සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්

හනා ආරන්ඩ්ට්
හනා ආරන්ඩ්ට්
සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිලිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම විට සොක‍්‍රටීස්ගේ ඉගැන්වීම්වල යම් මූලධර්මයන් සැකයට ලක් කිරීමට ද සොක‍්‍රටීස්ගේ මරණය, ප්ලේටෝ, යොමු කළ විටය. ඇතන්ස්හි පුරවැසියන් අතරින් වඩා හොඳ හා වඩා තරුණ අයට ඒ සා පැහැදිලි වූ, සොක‍්‍රටීස්ගේ නිර්දෝෂී බව හා ඔහුගේ සුදුසුකම් ඔහුගේ විනිසකරුවන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වීය, යන කරුණ ඒත්තු ගැන්වීමේ වලංගු භාවය ප්ලේටෝ විසින් සැකයට ලක් කිරීමට හේතු විය. ප්ලේටෝගේ මෙම සැකයේ වැදගත්කම වටහා ගැනීමට අපට දුෂ්කර වන්නේ පෙයිතෝ – එනම් පෙළඹවීමේ දේවතාවිය -වෙනුවෙන් ඇතැන්ස්හී දෙවොලක් පැවතීමේ දේශපාලන වැදගත්කම පෙනුන්ම් කරන පැරණි වචනය වන පෙයිතියන් සඳහා ඒත්තුගැන්වීම යන්න ඉතා දුර්වල හා ප‍්‍රමාණවත් නොවන පරිවර්තනයක් නිසාය. ඒත්තු ගැන්වීම, යනු සුවිශේෂ වශයෙන් දේශපාලන කතා ස්වරූපය විය. තමුන් ම්ලේච්ඡයන්ගෙන් වෙනස් වෙමින්, තම දේශපාලන කටයුතු කථනයේ ස්වරූපයෙන් හා බලාත්කාරයෙන් තොරව මෙහෙය වීය, යන කරුණ හේතුවෙන් ඇතීනියානුවන් ආඩම්බර වූයෙන්, ඔවුහු ඒත්තු ගැන්වීමේ කලාව වන අලංකාර ශාස්ත‍්‍රය, උසස්තම හා සැබෑම දේශපාලනමය කලාව ලෙස සැලකූහ. ඇපොලොජියා (Apology ) හි සොක‍්‍රටීස්ගේ කතාව ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨ ම උදාහරණයන්ගෙන් එකක් වන අතර ප්ලේටෝ ෆීඩෝ (Phaedo ) හි ”සංශෝධිත සමාව අයැදීමක්” ලියනුයේ මෙම කරුණු දැක්වීමට විරුද්ධව ය. උත්ප‍්‍රාසයෙන් යුතුව ඔහු එය ”වඩාත් ඒත්තු ගන්වන” ( pithanoteron, 63B) යනුවෙන් හැඳින්වූයේ පේ‍්‍රක්ෂකයා හුදෙක් පෙළඹවීමට වඩා බිය ගැන්වීම අරමුණු කෙරුණු, ශාරීරික දඬුවම් හා ත්‍යාගයන්ගෙන් ද සම්පූර්ණ වූ, ඊළඟ ආත්මයක් පිළිබඳ මිත්‍යාවකින් එය අවසන් වන බැවිනි. Continue reading සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්

රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ධවල පති‍්‍රකාවක් ලෙස ප‍්‍රකාශයට පත් කරන්න – ලංකා කම්කරු සම්මේලනය

ටී.එම්.ආර්. රසීඩින්
ටී.එම්.ආර්. රසීඩින්
රජයේ විශ‍්‍රාම වැටුප් යෝජනා ධවල පති‍්‍රකාවක් ලෙස ප‍්‍රකාශයට පත්කර
වැඩපල මට්ටමේ සංගනනයක් පවත්වනු – ලංකා කම්කරු සම්මේලනය

ගරු අගමැතිතුමා 2015 නොවැම්බර් මස 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මධ්‍ය වාර ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන අතරතුර අනෙක් දේ අතර පහත ප්‍රකාශයද කළේය: “ සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්‍ෂිත කිරීම සඳහා ද අප පියවර ගන්නවා. ඒ අරමුදල් දෙක එකට එක් කොට ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල’ නමින් නව අරමුදලක් පිහිටුවනවා. ඒ අනුව රුපියල් ත්‍රිලියන 1.7 ක වත්කම් මේ යටතට පත්වෙනවා. අර්ථසාධක හා භාරකාර අරමුදලට සිදු කළාක් මෙන් නව අරමුදලෙහි මුදල් එක් එක් දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නාස්ති කරන්නට අප ඉඩ දෙන්නේ නෑ. එහි පාලන කටයුතු සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිවයි. අරමුදල සුපරීක්‍ෂණය කිරීමේ වගකීම මහජන ධන භාරයට පැවරෙනවා. ඒ නිසා ආණ්ඩු, ඇමැතිවරු, පක්‍ෂ හා නිලධාරීන් වෙනස් වීම් මත මේ කටයුතුවල වෙනසක් සිදු වන්නේ නැහැ. ජනතා ඉතුරුම් නාස්ති වන්නේද නෑ. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි එකම ප්‍රතිපත්තියක් මත ඉදිරියටම කටයුතු සිදු කෙරෙනවා.”

මෙය සැබැවින්ම ප්‍රශංසනීය අරමුණක් නමුත් මෙම ක්‍රියාදාමයේදී අමතක වෙමින් තිබෙන දෙය නම් මෙම මුදල් රටේ වැඩකරන ජනයා අයත් බවත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලෙහි ඇති ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වල තැන්පත් කර ඇති බවත් මහ බැංකුව මෙම අරමුදල් වල භාරකරුවා ලෙස සේවය කරන බවත්ය.

සේවක අර්ථ සාධක අරමුදල රාජපක්ෂ පාලනය යටතේ උග්‍ර පීඩනයකට ලක් වූ බව ප්‍රසිද්ධ කරුණකි. වර්තමානයේ ඇති වෙමින් තිබෙන තත්වය පසුගිය පාලනයේ අධම ක්‍රියා නිවැරදි කිරීමක් නොවන අතර මෙම අරමුදල් දෙක එයට දායක වී ඇති එහි සාමාජිකයන්ගේ කැමැත්තකින් තොරව මහ බැංකුවෙන් නිදහස් කර රු. ත්‍රිලියන 1.7 ක් පෞද්ගලික කළමනාකරුවන් පිරිසකට අත්කර දෙමින් විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පරිවර්තනය කිරීමකි. රාජපක්ෂ රෙජිමය කලා වූ ව්‍යාපාරික ගජ මිතුරන් වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල අනිසි ලෙස භාවිතා කිරීමෙන් හටගෙන තිබෙන වගකීම් රහිත කළමනාකරණ ක්‍රියා වැළැක්වීම උදෙසා සංචිත අරමුදල් ආයෝජනය හා සම්බන්ධ නියාමන මූලධර්ම යළි පරීක්ෂා කිරීම ගැන ලංකා කම්කරු සම්මේලනයේ විරෝධයක් නැත.

ලංකා කම්කරු සම්මේලනය සේවක අර්ථ සාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ සාමාජිකයන්ට ඒවායේ ප්‍රතිලාභ පුළුල් කිරීම සම්බන්ධයෙන් පෙනී සිටියි. මෙයට ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය සහ විරැකියා සහන ප්‍රතිලාභයක් ද ඇතුලත් විය යුතුය. මීට අමතරව විපත් සහ ආබාදිත කාල වලදී මෙන්ම මෙම අරමුදල් වලට අයත් මියගිය සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට අදායම් සුරක්ෂිතතාවක් සැපයීම ද විය යුතුය. මෙය සිදුවිය යුත්තේ අරමුදල මෙහෙයවීම අධ්‍යයනය කිරීමේ විශ්වසනීය ත්‍රෛපාක්ෂික දේහයක් මගිනි. එහිදී මහ බැංකුව අයිතීන් පාලනය නොකරන අතර මුදල් වල භාරකරුවා විය යුතුය.

මෙම අවශ්‍යතා ප්‍රමාණවත් පරිදි පවතින ක්‍රමය තුළ වඩා ශක්තිමත් කරන ලද අවදානම් කළමණාකරන පියවරයන්ගෙන් ඉටු කර ගත හැක.

ලංකා කම්කරු සම්මේලනය වයස් ගත අය සඳහා විශ‍්‍රාම වැටුපක් ලබාදීම රජයේ වගකීම බව දැඩිසේ විශ්වාස කරයි. එය රජයේ වගකීමක් සේ සැළකිය යුතුය.

මහ බැංකුව මෙම අරමුදල් දෙක සඳහා ඉතා නිරුපද්‍රිත සහ සුරක්ෂිත ස්ථානය බව ලංකා කම්කරු සම්මේලනය බලවත් ලෙස විශ්වාස කරයි. රජය තුළ සමහරුන් පුද්ගලික ලාභය සඳහා වූ ධනවාදී සංවර්ධනයට අනුබල දීමට ප්‍රාග්ධන වෙළඳ පොලට රුකුලක් ඇතිවන පරිදි රු. ත්‍රිලියන 1.7 ක් මුදාහැරීමේ අවිචාරවත් කඩිමුඩියක සිටින්නේ අරමුදලේ දීර්ඝ කාලීන පැවැත්ම අනතුරේ හෙලමිනි. ලංකා කම්කරු සම්මේලනය රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම අරමුදල් වල සාමාජිකයන් වන රටේ වැඩකරන ජනයාට සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පරිවර්තනය කිරීමේ රජය ගෙන ඇති සැලසුම් වල සම්පූර්ණ විස්තර හෙලි කරන ලෙසයි. රජය යෝජිත කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස ප්‍රසිද්ධ කල යුත්තේ මෙම අරමුදල් වල සාමාජිකයන්ට ප්‍රතිලාභ මෙන්ම මෙම අරමුදල් පුද්ගලික අංශයට පැවරීමේ රජයේ යෝජනාවලින් ගම්‍යවන දේ අධ්‍යයනය කිරීමට පහසු වන පරිදිය. ලංකා කම්කරු සම්මේලනය මෙහිදී පෙන්වා දීමට කැමති වන්නේ රජයේ යෝජනාවලිය පිළිබඳ මෙම අරමුදල්වල සාමාජිකයන්ගේ කැමැත්ත අකමැත්ත විමසා බැලීමේ වැඩපල මට්ටමේ සංගනනයක් පැවැත්වීමේ යාන්ත්‍රණය කම්කරු දෙපාර්තමේන්තුව සතුව ඇති බවය. රජය මෙහිදී විනිවිදභාවයෙන් බැඳී සිටිය යුතු වන්නේ මෙම මුදල් අයිති වන්නේ රජයට නොව මෙම අරමුදල් වල සාමාජිකයන්ට නිසාය.

රජයේ තීන්දු අත්තනෝමතික ලෙස වැඩකරන ජනයා මත බලෙන් පැටවීමේ ඕනෑම ප්‍රයත්නයක් රටේ සංවිධානාත්මක වැඩකරන ජනයාගේ දැඩි විරෝධයට හේතුවන ප්‍රකෝපනයක් ලෙස සළකනු ඇති බවට ලංකා කම්කරු සම්මේලනයට කිසි සැකයක් නැත.

ටී.එම්.ආර්. රසීඩින්
නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්
ලංකා කම්කරු සම්මේලනය

2015 නොවැම්බර් 17

සෝභිත හිමි: ‘විද්‍යාලංකාර ප්‍රකාශයේ’ මූර්තිමත් වන නූතන යුගයේ භික්ෂුව – ගල්කන්දේ ධම්මානන්ද හිමි

මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ චරිතයෙන් භික්ෂූන්ට උගත හැකි පාඩම්
ගල්කන්දේ ධම්මානන්ද හිමි
ගල්කන්දේ ධම්මානන්ද හිමි

1940 දශකයෙන් පසුව භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම දේශපාලන කාරණාවලට මැදිහත් වුවත් ඒ කිසි භික්ෂුවකට 1940 දශකයේ පුරෝගාමී භික්ෂූන් තම ශාස්තෘන් වහන්සේගේ ඉගැන්වීමට අනුව යමින් පෙන්වා දුන් ‘පොදුජන දේශපාලනයෙහි’ යෙදීමට නොහැකි විය. නොයෙක් ඓතිහාසික තත්වයන් යටතේ උන්වහන්සේලා යෙදුනේ ‘ආගම’ මුල්කරගත් හෝ ‘භාෂාව’ මුල් කරගත් දේශපාලනයකය. ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙයිනුත් පහළට යමින් ‘රටවැසියාගේ යහපත’ පසෙක තබා ‘පක්ෂ’ වෙනුවෙන් ද ‘පුද්ගලයන්’ වෙනුවෙන් ද දේශපාලනයෙහි යෙදුනහ. ඇතැම් විට ඒ හුදෙක් තම ආත්ම ලාභය තකා ය. 1940 දශකයෙන් පසුව මෙම තත්ත්වය වෙනස් කරන ලද ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. විශේෂයෙන්ම වඩාත් මුහුකුරාගිය භික්ෂුවක ලෙස උන්වහන්සේ විසින් කරන ලද මැදිහත්වීම තුළ මේ තත්වය වඩාත් කැපී පෙනෙයි. උන් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට එන බෞද්ධ නොවන සහ සිංහල නොවන මහා ජනපිරිස් ගෞරව දක්වන්නේ සෝභිත හිමියන්ගේ මෙම ‘පොදු ජාතික’ මැදිහත් වීමටය. මෙය හෙට ශ්‍රී ලංකාවට අදාළව සෝභිත හිමියන් විසින් උගන්වන වැදගත්ම පාඩමයි.

මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අපවත්වීම මහත් කම්පාවක් දනවන සිදුවීමකි. එය ප්‍රබලව දැනෙන්නේ උන්වහන්සේ අප ජන සමාජයට බරපතළ ලෙස දැනෙන කාර්යභාරයකට නායකත්වය දෙමින් මහජනයා වෙත වෙන කවරදාටත් වඩා සමීපව සිටිය දී මෙම අපවත් වීම සිදු වූ බැවිනි.සෝභිත හිමියන්ගේ හැත්තෑ තුන් වසරක ජීවිතයෙන් මතුකොට ගත හැකි ලංකාවේ භික්ෂූන්ට වැදගත්වන පාඩම් මොනවාද යන්න සලකා බැලීමේ දී වඩාත් වැදගත් ලෙස පෙනෙන්නේ ජාතික වසයෙන් අදාළවන දේශපාලන කාරණා වලදී උන්වහන්සේ විසින් සිදුකරනු ලැබූ මැදිහත් වීම් ක්‍රමවේදයයි. Continue reading සෝභිත හිමි: ‘විද්‍යාලංකාර ප්‍රකාශයේ’ මූර්තිමත් වන නූතන යුගයේ භික්ෂුව – ගල්කන්දේ ධම්මානන්ද හිමි