පුරවැසියා සක්‍ර‍ියව දේශපාලනයට නොබැස්සොත් දිනූ දේ නොපවතීවි – ආචාර්ය කුමුදු කුසුම් කුමාර

කුමුදු කුසුම් කුමාර
කුමුදු කුසුම් කුමාර

“මේ පිරිස මම යෝජනා කරන්නේ 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ යූඇන්පිය විසින් දියත් කරන ලද විවෘත ආර්ථිකය නැමැති නිර්බාධි ආර්ථික වැඩපිළිවෙල යටතේ අර්ධ නාගරිකව සහ නාගරික වශයෙන් විශේෂයෙන් අර්ධ නාගරික පළාත්වලින් නිෂ්පාදනය වන නන්නත්තාර නැතහොත් පාදඩ ධනේෂ්වර පන්තියක් යනුවෙන් හැඳින්විය හැකි පිරිසක්. මේ අය අපේ සමාජය අධිපතිභාවයට ගන්නවා මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය තුළ. ඔවුන් ශක්තිමත් වෙනවා යුධ ව්‍යාපාරයට විවිධ ආකාරයෙන් ඒ තුළ ආයෝජනයන් කිරීමෙන්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව මිනිසුන් අතර ඉතාම ජනප‍්‍රිය සටන් පාඨයක් බවට පත්වන්නේ විධායක ජනාධිපති බවට මහින්ද රාජපක්‍ෂ මහතා පත්වීම තුළ ලංකාවේ සමාජයේ අධිපතිභාවයට පත්වුන මේ නව ලූම්පන් නැතිනම් නන්නත්තාර මැද පාන්තික කොටස් ලංකාවේ සමාජය දේශපාලන බලය පාවිච්චි කරලා තමන්ගේ ග‍්‍රහණයට ගැනීම නිසයි.

මේක තුළ සිදුවන ප‍්‍රධානතම කරුණක් තමයි ලංකා සමාජයේ නීතියේ ආධිපත්‍යය පිරිහීම. සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිසුන්ට දැනෙන්න පටන් ගන්නවා ඔවුන්ට නීතියේ පිළිසරණක් ලබාගැනීමට හැකියාවක් නැති බව. ඒකට හේතුව තමයි මේ පිරිස් ජාතික මට්ටමේ සිට පළාත්බද මට්ටම, ප‍්‍රාදේශීය මට්ටම, දක්වා නීතිය තමන්ගේ අතට ගැනීම. ඒ තුළ මිනිසුන්ට යුක්තිය ඉෂ්ඨ කරගැනීමට නීතියේ පිහිටක් නැතිවෙනවා, කිසිම අවස්ථාවක් නැතුව යනවා. ඒ මොකද දේශපාලන තන්ත‍්‍රය හරහාමයි මේ බලය තහවුරු වෙන්නේ. මේ තත්ත්වය තුළ තමන්ට නීතියේ පිහිට නැතිවීම, සමාජයේ සාධාරණයක් ඉෂ්ඨ කරගැනීමට දේශපාලනඥයන් දිශාවට හැරෙන්ටත් බැහැ, නීතියට හැරෙන්ටත් බැහැ කියන තත්ත්වයක් තුළ මිනිස්සු ඉතාම අසරණභාවයට පත්වෙනවා. මේක හරියට ප‍්‍රාදේශීය යුධ අධිපතින්ගේ පාලනයක් වගෙයි. දේශපාලන බලය, රාජ්‍ය බලය තමන් අත ඒකරාශී කරගත් ප‍්‍රාදේශීය නායකයෙක් මන්ත‍්‍රිවරුන් දිස්ත්‍රික්කයෙන් පත්වෙලා ආවාට ඔවුන්ට අයිති යම් යම් කලාප තුළ ඔවුන් හැසිරුනේ අර වැඩවසම් සමාජයන්හි හැසිරෙන පළාත්බද ප‍්‍රාන්ත යුධ අධිපතියන් වගේ. මේ තත්ත්වය සමාජය පුරා පැතිර ගියාම මිනිසුන්ට දැඩි අසරණභාවයක් ඇතිවෙලා තිබුණා. ඒකට විරෝධය පෑම වශයෙන් තමයි සිංහල සමාජය මූලික වශයෙන්ම මං හිතන්නේ ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව සමාජ බලවේගයක් බවට පත්වුණේ.”

ව්‍යවස්ථාමය වෙනසක් මෙරට පොදු ජනතාව අපේක්‍ෂා කරනවා. ඒ සම්බන්ධයෙන් පවතින සමාජමය හේතු සාධක පිළිබඳව ඔබගේ විග‍්‍රහය කවරේද?

ව්‍යවස්ථාමය වෙනසක අවශ්‍යතාව අපි කතා කරමින් ඉඳලා තියෙනවා, ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති බවට පත්කළ 1978 ව්‍යවස්ථාව සම්මත් කරගත් අවස්ථාවේ ඉඳලා. ඒ වෙලාවේ ජේ. ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවේ 5/6 බලයක් සහිතව බලයට පත්වුණා, ලංකාවේ වාමාංශික පක්‍ෂ සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතාම සුළු මන්ත‍්‍රී පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ හිටපු තත්ත්වයක් තුළ ඔහු විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ව්‍යවස්ථාව සම්මත කරගත්තා. මේ ළඟදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියලා තිබුණා ඒ වෙලාවේදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය පාර්ලිමේන්තුවේ හිටියේ හත්දෙනෙක් පමණයි, ඔවුන් එකහෙළා විරුද්ධ වුණා කියලා මෙම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට. ඒ වගේම අපි දන්නවා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ලංකා සම සමාජ පක්‍ෂයේ එවකට නායකයා, ඔහු විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ අදහස ඉදිරිපත් කරනකොටම ඒ පිළිබඳ බරපතල විවේචනයක් සම්පාදනය කරලා, අනාගතයේදි ඒ සම්බන්ධයෙන් ඇති විය හැකි ඵලවිපාක ගැන විග‍්‍රහයක යෙදුණා.

මෙහි මූලික ලක්‍ෂණයන් වශයෙන් දේශපාලන විවේචකයන් හඳුනාගත් දේ තමයි එය තනි පුද්ගලයෙක් අත විශාල විධායක බලයක් ඒකරාශී කරන ක‍්‍රමයක් වීම. අපි තේරුම් ගන්න උත්සාහ කළහොත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති බවට පත්වෙලා ඒක ක්‍රියාත්මක කරපු ආකාරය මං හිතන්නේ ඔබගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සම්පාදනය කිරීමේ දිශාවට යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, ඔහු පාර්ලිමේන්තුව බලරහිත ආයතනයක් බවට පත්කළා. පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම් අත්සන් කරගෙන ඔහු ළඟ තබාගත්තා. ඒ වගේම විධායක බලතල, ඒ කියන්නේ අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම, ඇමතිවරුන් පත්කිරීම, කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන් ඉඳගෙන ඊට විධාන දීම යනාදිය තමන් අතට ගත්තා. ලංකාවේ ජනතාව භුක්ති විඳපු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබූ ධනාත්මක ලක්‍ෂණ සියල්ල මේ විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ව්‍යවස්ථාවෙන් අහෝසි කෙරුවා. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිබූ මූලික ලක්‍ෂණයක් තමයි ජනතාවට තමන්ගේ ඡන්ද කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයෙක් පත්කරගෙන ඔහුගේ නියෝජනය හරහා තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තිබුණු අවකාශය. ඒවා හුදෙක් ආර්ථික අවශ්‍යතාවයන් පමණක් නොවෙයි, රාජ්‍ය මට්ටමේ, ජාතික මට්ටමේ ප‍්‍රතිපත්ති සම්පාදනයේදී පවා ඔවුන්ට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට හැකියාවක් ලැබුණා මේ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදි ක‍්‍රමය හරහා. කොටින්ම කියනවානම් මහජන නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුවක් හා මහජනතාවත් අතර කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනැඟිච්ච ක‍්‍රමයක් තමයි තිබුණේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ. එතකොට, එහි බලතල අහෝසි කිරීම තුළ, රටේ සාමාන්‍ය ජනතාවට තමන්ගේ දේශපාලන නියෝජනයට සෘජු සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීමේ අවකාශය නැතුව ගියා. දැන් මේක සමාජය තුළ ප‍්‍රකාශ වන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක අවශ්‍යයි.

දෙවනුව, මේකත් එක්ක බැඳුනු වෙනසක් තමයි, පාර්ලිමේන්තු ඡන්ද ක‍්‍රමයේ ඇති කරපු වෙනස. ඒ කියන්නේ දිස්ත්‍රික් මට්ටමේ නියෝජනයක් මඟින් සමානුපාතික ඡන්ද ක‍්‍රමයකට අනුව මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීම සහ ඔවුන් අතරෙන් මනාප ක‍්‍රමයක් යටතේ නියෝජිතයන් තෝරා ගැනීම. ඇත්තෙන්ම, විධායක ජනාධිපති ක‍්‍රමයෙන් මම කියපු ආකාරයට ජනයා හා තමන්ගේ නියෝජිතයන් අතර සම්බන්ධය සිඳිනවා වගේම, මේ අලූත් මැතිවරණ ක‍්‍රමය තුළ ඒ තත්ත්වය වඩාත් තහවුරු කෙරුණා. දැන් සාමාන්‍ය ජනයාට තමන්ගේ නියෝජිතයන් පත්කරගන්න සිද්ධ වුණේ දිස්ත‍්‍රික්ක මට්ටමින් යෝජනා කරන ලැයිස්තුවක සිටින නියෝජතයන් අතරින්. ඒ එක්කම ඒකට මනාප ක‍්‍රමයත් එකතු වුණා. මනාප ක‍්‍රමයේ සාධනීය ලක්‍ෂණ තිබෙනවා කියලා ඇතැම් අය තර්ක කරනවා. මොකද, ඒ තුළින් මහජනතාවට වඩා හොඳ නියෝජිතයන් පත්කරගන්න පුළුවන් කියන අදහස මත. නමුත් මෙය ක‍්‍රියාත්මක කිරීමෙන් අවුරුදු 37කට පමණ පස්සේ මේවනවිට ඇතිවෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වය බැලූවහම, මහජනයාගේ මනාපය දිනාගෙන පාර්ලිමේන්තුවට පත්වෙලා තියෙන නියෝජිතයන්ගේ ස්වරූපය දිහා බැලූවහම අපට පෙනෙනවා මනාප ක‍්‍රමය, කවුරුහරි කිව්වොත් එහෙම එහි සාධනීය අරමුණක් තිබුණා කියලා, එවැන්නක් සාක්‍ෂාත් කරගෙන නැහැ කියන කාරණාව. උදාහරණ වශයෙන් වත්මන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තියෙන මූලික චෝදනාවක් තමයි එය දූෂිතයන්, සමාජ විරෝධී කටයුතුවල යෙදෙන්නන්, වංචනිකයන්, රජයේ සම්පත් පෞද්ගලික පරිහරණයට යොදා ගන්නන්ගෙන් පිරුණු තැනක් කියලා.

ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය අභියෝග කළේ එතෙක් කල් නිදහසින් පසු සමයේ සිට අපි සර්වජන ඡන්ද ක‍්‍රමය මඟින් දිනාගෙන තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට. ලංකාවේ සර්වජන ඡන්දය පදනම්කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාර්ලිමේන්තු ක‍්‍රමය ලංකාවේ ජනතාව අතර මුල්බැසගෙන තිබුණා. උදාහරණයක් වශයෙන් කියනවානම් 1947 පැවැත්වූ මුල් ජාතික මට්ටමේ මැතිවරණයේදි උතුරෙන් හා දකුණෙන්, එක හා සමානව වාමාංශික මන්ත‍්‍රිවරුන් පාර්ලිමේන්තුවට එනවා. ඒකෙන් පෙන්නුම් කරන ගතිකය තමයි පාර්ලිමේන්තුව පිළිබඳ මේ රටේ දුක්විඳින පීඩිත, කම්කරු හා ගොවි ජනකොටස්වලට ඇතිවෙලා තිබුණු විශ්වාසය. ඔවුන්ට හැකියාවක් ලැබුණා තමන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කරල එවන්න. ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරම්භයේ තිබූ මූලික ලක්‍ෂණයක් ලෙස අපට කියන්න පුළුවන් වන්නේ එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යටතේ පීඩාවට පත්වෙලා හිටපු ජනකොටස්වලට තමන්ගේ නියෝජිතයන් තෝරාපත්කරගෙන, ඒ තුළින් තමන්ගේ හඬ රාජ්‍ය පාලනයට ගෙන එ්මට අවස්ථාවක් ලැබුණාය යන්න. මෙහි දෙවැනි අවස්ථාව වශයෙන් ප‍්‍රකාශයට පත්වන්නේ, මං හිතන්නේ, 1956 ඇස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් මහජන එක්සත් පෙරමුණ බලයට පත්වීම. එය පැහැදිලිවම සිංහල බහුතරයක් සිටින දකුණේ පමණක් නොවේ, දෙමළ බහුතරයක් සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල පවා බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය යටතේ පීඩාවට පත්වෙලා සිටි ජනකොටස්වලට එක්තරා ආකාරයක විමුක්තිදායක මාර්ගයක් විවෘත කරලා දීපු අවස්ථාවක් ලෙස සඳහන් කරන්න පුළුවන් එක අංශයකින්. නමුත් මේ යටතේම අපි දන්නවා, මේ ජයග‍්‍රහණයම පසුකාලයක බහුතරයේ සිංහල-ජාතිකවාදය, අධිපතිවාදය ලාංකීය සමාජයේ තහවුරු කිරීමට බලපාපු ආකාරය ගැන අපට සාකච්ඡා කරන්න වෙනවා. නමුත් ස්වභාෂාවෙන් අධ්‍යාපනය දීම කියන කාරණාව සාකච්ඡා කරන විද්වතුන් පෙන්වා දෙනවා මේකෙන් සිංහල හා දෙමළ යන ජනකොටස් දෙකේම පීඩිත ජනකොටස්වලට සාධාරණයක් ඉෂ්ට වුණා කියන කාරණාව. ස්වභාෂාවෙන් ඉගෙනගෙන සමාජයේ ඉහළ තැනකට යාමට අවස්ථාව ලැබුණේ සිංහලයන්ට පමණක් නොවෙයි, පහළ පන්තිවල දෙමළ ජනකොටස්වලටත් ඒ අවස්ථාව ලැබුණා.

මහාචාර්ය සිවතම්බි මේ ගැන මේ ගැන සඳහන් කරලා තිබෙනවා ඔහුගේ “ Some Aspects of the Social Composition of the Tamils of Sri Lanka” ලිපියේ. බණ්ඩාරනායකගේ ජයග‍්‍රහණය බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය යටතේ පීඩාවට පත්වෙලා සිටි ජනකොටස්වලට තමන්ගේ පාර්ලිමේන්තු නියෝජනයක් සඳහා අවස්ථාව ලබාදෙනවා. ඒකෙම අනිත් පැත්ත තමයි එම බලවේගයම වැඩිකාලයක් යන්න ඉස්සරවෙලා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු කරන සිංහල ජාතිකවාදි බලවේගයක් බවටත් හරවා ගැනීමේ තත්ත්වයක් උදාවීම. එතකොට අපිට කියන්න පුළුවන් පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ එක පැත්තකින් ප‍්‍රතිසංස්කරණවාදී සාධනීය අංශ වගේම අනිත් පැත්තෙන් බහුතරයේ මතය අධිපතිවාදී තත්ත්වයකට ගෙන එන නිෂේධනාත්මක අංගයකුත් එකට ගැබ්වෙලා තිබුණා. පාර්ලිමේන්තුවේ බහුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාලනය වන ඕනෑම සමාජයක මේ ගැටළුව අපට දකින්න පුළුවන්. ඒක ජයගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග විවිධ රටවල් විසින් අරගෙන තියෙනවා. එය වෙනම සාකච්ඡා කළ යුතුයි. කෙසේ නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳව එල්ලවන විවේචනය, මම යෝජනා කරන්නේ පදනම් වෙන්නේ එය මේ සියලූ අඩුපාඩුකම් සහිතව ලංකාවේ ජනතාව එතෙක් බුක්ති විඳපු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ තිබූ සාධනීය ලක්‍ෂණ මහජනතාවගෙන් පැහැරගැනීම එසේත් නැතිනම් මහජනතාවගෙන් ඒවා ඩැහැගැනීමට එය කටයුතු කළා කියන කරුණ මතයි.

අපට දකින්නට පුළුවන්, ලංකාවේ ජනතාව, දේශපාලනයෙහිලා ඉතාම සක‍්‍රීයව සහභාගි වීමට වැඩි කැමැත්තක් දක්වන බව. අපේ ජනතාව මැතිවරණවලදි සක‍්‍රීයව උනන්දුවකින් ඒවාට දායකවනවා. මෙය පුරවැසිභාවය සම්බන්ධයෙන් අපි අපේක්‍ෂා කරන විදිහේ පරම තත්ත්වයක් නොවුණත් සක‍්‍රීය පුරවැසිභාවය භුක්ති විඳිමේ සතුට ලාංකීය ජනතාව පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ලබලා තියෙනවා. අපි දන්නවා විධායක ජනාධිපති ක‍්‍රමය තුළ ඒ තත්ත්වය පිරිහෙනවා. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලංකාවේ කරලා තිබෙන විග‍්‍රහවල අපට දකින්න පුළුවන් දෙයක් තමයි ඡන්දදායකයා හා දේශපාලනඥයන් අතර ගොඩනැඟෙන කිසියම් ආකාරයක සේවාදායක-සේවාලාභී සම්බන්ධතාවය පිළිබඳ අදහස. උදාහරණයක් ලෙස, යම් යම් කුල කණ්ඩායම්වලට, යම් යම් සමාජ පන්තිවලට අයත්වන ඡන්ද දායකයන් හැසිරවීමට දේශපාලනඥයන් ඔවුන්ගේ පළාත්බද මට්ටමේ ඉන්න නියෝජිතයන් ලවා කටයුතු කරන ආකාරය, ඡන්ද දායකයන්ට විවිධාකාරයෙන් බලපෑම් කරමින් ඔවුන්ගේ ඡන්ද තමන්ට දිනා ගැනීමට හෝ මිලදී ගැනීමට පවා ගන්නා උත්සාහය අපේ පාර්ලිමේන්තු ක‍්‍රමය ආරම්භයේ ඉඳලාම දකින්න පුළුවන්. නමුත් එසේ තිබෙද්දීත් අපට විශ්වාසයක් තිබිලා තියෙනවා අවසාන විග‍්‍රහයේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළින් මහජනතාවගේ කැමැත්ත ප‍්‍රකාශ වන තත්ත්වයක් මෙරට තිබුණා කියලා. විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දීමත් සමඟ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ තියෙන්න පුළුවන් මේ වගේ අනුග‍්‍රාහක-සේවාලාභී සම්බන්ධතා, එනම් ඡන්ද දායකයා තමන්ට අවශ්‍ය කරන ආකාරයට හසුරුවන්න දේශපාලනඥයන්ට ඔවුන්ගේ නියෝජිතයන් වන විවිධ අතරමැදි කොටස්වලට තියෙන අවස්ථාව වඩා උග‍්‍ර කරන තත්ත්වයක් ඇති වුණා.

උදාහරණයක් වශයෙන් දිස්ත‍්‍රික් මට්ටමක මැතිවරණයක් පැවැත්වෙන විට දිස්ත්‍රික්කයේ සිටින ඡන්ද දායකයින් විශාල සංඛ්‍යාව අරගෙන බැලූවහොත් ඔවුන්ව දිනාගැනීම සඳහා දේශපාලනඥයන්ට කරන්න තියෙන වැඩ කොටස වඩා වාණිජ පාර්ශවයට නැඹුරු වෙනවා විධායක ජනාධිපති ක‍්‍රමය තුළ. එබඳු නිෂේධාත්මක ලක්‍ෂණ ශක්තිමත් වීම තුළ අර ඉස්සෙල්ලා කියන ලද අනුග‍්‍රාහක-සේවාලාභී සම්බන්ධයන් තවදුරටත් දැඩි කෙරෙනවා. වෙනත් විදිහකින් කියනවානම්, අපි භුක්ති විඳපු ඡන්ද දායකයාට සක‍්‍රීය විය හැකි පුරවැසිභාවයේ දිශාවට සමීපවන ආකාරයේ මැතිවරණ ක‍්‍රමය පුරවැසියා තවදුරටත් හුදු ඡන්ද දායකයෙක් බවට පත්වන දිශාවට තල්ලූකරන ක‍්‍රමයක් බවට පරිවර්තනය වෙනවා. ඒක තුළ පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය තුළ දකින්නට ලැබුණු වඩා නිෂේධාත්මක කරුණු තහවුරු වෙනවා. ලංකාවේ සමාජයේ ජනතාව තුළ දැඩි නැඹුරුවක් තිබුණා පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ තමන්ගේ නියෝජිතයන් පත්කර ගැනීම ඉතා සතුටින් භුක්ති විඳින දේශපාලන කටයුත්තක් බව පිළිගැනීමට. මං හිතන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය තුළ මේ තත්ත්වය දේශපාලනඥයන් හා ඔවුන්ට සම්පත් සපයන ආයෝජකයන් නැතිනම් ධනපතියන්, ඔවුන් හා ජනතාව අතර සිටින අතරමැදියන්ගේ අතට බර කරමින් ඡන්ද දායකයා හුදෙක් ඡන්දය දෙන්නෙකු පමණක් බවට ලඝු කරන පැත්තකට වර්ධනය වුණා.

ඔබ කියා සිටියා බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේදි සුළු ජාතින් පවා මහත් පීඩනයකට ලක් වුණු බව. නමුත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරනු පිණිස ඔවුන් වෙනුවෙන් නියෝජිතයන් ඩොනමෝර් වැනි ආණ්ඩුක‍්‍රමය තුළ පවා දකින්නට ලැබුණා. ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව ජාතීන් වශයෙන් දේශපාලනය තුළ වර්ගීකරණයට ලක්වීම පළමු වතාවට ඔවුන් අතින් සිදුවුණා. ඒ අනුව සුළු ජාතීන් පවා පීඩාවකට ලක්වූ බව ඔබතුමා සනාථ කරන්නේ කෙසේද?

එලෙස සුළු ජාතීන් පීඩාවට පත්වුණා යැයි මම කී විට එකතු කළ යුතු කාරණය තමයි, හැම ජන කොටසකම පීඩාවට පත්වෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම සිදුවෙන සමාජ විපර්යාසයන් තුළ පන්ති වෙනස්කම් ඇතිවෙනකොට තමන්ට සමාජ බලය අත්පත්කරගන්න හදන ප‍්‍රභූ කොටසකුත් මේ හැම ජන කොටසකම බිහිවෙනවා. සමාජ විපර්යාසයක් සිදුවන අවස්ථාවක නව සමාජ පන්තීන් බිහිවෙනවා. ඒ නව සමාජ පන්තීන් අතර තරඟයක් ඇතිවෙනවා තමන් නියෝජනය කරන සමාජ කොටස් තුළ ආධිපත්‍යභාවය ලබාගැනීම සඳහා. අපි දකින්නේ යටත්විජිතවාදී සමය තුළ අලූත් මැද පන්ති නැතිනම් සුළු ධනේෂ්වර පන්ති ස්ථරයන් බිහිවෙනවා. ඒක සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යනාදි සියලූ ජනකොටස්වල සිදුවෙනවා. ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ලොක්කන් සොක්කන් වූ වගයි කෘතියේ මේ පිළිබඳව තොරතුරු අපට ඉදිරිපත් කරනවා. මහාචාර්ය කෛලාසපති සහ මහාචාර්ය නුහුමාන් මේ ගැන සඳහන් කරනවා ඔවුන්ගේ ලිපි ලේඛනවල.

මම සුළු ජනකොටස් පීඩනයට පත්වුනා කියන එකෙන් අදහස් කළේ ඒ ප‍්‍රභූන් ගැන නොවේ. අපි දකිනවා යටත්විජිතවාදී පාලන සමය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලූ ජනකොටස්වල ප‍්‍රභූන් යටත්විජිතවාදයත් සමඟ එක්ව කටයුතු කරනවා. ඔවුන් තම ජනකොටස් නියෝජනය කරන්න ඉදිරිපත්වෙන්නේ එම ජනවර්ගවල ඉන්න පීඩිතයන් මෙන්ම සෙසු කොටස්වල නායකත්වය දිනාගෙන ඔවුන් නියෝජනය කරන්නේ යැයි යන තර්කය තුළින් දේශපාලනයේ, පාර්ලිමේන්තුවේ, බලය හිමිකර ගැනීමටයි. ඔබගේ ප‍්‍රශ්නය හරි. මම ඊට එකඟයි. පීඩිත ජනකොටස් හිටියා මේ ජනවාර්ගික ජනකොටස්වල. හැබැයි මේ ජනවාර්ගික කොටස් නියෝජනය කරපු ප‍්‍රභූන් පීඩිත ජනකොටසට අයිති වෙන්නේ නැහැ.

පසුගිය ජනාධිපතිවරණයේදි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව ජනමතයක් රට තුළ ගොඩනැඟුනා. එවැනි තත්ත්වයකට ජනතාව පෙළඹවීම පිළිබඳව බලපෑ සාධක තවදුරටත් විග‍්‍රහ කළහොත් ඔබතුමාට පැවසිය හැක්කේ කුමක්ද?

ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක‍්‍රමය පාවිච්චි කරන්න උත්සාහ කළේ යම්කිසි නිශ්චිත අරමුණු වෙනුවෙන්. මොකද, ඔහුට තිබුණා කිසියම් ආකාරයක සිහිනයක් සිංගප්පූරු ආකෘතියට අනුව ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට. ආරම්භයේදීම විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමෙන් ඔහු අපේක්‍ෂා කළේ ඔහු බලාපොරොත්තු වූ ධනේෂ්වර ආර්ථික සංවර්ධනය සඳහා තිබෙන බාධා ඉවත් කරගැනීමට. ආර්ථික සංවර්ධනය පිළිබඳව නව ලිබරල් කථිකාවේ එන යෝජනාවක් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය බාධාවක් කියන එක සැබෑ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගන්න. ඔහු විධායක ජනාධිපති බලය පාවිච්චි කරනවා තමන් ලංකාවේ යහපත වෙනුවෙන් කරනවා කී ධනේෂ්වර ආර්ථික වැඩපිළිවෙලට එන බාධා නැති කිරීමට. උදාහරණයක් වශයෙන් කම්කරු පන්තිය මර්ධනය කිරීම සඳහන් කළ හැකියි. 1980 ජූලි වර්ජනය ගැන අපි දන්නවා. ඔහු වෘත්තීය සමිති ව්‍යාපාරයට තදින් පහර දෙනවා, ශිෂ්‍ය ව්‍යාපාරයට පහර දෙනවා, මෙලෙස ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්ධනයට තමයි ඔහු විධායක බලය මූලික වශයෙන් පාවිච්චි කළේ තමන්ගේ අපේක්‍ෂිත සංවර්ධන කටයුත්ත සඳහා. අපි දකිනවා මේ සංවර්ධන ව්‍යාපෘතිය යන අතරතුරේ ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නය ප‍්‍රචණ්ඩකාරීත්වයකින් යුතුව කරළියට පිවිසෙනවා. දෙමළ ජනවර්ගයේ දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය පළමුව සටන්කාමී කණ්ඩායම්වලට මාරුවීම සහ දෙවනුව මෙම සටන්කාමී සංවිධානවල තනි නායකත්වය LTTEයට මාරුවීම හරහා ලංකාවේ ජනවාර්ගික ගැටුම සිංහල අධිපතිභාවය දරපු රාජ්‍යය සහ LTTEය මුල්කරගත් සටන්කාමී කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩ ගැටුමක් බවට හැරෙනවා. LTTEය පැහැදිලිවම ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසින් වර්ධනය වෙනවා. රජය සහ එම කණ්ඩායම් අතර ගැටුම යුද්ධමය වශයෙන් උච්ඡු අවස්ථාවකට පත්වෙනවා. ජනාධිපති ජයවර්ධන විධායක බලය තහවුරු කරගැනීමේ වැදගත්කම අවධාරණය කරන්න පටන් ගන්නවා LTTEය මුල්කරගත් ත‍්‍රස්තවාදී ව්‍යාපාරය මර්ධනය කිරීම සඳහා. මෙම තනතුරේ සැබෑ මල්ඵල නෙලාගන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතියි. ඔහු ජනාධිපති බලය පාවිච්චි කරලා යුද්ධය අවසන් වෙන පරිදි LTTEය සහමුලින්ම විනාශ කළා කියන පදනමින් විධායක බලය ඉතාමත් අත්තනෝමතික ලෙස ලංකාවේ ජනයා පෙළීමට පාවිච්චි කරනවා. විශේෂයෙන්ම 2009න් පස්සේ. ඊට පෙරත් සිදුවෙච්ච ආකාරයට ඔහු දෙමළ ජනයාගේ නිදහස තදින් පෙළන්නට පාවිච්චි කරනවා එම විධායක බලය. ඒ වගේම දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරපු සිංහල හෝ වෙනත් ජනකොටස්වල ජනයා තදින් පෙළන්නට පාවිච්චි කරනවා. අපි දන්නවා ලංකාවේ ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් මර්ධනය 2005 මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙච්ච සමයේ සිට යුද්ධයේ නාමයෙන් විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වුණා. සුදු වෑන් භාවිතයට ඒම ඊට හොඳ උදාහරණයක්. විරුද්ධ මතධාරීන් අතුරුදහන් කිරීම, ජනමාධ්‍ය මර්ධනය, දෙමළ ජනයාට විශාල වශයෙන් ඇතිවන තාඩන පීඩන, ත‍්‍රස්තවාදීන්ට පමණක් නොවෙයි සාමාන්‍ය අහිංසක නිරායුධ දෙමළ කොටස්වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් අහිමි කරමින් කරන මර්ධනය අපිට දකින්න පුළුවන් 2005 සිට. ඒක උග‍්‍ර වෙනවා 2009 සිට, ඒ වගේම ඒක පැතිර යනවා සමස්ත සමාජයට.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමඟින් බලයට එන්නේ ලංකාවේ කුමන ආකාරයේ සමාජ පන්තියක්ද? අපි දන්නවා ලංකවේ ජනවාර්ගික ප‍්‍රශ්නය ගැන විග‍්‍රහ කරනකොට ආචාර්ය නිව්ටන් ගුණසිංහගේ විග‍්‍රහයක් තමයි සිංහල ජාතිකවාදය සම්පාදනය කරන මානසිකත්වය එන්නේ ගැමි මූලාශ‍්‍රවලින් කියන කාරණය. ඔහු දකින්නේ ජාතිකවාදී සමාජ ස්ථරය ජාතිකවාදි මතවාදයන් සමාජයට නිෂ්පාදනය කරන එය රැගෙන යන, ඒ වෙනුවෙන් පෙනී සිටින සමාජ ස්ථරය මතුවෙන්නේ ලංකාවේ ග‍්‍රාමීය සමාජය තුළින් බවයි. අපි කතා කළොත් 1956 බණ්ඩාරනායක ජයග‍්‍රහණය ගැන, එය සිංහල ජාතිකවාදී ජයග‍්‍රහණයක්. ඔහු නියෝජනය කළ සඟ, වෙද, ගුරු, ගොවි කියන සමාජ ස්ථර හතරම එන්නේ ග‍්‍රාමීය සම්භවයකින්. එකල ලංකාවේ කම්කරුවනුත් මූලිකවම එන්නේ ග‍්‍රාමීය සම්භවයකින්. එතකොට ලංකාවේ ගැමි සම්භවය තියෙන සමාජ ව්‍යාපාරයක් තමයි බණ්ඩාරනායකගේ ජයග‍්‍රහණයට පදනම.

දැන් ප‍්‍රශ්නය තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණීමත් සමඟම බලයට පැමිණෙන සමාජ පන්තිය කුමක්ද? බැලූබැල්මට පෙනෙන්නේ මහින්ද රාජපක්‍ෂ සමඟ බලයට පැමිණියේත් සාමාන්‍ය ජනයා ලෙසට. මහින්ද රාජපක්‍ෂ කියන්නේ කිසිසේත්ම ලංකාවේ සාම්ප‍්‍රදායික ප‍්‍රභූ පැලැන්තියට අයිති කෙනෙක් නොවෙයි. බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, සේනානායකලා වැනි අය අයිති ප‍්‍රභූ සම්ප‍්‍රදායකින් නොවෙයි ඔහු එන්නේ. එබඳු නොවන සම්ප‍්‍රදායකින් එන කෙනෙකු විශේෂයෙන් සාමාන්‍ය මහජනයා අතරින් ප‍්‍රසාදයක් දිනාගත් කෙනෙක් කුමන සමාජ පන්තියක්ද නියෝජනය කරන්නේ? බැලූ බැල්මට පෙනෙන්නේ ඔහු නියෝජනය කරන්නේ ග‍්‍රාමීය සුළු ධනේෂ්වරය කියලයි. විශේෂයෙන්ම ඔහු පෙනී සිටි උග‍්‍ර සිංහල බෞද්ධ ජාතිවාදය සමඟ එය ගැලපෙනවා. නමුත් මං හිතන්නේ ඔහු නියෝජනය කරන්නේ, ඔහුත් සමඟ බලයට එන්නේ අර ’56 පරපුර කිව්වොත්, එහි මුල් අර්ථයෙන් ගත්තොත් එය වැරදියි. උදාහරණයක් වශයෙන් මේ අර නිව්ටන් ගුණසිංහ කතා කරපු ග‍්‍රාමීය සුළු ධනේෂ්වරයෙන් එන පිරිසක් නොවෙයි.

මේ පිරිස මම යෝජනා කරන්නේ 1977 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ යූඇන්පිය විසින් දියත් කරන ලද විවෘත ආර්ථිකය නැමැති නිර්බාධි ආර්ථික වැඩපිළිවෙල යටතේ අර්ධ නාගරිකව සහ නාගරික වශයෙන් විශේෂයෙන් අර්ධ නාගරික පළාත්වලින් නිෂ්පාදනය වන නන්නත්තාර නැතහොත් පාදඩ ධනේෂ්වර පන්තියක් යනුවෙන් හැඳින්විය හැකි පිරිසක්. මේ අය අපේ සමාජය අධිපතිභාවයට ගන්නවා මහින්ද රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය තුළ. ඔවුන් ශක්තිමත් වෙනවා යුධ ව්‍යාපාරයට විවිධ ආකාරයෙන් ඒ තුළ ආයෝජනයන් කිරීමෙන්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව මිනිසුන් අතර ඉතාම ජනප‍්‍රිය සටන් පාඨයක් බවට පත්වන්නේ විධායක ජනාධිපති බවට මහින්ද රාජපක්‍ෂ මහතා පත්වීම තුළ ලංකාවේ සමාජයේ අධිපතිභාවයට පත්වුන මේ නව ලූම්පන් නැතිනම් නන්නත්තාර මැද පාන්තික කොටස් ලංකාවේ සමාජය දේශපාලන බලය පාවිච්චි කරලා තමන්ගේ ග‍්‍රහණයට ගැනීම නිසයි.

මේක තුළ සිදුවන ප‍්‍රධානතම කරුණක් තමයි ලංකා සමාජයේ නීතියේ ආධිපත්‍යය පිරිහීම. සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිසුන්ට දැනෙන්න පටන් ගන්නවා ඔවුන්ට නීතියේ පිළිසරණක් ලබාගැනීමට හැකියාවක් නැති බව. ඒකට හේතුව තමයි මේ පිරිස් ජාතික මට්ටමේ සිට පළාත්බද මට්ටම, ප‍්‍රාදේශීය මට්ටම, දක්වා නීතිය තමන්ගේ අතට ගැනීම. ඒ තුළ මිනිසුන්ට යුක්තිය ඉෂ්ඨ කරගැනීමට නීතියේ පිහිටක් නැතිවෙනවා, කිසිම අවස්ථාවක් නැතුව යනවා. ඒ මොකද දේශපාලන තන්ත‍්‍රය හරහාමයි මේ බලය තහවුරු වෙන්නේ. මේ තත්ත්වය තුළ තමන්ට නීතියේ පිහිට නැතිවීම, සමාජයේ සාධාරණයක් ඉෂ්ඨ කරගැනීමට දේශපාලනඥයන් දිශාවට හැරෙන්ටත් බැහැ, නීතියට හැරෙන්ටත් බැහැ කියන තත්ත්වයක් තුළ මිනිස්සු ඉතාම අසරණභාවයට පත්වෙනවා. මේක හරියට ප‍්‍රාදේශීය යුධ අධිපතින්ගේ පාලනයක් වගෙයි. දේශපාලන බලය, රාජ්‍ය බලය තමන් අත ඒකරාශී කරගත් ප‍්‍රාදේශීය නායකයෙක් මන්ත‍්‍රිවරුන් දිස්ත්‍රික්කයෙන් පත්වෙලා ආවාට ඔවුන්ට අයිති යම් යම් කලාප තුළ ඔවුන් හැසිරුනේ අර වැඩවසම් සමාජයන්හි හැසිරෙන පළාත්බද ප‍්‍රාන්ත යුධ අධිපතියන් වගේ. මේ තත්ත්වය සමාජය පුරා පැතිර ගියාම මිනිසුන්ට දැඩි අසරණභාවයක් ඇතිවෙලා තිබුණා. ඒකට විරෝධය පෑම වශයෙන් තමයි සිංහල සමාජය මූලික වශයෙන්ම මං හිතන්නේ ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව සමාජ බලවේගයක් බවට පත්වුණේ. දෙමළ සමාජය සම්බන්ධයෙන් අපි දන්නවා ඉහත කාරණයත් ඒ ආකාරයෙන්ම පැවතීමත් සමඟ ඊට අමතරව ජනවාර්ගික ප‍්‍රශ්නය සමඟත් බැඳුනු බව.

ජනතාව අපේක්‍ෂා කරන ලද පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට හැකිවන බවක් පෙනෙන්න නැහැ. මේ සම්බන්ධයෙන් මතුවන දේශපාලන හා සමාජීය සාධක ඔබ විග‍්‍රහ කරන්නේ කෙසේද?

දැන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වුණායින් පසු සිදුවන බලවත් සේ අසාමාන්‍ය වූ සිදුවීමක් තමයි ඒ වන විට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ හිටපු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වීම. එහිදී සඳහන් කෙරුණා මෙවැනි දෙයක් ලෝකයේ මීට පෙර කවදාවත් සිදුවෙලා නැහැ කියලා. පාර්ලිමේන්තුවේ සුළුතරයේ නායකයෙකු මේ ආකාරයෙන් අගමැති වීම. මේක කෙරුණේ කිසියම් සැලැස්මකට අනුව. ශ‍්‍රීලනිපයේ නායකයා බවට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වුණා. ඒ සඳහා අවශ්‍ය කොන්දේසියක් ශ‍්‍රීලනිපයේ ව්‍යවස්ථාව තුළ සඳහන්වෙලා තියෙනවා. පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ජනාධිපති වුණොත් ඔහුට පක්‍ෂ නායකත්වය හිමිවෙනවා කියා. ඒ අනුව ඔහුට නායකත්වය හිමිවෙන පක්‍ෂය අනිවාර්යයෙන්ම ඔහු අපේක්‍ෂා කරන ආකාරයට ආණ්ඩුවක් පිහිටුවීමට එකතුවෙයි කියන උපකල්පනය මතයි අගමැති පත්කිරීම කෙරුණේ. නමුත් ශ‍්‍රීලනිපයේ සභාපති වන මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට නායකත්වය දෙනවා වෙනුවට අද ඔහුට සිදුවෙලා තියෙන බව පෙනෙනවා එක්තරා දුරකට එම පක්‍ෂය කියන ආකාරයට හැසිරෙන්න. 19වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වයන් මීට උදාහරණයන්.

ඊට ප‍්‍රධාන හේතුව තමයි මම ඉස්සෙල්ලා කියාපු මහින්ද රාජපක්‍ෂ විසින් බලයට ගෙනල්ලා පෝෂණය කරපු නන්නත්තාර ධනේෂ්වර පන්තියේ අය ශ‍්‍රීලනිපයේ බලය දැරීම. මේ අය පසුගිය කාලය තුළ විශාල ධනයක් ඒකරාශී කරගෙන තියෙනවා අපිට හිතන්නවත් බැරි ආකාරයෙන්. ඔවුන් ගනුදෙනු කරපු මුදල් ප‍්‍රමාණ අති විශාලයි. ලංකාවේ ආර්ථිකය අරගෙන බැලූවොත්, අපේ අයවැය ප‍්‍රමාණය අරගෙන බැලූවොත්, සංවර්ධන ව්‍යාපෘති මුල්කරගෙන හුවමාරු වුණු බිලියන ගණන් මුදල් ප‍්‍රමාණ අරගෙන බැලූවොත්, ඔවුන් අත විශාල මුදලක් ඒකරාශීවෙලා තිබෙන බවට අපට අනුමාන වශයෙන් කියන්න පුළුවන්. මේක නව සමාජ පන්තියක්. මේ නව සමාජ පන්තිය මහජනතාවගේ කැමැත්තටම හිස නමලා බලයෙන් නික්ම යන්න කිසිසේත්ම සූදානම් වන්නේ නැහැ. මෙම නව සමාජ පන්තියට එරෙහිව යන්න ඔවුන් පරාජය කරන්න අවශ්‍ය කරන ජනතා බලය මත රඳා පවතිනවා වෙනුවට වත්මන් රජය හිතුවා පාර්ලිමේන්තු බලය එහා මෙහා කිරීම තුළ ඒක කරන්න පුළුවන් කියා. ඇත්ත වශයෙන්ම අද වෙනකොට අපට කියන්න පුළුවන් මෙලෙස මේ ප‍්‍රාග්ධනය එක්රැස් කරගත් පිරිස්, ඒ අය අද ලංකාවේ විශාල බලවේගයක්. ඔවුන් කිසිසේත්ම සූදානම් වන්නේ නැහැ තමන් ධනය එක්රැස් කරගැනීමට මුල්වෙච්ච ක්‍රියාමාර්ග, මහජනතාවගෙන් මිලියන 6.3කට ආසන්න ප‍්‍රමාණයක් තීන්දු කරපු නිසා තමන් අත්හැරීය යුතුයි කියන තත්ත්වයට පත්වන්නට. ජනාධිපතිවරණයේදී අපිට මුලින් විශ්වාසයක් තිබුණා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණත් ඔහු බලය අත්නොහරිනු ඇති බවට. නමුත් මේ රටේ ජනතාවගේ තිබුණු බලවත් අධිෂ්ඨානය සහ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකුගේ අපක්‍ෂපාතීත්වය නිසා ඒ උත්සාහය පරාජය කරන්න පුළුවන් වුනා ලංකාවේ ජනතාවට. අපිට නොතිබුණු සූදානම තමයි අළුතෙන් ආපු මේ පාදඩ ධනේෂ්වර පන්තිය පරාජය කිරීමට අවශ්‍ය කරන උපාය මාර්ග සම්පාදනය කරගැනීමට කටයුතු කිරීම. දැන් ප‍්‍රශ්නය තියෙන්නේ ඔවුන් තමයි මේ 19වන ව්‍යවස්ථා සංශෝධන උත්සාහය පරාජය කිරීමට මුල්තැන ගන්නේ. එතකොට මේක හුදෙක් මහින්ද රාජපක්‍ෂ පිළිබඳ ප‍්‍රශ්නයක් හෝ ඔහු දිනවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ.

රටක ජනතා පරමාධිපත්‍යය සුවිශේෂී කාරණයක්. රටක පාලකයන්ගේ වගකීම වන්නේ එරටෙහි ජනතාව ඔසවා තැබීමයි. රාජ්‍යයක් ගොඩනැඟෙන්න ඕනේ පුරවැසියාගේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීම සඳහායි. මෙම 19වන ව්‍යවස්ථාව සම්මත කරගැනීමට එරෙහිව සිදුවන බාධාවලින් පෙනී යන දෙයක් තමයි ලංකා රාජ්‍යය ගොඩනැඟෙන්නේ දේශපාලන පක්‍ෂවල උවමනාවටයි කියලා. මෙයින් සිදුවන සමාජ හානිය සමාජ විද්‍යාත්මකව ඔබතුමා දකින්නේ කෙසේද?

පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක අනිවාර්ය ලක්‍ෂණයක් වෙනවා පක්‍ෂ දේශපාලන ක‍්‍රමය. ඒක අපිට මඟහරින්න ක‍්‍රමයක් නැහැ. ඒක තමයි මං හිතන්නේ ඒකේ සීමාවන් සලකුණු කරන තැන. ජනතා පරමාධිපත්‍යය කියලා කිව්වාම අපි අපේක්‍ෂා කරන්නේ ජනතාවට තමයි රාජ්‍යයේ ආධිපත්‍ය බලය සැබෑ ලෙසම හිමිවිය යුත්තේ. නමුත් පවතින තත්ත්වයන් තුළ ඔවුන් සියලූදෙනාටම එකවර තමන් නියෝජනය කළ නොහැකි නිසා, ඔවුන් වෙනුවෙන් නියෝජිතයන් පත්කර ගන්නවා. ඒක තමයි ක‍්‍රමය. ප‍්‍රශ්නය තියෙන්නේ මේ ක‍්‍රමය යුක්ති යුක්ත කෙරෙන්නේ ඔය තර්කය උඩ. හැබැයි ඒක තුළ නියෝජිතයන් පත්කරගැනීම සිදුවන්නේ දේශපාලන පක්‍ෂ හරහා. මෙහි ඇතිවන සීමාව තමයි දේශපාලන පක්‍ෂ ජනතාවගෙන් ස්වාධීනවූ ආයතන ස්වරූපයක් ගැනීම. දේශපාලන නියෝජිතයන් අවුරුදු කීපයකට සැරයක් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙනවා. බලයට පත්වුණායින් පසුව ඔවුන් නැවත කැඳවීමේ අවස්ථාවක් ජනතාවට නැහැ. ඔවුන්ට සිද්ධවෙන්නේ ඊළඟ මැතිවරණය වෙනකම් දේශපාලනඥයන් කරන කියන දේවල් ඉවසා දරාගෙන සිටීමටයි. මේ නිසා තමයි නියෝජන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්තවාදී ක‍්‍රමය සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් කියලා පිළිගන්නේ නැත්තේ. ඒ වෙනුවට තිබිය යුත්තේ හැබෑ ලෙසටම නම් දේශපාලන බලය පහළ මට්ටමට පුරවැසියාගේ මට්ටමට ගෙන යන සන්ධීයකරණය කළ රාජ්‍ය ක‍්‍රමයක්. දේශපාලන බලය, රාජ්‍ය බලය පුරවැසියා සිටින තැනට ගෙනයන ක‍්‍රමයක්. එබඳු පරමාදර්ශී පුරවැසි ක‍්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවගේ දේශපාලන විඥානය ඉහළ මට්ටමකට නැඟෙන්න ඕනේ.

රටට අවශ්‍ය කරන පූර්ණ ආණ්ඩුක‍්‍රම වෙනසක් සඳහා පුරවැසියන් හැටියට ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව පෙළ ගැසීය යුතු ආකාරය පිළිබඳ ඔබගේ විග‍්‍රහය කවරේද?

ඔය ප‍්‍රශ්නයට සරල සූත‍්‍රගත පිළිතුරක් නැහැ. එබඳු දෙයක් හිතනවානම් කියන්න වෙන්නේ පුරවැසි ක්‍රියාකාරීත්වය එකම දේ කියලා. ඇත්ත වශයෙන්ම මේ කාරණයත් සඳහන් කරන්න ඕනේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරවීම තුළින් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණය කියන මූලික අංග තුන තහවුරු කිරීම සඳහා දැන් යම්කිසි අවකාශයක් විවෘතවෙලා තියෙනවා. මේ දවස්වල අපේ රටේ සිදුවන දේවල්ම ඊට කදිම උදාහරණ. මාධ්‍යය දැන් සම්පූර්ණයෙන්ම නිදහස්. අපට දැන් මාධ්‍යවල සැබෑ ස්වරූපය වටහාගන්න පුළුවන්. මේ පවතින නිදහස තුළ මාධ්‍යය හැසිරෙන ආකාරයෙන්. ඔවුන්ගේ ස්වාමින් නියෝජනය කරන්නේ කුමන මතවාදයක්ද, කුමන සමාජ කොටස්ද? ඊළඟට, දේශපාලනඥයනුත් සම්පූර්ණයෙන් බියෙන් නිදහස්. ඇතැම් පක්‍ෂවල දේශපාලනඥයන් තමන්ගේ නායකයන්ට විරුද්ධව ප‍්‍රසිද්ධියේ කරන අභියෝග හා විවේචන අපට දැන් දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ලංකාවේ සමාජය තුළ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රීකරණය කිරීමේ ක්‍රියාවලියක ආරම්භය අපට දකින්නට පුළුවන්. දැන් අපට තියෙන ගැටළුව වෙන්නේ මේක පවත්වා ගැනීම සඳහා මේ ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක. ඒක තමයි අපි මුහුණපාලා තියෙන අභියෝගය. ඒත් එක්කම කියන්න ඕනේ සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන ක‍්‍රමය තුළ ඡන්දය ඉල්ලන දේශපාලනඥයන් ඡන්ද දායකයා ළඟට එනවා. නමුත් ඡන්දය ගත්තායින් පසු ඔවුන් ගිහිල්ලා තමන්ගේ ආණ්ඩුකරණය කරගෙන යනවා තමන්ට අවශ්‍ය ආකාරයට. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවත් ඒ දේ කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව ඥානාන්විතව කළ යුතු දේ තමයි තමන් බලයට පත්කළ ජනතාවගේ අදහස්වලට ඇහුම්කන් දීම සඳහා යාන්ත‍්‍රණයක් සම්පාදනය කරගැනීම සහ තමන් ගන්නා තීන්දු ක්‍රියාමාර්ග පිළිබඳව තමන් බලයට පත්කළ ජනතාවට දැනුම් දීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම. රජය නිරතුරුවම ජනතාව ඇමතිය යුතුයි. මේ රජය අතිනුත් ඒ කටයුතු දෙකම ප‍්‍රශස්ත මට්ටමින් සිදුවන්නේ නැහැ. ජනතාව හඬක් නැඟුවාම තමයි කිසියම් උත්සාහයක් ගන්නේ. තවත් විදිහකින් කියනවානම් මේ ආණ්ඩුව දේශපාලනයට අවතීර්ණ විය යුතුයි, මැතිවරණ සමයේ දේශපාලනයට අවතීර්ණ වුණා වගේ. ඒ වගේම රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සමාජ සාධාරණත්වය වෙනුවෙන් උනන්දුවක් දක්වන ජනතාව දේශපාලනයට කැඳවිය යුතුයි. ඒ වගේම ජනතාවගේ පැත්තෙන් රජය කැඳෙව්වත් නොකැඳෙව්වත් ජනතාව දේශපාලනයට ප‍්‍රවිෂ්ඨ විය යුතුයි. පුරවැසියා සක‍්‍රීය විදිහට බැහැලා දේශපාලනය කරන්නේ නැතිනම් මේ දිනාගත්ත ජයග‍්‍රහණ අපට පවත්වා ගන්න බැරිවෙයි.

ව්‍යවස්ථාමය වෙනසක් සඳහා ක්‍රියාකිරීමේදී ඓතිහාසික සාධක සැලකිල්ලට ගැනීම තුළ දේශපාලන පක්‍ෂ ජනමතයට විරුද්ධව කටයුතු කර ඇති බව පෙනී යනවා. ව්‍යවස්ථාමය වෙනසක් ඇති කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂවල භූමිකාව පිළිබඳව ඔබගේ විග‍්‍රහය කවරේද?

මෙහිදී අප කතා කරමින් සිටින්නේ 19වන ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. එය උපත ලබන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනතා ඉල්ලීම පදනම් කරගෙනයි. මෙය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඔහු ජනතාවට දුන් මූලික පොරොන්දුවයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධ මතය මූලිකවම එන්නේ එය නොමැතිව ලංකාවේ ඒකීය භාවය රැකගැනීමට නොහැකි වනු ඇත කියන උපකල්පනය මතයි. LTTEයේ ත‍්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාරය පදනම්කොටගෙන ඇතිවන මෙම උපකල්පනය පශ්චාත් යුධ සමයේ ජනවර්ග අතර සංහිඳියාව ගොඩනැංවීමට කැපවූ මෛත්‍රිපාල රජය බිහිවීමෙන් පසු වලංගු නොවන බවයි මගේ හැඟීම. ඉතින් මෙම කාරණයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වන දේශපාලන පක්‍ෂ එසේ කරන්නේ සිංහල-බෞද්ධ ජාතිවාදයක පදනම මත බවයි මගේ හැඟීම. චම්පික රණවක නායකත්වය දරණ ජාතික හෙළ උරුමයත්, මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එබඳු පදනමකින් තමයි 19වන ව්‍යවස්ථා සංශෝධනයට මූලිකවම විරුද්ධ වන්නේ. මෙයට විරුද්ධ වන සම්ප‍්‍රදායික වාමාංශික නායකයන් එසේ කරන්නේ රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දරණ එජාපයට ඔවුන් තුළ ඇති උග‍්‍ර විරෝධය නිසයි. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ අතට විධායක බලතල මාරුවෙනවාට ඔවුන් විරුද්ධයි.

ආසන ක‍්‍රමය නැවත පණගැන්වීම ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. එම කාරණාව සාක්‍ෂාත් කරගැනීමෙහිලා සුළු පක්‍ෂවල දායකත්වයක් නොමැති බව පෙනී යන ලක්‍ෂණයක්. මේ තත්ත්වය පිළිබඳව ඔබතුමාගේ විග‍්‍රහය කවරේද?

ආසන ක‍්‍රමය නැවත ස්ථාපනය කිරීම වෙනුවෙන් අපට තියෙන තර්කයක් තමයි මෙය සැබෑ ලෙසම පාර්ලිමේන්තු ක‍්‍රමය යටතේ පුරවැසි ක්‍රියාකාරීත්වයක් තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිශාවකට යෑමට තිබෙන මඟ වීම. ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වන, ජනතාවට වගකියන, ඡන්ද කොට්ඨාශ මට්ටමේ ජනතාවට වගකියන මන්ත්‍රීවරුන් ඉන්න අවශ්‍යයි. මොකද එහෙම නැතිනම් මන්ත්‍රීවරු තවදුරටත් තමන්ගේ ඡන්ද දායකයාව, පුරවැසියාව නියෝජනය නොකරන තත්ත්වයකට පත්වෙනවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යහපත් තත්ත්වයක් නොවෙයි. සමහරු කියනවා මේක හුදෙක් ඡන්ද දායකයාගේ ආර්ථික ඵලප‍්‍රයෝජනය වෙනුවෙන් හැරෙන්න පුළුවන් කියලා. නමුත් දැනුත් තියෙන්නේ එහෙම තමයි. ඒකට අලූතෙන් හැරෙන්න දෙයක් නැහැ. දැනුත් දිස්ත්‍රික්ක මට්ටමින් ඉන්න මන්ත්‍රීවරුන් කරන්නේ ඡන්ද දායකයාට මොනවාහරි ආර්ථික, නැතිනම් රැකියා, වාසි ලබාදීලා ඡන්දය ගන්නවා. එතකොට ඡන්ද කොට්ඨාශ තිබුණා කියලා මේක උග‍්‍රවීමක් හෝ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ඡන්ද කොට්ඨාශ තිබෙනවානම් පුරවැසියාගේ දේශපාලන සවිඥානකත්වය දියුණු වෙනවානම් ඇමරිකාවේ ඡන්ද දායකයන් එහි සෙනෙට් සභිකයන්ට බලපෑම් කරනවා වගේ අපේ පුරවැසියන්ටත් පුළුවන් තමන්ගේ මන්ත‍්‍රීවරුන්ට බලපෑම් කරන්න ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන්.

මීට විරුද්ධව මතුවන තවත් තර්කයක් තමයි සුළු ජාතික පක්‍ෂවලට තියෙන නියෝජනයට මින් ඇති කරන බලපෑම. බොහොදෙනෙක් මේ පිළිබඳ සඳහන් කරනවා. ඒක වැදගත් කාරණයක්. සුළු ජාතික පක්‍ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් අවශ්‍යයි. නමුත් සුළු ජාතික කොටස්වල නියෝජනය, ජනවර්ග කොටස්වල නියෝජනය අවශ්‍යයි කියා සදහටම ඔවුන් සුළු ජනවර්ග කොටස්වල නියෝජිතයන් වශයෙන් පාර්ලිමේන්තුවේ තබාගත යුතුයි කියන තත්ත්වයට අප පත්නොවිය යුතුයි. අප යොමු විය යුත්තේ සියලූ ජනකොටස්වලට එක හා සමානව පුරවැසියන් වශයෙන් සලකනු ලබන ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, ලාංකීය ජාතියක් නිර්මාණය කරගැනීමට. එහිදී සුළු ජන වැසියන්ට නියෝජනය තිබීම අවශ්‍යයි. නමුත් ඒක තර්කයක් නොකර ගත යුතුයි ඡන්ද දායකයාගේ පුරවැසි අයිතිවාසිකම් ලඝු කිරීමට, තවත් තර්කයක් තමයි අඩු කුල කණ්ඩායම්වලට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබීමට සමානුපාතික ඡන්ද ක‍්‍රමය පවත්වා ගැනීම අවශ්‍ය බව. මම හිතන්නේ අපි පාර්ලිමේන්තුව තුළ කුල නියෝජනයක් ආයතනගත කරලා ඒ තුළින් කුල ප‍්‍රශ්නය ලංකාවේ සමාජය තුළ නැවත ස්ථාපිත කරන තත්ත්වයකට නොයා යුතුයි. කුල පීඩනයට එරෙහිව කටයුතු කිරීමට අපේ දේශපාලනය සකස් විය යුතුයි. නමුත් කුල පදනම මත දිස්ත්‍රික්කවලින් නියෝජිතයින් වශයෙන් දැනට පාර්ලිමේන්තුවට පත්වන අය තමන්ගේ කුල වෙනුවෙන් කුමන සුවිශේෂී කටයුත්තක් කරලා තියෙනවාද කියන ප‍්‍රශ්නය අපි අහන්න ඕනේ. කුල ඡන්දය දිස්ත්‍රික් මට්ටමේ යම් යම් කුලවලට අයිති ප‍්‍රභූන්ට කුලය පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ සුළු ජනවර්ගය හෝ කුලය ආයිත් ඇද නොගත යුතුයි ලංකාවේ සමාජයේ සදහටම පවතින සමාජ කරුණ ලෙස. අපි කළ යුත්තේ ඒවා වෙනස් කිරීමට කටයුතු කිරීමයි.

මනාප ක‍්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් සමාජයට ඇති කරනු ලබන දේශපාලනික සමාජීය හා ආර්ථික පීඩනය පිළිබඳව ඔබතුමාගේ විග‍්‍රහය කවරේද?

මනාප ක‍්‍රමය ඉදිරිපත් කෙරුණේ ඡන්ද දායකයන්ට වඩා හොඳ අපේක්‍ෂකයන් තෝරා ගැනීමට උපකාරි වන ක‍්‍රමයක් හැටියට විතරයි. නමුත් දැන් එය ක්‍රියාත්මක වන්නේ ඡන්ද මිලට ගැනීමේ ක‍්‍රමයක් හැටියට. ඒ නිසා එය දූෂිතයන්ට පාර්ලිමේන්තු ඒමේ පහසු මඟක් බවට පත්වී තිබෙනවා. ඒ වගේම මනාප ක‍්‍රමය තුළ ලංකාවේ මැතිවරණ ක‍්‍රමය විශාල වශයෙන් වාණිජකරණයකට ලක්වෙනවා. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇතිවෙලා තිබෙන තාක්‍ෂණයත් සමඟ මේක ආර්ථික වර්ධනයටත් දායක වෙනවා නේද කියලා. මේක තුළ පෝස්ටර් ගැසීම, කටවුට් සෑදීමේ සිට අත් පත‍්‍රිකා බෙදීම දක්වා දිස්ත්‍රික්කයක් තුළ ඡන්දයක් තිබීම සඳහා අවශ්‍ය කරන වියදම් කිරීම තුළ යම්කිසි ආර්ථිකමය කටයුත්තක් සිදුවෙනවා. මම නම් එහි දකින්නේ නිෂේධනාත්මක අගයක්. මොකද ඒකෙන් අපගේ දේශපාලන ව්‍යූහයට වන හානිය ආර්ථික කටයුත්තෙන් ලබාදෙන දායකත්වයට වඩා ඉතා ඉහළ යැයි කියන එකයි මගේ හැඟීම. මේ ක‍්‍රමයෙන් සිද්ධවන්නේ ඡන්දය මිලට ගැනීමේ දැවැන්ත ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම, ඒ සඳහා අවශ්‍ය කරන ප‍්‍රචාරක කටයුතු කිරීම යනාදියයි. මේ තුළ මා මුලින් කිව්වාක් මෙන් අනුග‍්‍රාහක-සේවාදායක සම්බන්ධය තදින් තහවුරු වෙනවා දේශපාලනය ඇතුලේ. දිස්ත්‍රික් මට්ටමේ තරඟ කරන දේශපාලනඥයන්ට ඡන්දය ලබාදීම සඳහා විවිධ අතරමැදි කණ්ඩායම් ඇති කරනවා, ඒ තුළින් මුදල් විශාල වශයෙන් එහා මෙහා හුවමාරුවීමක් සිදුවෙනවා. ඡන්ද දායකයින් අතට මුදල් ලැබෙනවා. අතරමැදි කණ්ඩායම් මුදල් උපයනවා. දේශපාලනඥයන් මුදල් වියදම් කරනවා. ඒ වගේම මේ දේශපාලනඥයන් වියදම් කරන මුදල් සහ ඔහුට මුදල් සපයන්නන් ධනපති කොටස්. ඔවුන් බලාපොරොත්තු වෙනවා මෙය තමන් කරන ආයෝජනයක් ලෙස. එම ආයෝජනය තමන්ගේ නියෝජිතයන් බලයට පත්වූ විට නැවත උපයා ගැනීම සඳහා රජය බැඳී සිටින බවට ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසා මේ ක‍්‍රියාවලිය පැහැදිලිවම බලයට පත්වන ආණ්ඩුව, ඉන් මෙහෙයවන රජය කිසියම් ධනපති කොටස්වලට ඔවුන්ගෙන් මෙහෙයවන දේශපාලනඥයන්ව බැඳ තබන, ලංකාවේ ජනතාවගේ අපේක්‍ෂාවන් සැබෑ ලෙස නියෝජනය නොකොට විකෘති කිරීමක් කියලා අපට කියන්න පුළුවන්, හැබැයි ඒ පුරවැසියාගේ දෘෂ්ඨිකෝණයෙන් බැලූවොත් පමණි.

සාධාරණය, 2015 ජූලි-අගෝස්තු, සමාජය හා සාමයික කේන්ද්‍ර‍ය

උපුටා පල කරන්නේ නම් kathika.wordpress.com සඳහන් කරන්න

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )