කේමදාස පශ්චාත් නූතනවාදියෙක් වී ද? – කුමුදු කුසුම් කුමාර

ප්‍රේමසිරි කේමදාස
ප්‍රේමසිරි කේමදාස

නමුත් කේමදාසයන් සමාජ විවේචනයට නිර්භය වීම ඔහුගේ නුගුණක් ලෙස සැළකිය යුතු නොවේ යැයි සිතමි.කේමදාසයන්ට තමාට අදාළ සංගීතය හෝ සමාජ භාවිතාව ගැන හෝ පොදුවේ සමාජය ගැන හෝ සමාජයේ අවධානය දිනාගන්නා ප්‍රබල මත ඉදිරිපත් කරන්නට හැකිවූයේ තම දෙපා පොළොව මත තිරසාරව ගොඩනැඟුණු ශිල්පීය භාවිතයක් තමාට තිබුණු හෙයිනි. ඔහුගේ මත බාහුල්‍යය නිසා, ඔහු ‘මමයි මිනිහා’යි කියන්නෙකු ලෙස ඇතැමෙකුට පෙනීයාමෙන් යමක් කියවෙතොත් ඒ කේමදාස ගැන නොව ඔහුගේ මත බාහුල්‍යය නිසා ඔහු සරදමට ලක්කරන්නට තැත් කරන්නවුන් පිළිබඳය. ඔහුගේ මතයන්හි තිබුණු බර නිසා ඒවා හැම විටම ආන්දෝලනාත්මක මත විය.


සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල ජනමාධ්‍ය – විශේෂයෙන් පුවත්පත් මුල් කොටගෙන ඇතිවූ කතා-බහත් සමඟ ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ සිංහල කතා කරන සමාජය තුළ වැදගත් සමාජ සංසිද්ධියක් ලෙසින් ප්‍රකාශයට පත්විණි.

මීට පෙර ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදී කලාකරුවන් ගේ අභාවයන් ද සිංහල සමාජයේ සාමූහික අවධානය ඉහළින්ම දිනා ගත්හ. ගුණදාස කපුගේ ගේ අභාවයේ දී ඔහුගේ ගායනා හෝ සංගීත හැකියාවට වඩා ජන අවධානය දිනා ගත්තේ ඔහුගේ වාමාංශිකබව යැයි පෙනී ගියේය. සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම ගේ අභාවයන් හිදී ද ජන අවධානය යොමුවූයේ ඔවුන්ගේ කලා ශිල්පමය හැකියාවන්ට නොව වෙනත් දේටය, නවගත්තේගම ගේ අසම්මත සමාජ චර්යාවට, සහ සුගතපාල ද සිල්වා තුළ තරුණයන් දුටු මනුස්සකමටය.

වත්මන් පරපුරට මනුස්සකම පිළිබඳ ඇති ආශාව මෙලෙස ප්‍රකාශවීමට අසූවේ-අනූවේ දශකයන් හි මෙරට ජනයා අත්දුටු භීෂණ සමය බලපාන්නට ඇත. ආදරය මෙම පරපුරේ තවත් වැදගත් මාතෘකාවකි. “සිවිල් සමාජය” යන පදය මෙම පරපුර යොදා ගන්නේ කුහකබව, ව්‍යාජ මවාපෑම්, සාටෝපය යනාදියට පර්යාය පදයක් ලෙසිනි. මේ අනුව, මනුස්සකම සිවිල්භාවයේ ප්‍රතිපක්ෂය යි. මනුස්සකම මෙන්ම ආදරය ද මනුෂ්‍ය ජීවිතයේ පෞද්ගලික තලයේ වැදගත් තැනක් ගන්නා සංකල්ප වියහැකි නමුත් ඒවාට දේශපාලනය තුළ තැනක් නොමැත. මේවා වෙනම සාකච්ඡාවට ගත යුතු කරුණු වෙයි.

කේමදාසගේ අභාවය සිංහල සමාජයේ අවධානය දිනා ගත්තේ ඔහු තුළ පැවැති අසම්මතවාදීත්වය නිසා යැයි කියනු ලැබේ. නමුත් ඉහත සඳහන් කළ අවස්ථාවන්හි දී මෙන් නොව කේමදාසගේ අභාවය මෙරට සිංහල සමාජයේ අවදි කරනු ලැබූයේ, කේමදාස නැමැති සංගීතඥයා පිළිබඳත් සිංහල සංගීතය පිළිබඳත් උනන්දුවකි. මේ උනන්දුව මූලිකවම සිංහල කතා කරන, කියවන සමාජයට සීමා වූවකි. ඉංග්‍රීසියෙන් කේමදාසයන් පිළිබඳ පළවූ ලිපි සංඛ්‍යාව අල්පය. ඉංග්‍රීසියෙන් කටයුතු කරන ලාංකේය මැද පන්තිය තුළ කේමදාසගේ සංගීතයට ඉහළ වටිනාකමක් නොලැබුණි. ඊට හේතුව කේමදාසයන් බටහිර සංගීත සම්ප්‍රදාය අනුකරණයේ නොයෙදීම විය හැකිය. රොහාන් ජෝශප් සේරම්, ලලනාත් ද සිල්වා ප්‍රමුඛ, කේමදාසයන්ගේ සංගීතය අගය කළ බටහිර සංගීත නිර්මාණකරුවන් සහ ශිල්පීන් පිරිසක් ලංකාවේ සිටියද, සිංහල සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා නිර්මාණය පිළිබඳ අදහස ඉංග්‍රීසි කතාකරන ලාංකිකයන්ට පිළිගත නොහැකි වුවා විය යුතුය. අනෙක, කේමදාසයන්ගේ සමාජවාදී දේශපාලන අදහස් ද ඊට හේතු වූවා විය හැකිය.

කේමදාසයන්ගේ අභාවය මුල් කොට ගෙන, ගුණකථනයන්ගෙන් ඔබ්බට සිංහල සංගීතය පිළිබඳ ඇති වූ කතා-බහ තුළ, සංගීතය පිළිබඳ අපගේ අව‍බෝධය පුළුල් කරන විග්‍රහයක් ඇතැයි බැලූ බැල්මට හැඟීමක් ලබාදෙන ලිපි සමූහය තුළ හඳුනාගත හැකි ප්‍රධාන දිශානතීන් තුනක් පිළිබඳ කියැවීමක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

අව්‍යාජ සිංහල සංගීතයක්

z_p13-Khemadasa4
මෙම දිශානතීන් තුනට පදනම් වූ ලාංකේය මතවාද මෙලෙස හඳුනාගත හැකිය: ඒ, පශ්චාත් – නූතනවාදය, ලාංකේය ජාතිකවාදී, රාජ්‍ය – විරෝධී, ලිබරල් මතවාදය, සහ මාක්ස්වාදී, එනිසාම නූතනවාදී නමුත් ඒ එකමවර පශ්චාත් නූතනවාදී ද වන්නට ආශා කරන මතවාදය වශයෙනි.

සියලු මතවාදයන් හි සුපුරුදු ලෙස දැකිය හැකි, පවත්නා දෙය වටහාගන්නට උත්සාහ ගන්නවාට වඩා, පූර්වයෙන් ගොඩනඟාගත් තම මතවාදයට අනුව පවත්නා දෙය විනිශ්චය කිරීමේ ලක්ෂණය ඉහත කී දිශානතීන් තුනම තුළ පොදුවේ දැකිය හැකිය.

මෙම දිශානතීන් තුනම පොදුවේ පිළිගන්නා කරුණක් නම්, කේමදාසයන් සංගීත නිර්මාණයට පිවිසීමට පෙර “සැබෑ සිංහල සංගීතයක්” මෙරට නොතිබුණු බවයි. ඒ අනුව, ඊට හේතුව හින්දුස්ථානි සංගීතය මත පදනම් වූ සරල ගීතය, සිංහල සංගීතයේ අධිපතිභාවය දැරීමය. ඒ අර්ථයෙන් ගත්කළ සැබෑ, අව්‍යාජ සිංහල සංගීතයක් යැයි දෙයක් ඇතැයි, තිබිය යුතු යැයි මෙහිදී විශ්වාස කෙරෙයි.

දෙවනුව, ලාංකේය ජාතිකවාදී ලිබරල් මතවාදයත්, මාක්ස්වාදී පශ්චාත්-නූතනවාදී මතවාදයත් හවුලේ පිළිගන්නා කරුණක් වන්නේ, සරල ගීතය සිංහල සංගීතයේ අධිපතිභාවයට පත්වන්නේත්, ගීතයෙන් පරිබාහිර සුභාවිත සිංහල සංගීතයක් බිහි නොවූයේත්, සිංහල ජාතිකවාදය එහි මූලාරම්භයේදීම හින්දුස්ථානි රාගධාරී සංගීතය නව සිංහල සංගීතයේ පදනම වශයෙන් පිළිගෙන ඊට ආධිපත්‍ය හිමිකර දීම නිසාත් ය යන්නයි. මෙය සිංහල රාජ්‍යයේ ස්වභාවය හා බැඳුණක් යන්න ලාංකේය ජාතිකවාදීන් විසින් අවධාරණය කරනු ලැබේ.

බැලූ බැල්මට සත්‍යසේ පෙනෙන සහ බොහෝ දෙනා විසින් පිළිගනු ලැබෙන මෙබඳු කරුණු පිළිබඳ විමසා බැලීම වැදගත් යැයි අපි විශ්වාස කරමු.
ලංකාවේ පශ්චාත්-නූතනවාදීන් කේමදාසයන්ගේ අභාවයේදී සිංහල සංගීතය පිළිබඳ පළකළ අදහස් වලින් ප්‍රකාශ වූයේ ඔවුන් සිංහල ශාස්ත්‍රීය කතිකාවට අලුතින් එකතුකළේ යැයි ඇතැමුන් විශ්වාස කරන බරපතළ නව සංකල්ප මාලාව තිබියදීත්, සිංහල සංගීතය පිළිබඳ කරන්නට උත්සාහ කරන විග්‍රහයේ දී ඔවුන් සහමුලින්ම කලාව පිළිබඳ නූතනවාදී, සම්භාව්‍ය, සාම්ප්‍රදායික විග්‍රහයන්ට පසුබැස තිබීමයි. මෙය අයහපත් දෙයක් ලෙස අපි නොසළකමු. නමුත්, එපමණක් නොව මෙහිදී ඔවුහූ “ප්‍රබුද්ධ – පීචං” ප්‍රතිපක්ෂයට නැවත පණ පොවන්නට ද උත්සාහ කරති. මේ අදහස් විමසුමට ලක් කළ මනාය.

ලාංකේය ජාතිකවාදයක් පිළිබඳ දිශානතියට දැන් ඇතැම් පශ්චාත්-නූතනවාදීන් ද පසුබැස ඇත. මෙම දිශානතියේ හරය සිංහල සමාජයත්, සිංහල සංගීතයත් – පශ්චාත්-නූතනවාදී, ලකානියානු, සීසෙක්වාදීන් කියනු ඇති පරිදි – “ ‘අඩුවක්’ ‘හිඟයක්’ නැතහොත් ‘නොමැතිකමක්’ ” ඇති ඒවා ලෙසින් සැළකීමයි. (අප මෙම අදහස ණයට ගත්තේ තම ආචාර්ය උපාධිය සඳහා සිංහල සංගීතය පිළිබඳ නිබන්ධයක් රචනා කළ මානවවංශ ගාන්ධර්වවේදිනියක වන Anne Sheeran ගෙනි.)

කේමදාසයන්ගේ සංගීතයේ අගය ඇත්තේ එහි ඇති බහුශාබ්දිකභාවය තුළ යැයි යන වැදගත් කරුණ අවධාරණය කරන අතරම, ලාංකේය ජාතිකවාදය, සිංහල ජාතිකවාදය පිළිබඳ තම පූර්ව-නිර්මිත මතවාදී ආස්ථානය තහවුරු කිරීමට, කේමදාස සහ සිංහල සංගීතය පිළිබඳ සාකච්ඡාව අවස්ථාවක් කරගැනීම නිසා, සිදුවූ සැම‍දේ අමතක කොට, සිංහල සංගීතයේ ඓතිහාසික වෙනස්වීම් විමසුමට ලක් නොකොට කරන අතිශයෝක්තියට නැඟීම්, අතිශය සාමාන්‍යකරණයන් සහ ව්‍යාජ දාර්ශනික සහ න්‍යායික ඉඟි කිරීම් වලින් තම අදහස් පළකිරීම් පුරවා ඇත. නවීකාරකවාදී ද, නූතනවාදී ද වන මෙම දිශානතිය, ලෝකය පිළිබඳ පරිණාමවාදී, සංවර්ධනවාදී ප්‍රගතිවාදී දෘෂ්ටියක් ප්‍රකාශ කරන්නේ පවතින දේ පිළිබඳ විග්‍රහයට ආදේශකයක් වශයෙනි. සිංහල සංගීතයක් වර්ධනය වීමට තිබූ බාධකය සිංහල සමාජයේ, සිංහල ජාතිකවාදයේ ඇති පසුගාමීත්වය යැයි මෙම මතවාදය කියා සිටියි.

කේමදාසයන් හට තම සංගීතය ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොලැබීම ගැන සමාජයටත් රජයටත් දොස් කියයි. මෙම පසුගාමීත්වය නොවන්නට සිංහල සංගීතය දියුණුවනු ඇතැයි අපේක්ෂා සහගත සිතුවිලි ප්‍රකාශ කරයි. මෙය තමන් එල්බගෙන ඇති මතවාදයට අනුව සමාජය විපර්යාස වනු දැකීමේ අපේක්ෂාවයි.

තෙවැන්න, සිංහල සංගීතය එලෙසින් ගෙන වඩා දැඩි විග්‍රහයකට යාමේ ශක්‍යතාව පෙන්නුම් කරන, මාක්ස්වාදී සහ එනිසාම නූතනවාදී වන නමුත් පශ්චාත්-නූතනවාදයේ සමකාලීන ජනප්‍රියතාවයට ද ඇල්මක් දක්වන දිශානතිය යි. සම්භාව්‍ය කලාව වෙනුවෙන් පෙනී සිටින මෙම එළඹුම සම්භාව්‍ය-ජනප්‍රිය, පෙරදිග-බටහිර වැනි ප්‍රතිපක්ෂයන්ට එරෙහි නමුත්, විග්‍රහයේ දී ඒවා පිළිබඳ අවුලක පැටලී සිටියි. ජනප්‍රිය සංගීතය ගැනත් එය පාරිභෝගික භාණ්ඩයක් ලෙසින් වානිජකරණයට ලක්වීම පිළිබඳත් මෙම එළඹුමට ඇත්තේ එවැනිම අවුලකි.

මෙම එක් එක් දිශානතිය සිංහල සංගීතය පිළිබඳ වත්මන් කතාබහට ගෙන එන සුවිශේෂ අදහස් මෙන්ම ඒවා පොදුවේ බෙදා-හදාගන්නා අදහස් ද විමසුමට ලක් කළ යුතු යැයි සිතමි. ඒ අරමුණින් යුතුව මෙම ලිපියේ ඉතිරි කොටසේදී පළමුව, සිංහල සංගීතය පිළිබඳ පශ්චාත් නූතනවාදීන් පළකළ අදහස් විමසුමට ලක් කෙරෙයි.

කේමදාස සහ පශ්චාත්-නූතනවාදය: අසිරිමත් ප්‍රාතිහාර්යයක්

z_p13-Khemadasa6
ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවය හේතුවෙන් ලංකාවේ, ප්‍රාතිහාර්යයක්, මහත් අසිරිමත් දෙයක් සිදුවුණි. එය නම්, කලාව කියා දෙයක් නැතැයි පෙර කියා සිටි ලංකාවේ පශ්චාත්-නූතනවාදීන් කලාව පිළිබද කතා බහට යළි ප්‍රවිශ්ඨ වීමයි. ඔවුනට කලාව පිළිබඳ ඥානය පහළ වීමයි. මෙයට මග පාදන්නේ කේමදාසයන්ගේ අභාවයේ දී ඔහු සංගීතඥයෙකු වශයෙන් ගෙන කතා කිරීමට පොදු සමාජය යොමුවීම යැයි සිතමි.

පොදු සමාජය මුල් තැන දී කතා කළේ කේමදාසයන්ගේ අසම්මතභාවය ගැන නොවේ. පශ්චාත්-නූතනවාදී තරුණයන්ට කේමදාසගේ අභාවය මනුස්සකම ගැන කතා කිරීමට අවස්ථාවක් ලබා නොදුන්නේ කේමදාසයන් තමන්ගේ අදහස් නිර්දය ලෙස ප්‍රසිද්ධියේ පළකරන්නෙකු වී තිබීම යැයි සිතමි. තරුණයන් කියන-කරන ඕනෑම දෙයක් ඉවසා සිටින ඊනියා මනුස්සකමක් කේමදාසයන් තුළ නොතිබුණි. කේමදාසයන් තරුණ තරුණියන්ට පිරිනැමුවේ අනුකම්පාව නොව විශිෂ්ඨත්වය සාධනයට නිරන්තර කැපවීමෙන් විනයෙන් යුතුව උත්සාහ කළ යුතුය යන අදහස ය.

කේමදාසයන්ගේ ප්‍රබල මත බාහුල්‍යය නිසා එක් අතකින් ඔහු සමාජයේ ඇතැම් කොටස්වල අනාදරයට ලක්ව තිබුණි. සාමාන්‍යයෙන් මරණයකදී කෙරෙන්නක් මෙන් කේමදාසයන්ගේ නිර්දය සමාජ විවේචන නරක දේ ලෙස සළකා ඒවා ඔහුගේ අභාවයේදි සිහිපත් නොකරන්නට ඇතැම්හු කටයුතු කළහ. මළ මිනිසාගේ නුගුණ කීමේ පිළිවෙත හොඳ එකකි. නමුත් කේමදාසයන් සමාජ විවේචනයට නිර්භය වීම ඔහුගේ නුගුණක් ලෙස සැළකිය යුතු නොවේ යැයි සිතමි.

කේමදාසයන්ට තමාට අදාළ සංගීතය හෝ සමාජ භාවිතාව ගැන හෝ පොදුවේ සමාජය ගැන හෝ සමාජයේ අවධානය දිනාගන්නා ප්‍රබල මත ඉදිරිපත් කරන්නට හැකිවූයේ තම දෙපා පොළොව මත තිරසාරව ගොඩනැඟුණු ශිල්පීය භාවිතයක් තමාට තිබුණු හෙයිනි. ඔහුගේ මත බාහුල්‍යය නිසා, ඔහු ‘මමයි මිනිහා’යි කියන්නෙකු ලෙස ඇතැමෙකුට පෙනීයාමෙන් යමක් කියවෙතොත් ඒ කේමදාස ගැන නොව ඔහුගේ මත බාහුල්‍යය නිසා ඔහු සරදමට ලක්කරන්නට තැත් කරන්නවුන් පිළිබඳය. ඔහුගේ මතයන්හි තිබුණු බර නිසා ඒවා හැම විටම ආන්දෝලනාත්මක මත විය.
මුළු සමාජයම කේමදාසයන් ගැන කතාකරන්නේ නම් එයට හවුල් වී යමක් කියා නොසිටිය හොත් තමන්ට සමාජය ඉදිරියේ පෙනීසිට බැබැළීමට ඇති අවස්ථාවක් නොළැඹීයන හෙයින් අන් සියලු දෙනාට මෙන්ම පශ්චාත්-නූතනවාදීන්ට ද කේමදාසයන්ගේ සංගීතය ගැනම කතා කරන්නට සිදුවිය.

මා ඉහත කී අසිරිමත් දෙය සිදුවූයේ එවිටය. එම අසිරිය නම් පශ්චාත්-නූතනවාදීන් කේමදාසයන්ගේ සංගීතය ගැන කතා කරන්නට ගොස් තමන්ට යමක් ගැන පොදු සමාජයට වැටහෙන ආකාරයෙන් කතා කරන්නට, ඔවුන් ලාංකේය ශාස්ත්‍රීය කතිකාවට අලුතින් එකතු කළේ යැයි කියනු ලබන පශ්චාත්-ව්‍යුහවාදී, පශ්චාත් නූතනවාදී වාංමාලාව පසෙක තබා ඔවුනට යොදාගන්නට සිදුවූයේ සංගීතය සහ කලාව පිළිබඳ සම්ප්‍රදායික, සම්භාව්‍ය, නුතන කතිකාවන් හී එන සංකල්ප සහ අදහස්ය.

කලාව කියා දෙයක් නැතැයි පෙර කියා සිටි පශ්චාත්-නූතනවාදීන් කේමදාසයන්ගේ සංගීතය ගැන කතා කිරීමේ දී පත්වූ මතවාදී අර්බුදය තුළ ඔවුන් කලාව පිළීබඳ සම්ප්‍රදායික අදහස් යළි තහවුරු කිරීමට පෙළඹුණි.

ඔවුහු කලාව, කලාකරු, ප්‍රබුද්ධ, සම්භාව්‍ය සංගීතය, රසවිඳීම, රසිකයන් , භාවයන්, විශ්ව විද්‍යාලීය ශාස්ත්‍රීය අධ්‍යාපනයේ වැදගත්කම, විචාර කලාව, විශ්වීය කලාව, කලා මාධ්‍ය, ප්‍රාගුණ්‍යය, ශුද්ධ සංගීතය, ව්‍යවහාරික සංගීතය, මහා සම්ප්‍රදාය, චූල සම්ප්‍රදාය යනාදී සියලු සාම්ප්‍රදායික යෙදුම් තම විග්‍රහයට යොදා ගනිති. එපමණකින් නොනැවතී ඔවුහූ කලාව පිළිබඳ දුර්මත ද පළ කරති. උතුරු ඉන්දීය රාගධාරී සංගීතයට හසුවන මනස්සෘෂ්ටීන්, භාව පරාසය සහ හැඟීම් හුදෙක් භාවනාව වඩන ඒවා යැයි යෝජනා කිරීම එවැනි එක් දුර්මතයකි.

ජනයාට සම්භාව්‍ය සංගීතය දුනහොත් සමාජය ප්‍රබුද්ධ වේයැයි පළකරන විශ්වාසය අයත්වන්නේ කලා-රුචිකත්වය වගා කරගත් දෙයකි යන මතයට ය. මෙම මතය ඉතා වටිනා අදහසක් ලෙස අපිදු පිළිගනිමු.

සිංහල නාට්‍ය කලාවේ නූතන පුනරුදය ලකුණු කළ එහි ආරම්භකයා යැයි කිවහැකි සරච්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහු ඉවර කළේ තමන් යැයි, එදා උදම් ඇනූ පශ්චාත්-නූතනවාදීන්, එය කළේ පාදඩ පන්තිය යැයි අද හැඳින්වීමෙන් කියන්නේ කා ගැනදැයි පැහැදිළි නැත.

ත්‍රී වීල් රථ රියැදුරන්, බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් යනාදී සමාජයේ පහළ ස්ථරවල ජනයාට අපහාස මුඛයෙන් කතා කරන පශ්චාත්-නූතනවාදීන් අප අසන සංගීතය අන් අය විසින් තීරණය කරනු ලැබෙන දේශපාලනය ලංකාවේ උදාවූයේ මෙම පශ්චාත්-නූතනවාදීන් විසින් මහා විප්ලවවාදී නවීකාරකයා ලෙස අගය කරනු ලැබෙන ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ දියත් කරන ලද මහා සමාජ විපර්යාස වැඩ පිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස බව අද අමතක කරති.

‘කේමදාසයන් සංගීතයේ සිවිල් බව කඩයි’ යනුවෙන් පශ්චාත්-නූතනවාදීහු ‘සිවිල්-මනුස්ස’ ප්‍රතිපක්ෂය ඔහුගේ චරිතය ඇසුරෙන් නොව සංගීත භාවිතය ඇසුරෙන් ප්‍රකාශ කරන්නට උත්සාහ දරති. ඉන් ඔවුන් අදහස් කරන්නේ ඔහු සම්මතයන් බිඳින, සම්ප්‍රදාය කඩන, සම්මත විරෝධියෙකු බවයි‍, නව්‍යකාරකත්වය වෙනුවෙන් පෙනී සිටි, අදීන, ස්වාධීන භාවිතාවක් ඇත්තෙකු බවයි.

නමුත් කේමදාසයන්ගේ අසම්මතවාදය පශ්චාත්-නූතනවාදීන්ගේ සමාජ වීරෝධී අසම්මතභාවය ඉඳුරා ප්‍රතික්ෂේප කළ එකක් විය. කේමදාසයන්ගේ අසම්මතභාවය මානව ලෝකය හා තදින් බැඳුණකි. පවතින ක්‍රමයට ප්‍රතිරෝධය දක්වමින්, එය විවේචනය කරමින් කේමදාසයන් ලෝකය සමඟ දැඩිව බැඳී සිටියේ ඒතුළ නව යමක් ගොඩනඟන්නට උත්සාහ කිරීම තුළිනි. නොමැතිව එය පිළිබඳ වෛරයෙන් එය විනාශ කිරීමේ අභිප්‍රායෙන් කටයුතු කිරීමෙන් නොවේ.

අද ඔවුන් විවේචනය කරන භාවිත‍ාවන් වන, වැදගත් රැස්වීම් කඩාකප්පල් කිරීමෙන්, ගුවන් විදුලියට සජීවීව ප්‍රශ්න යොමු කිරීමෙන් නමක් හදාගැනීමට මෙරට තරුණයන් පුරුදු කළේ පශ්චාත්-නූතනවාදීන්ම මිස අන් කවරෙකුත් නොවේ. දැන් ඔවුහූම මෙය හෙළා දකිති. සමහරවිට අලුත් පරපුරේ තරුණයන් දැන් මෙබඳු ක්‍රියාකාරකම් පශ්චාත්-නූතනවාදීන්ටම එරෙහිව එල්ල කරනවා විය හැකිය.

කේමදාස පශ්චාත්-නූතනවාදීයෙකු නොවීය

k9

පශ්චාත්-නූතනවාදීන් කේමදාසයන් තමන්ගේ ගොඩට දාගන්නට උත්සාහ කළ ද ඔහු සියලු ප්‍රමිතීන්, විශිෂ්ඨත්වය පිළිබඳ හැඟීම් සමතලා කොට දමන පශ්චාත්-නූතනවාදීයෙකු නොවීය.

ඔහුට කලාව තම ජීවිතය විය. ඔහු බැරෑරැම් ලෙස තම සංගීත භාවිතය, කලා මාධ්‍යයක ශිල්පීය ඥානය, ශාස්ත්‍රීය සංගීතය හැදෑරිය යුතු, සතත අභ්‍යාසයෙන් ප්‍රගුණ කළ යුතු ශාස්ත්‍රයක් කොට සැළකීය. ඔහුගේ සංගීතය උසස් ප්‍රමිතියක් වෙනුවෙන් විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටියේය. තමා උසස් ප්‍රමිතීන්ට කටයුතු කළා පමණක් නොව ඔහු අන් අයගෙන් ද උසස් ප්‍රමිතීන් ඉල්ලා සිටියේය.

කලාව හැදෑරීමට ශික්ෂණය අවශ්‍යය යැයි දැඩිව විශ්වාස කළ ඔහු තම සිසුන්ගෙන්, තමා සමඟ එකට වැඩකළ ශිල්පීන්ගෙන් කලා භාවිතයට දිය යුතු ගරුත්වය ඉහළම මට්ටමින් ඉල්ලා සිටියේය. එය නොලැබුණු විට ඔහු කෝප විය.

කේමදාසයෝ තම සංගීත නිර්මාණය ලිහිල් කොට සැළකූවෙකු නොවූහ. නාට්‍යයක හෝ චිත්‍රපටයකට හෝ සංගීතය නිර්මාණය කරන විට, ඔහු එම කෘතියේ පෙළ, රංගනය මනාව වටහා‍ ගෙන නාට්‍යයක නම් පුහුණුවීම් සමඟ සක්‍රීයව එකතුවෙමින්, කෘතිය සමඟ ඒකාග්‍රවන සංගීතයක් නිර්මාණය කළෝය.

ප්‍රේක්ෂක රුචිය ඉහළ නංවාලීම ඔහුගේ අරමුණ විය. ඔහු තම වෘත්තිය කරගත් කලාවට කැපවිය. ඒ පිළිබඳ වෙහෙස මහන්සිය නොබලා කටයුතු කළේය. ඔහුගේ කලාත්මක සංවේදීතාවන් පශ්චාත්-නූතනවාදී නොවීය. ඔහුගේ නිර්මාණ තුළ බහුස්වනය හුදු පශ්චාත්-නූතනවාදී සාරසංග්‍රහවාදයක් හෝ සියලු ශිල්පීය භාවිතයන් එකහා සමාන යැයි කියන සාපේක්ෂවාදයක් හෝ බවට නොපිරිහෙළුණි. ඔහුට අවශ්‍ය වූයේ ජගත් පිළිගැනීමට ලක්විය හැකි ශ්‍රේෂ්ඨ නිර්මාණ කරන්නටය. ඔහු ප්‍රධාන කොටම සෙවූවේ ශුද්ධ සංගීතයේ උච්චතතම තලයයි. ඔහු හට සංගීතය සහ නොසංගීතය ගැන ප්‍රබල හැඟීමක් තිබුණි.

කේමදාසයන් බටහිර සංගීතයෙන් සිංහල සංගීතයට හඳුන්වා දෙන්නට උත්සාහ කළ සංධ්වනිය, ඔපෙරාව, කැන්ටාටාව යනාදිය බටහිර සංගීතය විවිධ කලාපයන්හ‍ි, විවිධ යුගයන්හ‍ි අත්පත් කරගත් සාධනයන්හි විශිෂ්ඨ අග්‍රඵලයන්ය. ඒවා අනුකරණය කිරීම නොව සිංහල සංගීතයේ නිර්මාණ ආකෘති ලෙස ස්වාධීනව යොදා ගැනීම ඔහුගේ අරමුණ වූ බැව් පෙනී යයි.

අද සිටින, තම ශිල්පීය හැකියාවන් වෙළඳපොලේ ඉහළම මිලට අලෙවි කිරීම කලාව වශයෙන් තරුණ තරුණියන්ට උගන්වන, ඊනියා කලාකරුවන් මෙන් නොව ඔහුට කලාව පිළිබඳව වූයේ මහත් ලාලාසාවකි. ‘හැම කෙනෙකුටම මිලක් ඇත. මම මට ලැබෙන ඉහළම මිලට අලෙවි වෙමි’ යනුවෙන් පශ්චාත්-නූතනවාදීන් තරුණ තරුණියන් අතර ජනප්‍රිය කළ ධර්මය කේමදාස තරුණයන්ට ඉගැන්වූ දෙය සමඟ කිසිසේත් නොගැළපේ.

ගැමි දරු-දැරියන්ගේ ගායනා කුසලතාවන් ඔප් නංවා, පුහුණු කොට ඔවුන් ජාත්‍යන්තර ගායනා තලයට ගෙනයාම, ජගත් විශිෂ්ඨයන් අතරට ගෙනයාම කේමදාසයන්ගේ අපේක්ෂාව සහ උත්සාහය විය. ඔහු තරුණ තරුණියන් පතන දෙය ඔවුන්ට ඉගැන්වූයේ තම බඩ ගෝස්තරය සඳහා හෝ ඔහුගේ අනුගාමිකයන් තනා ගැනීමට නොවේ. “මා කියන දෙය නොපිළිගන්නැයි” ඔහු තම සිසුනට නිතර කීබව ප්‍රසිද්ධය.

දැනටමත් ඇතැමුන් පෙන්වා දී ඇති පරිදි, ඔහු තුළ කලාව පිළිබඳ වූයේ දැවෙන ගින්නකි. ඔහු කලාව මුදලට, බඩ ගෝස්තරයට අලෙවි නොකළේය. ඔහුටත් අන්සැම මිනිසෙකුට මෙන් යැපීමට, කුටුම්භ සංරක්ෂණයට මුදල් අවශ්‍ය වූවා විය යුතුය. නමුත් ඔහු මුදල් පසුපස හඹාගිය කලාකරුවෙකු නොවීය. ඔහු ගතකළ චාම් සරල ජීවිතය එයට උදව් විය. මුදලේ සම්භවය රාජ්‍ය/ පෞද්ගලික/ රාජ්‍ය ‍නොවන කුමන අංශයක වුවද ඔහු තම ආත්මය මුදලට නොවිකිණීය. ඔහු මූල්‍යාධාර සපයන්නන්ගේ ඉල්ලුමට “කලා නිර්මාණ” බිහි කළේ නැත.

ප්‍රකාශයට පත් කිරීම සඳහා දැවෙන යමක් ඔහු තුළ සැමවිටම තිබුණි. එය ව්‍යාපෘති, අරමුදල් වල අරමුණු වලින් කුළු ගැන්වුණු කලා නිර්මාණයක් නොවීය. තමා ශාස්ත්‍රාලීය සංගීත අධ්‍යාපනයක් නොලැබුවද, ඔහු සංගීතය තමන්ම ශාස්ත්‍රීයව හැදෑරීය. උසස් ලෙස ගායනය ප්‍රගුණ කරන්නට නම් බාල සංගීත සේවනයෙන් මිදිය යුතු යැයි ඔහු තම ශිෂ්‍යයන්ට අවවාද කළේය. මිනිසුන්ට පෞරුෂය අහිමිකරන වැඩවසම් සම්ප්‍රදායන්ට එරෙහි වූ ඔහු ඒ අතරම ශික්ෂණය ද අගය කළේය.

ඔහු ශිෂ්‍යයන්ට ඉගැන්වූයේ තමන්ගේ ලකුණ (එවැනි ලකුණක් ඔහු ගොඩනඟා‍ගෙන තිබුණි) ශිෂ්‍යයන් මත ඔබ්බවා ඔවුන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක (ඔහුට එවැනි දේශපාලන ව්‍යාපෘතියක් නොතිබුණි) කාඩර්වරුන් කිරීමට නොව, ඔවුන්ට තමන්ගේම වන ස්වාධීන යමක් ගොඩනඟා ගන්නටය.

ඔහු තුළ විරල මානව ගුණාංග විය. ඔහු තමන් සමඟ සංගීත ශිල්පයෙහි යෙදුණවුන්ට බෙහෙවින් ගරු කළේය. ඔහු සමාජයේ වැරදි, අගතීන් කෙරෙහි වූ තම කෝපය තම අදහස් සමඟ එකඟ නොවූවන් හෝ ඒවා විවේචනය කළවුන් මත ශාරීරික වදා හිංසා ලෙසින් මුදාහැරීම‍ට යොමු වූයේ නැත.

සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයෝ පශ්චාත්-නූතනවාදීයෙකු නොවූහ.

මෙම ලිපිය කතිකා ප්‍රාරම්භක කලාපයේ ප්‍රථමයෙන් පලවිය.http://kathika.lk/old/2009/08/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB/#more-672

උපුටා දක්වන්නේ නම් kathika.wordpress.com වෙබ් අඩවියෙන් ගත් බව සඳහන් කරන්න.

Advertisements