දුටුගැමුණු යලි ඉපදී ඇතත් මෙවර ඔහු තුළ බෞද්ධ හෘදසාක්ෂියක් නම් නැත (දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:3 කොටස) -ගණනාථ ඔබේසේකර

 ගණනාථ ඔබේසේකර සමළුවක දී බෞද්ධ කතන්දර කීමේ සම්ප්‍රදාය ගැන
ගණනාථ ඔබේසේකර සමළුවක දී බෞද්ධ කතන්දර කීමේ සම්ප්‍රදාය ගැන

“මේ කථාන්තර කීම තුළින් ත්‍රිපිටක සම්ප්‍රදායට අයත් තේරුම් ගැනීමට අපහසු ගැඹුරු සංකල්ප ගැමියන්ගේ එදිනෙදා ජීවිතයට හා ආචාර ධර්මවලට එකතු වූහ. මේවා නිදා නොවැටී අසා සිටිය හැකි කථාන්තර නිසා දෙමාපියනට ඒවා තම දරුවන්ට කුඩා කල සිටම කියා දීමට හැකි විය. දරුවෝ ද මහත් අභිරුචියෙන් මේ කථාන්තරවල ඇති චරිත සමඟ තවමත් හඳුන්වා ගැනීමෙන් හා තම දෙමාපියන් දැරූ ඇගයුම් තමන්ගේ ම යැයි සළකා ගැනීමෙන් මේ කථාන්තරවල ඇති අර්ථයන් තම චින්තනයට ඇතුළු කර ගත්හ. මේ අන්දමට සමාජ ජීවිතයට මුසුවුනු කථාන්තර තුළින් ඇතිවුනු බෞද්ධ මානව භක්තිය අර කලින් සඳහන් කළ වහා මතු නොවී යටින් පැසෙමින් පවතින දේශපාලනික ආගමේ අඳුරු යටිපැත්ත සෑහෙන දුරට මර්ධනය කිරීමට සමත් විය. මගේ ළමා වියේ දී මා වටා සිටි මිනිස්සු මේ කථාන්තර මා සමඟ ද කීවෝය. මා වැඩිමහළු වියට පැමිණෙන විට මේ කථාන්තර සම්ප්‍රදායට සමාජයේ තැනක් ලැබුනේ නැත. මගේ ළමා වියේ ගම්මානවල මලගෙවල්වල රෑ නොනිඳා සිටිය යුතු විය. මිනිස්සු වෙස්සන්තර ජාතකය ජනප්‍රිය තියුණු කවියෙන් කීවෝය. දැන්නම් ඒ වෙනුවට ඒ ගම්වල මිනිස්සු කරන්නේ, මලගෙවල්වලට පොලීසියෙන් නො එන නිසා භය නැතිව, මුදලාලිලා විසින් සංවිධානය කරනු ලබන බූරුවාපිටි වැද්ද ගැනීමය. නූතන ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මය පාසැල් විෂයයක් ලෙස උගන්වන නවීන පාඨශාලාවල ඉගෙන ගන්නා මගේ බෑනලා ළේලිලා‍ පරම්පරාවක් බෞද්ධ හෘද සාක්ෂිය හා ගැමි ජීවිතය පෝෂණය කළ මේ කථා සම්ප්‍රදාය ගැන වැඩි යමක් දන්නේ නැත. ඔවුහු තමන් දන්නා කථාන්තරවල වුව ද තේරුම නොදනිති.කරුණු මෙසේ නම් නූතන යුගය බෞද්ධ හෘදසාක්ෂිය කඩා බිඳ දැමීමේ ක්‍රියාවලියක් බිහි කර ඇත.”

Continue reading දුටුගැමුණු යලි ඉපදී ඇතත් මෙවර ඔහු තුළ බෞද්ධ හෘදසාක්ෂියක් නම් නැත (දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:3 කොටස) -ගණනාථ ඔබේසේකර

ධනේශ්වර සංවර්ධනය අනිවාර්ය ඓතිහාසික ඉරණමක් නොවේ – කුමුදු කුසුම් කුමාර

ගෝලීය නව ලිබරල්වාදී යුගයේ වමේ දේශපාලනය
ඩේවිඩ් හාර්වි
ඩේවිඩ් හාර්වි

“මෙහිදී පළමුව, ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස් ගේ විග්‍රහය විශ්වීය ඓතිහාසික අනිවාර්යයක් පිළිබඳ න්‍යායක් නොවන බව අප වටහා ගත යුතුය. යුරෝපයේ පැවැති තත්වයන් පිළිබඳ අධ්‍යයනයකින් මාක්ස් ගොඩනැඟූ ඓතිහාසික භෞතිකවාදය “ තමන් එතුළ සිටින ඓතිහාසික තත්වයන් කුමක් වුවත් හැම ජනතාවක් මත ඉරණම විසින් පණවනු ලැබූ ලැබූ පොදු මාවතක් (marche generale) පිළිබඳ ඓතිහාසික-දාර්ශනික න්‍යායයක්” නොවේ යැයි මාක්ස් ම 1877 දී Otecestvenniye Zapisky ට ලිපියක් ලියමින් කියා සිටියේය. කිසියම් රටක් ධනේශ්වර සංවර්ධනයක් අත්පත් කර ගැනීම අනිවාර්ය ඓතිහාසික ඉරණමකින් තීරණය වන්නක් නොවේ. එමෙන්ම සමාජවාදය ගොඩ නැංවීමේ උත්සාහයේදී හැම රටක්ම අනිවාර්යයෙන් ධනේශ්වර අවධියට සංක්‍රමණය වී එය පසුකොට යා යුතු යැයි මාක්ස් අදහස් කරන්නේද නැත. රටක සමාජීය වෙනස් වීම් ඓතිහාසිකව තීරණය කෙරෙනු ඇත්තේ දේශපාලනයේ කෙරෙන සක්‍රීය අරගලයන් තුළිනි.”

මාක්ස් ‍ඓතිහාසික භෞතිකවාදයේදී පංති අරගලයේ න්‍යායට ඌණ පූරකයක් ලෙස ඉදිරිපත් කළ ආර්ථික සංවර්ධනයේ අවධි න්‍යායට අනුව අනුක්‍රමික අවධීන් පහක් – වහල්, වැඩවසම්, ධනවාදී, සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී යුග හරහා බටහිර යු‍රෝපයේ මානව ඉතිහාසය පරිණාමය වෙයි. මේ එක් එක් යුගයක් මානව යහපැවැත්ම තීන්දු කරන මූලික අවශ්‍යතා සපයා දෙන භෞතික තත්වයන්ගේ වර්ධනය අතින් ගත් කළ ඉන් පෙර ආ එකට ඉදිරියෙන් සිටියි.

ඒ අනුව වැඩවසම්වාදය ඉක්මවා ධනවාදය සංවර්ධනය විම සමාජවාදය කරා සිදුවන පරිණාමයේ ප්‍රගතිශීලී පියවරකි. කාර්මික විප්ලවය සහ ප්‍රංශ විප්ලවය පසුබිමෙහි ඇති වූ විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයන් කෘෂිකර්මයේ ඵලදායීතාව ඉහළ නැංවීම නිසා කෘෂිකාර්මයෙන් ශ්‍රමය විතැන් වූ අතර එම ශ්‍රමය යොදා ගත හැකි කාර්මික අංශ නගරාශ්‍රිතව වර්ධනය විය. 18 වැනි සියවසේ එංගලන්තයේ සිදු වූ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය එරට වැඩවසම් ක්‍රමය ධනවාදය දක්වා විප්ලවීය විපර්යාසයට ලක් කිරීමෙහි ලා සංස්ථිතික භූමිකාවක් රඟදැක්වූ බවද මාක්ස් දක්වා ඇත. ඒ මගින්, යැපුම් මාර්ගයක්ව පැවති ඉඩම් වෙළෙඳ පොළ භාණ්ඩයක් බවට හැරවීම සහ සුළු ගොවි ඉඩම් හිමියන් සහ ප්‍රවේණි දාසයන් කෘෂිකාර්මික කම්කරුවන් බවට විපරිණාමය කෙරිණි.

මාක්ස්වාදී උරුමයේ එන මෙම සුපතළ විග්‍රහයන් සිහිපත් කරන්නේ වත්මනෙහි ලංකාවේ වමේ දේශපාලනයේ අරමුණ කුමක් විය යුතුද? යන්න පිළිබඳ සාකච්ඡාවකට පූර්විකාවක් වශයෙනි. එහිදී පැහැදිළි කර ගත යුතු කරුණක් නම් ධනේශ්වර සංවර්ධනය පිළිබඳ අදහස සහ එතුළ වමේ දේශපාලනයේ භූමිකාව කුමක් විය යුතුද? යන්නයි.

මෙහිදී පළමුව, ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස් ගේ විග්‍රහය විශ්වීය ඓතිහාසික අනිවාර්යයක් පිළිබඳ න්‍යායක් නොවන බව අප වටහා ගත යුතුය. යුරෝපයේ පැවැති තත්වයන් පිළිබඳ අධ්‍යයනයකින් මාක්ස් ගොඩනැඟූ ඓතිහාසික භෞතිකවාදය “ තමන් එතුළ සිටින ඓතිහාසික තත්වයන් කුමක් වුවත් හැම ජනතාවක් මත ඉරණම විසින් පණවනු ලැබූ ලැබූ පොදු මාවතක් (marche generale) පිළිබඳ ඓතිහාසික-දාර්ශනික න්‍යායයක්” නොවේ යැයි මාක්ස් ම 1877 දී Otecestvenniye Zapisky ට ලිපියක් ලියමින් කියා සිටියේය. කිසියම් රටක් ධනේශ්වර සංවර්ධනයක් අත්පත් කර ගැනීම අනිවාර්ය ඓතිහාසික ඉරණමකින් තීරණය වන්නක් නොවේ. එමෙන්ම සමාජවාදය ගොඩ නැංවීමේ උත්සාහයේදී හැම රටක්ම අනිවාර්යයෙන් ධනේශ්වර අවධියට සංක්‍රමණය වී එය පසුකොට යා යුතු යැයි මාක්ස් අදහස් කරන්නේද නැත. රටක සමාජීය වෙනස් වීම් ඓතිහාසිකව තීරණය කෙරෙනු ඇත්තේ දේශපාලනයේ කෙරෙන සක්‍රීය අරගලයන් තුළිනි.

තවද, වමේ දේශපාලනයේ අපේක්ෂාවන් ධනවාදී සමාජයක් බිහිවීමෙන් අගතැන් පත්වන ඒවා නොව ඉන් ඔබ්බට යන ඒවාය. සමාජවාදය පසෙක තිබියේවා, ජනවාරි 8 වැනිදා ව්‍යාපාරයේ වමේ මූලික ඉල්ලීම් වූ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වුව ධනේශ්වර සංවර්ධනයක් තුළත් සපුරා තෘප්තිමත් කෙරෙන ඒවා නොවේ.

සමාජවාදය යනු මානවයන්ට වඩා යහපත් ජීවන තත්වයක් සහ යහ පැවැත්මක් සහතික කරන මානවවාදී සමාජයක් නම් ඒ සඳහා අරගල කිරීමේදී වමේ දේශපාලනය ධනවාදයෙහි වත්මන් ස්වරූපය වටහා ගත යුතුය.

මෙම ගෝලීය ධනවාද‍යේ හරය කාර්මිකකරණය නොව මූල්‍යකරණයයි. එහි අද වන විට සිදුවී ඇති කඩා වැටීමට පිළියමක් ලෙස මුදා හැර ඇත්තේ රාජ්‍ය අංශය දිය කර හැරීමේ නව-ලිබරල්වාදී ප්‍රතිපත්තියයි. ‍ඩේවිඩ් හාර්වි නමැති මාක්ස්වාදී ශාස්ත්‍රඥයා විග්‍රහ කොට ඇති පරිදි නව-ලිබරල්වාදයේ වත්මන් එළඹුම ‘භුක්තිය අසන්තක කිරීම මගින් සිදුවන සමුච්ඡකරණය’ යි. එනම්, එය රාජ්‍ය අංශය දිය කර හැරීමට අමතරව දුප්පතුන් අත ඇති ඉඩම්, නිවාස සහ ඉතුරුම් වැනි සම්පත් ඔවුන්ට අසන්තක කොට වෙළෙඳ පොළේ ප්‍රාග්ධනය සමුච්ඡායනය සඳහා මුදා හැරීම අරමුණු කරයි. අහිලන් කදිර්ගාමර් ( මූලාශ්‍ර සඳහා ලිපිය අග බලන්න ) සාකච්ඡා කරන පරිදි “ මෙහි අදහස නම් ජනතාවගේ වත්කම් හා විවිධ හිමිකම් එනම් තමන්ගේ ඉඩම්වලට, නිවාසවලට, ඉතුරුම්වලට සහ අධ්‍යාපනය හා සුවසේවාව ආදී සුබසාධන සේවාවලට අදාළව ජනතාවට තිබෙන හිමිකම් ඔවුන්ගෙන් උදුරා ගැනීම තුළින් ද ධනය සමුච්ඡකරණය වේ” යන්නයි. ආර්ථික සම්පත් ප්‍රයෝජ්‍ය වටිනාකම් සඳහා පරිහරණයෙන් මුදවා හුවමාරු වටිනාකම් ලෙස අලෙවි කිරීමට සහ මිළ දී ගැනීමට වෙළෙද පොළට මුදා හැරීමට මේ මගින් සිදු ඉඩ සැළසෙයි.

මෙම එකම ක්‍රියාවලියේම දිගුවක් ලෙස නගර ප්‍රභූකරණයට ලක් කිරීම, දුප්පතුන් තම නිවාස වලින් පළවා හැර එම ඉඩම් ප්‍රාග්ධන සමුච්ඡායනයට සම්පත් වශයෙන් ලෝක වෙළෙඳ ‍පොළට මුදා හැරෙයි.

රනිල් වික්‍රමසිංහ රජයේ වත්මන් ආර්ථික ප්‍රතිපත්ති සහ ඒ අනුව යන අය-වැය ගම්‍යමාන කරන සමාජීය වෙනස් කම් අප වටහා ගත යුත්තේ නව-ලිබරල් ධනවාදය පිළිබඳ ඉහත පසුබිමෙහිය. ශ්‍රම, ඉඩම් සහ මූල්‍ය වෙළෙඳ පොළ නිර්බාධීකරණය ඉලක්ක කරගත් මෙම ප්‍රතිපත්ති ලංකාවේ නව-ලිබරල්වාදි ආර්ථික පිළිවෙත ඉදිරියට ගෙනයාමේ තෙවැනි අදියර බව මාක්ස්වාදී විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. විජේ නාගරාජ් ( මූලාශ්‍රය සඳහා ලිපිය අග බලන්න ) තර්ක කරන පරිදි ඔප්පු නැති කෘෂිකාර්මික හෝ ‍නේවාසික ඉඩම් භුක්ති විඳින්නන්ට ඒවාට ඔප්පු දීම එම ඉඩම් වෙළෙඳ පොලේ අළෙවිය සඳහා නිදහස් කිරීමකි. මෙය ඉඩම් අයිතිය සහතික කිරීමක් වන නමුත් ඉඩම් හිමියන්ගේ ආර්ථිකය සුරක්ෂිත කෙරෙන ආරක්ෂණ පියවර වලින් තොරව දිළිඳු සහ පහළ මැද පන්තීන්ට තම දේපළ අසන්තික කිරීමේ ක්‍රියාවලියක් බවට මෙය වර්ධනය විය හැකිය. එවැන්නකින් එංගලන්තයේ ඉඩම් කොටුකිරීමේ ව්‍යාපාරය බඳු ධනේශ්වර කෘෂිකාර්මික සංවර්ධනයක් ලංකාවේ සිදු වෙතැයි තහවුරු කිරීමට පදනමක් නැත. කෙසේ හෝ එවැන්නක් සිදුවුවත් ගොවීන්ට ඉඩම් අසන්තක කොට නගරයට පළවා හැරෙන ක්‍රියාවලියකට මානව හිතවාදී වාමාංශිකයන්ට එකඟ විය නොහැකිය. මෙම ගැමියන්ගේ ජිවන තත්වය නගා සිටුවන රැකියා උත්පාදනය කෙරෙන නිසි ආකාරයක් ද දක්නට නොමැති පසුබිමක මෙහි බරපතළකම වඩාත් මතුවෙයි.

මෙම ඉඩම් වෙළෙඳ පොළට මුදාහැරීම සහල් වෙනුවට අපනයන භෝග කෘෂිකර්මයක් සංවර්ධනය කිරීම ඉලක්ක කරයි. එය සහල් මත පදනම් වූ ආහාර සුරක්ෂිතතාවට වළ කපනු ඇත. අහිලන් කදිර්ගාමර් (බලන්න, පහත මූලාශ්‍ර) මතුකළ දකුණු ආසියාවේ සහල් වෘතාන්තයේ ප්‍රබල කම පිළිබඳ අදහස ගම්‍ය කරන්නේ සහල් කෘෂිකර්මයේ කේන්ද්‍රීයභාවයට හානි පැමිණවීමේ උත්සාහයන් බරපතළ සමාජීය ඵලවිපාක උදාකළ හැකි බවයි.

වත්මන් රජයේ මුඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ මෙගාපොලිස් මහා නාගරික සංවර්ධන වැඩ පිළි‍වෙළ ද දේපොළ සම්පත් සමපේක්ෂණය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළට මුදා හැරීමට යොමුවනු ඇත.එමගින් දුප්පතුන් සහ මැද පංතිකයන් භුක්ති විඳින ඉඩම් සංවර්ධනයේ නාමයෙන් නීති පනවා අසන්තක කිරීමේ අවදානමක් පවතී. එහෙයින් මෙගාපොලිස් ව්‍යාපෘතිය පාරදෘෂ්‍ය වගකීමේ ක්‍රියාවලියක් හරහා මහජනයාගේ අදහස් විමසීමට විවෘත කළ යුතු බවට විද්වතුන් (බලන්න, පහත මූලා මූලාශ්‍රය) කරන ඉල්ලීම බැරෑරුම්ව සළකා බැලිය යුතුය.

ඉහත කරුණු පසුබිමෙහි අප වමේ දේශපාලනය වත්මනට ගැළපෙන ආකාරයෙන් අරුත් ගැන්විය යුත්තේ කෙසේද? යන්න සාකච්ඡාවට ගැනීම අපගේ මඟ හැර යා නොහැකි වගකීමයි.

මූලාශ්‍ර

1. අහිලන් කදිර්ගාමර්, 2016 අයවැය – භුක්තිය අසන්තක කිරීම මගින් ප‍්‍රාග්ධනය සමුච්ඡනයේ මාර්ග සිතියමක් ලෙස, සහ 2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය, ලිපි සඳහා බලන්න: kathika.wordpress.com වෙබ් අඩවිය.

2. Vijay Nagaraj, What the 2016 budget means for land rights, Sunday Times, 2015.12.13, Business Times.

3. Civil Society Calls For Transparency In Megapolis Plan, December 16, 2015, Colombo Telegraph).

මිනිසාගේ දෙවැනි මරණය: ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

මිනිසාගේ දෙවැනි මරණය
The Defeat of the Mind (මනසේ පරාජය)
The Defeat of the Mind (මනසේ පරාජය)

“මිනිසා තව දුරටත් තම භූගෝලීය සහ ඓතිහාසික සත්තාවේ එක් ආකාරයකට – එනම් වියුක්ත මානවවාදය මත පදනම් වූ යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ට – පමණක් සහමුලින් පළායන්නේ යැයි අපට කිව හැකිද? ශීතල යුද්ධයේ අවසානයත් සමග ඉතිහාසය අවසන් විණැයි ෆුකුයාමා ලිබරල්වාදී දේශපාලන ව්‍යාපෘතිය ලොව දේශපාලන විකාශනයේ අවසානය යැයි යෝජනා කළද අද වන විට යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය බටහිරමත් බරපතළ අර්බුදයකට ගමන් කොට තිබේ. ඒ අතරම යුරෝපීය නොවන ලංකාව වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂාවන් වත්මනෙහි යළිත් අලුත් වී තිබීම පෙන්නුම් කරන්නේ දේශපාලනක්‍රමයක් වශයෙන් යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ඇතැයි තීන්දු ප්‍රකාශ කරන්නට අප ඉක්මන් නොවිය යුතු බව නොවේද? යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදයේ මූල ධර්ම කරා යළි යාමේ අභියෝගය මෙන්ම එය ගැඹුරු කිරීමත් අද ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුරවැසි ජනතාවන් මුහුණ දී ඇති බරපතළ අභියෝගය වන්නේය.”

Continue reading මිනිසාගේ දෙවැනි මරණය: ෆින්කල්ක්‍රෝත් ගේ “මනසේ පරාජය” කෘතිය ගැන සාකච්ඡාව– (6)

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (2 කොටස) :මිථ්‍යා කථා වාද විවාද හා ඉතිහාසය-මහාචාර්ය ගණනාථ ඔබේසේකර

ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර

“මහාවංශය කෙතරම් වෙහෙස දැරුවද සාමාන්‍ය සදාචාර ධර්මයන්ට අනුකූලව සෝනුත්තරගේ සහ අනෙකුත් භික්ෂූන්ගේ ක්‍රියා කලාප වංචාවෙන් හා හොරකමෙන් වෙන් කළ නොහැක. මට සිතෙන අන්දමට සාමාන්‍ය ගැමියන්ගේ හෘදසාක්ෂිය උගතුන්ගේ සහ භික්ෂූන්ගේ‍ හෘදසාක්ෂියට වඩා සියුම්ය. වහා සසලවන සුළුය. ඔවුන් සිංහල ථූපවංශයේ ඇති කථා ස්වරූපය තම මිථ්‍යා කථා ආකෘති තුළ යළි යළිත් හුවා දක්වා ඇත. දුටුගැමුණු රජ නාගයෙකු විසින් දෂ්ඨ කිරීම නිසා කාලක්‍රියා කළේ පව් පලදීම නිසාය. කොත්මලේ ගැමියන් ගෙතූ කථාවේ එන රජුගේ මරණය පිළිබඳ තොරතුර ලේඛනගත නොවූ මිථ්‍යා කථා රාශියක් ද ඒවායේ විවිධ ස්වරූප හා ඒ තුළ ගැබ් වූ විවිධ වාද විවාද රාශියක් මත පදනම් වූවා වෙන්නට පුළුවන. යමෙකු තමාගේ ප්‍රතිභාවයන් යොදා මේ වාද විවාදවල අර්ථයන් යළි ගොඩනංවන්නට පුළුවන. එනම්, භික්ෂුව විසින් වංචා කරනු ලැබූ නාගයින් ශාප කළ නිසා රජු රුවන්වැලිසෑය නිම වීමට පෙර මිය ගියේය යන්නය.”

Continue reading දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (2 කොටස) :මිථ්‍යා කථා වාද විවාද හා ඉතිහාසය-මහාචාර්ය ගණනාථ ඔබේසේකර

2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය – අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්
අහිලන් කදිරගාමර්

“නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුල ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය. කොටස් වෙළඳපොලට ආධාරක සැපයීය. බැංකු ඒකාබද්ධ කිරීම ද ඇතුලත් මූල්‍ය ඒකරාශීකරණ ක‍්‍රියාවලියකට එම පාලනය මුල පිරූ අතර කොළඹ නගරය අලංකරණය වෙත යොමුවිය. බැංකු ඒකාබද්ධ කිරීම් දිරිගන්වමින්, ප‍්‍රාග්ධන වෙළඳපොලවල් ප‍්‍රවර්ධනය කරමින් නව ආණ්ඩුවත් මූල්‍යකරණය විෂයෙහි ගමන් කරමින් සිටින්නේ ඒ මාවතේමය. තවද යෝජිත මෙගාපොලිස් ව්‍යාපෘතිය හරහා බස්නාහිර පළාතේ අති දැවැන්ත නාගරික පරිවර්තනයක් ඇති කිරීමට ආණ්ඩුව සැලසුම් කරයි. මේ මුල පිරීම් නොවැලැක්විය හැකි ලෙස කම්කරු නීති ප‍්‍රතිසංස්කරණය සමග, වෙළඳපොල හිතවාදී ඉඩම් ප‍්‍රතිපත්ති සමග හා රාජ්‍ය ආයතන ප‍්‍රතිසංස්කරණයට ලක්කිරීම සමග සම්බන්ධය. මෙකී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැගෙන්නේ නිකම් නොව ‘පිරිසිදු දෑතින් ’ යුක්තව ඒවා සිදුකෙරෙන බවට ලබා දී තිබෙන ප‍්‍රතිඥාව යටතේය.”

Continue reading 2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය – අහිලන් කදිරගාමර්

2016 අයවැය – භුක්තිය අසන්තක කිරීම මගින් ප‍්‍රාග්ධනය සමුච්ඡනයේ මාර්ග සිතියමක් ලෙස -අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර් මූලික උපාධිය විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව සඳහා ලබාගෙන ආර්ථික විද්‍යාව සඳහා ශාස්ත්‍රපති උපාධියක් ද නිව්යොර්ක් නගර විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව සඳහා දර්ශනපති උපාධිය ද ලබා ගෙන එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නියැලේ. යාපනය පදනම් කරගෙන කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා සාමූහිකයේ සාමාජිකයෙක් අතර දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ ලිපි ලේඛන ගණනාවක් පල කර ඇත.

නොවැම්බර් 05 වන දා අග‍්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ සහ නොවැම්බර් 20 වන දා මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අය වැය කථාව තුළ ගැබ් වී තිබෙන කේන්ද්‍රීය දැක්ම වන්නේ ගෝලීය ප‍්‍රාග්ධනය රට තුළට වඩ වඩා ගලා ඒමට සලස්වා ඒ හරහා වැඩි වැඩියෙන් සිදුවෙන ඉදිකිරීම් මාර්ගයෙන් ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමයි. මෙකී ඉදිකිරීම් කොළඹ හා බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවීමට නියමිතය. ඒ දැවැන්ත මෙගාපොලිස් නාගරිකකරණ ව්‍යාපෘතිය, ප‍්‍රධාන පෙලේ නිවාස යෝජනා ක‍්‍රම සහ අධිවේගී මාර්ග මත කරන ආයෝජන දිගටම පවත්වාගෙන යාම හරහාය. ඊළඟට කොළඹ නගරය ගෝලීය ප‍්‍රාග්ධන වෙළඳපොල සහ මූල්‍ය ලිබරල්කරණය සමඟ වඩ වඩාත් ආබද්ධ කරමින් එය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට නියමිතය. විශේෂයෙන්ම සමාගම් බැඳුම්කර, විශ‍්‍රාම වැටුප් හා රක්ෂණ අරමුදල් සහ දේපොළ වෙළඳාමට අදාළ වත්කම් කළමනාකරණය තීව‍්‍ර කිරීම ආදී මූල්‍යමය උපකරණ පාවිච්චි කිරීම තුළින් මේ අරමුණ මුදුන් පත් කරගැනීමට නියමිතය. මෙම මූල්‍යකරණ ක‍්‍රියාවලිය තුළින් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන අතර තවදුරටත් සිදුවන ඉදිකිරීම් සඳහා සහ වැඩි ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය ප‍්‍රාග්ධනය එතුළින් සපයා ගැනීමට සැලසුම් වී තිබේ. Continue reading 2016 අයවැය – භුක්තිය අසන්තක කිරීම මගින් ප‍්‍රාග්ධනය සමුච්ඡනයේ මාර්ග සිතියමක් ලෙස -අහිලන් කදිරගාමර්

දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (පළවෙනි කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

මහාචාර්ය ගනනාථ ඔබේසේකර
මහාචාර්ය ගනනාථ ඔබේසේකර

මහාචාර්ය ගනනාථ ඔබේසේකර ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කල ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල වල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය විසින් පල කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පල කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමග සම කතෘත්වයෙන් පලවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමග ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛන වලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කල ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගනනාවක් පල කිරීමට මැදිහත් විය. අප මෙහි පල කරන මෙම ලිපිය A Meditation on Conscience වශයෙන් සමාජ විද්‍යාඥයන්ගේ සංගමය මගින් ඉංග්‍රීසියෙන් පල වන්නේ 1988 දී ය. මහාචාර්ය රංජනී ඔබේසේකර විසින් සංස්කරණය කරන ලද යාත්‍රා සඟරාවේ 1987 අප්‍රියෙල් කලාප වල පල වූ මෙම සිංහල පරිවර්තනය අන්තර්ජාල පාඨකයන් වෙත අප ගෙන එන්නේ ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකීය සමාජය මත ආලෝකයක් හෙලනු ඇතැයි විශ්වාසයෙන්ය.

සොලී රට සිට පැමිණි දෙමළ රජෙකු වූ එළාර සිංහල රාජ වංශයෙහි සම්ප්‍රදායික බල ප්‍රදේශය වන රජරට ආක්‍රමණය කොට සිය අණසක පතුරුවාගෙන සිටියේ ය. ඔහු සමඟ යුධ කොට ජයග්‍රහණය කළ දුටුගැමුණු රජු ක්‍රි.පූ. 161 වැනි වසරේදී ශ්‍රී ලංකාවේ ස්වාධිපතියා වූයේ ය.

නමුත් ක්‍රි.ව. හතරවැනි පස්වැනි සියවස් වලදී රචිත දීපවංශය දුටුගැමුණුගේ ක්‍රියාව විස්තර කිරීමට යොදා ඇත්තේ එක් ඡේදයක් පමණි. දීපවංශය රචකයා දුටුගැමුණු එළාර පරදවා ධාර්මිකව රජ කළ බැව් පවසන්නේ කෙටියෙනි. වැඩි විස්තර ඇත්තේ දුටුගැමුණු ගේ ආගමික ක්‍රියාවන් – දාගැබ් වෙහෙර විහාර බැන්දවීම – ගැනය.

එසේ වුව ද ඊට සියවස් දෙකකට පමණ පසුව රචිත මහාවංශයේ වීරයා දුටුගැමුණු ය. මහාවංශයෙන් තුනෙන් දෙකක පමණ පවසන්නේ දුටුගැමුණු ගේ ජීවන කථාව හා රාජ්‍ය චර්යාව ගැනය. උගතුන්ගේ මත අනුව මේ ග්‍රන්ථ දෙකටම පසුබිම් වී ඇත්තේ ඒවාට වඩා පැරණි විහාර ලේඛනාවලියකි. දීපවංශය හා මහාවංශය පසුකාලීනව දුටුගැමුණු ගැන ජනප්‍රවාද යොදා ගත්තේ යැයි සිතීම අපහසු නැත. මන්ද, මහාවංශය දුටුගැමුණුගේ ජීවන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ කථාන්තරයක් පරිද්දෙන් නිසාය. මේ කථා ශෛලිය මහාභාරත කාව්‍යයෙන් උපුටා ගත්තේ යැයි සිතීම ද අපහසු නැත. Continue reading දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (පළවෙනි කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර