2016 අයවැය – භුක්තිය අසන්තක කිරීම මගින් ප‍්‍රාග්ධනය සමුච්ඡනයේ මාර්ග සිතියමක් ලෙස -අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර් මූලික උපාධිය විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව සඳහා ලබාගෙන ආර්ථික විද්‍යාව සඳහා ශාස්ත්‍රපති උපාධියක් ද නිව්යොර්ක් නගර විශ්ව විද්‍යාලයෙන් මානව විද්‍යාව සඳහා දර්ශනපති උපාධිය ද ලබා ගෙන එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නියැලේ. යාපනය පදනම් කරගෙන කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා සාමූහිකයේ සාමාජිකයෙක් අතර දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ ලිපි ලේඛන ගණනාවක් පල කර ඇත.

නොවැම්බර් 05 වන දා අග‍්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ සහ නොවැම්බර් 20 වන දා මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අය වැය කථාව තුළ ගැබ් වී තිබෙන කේන්ද්‍රීය දැක්ම වන්නේ ගෝලීය ප‍්‍රාග්ධනය රට තුළට වඩ වඩා ගලා ඒමට සලස්වා ඒ හරහා වැඩි වැඩියෙන් සිදුවෙන ඉදිකිරීම් මාර්ගයෙන් ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමයි. මෙකී ඉදිකිරීම් කොළඹ හා බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවීමට නියමිතය. ඒ දැවැන්ත මෙගාපොලිස් නාගරිකකරණ ව්‍යාපෘතිය, ප‍්‍රධාන පෙලේ නිවාස යෝජනා ක‍්‍රම සහ අධිවේගී මාර්ග මත කරන ආයෝජන දිගටම පවත්වාගෙන යාම හරහාය. ඊළඟට කොළඹ නගරය ගෝලීය ප‍්‍රාග්ධන වෙළඳපොල සහ මූල්‍ය ලිබරල්කරණය සමඟ වඩ වඩාත් ආබද්ධ කරමින් එය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට නියමිතය. විශේෂයෙන්ම සමාගම් බැඳුම්කර, විශ‍්‍රාම වැටුප් හා රක්ෂණ අරමුදල් සහ දේපොළ වෙළඳාමට අදාළ වත්කම් කළමනාකරණය තීව‍්‍ර කිරීම ආදී මූල්‍යමය උපකරණ පාවිච්චි කිරීම තුළින් මේ අරමුණ මුදුන් පත් කරගැනීමට නියමිතය. මෙම මූල්‍යකරණ ක‍්‍රියාවලිය තුළින් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන අතර තවදුරටත් සිදුවන ඉදිකිරීම් සඳහා සහ වැඩි ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය ප‍්‍රාග්ධනය එතුළින් සපයා ගැනීමට සැලසුම් වී තිබේ.

1970 දශකයේ අග භාගයේ සිට ලෝකයේ බොහෝ රටවල ප‍්‍රමුඛ වී තිබෙන්නේ මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා වටා කේන්ද්‍රගත වූ මේ වර්ගයේ ආර්ථික ක‍්‍රියාවලීන්ය. පොදුවේ මේවා නව ලිබරල් ප‍්‍රතිපත්තීන් ලෙස හැඳින්වේ. ප‍්‍රාග්ධනයට සහ භාණ්ඩවලට නිදහසේ ගලා යාමට පහසුකම් සලසන ගමන් මෙම ප‍්‍රතිපත්ති මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් සිදුකරන සමුච්ඡකරණ ක‍්‍රියාවලිය වෙත විශේෂ සැලකිල්ලක් දක්වයි. ‘භුක්තිය අසන්තක කිරීම මගින් සිදුවන සමුච්ඡකරණය’ (Accumulation by Dispossession) මාක්ස්වාදී භූගෝල විද්‍යාඥයෙක් වන ඬේවිඞ් හාවි නව ලිබරල් ධනවාදයේ කේන්ද්‍රීය පැතිකඩ ලෙස හ`දුනාගනී. මෙහි අදහස නම් ප‍්‍රාග්ධනය රාශිභූත වන්නේ හුදෙක් වැඩබිම් තුළ කම්කරුවන් සූරාකෑම තුළින් පමණක් නොවන බවයි. ජනතාවගේ වත්කම් හා විවිධ හිමිකම් එනම් තමන්ගේ ඉඩම්වලට, නිවාසවලට, ඉතුරුම්වලට සහ අධ්‍යාපනය හා සුවසේවාව ආදී සුබසාධන සේවාවලට අදාළව ජනතාවට තිබෙන හිමිකම් ඔවුන්ගෙන් උදුරා ගැනීම තුළින් ද ධනය සමුච්ඡකරණය වේ. මෙම සමුච්ඡකරණ උපාය මාර්ගය නිසා එලැඹෙන කාලයේ දී ලංකාව තුළට වඩ වඩාත් ගෝලීය ප‍්‍රාග්ධනය ගලා ඒමක් සහ ආර්ථික වර්ධනය තීව‍්‍ර වීමක් දැකගත හැකි වනු ඇත. කෙසේ වූවත්, ලෝකයේ වෙනත් රටවල ආර්ථිකයන්හි අත්දැකීම් විසින් පෙන්වා දෙන පරිදි, මේ ක‍්‍රියාවලිය බාහිර ණයගැතිභාවය උග‍්‍ර කිරීම වෙත සහ අවසානයේ – ප‍්‍රාග්ධන පියසැරිය රටින් ඉවතට ගලන්නට පටන් ගත් විට – ආර්ථික අර්බුද තත්වයක් ඇතිවීම කරා දිශාගත වී තිබෙන්නකි.

2016 අය වැය – තෝරාගත් අංශ කිහිපයක් සඳහා සිදුවූ ප‍්‍රතිපාදන වෙන් කිරීම් ( රුපියල් බිලියන )

vv

මූලාශ‍්‍රය – 2016 අයවැය ඇස්තමේන්තු සහ 2016 අය වැය යෝජනා

අධ්‍යාපනය සහ සෞඛ්‍යය

2016 අය වැය තුළ තිබෙන රිදී රේඛාව නම් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව වෙත සිදුකොට තිබෙන වියදම වැඩි වී තිබිමයි. මෙම වියදම් වැඩිවීමට ප‍්‍රාග්ධන වියදම් ඉහළ යාම ද ඇතුලත්ය. 2012 අය වැය තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍ර වෙනුවෙන් සිදුකොට තිබෙන ආයෝජනය මුලූ රාජ්‍ය ආයෝජන වියදමෙන් සියයට 10.4 ක් වූ අතර එය 2016 අයවැය තුළ සියයට 24.3 දක්වා වැඩි කොට තිබේ.

අධ්‍යාපනය වෙනුවෙන් සිදුවූ ප‍්‍රධාන පෙළේ අරගල මාලාවක ප‍්‍රතිඵලයක් ලෙස ( මෙම අරගල අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විසින් 2012 දී දියත් කළ වැඩවර්ජනය ද වේ) අධ්‍යාපනය සඳහා කෙරෙන රාජ්‍ය වියදම වැඩි කළ යුතු බවට ප‍්‍රබල ඉල්ලීමක් සමාජය තුළ පැවැතිණ. 2011 දී රජය විසින් කළ අධ්‍යාපන වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 1. 8 දක්වා පහත වැටුණු අතර යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශයක් වෙතින් උපුටා ගනු ලැබූ ඉල්ලීමක් ලෙස, අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන් කළ යුතු බවට ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය සටන් පාඨයක් ඉදිරිපත් කළේය. පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනය සඳහා මුදල් වෙන්කිරීමේ වැඩිවීමක් පවතී. 2015 දී එය සියයට 2.1 දක්වා ඉහළ නැංග අතර මෙවර අයවැයෙන් එය සියයට 2.7 දක්වා තවදුරටත් වැඩි වී තිබේ. 2016 දී සිදුවූ මෙම වැඩි වීම සියයට 30 ක වැඩි වීමක් වන අතර දැන් අධ්‍යාපනය සඳහා කරනු ලබන වියදම ආරක්ෂක වියදමට වඩා වැඩි එකකි.

අධ්‍යාපනය සඳහා වූ අය වැය යෝජනාවලින්

කිහිපයක් මෙසේය.

x ප‍්‍රාථමික පාසල් 3577 ක් සංවර්ධනය කිරීම – රු. මිලියන 10 000
x මෑත අතීතය තුළ නොසලකා හරිනු ලැබූ පාසල් 1360 ක් සංවර්ධනය කිරිම – රු. මිලියන 30 000
x සියලූම පාසල්වලට නිසි සනීපාරක්ෂක හා ජල පහසුකම් සැපයීම – රු. මිලියන 2000
x බඳවා ගැනීමෙන් වසර පහක් තුළ සෑම ගුරුවරයෙක්ම වසර දෙකක පූර්ණකාලීන ගුරු පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කළ යුතුය – රු. මිලියන 1000
x ද්වතීක පාසල් 1000 ට විද්‍යාගාර, බහුමාධ්‍ය පහසුකම්, ඊ-පුස්තකාල සහිත පුස්තකාල පහසුකම් ලබාදීම – රු. මිලියන 15 000
x වතුකරයේ පාසල් 25 ක් ද්විතීක පාසල් තත්වයට සංවර්ධනය කිරීම – රු. මිලියන 250
x ස්ථිර විද්‍යාගාර නොමැති පාසල්වල විද්‍යා අධ්‍යාපනය දියුණු කිරීම – රු. මිලියන 450
x මාළඹේ ප‍්‍රදේශයේ මහපොළ විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම – මෙමගින් තොරතුරු තාක්ෂණය, ව්‍යාපාරය අධ්‍යයනය, ඉංග‍්‍රීසි, කළමනාකරණය සහ වෙනත් වෙළඳපොල නැඹුරුවක් තිබෙන විෂයන් ඉගැන්වෙනු ඇත – රු. මිලියන 3 000
x පාල් හා බෞද්ධ අධ්‍යාපනය සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ යටිතල පහසුකම් දියුණු කිරීම – රු. මිලියන 500
x සෑම විශ්ව විද්‍යාලයකම නොමිලේ වයි ෆයි පහසුකම් ලබාදීම සහ විශ්ව විද්‍යාල සිසුන්ට පොලී රහිත වසර තුනක ණය මුදලක් මත ලැප්ටොප් පරිගණක ලබාදීම – රු. මිලියන 300
x කථිකාචාර්යවරුන්ට සංචාරක දීමනා සහ පුද්ගලික විශ්ව විද්‍යාල ප‍්‍රවර්ධනය කිරීම ආදී වෙනත් අධ්‍යාපන නවාංග – රු. මිලියන 6 000
x වෘත්තීය පුහුණු මුල පිරීම් සඳහා ප‍්‍රතිපාදන – රු. මිලියන 3000

සෞඛ්‍යය ක්ෂේත‍්‍රය සඳහා වූ අය වැය යෝජනාවලින් කිහිපයක් –
x නල්ලූර්, මහනුවර සහ මාතර නගරවල පිළිකා රෝහල් තුනක් ඉදිකිරීම
x නිධන්ගත වකුගඩු රෝගය සඳහා වකුගඩු පිරිසිදු කිරීමේ මධ්‍යස්ථාන 1000 ක් ඇති කිරීම – රු. මිලියන 6 500
x වකුගඩු රෝගය පිළිබඳ විශේෂඥ රෝහලක් ලෙස මින්නේරිය රෝහල සංවර්ධනය කිරීම – රු. මිලියන 2000
x අනුරාධපුර, කුරුණෑගල සහ යාපනය රෝහල් කලා ගොඩනැගිලි හා වෙනත් පහසුකම් සහිතව සංවර්ධනය කිරීම – රු. මිලියන 3000
x හදිසි අවස්ථා සඳහා වඩා හොඳ ප‍්‍රතිකර්ම ලබාදිය හැකි ජංගම රෝහල් ඇති කිරීම – රු. මිලියන 200
x විශේෂඥ වෛද්‍යවරුන්, වයස්ගත වූවන් රැුකබලාගත හැකි පුහුණු හෙද සේවකයින් සහ බෝ නොවෙන රෝගවලට අදාල පරිපූරක වෛද්‍ය සේවකයින් පුහුණු කිරීම – රු. මිලියන 250
x දියවැඩියාව, ඩෙංගු, නිධන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝග සම්බන්ධයෙන් ජාතික විද්‍යා පදනම විසින් කරනු ලබන පර්යේෂණ වර්ධනය කිරීම – රු. මිලියන 250
x ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල ප‍්‍රසාරණය කිරීම සහ රෝහල්වලට අනුබද්ධ හෙද පාසල් හරහා වාර්ෂිකව හෙද සේවකයින් 2000 පුහුණු කිරීම – රු. මිලියන 4000

මෙම අයවැය යෝජනා මගින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව වෙත සිදුවී තිබෙන ප‍්‍රතිපාදන වැඩි වීම සාධනීය දෙයක් ලෙස පිලිගන්නා ගමන්ම, මේ ආයෝජන වැඩි වී තිබෙන්නේ මූලික වශයෙන් අධ්‍යාපනික හා සුවසේවා ආයතනවල මානව සම්පත් මත නොව භෞතික යටිතල පහසුකම් වර්ධනය කිරීම මත බව සටහන් කළ යුතුය. වෙනත් වචනවලින් කියනවා නම්, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවය සපයන්නන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ තත්වයන් වැඩි දියුණු කිරීම සඳහා අයෝජනය වී තිබෙන්නේ සීමාසහිතවය. ඒ වගේම පුද්ගලික විශ්ව විද්‍යාල ප‍්‍රවර්ධනය කිරීමට සහ වෛද්‍ය සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන ප‍්‍රවේශය දීර්ඝකාලීන පදනමෙන් ගත් විට ගැටලූ ඇති කරන්නකි. මේ ආකාරයට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වාණිජකරණය කිරීම නිසා, විශේෂයෙන්ම සමාජයේ ආන්තිකකරණය වූ ජනකොටස්වල සුබසාධනයට වැදගත් වෙන නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍යයේ උරුමය අවප‍්‍රමාණය වීමට ඉඩ තිබේ. මුදල් අය කරන, එසේම වැඩි වැටුපක් ගෙවන පුද්ගලික ආයතන ඇති වීමේ ප‍්‍රතිඵලයක් ලෙස රටේ හොඳම කථිකාචාර්යවරුන් සහ වෛද්‍යවරුන් ධනවත් පංතිවල පුද්ගලයින්ට හා විදේශිකයින්ට සේවා සැපයීමෙහිලා පෙළඹවීමක් ඇති විය හැක.

උතුරු නැගෙනහිර පළාත් යලි ගොඩනැගීම

යුද්ධය නිසා ඇති වූ විනාශය විසින් සහ රාජපක්ෂ පාලනය උතුරු නැගෙනහිර පළාත් යලි ගොඩනැගීමට අසමත් වීම විසින් විශාල අර්බුදයක් එම ප‍්‍රදේශවල ජනිත කොට තිබේ. මෙම අර්බුදය සංලක්ෂිත වී තිබෙන්නේ ආදායම් පහළ වැටීම, විරැකියාව ඉහල යාම හා ණයගැතිභාවය තීව‍්‍ර වීම යන ලක්ෂණයන්ගෙන්ය. මෙම අර්බුදය ගැන ආණ්ඩුව බෙහෙවින් දැනුවත්ය. එහෙත් මෙම අර්බුදය ආමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් රජය පැත්තෙන් තිබෙන්නේ අවම උවමනාවකි. උතුරු පළාත් සභාව සහ දෙමළ ජාතික සන්ධාන නායකත්වය පැත්තෙන් ද මේ සම්බන්ධයෙන් ආර්ථිකමය දැක්මක් හෝ මෙකී ප‍්‍රශ්නවලට අදාල ඉල්ලීම් කිසිවක් ඉදිරිපත් නොවන පසුබිමක් තුළ මෙම අර්බුදයට අර්ධ වශයෙන් ඔවුන් ද දොස් ලැබිය යුතු වෙති.

යළි ඉදිකිරීම් සහ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් දැවෙන උවමනාවක් පැවැතියත් රජය ඒ සඳහා දක්වන අඩු කැපවීම ඒ වෙනුවෙන් වෙන් කොට තිබෙන මුදල් ප‍්‍රමාණය වන රුපියල් බිලියන 14 පෙන්නුම් කරයි. මන්නාරම හා මුලතිවු දිස්ත‍්‍රික්කවල නිවාස 20,000 ක් ඉදිකිරීම, දැනටමත් සිදුවන නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාවලිය තුළ මතුවන අවශ්‍යතා සම්පූර්ණ කිරීම, ඩෙල්ෆ්ට් ජැටිය ඉදිකිරීම වැඩි දියුණු කිරීම සහ අපද්‍රව්‍ය කලමණාකරන පද්ධතියක් ස්ථාපිත කිරීම ආදී නැවත පදිංචි කිරීම හා සම්බන්ධ සියලූ අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවන්නේ මෙම මුදලෙනි. උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා උත්පාදනයට සහ නව අගයන් නිර්මාණය කිරීමට කුඩා පරිමාණ කර්මාන්ත බෙහෙවින් අවශ්‍ය වී තිබෙන සන්දර්භයක් තුළ වුව ඒ සඳහා තිබෙන්නේ හුදෙක් එකම එක යෝජනාවකි. ඒ ඔඞ්ඩුසුඩාන්වල ඉදිකිරීමට යෝජිත රතු මැටි කර්මාන්තශාලාවයි. එයද ඉදිකිරීමට යෝජනා වී තිබෙන්නේ පුද්ගලික අංශයේ සහ රජයේ හවුල් ව්‍යාපෘතියක් ලෙසය.

පළාත් සභා මාර්ගයෙන් ඇති කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ද නොසලකා හැරීමට ලක්ව තිබේ. පළාත් සභා නමයම සඳහා වෙන් කොට තිබෙන අරමුදල් සියයට 17 කින් පහළ බැස තිබෙන අතර මූල්‍ය බලය විමධ්‍යගත කිරීම පිළිබඳ අදහස නොසලකා හැරීමකි මෙය. මේ සන්දර්භය තුළ උතුරු පළාත් සභාව සඳහා කළ මුදල් වෙන් කිරීම් 2015 දී රුපියල් බිලියන 20 සිට 2016 දී රුපියල් බිලියන 29 දක්වා ඉහළ ගොස් ඇත. එහෙත් පළාත් සභාවේ මුදල් සංචිතවලින් වැඩි පංගුව වැටුප් ගෙවීම වැනි වර්තන වියදම් වෙනුවෙන් සහ මධ්‍යම රජය විසින් දියත් කරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘති පළාත්බදව ක‍්‍රියාත්මක කිරීම සඳහා වෙන් වන තත්වයක් තුළ උතුරු පළාත් සභාවට කළ මේ සුලූ ප‍්‍රතිපාදන වැඩි කිරීම පවා උතුරු පළාතේ නැවත ඉදිකිරීමේ කටයුතු සඳහා එතරම් ප‍්‍රයෝජනයක් ලබා දෙන්නේ නැත.

උතුරු නැගෙනහිර පළාත්වල නැවත ඉදිකිරීමේ කටයුතුවල විශාල පංගුව දැන් රැුඳී තිබෙන්නේ ටෝකියෝ නගරයේ පැවැත්වීමට යෝජිත ආධාර දීමේ සමුලූව මතය. මෙම සම්මේලනය යථාර්ථයක් වනු ඇද්ද යන්න තවමත් නිශ්චිත නැත. සමහර විට අගමැතිවරයා 2002-2004 යුගයේ නෝර්වේ රාජ්‍යය විසින් පහසුකම් සලසනු ලැබූ සාම ක‍්‍රියාවලිය උච්චස්ථානයේ තිබූ, 2003 ජූනි මාසයේ දී ටෝකියෝ නුවර පැවැත්වූ ණය ආධාර ලබාදෙන සමුලූවේ දී ලංකා ආණ්ඩුවට පොරොන්දු වූ විශාල ආධාර මුදල නැවත එලෙසින්ම ලබාගැනීම කෙරෙහි අපේක්ෂා තබාගෙන සිටිනවා වීමට පුලූවන. ඒ යුගයේ ආධාර දෙන රටවල් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ( වර්තමාන රුපියල් අගය අනුව රුපියල් මිලියන 600 ක්) ආධාර ලංකාවට දීමට පොරොන්දු වූ අතර නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා සහ සාම ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය සඳහාය ඒ අරමුදල් ලබා දෙන්නට ප‍්‍රතිඥා දෙනු ලැබූයේ. කෙසේ වූවද එල්ටීටීඊ සංවිධානය එම අවස්ථාවේ යුද්ධය අපේක්ෂා කළ නිසා දඩබ්බර ලෙස සම්මේලනය වර්ජනය කළේය. යථාර්ථය නම් වර්තමානයේ ජාතික දේශපාලන තත්වය සහ රටවල්වල භූ-දේශපාලනික අභිලාෂයන් එදාට වඩා බෙහෙවින් වෙනස් වී ඇත යන්නය. ඒ නිසා මෙම ආධාර දීමේ සමුලූව යථාර්ථයක් වීමට තිබෙන අවකාශය සීමාසහිත වී තිබේ. එවැන්නක් පැවැත්වුණත් නැවත ඉදිකිරීම් සඳහා අවශ්‍ය ආධාරවලින් ඉතාම කුඩා තීරුවකි එබඳු සමුලූවක් තුළින් ලබාගැනීමට පුලූවන් වනු ඇත්තේ.

කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය අත්හැර දැමීම

මේ මොහොතේ ග‍්‍රාමීය ආර්ථිකය අර්බුදයට ලක්ව තිබේ. එහෙත් කෘෂිකර්මාන්තය මත රජය සිදුකොට තිබෙන ආයෝජනය ඉතාමත් කුඩාය. කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ගබඩා පහසුකම් ඇති කිරීම වෙනුවෙන් සහ කුඩා ධීවර වරායන් ඇති කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉදිරිපත්ව තිබෙන යෝජනාව – වැල්වැටිතුරෙයිවල හා කරෙයිනගර්වල මෙබඳු වරායන් ඉදිකිරීමට යෝජිතය – මෙන්ම කෘෂි නිෂ්පාදන සඳහා වඩා හොඳ මිලක් හා මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීමට තිබෙන යෝජනාව ද අයවැය තුළ අන්තර්ගත කැපී පෙනෙන යෝජනා වෙති. කෙසේ වූවද ග‍්‍රාමීය ආර්ථිකයට රජය දක්වන ප‍්‍රධානතම දායකත්වය වන්නේ පොහොර සහනාධාරයයි. එය දැන් සෘජු මුදල් ආධාරයක් ලෙස ලබාදීමට නියමිත අතර රුපියල් බිලියන 37.5 ක් වූ මෙම ආධාරයේ වටිනාකම ධීවර හා කෘෂි අංශ වෙත රජය අයවැයෙන් වෙන් කොට තිබෙන මුලූ වියදමින් සියයට 55 ක් සංයුක්ත කරයි. රාජපක්ෂ යුගයේ අධිවේගී මාර්ග සඳහා කළ වියදමට වඩා මෙවර වෙන් කොට තිබෙන වියදම අඩු එකක් නමුත් අධිවේගී මාර්ග වියදම කෘෂිකර්මාන්තයට හා ධීවර අංශයට වෙන් කොට තිබෙන මුදල මෙන් දෙගුණයක් ලෙස පවතී. ප‍්‍රාථමික ප‍්‍රාග්ධන ආයෝජනයක් ලෙස සැලකිය හැකි අධිවේගී මාර්ග සඳහා කළ වියදම, රුපියල් බිලියන 13 ක් වන කෘෂි හා ධීවර අංශ සඳහා වෙන්කොට තිබෙන ප‍්‍රාග්ධන අරමුදල්වල එකතුවට වඩා දස ගුණයකින් විශාලය.

පසුගිය වසර කිහිපය පුරාවට කෘෂි සහ ධීවර ක්ෂේත‍්‍ර මත ආණ්ඩු විසින් කළ ආයෝජනය මේ අනුව පහළ යන උපනතියක් පෙන්නුම් කරයි. මෙම කණගාටුදායක ප‍්‍රවණතාවය විදහා දක්වන්නේ ග‍්‍රාමීය ප‍්‍රජාවන් සහ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන් ආණ්ඩුව විසින් නොසලකා හරිමින් තිබෙන ආකාරයයි. අසමානතා වැඩිවීම සහ අසමාන සංවර්ධනය නැවත වටයකින් තහවුරු කිරීමට මෙම නොසලකා හැරීම හේතු වන්නේය. මෙම සන්දර්භය තුළ මෙගාපොලිස් ව්‍යාපෘතිය වෙනුවෙන් යොමු කොට තිබෙන සුවිශේෂී අවධානය කැපී පෙනේ. ඒ සඳහා සිදුකොට තිබෙන ප‍්‍රතිපාදන වෙන්කිරීම සමස්ත ධීවර ක්ෂේත‍්‍රයට සිදුකොට තිබෙන වෙන් කිරීම මෙන් පස් ගුණයකටත් විශාලය. මුලූමහත් වෙරළ තීරයේ අති විශාල ජනකායක් සිය ජීවිකාව සරි කරගන්නේ ධීවර කර්මාන්තය හරහාය. ලබන අවුරුද්දේ පටන් ගැනීමට නියමිත මේ මෙගාපොලිස් ව්‍යාපෘතිය පෞද්ගලික මූල්‍ය ආකර්ෂණය කරගැනීමට බොහෝ විට ඉඩ තිබෙන අතර නිවාස ඉදිකිරීමේ සිට අධිවේගී මාර්ග ඉදිකිරීම දක්වා ක‍්‍රියාකාරකම් සඳහා වෙන් කොට තිබෙන අති විශාල ප‍්‍රතිපාදන ස්කන්ධය සමග මෙය එකට තබා බලන විට පෙනී යන්නේ එලැඹෙන කාල පරිච්ෙඡ්දය තුළ ආර්ථික වර්ධනයේ ප‍්‍රධානතම උත්තේජකය ලෙස ආණ්ඩුව ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සලකා තිබෙන බවයි. එසේම දීර්ඝ කාලීන ආර්ථික පරිවර්තනයේ මාධ්‍යයය ලෙස නාගරිකකරණය එය විසින් සලකනු ලැබ තිබේ. මෙම නාගරික දැක්ම ග‍්‍රාමීය ජීවනෝපායන්ට මෙන්ම සමාජ ජීවිතයට ද බෙහෙවින් විපත්තිදායකය.

ප‍්‍රාග්ධනය වෙනුවෙන් සිදු කෙරෙන ශ‍්‍රම වෙළඳපොල සහ බදු ප‍්‍රතිසංස්කරණ

2002 රනිල් වික‍්‍රමසිංහ රජය සමයේ අනුගමනය කළ ‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩපිලිවෙළ තුළ අඩංගු වූ ශ‍්‍රමික ජනතාවට එරෙහි ප‍්‍රහාරාත්මක ප‍්‍රතිපත්ති නැවත සිහිපත් කරන වර්ගයේ ප‍්‍රතිපාදන මෙම අයවැයේ ද අන්තර්ගතය. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්වලට තිබෙන බරපතලම තර්ජනය මෙකී යෝජනා වෙති. 2002 දී ටෝකියෝ ආධාර සමුලූව ආධාර දීමට නියමිතව සිටියේ කම්කරු නීති ප‍්‍රතිසංස්කරණ අන්තර්ගත ඉහත කී වැඩපිලිවෙලට බව මෙහිදී මතකයට නගා ගැනීම වැදගත්ය. අයවැය කථාව තුළ හෝ අගමැතිවරයාගේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ඇති කිරීමට නියමිත සියලූ විවාදාත්මක කම්කරු නීති ප‍්‍රතිසංස්කරණ විස්තරාත්මකව ඉදිරිපත් වී තිබුණේ නැත. වැඩකරන ජනතාවට එරෙහිව ආණ්ඩු සිදුකරන ප‍්‍රහාරයන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ඒවායේ තිබෙන ක්ෂණික ස්වභාවයයි. කෙසේ වූවද වික‍්‍රමසිංහ ආණ්ඩුව තුළ මහා පරිමාණ සමාගම් වෙත තිබෙන පක්ෂපාතීත්වය ඉතා පැහැදිලිය. අර්ධකාලීන ශ‍්‍රම වැඩ හඳුන්වා දීමට සහ ගිවිසුම් පදනමින් බඳවා ගන්නා සේවකයින් ස්ථිර කිරීමට අවශ්‍ය කාලය මාස හයේ සිට අවුරුද්ද දක්වා වැඩි කිරීමට සංයුක්ත යෝජනා අයවැයේ අන්තර්ගතය. මෙබඳු ප‍්‍රතිපාදන විසින් දැනටත් අඩමාණ තත්වයේ සිටින කම්කරුවන්ගේ ජීවන තත්වයන් වඩාත් නරක අතට හරවනු ඇත. විශේෂයෙන් පසුගිය කාලයේ ප‍්‍රධාන පෙලේ ප‍්‍රවණතාවයක් ලෙස මතු වූ මෑන් පවර් ඒජන්සි විසින් සේවයේ යොදවා සිටින කම්කරුවන් ආදීන් සම්බන්ධයෙන් ගත් කල ඔවුන් ස්ථිර කිරීම සමාගම් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබයි. මෙවැනි කම්කරුවන්ට අලූත් නීතිමය තත්වයන් අහිතකර ලෙස බලපානු ඇත. පුද්ගලික අංශයේ ආයතනවල සේවා සතිය දවස් හයේ සිට පහ දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ. මෙය එක් අතෙකින් ව්‍යාපාරවල මෙහෙයුම් වියදම් අඩු කරනු ඇත. එහෙත් අනිත් අතට ශ‍්‍රමිකයන්ගේ වැඩ දිනය දීර්ඝ වනු ඇත. කෙසේ වූවද පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා කිසිදු යෝජනාවක් නොමැත. වැඩ දිනය දීර්ඝ කිරීම තුළින් වැඩි වෙන ලාභවල පංගුවක් හෝ කම්කරුවන්ට ඒ අනුව නොලැබෙනු ඇත.

රජයේ ආදායම් වැඩි කරගැනීමට සහ බදු සැකැස්ම ප‍්‍රතිසංස්කරණය කිරීමට තිබෙන අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡුාවට ලක්වූවකි. කෙසේ වූවද අය වැයේ ඇතුලත් බදු ප‍්‍රතිපත්ති – විශේෂයෙන් බදු ගෙවීම පැහැර හැරීම නතර කිරීමට සහ බදු විරාම වෙනස් කිරීමට අදාල යෝජනා – රාජ්‍ය ප‍්‍රතිපත්ති පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ආදායම් ප‍්‍රමාණය සපයා දීමේ හැකියාවෙන් යුක්ත ද යන්න ගැටලූ සහගතය. තවද වර්තමාන බදු ක‍්‍රමයේ තිබෙන ප‍්‍රතික‍්‍රමික ස්වභාවය, මුලූ බදු ආදායමට සෘජු බදු වල ආංශික දායකත්වය සියයට අසූවේ සිට සියයට 60 දක්වා අඩු කිරීම තුළින් වෙනස් කරන බවට අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කොට තිබුණත් මෙම අයවැයේ බදු ප‍්‍රතිපත්ති එහි සම්පූර්ණ ප‍්‍රතිවිරුද්ධ ගතිකය පෙන්නුම් කරමින් වක‍්‍ර බදු තව තවත් වැඩි කොට තිබෙන අතර එනයින් සමාජයේ පහළ මාලයේ ජීවත්වන ජනතාව මත වන බදු බර තවත් ඉහළ දමා තිබේ. බදු ක‍්‍රමය සරල කිරීමේ ව්‍යාජෝකිතියට මුවා වී සමාගම් බදු අඩු කිරීමේ සහ වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු වැඩි කිරීමේ සෘජු ප‍්‍රතිඵලය එයයි. දෙවනුව කී බදු වැඩි වූ විට ඒවා පාරිභෝගිකයන් වෙත විතැන් වනු ඇති අතර විදුලි බිල් පත් විදිහට හෝ වේවා බැංකු ණය සඳහා ගෙවන පොලී අනුපාතික ලෙස හෝ වේවා ඒ බර දරන්නට සිදුවන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාටය.

ඉඩම් විකිණීම සහ මූල්‍යකරණය

අයවැය මගින් යෝජනා කෙරෙන ප‍්‍රධානතම සමාජ හා ආර්ථික ප‍්‍රතිසංස්කරණයක් වන්නේ ඉඩම් සඳහා වෙළඳපොලක් නිර්මාණය කිරීමයි. රජයේ බලපත‍්‍ර ඉඩම් භුක්ති විඳීමට දෙනු ලැබු පුද්ගලයින්ට වසර දහයක ඉඩම් භුක්තියක් පවතී නම් ඒවායේ පුද්ගලික හිමිකාරීත්වය ඔවුන්ට පැවරීම සඳහා යෝජනා වී තිබේ. බැලූ බැල්මට මෙය සාධනීය යෝජනාවක් ලෙස පෙනී ගිය ද එමගින් ඇතිවිය හැකි ගතිකයක් වන්නේ ආපදාවන්ට ලක්වන විට ඉඩම් විකිණීමට පෙළඹුමක් ඇති වීමත්, එමගින් පහළ පාන්තික ජනතාවන්ට ඉඩම් හා නිවාස අහිමි වීමේ උපනතියක් නිර්මාණය වීමත්ය. විශේෂයෙන්ම සමාජයේ බරපතල ගැටලූවක් ලෙස පවතින ණයගැතිභාවය සලකන විට මෙම අවදානම වඩාත් යථාර්ථයක් ලෙස පවතී. වෙනත් වචනවලින් කියනවා නම් ගම්බද ප‍්‍රදේශවල පුද්ගලික ඉඩම් වැඩි වැඩියෙන් ව්‍යාප්ත වීමත් සමග ගම්බද සුලූ හිමිකාරීත්වයකින් යුක්ත ඉඩම් කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා අවශෝෂණය වීමේ සම්භාවිතාවය පවතී. පාසල් ඉඩම් කෘෂිකාර්මික ව්‍යාපාර වෙනුවෙන් රාජ්‍ය හා පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර ලෙස පවත්වා ගැනීමට ද අයවැයෙන් යෝජනා කෙරී තිබේ. මෙය හරයෙන් ගත් විට පාසල් භූමිවල කොටස් වාණිජකරණය කිරීමකි. පාසල් ලමුන් සඳහා ක‍්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම වැනි වෙනත් පරමාර්ථ සඳහා පාසල් ඉඩම් යොදාගන්නවා වෙනුවට එකී ඉඩම් ව්‍යාපාරික අරමුණු සඳහා වෙන් කිරීම මෙතුළින් සිදුවේ.

ලීසිං පහසුකම් සපයන සහ උකස් තැබීම් භාරගනු ලබන බැංකු සම්බන්ධයෙන් මතු වී තිබෙන ප‍්‍රශ්නය දැන් පිලිගැනීමට ලක්ව තිබේ. ලීසිං පහසුකම් ලබාදීම සහ උකස් භාරගැනීම අඩු කරන ලෙස අයවැය බැංකුවලට දන්වා ඇත. ලීසිං සහ උකස් කටයුතුවල යෙදීම හරහා මූල්‍ය ආයතන අති විශාල සමුච්ඡුකරණයක නියැලෙන අතර එය සිදුවන්නේ ජනගහණයේ සැලකිය යුතු විශාල කොටසකට ඔවුන්ගේ ඉතුරුම් සහ වත්කම් අසන්තක වීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. දැන් මෙලෙස ඒකරාශී වූ වත්කම් බැංකු සම්බන්ධයෙන් ගත් විට ඵලදායී නොවන වත්කම් බවට පත්වී තිබේ. කෙසේ වූවද ග‍්‍රාමීය ජනගහණය ණයගැතිභාවයට ලක්කිරීම සඳහා විශාල වශයෙන් හේතු වී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය සේවා අයවැය මගින් ප‍්‍රවර්ධනය කරයි. මෙය ජනතාවට උඩින් මූල්‍ය ප‍්‍රාග්ධනය වෙත රජයේ තිබෙන පක්ෂපාතීත්වයේ පරාවර්තනයකි.

අය වැය මගින් යෝජිත මුඛ්‍ය වෙනස්කමක් වන්නේ ප‍්‍රාග්ධන වෙළඳපොලවල් ප‍්‍රවර්ධනය කිරීම හරහා ආර්ථිකය වඩ වඩාත් මූල්‍යකරණය කිරීමට දක්වන යොමුවයි. කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වන සමාගම් සඳහා දිරිදීමනා සැපයීම, ව්‍යාපාර බැඳුම්කර වෙළඳපොලක් නිර්මාණය කිරීම සහ බැංකු විසින් කරන විදේශ ණය ගැනීම් ප‍්‍රවර්ධනය කිරීම තුළ මේ යොමුව අන්තර්ගත වේ. තවද දේපළ වෙළඳාම් ආයෝජන භාරයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා වී තිබෙන අතර ප‍්‍රාග්ධන වෙළඳපොල තුළ දේපල වෙළඳාමට අදාළ වත්කම් කළමනාකරණය කිරීම මෙමගින් මූල්‍යකරණය වනු ඇත. අවසාන වශයෙන්, පැවති ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ඉදිරියට ගෙනයමින්, ඒකාබද්ධ වීම් හරහා බැංකු විශාලනය කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ. සමස්තයක් ලෙස මෙලෙස සිදුවන මූල්‍යකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස කෙටිකාලීනව වඩ වඩා ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය රට තුළට ඇතුලූ වීම සිදුවනු ඇති නමුත් අනාගතය සම්බන්ධයෙන් එය සමපේක්ෂණ කටයුතු තීව‍්‍ර වීමක් සහ මූල්‍ය අර්බුදයක් ඇති වීම වෙත දිශාගත වී තිබේ.

මතු වෙමින් පවතින බෙදුම් රේඛා

2016 අය වැයේ සහ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මූලික උපාය මාර්ගය වන්නේ ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම සඳහා ආර්ථිකය වඩ වඩා මූල්‍යකරණය කිරීම සහ එලෙස ආකර්ෂණය වන ප‍්‍රාග්ධනය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට උරා ගැනීමය. මෙම ඉදිකිරීම් මධ්‍යම පාංතික නිවාස සංකීර්ණ, නගර සහ අධිවේගී මාර්ග සඳහා වූ නාගරික යටිතල පහසුකම් ආදියෙන් සමන්විත වන්නකි. ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සඳහා යොදාගන්නා මෙම උපාය මාර්ගය කෙටිකාලීනව ප‍්‍රාග්ධනය ගෙන්වා ගැනීම සහ ආර්ථිකය වැඞීම සඳහා උපකාරී විය හැකි වූව ද එය චිරස්ථායී නොවේ. කර්මාන්ත සක‍්‍රීය ලෙස ප‍්‍රවර්ධනය කිරීම තුළින් නිෂ්පාදනය වැඩි කරගැනීමට අය වැය තුළ දක්වා තිබෙන අතිශය අඩු උනන්දුව භුක්තිය අහිමි කිරීම මාර්ගයෙන් ප‍්‍රාග්ධනය සමුච්ඡුකරණය කිරීමේ නව ලිබරල් ධනවාදී ප‍්‍රවේශය මනා ලෙස මූර්තිමත් කරයි.

වික‍්‍රමසිංහ ආණ්ඩුව යටතේ සංවිධානය වෙමින් තිබෙන ආර්ථික ප‍්‍රතිපත්තිවලට, වසර කිහිපයක කාලයක් තුල, අපගේ ආර්ථිකයේ සහ සමාජයේ ක‍්‍රියාකාරීත්වය යටින් දිවෙන ඉඩම්, ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනයේ ස්වභාවය යන සම්බන්ධතා විශාල පරිවර්තනයකට ලක්කිරීමේ හැකියාව තිබේ. අසමාන සංවර්ධනයේ ක‍්‍රියාවලියක් තුළින් එය විසින් අපගේ ගම්බද ජනප‍්‍රජාවන්ගේ අවශ්‍යතාවලට ඉහලින් තීව‍්‍ර වන නාගරිකකරණය තබනු ඇති අතර, වැඩකරන ජනයා සූරාකෑම වඩාත් තීව‍්‍ර කොට සමාජ අසමානතාවයන් තව තවත් වර්ධනය කරනු ඇත. තවද උග‍්‍ර ලෙස සිදුවන මූල්‍යකරණය විසින් අනාගතයේ දී ආර්ථික අර්බුදයක තත්වය ඇති කරනු ඇති අතර එබඳු අවස්ථාවක, මෙබඳු අර්බුදවලට ලක්වූ වෙනත් මූල්‍යකරණය වූ ආර්ථිකයන් සම්බන්ධයෙන් අප දුටු පරිදි, මූල්‍ය ප‍්‍රාග්ධනයට වන්දි ගෙවීම සඳහා හිලවු කරනු ලැබෙන්නේ මහජනතාවගේ වත්කම් සහ හිමිකම්ය. මෙම ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජය සමග ගැට ගැසී තිබෙන දේශපාලන සම්බන්ධතාවය නම් මූල්‍ය ප‍්‍රාග්ධනය සමග සන්ධානගත වී සිටින්නන්ගේ පංතිමය බලය සහ භුක්තිය අසන්තක කිරීමට භාජනය වීමට නියමිත සාමාන්‍ය මහජනතාවගේ ජීවන රටාව අතර ප‍්‍රතිවිරෝධතාවයයි.

( ආර්ථිකය ප‍්‍රජාතාන්ත‍්‍රීයකරණය සඳහා වූ සාමූහිකය විසින් 2016 අයවැය පිළිබඳ සංවිධානය කළ සාකච්ඡුාව මාලාවක් මත පදනම්ව මෙම ලිපිය සකස් කරන ලදී)

පරිවර්තනය – රමිඳු ලක්ඛික පෙරේරා

Advertisements