාධීනව පාලනය කිරීමට ඇති බලය යි. ස්වෛරීභාවය සාක්ෂාත් කරගැනීමට දෙමළ ප්‍රජාවන්ට දේශපාලන බලය අවශ්‍ය යැයි නිර්මාල් කියයි. එයට ප්‍රධාන බාධාව ඔවුන්ගේ භූමි ප්‍ර දේශය බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.“ යැයි නිර්මාල් කියයි. ‘රාජ්‍යයක් සඳහා වූ දෙමළ ජනයාගේ අභිලාෂය ප‍්‍රශ්න කිරීමට සිංහල-බෞද්ධයාට වරමක් ලැබුනේ කෙසේ ද? ‘ යි නිර්මාල් පසමිතුරු පිළෙන් අසයි. නිර්මාල් එකම ප්‍රශ්නය තවත් ආකාරයකින් මෙසේ අසයි: “‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක් දැ යි ඇසීමට සිංහලයාට ඇති අයිතිය කුමක් ද?“ ඔවුන් වෙනුවෙන් පිළිතුරු දීමට මට අවශ්‍ය නොවේ. නමුත් ‘දෙමලා‘ යනුවෙන් කෙනෙකු ඇතැයි අභ්‍යුපගමය කිරීම ගැටලු සහගත තරමටම සිංහල-බෞද්ධයා යැයි තනි කෙනෙකු ඇතැයි අභ්‍යුපගමය කිරීම ගැටලු සහගතය. ජාතික රාජ්‍යය යනු නූතන සංකල්පය කි. දෙමළ ජන කොටස් වල ප්‍රභූන්ට ජාතික රාජ්‍යයක් ගොඩ නඟා ගැනීමට ඇති අවශ්‍යතාවට හරස් වන්නේ සිංහල සහ මුස්ලිම් ජන කොටස් වල ප්‍රභූන් ජාතික රාජ්‍යය පිළිබඳ දක්වන ආකල්පයි. ශිරන්ත චාමර කටුවාවල වෙනම රටක් විය හැකි යැයි කීම මල් පෝච්චියකට වී කුඹුරක් විය හැකි යැයි කීම වැනි නොවේ. අපි ඒ ගැන වාද නොකරමු. නමුත් ශිරන්ත චාමර “ජාතිය කියන දේ භුමිය සම්පත් බෙදාගැනීම හා ඒ සම්බන්ධ එකඟතා ඇතිකරගැනිමත් එක්ක බැඳිලා තිබීමයි“ යන්නෙන් ජාතික රාජ්‍යයක් සඳහා අවශ්‍ය පදනම ගැන කියන දේ ගැන අපට එකඟ විය හැකිය. “ඕනෑම කතිකාවක් ගොඩනංවනු ලැබීමේ ක‍්‍රියාවලියේ දී එම කතිකාව මගින් බැහැර කෙරෙන පිටතක් ( excluded outside )නිර්මානය වේ. “ යැයි නිර්මාල් කියන අදහස නිවැරදිද? අනෙකා බැහැර කිරීම කතිකාවේ අත්‍යවශ්‍ය (essential) ලක්ෂණයක් ද? අනෙකා ඇතුළු කරගන්නා පරිද්දෙන් කතිකාව ගොඩනැංවිය නොහැකිද? මෙම විවාදයට පසුබිම් වන තර්ක ඓතිහාසික සාධක මත සනාථ කරන්නට හෝ නිෂේධ කරන්නට යාම පිළිගත හැකි සාක්ෂි වල පදනම මත කළත් තේරුමක් ඇති වැඩක් නොවේ. වර්තමාන ගැටළුවට අදාළ සියළු පාර්ශවයන්ට පිළිගත හැකි විසඳුමක් එයින් ලබාදිය නොහැකි හෙයිනි.

Colombo Telegraph

4. “ දෙමළාගේ ප‍්‍රශ්නය ……..subjective / objective සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂය තුළ තක්සේරු කළ හැක්කක් නොවේ. එය ආචාරධාර්මික ( ethical) ස්ථාවරයකි. දේශපාලනය යනු ආචාරධාර්මික ක‍්‍රියාවකි.“ යි නිර්මාල් කියයි. නමුත් නිර්මාල් මෙම ලිපි මාලාවේ මීට පෙර ලිපියේ සදහන් කළේ මෙම විවාදයේදී තමන්ගේ සම්භාෂකයන් ගේ කතිකාව විෂය කේන්ද්‍රීය නැඹුරු (subjective orientation) සහිත වන අතර තමා යෝජනා කරන කතිකාව “අව්‍යාජ ශාස්ත‍්‍රීය කතිකාවක …..සත්‍යය දැනගැනීමේ නැඹුරුවක් (objective orientation)“ ඇති බවයි. මෙය නිර්මාල් ට ප්‍රතිවිරෝධයක් ලෙස නොපෙණෙන සේය. “ මා යෝජනා කළේ අපගේ ‘දෙමළ අනෙකා’ ගේ ප‍්‍රශ්නය සම්බන්ධව අපගේ ස්ථාවරයේ පදනම විය යුත්තේ අප ඒ ගැන සිතන ආකාරය නොව ඔවුන් ඒ ගැන සිතන ආකාරය බවයි“ යැයි නිර්මාල් කියයි. නිර්මාල් කියා සිටින්නේ “අප – සිංහල බෞද්ධයන් – සහමුලින්ම පරාර්ථකාමීවිය යුතු ය“ වැනි අදහසකි. මෙය ඉතාම අගනා සද්ගුණවත් අදහසකි. නිර්මාල් කියන්නේ අප දේශපාලනයේදී සදාචාරාමය විය යුතු බවයි. ආචාරධාර්මික වීම යන්නෙන් නිර්මාල් අදහස් කරන්නේ මෙය යැයි පෙනෙයි. සදාචාරය සහ ආචාරධර්මය අතර ඇති සම්බන්ධය පිළිබඳ කරුණද මෙයින් මතු කෙරෙයි. නමුත්රාජ්‍යය තුළ පුරවැසියන් අතර දේශපාලනය ක් මෙන්ම රාජ්‍යය රැක ගැනීමේ දේශපාලනයක් ද ඇත. ලංකාවේ ජනවාර්ගික ගැටුමෙහිදී මේ දෙකම එකට එකතු වී තිබේ. දෙමළ ප්‍රජාවන් හි සාමාජිකයෝ ලංකාවේ පුරවැසියෝ වෙති. එමෙන්ම ඔවුන් ගේ ඇතැම් ප්‍රභූ නායකයන්ට ට ලංකා රාජ්‍ය යෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය වී තිබේ. පරාර්ථකාමීත්වය යහපත් සදාචාර ගුණයකි. සිරිසඟබෝ හිස දන් දුන්නේ මේ ගුණය නිසාවෙනි. නමුත් දේශපාලනයේ ආචාර ධාර්මිකභාවය යනු පරාර්ථකාමීත්වයද? ඇරිස්ටෝටල් දේශපාලනය ඉගෙන ගැනීමට නම් යමෙකුට ආචාර ධර්මීය පසුබිමක් තිබිය යුතු යැයි කියමින් පැහැදිළි කළේ මිනිසා තුළ තිබිය යුතු සද්ගුණයන් ය. යහපත් ජීවිතය පිළිබඳ ය. ඇරිස්ටෝටල් ගේ සද්ගුණයන් පිළිබඳ ලැයිස්තුවට පහත ඒවා ඇතුළත් වීය. courage, temperance, self-discipline, moderation, modesty, humility, generosity, friendliness, truthfulness, honesty, justice. මෙහි ඇති ප්‍රධාන දේශපාලනමය නැතහොත් සමාජීය සද්ගුණය justice නොහොත් යුක්තිය යන්නයි. ලංකාවේ ජනවාර්ගික ගැටුමෙහිදී යුක්තිය ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න අපගේ අවධානයට යොමු විය යුතුය. මෙහිදී යුක්තිය ගැටුමට අදාළ සියලු පාර්ශ්වයන් සම්බන්ධයෙනි. යුක්තිය යනු පරාර්ථකාමීත්වය නොවේ. ‘ඓතිහාසික නිජබිම්’ පිළිබඳ දෙමළ ජාතිකවාදී කතිකාවේ හෝ ‘උතුරු නැගෙනහිර සිංහල-බෞද්ධ උරුමය’ පිළිබඳ සිංහල-බෞද්ධ ජාතිකවාදී ප‍්‍රවාදය ද මිත්‍යා ප‍්‍රබන්ධමය හෝ යථාර්ථවාදීද යන්න විමසීම ජනවාර්ගික ගැටුම නිරාකරණය කිරීමට පිටුවහලක් විය නොහැකිය. මෙම ප්‍රවාදයන් දෙකම මිත්‍යා ප‍්‍රබන්ධමය ගොඩනැංවීම් බව නිර්මාල් කියයි. එසේනම් “කතිකාවක මිත්‍ය ප‍්‍රබන්ධමයභාවය හෝ ‘යථාර්ථවාදීභාවය’ (mythical vs real)“ පිළිබඳ ගැටලුව මෙම විවාදය සම්බන්ධයෙන් මතු වන්නේ කොසේද? “කතිකාවක මිත්‍ය ප‍්‍රබන්ධමයභාවය හෝ ‘යථාර්ථවාදීභාවය’ ස්ථාපිත කළ හැක්කේ කතිකාව ගොඩනැංවීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍යයන්හී කරුණුමයභාවය (factuality) පදනම් කරගෙන නොව කතිකාවේ අරමුණ සහ නැඹුරුව පදනම් කරගෙන“ යැයි නිර්මාල් තර්ක කරනවිට ඔහු යෝජනා කරන්නේ real යනුවෙන් ඔහු හඳුන්වන දේ ද කතිකාව මත පදනම් වූවක් සහ එහෙයින් real යනුද විශ්වාසයක් බවයි. ඉතින් මෙය මිත්‍යා ප‍්‍රබන්ධමයභාවයෙන් වෙනස් වන්නේ කෙසේද? නිර්මාල් real යනුවෙන් හඳුන්වන දේ කුමක් ද යන්න පිළිබඳ සාකච්ඡාවක් මෙහි ලා අවශ්‍ය කෙරෙයි. නිර්මාල් දෙනලද දෙයක් වශයෙන් භාරගන්නා අදහසක් නම් වාස්තවිකත්වය පිළිබඳ අදහසයි. “වාස්තවික යථාර්ථයක් කියා දෙයක් තිබුනත් නැතත් එවැන්නක් තිබේ ය කියා උපකල්පනය කොට විමර්ශනයේ යෙදීම“ ට ඇති නැඹුරුවෙන් නිර්මාල් ප්‍රකට කරන්නේ ඔහුගේ යථානුභූතවාදී (positivist) නැඹුරුවයි. කාල් පොපර් ගේ අසත්‍යකරණය (falsification) අදාළවන්නේ විද්‍යාත්මක ක්‍රමය නැතහොත් යථානුභූතවාදී එළඹුම සාකච්ඡා කිරීමෙහිදීය. නිර්මාල් යෝජනා කරන්නේ වාස්තවික නැඹුරුවක් සහිත විධික‍්‍රමය කි. මෙහිදී “විෂය මූලික නැඹුරුතා“ යනු ‘මගහරවා ගත හැකි දෙයකි.‘ ගැටලුවවන්නේ මිනිස් ක්‍රියාකාරකම් වටහා ගැනීමෙහි ලා විෂය මූලිකභාවය එහි අත්‍යන්ත කොන්දේසියක් වීමයි. මිනිසුන් ලෝකය වටහා ගන්නේ තමන් එහි පය ගසාගෙන සිටින ස්ථානයේ සිට තමා එය දකින ආකාරය අනුව යි. විෂය මූලිකභාවය යනු එයයි. මානව ලෝකය වටහා ගැනීමට අප ගන්නා උත්සාහය විෂය මූලිකභාවය මඟ හැර යාම නොව එය ඇතුළු කරගැනීම පදනම් කොට ගත් එකක් විය යුතුය. මානව ලෝකට වටහා ගැනීමට වාස්තවික එළඹුමක් ඇතැයි සමාජීය විද්‍යාවන්හි භාෂාමය හැරවුමට පසු අදත් අපි විශ්වාස කරනවාද? මෙම සාකච්ඡාවේ ඉතිහාස අධ්‍යයනයත් දේශපාලනයත් පටලැවී තිබීම මෙම ක්ෂේත්‍ර දෙකම සඳහා ගැටලු ඇතිකරයි.

Colombo Telegraph

5. ජනවර්ග හෝ ආගමික ජන අනුපාතය අනුව වරප්‍රසාද ලබා දීම විවිධ රටවල විවිධ ආකාරයෙන් යොදා ගැනෙන සංකීර්ණ කරුණක්. නිර්මාල් දී ඇති උදාහරණයක්ම දක්වන පරිදි මෙය අසාධාරණයට ලක්වන ජන කොටස් වලට සාධාරණය ඉටු කිරීම සඳහා යොදා ගත හැකියි. affirmative action යනුවෙන් ඇමෙරිකාව සහ කැනඩාව වැනි රටවල කලු ජාතිකයන්ට සුලු ජනවර්ගවලට සහ ස්ත්‍රීන්ට සම ලිංගිකයන් යනාදීන්ට රැකියා සහ වෙනත් අවස්ථා ලබා දීම සහතික කිරීමට ආන්දෝලනාත්මකව මෙම පියවර ගෙන තිබෙනවා. ලංකාවේ විවිධ ආගම් වලට අයිති පාසැල් වලත් පැසැල අයිති ආගමට අයිති නොවන සිසුන් බඳවා ගැනීමට කෝටා ක්‍රමයක් පවතිනවා. ජනවර්ග හෝ ආගමික ජන අනුපාතය අනුව වරප්‍රසාද ලබා දීම හෝ නොදීම ලංකාවේ දෙමළ ජනයා සම්බන්ධයෙන් මුලින්ම ක්‍රියාත්මක වන්නේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ජනවර්ගය අනුවම නොව භාෂා මාධ්‍යය අනුව ලකුණු සඳහා බරදැමීමක් (allocating a weightage) මගින් කිසියම් ප්‍රමිතිකරණයක් කිරීමේදී යි. මෙයට පදනම වූයේ තම ජන අනුපාතයට නොගැලපෙන දෙමළ සිසුන් ප්‍රතිශතයක් වෛද්‍ය, ඉංජිනේරු වැනි උග්‍ර තරගයක් තිබුණු විෂයයන් සඳහා විශ්ව විද්‍යාලවලට ඇතුළත්වීමෙන් බහුතරයක් වන සිංහලයන්ට අසාධාරණයක් වන බවට ඉදිරිපත් වූ මතය යි. එවැනි මතයක් ඉදිරිපත් වන්නේ යටත් විජිත යුගයේ උතුරේ දෙමළ ජනයාට තිබුණු අධ්‍යාපන පහසුකම් වල පසුබිම තුළ උසස් අධ්‍යාපනයට ඇතුළු වීමේ වරම් දෙමළ සිසුන් වැඩි ප්‍රමාණයකට ලැබී තිබුණු තත්වයක් යටතේ නිදහසින් පසු අධ්‍යාපන අවස්ථා පෑදුණු සිංහලයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් සිංහල මාධ්‍ය සිසුන් වැඩි ප්‍රමාණයකට උසස් අධ්‍යාපන අවස්ථා ලැබිය යුතුය යනුවෙන් අදහසක් මතුවීමයි. ඇත්තෙන්ම දෙමළ සිසුන් අතරත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නා සිසුන් ට යටත් විජිත සමයේ සිට වැඩි උසස් අධ්‍යාපන අවස්ථා ලැබී තිබුණි. දෙමළ මාධ්‍ය යෙන් උගන්නා සිසුන්ටද උසස් අධ්‍යාපන අවස්ථා ලැබෙන්නේ සිංහල මාධ්‍ය සිසුනට මෙන්ම නිදහසින් පසු කාලයේදී ය. භාෂා මාධ්‍ය අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමේ අවස්ථා අනුපාතික පදනමක් මත ක්‍රියාත්මක කිරීම දෙමළ ජනයා අතර තමන්ට බලවත් අසාධාරණයක් විණැයි හැඟීමක් ඇති කිරීමට හේතු වූයේ ආර්ථිකයෙන් බිහිවන රැකියා අවස්ථා හිඟ යාපනේ ජනයාට උසස් අධ්‍යාපනය ඉහළ නැඟීමේ ප්‍රධාන මඟ බවට පත් වී තිබූ හෙයිනි. 1970 දී සිරිමාවෝ යාපනයට ගියවිට යාපනයේ තරුණයන කලු කොඩි එසෙවුවේ මෙම කරුණ මුල් කරගෙනය. එම විරෝධයට සහභාගී වී අත් අඩංගුවට පත් දෙමළ තරුණ පසු කලෙක දියත් වූ රාජ්‍ය විරෝධී දෙමළ අරගලයේ නියමුවන් වීය. මෙබඳු උදාහරණ වලින් කියැවෙන්නේ රටක සිදුවන සාමාජීය වෙනස් කම් විවිධ ජනවර්ග සහ ආගමික යනාදී ජන කොටස් වලට වෙනස් ආකාරයෙන් බලපාන බවත් ඒ හමුවේ මතුවන ගැටළු විසඳා ගැනීමට යාමේ දී අදාළ හැම ජන කොටසකටම සාධාරණයක් ඇතිවන පරිද්දෙන් කටයුතු නොකළ හොත් ඒවා දේශපාලන ගැටුම් දක්වා වර්ධනය වන බවයි. මෙබඳු අසාධාරණකම් ඇතිවූ ආකාරය ඒවායේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භය තුළ තබා විග්‍රහ කළ යුතුය.

Colombo Telegraph

Advertisements