දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (2 කොටස) :මිථ්‍යා කථා වාද විවාද හා ඉතිහාසය-මහාචාර්ය ගණනාථ ඔබේසේකර

ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර

“මහාවංශය කෙතරම් වෙහෙස දැරුවද සාමාන්‍ය සදාචාර ධර්මයන්ට අනුකූලව සෝනුත්තරගේ සහ අනෙකුත් භික්ෂූන්ගේ ක්‍රියා කලාප වංචාවෙන් හා හොරකමෙන් වෙන් කළ නොහැක. මට සිතෙන අන්දමට සාමාන්‍ය ගැමියන්ගේ හෘදසාක්ෂිය උගතුන්ගේ සහ භික්ෂූන්ගේ‍ හෘදසාක්ෂියට වඩා සියුම්ය. වහා සසලවන සුළුය. ඔවුන් සිංහල ථූපවංශයේ ඇති කථා ස්වරූපය තම මිථ්‍යා කථා ආකෘති තුළ යළි යළිත් හුවා දක්වා ඇත. දුටුගැමුණු රජ නාගයෙකු විසින් දෂ්ඨ කිරීම නිසා කාලක්‍රියා කළේ පව් පලදීම නිසාය. කොත්මලේ ගැමියන් ගෙතූ කථාවේ එන රජුගේ මරණය පිළිබඳ තොරතුර ලේඛනගත නොවූ මිථ්‍යා කථා රාශියක් ද ඒවායේ විවිධ ස්වරූප හා ඒ තුළ ගැබ් වූ විවිධ වාද විවාද රාශියක් මත පදනම් වූවා වෙන්නට පුළුවන. යමෙකු තමාගේ ප්‍රතිභාවයන් යොදා මේ වාද විවාදවල අර්ථයන් යළි ගොඩනංවන්නට පුළුවන. එනම්, භික්ෂුව විසින් වංචා කරනු ලැබූ නාගයින් ශාප කළ නිසා රජු රුවන්වැලිසෑය නිම වීමට පෙර මිය ගියේය යන්නය.”

මිථ්‍යා කථා වාද විවාද හා ඉතිහාසය

ඉතිහාසය මිත්‍යා කථා ඇති කිරීමට පසුබිමක් දෙයි. එසේම, ‍ඓතිහාසික කරුණු මිත්‍යා කථා බවට පත් වන අයුරු ද පෙන්වා දෙයි. මේ අතර, මිත්‍යා කථා තුළ ගැබ්වී ඇති වාද විවාද ඉතිහාසය තේරුම් ගැනීමට උපකාරී වෙයි.

මිත්‍යා කථා තුළ කැටි ගැසුනු වාද විවාද තේරුම් ගන්නේ කෙසේද? සම්ප්‍රදායිකව උගතන් විසින් ‘ඓතිහාසික’ යැයි හඳුන්වනු ලබන ගැටළු, මිත්‍යා කථා වාද විවාද ඉදිරිපත් කෙරෙන ආධාරකයන් හැටියටගෙන විශ්ලේෂණය කිරීමෙන් පැහැදිළි කරන්නේ කෙසේද?

මේ සඳහා දුටුගැමුණු කථාවෙන් කොටසක් ඉදිරිපත් කරමු. දුට්ඨගාමිණී තරුණ කළ ගෙදරින් පැන ගොස් සැඟවී සිටි කොත්මලේ ප්‍රදේශයේ ගැමියන් අතර පැවතුනු (මාගරිට් රොබින්සන් එකතුකළ) දුටුගැමුණු කථා සම්භාරයෙන් එකක් අනුව නාගයෙකු විසින් දෂ්ඨ කිරීම නිසා දුට්ඨගාමිණී මිය ගියේ ය. මෙය වංශ කථාවල සඳහන නොකෙරෙන පුදුමාකාර ප්‍රවෘත්තියකි. නමුත් මෙය විවාදයක අංගයක් ලෙස ගතහොත් එහි අර්ථය පැහැදිළි වෙයි.

මහාවංශයට හා අනෙකුත් වංශ කථාවලට අනුව රජුගේ අවසාන මහා පුන්‍යකර්මය රුවන්වැලිසෑය බැන්දවීමය. නමුත් එය අවසාන වීමට පෙර රජු කාළක්‍රියා කළේය. මහාවංශයේ එක් පරිච්ඡේදයක් වෙන්වන්නේ මේ ස්තූපයෙහි සර්‍වඥ ධාතූන් නිදන් කිරීම විස්තර කිරීම සඳහා ය. පාලි ථූපවංශය මෙය තවදුරටත් විස්තර කරයි. කෙටියෙන් සඳහන් කරතොත්, රජුගේ ඉල්ලීමට අනුව ධාතුනිධානෝත්සවය සංවිධානය කළ භික්ෂූන් නාග ලෝකයෙහි වූ ස්තූපයක නිදන් කරන ලද සර්‍වඥ ධාතූන් ලබා ගැනීම සඳහා අද්භූත බලධාරී‍ සෝනුත්තර නම් භික්ෂුවක් නාග ලෝකයට පිටත් කර ඇත. සෝනුත්තර නාග ලෝකයට ගොස් නාගයන් හමු වී මේ කාරණය ඉදිරිපත් කොට ඇත. මේ ගැන බලවත් සේ චිත්ත වික්ෂිප්තයට පත් වූ නා රජු සෝනුත්තරගේ අභිප්‍රාය වෙනස් කිරීම සඳහා යමක් කරන ලෙස ස්වකීය ඥාතිපුත්‍ර වාසුලදත්තට ඉඟියෙන් පැවසීය. වාසුලදත්ත ස්තූපයට ගොස් ධාතූන් සහිත කරඬුව ගිල අනතුරුව මහාමේරු පර්වතයට ගොස් දහසක් හිස් මවාගෙන ඉන් ගිනි දුම් විදිමින් භයංකර සර්ප විලාසයෙන් දරණ ගොතාගෙන සිටියේ ය. මෙයින් සැනසුනු නා රජු සෝනුත්තර අමතා කියන්නේ තමන් සතු සර්‍වඥ ධාතූන් නැති බවය. මෙය පිළිනොගන්නා සෝනුත්තර නා රජුට කියන්නේ බුද්ධ ආඥාව අනුව මේ ධාතූන් නිදන් කළ යුත්තේ දුටුගැමුණුගේ රුවන්වැලි සෑයේ බවය. නමුත් නා රජු මෙයට නැමුනේ නැත. නොයෙකුත් අනර්ඝ මැණික් වලින් සැරසූ චෛත්‍යයක ධාතූන් නිදන් කොට ඇති බවත් එම සෑයේ පඩිපෙළ මුල දමා ඇති ගල් තලය ශ්‍රී ලංකාවේ ඇති සියළු මැණික් වලට වඩා වටිනා බවත් පවසන නා රජු වැඩි ගරු බුහුමන් ලබන තැනකින් අඩු බුහුමන් ලැබෙන තැනකට මේ ධාතූන් ගෙන යන්නට තැත්කරන බව තමන්ට නොපෙනෙන්නේ දැයිද අසයි. සෝනුත්තර මෙසේ පිළිතුරු දෙයි. “ඇත්ත වශයෙන් මේ නාගයන්ට ධර්මය වැටහෙන්නේ නැත. ධාතූන් ධර්මය වැටහෙන තැනැත්තන් සිටිනා තැනකට ගෙන යාම වඩා සුදුසු ය.” (පාලි ථූපවංශය)

අවසායේදී සෝනුත්තර තම අද්භූත බලය යොදා වාසුලදත්තට නොදැනෙන්නට ඔහුගේ කුසයෙන් ධාතූන් ඉවත් කරයි. පසුව මෙය දැනගන්නා වාසුලදත්ත බලවත් සේ කම්පා වෙයි. මහාවංශයට අනුව නා රජු ද “අපි වංචාකරනු ලදිමු” යි කියමින් හඬා වැලපෙයි. රංචු පිටින් පැමිණි නාගයෝ ද එසේම වැලපෙති. (මහාවංශ ඡේදය Mv.xxxi 71)

නමුත් භික්ෂූන්ට නාගයින්ගේ ශෝකය දැනෙන්නේ නැත. ඔවුහු ප්‍රීතියෙන් උදම් වෙති. (මහාවංශ ඡේදය Mv.xxi 72)

කිහිප නමක් භික්ෂූහු බොහෝ පරිත්‍යාගශීලීව ධාතූන් කිහිපනමක් නාගයින්ට දෙති. නාගයෝ ද ඉන් සැනසෙති.

සිංහල ථූපවංශය
සිංහල ථූපවංශය

සිංහල ථූපවංශය මහාවංශ සම්ප්‍රදායට ගරු කරමින් එහි කථාවේ ඇති ආකෘතිය යොදා ගත්තද සෝනුත්තරගේ ක්‍රියා කලා‍පයෙහි වූ සදාචාර ධර්මතාවය පිළිබඳ විවාදයක් කථා සාරයට එක් කරයි. එය මහාවංශය ඉවත දැමූ දෘෂ්ඨිකෝණයක් – එනම්, හෘදසාක්ෂියෙහි ඇතිවන ගැටුම් පෙන්වන දෘෂ්ඨිකෝණයක් – මතු කරයි. නාගයින්ගේ සිත් තුළ කම්පාව සිංහල ථූපවංශය ඉදිරිපත් කරන්නේ පහත දැක්වෙන ප්‍රශ්ණාවලිය මඟිනි. “සියළු සත්වයන් කෙරෙහි පතළ කරුණායෙහි මුල් බවට පැමිණි සර්වඥපුත්‍රයන් වහන්ස, මේ සසර දුක් වැඩි වූයේ මිනිසුන්ට ම ද? නිවන් මිහිරි වූයේ මිනිසුන්ට ම ද? බුදු වූ ස්වාමිදරුවාණන් පාරමිතා පුරා බුදු වූයේ මිනිසුන්ට ම ද? ඒ සඟරුවන් දුක්දොම්නස් නැති කරන්නේ මිනිසුන්ගේ ම ද? ඒ ස්වාමිදරුවන්ගේ ශරීරයෙන් විසිරුණු ශරීර ධාතූන්වහන්සේ අප විෂඝෝර විසින් අප ඇසට හලාහල වී ද? මිනිසුන් ඇසට කරුපුර සලාක වී ද? ඒ ස්වාමිදරුවන්ගේ රූපශ්‍රී මිහිරි වූයේ මිනිසුන්ට ම ද? සුවාමිදරුවාණන්ගේ ධාතු වැඳපිදූ පමණින් සතර අපායෙහි අකුල් හෙලා නිවන් මහවත් රජමහවත් වන්නේ මිනිසුන්ට ම ද? ඇයි අපිත් සසර නොසිටියමෝ ද? මිනිසුන්ගේ දුක පහ කරම්හ යි බුදු වූ බව මුත් නාලොව ඇත්තන්ගේ දුක් පහ කරම්හ යි නොසිතූ සේක් ද? මෙසේම අපට තද වන්ට මුළු ලොව පැතිරි ඒ බුදුන්ගේ කරුණාව අප විෂඝෝර හෙයින් ඇකිළී අප කරා නොවන්නේ ද? නැවත බුදුවන්ට වඩනා ස්වාමි දරුවාණන් වළඳා හළ පාත්‍රය ගඟට හළ කළ උඩුලං ඉලා අසූ අතක් ගොස් සළාවැටුමෙක්හි වන්නේ අප කුලයේ එකක්හුගේ භවනයට නො වේ ද? ප්‍රථම බෝධියෙහි සත් දවසක් වස්නා මහවැස්සෙහි රිදී උළින් බැඳි ආසනයක් මෙන් දරණවැල්ගැබ හිඳුවා ගෙන ගඳකිළිකොට වඩා හිඳුවූයේ අප කුලයෙහි නයෙක් නොවේ ද? බුදුවන මඟුලෙහි දී දහසක් තුඩු මවාගෙන ස්වාමි දරුවන්ට වන්දිභට්ටයෙකු සේ ස්තූති ඝෝෂා කළෝ අප කුලයෙහි ගැත්තෙක් නොවේ ද? එසේ හෙයින් ස්වාමිදරුවාණන්ට මේ හිමිකම් බිණීමෙහි අපිත් අවශ්‍යයෙන්ම ගැත්තම්හ. එසේ හෙයින් අපට අනුග්‍රහ කොට වදාළ මැනව. නුඹ වහන්සේ ධාතූන් වහන්සේ ඇර ගෙන ඊමෙන් මහා පීඩාවට පැමිණියම්හ” යි සඟ මැද අනේක කාරණා කියා ඒ නයි මේ සැටියේ ඇඬූ ය. (සිංහල ථූපවංශය, ඒ අධිකාරී, සුචරිත ගම්ලත් ඡේදය – මුද්‍රණය 1985, පිටුව 223)

මේ අනුව, සෝනුත්තරට හා කලින් සඳහන් කළ රහතුන් අට නමට වඩා හොඳින් බුද්ධ ධර්මයෙහි ඇති විශ්ව පණිවුඩය තේරුම් ගත් නාගයින් කෙරෙහි ථූපවංශ රචකයා දක්වන්නේ බලවත් අනුකම්පාවකි. නාගයින්ගේ දෘෂ්ඨිකෝණයට අනුව සෝනුත්තර නාගයින් වංචාකළා පමණක් නොව ඔහු දේශනා කළ ධර්මය ද වංචා කළේය. මේ කථාව එන සෑම ග්‍රන්ථයකම සෝනුත්තරගේ චරිතයේ හා ක්‍රියා කළාපයේ ගැබ් වී ඇති සදාචාර ධර්ම පිළිබඳ ගැටුමක් සඳහන් වෙයි. කථාව ඉදිරියට ගෙන යාම සදහා නාග ලෝකයට ගොස් ධාතූන් ‍ගෙන ඒමට අද්භූත බලධාරී භික්ෂුවක් රචකයාට අවශ්‍ය වෙයි. නමුත් සාමාන්‍යයෙන් මේ බලය ඇත්තෙ භාවනානුයෝගීව තවුස්දම් රකිනා රහතුන්ට පමණි. ඒ එසේ වුවද රචකයා සෝනුත්තරට දෙන ක්‍රියාකලාපය රහතෙකුට පමණක් නොව උපසම්පදාව ලැබූ සාමාන්‍ය භික්ෂුවකට වුවද නොතරම්ය. මේ ගැටුම කථා රචකයා විසඳන්නේ සෝනුත්තර, අද්භූත බලධාරී වුවද, සොළොස් වියැති සාමනේරයෙකු කිරීමෙනි. සෝනුත්තර චරිතය මතු වන්නේ ඓතිහාසික සිද්ධියක් තුළින් නොව කථා ආකෘතියේ අවශ්‍යතාවයන් හා සීමාවන් තුළිනි.

මහාවංශය කෙතරම් වෙහෙස දැරුවද සාමාන්‍ය සදාචාර ධර්මයන්ට අනුකූලව සෝනුත්තරගේ සහ අනෙකුත් භික්ෂූන්ගේ ක්‍රියා කලාප වංචාවෙන් හා හොරකමෙන් වෙන් කළ නොහැක. මට සිතෙන අන්දමට සාමාන්‍ය ගැමියන්ගේ හෘදසාක්ෂිය උගතුන්ගේ සහ භික්ෂූන්ගේ‍ හෘදසාක්ෂියට වඩා සියුම්ය. වහා සසලවන සුළුය. ඔවුන් සිංහල ථූපවංශයේ ඇති කථා ස්වරූපය තම මිථ්‍යා කථා ආකෘති තුළ යළි යළිත් හුවා දක්වා ඇත. දුටුගැමුණු රජ නාගයෙකු විසින් දෂ්ඨ කිරීම නිසා කාලක්‍රියා කළේ පව් පලදීම නිසාය. කොත්මලේ ගැමියන් ගෙතූ කථාවේ එන රජුගේ මරණය පිළිබඳ තොරතුර ලේඛනගත නොවූ මිථ්‍යා කථා රාශියක් ද ඒවායේ විවිධ ස්වරූප හා ඒ තුළ ගැබ් වූ විවිධ වාද විවාද රාශියක් මත පදනම් වූවා වෙන්නට පුළුවන. යමෙකු තමාගේ ප්‍රතිභාවයන් යොදා මේ වාද විවාදවල අර්ථයන් යළි ගොඩනංවන්නට පුළුවන. එනම්, භික්ෂුව විසින් වංචා කරනු ලැබූ නාගයින් ශාප කළ නිසා රජු රුවන්වැලිසෑය නිම වීමට පෙර මිය ගියේය යන්නය. ඇත්ත වශයෙන්, දකුණු ආසියාවේ සෑම ප්‍රදේශයකම ගැමියෝ නාගයින් නැසීම කෙසේ වෙතත් ඔවුන්ට කරදර කිරීමටවත් මැලිවෙති. වස්වදිතැයි බියෙනි. මහාවංශ රචකයා හඟවන පරිදි නා රජු වංචා කිරීමේ සිද්ධිය ගැමි සංකල්ප වලට එක් වී නැත. නමුත් මට හැ‍ඟෙන පරිදි මේ සිද්ධිය ජන සංකල්ප වලින් මඟහැරී ගොස් නැත. නා රජුගේ සාපය පිළිබඳ ගැමි සංකල්පයක් තිබෙන්නට හොඳටම ඉඩකඩ ඇත. කොත්මලේ ගැමි කථාව මේ ජන සංකල්පවල නූතන ස්වරූපයකි. මගේ අදහස නිවැරදිනම් රුවන්වැලිසෑය නිම වීමට පෙර රජු මිය යෑමේ සිද්ධිය ඓතිහාසික කරුණකට වඩා හොඳින් මිථ්‍යා කථාවක එන ජවනිකාවක් හැටියට අර්ථ කථනය කළ හැක.

මතු සම්බන්ධයි.

උපුටා පල කරන්නේ නම් කතිකා සංවාද මණ්ඩපයෙන් ගත් බව සඳහන් කරන්න.

Advertisements

2 thoughts on “දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (2 කොටස) :මිථ්‍යා කථා වාද විවාද හා ඉතිහාසය-මහාචාර්ය ගණනාථ ඔබේසේකර”

  1. ජන කථා මිථ්‍යා කථා ලෙස දැක්වීම වැරදිය. ජන කථා යන වචනය හා බැඳුන වටිනාකම් සමුහය මිථ්‍යා කථා යන වචනය හා බැඳුන වටිනාකම් සමුහය සමග සමාන වන්නේ නැත.

    සමරසේකර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )