දේශපාලනය ලිබරල් “ක්‍රීඩාවෙන්” ඔබ්බට – චමීර පෙරේරා

චමීර පෙරේරා
චමීර පෙරේරා

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම හුදු ලිබරල්වාදී කාර්යයක් යන්න වමට සම්බන්ධ සහෝදරයන්ගෙන් වුවද බොහෝ විට එල්ලවන විවේචනයකි. වමේ ව්‍යාපාරයේ ඉතිහාසය තුළද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ දේශපාලන කාර්යයක් ලෙස සැලකූ සහෝදරවරුන් සම්බන්ධයෙන් බරපතල විවේචනයන් එල්ල විය. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා එකී විවේචනයට හසුවූ ප‍්‍රධාන චරිතයයි. කම්කරු පන්ති දේශපාලනය මුල්කරගත් දෘඩතර පන්ති සංවිධානයක් වෙනුවට සම සමාජය, මහජනතාව මුල්කරගත් මහජන ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීමට ඇන්. ඇම්. පෙරේරා හැමවිටම උත්සාහ කළ බව ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පිළිබඳව අධ්‍යයනය කළ “Al Richardson, “Blows Against the Empire” කෘතිය මඟින් පෙන්වා දේ. ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා මුල්වී සකස් කළ සම සමාජ ප‍්‍රකාශනය වුවද, සම සමාජය පීඩිත පන්තීන්ගේ (එක් පන්තියකට යටත් නොවූ), මහජන ව්‍යාපාරයක් යන්න අවධාරණය කර තිබූ බවත්, සමාජවාදය වුවද එහි විග‍්‍රහ කර තිබුණේ ‘‘මහජනතාවගේ දේශපාලන උත්තරීතරභාවයේ ප‍්‍රකාශනයක්’’ ලෙස බවත් George Jan Lerski රචනා කළ “Origins of Trotskyism in Ceylon” කෘතිය තුළ සටහන් කර ඇත. මේ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය, වමේ දේශපාලනය හා නොගැලපෙන නැත්නම් එය හුදු ලිබරල් දේශපාලන කාර්යයක් දක්වා ලඝු කරන ආකාරයක් හඳුනාගත හැක. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, හුදු ලිබරල් දේශපාලන කාර්යයක් දක්වා ලඝු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම වර්තමානයේ සිදුවන දේශපාලන සිදුවීම් හුදු ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිදුවීම ලෙස සලකා, දේශපාලන කි‍්‍රයාකාරීත්වය කෙරෙහි උනන්දුවක් නොදැක්වීමේ තත්ත්වයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කි‍්‍රයාකාරීත්වය පිළිබඳව නැවත සිතීම වැදගත්වේ.
ජනතා කි‍්‍රයාකාරීත්වය ප‍්‍රමුඛතාවයට පත්කිරීම හා එකී කි‍්‍රයාකාරීත්වයන් ප‍්‍රසිද්ධ කාර්යයන් බවට පත්කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශය ලෙස ෂාන්තාල් මුෆ් (Chantal Mouffe) පෙන්වාදේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මහජන ක‍්‍රියාකාරීත්වය සමඟ බැඳී ඇති බැවින් එය දේශපාලන තලයට අයත් වූවක් බව ඇය වැඩිදුරටත් පෙන්වා දේ. කෙසේ වුවද, පුද්ගල නිදහස සීමාකරන රාජ්‍ය හා අනෙකුත් ආයතනවලට එරෙහිව බරපතල ප‍්‍රතිවාදයක් ගොඩනැඟීම ලිබරල් මූලධර්මය වූ අතර සාමුහික අනන්‍යතාවයන් හා සාමුහික කි‍්‍රයාකාරීත්වයන් ලිබරල් පුද්ගලවාදයට අදාළ නොවීය. පුද්ගලවාදී කොන්දේසිය පෙරට ගනිමින් ආරථිකය හා සදාචාරය අතර දෝලනය වීම ලිබරල් මූලධර්මය විය. එමඟින් තම අරමුණු වෙත ගමන් කරන යාන්ත‍්‍රණයක් බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පත්කරගත් අතරම එකී යාන්ත‍්‍රණය තුළ විවිධ ආයතනයන් හා පුද්ගලයන් වරින්වර පත්කරගැනීම දේශපාලන කාර්යය බවට ලඝු කර ඇත. මෙය කෙසේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වන්නේ? ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, ලිබරල්වාදයෙන් ලැබුණු ඵලයක් වන්නේ පුද්ගල වාදයන්ට, ප‍්‍රවාදයන්ට හා සංවාදයන්ට අවස්ථාව ලබාදුන් අනේකවිධ ආයතනයන් බිහිවීමයි. කෙසේ වුවද, එකී ආයතනයන්, පුද්ගලවාදී අරමුණු වෙත ගමන් කිරීමට පහසුකම් සපයන මාර්ගයන් හා යාන්ත‍්‍රනයන් බවට පත්කරගැනීම මඟින්, එමඟින් ප‍්‍රකාශ විය යුතු සාමුහික අභිලාෂයන් හා කි‍්‍රයාකාරීත්වයන් දුර්වල කර ඇත. අවසානයේ ප‍්‍රභූන් අතර එකඟතාවයන් හා ගනුදෙනු ඇතිකරගන්නා ආයතනයන් බවට මෙම ආයතන පත්වී ඇත. ලිබරල් මූලධර්මයේ ඇති මෙම ගතිකය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමඟ පටලවමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව උනන්දුවීම හා ඒ සඳහා කි‍්‍රයාකිරීම ‘‘ලිබරල් වැඩ’’ ලෙස ලඝු කිරීම බරපතල දේශපාලන වරදකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ලිබරල් පුද්ගල කොන්දේසිවලට යටකිරීමට එරෙහිව ප‍්‍රවාදයක් ගෙනඒම හා ඒ සඳහා ප‍්‍රසිද්ධියේ කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. නැත්නම් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ හා ‘ලිබරල්වාදය’ අතර ආතතිය පවත්වා ගැනීමය. එසේ නැතිව මේ පවතින්නේ ‘‘ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ යැයි භාරගැනීම නොවේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව තිබූ පලිගැනීම නිසාම, දැඩි විවේචනයට පාත‍්‍රවූ ඇන්. ඇම්. සහෝදරයා දේශපාලනය කිරීම සම්බන්ධයෙන් දැක්වූ අදහස් වමේ ව්‍යාපාරය පිළිබඳව කළ අධ්‍යයනයන්හිදී නොසලකා හැරියද, දේශපාලනය කිරීම අවබෝධ කරගැනීම සඳහා අවධානයට ගැනීම වැදගත් යැයි සිතමි. ඇන්. ඇම්. සහෝදරයාගේ ප‍්‍රධාන යෝජනාව වූයේ ජනතාව කි‍්‍රයාකරන තැනක, පොදු කි‍්‍රයාශීලිත්වයක සිටීම දේශපාලනය කිරීම යන්නයි. වරෙක ඔහු බොල්ෂෙවික් පාක්‍ෂිකයන්ට පැවසුයේ ජනතා කි‍්‍රයාකාරීත්වය තුළ නොසිට, හුදු ත‍්‍රාසජනක සන්දර්ශනයන්හි යෙදෙමින් ජනතාවගෙන් ඈත්වීම දේශපාලනය කිරීම නොවන බවයි. ‘‘බොල්ෂෙවික් පාක්‍ෂිකයන් සිතන ආකාරයට මහජනතාව හැසිරවීම දේශපාලනය නොවේ, එය අධිපතිවාදී පිළිගැනීමක්, අපට ලැබී ඇති දේශපාලන ආකෘතියට ඇතුල්වී, ළඟාකරගත නොහැකිවූ වටිනාකම් අත්පත්කරගැනීමට සාමුහිකව කි‍්‍රයා කළ යුතු යැයි මම යෝජනා කරමි’’ යනුවෙන් 1944දී බොල්ෂෙවික් විවේචනයන්ට පිළිතුරු දෙමින් ඔහු පැවසීය. මෙම සාමුහික කි‍්‍රයාකාරීත්වයට ඇතුල්වීමේ අවශ්‍යතාවය මෙන්ම ලිබරල්වාදයේ අනතුරුද ඔහු දුටුවේය. එය ඔහු ආචාර්ය උපාධි නිබන්ධය මඟින් ශාස්ත‍්‍රීයව සාකච්ඡුා කරනු ලැබීය. විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පාර්ලිමේන්තු නියෝජනයට සීමාවෙමින් පක්‍ෂ හෝ කණ්ඩායම් කිහිපයක සැලසුම් අනුමත කරගන්නා යාන්ත‍්‍රනයක් වීමේ අනතුරත්, එසේ වුවද සැලසුම් අනුමත කරගැනීමේ ලිබරල් මූලධර්මය පෙරට දමමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විරෝධයන් හෝ සාමුහික කි‍්‍රයාකාරීත්වය නොසලකා හරිනු ලබන අධිපතිවාදී පාලනයක ස්වරූපයක් ගැනීමට ඇති ඉඩකඩත් විමර්ශනය කළේය. මෙකී නියෝජිත ආයතනවලින් පිටවී, අධිපතිවාදී ආණ්ඩුකරණයකට ඉඩ නොදීය යුතු අතරම පූර්ව සැලසුම් හා යෝජනා කි‍්‍රයාත්මක කරන ආයතනයන්වල නියෝජිතයන්ගේ තත්ත්වයට ඇදනොවැටීමට ප‍්‍රතිසම්මුතිවාදී දේශපාලන භූමිකාවක් යෝජනා කළේය. මෙකී භූමිකාව පිළිබඳ උදාහරණ කිහිපයක් 1970දී ලංකා විද්‍යාභිවර්ධන ආයතනය සංවිධානය කළ වාර්ෂික සමුළුවේ ආරාධිත දේශනය පවත්වමින් පැහැදිලි කළේය. පවතින නියෝජිත ආයතනයන්වලට ඇතුල්වූ අප එහි තිබූ සම්මුති හා සැලසුම් අනුමත කරගැනීමේ සම්ප‍්‍රදායට අභියෝග කළෙමු. සම්මුති පමණක් නොව විසම්මුතිත්, විරෝධයන්, ගැටුම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අංගයක් බව පෙන්වා දුන්නෙමු. ඒ නිසා ප‍්‍රභූ පාලකයන්ගේ සම්මුතීන් හා සැලසුම් අනුමත කරගන්නා ආයතනයක් වෙනුවට ජනතා අවශ්‍යතාවයන් සාකච්ඡුා කරන ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කළෙමු. ඒ නිසා වැඩකරන ජනතා අයිතීන්, මහජන සෞඛ්‍ය, ප‍්‍රවාහන අවශ්‍යතා, ගොවි ඉඩම්, පරිසර විනාශයන් ගැන සංවාද කළෙමු. එමඟින් අත්පත්කරගත් පොදු ජයග‍්‍රහණයන් සුළුපටු නොවේ. කෙසේ වුවද ප‍්‍රජාතාන්ති‍්‍රක දේශපාලන කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් ඇන්. ඇම්.ට තිබූ මෙම ලාලසාව, වාමාංශික සාහිත්‍ය හා කි‍්‍රයාකාරීත්වයේ දැඩි විවේචනයට ලක්වූයේ ‘ප‍්‍රතිසංස්කරණවාදය’ හෝ ‘සරල ලිබරල් වැඩ’ ලෙසින්ය.
පසුගිය සතියේ රාවය වමේ වේදිකාවේ ලිපිය මඟින් කුමුදු කුසුම් සහෝදරයා විමසා සිටින්නේ එදා ඇන්. ඇම්.ට එල්ල කළ විවේචනය හා සමාන කාරණාවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට උනන්දු වීම හා ඒ පිළිබඳ කැපවීම ‘ලිබරල් වැඩ’ ලෙස නොසලකා හැරීම හෝ මේ වෙන්නේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩ ලෙස පවසමින්, ඒ දේශපාලන කාරණා නොසලකා හැරීමය. ජනවාරි 8 ප‍්‍රතිසංස්කරණ හුදු ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යෝජනා බවට ලඝු කරමින්, ඒ සඳහා බලපෑම් කිරීම වෙනුවට සිදුවන දේවල් ‘මේ වෙන්නේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩ, ඒවා සාමාන්‍ය දේවල්’ ලෙස භාරගැනීමට සමහර වාමාංශික සහෝදරවරු පෙළඹී ඇත. ඒ නිසා සම්මුතිවාදී ආණ්ඩුවක් සැදීම වෙනුවෙන් ‘දේශපාලනය’ කැපකරන විට එය සාමාන්‍ය දෙයක් වේ. මහා පුරවර සැලසුම් ආදී නාගරිකරණ ව්‍යාපෘති මඟින් නැවත ‘ගෝඨාභය’ සැලසුම් කි‍්‍රයාත්මක වෙයිද යන්න සාකච්ඡුා නොකර මඟහැරයාමට වුවත් සූදානම්ය. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිය පුත‍්‍රයා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගිවන ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුල්කරගැනීම වුවත් ‘හැමදාම දේශපාලකයෝ ඔහොම තමයි’ යන සරල ලිබරල් සූත‍්‍රයට ඇතුල් කර අමතක කළ හැක. එහෙත් පොදු කි‍්‍රයාකාරීත්වයන්, ආයතන හා සංවාදයන්ට ඇතුළු වී ‘යහපත’ පිළිබඳ නව මානයන් හෙළිකරගැනීම දේශපාලන කාර්යයකි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදීය එහෙත් ‘ලිබරල්’ නොවේ.

උපුටා දක්වන්නේ නම් kathika.wordpress.com වෙබ් අඩවියෙන් ගත් බව සඳහන් කරන්න.

Advertisements