සොක‍්‍රටික ක්‍රමය : ප්‍රශ්න කිරීම සහ ඒත්තු ගැන්වීම – හනා ආරන්ඩ්ට්

හනා ආරන්ඩ්ට්
හනා ආරන්ඩ්ට්
සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිලිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම විට සොක‍්‍රටීස්ගේ ඉගැන්වීම්වල යම් මූලධර්මයන් සැකයට ලක් කිරීමට ද සොක‍්‍රටීස්ගේ මරණය, ප්ලේටෝ, යොමු කළ විටය. ඇතන්ස්හි පුරවැසියන් අතරින් වඩා හොඳ හා වඩා තරුණ අයට ඒ සා පැහැදිලි වූ, සොක‍්‍රටීස්ගේ නිර්දෝෂී බව හා ඔහුගේ සුදුසුකම් ඔහුගේ විනිසකරුවන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වීය, යන කරුණ ඒත්තු ගැන්වීමේ වලංගු භාවය ප්ලේටෝ විසින් සැකයට ලක් කිරීමට හේතු විය. ප්ලේටෝගේ මෙම සැකයේ වැදගත්කම වටහා ගැනීමට අපට දුෂ්කර වන්නේ පෙයිතෝ – එනම් පෙළඹවීමේ දේවතාවිය -වෙනුවෙන් ඇතැන්ස්හී දෙවොලක් පැවතීමේ දේශපාලන වැදගත්කම පෙනුන්ම් කරන පැරණි වචනය වන පෙයිතියන් සඳහා ඒත්තුගැන්වීම යන්න ඉතා දුර්වල හා ප‍්‍රමාණවත් නොවන පරිවර්තනයක් නිසාය. ඒත්තු ගැන්වීම, යනු සුවිශේෂ වශයෙන් දේශපාලන කතා ස්වරූපය විය. තමුන් ම්ලේච්ඡයන්ගෙන් වෙනස් වෙමින්, තම දේශපාලන කටයුතු කථනයේ ස්වරූපයෙන් හා බලාත්කාරයෙන් තොරව මෙහෙය වීය, යන කරුණ හේතුවෙන් ඇතීනියානුවන් ආඩම්බර වූයෙන්, ඔවුහු ඒත්තු ගැන්වීමේ කලාව වන අලංකාර ශාස්ත‍්‍රය, උසස්තම හා සැබෑම දේශපාලනමය කලාව ලෙස සැලකූහ. ඇපොලොජියා (Apology ) හි සොක‍්‍රටීස්ගේ කතාව ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨ ම උදාහරණයන්ගෙන් එකක් වන අතර ප්ලේටෝ ෆීඩෝ (Phaedo ) හි ”සංශෝධිත සමාව අයැදීමක්” ලියනුයේ මෙම කරුණු දැක්වීමට විරුද්ධව ය. උත්ප‍්‍රාසයෙන් යුතුව ඔහු එය ”වඩාත් ඒත්තු ගන්වන” ( pithanoteron, 63B) යනුවෙන් හැඳින්වූයේ පේ‍්‍රක්ෂකයා හුදෙක් පෙළඹවීමට වඩා බිය ගැන්වීම අරමුණු කෙරුණු, ශාරීරික දඬුවම් හා ත්‍යාගයන්ගෙන් ද සම්පූර්ණ වූ, ඊළඟ ආත්මයක් පිළිබඳ මිත්‍යාවකින් එය අවසන් වන බැවිනි.

……….
ඒත්තු ගැන්වීම නොහොත් පොළඹවා ගැනීම හා ද්වන්ධාත්මකය අතර ප‍්‍රධාන වෙනස වන්නේ, පළමුවැන්න හැම විට ම සමූහයක් අමතන අතර, ද්වන්ධාත්මකය විය හැක්කේ දෙදෙනෙකු අතර දෙබසක් ලෙස පමණක් වීමය. සොක‍්‍රටීස්ගේ වරද වූයේ ඔහු ද්වන්ධාත්මක ස්වරූපයෙන් විනිසුරුවන් ඇමතීම ය. ඔවුන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වූයේ එබැවිනි. අනෙක් අතින්, ඔහු පෙළඹවීම යන්න තුළ ඇති ආවේණික සීමාවන්ට ගරු කළෙන්, ඔහුගේ සත්‍යය, විනිසකරුවන්ගේ නො-සත්‍යයන්ට වඩා බිඳක් වත් නො වටිනා, මතයන් අතර මතයක් බවට පත් විය. තනි ඇතිනියානු පුරවැසියන් හෝ තම සිසුන් සමඟ සෑම ආකාර දෑ ගැන කතා කිරීමට ඔහු පුරුදු ව සිටි අන්දමින්, කාරණය විනිසුරුවන් සමඟ කතා කර ඉවරයක් කිරීමට සොක‍්‍රටීස්ට උදක්ම අවශ්‍ය වීය. එමගින් යම් සත්‍යයක් වෙත එළඹ, අන් අයට එය ඒත්තු ගැන්වීමට තමන්ට හැකි වනු ඇතැ යි ඔහු විශ්වාස කළේ ය. නමුත් පෙළඹවීම එනුයේ සත්‍යයෙන් නො ව, මතයන් ගෙනි. සමූහයා සම්බන්ධයෙන් ක‍්‍රියා කළයුතු අයුරු සලකා බැලිය හැක්කේ සහ දන්නේ පෙළඹවීම පමණි. සමූහයා පෙළඹවීම යන්නෙන් අදහස් වන්නේ, එහි බහු විධ මතයන් මත, යමෙකු තමන්ගේ ම මතය බලෙන් පැටවීම ය. ඒත්තුගැන්වීම නැතහොත් පෙළඹවීම ප‍්‍රචණ්ඩත්වය මඟින් පාලනයේ ප‍්‍රතිවිරුද්ධය නො වේ. එය එහි වෙනත් ස්වරූපයක් පමණි. ප්ලේටෝ නීති  (Laws) කෘතිය හැරුණු විට තම සියළු දේශපාලන සංවාද අවසන් කරන්නේ පරළොවක් පිළිබඳ මිත්‍යාවන් සමඟිනි: එම මිථ්‍යාවන් සත්‍යය හෝ හුදු මතය හෝ නොවේ. ඒවා සැලසුම් කර ඇත්තේ බිය ගැන්විය හැකි, කතා වශයෙනි. එනම්, වදන් මගින් පමණක් ප‍්‍රචණ්ඩත්වය යෙදීමේ උත්සාහයක් වශයෙනි. සමාප්තක මිත්‍යාවකින් තොර ව නීති කෘතිය අවසන් කිරීමට ඔහු ට හැකි වූයේ, එහි එන දඬුවම් පිළිබඳ සවිස්තර නියම කිරීම්, හා ඊටත් වඩා පවා විස්තරාත්මක දඬුවම් ලැයිස්තුව නිසා, හුදු වදන් මඟින් දැක්වෙන ප‍්‍රචණ්ඩත්වය අනවශ්‍ය කෙරුණු හෙයිනිි.

ක‍්‍රමානුකූල ව, යමෙකු සමඟ යමක් ගැන දිගටම කතා කිරීමට ඩයලෙජෙස්තායි යොදා ගත් ප‍්‍රථමයා සොක‍්‍රටීස් වීමට හොඳට ම ඉඩ ඇති නමුත්, ඔහු මෙය පොළඹවා ගැනීමේ ප‍්‍රතිවිරුද්ධය හෝ ප‍්‍රතිරූපය ලෙස පවා හෝ නො සැලකුවා විය හැක. ඔහු, මෙම ද්වන්ධ සංවාදයේ ප‍්‍රතිඵල, මතයට, ඩෝක්සා ට එරෙහිව ඉදිරිපත් නො කළ බව නියත ය. ඔහුගේ සහෝදර පුරවැසියන්ට මෙන් ම, සොක‍්‍රටීස්ට ද, ඩෝක්සා යනු ඩොකෙයි මොයි, එනම් මට පෙනෙන දේ, කතා ස්වරූපයට නැඟීම විය. මෙම ඩෝක්සා හි මාතෘකාව වූයේ, ඇරිස්ටෝටල් භව්‍යදේ, එයිකෝස් , බොහෝ දේ වර්සිමිලියා යැ යි (එක් අතකින්, එක ම සත්‍යයෙන් උනුම් වෙරුම් හා, අනෙක් අතින්, අසීමිත අසත්‍යයන් ෆොල්සා ඉන්ෆිනිටා ගෙන් විශදව ගත් කළ) හැඳින් වූ දේ නොවන නමුත්, ලෝකය මට විවෘත වන ආකාරයෙන් ලෝකය වටහා ගත්තේය යන්නය. එබැවින්, එය පුද්ගලනිශී‍්‍රත මනස්සෘෂ්ටිය සහ අත්තනෝමතිකභාවය නො වී ය. පරම සහ සැමට වලංගු යමක් ද නො වී ය. පිළිගැනුණු දෙය වූයේ, සෑම මිනිසාට ම ලෝකය තුළ ඔහුගේ ස්ථානයට අනුව, වෙනස් ආකාරයෙන් විවෘත වන්නේ ය යන්නයි. ලෝකයේ ”සාම්‍යය” එහි පොදු බව (ගී‍්‍රකයන් කියනු ඇති පරිදි, කොයිනොන් සැමට පොදු) හෝ (නූතන දර්ශනවාදයේ පුද්ගලනිශී‍්‍රත දෘෂ්ටි කෝණයෙන් අප කියනු ඇති පරිදි) ”වාස්තවිකත්වය” පවතිනුයේ එක ම ලෝකය සැම කෙනෙකුට ම විවෘත වන්නෙහිය සහ මිනිසුන් සහ ලෝකයේ ඔවුන්ගේ ස්ථානයන්,-එහි ඵලයක් ලෙසින් ඔවුන්ගේ ඩෝක්සා (මතයන්)-අතර ඇති සියළු වෙනස් කම් නො තකා ”ඔබ හා මම දෙදෙනා ම මානවයන් වෙමු” යන්නෙහිය.

ඩෝක්සා යන වදනෙන් මතය යන්න පමණක් නො ව, කාන්තිය හා කීර්තිය ද අදහස් වේ. ඒ අනුව, එය සෑම කෙනෙකුට ම පෙනී සිටීමට සහ තමන් කවුරුන් දැ යි පෙන්විය හැකි තැන වන මහජන පරිමණ්ඩලය, එනම් දේශපාලන තලයට නැතහොත් බල ප‍්‍රදේශයට සම්බන්ධ ය. යමෙකු තමන්ගේම මතය දැරීම අයත් වන්නේ, යමෙකුට තමන් ම දැක්වීමට හැකි වීමට, අනුන් විසින් දකිනු සහ අසනු ලැබීමට හැකි වීමට ය. ගී‍්‍රකයන්ට මෙය මහජන ජීවිතයට ඈඳුනු එක ම මහා වරප‍්‍රසාදය ද යමෙකූ අන් අය විසින් දකිනු හෝ අසනු නො ලබන තැන වන ගෘහයේ අප‍්‍රසිද්ධභාවය තුළ නොමැති වූ දේ ද විය. (ඇත්ත වශයෙන් ම, පවුල, බිරිඳ, දරුවන් සහ වහලුන් හා සේවකයන් පූර්ණ මනුෂ්‍යයන් සේ පිළි නො ගැණුනි.) පෞද්ගලික දිවියේදී යමෙකු සඟවනු ලැබ ඇති අතර, පෙනී සිටින්නට හෝ බැබළෙන්නට නොහැකිය, එබැවින් එහි දී, කිසි ඩෝක්සාවකට ඉඩක් නැත. ආණ්ඩුවේ තනතුරු හා ගෞරව පිළිකෙව් කළ සොක‍්‍රටීස් කිසි දා මෙම පෞද්ගලික ජීවිතයට, මුලු ගැන්වුණේ නැත. නමුත් ඊට පරස්පරව කඩපොළේ, මෙම ඩෝක්සා මතයන් මධ්‍යයේ ම ගැවසුණේ ය. ප්ලේටෝ පසු ව ඩයලෙජෙස්තායි යනුවෙන් කී දෙයටම සොක‍්‍රටීස් ම කීවේ මායියුටික්, වින්නඹු කලාව යනුවෙනි: අන්‍යයන්ට කෙසේ හෝ තමන් ම සිතූ දෑ බිහි කරවීමට, තමන්ගේ ඩෝක්සා හි සත්‍යය සෙවීමට, උදව් වීමට සොක‍්‍රටීස්ට ඇවැසි විය.

මෙම ක‍්‍රමයේ විශේෂත්වය පැවතියේ දෙ ආකාර විශ්වාසයක් තුළ ය: සෑම මිනිසෙකුට ම ඔහුගේ ම ඩෝක්සා, ලෝකයට ඔහුගේ ම විවර වීමක් ඇති අතර, එබැවින් සොක‍්‍රටීස් හැම විට ම ප‍්‍රශ්නයන්ගෙන් පටන් ගත යුතු ය. අන් අය සතුව ඇත්තේ කුමන ආකාරයේ ඩොකෙයි මොයි, එය-මට-පෙනෙන-අන්දම දැ යි, ඔහුට කල් තබා දැන ගත නො හැක. පොදු ලෝකය තුළ අනෙකාගේ ස්ථාවරය, ඔහු නිසැකව දැන ගත යුතු ය. තවද, කිසිවෙකුට අනෙකාගේ ඩෝක්සා කල් තබා දැන ගත නො හැකි සේ ම, කිසිවෙකුට තමන්ගේ ම මතයේ ආවේණික සත්‍යය ද තමන් විසින් ම සහ වැඩිදුර උත්සාහයෙන් තොර ව දැන ගත නො හැක. සැමට ම හිමිව තිබිය හැකි මෙම සත්‍යය එළියට ගෙන ඒමට සොක‍්‍රටීස්ට අවශ්‍ය විය. අප ඔහුගේ ම මායියුටික්, (වින්නඹු) උපමා රූපකය පිළිගන්නේ නම්, අපට මෙසේ කීමට හැකිය: එක් එක් පුරවැසියාට ඔවුන්ගේ සත්‍යයන් බිහිකර දීමෙන්, නගරය වඩාත් සත්‍යවාදී බවට පත් කිරීමට සොක‍්‍රටීස්ට උවමනා විය. මෙය කිරීමේ ක‍්‍රමය, ඩයලෙජෙස්තායි , යමක් දිගටම කතාබස් කිරීම ය. නමුත් මෙම ද්වන්ධ සංවාදය සත්‍ය ඉදිරියට ගෙන එනුයේ ඩෝක්සා හෝ මතය විනාශ කිරීමෙන් නොව ඊට පරස්පරව ඩෝක්සා එහි ම සත්‍යවාදී බවින් හෙළිදරව් කිරී මෙනි. ඒ අනුව දර්ශනවාදියාගේ කාර්ය භාරය නගරය පාලනය නො ව, එහි ‘ඇටමැස්සා’ බවට පත් වීම ය. දර්ශනවාදී සත්‍යයන් කීම නො ව, පුරවැසියන් වඩා සත්‍යවාදී බවට පත් කිරීම ය. ප්ලේටෝ සම්බන්ධයෙන් ගත් කළ මෙහි ඇති වෙනස තීරණාත්මක ය: සොක‍්‍රටීස්ට අවශ්‍ය වූයේ පුරවැසියන් දැනුවත් කිරීමට වඩා, ඔහු ද සහභාගි වූ දේශපාලන ජීවිතය සැදුම්ගත්, ඔවුන්ගේ ඩෝක්සා වැඩි දියුණු කිරීමට ය. සොක‍්‍රටීස්ට, මායියුටික් (වින්නඹු කලාව) දේශපාලන කාර්යයක්, ගනුදෙනුවක්, මූලික වශයෙන් දැඩි සමානත්වය මත පදනම් වූවක් විය. එහි ඵල අර හෝ මෙම පොදු සත්‍යය පාදා ගැන්මේ ප‍්‍රතිඵලය මගින් මිනිය නො හැකිය. එබැවින් ප්ලේටෝ ගේ මුල් සංවාද බොහෝ විට ප‍්‍රතිඵලයකින් තොරව, නිගමනයකින් තොරව, අවසන් වීම සොක‍්‍රටීස් සම්ප‍්‍රදායට එකඟ බව පැහැදිලි ය. යමක් දිගින් දිගටම කතා කරනු හැකිවීම, යමක් ගැන යම් පුරවැසියෙකුගේ ඩෝක්සා ගැන, කතා කරනු හැකිවීම ප‍්‍රමාණවත් ඵලයක් සේ පෙනිණි.

මිතුරන් අතර සංවාදය

අර්ථවත් වීම සඳහා නිගමනයක් අවශ්‍ය නොවන, මේ වර්ගයේ සංවාදය වඩාත්ම උචිත වන්නේත් ඉතා නිතර හුවමාරු කර ගනු ලැබෙන්නේත් මිතුරන් අතර බව පැහැදිළිය. ඇත්ත වශයෙන්ම, විශාල ප‍්‍රමාණයකට, මිතුරන්ට පොදු වන යමක් ගැන, මේ ආකාර කතා කිරීමෙන් මිත‍්‍රත්වය බොහෝ සෙයින් සැදුම් ගනී. ඔවුන් අතර වන දේ ගැන කතා කිරීමෙන්, එය වඩ වඩාත් ඔවුනට පොදු බවට පත් වේ. ඊට සුවිශේෂ පැහැදිලි බවින් එය වැඩෙනු පමණක් නො ව, එය වර්ධනය වී, පුළුල් වී, අවසන් වශයෙන්, කාලය හා ජීවිතයේ ගමන් මගේ දී, මිත‍්‍රත්වයෙහි බෙදා ගනු ලබන ඊට ම අයත් කුඩා ලෝකයක් සැදුම් ගැනීමට පටන් ගනී. වෙනත් වචනවලින්, දේශපාලනික වශයෙන් කියන්නේ නම්, ඇතන්ස්හි පුරවැසියන් මිතුරන් බවට පත් කිරීමට සොක‍්‍රටීස් උත්සාහ ගත්තේය. යමෙකු සියල්ලන්ගෙන් හොඳ ම තැනැත්තා බව නො කඩවා පෙන්වීමෙන් ද, ඊයි අරිසටෙයියුන්, සියල්ලන් ම සියල්ලන්ට එරෙහි දැඩි හා නො නවතින තරඟයකින් ද, සැදුම්ගත් ජීවිතයක් සහිත පුරවර රාජ්‍යයෙහි, ඇත්තෙන් ම මෙය බෙහෙවින් තේරුම් ගත හැකි අරමුණක් වීය. එය ගී‍්‍රක පෞර රාජ්‍ය අතර සන්ධානයන් ඇති කිරීම කොහෙත් ම නො හැකි බවට පත් කළ හා, පුරවැසියන්ගේ ගෘහ ජීවිතය ඊර්ෂ්‍යාව හා අන්‍යොන්‍ය වෛරයෙන් විස කළ නිසා, (ඊර්ෂ්‍යාව, පුරාණ ගී‍්‍රසියේ ජාතික දුරාචාරය විය), අවසානයේ ගී‍්‍රක පෞර රාජ්‍යයන් විනාශය වෙත ගෙන ගිය මෙම, විසංවාදී ජීව ගුණය (agonal spirit)  තූළ පොදු රාජ්‍යය නිරතුරුව තර්ජනයට ලක් විය. දේශපාලන ලෝකයේ පොදු බව සැදුම් ගත්තේ නගරයේ පවුරු සහ එහි නීති වල සීමාවන් මගින් පමණක් බැවින්, එය පුරවැසියන් අතර සම්බන්ධතාවන්හි දී මෙන්ම, එක් එක් මිනිසාට වෙනස් ආකාරයකින් විවෘත වන්නේ වූ නමුත් ඔවුන් හැමට පොදු, ඔවුන් අතර වූ ලෝකයේ දී ද දක්නට වූයේ හෝ අත්දකින ලද්දේ හෝ නො වී ය. අප සොක‍්‍රටීස් වඩා හොඳින් වටහා ගැන්ම සඳහා, ඇරිස්ටෝටල්ගේ පාරිභාෂණය යොදා ගනිතොත් – ඇරිස්ටෝටල්ගේ දේශපාලන දර්ශනවාදයේ විශාල කොටස්, විශේෂයෙන් ඔහු පැහැදිලි ව ම ප්ලේටෝට විරුද්ධ වන තැන් හිදී, සොක‍්‍රටීස් වෙත ආපසු යන්නේ ය – ජන සමාජය සැකසෙනුයේ සමානයන්ගෙන් නොව, ඊට ප‍්‍රතිවිරුද්ධ ලෙස, වෙනස් හා අසමාන මිනිසුන් ගෙන් යැ යි, ඇරිස්ටෝටල් පැහැදිලි කරන Nicomachean Ethics (නිකොමාකියානු ආචාර ධර්මය) කෘතියෙහි එම කොටස අපට දැක්විය හැක. ප‍්‍රජාව පැවැත්මට එනුයේ සමකිරීම අයිසාස්තෙනායි තුළිනි. වෛද්‍යවරයා හා ගොවියා අතර මෙන්, මෙම සමකිරීම සියළුම හුවමාරුවල දී සිදු වන අතර එය පදනම් වනුයේ මුදල් මත ය. ආර්ථික නො වන, දේශපාලන සමකිරීම මිත‍්‍රත්වය, ෆිලියා ය. ඇරිස්ටෝටල් මිත‍්‍රත්වය අවශ්‍යතාවට සහ හුවමාරුවට සාදෘශ්‍යව දැකීම, ඔහුගේ දේශපාලන දර්ශනයේ ආවේනික භෞතිකවාදයට සම්බන්ධ වේ, එනම්, මිනිසුන් තම ජීවිතයේ අවශ්‍යතාවන් නිදහස් කර ගැනීමට පරිශ‍්‍රම දරණ නිසාවෙන්, දේශපාලනය අවසානයේ අවශ්‍යය වන්නේය යන ස්ථිර විශ්වාසයට සම්බන්ධ වේ. ආහාර ගැනීම ජීවිතය නො ව ජීවත් වීමට කොන්දේසිය වන්නා සේ ම, පුරවර රාජ්‍යයෙහි එකට ජීවත් වීම ද, යහපත් ජීවිතය නො ව එහි භෞතික කොන්දේසිය යි. එබැවින් ඔහු අවසන් වශයෙන් මිත‍්‍රත්වය දකිනුයේ පුරවර රාජ්‍යයේ දෘෂ්ටි කෝණයෙන් නො ව, තනි පුරවැසියාගේ දෘෂ්ටි කෝණයෙනි: මිත‍්‍රත්වයේ අතිශ්‍රේෂ්ඨ යුක්තිසහගත බව වන්නේ ”ඔහුට අන් සියලූ දේ තිබුණත් මිතුරන් නොමැතිව ජීවත් වීම කිසිවකූ තෝරා නොගන්නේ” යන්නයි. ඇත්ත වශයෙන් ම මිත‍්‍රත්වය තුළ සමකිරීමෙන් අදහස් වනුයේ මිතුරන් එක ම හෝ එකිනෙකාට සම වන බවට පත් වන බව නො ව, වඩාත්, ඔවුන් පොදු ලොවක සමාන කොටස්කරුවන් බවට පත් වන බවය-ඔවුන් එක්ව ප‍්‍රජාවක් සැදුම් ගන්නා බව ය. ප‍්‍රජාව යනු මිත‍්‍රත්වය විසින් ඉටු කර ගනු ලබන්න යි. මෙම සම කිරීමට, එහි විවාදාත්මක කරුණ වශයෙන්, විසංවාදී ජීවිතයකට ආවේණික, පුරවැසියන්ගේ සදා වැඩිවන විභේදනය අයත් වන බව පැහැදිළි ය. ප‍්‍රජාවන්හි බැම්ම ලෙස පෙනෙනුයේ යුක්තිය (යුක්තිය පිළිබඳ ශ්‍රේෂ්ට සංවාදය වූ  ජනරජය  හි ප්ලේටෝ තරයේ කියා සිටි පරිදි) නොව, මිත‍්‍රත්වය යැ යි ඇරිස්ටෝටල් නිගමනය කරන්නේ ය. මිතුරන් අතර යුක්තිය තවදුරටත් අවශ්‍ය නො වනුයෙන් ඇරිස්ටෝටල්ට මිත‍්‍රත්වය යුක්තියට වඩා උසස්ය.

මිත‍්‍රත්වයේ දේශපාලන මූලාංගය වනුයේ, සත්‍යවාදී සංවාදයේ දී, එක් එක් මිතුරාට අනෙකාගේ මතයේ ආවේනික සත්‍යය වටහා ගත හැකි වීම ය. මෙහි දී එක් මිතුරෙකුට වැටහෙන්නේ, ඔහුගේ මිතුරා පුද්ගලයෙකු වශයෙන් වීමට (වටහා ගන්නවා)ට වඩා, පුද්ගලයකු වශයෙන් සදහට ම අසමාන හෝ වෙනස් අයෙකු වන අනෙකාට පොදු ලෝකය පෙනෙනුයේ කෙසේ ද, කුමන සුවිශේෂ පැහැදිලි බවකින් දැ යි යන්න තුළය. මේ ආකාර අවබෝධය-(අප තරමක් නිරස ආකාරයෙන් අද කියන පරිදි) අනෙකාගේ දෘෂ්ටි කෝණයෙන් ලෝකය දැකීම-දේශපාලන වර්ගයේ විශිෂ්ඨතම අන්තර්දෘෂ්ටිය වේ. රාජ්‍යතාන්ති‍්‍රකයාගේ එක් අද්විතීය සද්ගුණය සාම්ප‍්‍රදායික අර්ථ දැක්වීමට අපට අවශ්‍යය වී නම් එය යුක්ත වන්නේ යථාර්තයන්, එනම් ඒවා පුරවැසියන්ගේ මතයන්ට විවෘතවන අයුරින් ඒවා විය හැකි වැඩිම සංඛ්‍යාව හා විවිධත්වය අවබෝධකර ගැන්මෙන් (පුද්ගලනිශී‍්‍රත දෘෂ්ථිකෝණයෙන් නොවේ. එයද, සැබැවින්ම පවතිණ නමුත් මෙහිදී අපට අදාළ නොවේ.) සහ ඒ එකම විට මෙම ලෝකයේ පොදු බව දෘෂ්‍යමාන වන පරිදි පුරවැසියන් සහ ඔවුන්ගේ මතයන් අතර අදහස් හුවමාරු කිරීමට හැකිවීමෙන් යයි අපට කිව හැක. එවන් අවබෝධයක් – සහ ඉන් පොළඹවන ලැබූ කි‍්‍රයා – රාජ්‍ය තාන්ති‍්‍රකයාගේ උපකාරයෙන් තොර ව සිද්ධ වීමට නම්, ඒ සඳහා පූර්ව අවශ්‍යතාව වනු ඇත්තේ එක් එක් පුරවැසියා, ඔහුගේ මතය එහි සත්‍ය භාවයෙන් යුතුව දැක්වීම සඳහා (එය) ප‍්‍රමාණවත් තරම් පැහැදිලි ව ප‍්‍රකාශ කිරීමට හැකි කමින් යුතු වීම සහ එබැවින් ඔහුගේ සහෝදර පුරවැසියන් තේරුම් ගැන්මට හැකි වීමය. දර්ශනවාදියාගේ දේශපාලන කාර්යය පාලකත්වයක් අවශ්‍ය නො වන, මිත‍්‍රත්වයේ අවබෝධය මත ගොඩනැගුණු, මේ ආකාර පොදු ලෝකයක් ස්ථාපිත කිරීමට ආධාර කිරීම යැයි, සොක‍්‍රටීස් විශ්වාස කළ බවක් පෙනේ.

මෙම අරමුණ සඳහා සොක‍්‍රටීස් අන්තර්දෘෂ්ටීන් දෙකක් කෙරෙහි විශ්වාස ය තැබී ය. ඉන් එකක් ඩෙල්ෆික් ඇපොලෝ (ගී‍්‍රක මහ දෙවියා)ගේ නෝති සෝතොන් තමන්වම දැනගන්න යන වදනෙ හි අඩංගු වූ අතර අනෙක ප්ලේටෝ විසින් සඳහන් කරන ලද (හා ඇරිස්ටෝටල්ගේ කෘතීන්හීත් දෝංකාර දුන්) ‘මා එක් අයෙකු වන බැවින් මා සමගම මත භේදයෙන් සිටීමට වඩා, මුලූ ලොව ම සමග මත භේදයෙන් සිටීම හොඳ ය’ යන්නෙහි විය. විශිෂ්ටත්වය නැතහොත් සද්ගුණය ඉගැන්වීමට හා උගැන්මට හැක යන සොක‍්‍රටික වැටහීමට ප‍්‍රධාන වන වැකිය පසුව දක්වන ලද්දයි.

සොක‍්‍රටික අවබෝධය තුළ, ‘තමන් දැනගනු’ යන ඩෙල්ෆික් වදනෙන් අදහස් වූ යේ: මට කවදා හෝ සත්‍යය අවබෝධ කර ගත හැක්කේ මට දෘෂ්‍යමාන වන දේ-මට පමණක් සහ, එබැවින් සදහට ම මගේම සංයුක්ත පැවැත්මට සම්බන්ධව පවතින-දැන ගැන්ම තුළින් පමණි. සියලූ මිනිසුන්ට එක ම වන හා එබැවින් අසම්බන්ධ, එක් එක් මිනිසාගේ පැවැත්මෙන් නිදහස්, පරම සත්‍යය මරණීයයන් සඳහා පැවතිය නො හැක. මරණීයයන්ට වැදගත් දේ වනුයේ ඩෝක්සා සත්‍යවාදී බවට පත් කිරිම, සෑම ඩෝක්සා ඩොක්සාවකම සත්‍යය දැකීම සහ, යමෙකුගේ මතයේ සත්‍ය බව යමෙකුට ම සහ අන් අයටත් එයම විසින් හෙළි කෙරෙන ආකාරයකින් කතා කිරීම ය. මෙම මට්ටමින්, සොක‍්‍රටීස්ගේ ”මා නොදන්නා බව මම දනිමි” යන්නෙන් වැඩි කිසිවක් අදහස් නො වේ: සැම දෙනම සඳහා ම සත්‍යය මට නොමැති බව මම දනිමි, ඔහුගෙන් ඇසීමෙන් හා එමගින්, අන් සැමගෙන්ම වෙනස් ව ඔහුට එය ම හෙළි දක්වන ඔහුගේ ඩෝක්සා දැන ගැනීමෙන් හැර, අනෙක් පුද්ගලයා ගේ සත්‍යය මට දැනගත නො හැක. සොක‍්‍රටීස් මරණීයයන් සඳහා සත්‍යයේ සීමා, ඩොකෙයින් එනම්, දෘශ්‍යමානවීම් තුළින් එහි සීමාවන්, පිළිගෙන තිබූ නිසාත්, ඒ අතර ම ඔහු, විතණ්ඩවාදී (ගුරුකුලය)ට ප‍්‍රතිවිරුද්ධව, ඩෝක්සා යනු පුද්ගලනිශ‍්‍රීත මායාව වත් හෝ හිතුවක්කාර විකෘතිය වත් නො ව, ඊට පරස්පර ලෙස, සත්‍යය වෙනස් කළ නො හැකි අයුරින් ඇලුණු දෙය යැ යි සොයා ගත් නිසාත්, ඩෙල්ෆික් පේනය සියලූ මිනිසුන්ගෙන් නැණවත් ම මිනිසා ලෙස සොක‍්‍රටීස්ට ගරු කළේ ය. විතණ්ඩවාදී (ගුරුකුලයේ) ඉගැන්වීම් වල පරම සාරය අඩංගු වූයේ ඩියො ලොගොයි එක් එක් කරුණ ගැන වෙනස් ආකාර දෙකකින් කතා කළ හැකි’යි අවධාරණය කිරීමෙහි නම්, එවිට ඔවුන්ගෙන් ශ්‍රේෂ්ට ම විතණ්ඩවාදියා සොක‍්‍රටීස් ය. මිනිසුන් සිටින තරමට ම, වෙනස් ලොගොයි සංඛ්‍යාවක් තිබේ හෝ තිබිය යුතු යැ යි ද, කථනයේ ආකාරයෙන් මිනිසුන් එකට ජීවත් වන තාක්, මේ සියලු ලොගොයි එක් වී මිනිස් ලෝකය සකසන්නේ යැ යි ද, ඔහු සිතූ බැවිනි.

හනා අරෙන්ඞ්ට් ගේ ” දර්ශනවාදය හා දේශපාලනය” 

Philosophy and Politics BY HANNAH ARENDT SOCIAL RESEARCH, Vol. 57, No. 1 (Spring 1990)

ලිපියෙන් උපුටා ගත් කොටස් වල 

පරිවර්තනය (c) සියලු හිමිකම් ‘කතිකා’ අධ්‍යයන කවය සතුය. උපුටා පළකිරීම සපුරා තහනම් 

සොක්‍රටික ක්‍රමය ගැන තව දුරටත් බලන්න මෙහි

Advertisements