සෝභිත හිමි: ‘විද්‍යාලංකාර ප්‍රකාශයේ’ මූර්තිමත් වන නූතන යුගයේ භික්ෂුව – ගල්කන්දේ ධම්මානන්ද හිමි

මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ චරිතයෙන් භික්ෂූන්ට උගත හැකි පාඩම්
ගල්කන්දේ ධම්මානන්ද හිමි
ගල්කන්දේ ධම්මානන්ද හිමි

1940 දශකයෙන් පසුව භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම දේශපාලන කාරණාවලට මැදිහත් වුවත් ඒ කිසි භික්ෂුවකට 1940 දශකයේ පුරෝගාමී භික්ෂූන් තම ශාස්තෘන් වහන්සේගේ ඉගැන්වීමට අනුව යමින් පෙන්වා දුන් ‘පොදුජන දේශපාලනයෙහි’ යෙදීමට නොහැකි විය. නොයෙක් ඓතිහාසික තත්වයන් යටතේ උන්වහන්සේලා යෙදුනේ ‘ආගම’ මුල්කරගත් හෝ ‘භාෂාව’ මුල් කරගත් දේශපාලනයකය. ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙයිනුත් පහළට යමින් ‘රටවැසියාගේ යහපත’ පසෙක තබා ‘පක්ෂ’ වෙනුවෙන් ද ‘පුද්ගලයන්’ වෙනුවෙන් ද දේශපාලනයෙහි යෙදුනහ. ඇතැම් විට ඒ හුදෙක් තම ආත්ම ලාභය තකා ය. 1940 දශකයෙන් පසුව මෙම තත්ත්වය වෙනස් කරන ලද ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. විශේෂයෙන්ම වඩාත් මුහුකුරාගිය භික්ෂුවක ලෙස උන්වහන්සේ විසින් කරන ලද මැදිහත්වීම තුළ මේ තත්වය වඩාත් කැපී පෙනෙයි. උන් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට එන බෞද්ධ නොවන සහ සිංහල නොවන මහා ජනපිරිස් ගෞරව දක්වන්නේ සෝභිත හිමියන්ගේ මෙම ‘පොදු ජාතික’ මැදිහත් වීමටය. මෙය හෙට ශ්‍රී ලංකාවට අදාළව සෝභිත හිමියන් විසින් උගන්වන වැදගත්ම පාඩමයි.

මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අපවත්වීම මහත් කම්පාවක් දනවන සිදුවීමකි. එය ප්‍රබලව දැනෙන්නේ උන්වහන්සේ අප ජන සමාජයට බරපතළ ලෙස දැනෙන කාර්යභාරයකට නායකත්වය දෙමින් මහජනයා වෙත වෙන කවරදාටත් වඩා සමීපව සිටිය දී මෙම අපවත් වීම සිදු වූ බැවිනි.සෝභිත හිමියන්ගේ හැත්තෑ තුන් වසරක ජීවිතයෙන් මතුකොට ගත හැකි ලංකාවේ භික්ෂූන්ට වැදගත්වන පාඩම් මොනවාද යන්න සලකා බැලීමේ දී වඩාත් වැදගත් ලෙස පෙනෙන්නේ ජාතික වසයෙන් අදාළවන දේශපාලන කාරණා වලදී උන්වහන්සේ විසින් සිදුකරනු ලැබූ මැදිහත් වීම් ක්‍රමවේදයයි.

භික්ෂූන් දේශපාලනික කාරණා වලට මැදිහත් වීම සුදුසු ද යන සංවාදය ඇතිවන්නේ 1940 දශකයේ දී ය. ඒ ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ දී ය. මෙම සංවාදයට සම්බන්ධවන යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමි සහ වල්පොළ ශ්‍රී රාහුල හිමි වැනි වියත් භික්ෂූන් වහන්සේලා ‘කාලය’ පුවත් පත ඔස්සේ ද‘භික්ෂුවගේ උරුමය’ වැනි කෘති ඔස්සේ ද භික්ෂූන් වහන්සේ කෙනෙකු විසින් යෙදිය යුතු දේශපාලනය කුමක් ද යන්න සවිස්තරාත්මකව විස්තරකොට දක්වති. එම පුවත්පත් හා කෘතිවල එන අදහසෙහි සාරය ගැබ්වුණු වැදගත්ම වැකිය වන්නේ විද්‍යාලංකාර ප්‍රකාශයෙහි එන “භික්ෂු ජිවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙලක් වේ නම් – එහි නම දේශපාලනය හෝ වේවා කුමක් හෝ වේවා – එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය” යන වැකියයි. මෙම වැකියට අනුව පොදු රටවැසියාගේ යහපත මිස එක ජාතියක හෝ එක ආගමක ජනකොටසකගේ සුභසිද්ධිය සඳහා ක්‍රියා කිරීම භික්ෂුව විසින් යෙදිය යුතු දේශපාලනය නොවේ. 1947 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගැනීමට අරගල කරමින් පෙර කී භික්ෂූන් වහන්සේලා තමන් අදහස් කරන්නට යෙදුණු ‘අපේ රටවැසියාගේ යහපතට හේතුවන භික්ෂූන් මැදිහත්විය යුතු වැඩ පිළිවෙළ’ මොනවාද යන්නට ආදර්ශ සැපයූහ.

1940 දශකයෙන් පසුව භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම දේශපාලන කාරණාවලට මැදිහත් වුවත් ඒ කිසි භික්ෂුවකට 1940 දශකයේ පුරෝගාමී භික්ෂූන් තම ශාස්තෘන් වහන්සේගේ ඉගැන්වීමට අනුව යමින් පෙන්වා දුන් ‘පොදුජන දේශපාලනයෙහි’ යෙදීමට නොහැකි විය. නොයෙක් ඓතිහාසික තත්වයන් යටතේ උන්වහන්සේලා යෙදුනේ ‘ආගම’ මුල්කරගත් හෝ ‘භාෂාව’ මුල් කරගත් දේශපාලනයකය. ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙයිනුත් පහළට යමින් ‘රටවැසියාගේ යහපත’ පසෙක තබා ‘පක්ෂ’ වෙනුවෙන් ද ‘පුද්ගලයන්’ වෙනුවෙන් ද දේශපාලනයෙහි යෙදුනහ. ඇතැම් විට ඒ හුදෙක් තම ආත්ම ලාභය තකා ය. 1940 දශකයෙන් පසුව මෙම තත්ත්වය වෙනස් කරන ලද ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. විශේෂයෙන්ම වඩාත් මුහුකුරාගිය භික්ෂුවක ලෙස උන්වහන්සේ විසින් කරන ලද මැදිහත්වීම තුළ මේ තත්වය වඩාත් කැපී පෙනෙයි. උන් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට එන බෞද්ධ නොවන සහ සිංහල නොවන මහා ජනපිරිස් ගෞරව දක්වන්නේ සෝභිත හිමියන්ගේ මෙම ‘පොදු ජාතික’ මැදිහත් වීමටය. මෙය හෙට ශ්‍රී ලංකාවට අදාළව සෝභිත හිමියන් විසින් උගන්වන වැදගත්ම පාඩමයි.

1983 දී ජාතිවාදී කෝලාහල අප රටෙහි ඇතිවිය. එම කෝලාහල දේශපාලන වුවමනා මත සංවිධානාත්මකව දියත් කෙරුණු ඒවා විනා පොදු ජනයා අතරින් පැන නැගී ඒවා නොවේ. එම විපත වළක්වා ඉන් රට මුදාගැනීමට තරම් සමත් වූ කිසිවෙක් එදා ලංකාවේ නොවූහ. එනිසාම 30 වසරක විනාශකාරී යුද්ධයක් වෙත රට තල්ලු වූ අතර සහෝදරත්වයෙන් සිටි දෙමළ සහ සිංහල ජනයා බරපතළ ලෙස බේදභින්න වීම ද සිදුවිය. මේ විපතම නැවත වතාවක් 2009 න් පසුව අප රටෙහි සිදුවෙන්නට යන විට එය සම්පුර්ණයෙන්ම වැළැක්වීමට නායකත්වය දුන් භික්ෂුව වන්නේ ද සෝභිත හිමියන්ය. එහෙයින් නැවත ලේ විලක් වන්නට තිබුණු රටක් ඉන් මුදා ගැනීමට මැදිහත් වූ භික්ෂුව ලෙස ද සෝභිත හිමියන් අගය කළ හැකිය.

1940 දශකයේ දී ජාතික වසයෙන් වැදගත්වන පුරෝගාමී දේශපාලන මැදිහත්වීමක් කරන්නට යෙදුනු වල්පොළ ශ්‍රී රාහුල හිමියන්ට ද කළුපහන රේවත හිමියන්ට ද වරක් සිහි නැතිවන තුරු පහර කෑමට සිදුවිය. ඒ පහර කෑමට සිදුවූයේ එක් කුලී මැරවරයෙකු අතිනි. මෙහි දී තරුණ වයසේ හුන් රාහුල හිමියන් හෝ රේවත හිමියන් අදාළ මැරවරයාට පෙරළා පහර දෙන්නට යන්නේ නැත. ඒ වෙනුවට පහර කෑම උන්වහන්සේලා තෝරාගන්නේ තමන් නියෝජනය කරන අවිහිංසාවාදී දහම ‘පෙරළා පහර දීම’ පටහැනි වන බැවිනි.

මාදුළුවාවේ සෝභිත හිමියන්ට ද වරක් මැරවරයන්ගෙන් පහර කෑමට සිදු විය. වෙනත් නොයෙක් ආකාර වලින් සිදුකෙරුණු හිරිහැරවලට මුහුණ දීමට ද සිදු විය. එහෙත් කිසි දා උන්වහන්සේ පෙරළා පහර දුන්නේ හෝ වෛර කළේ නැත. අති දුෂ්කර තත්ත්වයන් හි සිට පවා බුදුදහමේ එන අවිහිංසාවාදී මාවතින් උන්වහන්සේ බැහැර නොවූහ. එබඳු තත්ත්වයකට මිනිසුන් පෙළඹවීමට ද හවුල් නොවූහ. මෙය ද නූතන භික්ෂූන් දැඩි අවධානයට ගතයුතු කාරණයකි.

කිසිදා පක්ෂ දේශපාලනයෙහි නොයෙදීම සෝභිත හිමියන් ලබාදුන් මීළඟ වැදගත් ආදර්ශයයි. ජාතික වශයෙන් පොදු ජනයාට යහපත ඇති කරලීම සඳහා වන දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම, රටට අහිතකර වූ ආණ්ඩුක්‍රමය වෙනස් කිරීම, යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අවශ්‍ය කොමිෂන් සභා වැනි ආයතන බිහි කිරීම හා ශක්තිමත් කිරීම වැනි පොදු කරුණු වෙනුවෙන් විනා පක්ෂයක් හෝ පුද්ගලයෙකු බලයට පත් කිරීම උන්වහන්සේගේ මැදිහත් වීම නොවීය. කිසිදා දේශපාලකයින් වර්ණනා කිරීම උන්වහන්සේ අතින් සිදු නොවූ අතර දේශපාලකයින්ගේ වේදිකා සරසන්නෙකුගේ තත්ත්වයට ද උන්වහන්සේ කිසිදා පත් නොවූහ. නිර්භය ලෙස ඕනෑම වැරැද්දක් විවේචනය කිරීමේ හැකියාව හා පෞරුෂය උන්වහන්සේට ලැබුණේ මෙම අදීනත්වය හේතුවෙනි. මේ අර්ථයෙන් ද 1940 දශකයේ ‘විද්‍යාලංකාර ප්‍රකාශයේ’ විස්තර වන ‘රටවැසියාගේ යහපතට හේතුවන දේශපාලනයෙහි යෙදුණු නූතන යුගයේ භික්ෂුවය’ යන ගෞරවය ලබන්නට මාදුළුවාවේ සෝභිත හිමියෝ හැම අතින්ම සුදුසුකම් ලබති.

Advertisements

One thought on “සෝභිත හිමි: ‘විද්‍යාලංකාර ප්‍රකාශයේ’ මූර්තිමත් වන නූතන යුගයේ භික්ෂුව – ගල්කන්දේ ධම්මානන්ද හිමි”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )