ධනේශ්වර සංවර්ධනය අනිවාර්ය ඓතිහාසික ඉරණමක් නොවේ – කුමුදු කුසුම් කුමාර

ගෝලීය නව ලිබරල්වාදී යුගයේ වමේ දේශපාලනය
ඩේවිඩ් හාර්වි
ඩේවිඩ් හාර්වි

“මෙහිදී පළමුව, ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස් ගේ විග්‍රහය විශ්වීය ඓතිහාසික අනිවාර්යයක් පිළිබඳ න්‍යායක් නොවන බව අප වටහා ගත යුතුය. යුරෝපයේ පැවැති තත්වයන් පිළිබඳ අධ්‍යයනයකින් මාක්ස් ගොඩනැඟූ ඓතිහාසික භෞතිකවාදය “ තමන් එතුළ සිටින ඓතිහාසික තත්වයන් කුමක් වුවත් හැම ජනතාවක් මත ඉරණම විසින් පණවනු ලැබූ ලැබූ පොදු මාවතක් (marche generale) පිළිබඳ ඓතිහාසික-දාර්ශනික න්‍යායයක්” නොවේ යැයි මාක්ස් ම 1877 දී Otecestvenniye Zapisky ට ලිපියක් ලියමින් කියා සිටියේය. කිසියම් රටක් ධනේශ්වර සංවර්ධනයක් අත්පත් කර ගැනීම අනිවාර්ය ඓතිහාසික ඉරණමකින් තීරණය වන්නක් නොවේ. එමෙන්ම සමාජවාදය ගොඩ නැංවීමේ උත්සාහයේදී හැම රටක්ම අනිවාර්යයෙන් ධනේශ්වර අවධියට සංක්‍රමණය වී එය පසුකොට යා යුතු යැයි මාක්ස් අදහස් කරන්නේද නැත. රටක සමාජීය වෙනස් වීම් ඓතිහාසිකව තීරණය කෙරෙනු ඇත්තේ දේශපාලනයේ කෙරෙන සක්‍රීය අරගලයන් තුළිනි.”

මාක්ස් ‍ඓතිහාසික භෞතිකවාදයේදී පංති අරගලයේ න්‍යායට ඌණ පූරකයක් ලෙස ඉදිරිපත් කළ ආර්ථික සංවර්ධනයේ අවධි න්‍යායට අනුව අනුක්‍රමික අවධීන් පහක් – වහල්, වැඩවසම්, ධනවාදී, සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී යුග හරහා බටහිර යු‍රෝපයේ මානව ඉතිහාසය පරිණාමය වෙයි. මේ එක් එක් යුගයක් මානව යහපැවැත්ම තීන්දු කරන මූලික අවශ්‍යතා සපයා දෙන භෞතික තත්වයන්ගේ වර්ධනය අතින් ගත් කළ ඉන් පෙර ආ එකට ඉදිරියෙන් සිටියි.

ඒ අනුව වැඩවසම්වාදය ඉක්මවා ධනවාදය සංවර්ධනය විම සමාජවාදය කරා සිදුවන පරිණාමයේ ප්‍රගතිශීලී පියවරකි. කාර්මික විප්ලවය සහ ප්‍රංශ විප්ලවය පසුබිමෙහි ඇති වූ විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයන් කෘෂිකර්මයේ ඵලදායීතාව ඉහළ නැංවීම නිසා කෘෂිකාර්මයෙන් ශ්‍රමය විතැන් වූ අතර එම ශ්‍රමය යොදා ගත හැකි කාර්මික අංශ නගරාශ්‍රිතව වර්ධනය විය. 18 වැනි සියවසේ එංගලන්තයේ සිදු වූ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය එරට වැඩවසම් ක්‍රමය ධනවාදය දක්වා විප්ලවීය විපර්යාසයට ලක් කිරීමෙහි ලා සංස්ථිතික භූමිකාවක් රඟදැක්වූ බවද මාක්ස් දක්වා ඇත. ඒ මගින්, යැපුම් මාර්ගයක්ව පැවති ඉඩම් වෙළෙඳ පොළ භාණ්ඩයක් බවට හැරවීම සහ සුළු ගොවි ඉඩම් හිමියන් සහ ප්‍රවේණි දාසයන් කෘෂිකාර්මික කම්කරුවන් බවට විපරිණාමය කෙරිණි.

මාක්ස්වාදී උරුමයේ එන මෙම සුපතළ විග්‍රහයන් සිහිපත් කරන්නේ වත්මනෙහි ලංකාවේ වමේ දේශපාලනයේ අරමුණ කුමක් විය යුතුද? යන්න පිළිබඳ සාකච්ඡාවකට පූර්විකාවක් වශයෙනි. එහිදී පැහැදිළි කර ගත යුතු කරුණක් නම් ධනේශ්වර සංවර්ධනය පිළිබඳ අදහස සහ එතුළ වමේ දේශපාලනයේ භූමිකාව කුමක් විය යුතුද? යන්නයි.

මෙහිදී පළමුව, ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ මාක්ස් ගේ විග්‍රහය විශ්වීය ඓතිහාසික අනිවාර්යයක් පිළිබඳ න්‍යායක් නොවන බව අප වටහා ගත යුතුය. යුරෝපයේ පැවැති තත්වයන් පිළිබඳ අධ්‍යයනයකින් මාක්ස් ගොඩනැඟූ ඓතිහාසික භෞතිකවාදය “ තමන් එතුළ සිටින ඓතිහාසික තත්වයන් කුමක් වුවත් හැම ජනතාවක් මත ඉරණම විසින් පණවනු ලැබූ ලැබූ පොදු මාවතක් (marche generale) පිළිබඳ ඓතිහාසික-දාර්ශනික න්‍යායයක්” නොවේ යැයි මාක්ස් ම 1877 දී Otecestvenniye Zapisky ට ලිපියක් ලියමින් කියා සිටියේය. කිසියම් රටක් ධනේශ්වර සංවර්ධනයක් අත්පත් කර ගැනීම අනිවාර්ය ඓතිහාසික ඉරණමකින් තීරණය වන්නක් නොවේ. එමෙන්ම සමාජවාදය ගොඩ නැංවීමේ උත්සාහයේදී හැම රටක්ම අනිවාර්යයෙන් ධනේශ්වර අවධියට සංක්‍රමණය වී එය පසුකොට යා යුතු යැයි මාක්ස් අදහස් කරන්නේද නැත. රටක සමාජීය වෙනස් වීම් ඓතිහාසිකව තීරණය කෙරෙනු ඇත්තේ දේශපාලනයේ කෙරෙන සක්‍රීය අරගලයන් තුළිනි.

තවද, වමේ දේශපාලනයේ අපේක්ෂාවන් ධනවාදී සමාජයක් බිහිවීමෙන් අගතැන් පත්වන ඒවා නොව ඉන් ඔබ්බට යන ඒවාය. සමාජවාදය පසෙක තිබියේවා, ජනවාරි 8 වැනිදා ව්‍යාපාරයේ වමේ මූලික ඉල්ලීම් වූ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වුව ධනේශ්වර සංවර්ධනයක් තුළත් සපුරා තෘප්තිමත් කෙරෙන ඒවා නොවේ.

සමාජවාදය යනු මානවයන්ට වඩා යහපත් ජීවන තත්වයක් සහ යහ පැවැත්මක් සහතික කරන මානවවාදී සමාජයක් නම් ඒ සඳහා අරගල කිරීමේදී වමේ දේශපාලනය ධනවාදයෙහි වත්මන් ස්වරූපය වටහා ගත යුතුය.

මෙම ගෝලීය ධනවාද‍යේ හරය කාර්මිකකරණය නොව මූල්‍යකරණයයි. එහි අද වන විට සිදුවී ඇති කඩා වැටීමට පිළියමක් ලෙස මුදා හැර ඇත්තේ රාජ්‍ය අංශය දිය කර හැරීමේ නව-ලිබරල්වාදී ප්‍රතිපත්තියයි. ‍ඩේවිඩ් හාර්වි නමැති මාක්ස්වාදී ශාස්ත්‍රඥයා විග්‍රහ කොට ඇති පරිදි නව-ලිබරල්වාදයේ වත්මන් එළඹුම ‘භුක්තිය අසන්තක කිරීම මගින් සිදුවන සමුච්ඡකරණය’ යි. එනම්, එය රාජ්‍ය අංශය දිය කර හැරීමට අමතරව දුප්පතුන් අත ඇති ඉඩම්, නිවාස සහ ඉතුරුම් වැනි සම්පත් ඔවුන්ට අසන්තක කොට වෙළෙඳ පොළේ ප්‍රාග්ධනය සමුච්ඡායනය සඳහා මුදා හැරීම අරමුණු කරයි. අහිලන් කදිර්ගාමර් ( මූලාශ්‍ර සඳහා ලිපිය අග බලන්න ) සාකච්ඡා කරන පරිදි “ මෙහි අදහස නම් ජනතාවගේ වත්කම් හා විවිධ හිමිකම් එනම් තමන්ගේ ඉඩම්වලට, නිවාසවලට, ඉතුරුම්වලට සහ අධ්‍යාපනය හා සුවසේවාව ආදී සුබසාධන සේවාවලට අදාළව ජනතාවට තිබෙන හිමිකම් ඔවුන්ගෙන් උදුරා ගැනීම තුළින් ද ධනය සමුච්ඡකරණය වේ” යන්නයි. ආර්ථික සම්පත් ප්‍රයෝජ්‍ය වටිනාකම් සඳහා පරිහරණයෙන් මුදවා හුවමාරු වටිනාකම් ලෙස අලෙවි කිරීමට සහ මිළ දී ගැනීමට වෙළෙද පොළට මුදා හැරීමට මේ මගින් සිදු ඉඩ සැළසෙයි.

මෙම එකම ක්‍රියාවලියේම දිගුවක් ලෙස නගර ප්‍රභූකරණයට ලක් කිරීම, දුප්පතුන් තම නිවාස වලින් පළවා හැර එම ඉඩම් ප්‍රාග්ධන සමුච්ඡායනයට සම්පත් වශයෙන් ලෝක වෙළෙඳ ‍පොළට මුදා හැරෙයි.

රනිල් වික්‍රමසිංහ රජයේ වත්මන් ආර්ථික ප්‍රතිපත්ති සහ ඒ අනුව යන අය-වැය ගම්‍යමාන කරන සමාජීය වෙනස් කම් අප වටහා ගත යුත්තේ නව-ලිබරල් ධනවාදය පිළිබඳ ඉහත පසුබිමෙහිය. ශ්‍රම, ඉඩම් සහ මූල්‍ය වෙළෙඳ පොළ නිර්බාධීකරණය ඉලක්ක කරගත් මෙම ප්‍රතිපත්ති ලංකාවේ නව-ලිබරල්වාදි ආර්ථික පිළිවෙත ඉදිරියට ගෙනයාමේ තෙවැනි අදියර බව මාක්ස්වාදී විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. විජේ නාගරාජ් ( මූලාශ්‍රය සඳහා ලිපිය අග බලන්න ) තර්ක කරන පරිදි ඔප්පු නැති කෘෂිකාර්මික හෝ ‍නේවාසික ඉඩම් භුක්ති විඳින්නන්ට ඒවාට ඔප්පු දීම එම ඉඩම් වෙළෙඳ පොලේ අළෙවිය සඳහා නිදහස් කිරීමකි. මෙය ඉඩම් අයිතිය සහතික කිරීමක් වන නමුත් ඉඩම් හිමියන්ගේ ආර්ථිකය සුරක්ෂිත කෙරෙන ආරක්ෂණ පියවර වලින් තොරව දිළිඳු සහ පහළ මැද පන්තීන්ට තම දේපළ අසන්තික කිරීමේ ක්‍රියාවලියක් බවට මෙය වර්ධනය විය හැකිය. එවැන්නකින් එංගලන්තයේ ඉඩම් කොටුකිරීමේ ව්‍යාපාරය බඳු ධනේශ්වර කෘෂිකාර්මික සංවර්ධනයක් ලංකාවේ සිදු වෙතැයි තහවුරු කිරීමට පදනමක් නැත. කෙසේ හෝ එවැන්නක් සිදුවුවත් ගොවීන්ට ඉඩම් අසන්තක කොට නගරයට පළවා හැරෙන ක්‍රියාවලියකට මානව හිතවාදී වාමාංශිකයන්ට එකඟ විය නොහැකිය. මෙම ගැමියන්ගේ ජිවන තත්වය නගා සිටුවන රැකියා උත්පාදනය කෙරෙන නිසි ආකාරයක් ද දක්නට නොමැති පසුබිමක මෙහි බරපතළකම වඩාත් මතුවෙයි.

මෙම ඉඩම් වෙළෙඳ පොළට මුදාහැරීම සහල් වෙනුවට අපනයන භෝග කෘෂිකර්මයක් සංවර්ධනය කිරීම ඉලක්ක කරයි. එය සහල් මත පදනම් වූ ආහාර සුරක්ෂිතතාවට වළ කපනු ඇත. අහිලන් කදිර්ගාමර් (බලන්න, පහත මූලාශ්‍ර) මතුකළ දකුණු ආසියාවේ සහල් වෘතාන්තයේ ප්‍රබල කම පිළිබඳ අදහස ගම්‍ය කරන්නේ සහල් කෘෂිකර්මයේ කේන්ද්‍රීයභාවයට හානි පැමිණවීමේ උත්සාහයන් බරපතළ සමාජීය ඵලවිපාක උදාකළ හැකි බවයි.

වත්මන් රජයේ මුඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ මෙගාපොලිස් මහා නාගරික සංවර්ධන වැඩ පිළි‍වෙළ ද දේපොළ සම්පත් සමපේක්ෂණය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළට මුදා හැරීමට යොමුවනු ඇත.එමගින් දුප්පතුන් සහ මැද පංතිකයන් භුක්ති විඳින ඉඩම් සංවර්ධනයේ නාමයෙන් නීති පනවා අසන්තක කිරීමේ අවදානමක් පවතී. එහෙයින් මෙගාපොලිස් ව්‍යාපෘතිය පාරදෘෂ්‍ය වගකීමේ ක්‍රියාවලියක් හරහා මහජනයාගේ අදහස් විමසීමට විවෘත කළ යුතු බවට විද්වතුන් (බලන්න, පහත මූලා මූලාශ්‍රය) කරන ඉල්ලීම බැරෑරුම්ව සළකා බැලිය යුතුය.

ඉහත කරුණු පසුබිමෙහි අප වමේ දේශපාලනය වත්මනට ගැළපෙන ආකාරයෙන් අරුත් ගැන්විය යුත්තේ කෙසේද? යන්න සාකච්ඡාවට ගැනීම අපගේ මඟ හැර යා නොහැකි වගකීමයි.

මූලාශ්‍ර

1. අහිලන් කදිර්ගාමර්, 2016 අයවැය – භුක්තිය අසන්තක කිරීම මගින් ප‍්‍රාග්ධනය සමුච්ඡනයේ මාර්ග සිතියමක් ලෙස, සහ 2016 අයවැය: ව්‍යාපාර සඳහා කොළ එළිය මහජනයා වෙත රතු එළිය, ලිපි සඳහා බලන්න: kathika.wordpress.com වෙබ් අඩවිය.

2. Vijay Nagaraj, What the 2016 budget means for land rights, Sunday Times, 2015.12.13, Business Times.

3. Civil Society Calls For Transparency In Megapolis Plan, December 16, 2015, Colombo Telegraph).

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )