ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාවකට සටහන් – (5)

අලාන් ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත්
ත්‍යාගශීලී පාවාදීම ( GENEROUS BETRAYAL )
නිර්-බටහිරකරණය වූ ලෝකයක් ( A De-Westernized World)

අලාන් ෆින්කල්ක්‍රෝත් තම රචනයේ මෙම කොටස යොමු කරන්නේ නාට්සිවාදයේ කටුක අත් දැකීම හමුවේ යළිත් එවැන්නක් සිදු නොවීම සඳහා කටයුතු කිරීමේ අරමුණින් යුනෙස්කෝව පිහිටුවීමේ කටයුත්ත මුල් කොට ගෙන සංස්කෘතිය පිළිබඳ ජගත් කතිකාවට යුනෙස්කෝව පිහිටුවීම හා බැඳුණු සාකච්ඡාව දායක වන ආකාරය විමසීමට ය. එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් යුනෙස්කෝව ආරම්භ කරනු ලැබීම මහත් බලාපොරොත්තු දැනවූ සිද්ධියක් වීය. යුනෙස්කෝව අවධානය යොමු කළේ විද්‍යාව හා සංස්කෘතිය පිළිබඳය. නාට්සිවාදය වර්ගවාදය පිළිබඳ තම මතය සනාථ කිරීමට විද්‍යාව යොදා ගත්තේය. එය මිනිස් මනස සර්වාධිකාරයකට යට කිරීමට දෘශ්ටිවාදය යොදාගත්තේය. අනාගතය වෙනුවෙන් මෙබඳු තත්වයක් යළි උදාවීම වැළැක්වීම යුනෙස්කෝව පිහිටුවීමට එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සාමාජිකයන් මෙහෙයවූ කරුණ වීය.

එහිදී කීර්තිමත් ව්‍යුහවාදී මානව විද්‍යාඥ ක්ලෝඩ් ලෙවි-ස්ට්‍රාවුස් සංස්කෘතිය නමැති සංකල්පය සංස්කෘතීන් වශයෙන් වෙනස් කිරීමට වූ දායකත්වය සහ එහි සංකල්පීය ගම්‍යමානවීම් සහ දේශපාලන ඵලවිපාක සාකච්ඡා කිරීම ෆින්කල්ක්‍රෝත් මෙහිදී අරඹයි. ප්‍රබුද්ධ යුගයේ ජීවගුණය මත පදනම්ව ඇරඹෙන මෙම කර්තව්‍යය ඉතා ඉක්මණින් ඊටම එරෙහිව හැරවීමට ව්‍යුහවාදී මානව විද්‍යාවත් ඒ අනුව ගිය ඉතිහාසඥයන් සහ පියෙරෙ බෝඩියු වැනි සමාජ විද්‍යාඥයනුත් දායක වූ අයුරු ෆින්කල්ක්‍රෝත් විග්‍රහ කරයි.

මෙම සාකච්ඡාවේදී මතුවන තේමාවන් ගණනාවකි.

ප්‍රබුද්ධ යුගයෙන් මතුවුණු වියුක්ත මානවවාදය, මිනිසා පිළිබඳ වියුක්ත සංකල්පය, ව්‍යුහවාදය විසින් විතැන් කෙරෙන ආකාරයත් එයින් මතු කෙරෙන ගැටලු එහි ලා ප්‍රධාන ය. අප මානවයා පිළිබඳ සංකල්පීකරණය කරන්නේ කෙසේද? මානවයා වියුක්ත සහ විශ්වීය විෂයයක් ද? මානව ලොව සංසිද්ධීන්හි සාර්වත්‍රික (universal) ස්වභාවයක් තිබේද? සමස්ත මානව වර්ගයාගේ ඒකත්වය නියෝජනය කරන වියුක්ත මානවයෙකු පිළිබඳ සංකල්පය අපි පිළිගන්නෙමුද? මානව වර්ගයාට සාරයක්, ඒකත්වයක් තිබේද? එසේ නොමැතිනම් අප තෝරා ගන්නේ සංයුක්ත මානව ආකාරයන් පිළිබඳ සංකල්පයද? ලෙවි ස්ට්‍රාවුස් මතු කළ ගැටලුව මෙයයි.

ෆින්කල්ක්‍රෝත් මෙම සාකච්ඡාව ඇසුරෙන් අප හමුවේ පහත සඳහන් ගැටලු ද මතුකරයි. මානව ලෝකය වටහා ගැනීමේ අපගේ උත්සාහයේදී වියුක්ත සහ සංයුක්ත සංකල්පීකරණයන් ඉටුකරන වෙනස් කාර්යයන් මොනවාද? සමස්තය සහ සුවිශේෂය පිළිබඳ අදහස් වෙනස්ව ඉටු කරන්නේ කුමක් ද? මේ දෙආකාරයන් අතර ඇති සම්බන්ධය කුමනාකාරද?

ෆින්කල්ක්‍රෝත් දෙවනුව, සංස්කෘතිය පිළිබඳ ජගත් කථිකාව වෙනස් වූ ආකාරය විග්‍රහ කරයි. එහිදී ඔහු අප හමුවේ මතු කරන ගැටළු ගණනාවකි. සංස්කෘතිය පිළිබඳ මානවීයවාදී වටහාගැනීම සහ ව්‍යුහවාදී මානවවිද්‍යාත්මක අවබෝධය අතර වෙනස මෙහිදී ප්‍රධාන ය.

මානවීයවාදී වටහාගැනීමට අනුව සංස්කෘතිය යනු සත්‍යයන් පදනම් කොට ගන්නා විභව මානව ශක්‍යතාවන් වගාකිරීම පදනම් කොට ගත් සංකල්පය කි. ඒ අනුව, මානවයාට විචාර ශක්තිය තිබේ, මෙය වගා කළ යුතුය, ඒ සඳහා මඟ අධ්‍යාපනය යි, අධ්‍යාපනය මිනිසා සංස්කෘතික කරයි. තවද, සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය සාර්වත්‍රික ය. ලෙවි ස්ට්‍රාවුස් ගැටලුවට ලක් කරන්නේ මෙම සංකල්පීකරණය යි. ඒ අනුව පහත ආකාර ප්‍රශ්ණ විමර්ශනයට ලක් කෙරෙයි. නූතනයෙහි ලොව ඇත්තේ බටහිර මුල්කොට ගත් මානව සංස්කෘතියක් ද? ශිෂ්ටාචාරයක් ද? බටහිර සංස්කෘතිය බටහිර ශිෂ්ටාචාරය උසස්ම ඒවාද? නූතනයෙහි විචාර ශක්තිය අගතැන් පැමිණියේ බටහිර ශිෂ්ටාචාරය වර්ධනය තුළද?

ක්ලෝඩ් ලෙවි-ස්ට්‍රාවුස්
ක්ලෝඩ් ලෙවි-ස්ට්‍රාවුස්

ෆින්කල්ක්‍රෝත් මෙම ‍කොටසේ තම සාකච්ඡාව අරඹන්නේ මෙලෙසිනි:

1945 නොවැම්බරයේදී එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සාමාජිකයෝ ලංඩනයේදී රැස්වී විද්‍යාව සහ සංස්කෘතිය හා අදාළ ප්‍ර‍ශ්න ආමන්ත්‍ර‍ණය කිරීමට සංවිධානයේ විශේෂ ශාඛාවක් නිර්මාණය කිරීම නිල වශයෙන් අනුමත කළහ. එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ ආණඩු විසින් කැදවනු ලැබූ මෙම ප්‍රාරම්භක සම්මන්ත්‍ර‍ණයේදී රටවල් හතලිහක පමණ නියෝජිතයෝ, වැඩිමනත්ම එම එකම ඉලක්කය විසින් පොළොඹවනු ලැබ ඊට සහභාගී වූහ. මෙක්සිකෝවේ නියෝජිතයා වූ ටොරෙස් බොඩෙට් (Toress Bodet) ගේ මනරම් වචන වලින් කියන්නේ නම් “මානව ඉතිහාසයේ මේ දැන් අවසන් වූ යුගයෙන් විශද වූ එකකට පිවිසෙන්නට“ මගක් සොයා ගැනීම ඔවුනට අවශ්‍ය කෙරුණි. කිසිදු එක් රාජ්‍යයකට එහි ජනගහණය වටා තිරයක් අදින්නට හෝ “දරදඬු පටු අදහස් සමූහයක් සමගින් ජනයාගේ මනස්” (Léon Blum) හිතාමතා අධිශික්ෂණය කරන්නට නොහැකි වනු ඇති ලෝක පර්යායක්, අදහස් එක් ජාතියකින් අනෙකට නිදහසේ සංසරණය වූ හෙයින් සාමය පිළිබඳ සැබෑ ජීව ගුණයක් රජ කළ යුගයක්, නිර්මාණය කරන්නට ඔවුහු එකට රැස්වූහ. සර්වාධිකාරී මතවාදී විසින් මෙහෙයවනු ලැබ, උප-මානව සත්වයන් බවට හරවනු ලැබ, සතුන් මෙන් පුහුණු කරනු ලබනවා වෙනුවට ජනයා පුද්ගලයන් ලෙස තමන් වෙනුවෙන් සිතන්නට, තමන්ගේම විචාර ශක්තිය ප්‍රයෝජනයට ගන්නට ඉගෙන ගනු ඇති.

එක්සත් ජාතීන්ගේ මෙම විශේෂ ශාඛාව ස්ථාපිත කරන්නට යුනෙස්කෝවේ ප්‍රාරම්භකයන්ට ආශ්වාදය ලබා දුන්නේ නාට්සිවාදයේ අසම වධවිභාගය යි. පරම බලධාරිත්වය (despotism) – අයිතිවාසිකම් මර්ධනය – ට සහ බුද්ධිරෝධනවාදය (obscurantism) – අගතිය සහ මුග්ධතාව සූරාකනු ලැබීම – ට කැපවූ බලතන්ත්‍ර‍යක් පරාජය කිරීමට යුද වැදී සිටි ඔවුනට, අදහස් නිදහසේ ප්‍ර‍කාශණය අධීක්ෂණය කිරීමේ, සහ අධිපතිභාවය බල පැවැත්වීමට අධිෂ්ඨානය ඇති අයගේ ක්‍රියා විද්‍යාව මගින් සාධාරණීකරනය කිරීමෙන් වෛරය දිරිගැන්වූ ධර්මයන් සහ සිතීමේ ක්‍ර‍මයන්ට එරෙහිව සටන් කිරීමට උදවු කිරීමේ වගකීම ජාත්‍යන්තර සංවිධානයක් පවරාගනු දැකීමට අවශ්‍ය වීය. අදහස් බලය විසින් අපයෝජනය කරනු ලැබීමේන් ආරක්ෂා කර ගැනීම සහ ජනයා ජනාන්දෝලකයන් (demagogue) විසින් හරවාගෙන ඔවුන්ගේ සිතීමෙහි ලා නොමග යවනු යළි කවරදාක හෝ කළ නොහැකි වනු ඇති පරිද්දෙන් ජනයාට අවබෝධය ලබා දීම, එහි කර්තව්‍යයට අයත් වනු ඇත.

 

ෆින්කල්ක්‍රෝත් උපුටා දක්වන පරිදි, මානව ඉතිහාසයේ යුගයක් අවසන් වීයැයි බොඩෙට් පළ කරන විශ්වාසය සඳහන් කරන්නේ නාට්සිවාදයේ කටුක අත් දැකීම පරාජය කිරීම පිළිබඳය. යුනෙස්කෝව පිහිටුවීම අපට අවධාරණය කරන්නේ, නාට්සිවාදය නැතහොත් සර්වාධිකාරය (totalitarianism), ඒකාධිපත්‍යය, ලොව කොතැනක හෝ කවදා හෝ හිස එසෙවීමේ අවදානමට එරෙහිව නිරතුරුවම අවදියෙන් සිටිමින් කටයුතු කිරීම පිළිබඳ අවශ්‍යතාව වෙනුවෙනි. එම තර්ජනය සදහටම තිබෙන එකකි. මිනිසුන් ගේ ලෝකයේ මෙම තර්ජනයන් කවදාවත් සදහටම පහව නොයනු ඇත.

 

ෆින්කල්ක්‍රෝත් මෙසේ කියයි:

ලංඩනයේ පැවති මෙම හමුවේදී නායකයෝ සහ බුද්ධිමය අධිකාරීහු මානවත්වයේ සදාචාරමය ප්‍ර‍ගතිය බුද්ධිමය ප්‍ර‍ගතියට සම්බන්ධ කිරීමෙන් සහ දේශපාලන නිදහස් ආරක්ෂාකරගැනීමට ඇති වගකීම සංස්කෘතික වර්ධනය සඳහා අවස්ථා සැපයීමේ අවශ්‍යතාව අතර සම්බන්ධයක් සැදීමෙන් ප්‍ර‍බුද්ධ යුගයේ (ප්‍රබුද්ධත්ව යේ) ජීවගුණයට ඇති තම බැඳීම් ස්වයංසිද්ධව අලුත් කළහ. මතුවෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළ නව සහ විශද සමයට දහඅට වැනි සියවසේ දාර්ශනික මූලයන් තිබුණි.

ඔවුන් යුනෙස්කෝව (UNESCO) සඳහා වන තම සැළසුම් සකස් කරත් ම, ඔවුන්ගේ දෘෂ්ඨිය ඩිඩෙරෝ (Diderot), කොන්ඩොර්සෙට් (Condorcet), සහ වොල්ටෙයාර් (Voltaire) ගේ අධ්‍යාහත අනුග්‍රහය පිළිබිඹු කළේ ය. නිදහස විශ්වීය අයිතියක් නම්, නිදහස් යැයි කියනු ලැබ හැක්කේ ප්‍රබෝධනය ලබා ගත්තවුන් පමණක් ය යන්න අපට ඉගැන්වූයේ මේ කර්තෘවරුන් ය. ආණ්ඩුවේ භූමිකාව ගැන කතා කරද්දී එකිනෙකින් වෙනස් කළ නොහැකි ඉල්ලීම් දෙකක් තරයේ ඉල්ලා සිටියේ ඔවුන් ය: පුද්ගලයන්ගේ ස්වාධීනත්වයට ගරු කරන්න, සහ සැබැවින්ම ස්වාධීනවීම සඳහා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ඔවුන් සඳහා දෙන්න.

උදාහරණයක් වශයෙන් කොන්ඩොර්සෙට් මෙසේ ලිවීය:

නිදහස, එහි ආකෘතියට ගරු කරනු ලැබ සහ නීති පොතෙහි එය සංරක්ෂණය කොට ඇතිවිට පවා, එය පවත්වා ගෙන යාමට දක්ෂ අය හඳුනා ගැනීමෙහි ලා හැම කෙනෙකුටම හැකියාව තිබිය යුතු යැයි සියල්ලන්ගේම සෞභාග්‍යය [සඳහා ඇති අපේක්ෂාව විසින්] තවදුරටත් බලකර සිටින්නේ නැද්ද? තවද, මිනිසෙකු, මහජනයාගේ අවධානයට යොමු විය යුතු කරුණු පිළිබඳ තීරණය කරන්නට, නූගත්කම හේතුවෙන් අනෙකුන් මත රඳා පවතින්නේ නම්, ඔහුට තමා නිදහස් යැයි සැබැවින්ම කිව හැකි ද?

 

ඉතින්, ෆින්කල්ක්‍රෝත් ඉදිරිපත් කරන ඉහත අදහසට අනුව, ජනාන්දෝලකයන් තමන්ගේ නායකයන් කරගන්නා ජනතාවක් ගැන මෙයින් කියැවෙන්නේ කුමක්ද? ඔවුන් ගේ නූගත්කම ඔවුන් පිළිගනු ඇත්ද?

 

ෆින්කල්ක්‍රෝත් යළි මෙසේ කියයි:

හිට්ලර්
හිට්ලර්

හිට්ලර්ගේ ජයග්‍රහණයෙන් පසුව ආ දිනවල, යුනෙස්කෝව වැනි සංවිධානයක් නිර්මාණය කිරීමට යෝජනා කළවුන්ට මඟ පෙන්වන ආලෝකය සපයා දෙන බව පෙණුනේ දාර්ශනිකයන් විසිනි. මෙහි ආරම්භකයෝ, තම අරමුණ ලෙස අධ්‍යාපනය සඳහා සම්පූර්ණ සහ සියල්ලන්ටම සමාන ප්‍රවේශය, විෂය මූලික සත්‍යය නිදහසේ හඹායාම, සහ අදහස් සහ ඥාණය නිදහස සේ හුවමාරුව සහතික කිරීම ලෙස නිර්වචනය කළහ. මෙම ආකාරයේ සංස්කෘතික සහයෝගීතාව තුලින්, මානවයාගේ ගරුත්වයට එල්ල කෙරෙන අනාගත ප්‍රහාරවලට ප්‍රතිරෝධය දැක්වීමට අවශ්‍ය නිපුණතා, ලෝකය විසින් අත්පත් කර ගනු ලැබීම ඔවුහු අපේක්ෂා කළහ.

නමුත් ඔවුන් කතා කරමින් සිටියේ කුමන මානවයා පිළිබඳව ද? මානවයාගේ සහ පුරවැසියාගේ අයිතිය පිළිබඳ ප්‍රඥප්තියේ එන වියුක්ත සහ විශ්වීය විෂයය (subject) ද? සාර්වත්‍රිකත්වය පිළිබඳ මහා කතිකාවන් හි නිවැසි කෙනා මෙන්, සාරයක් නොමැති යථාර්ථයක්, සත්තාවක් (being) නොමැති සත්ත්වයෙක් (being) , මාංශය, වර්ණය හෝ සූවිශේෂී ගුණයක් නොමැති ප්‍රාණියෙක් ද? වෙනත් වචනවලින් කියතොත්, ඔහු වෙනස් අයෙකු බවට පත් කළ සියල්ලම ඔහුගෙන් ගලවා දැමූ පුද්ගලයෙක් ද? යුනෙස්කෝව, සංවිධානයක් ලෙස නිල වශයෙන් රැස්වීමට පටන් ගත් පසු න්‍යාය පත්‍රය අදෘශ්‍යව මාරු කෙරුණි. අන්තගාමීබවේ විවික්නය (critique) ලෙස ආරම්භ කෙරුණු දෙය ප්‍රබුද්ධ යුගය පිළිබඳ විවික්නයක් බවට හරවනු ලැබිණි. වියුක්ත මානවීයවාදය පිළිබඳ අදහසට එල්ල වූ මෙම අභියෝග, මානව වර්ගයාගේ ඒකීයත්වය ප්‍රතික්ෂේප කිරිමට නැඹුරුවෙන ධර්මයන්ගෙන් ලෝකය ආරක්ෂා කර ගැනීමට ආකාරයන් මුලින් විවාදයට ලක් කළ, ලංඩනයේ දී පෙර පවත්වනු ලැබූ සාකච්ඡා දිග්ගැස්සූ අතර රැඩිකල්කරණය කළේය. නෛතික උගතුන් සහ සාහිත්‍යධරයන්ට තමන්ට අවශ්‍ය දේ කියන්නට ඉඩ ලැබුණු පසු, මානව විද්‍යාඥයන් සභාව ඇමතූ අතර ඔවුන් පහත සඳහන් තර්කය ඉදිරිපත් කළහ: මානවීයවාදය මානවත්වය සමස්තයක් ලෙස නියෝජනය කළේ නම්, එවිට ජනයාගේ පැවැත්මේ සංයුක්ත ආකාරයන් විස්තර කිරිම මගින්, සියලු මානව සත්ත්වයා (beings) වෙත වන ගරු කිරීම එය විසින් ප්‍රදර්ශනය කරනු ලැබීම කළ යුතුව තිබුණි.

 

ෆින්කල්ක්‍රෝත් වර්ගවාදය පිළිබඳ ලෙවි -ස්ට්‍රාවුස් ගේ අදහස් කෙරෙහි අපගේ අවධානය යොමු කරයි. ජිව විද්‍යාත්මක ලක්ෂණ මත ඉදිරිපත් කෙරුණු වර්ගවාදය පදනම් විරහිත බව විවේචනය කළ ලෙවි -ස්ට්‍රාවුස් තර්ක කළේ මානව සමූහයන් වෙනස් වන්නේ භූගෝලීය, ඓතිහාසික, සහ සමාජ විද්‍යාත්මක තත්වයන්ට අනුව බවයි. නමුත් එම වෙනස් කම් ධූරාවලී ගත කළ ප්‍රබුද්ධ යුගයේ චින්තනය ද සංස්කෘතිය පිළිබඳ අදහස මත පදනම් වූ වර්ගවාදයකැයි ලෙවි -ස්ට්‍රාවුස් කළ අභියෝගය සංස්කෘතිය පිළිබඳ සංකල්පය වෙනුවට බහුවිධ සංස්කෘතීන් පිළිබඳ මතිය ඉදිරිපත් කළේය.

 

ෆින්කල්ක්‍රෝත් තව දුර මෙසේ කියයි:

මෙම දෘෂ්ටි කෝණයේ කදිම ප්‍ර‍කාශනයක් වූයේ යුනෙස්කෝවේ ඇරයුමින් 1951 දී ක්ලෝඩ් ලෙවි-සට්‍රාවුස් විසින් සම්පාදනය කරනු ලැබූ පඨිතයකි. එම රචනය “වර්ගය සහ ඉතිහාසය“ (Race and History) යැයි හඳුන්වා දෙමින්, වර්ගය යන්නෙහි හොද නිර්වචනයක් නැතැයි යනුවෙන්, පූජා විධියක ස්වරූපයෙන් බොහෝ වතාවක් ඔහු පුනරුච්ඡාරණය කරනු ඇති දෙයක් ප්‍ර‍කාශ කරමින්, ඔහු පටන් ගත්තේය. මානව සමූහයන් අතර පැවති වෙනස්කම් අදාල වූයේ, “ භූගෝලීය, ඓතිහාසික, සහ සමාජවිද්‍යාත්මක තත්වයන්ට මිසක කලු ජාතිකයන්, කහ පැහැති සම ඇත්තවුන් හෝ සුදු ජාතිකයන් ගේ ව්‍යවච්ඡේදක හෝ භෞතවේදීය සංස්ථිතියට සම්බන්ධ කිසිදු සුවිශේෂී කුශලතාවකට නොව“න බව ඔහු ලීවේය (Race and History). එපමණක් නොව සමාජීය වශයෙන් උරුමකරගත් ගතිලක්ෂණ සහ ජීවවිද්‍යාත්මක සම්භවයක් ඇති ගතිලක්ෂණ අතර විශදභාවයන් හුදෙක් හඳුනා ගන්නවාට වැඩි යමක් අප කළ යුතුය. ජන සමූහයන් අතර වෙනස් කම් පැහැදිළි කිරීමට ජීවවිද්‍යාව යොදාගත් අයට, සංස්කෘතික ප්‍රභේදනය ජානමය වශයෙන් නිර්ණය කොට නැතැයි විදහා දැක්වීමෙන් අභියෝගකිරීම ප්‍ර‍මාණවත් නොවීය. අප තවත් දුර ගොස් විභේදනයන් ශ්‍රේණි ගත කිරීමට ගන්නා හැම උත්සායකටම විරුද්ධ විය යුතුය. කාලය සහ අවකාශය මතින් මානව සමාජය ගත් බොහෝ ස්වරූපයන් පරිපූර්ණත්වය කරා ඉහලට නැගෙන පරිමාණයක් ඔස්සේ වර්ගීකරණය කළ නොහැකිය. ඒවා විජයග්‍රාහී පා ගමනක පියවර , “එකම තැනින් ආරම්භවෙමින් , අවශ්‍යයෙන්ම එකම ලක්ෂ්‍යයේ එක් රැස් විය යුතුව තිබුණු තනි සංවර්ධනාත්මක වැඩ පිළිවෙලක අදියර“ නොවීය (ලෙවි-සට්‍රාවුස්, Race and History). වටිනාකම් පිළිබද පරිමාණයක, ඉහළම තත්වය අපටම පවරාලමින්, මානව සමාජයන් ස්ථානගත කරන්නට අපට [එනම් බටහිරට] තිබුණු පෙළඹවීම, හුදෙකලා කොට ගත් කායවිච්ඡේදනමය සහ භෞතචිකිත්සාමය අස්ථිත්වයන් බවට මානව සත්වයන් බෙදාවෙන් කිරීමට අනෙක් අය තුළ වූ ආශාව මෙන්ම, විද්‍යාත්මක වශයෙන් ව්‍යාජ සහ සදාචාරමය වශයෙන් හානිදායක ය.

මොර්ගන්ගේ කෘතිය
මොර්ගන්ගේ කෘතිය

තවද, ලෙවි-ස්ට්‍රාවුස් ට අනුව, ප්‍රබුද්ධ යුගයේ චින්තකයෝ මෙම පෙළඹවීමට ගොදුරුවූහ. දහඅට වැනි සියවසේ යුරෝපයේ සිදුවෙමින් පැවති – ඥාණයේ සංවර්ධනය, තාක්ෂණයේ ප්‍ර‍ගතිය , සහ සිරිත් විරිත් වල ප්‍ර‍සාධනය – (යනාදී) හැම දෙයකින්ම මත් වනු ලැබ, දාර්ශනිකයෝ ශිෂ්ටාචාරය පිළිබඳ සංකල්පය නිර්මාණය කිරීමෙන් මෙම සියලු සාධනයන්ට හේතු පැහැදිළි කළෝය. ඔවුහු තමන්ගේ තත්ත්වය ආකෘතියක් බවට හැරවූහ: ඔවුන්ගේ සිරිත් විශ්වීය කුසලතා බවට පත් වුණි. ඔවුන්ගේ අගයයන් විනිශ්චය සඳහා පරම නිර්ණායක බවට පත් වුණි. යුරෝපීයයා ස්වභාවයේ ස්වාමියා බවට පත් වුණි. ඔහු තමා, නියම හිමිකරුවා, (දේව) නිර්මාණය තුල සිටින වඩාත් සිත් බඳනා සත්වයා ලෙස දුටුවේය. ඉන් පසුව ආ සියවස තුල, අලුතින් මතු වෙමින් තිබුණු මානව විද්‍යා ක්ෂේත්‍රය මෙම පරිණාමීය ක්‍රියාවලියේ බටහිර සතු අධිපති භූමිකාව අඩු-වැඩි වශයෙන් තහවුරු කරමින් ශිෂ්ටාචාරයේ සහ විචාර බුද්ධියේ මෙම අති දැවැන්ත දෘෂ්ඨිය වැළඳ ගත්තේය. උදාහරණයක් වශයෙන්, ලුවිස් හෙන්රි මොර්ගන් Ancient Society කෘතියෙහි ලියුවේ මෙයයි. “ශිෂ්ටාචාරයට පෙර ම්ලේච්ඡත්වය පැවතියේ යැයි දැන සිටියාක් මෙන්, මානව වර්ගයාගේ සියලු ගෝත්‍රවල ම්ලේච්ඡත්වයට පෙර වනචාරීත්වය (savagery) පැවැතියේ යැයි ඒත්තු ගන්වන සුළු සාක්ෂි මත දැන් එකඟ විය හැකිය. මානව වර්ගයාගේ ඉතිහාසය, ප්‍රභවය අතින් එකක්ම ය, අත්දැකීමෙන් එකක්ම ය, සහ ප්‍රගතියෙන් එකක්ම ය”.

නිසැකභාවය විසින් ශක්තිමත් කරනු ලදුව, යුරෝපීයයෝ, දහනව වැනි සියවසේ අවසානය වනවිට යටත් විජිතකරණය පිළිබඳ තම වැඩ අවසන් කළහ. යුරෝපය යනු, විශේෂයෙන්ම ලෝකයේ අනෙක් සංස්කෘතීන් හා සන්සන්දනය කරනු ලැබූ විට, ප්‍රගති‍ය මූර්තිමත් කිරීමයි. එම වෙනස්කම් සලකා බැලූ විට, ඉන් ඉතා ඈත පසුපසින් රැඳී සිටි ජනයා ශිෂ්ටාචාරයේ කක්ෂය තුලට ගෙන ඒමේ වඩාත් කඩිනම් සහ ත්‍යාගශීලී මග පිරිනමන බව පෙනුනේ යටත් කර ගැනීම විසිනි. දියුණු ජාතීන්ට මෙහෙ‍වරක් තිබුණි: ඒ, යුරෝපීය-නොවන්නන් උපදේශනය සහ යහ-පැවැත්ම පිළිබඳ ජීවිතයක් කරා යන ගමන කඩිනම් කිරීමයි. ආදිකල්පික ජනයා ගලවා ගැනීමම සඳහා මෙම වෙනස්කම් – එනම්, මෙම පසුගාමිත්වය – බටහිර සාර්වත්‍රිකත්වය තුලට අවශෝෂණය කර ගත යුතුව තිබුණි.

ඊනියා ආදිකල්පික සමාජයන්ගේ ජීවිතය ආණ්ඩු කරන සම්ප්‍රදායන් සහ රීතීන් ගේ සංකීර්ණභාවය, (යටත් විජිතව්‍යාප්තිය විසින්ම නිර්මාණ කරන ලද අවස්ථාවන්ට අඩ වශයෙන් ස්තුති වන්නට) මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගනු ලැබීමෙන් පසු, ඔවුහු, ලෙවි-ස්ට්‍රාවුස් [ක්‍රියාවෙන් ]ඔප්පු කළ පරිදි, පදය මාරු කළෝ ය. යුරෝපීයයන්ගේ අහම්මානයට වසර ගණනාවක් ඉඩ දීමෙන් අනතුරුව මානව විද්‍යාඥයෝ ඒ වෙනුවට තම සදොස් හෘදසාක්ෂිය පෝෂණය කරන්නට පටන් ගත්හ. වනචාරියා, ම්ලේච්ඡයා, ආදිකල්පිකයා යනාදී මෙම වෛරකාරී සහ මහන්තත්වය පාමින් කරුණාව දක්වන පදවලට ඒවායේ බුද්ධිමය වලංගුභාවය අහිමි වී තිබුණි. මෙම සුලබ වැකි සමගින් මානව සත්වයන්ගේ ඒක රේඛීය පරිණාමයක් පිළිබඳ අදහස සහ පසුගාමී සහ දියුණු ජනයා පිළිබඳ විශදභාවය බිඳ වැටුණි. වෙනත් වචනවලින් කියතොත්, ලෝක බලයක් ලෙස බටහිර වැඩි වැඩියෙන් තහවුරු වෙත්ම, එහි මානව විද්‍යාඥයෝ එම ආධිපත්‍යයේ සාධාරණීකරණය වැඩි වැඩියෙන් සැක කළෝ ය. මානවත්වයේ නව පරිච්ඡේදයක් විවෘත කරන්නට යුනෙස්කෝව යෝජනා කළ මොහොතෙහි, ලෙවි – ස්ට්‍රාවුස් එහි ප්‍රාරම්භකයන්ට එවිට අවසන් වෙමින් පැවැති සමය, යටත් විජිතවාදය මෙන් ම යුද්ධය විසින් ද, සළකුණු කොට තිබුණු බව, තම ශික්ෂාවේ නාමයෙන්, සිහිපත් කළේ ය: බටහිර අහංකාරය විසින් මානවත්වයේ තිබිය හැකි වෙනස් ආකාරයන් ප්‍රතික්ෂේප කිරීමෙන් මෙන්ම නාට්සිවාදීන් විසින් ජනයා අතර ස්වාභාවික ධූරාවලියක් තහවුරු කිරිම මගින්; ප්‍රගතිය පිළිබඳ බලයට ගිජු මන මෝහනයකින් සහ ජීව විද්‍යාව සමග වූ සිහි විකල් වූ පටලැවිල්ලකින්. එපමණක් නොවේ, සංස්කෘතීන් අතර වෙනස්කම්, ස්වභාවයට ආරෝපණය කිරීම, සහ ඒවා ඥානය, නිදහස සහ තාක්ෂණයන්හි පොදු සංවර්ධනාත්මක අවධීන්ට ආරෝපණය කිරීම අතර වෙනසක් ලෙවි-ස්ට්‍රාවුස් නොදුටුවේ ය. ඔහු සම්බන්ධයෙන් ගත් කල, ඔහුට ඒ සියල්ලම එකම දෙයක් විය. එකම ආකාරයේ ජනවර්ග කේන්ද්‍රීයභාවයක් (ethnocentrism) මෙම කාරනා දෙකේදීම ක්‍රියාත්මක වුණි: මා නොවන දෙය – තත්ත්වයෙන් පහත් වර්ගය හෝ සමාජීය පරිණාමීය පරිමාණයේ පැරණි-විලාසිතාමය ආකෘතිය – මා තරම් හොඳ නොවේ. සුදු මිනිසා පිළිබඳ වූ මෙම වශීවිම සදහටම කෙළවරක් කරන්නට වර්ගය පිළිබඳ විවික්නය සම්පූර්ණ කිරීම, ශිෂ්ටාචාරය පිළිබඳ අදහස ප්‍රශ්න කරනු ලැබීමෙන් අප විසින්කළ යුතුව තිබුණි. ජනයා හැම තැනම ඒකාකාර නොවීය, එමෙන්ම, ඔවුන් ආවේණික ගති ලක්ෂණ පද්ධති මගින් හඳුනාගත හැකි සමූහවලට පහසුවෙන් බෙදිය හැකිද නොවීය. මානව විවිධත්වය තිබුණි, නමුත් එය වාර්ගික නොවී ය; ශිෂ්ටාචාරය තිබුණි, නමුත් එය අද්විතීය නොවී ය. එහෙයින්, මානව විද්‍යාව බහු වචනයෙන් සංස්කෘතීන් ගැන කතා කළේ ය. එය ඉන් අදහස් කළේ,

සම්ප්‍රේෂණය නොකෙරුණු, විභව ශක්‍යතා මගින් වනවාට වඩා සංයුක්ත නිෂ්පාදන – නිපුණතා, සිරිත්, ආයතන, විශ්වාස – මගින් පමණක් වටහාගත හැකිව තිබුණු සූවිශේෂී ජීවන ආකාරයන් ය. සංස්කෘතීන්, සත්‍යයන් හෝ සත්‍යයන් යැයි පිළි ගැණුනු දේවල් වෙනුවට පරීක්ෂණය කළ හැකි අගයයන් හා සමරූපී විය ( ලෙවි-ස්ට්‍රාවුස්, The View from Afar)

යන්නයි.

ම්ලේච්ඡත්වයට ආපසු වැටීමේ අවධානම මග හැරීමට මිනිස් සංහතියට ප්‍රබෝධනය ලබා දෙන්න: ලෙවි-ස්ට්‍රාවුස් යුනෙස්කෝවේ ප්‍රාරම්භකයන්ගේ [මෙම] ගාම්භීර ඉලක්කය අනුමත කළ නමුදු, ඊට ආශ්වාදය ගෙනදුන් දර්ශනයට එරෙහි වීය. ම්ලේච්ඡත්වයට එරෙහි නඩු විභාගයේ දී සාක්ෂි දෙමින්, ලියොන් බ්ලම් (Leon Blum), සහ ක්ලෙමන්ට් ඇට්ලි (Clement Atlee) ඔහුට පෙරාතුව එතරම්ම ස්වාභාවික ලෙස කර තිබුණු ආකාරයට ප්‍රතිවිරෝධාත්මකව යමින්, ඔහු, ප්‍රබුද්ධ යුගය හඳුනා ගත්තේ විත්තිය සමග මිස පැමිණිලිකාර පක්ෂය සමග නොවේ.

අරමුණ වශයෙන් පැවැතියේ එකම දේය: අගතිය විනාශ කරන්න. නමුත් එම අරමුණ සාධනය කර ගැනීමම තවදුරටත් අන් අය විචාර බුද්ධියට විවර කිරීම පිළිබඳ කරුණක් නොව, අපම අන් අයගේ විචාර බුද්ධියට විවර කිරීම පිළිබඳ කරුණක් වීය. අප, සෙසු ලෝකයට අපේ සංස්කෘතිය ව්‍යාප්ත කිරිමට උත්සාහ කිරිම නවතා, සාර්වත්‍රිකත්වය මිය ගොසින් ඇතැයි යන අදහස පිළි ගන්නේ නම්, අපට අඥානභාවය ජයගත හැකි වනු ඇතැයි, ලෙවි – ස්ට්‍රාවුස් තර්ක කළේය. වෙනත් වචනවලින් කියතොත්, ඊනියා ශිෂ්ඨ සම්පන්නවූවන් වන අප, අපේ සිතින් මවා ගත් උස් මුදුන් වලින් පහතට පැමිණිය යුතු අතර අප තවත් එක් වෙනස් ස්වදේශිකයන් (native) වර්ගයක් පමණක් වූ බව හඳුනා ගත යුතු ය. මන්ද යත්, සැබෑ සතුරා, බුද්ධරෝධන වාදය, යනු අපේ නොවන දේ අන්ධ ලෙස ප්‍රතික්ෂේප කිරීම මිස (ලෙවි ස්ට්‍රාවුස්, Tristes Tropiques) අපේ වටිනාකම් වලට සහ දේවල් දැකීමේ අපගේ ආකාරයන්ට [ඇති] අනෙකුන්ගේ ප්‍රතිරෝධය නොවේ.

‍‍ෆින්කල්ක්‍රෝත් ඉහත දක්වන පරිදි, කිසිදු මානව වර්ගයක් (race) ඔවුනට ආවේණික වාර්ගික ගුණාංග හේතු කොට ගෙන අන් වර්ගයකට වඩා උසස් වන බව අද අපි පිළි නොගනිමු. ලෙවි ස්‍ට්‍රාවුස් අභියෝගයට ලක් කරන්නේ ආවේණික නොවන ස්වභාවික නොවන හේතු මත ජන සමූහයන් ශ්‍රේණි ගත කිරීමේ ප්‍රබුද්ධ යුගයේ සංකල්පීකරනය යි.

ලොව සියලු මානව සමූහයන් එකම සංවර්ධන මාවතක ඒක රේඛීය ගමනක යෙදී සිටින්නේය යන අදහසට අභියෝග කිරීම ලෙවි ස්ට්‍රාවුස් මුල පිරූ ව්‍යුහාත්මක විග්‍රහයේ අරමුණ වූ නමුත් අදත් ලෝකය විශ්වාස කරන බව පෙනෙන්නේ මෙම සංවර්ධන කථිකාවයි. අපි අදත් ප්‍රගතිය පිළිබඳ අදහසින් මන මෝහනයට පත් ව සිටිමු. අද ඇති වෙනස නම් සංවර්ධන කථිකාව හුදු ආර්ථික සංවර්ධනය පිළිබඳ අදහසට සීමා වෙමින් ශිෂ්ඨාචාරය සහ සංස්කෘතිය පිළිබඳ අදහස් එයින් වියෝ කොට තිබීම යි. ප්‍රබුද්ධ යුගය සංවර්ධනය යනුවෙන් අදහස් කළේ ඥාණය සංවර්ධනය, තාක්ෂණයේ ප්‍රගතිය සහ සිරිත් සුශිෂ්ටතාවට පත් කිරීම පදනම් කරගත් ශිෂ්ඨාචාරයක් ගොඩ නැංවීමක් නම් මේ වන විට සංවර්ධන කථිකාව හුදු ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් අධෝව්‍යුහ සංවර්ධනය බවට ලඝු වී තිබේ.

අද චීනය පමණක් ‍ නොව කියුබාව පවා ක්‍රම ක්‍රමයෙන් “සංවර්ධන” මාවතට ප්‍රවිෂ්ඨ වෙමින් සිටිති. එපමණක් නොව චීනය අප්‍රිකානු රටවල “සංවර්ධනය” කිරීමෙහි ලා මූලිකත්වය ගනිමින් සිටියි. ඉන්දියාව ද එරට බහුතරයක් ජනතාවගේ ජීවන මට්ටම ඉතා පහළ තත්වයක තිබියදීත්, චීනය අනුගමනය කරමින් අප්‍රිකාව “සංවර්ධනය” කිරීමට මැදිහත් වීමේ මාවතට අවතීර්ණ වෙමින් සිටියි.

යළි ෆින්කල්ක්‍රෝත් වෙතට:

කොන්ඩොර්සෙට්
කොන්ඩොර්සෙට්

කොන්ඩොර්සෙට් (Condorcet) ට අනුව නපුර පැමිණියේ මානව සත්ත්වයන් සමූහ දෙකකට බෙදීම මගිනි: විශ්වාස කරන්නන් සහ විචාර ශක්තිය යොදා ගන්නන් යනුවෙනි. ලෙවි ස්ට්‍රාවුස් ට අනුව, සියලු ජනයා විචාරශීලී වෙති, ඔවුන් වනචාරී මනස (la pensée sauvage, නමැති ප්‍රංශ සිරස්තලයෙන් යුතු වූ ඔහුගේ කෘතිය) හෝ ශාස්ත්‍රීය චින්තනය, ම්ලේච්ඡ ප්‍රඥාව හෝ දේව වචනය භාවිතාවේ (Logos) යෙදුණත්; ඔවුන් අදහස් සමග අක්‍රමවත්ව ටිංකර වැඩෙහි (bricolage) යෙදුණා හෝ ඔවුන්ට විධිමත් කළ සිතීමේ ආකාරයන් තිබුණත්. වඩාත්ම, පහසුවෙන් රැවැටිය හැක්කෝ හෝ නපුරු අය වූයේ තමන්ට විචාර ශක්තියට තනි අයිතිය ඇතැයි සිතූවෝ ය. ම්ලේච්ඡයා යනු ශිෂ්ට සම්පන්න තැනැත්තා යන්නෙහි ප්‍රතිපක්ෂය නොවී ය, “ඒ පළමු කොටම, ම්ලේච්ඡත්වය පිළිබඳ විශ්වාස කරන මිනිසා ”ය (“Race and History”). තවද, ප්‍රබුද්ධ යුගය මෙම විශ්වාසය බටහිර රෝපණය කිරීමෙහි ලා සහ ලෝකයේ සියලු ජනතාවන්ගේ සදාචාරමය සහ බුද්ධිමය සංවර්ධනය අධීක්ෂණය කිරිම සඳහා වන සැහැසි දූත මෙහෙවර යුරෝපයට පැවරීමෙහි ලා වරදකරු විය.

ෆින්කල්ක්‍රෝත්, ලෙවි සට්‍රාවුස් ගේ අදහස් සාකච්ඡා කරමින් ඉදිරිපත් කරන පරිදි, විශ්වාස වලට ඒවා අනුව ක්‍රියා කරන්නන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත් විට විචාරයක් තිබේ. එමෙන්ම විචාරශක්තිය මත විශ්වාසයන්ද ‍ගොඩ නැඟිය හැක. සියලු ජනයා විචාරණයේ යෙදෙන බව සැබෑ නමුත් වෙනස් මට්ටමේ විචාර ශක්තිය මත පදනම් වූ කටයුතු වලට සමාජය දෙන පිළිගැනීම වෙනස් සහ ධූරාවලී ගතය. ලෙවි ස්ට්‍රාවුස් වැනි ශාස්ත්‍රාලීය බුද්ධිමතෙකුට යුනෙස්කෝවේ ප්‍රතිපත්ති සම්පාදනයට මූලික වීමට ඇරයුම් කෙරෙන්නාක් මෙනි. එබඳු ධූරාවලීගත කිරීම් තුළ ධූරාවලියේ පහත මට්ටම් හා බැඳුණු විචාර ශක්තිය අගයෙන් පහත් කොට සළකනවා නොව ඒවායේ ඇති වෙනස් කම් මත හුදෙක් ඒවා වෙනස් අරමුණු වලට සේවය කරන හෙයින් වෙනස්ව අගය කෙරෙනවා පමණි.

ලෙවි ස්ට්‍රාවුස් ගේ විවික්නයට හසුවන යුරෝපීයයන් යෙදූ අර්ථයෙන් නොවූවත් ම්ලේච්ඡයා යන වචනය අප අතරේ අදත් භාවිත කෙරෙන්නේ හුදෙක් අනෙකා නම් කිරීමට පමණක් නොවේ. අපම අතර සිටින ශිෂ්ඨ සම්පන්න නොවන ක්‍රියා වල යෙදෙන්නන් හඳුන්වා දීමට ද අපි එම පදය යොදන්නෙමු.
විචාර ශක්තිය යුරෝපීයයන් ගේ තනි අයිතියක් නොව සියලු මානවයන් ට හිමි ශක්තියකි යන්න, ඔවුන් අතර කෙරෙන ම්ලේච්ඡ යැයි ලෝකය විසින් අද සළකනු ලබන ක්‍රියා එසේ නොවන්නේ යැයි සාධාරණීකරණය කිරීමට යොදා ගත නොහැකිය. මන්ද යත් යම් ක්‍රියාවක් ලෝකයා හමුවේ ම්ලේච්ඡ වන්නේ හෝ එසේ නොවන්නේ මන්ද යන්න ඒ පිළිබඳ ඇති එකඟතාව, සම්මුතිය මත තීරණය වන හෙයිනි. එම එකඟතාව සඳහා පදනම සැපයෙන්නේ ආචාර ධර්මීය අවබෝධයකිනි. අද එක්සත් ජාතීන් පදනම් කොට ගෙන ඇති වී තිබෙන මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තීන් එවැනි ආචාර ධර්මීය එකඟතාවන් පෙන්නුම් කරයි. ඊට පදනම් වන්නේ මානව ගරුත්වය පිළිබඳ අදහසකි.

ම්ලේච්ඡයන් යැයි හඳුන්වනු ලබන්නවුන්ට ඔවුන්ගේ පාර්ශ්වයෙන් තම ක්‍රියා (උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ පවුල සහ විවාහය තුළ ස්ත්‍රීන්ට කුඩා ස්ත්‍රී දරුවන්ට කරන බවට ප්‍රචලිත දරුණු අපරාධ සහ පොදුවේ කෙරෙන ස්‍ත්‍රී දූෂණ, අප්‍රිකානු ගෝත්‍ර අතර සිදු කෙරෙන භගමනි අපනෝදය (clitoredectomy) ) පිළිබඳ විචාරශීලී පැහැදිලි කිරීමක් තිබේද? එවැනි පැහැදිලි කිරීම් තිබිය හැකි බව අපි දනිමු. නමුත් ගැටලුව වන්නේ පැහැදිළි කිරීම් තිබූ පමණින් අප ඒවා පිළිගන්නේ ද? යන්නයි. අප ලෝකයේ එක්ව වාසය කරන්නට නම් එබඳු භාවිතාවන් අමානුෂික වන කළ ඒවාට එරෙහි වීම ශිෂ්ඨ සම්පන්න භාවයේ නිර්නායකයක් වෙයි.

– කුමුදු –

උපුටා පල කරන්නේ නම් kathika.wordpress.com සඳහන් කරන්න.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )