2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය – අහිලන් කදිරගාමර්

අහිලන් කදිරගාමර්
අහිලන් කදිරගාමර්

“නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුල ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය. කොටස් වෙළඳපොලට ආධාරක සැපයීය. බැංකු ඒකාබද්ධ කිරීම ද ඇතුලත් මූල්‍ය ඒකරාශීකරණ ක‍්‍රියාවලියකට එම පාලනය මුල පිරූ අතර කොළඹ නගරය අලංකරණය වෙත යොමුවිය. බැංකු ඒකාබද්ධ කිරීම් දිරිගන්වමින්, ප‍්‍රාග්ධන වෙළඳපොලවල් ප‍්‍රවර්ධනය කරමින් නව ආණ්ඩුවත් මූල්‍යකරණය විෂයෙහි ගමන් කරමින් සිටින්නේ ඒ මාවතේමය. තවද යෝජිත මෙගාපොලිස් ව්‍යාපෘතිය හරහා බස්නාහිර පළාතේ අති දැවැන්ත නාගරික පරිවර්තනයක් ඇති කිරීමට ආණ්ඩුව සැලසුම් කරයි. මේ මුල පිරීම් නොවැලැක්විය හැකි ලෙස කම්කරු නීති ප‍්‍රතිසංස්කරණය සමග, වෙළඳපොල හිතවාදී ඉඩම් ප‍්‍රතිපත්ති සමග හා රාජ්‍ය ආයතන ප‍්‍රතිසංස්කරණයට ලක්කිරීම සමග සම්බන්ධය. මෙකී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැගෙන්නේ නිකම් නොව ‘පිරිසිදු දෑතින් ’ යුක්තව ඒවා සිදුකෙරෙන බවට ලබා දී තිබෙන ප‍්‍රතිඥාව යටතේය.”

2016 වසර සඳහා වූ අය වැය මහත් සාදරයෙන් වැලඳ ගනු ලැබූයේ ව්‍යාපාරික ප‍්‍රජාව සහ ආර්ථික ප‍්‍රභූ තන්ත‍්‍රයයි. ආර්ථික ප‍්‍රතිපත්ති ව්‍යාපාර සඳහා හිතකර වූ පමණින් එනයින්ම ඒවා මහජනතාවට සහ ආර්ථිකයට හිතකර වේ යැයි කිව හැකිද? මේ වූ කලී වරනැඟිය යුතු ප‍්‍රශ්නයයි. 2016 අය වැය සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ අන්තර්ගත ආර්ථික ප‍්‍රතිපත්ති මීට පෙර ක‍්‍රියාත්මක වූ අර්බුදකාරීත්වය වෙත නැඹුරු වූ ආර්ථික පිලිවෙත්වලින් වෙනස් වන්නේ කොපමණ පරිමාණයකින්ද?

මෑතකාලීන දශක කිහිපය තුළ ක‍්‍රියාත්මක වූ ආර්ථික ප‍්‍රතිපත්ති පසුපස ගැබ්වී තිබුණු අධිපති දැක්ම වූ කලී නව ලිබරල් දැක්මයි. වැඩි වැඩියෙන් ප‍්‍රාග්ධනය සමුච්ඡුනය කිරීමට මූල්‍ය ප‍්‍රාග්ධනයට හැකියාව ලැබෙන පරිදි ආර්ථිකය පරිවර්තනය කිරීම මෙම දැක්ම විසින් යෝජිත පිළිවෙතයි. නව ලිබරල්වාදය ස්වකීය යැපීම සාදා ගන්නේ නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ, එනම් කර්මාන්ත ශාලා තුළ සහ තීව‍්‍ර කෙරුණු කෘෂිකර්මය තුළ සාක්ෂාත් කරගනු ලබන ලාභ මතින් පමණක් නොවේ. මහජනයාගේ ඉතිරි කිරීම් මත සිදුකෙරෙන මූල්‍යකරණයට ලක්වූ සමපේක්ෂණ හරහා සහ ඉඩම් ආදී මහජනයාගේ වත්කම් උදුරා ගැනීම හරහා ලාභ ඉපැයිය හැකි වන පරිදි එය ව්‍යාපාරවලට හිතෛශී පරිසරයක් නිර්මාණය කරයි. මෙම අයවැය සහ ඒ තුළ ගැබ්වන ආර්ථික ප‍්‍රතිපත්ති පැහැදිලිවම ව්‍යාපාර-මිත‍්‍රශීලී නව ලිබරල්වාදී ලක්ෂණ දරා සිටී. කෙසේ වූවද ඒ සමගම ලෝකයේ වෙනත් තැන්වල ක‍්‍රියාත්මක වූ ඕනෑම නව ලිබරල් පැකේජයක් මෙන් මෙම පැකේජය ද නැවත නැවත මතුවෙන ආර්ථික අර්බුද සඳහා අවශ්‍ය භූමිය සකස් කිරීමේ අන්තරායෙන් ද යුක්තය. 2008 දී බටහිර රටවල ඇති වූ ආර්ථික අර්බුදය සහ ඊට දශකයකට පෙර, නැගෙනහිර ආසියාවේ ඇති වූ ආර්ථික අර්බුදය මෙබඳු ආර්ථික අර්බුද සඳහා උදාහරණයෝය.

නව ලිබරල්වාදයේ රැළි

ආර්ථිකය ලිබරල්කරණයට ලක්කළ දකුණු ආසියාවේ මුල්ම රටක් වන ශ‍්‍රී ලංකාවට නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති යනු ආගන්තුක යමක් නොවේ. 1977 දී ආරම්භ කළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති ශ‍්‍රී ලංකාවේ ලිබරල්කරණයේ පළමු රැල්ලයි. පසුගිය දශක කිහිපය තුළ ආර්ථික ශාස්ත‍්‍රඥයින් විසින් ඉදිරිපත් කොට තිබෙන එක් අදහසක් නම් 1989-1993 පේ‍්‍රමදාස පාලන යුගය නව ලිබරල්වාදයේ දෙවන රැල්ල නියෝජනය කරන බවයි. මූල්‍ය ක්ෂේත‍්‍රය, වෙළඳාම සහ විනිමය අනුපාතිකය ආදී ක්ෂේත‍්‍ර මේ යුගයේ දී ලිබරල්කරණයට ලක්වූයේය. 1996-2000 කාලය තුළ චන්ද‍්‍රිකා කුමාරතුංග පාලනය මෙම ලිබරල්කරණ ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන ගිය අතර ඒ පෞද්ගලිකකරණය සඳහා වූ විශේෂ බර තැබීමක් සහිතවය.

1977 දී ආර්ථික ප‍්‍රතිපත්තිවල මූලධාර්මික විතැන් වීමක් සිදුවීය යන්න පොදුවේ පිලිගනු ලබන අදහසකි. මාගේ තර්කය නම් 1977 න් පටන් ගත් නව ලිබරල්වාදයේ පළමු රැල්ල පසුකාලීන දශක කිහිපය දක්වාම නොකඩවා ගලා ආ එකක් බවයි. නව ලිබරල්වාදයේ දෙවන රැල්ල සඳහා අවශ්‍ය කොන්දේසි සකස් කරනු ලැබූයේ 2002 රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවයි. ඒ එම ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළ දැඩි ලෙස ජාත්‍යන්තරකරණයට ලක්වූ සාම ක‍්‍රියාවලියට සමගාමීවය. කෙසේ වූවද නව ලිබරල් ප‍්‍රතිපත්තිවල සීඝ‍්‍රතාවය හුදෙක් බලයේ සිටින ආණ්ඩුව මත තීරණය වන්නක් නොවේ. මේ සම්බන්ධයෙන් බලපාන ඒ හා සමානවම බලගතු සාධකයක් වන්නේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික කොන්දේසීන්ය. 2002-2004 කාලය තුළ නව ලිබරල් ආර්ථික පරිවර්තනයේ දෙවැනි රැල්ල සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ ආණ්ඩුව අසාර්ථක වූයේය. මෙම අසාර්ථක වීම සිදුවූයේ ඊට පෙර පැවැති ආණ්ඩු අසාර්ථක වූ හේතුව නිසාමය. රට දිග්ගැස්සුණු යුද්ධයක් තුළ සිර වී සිටි නිසා එබඳු පරිවර්තනයකට අවශ්‍ය කරන දේශීය ස්ථාවරත්වය හෝ ගෝලීය ප‍්‍රාග්ධනය ගලා ඒම සඳහා වූ කොන්දේසි රට තුළ පැවැතුණේ නැත.

මේ නිසා මේ කාර්යය රාජපක්ෂ රෙජිමය වෙත ඉතිරි විය. 2009 යුද්ධය අවසාන කිරීමෙන් ඉක්බිති උදා වූ රාජපක්ෂගේ දෙවැනි ධූර කාලයේ දී නව ලිබරල්වාදයේ දෙවැනි රැල්ල දියත් වූ අතර අධිකාරීවාදී ලෙස ඇති කෙරුනු දේශපාලන ස්ථාවරත්වය සහ ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනයේ ගලා ඒම සඳහා ඇති වූ හිතකර කොන්දේසි විසින් මේ සඳහා පහසුකම් සපයන ලදී. 1970 දශකයේ අගභාගයේ හා පශ්චාත් 2010 යුගයේ දක්නට ලැබුණු ඉහළ ආර්ථික වර්ධන වේගයන් අතර සාම්‍යයක් පවතී. විශේෂයෙන්ම ප‍්‍රාග්ධනය ගලා ඒම සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සිදුවූ උත්පාතය මේ යුග දෙක තුලම දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. රාජපක්ෂ රෙජීමය වික‍්‍රමසිංහ ආණ්ඩුවේ ‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩපිලිවෙල ඉදිරියට ගෙන ගියේය. කෙසේ වූවද එය සිදුවූයේ රෙජිමයේ දේශපාලන හා ආර්ථික ප‍්‍රමුඛතාවයන්ට ගැලපෙන ආකාරයේ සීරු මාරු කිරීම් සහිතවය. මූල්‍යකරණ ක‍්‍රියාවලිය අති දැවැන්ත පරිමාණයකින් පිම්බී ඒමක් සහ යටිතල පහසුකම් හා නාගරික ඉදිකිරීම් විශාල පරිමාණයෙන් ප‍්‍රසාරණය වීමක් අප දකින්නේ නව ලිබරල්වාදයේ මෙන්න මේ දෙවැනි රැල්ල පටන් ගැනීමත් සමගය. මෑත මාස කිහිපය තුළ ආර්ථිකය පිළිබඳ කෙරෙන සාකච්ඡාවල ප‍්‍රධාන පෙළේ තේමාවක් බවට පත්වී තිබෙන්නේ පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව වැඩි වැඩියෙන් ණයගැති වීම පිළිබඳ ප‍්‍රශ්නයයි. මෙම ණයගැතිභාවය අහම්බයක් නොවේ. එය වූ කලී ගෝලීය ප‍්‍රාග්ධනය සහ ගෝලීය වෙළඳපොල සමග ශ‍්‍රී ලංකාව වැඩි වැඩියෙන් ආබද්ධ වීමේ තාර්කික ප‍්‍රකාශනයයි.

වංචා දූෂණ ප‍්‍රශ්නය ‘ප‍්‍රමුඛ’ වීම

රාජපක්ෂ රෙජිමය යටතේ ඉදිරියට තල්ලු වූ නව ලිබරල් ආර්ථික පිලිවෙත් සහ නව ආණ්ඩුව විසින් ක‍්‍රියාවේ යොදවා තිබෙන පිලිවෙත් අතර වෙනසක් තිබේද යන්න සාකච්ඡා කළ යුතු ප‍්‍රශ්නයකි. ආර්ථික වර්ධනයේ කේන්ද්‍රීය සංරචකයන් ලෙස මූල්‍යකරණය සහ නාගරිකකරණය සලකනු ලබන ප‍්‍රමාණයට මෙම ආණ්ඩු දෙක අතර වෙනසක් නොමැත. 2010 දී රාජපක්ෂ ආණ්ඩුවේ දෙවැනි ධූර කාලය පටන් ගැනීමත් සමග එම රෙජිමය කතිපයාධිකාරී දැක්මක් ගොඩනගා ගත්තේය. රෙජිමයේ දේශපාලන හා ආර්ථික ව්‍යාපෘතියේ ඵල ඩැහැ ගනු වස් විවිධ කණ්ඩායම් මෙකී කතිපයාධිකාරය තුළ කල්ලි ගැසුණෝය. නව ලිබරල්වාදය අරභයා වූ බලසම්පන්න දෘෂ්ටිවාදී ආස්ථානයක් මේ යුගය තුළ ප‍්‍රකටව නොපෙනීම සහ යම් තාක් දුරකට අසම්බන්ධිත යැයි පෙනෙන ක‍්‍රියාමාර්ග මේ යුගය තුළ ගනු ලැබීම රාජපක්ෂ රෙජීමයේ සමාජ පදනම් සමඟ සම්බන්ධ කොට වටහා ගත යුතු තත්වයකි. රෙජිමය මූල්‍යකරණයට ලක්වූ නාගරිකකරණය සීඝ‍්‍ර වේගයකින් ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ අතර කෙසේ වූවද එය සිදුකරනු ලැබූයේ ග‍්‍රාමීය ඡුන්දදායකයා වෙත සිදුකෙරෙන ජනප‍්‍රියවාදී ආමන්ත‍්‍රණයන්ට සමාන්තරවය.

වික‍්‍රමසිංහගේ නව ආණ්ඩුව තවමත් සිටින්නේ ශක්තිය ඒකරාශී කරගැනීමේ ක‍්‍රියාවලියේ අතර මැදි තැනෙකය. මේ ශක්තිය ඒකරාශී කරගැනීමේ ක‍්‍රියාවලිය සඳහා බලපාන තීරණාත්මක සාධකයක් වනුයේ ජනාධිපති සිරිසේන සහ ඔහුගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජනපදනම නව රෙජීමයේ අභිලාෂයන් සමග මොන තරම් දුරකට ආබද්ධ වනු ඇද්ද යන්නයි. මෙහිදී මා ‘රෙජිමය’ නමැති වචනය යොදාගන්නේ රාජ්‍ය බලයේ සුක්කානම දරා සිටින යම් නිශ්චිත දෘෂ්ටිවාදීමය හා ආර්ථිකමය අභිලාෂයන්ගෙන් යුක්ත පිරිස් හඟවනු පිණිසය. වික‍්‍රමසිංහ ආණ්ඩුව ස්වකීය අයවැය හරහා ව්‍යාපාරික පංතියට – විශේෂයෙන්ම මූල්‍ය ප‍්‍රාග්ධනයට පැහැදිලි සංඥාවක් ලබා දී තිබේ. වික‍්‍රමසිංහ හා රාජපක්ෂ ආණ්ඩුවල නව ලිබරල් ප‍්‍රතිපත්ති නිසා ප‍්‍රතිලාභ ලබන නිශ්චිත පිරිස්වල යම් යම් වෙනස්කම් තිබෙන නමුත් මෙකී ප‍්‍රතිපත්ති සේවය කරන්නේ පුලුල් වශයෙන් ගත් කල එකම පංති අභිලාෂයන් වෙනුවෙනි. එමතු නොව නව ආණ්ඩුව ව්‍යාපාර සහ වෙළඳපොල වැලඳ ගෙන තිබෙන්නේ ඉතාම විවෘතවය. කිසිදු මැලිකමකින් තොරවය.

නව ලිබරල්වාදයේ දෙවන රැල්ලෙහි සමකාලීන අවධිය තුල ගැබ්ව තිබෙන කේන්ද්‍රීය තේමාව වන්නේ මූල්‍යකරණය සහ නාගරිකකරණයයි. 2009 අගභාගයේ රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගත් අතර ස්වෛරීත්ව බැඳුම්කර පා කොට හැරියේය. කොටස් වෙළඳපොලට ආධාරක සැපයීය. බැංකු ඒකාබද්ධ කිරීම ද ඇතුලත් මූල්‍ය ඒකරාශීකරණ ක‍්‍රියාවලියකට එම පාලනය මුල පිරූ අතර කොළඹ නගරය අලංකරණය වෙත යොමුවිය. බැංකු ඒකාබද්ධ කිරීම් දිරිගන්වමින්, ප‍්‍රාග්ධන වෙළඳපොලවල් ප‍්‍රවර්ධනය කරමින් නව ආණ්ඩුවත් මූල්‍යකරණය විෂයෙහි ගමන් කරමින් සිටින්නේ ඒ මාවතේමය. තවද යෝජිත මෙගාපොලිස් ව්‍යාපෘතිය හරහා බස්නාහිර පළාතේ අති දැවැන්ත නාගරික පරිවර්තනයක් ඇති කිරීමට ආණ්ඩුව සැලසුම් කරයි. මේ මුල පිරීම් නොවැලැක්විය හැකි ලෙස කම්කරු නීති ප‍්‍රතිසංස්කරණය සමග, වෙළඳපොල හිතවාදී ඉඩම් ප‍්‍රතිපත්ති සමග හා රාජ්‍ය ආයතන ප‍්‍රතිසංස්කරණයට ලක්කිරීම සමග සම්බන්ධය. මෙකී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැගෙන්නේ නිකම් නොව ‘පිරිසිදු දෑතින් ’ යුක්තව ඒවා සිදුකෙරෙන බවට ලබා දී තිබෙන ප‍්‍රතිඥාව යටතේය.

මේ කාසියේ අනෙක් පැත්ත නම් කෘෂිකර්මය හා ධීවර ක්ෂේත‍්‍රය බඳු ග‍්‍රාමීය අංශ අඛණ්ඩව නොසලකා හැරීමට ලක්වීමය. රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම නව ආණ්ඩුවත් ග‍්‍රාමීය අංශය වෙත ලබාදෙන තොල් සාත්තුව කවරාකාර වුව මේ අංශවලට සිදුවන අයවැය ප‍්‍රතිපාදන වෙන්කිරීම් අඛණ්ඩව පල්ලම් බසින උපනතියක් පෙන්නුම් කරයි. රාජපක්ෂ රෙජිමය බැංකු විසින් ලීසිං පහසුකම් සැපයීම හා උකස් ගැනීම ප‍්‍රවර්ධනය කළ අතර ඒ හරහා ග‍්‍රාමීය ජනතාව සතු සීමිත ද්‍රවශීල වත්කම් සමූහය උරා ගැනීමට අවශ්‍ය පසුබිම මූල්‍ය ප‍්‍රාග්ධනය වෙත සපයා දුන්නේය. මේ පිලිවෙතෙහි ප‍්‍රතිඵලයක් ලෙස බැංකු තුළ ඇති වී තිබෙන ඵලදායී නොවන වත්කම් ගොඩගැසීම නිසා මතුව තිබෙන ප‍්‍රශ්න නව ආණ්ඩුව හඳුනාගෙන තිබේ. එම නිසා උකස් ගැනිම් හා ලීසිං පහසුකම් ලබාදීම් සිදුකිරීම බැංකු විසින් සීමා කළ යුතු බවට නියම කොට ඇත. එහෙත් ඒ වෙනුවට ආණ්ඩුව සාමාන්‍ය ජනයා සතු විශාලම ස්ථාවර වත්කම් විශේෂය වන ඉඩම් අරභයා වඩා විශාල ‘ක‍්‍රීඩාවක්’ සැලසුම් කොට තිබේ. සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වෙළඳාම් කළ හැකි පුද්ගලික ඉඩම් බවට පරිවර්තනය කොට ක‍්‍රමානුකූලව දේපළ වෙළඳාම් ආයෝජන භාරයන් ප‍්‍රවර්ධනය කිරීමට ඒ අනුව නියමිත අතර ඒ හරහා මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් කරන සමපේක්ෂණ කටයුතු සඳහා දොර විවෘත කිරීමටත් අවසානයේ ජනතාවගේ ඉඩම් හා නිවාසවල භුක්තිය ඔවුන්ට අහිමි කිරීමටත් අවශ්‍ය පසුබිම සැකසීම මේ ක‍්‍රියාවලිය තුල අන්තර්ගතය.

ගත වූ වර්ෂයේ මහජනයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ ප‍්‍රබලතම ඉල්ලීමක් වූයේ පසුගිය ආණ්ඩුව කාලයේ පැවැති අශ්ලීල හා මහා පරිමාණ දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් නිසි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමයි. එහෙත් එබඳු නඩු පැවරීම්වලට අදාළව නව ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටින්නේ ඉතාම මන්දගාමීවය. රාජපක්ෂ ආණ්ඩුවේ අත්තනෝමතික ක‍්‍රියා සම්බන්ධයෙන් නොනැසී පවතින අවධානය පසුගිය මාසයේ වික‍්‍රමසිංහ ආණ්ඩුව විසින් දියත් කරනු ලැබූ ආර්ථික ප‍්‍රතිපත්ති ආවරණය කරන සාර්ථක වැස්මක් බවට මේ වනවිට පත්වී තිබේ. රාජපක්ෂ රෙජිමයට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් නිසි නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබුණේ මීට මාස කිහිපයකට ඉහතදීය. එම ක‍්‍රියාවලිය කෙසේ වූවද දිග්ගැස්සෙමින් තිබෙන අතර එය එලෙස දිග්ගැස්සීම පැවැති ආණ්ඩුවට එක් අතෙකින් සහනයක් වන අතර අනිත් අතට නව ආණ්ඩුවට එක්තරා විදිහක ආවරණයකි. දුර දිග යන ආර්ථික ප‍්‍රතිපත්ති රජය විසින් ඉදිරියට දමා තිබෙන පසුබිමක මහජනයාගේ ඔලු තුළට මහා පරිමාණයෙන් එන්නත් කරනු ලැබෙන්නේ ඇවන්ට්ගාඞ් සිදුවීම පිළිබඳ ප‍්‍රවෘත්තීන්ය. වංචා දූෂණ පිළිබඳ මෙම කතිකාව හරහා මහේක්ෂ පරිමාණයෙන් සිදුවන මෙම අවධානය වෙනතක හැරවීම නව ලිබරල් පරිවර්තනය විසින් සිදුකිරීමට නියමිත භයානක ප‍්‍රතිසංස්කරණ සඳහා පහසුවක් වීමට ඉඩ තිබේ. මෙකී පරිවර්තන ක‍්‍රියාවලිය තුළ සේවකයින් බඳවා ගැනීම හා සේවයෙන් පහ කිරීම පහසු කිරීම, ප‍්‍රාග්ධනයට අවශ්‍ය සම්පතක් බවට ඉඩම් පරිවර්තනය කිරීමේ ඉඩම් පිලිවෙත් සහ රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය යටතේ රාජ්‍ය ආයතන ව්‍යාපාරකරණයට ලක්කිරීම ආදී වූ ප‍්‍රතිසංස්කරණ අන්තර්ගතය.

අනාගතය අස්ථිරය

කෙසේ වූවද ආණ්ඩුව අභිමුව පවතින ආර්ථික වටපිටාව එතරම් සුන්දර වූවක් නොවේ. නව ලිබරල්වාදයේ දෙවැනි රැල්ල පටන් ගෙන පස්වන වසර ගත වන මේ මොහොතේ අර්බුදයක් සඳහා අවශ්‍ය තත්වයන් රට තුළ මෝදු වෙමින් පවතී. දේශීය ණයගැතිභාවය එන්න එන්න වැඩි වීම, විදේශ විනිමය සංචිත පහත වැටීම සහ ගෙවුම් ශේෂය අර්බුදයට ලක්වී තිබීම විසින් මූල්‍ය අර්බුදයක් සඳහා අවශ්‍ය තත්වයන් නිර්මාණය වී තිබේ. තවද එමගින් ගෝලීය ප‍්‍රාග්ධනයට ලංකාව අත් හැර ඉවතට ගැලීම සඳහා අවශ්‍ය කොන්දේසි ද නිර්මාණය කෙරේ. දකුණු යුරෝපයේ මෑතකදී හටගත් ආර්ථික අර්බුදය ඇතුලු ලෝකය පුරා මෑතකාලීනව ඇති වූ සියලුම ආර්ථික අර්බුදවල දී හරියටම සිදුවූයේ මෙලෙස වර්ධනය වූ අර්බුදකාරී කොන්දේසි පුපුරා යෑමයි.

2010 දී රාජපක්ෂ රජය වාසනාවන්ත වූයේ 2008 බටහිර රටවල ආර්ථික අර්බුදය ඇති වී තිබූ තතු යටතේ ‘නැගී එන වෙළඳපොලක් ’ ලෙස ප‍්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් ලංකාව වෙත තිබූ නිසාය. කෙසේ වූවද දැන් එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් ආයතනය මගින් පොලී අනුපාතික ඉහළ දමා තිබෙන අතර ගෝලීය ප‍්‍රාග්ධන ගලනයේ දිශානතිය වෙනස් වී තිබේ. වික‍්‍රමසිංහ ආණ්ඩුව දේශීය ආර්ථික වර්ධනය සඳහා සපයනු ලබන නව ලිබරල් තල්ලුව මගින් අපේක්ෂා කරන්නේ ගලා එන ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය නාගරික ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුලට අවශෝෂණය කරගැනීමයි. එම නිසා දේශීය වෙළඳපොල ගෝලීය ප‍්‍රාග්ධනයට වඩා ‘ආකර්ෂණීය’ කිරීම සඳහා තව තව දේවල් කිරීමට වික‍්‍රමසිංහ රජයට සිදුවනු ඇත. මහජනයාගේ වත්කම් – එනම් ඉඩම්, ඉතුරුම් හා විශ‍්‍රාම වැටුප් ආදිය මහජනයාට අහිමි කොට ඒවා ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් සිදුකරන සමපේක්ෂණ කටයුතුවලට විෂය වන ලෙස වෙළඳපොල වෙත යොමු කිරීම දේශීය වෙළඳපොල වඩාත් ‘ආකර්ෂණීය’ කිරීම සඳහා ආණ්ඩුව පැත්තෙන් සිදුකිරීමට නියමිත එලැඹුමකි.

ලෝකය පුරා නැවත නැවත සිදුවූ මූල්‍ය අර්බුද විසින් වඩ වඩාත් නව ලිබරල් පරිවර්තනයන් වෙත තල්ලු වීම සඳහා අවස්ථා නිර්මාණය කරනු ලැබීය. මේ වෙනස්කම් ඇති වූයේ මර්දනය සහ භුක්තිය අහිමි කිරීම හරහාය. මේ අවදානම ශ‍්‍රී ලංකාවේ මහජනතාව ඉදිරියේ එලෙසම පවතී. එහෙත් අය වැය හෝ අගමැතිවරයාගේ ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිබඳ සිදුකෙරෙන බහුතරයක් ප‍්‍රසිද්ධ අදහස් දැක්වීම් තුල මේ ප‍්‍රශ්නය ගැන කථා කරන්නේවත් නැත. අඩු තරමින් මෙම අය වැයෙන් මහජනයාට ලැබුණු එකම ප‍්‍රතිලාභය වන අධ්‍යාපනය සඳහා සිදුවූ වැඩි ප‍්‍රතිපාදන වෙන් කිරීම පවා නව ලිබරල් ධනවාදී අර්බුද චක‍්‍රය සහ එය විසින් දියත් කරනු ලබන භුක්තිය අහිමි කිරීමේ ක‍්‍රියාවලිය අභිමුව සුරක්ෂිත වනු ඇද්ද? නව ලිබරල්වාදය විසින් මෙහෙයවෙන භුක්තිය අසන්තක කිරීමේ ක‍්‍රියාවලිය ඉදිරියේ මහජනයා සතු දේවල් ආරක්ෂා කිරීමට නම් එලැඹෙන සති සහ මාස කිහිපය තුළ ඉඩම්, රැකියා හා සමාජ ආරක්ෂණය ආදී සංයුක්ත ප‍්‍රශ්න ගැන සිදුවන වාද විවාද පමණක් ප‍්‍රමාණවත් නොවන අතර ඒ ප‍්‍රශ්න විෂයෙහි පැනනගින මහජන අරගල මෙකී හිමිකම් ආරක්ෂා කරගැනීමෙහිලා බෙහෙවින් වැදගත් වනු ඇත.

Advertisements