දුටුගැමුණු ගැන මා තුළ අනුකම්පාවක් ඇතත් රහතුන් කෙරෙහි එසේ නැත:(දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:අවසාන කොටස)-ගණනාථ ඔබේසේකර

19 වන සියවසේ අග භාගයේදී අනගාරික ධර්මපාල විසින් යලි මතුකරන ලද බෞද්ධ රාජ්‍ය පිළිබඳ මතවාදවලින් ගැලවී නැත. ඔහු බහුතරය විසින් පිළිගන්නා බෞද්ධ කථාන්තර ඉවත දමා ඇත. ඔහුගේ සමහර සමකාලීන උගත් සහායකයෝ බෞද්ධ ආචාර ධර්ම, භාවනා ක්‍රම බඳු නූතන ගිහි ආගමික වතාවත් පිළිපදිති. අනෙක් අය පිළිපදින ධර්මය දාර්ශනික අර්ථයන්ගෙන් හා දේශපාලනික අර්ථයන්ගෙන් බහුල වුව ද හෘදසාක්ෂියක් ගොඩනැංවීමෙහි ලා අසමත්ය. බුද්ධ ධර්මය හෝ ළමා වියේ අත්දැකීම් හෘදසාක්ෂියක් ඇතිකරන මූලාශ්‍රයන් නොවේ………………………. උගතෙකු හමුවේ තව ගැටළු මතු වේ. එනම්, ඔහුගේ සමාජ පන්තියේ අනෙක් අයට මෙන් නොව ස්වකීය අධ්‍යයනයන් වාස්තවික රාමුවක් තුළ කළ නිසා ඒවා ආශ්‍රයෙන් ඔහුට යම් දේශපාලනික මතයක් ද ගොඩනඟා ගත හැක. තමා මෙසේ දේශපාලන මතයක් ගොඩනඟා ගත් බව ඔහු අවංකවම නොදන්නවා විය හැක. නමුත්, අර්ථ කථනවාදී (Hermeneutic) දාර්ශනිකයෙකු වන ගදාමර් පවසන පරිදි මේ වාස්තවික රාමුව අප විසින් සිතින් මවා ගත්තක් පමණි. ඔහු තර්ක කරන අන්දමට අර්ථ කථනය කිරීම නිවහල් උගතෙකුගේ පූර්ණ වාස්තවික ක්‍රියාවක් නොවේ. අපේ මමත්වයයන් හා අපේ සංස්කෘතික ඓතිහාසික පදනම මේ අර්ථ කථන තුළ කැවී ඇත. ගදාමර්ට අනුව මේ අර්ථ කථනයන් ඇති වන්නේ “ක්ෂිතිජයන් ගණනාවක් එකට පෑහීම” තුළිනි. අර්ථ කථන ක්‍රියාවලිය තුළදී උගතාගේ ශාස්ත්‍රීය ක්ෂිතිජය ඔහු අර්ථ කථනය කරන ග්‍රන්ථයේ, ලේඛනයේ හෝ ක්‍රියාවලියේ ක්ෂිතිජයන් හා එකට බැ‍ඳේ. ග්‍රන්ථයක් ඈත අතීතයට අයත්වන විට ඓතිහාසික ලේඛනයක් තුළ බොහෝ හිස්තැන් ඇති වූ මෙන්ම ග්‍රන්ථයක් අතිශයින් භාවාත්මක විවාදයන් ඉදිරිපත් කරන විට ද ස්වකීය පුද්ගලික මතයන් මේ හිස්තැන් වලට ඇතුළු කිරීමෙන් උගතා වළකින්නේ නැත. මෙහිලා ස්වාධීන චින්තකයන් ජාතිවාදී චින්තකයන්ගෙන් වෙනස් වන්නේ නැත. එසේ වෙනස් වෙතොත් ඒ දුටුගැමුණුගේ මෙන් ඔවුන්ගේ ද හෘදසාක්ෂි තුළ පැනනඟින ගැටුම් අතරින් මතුවන පුද්ගලික මත නිසාය. ඔවුන්ගේ බොළඳකම් වලට මට සමාව දිය හැක…………..නමුත් භාවයන් කුපිත කරවන දේශපාලනික වැදගත්කමක් ඇති කරුණු අධ්‍යයනය කරන විට තමාගේ පුද්ගලික මත හා පාක්ෂිකත්වයන් මොනවාදැයි ඔහු පැහැදිලි කළ යුතුය. එනිසා, බෞද්ධ උගතෙකු වන වල්පොල රාහුල හා එකඟ වෙමින් මම මගේ සදාචාරාත්මක පාක්ෂිකත්වය මෙසේ ඉදිරිපත් කරමි. දුටුගැමුණු ගැන මා තුළ ඇත්තේ අනුකම්පාවකි. නමුත් ඔහු සැනසූ රහතුන් කෙරෙහි මා තුළ එබඳු අනුකම්පාවක් නැත. සතුරන් නැසීම සාධාරණීකරණය කිරීම බුද්ධ ධර්මය විකෘති කිරීමකි. එසේ සාධාරණීකරණය කරන්නෝ සිය බෞද්ධ උරුමයට පිටුපා ඇති අතර දුට්ඨගාමිණී අභයගේ චිත්තාග්නිය තුළින් මතුවන මහා සදාචාරාත්මක ප්‍රශ්නය හා එහි ඇති වැදගත්කම ඔවුන්ට වැටහී නැත……….අතපය හකුළුවාගෙන යහනෙහි වකුටු වී “දකුණින් ගොළු මුහුදය, උතුරින් හැඩි දෙමළුය, මම කෙසේ අත් පා දිග හරිම්දැ” යි ඇසූ බොළඳ කොලු ගාමිණී අනුකරණය කිරීම, තම සතුරන් තුළ යම් යහපත් ස්වථාවයක් දුටු මේරූ වැඩිහිටි දුට්ඨගාමිණී අනුකරණය කිරීමට වඩා පහසුය.

සමකාලීන විවාදය හා එළාර අහෝසි වී යාම

දක්ෂිණ ස්තූපය
දක්ෂිණ ස්තූපය

සමකාලීන ජාති වර්ග ඝට්ටනය නිසා ඇති වූ භයානක දේශපාලන තත්ත්ව තුළින් දුටුගැමුණු කථාන්තරය යලි මතුවෙයි. පාර්ලිමේන්තු දේශපාලඥයින්, ප්‍රවෘත්ති පත්‍රවලට ලිපි සපයන ලේඛකයන්, සාමාන්‍ය පුද්ගලයින්, නාගරික චණ්ඩි කල්ලි හා ඔවුන්ගේ නායකයන් කරගෙන යන වාද විවාද තුළින් පුරාණ කථාන්තරය නොකඩවා ඉස්මතු වෙයි. දුට්ඨගාමිණී අභය ගේ රුව හැමතැනම සොල්මන් කරයි. දුටුගැමුණු ගැන සඳහන් නොකොට අද පවතින ජාති වර්ග ඝට්ඨනය ගැන කථා කළ නොහැකි සේ ය. ඔබ සිංහල හෝ දෙමළ වෙන්නට පුළුවනි. ජාති වර්ග ඝට්ටනය පිළිබඳ නැමෙන හෝ නොනැමෙන සුළු අදහස් ඇත්තකු වෙන්නට පුළුවනි. ඒ කෙසේ වුව ද ඔබ දුටුගැමුණු මේ සාකච්ඡාවලට ඇදගන්නෙහිය. දුටුගැමුණු ගැන අදහස් ඉදිරිපත් කරන සමහර උගත්තු මේ කථා ඓතිහාසික සත්‍යයක් හැටියට ද සලකති. ඔවුන්ගේ මතිමතාන්තර උගත් ශෛලියෙන් ඉදිරිපත් වුව ද මේ ජාති වර්ග ඝට්ඨනය නිසා කැලතී ගොසිනි. ඒවා සම කාලීන දේශපාලඥයන්ගේ මතවලට වඩා වෙනස් නැත. මෙය දුටුගැමුණුගේ හෘදසාක්ෂිය පිළිබඳව ලියැවී ඇති නූතන රචනයන්ගෙන් පැහැදිලි වෙයි.

මේ සාකච්ඡාව කරගෙන යන මේ මොහොතේම මගේ මේසය මත නිදහස් මතධාරී උගතුන් අතින් සිංහලෙන් ලියවුනු යුද්ධය හා සාමය: ලංකා ජාතිවර්ග ප්‍රශ්නය නමැති පොතක් ඇත. එහි පිට කවරයේ සතුරන් දෙදෙනාගේ චිත්‍රයක් ඇත. එපරිදි සිංහල දුටුගැමුණු හා දෙමළ එළාර ස්වකීය රාජකීය හස්තීන් පිට නැඟී හෙල්ල අමෝරාගෙන සංග්‍රාමාවතීර්ණව ඇත. පොත හඳුන්වා දෙන කවිය නූතන සිංහල කවියෙක් වන කොඩිතුවක්කු අතින් ලියැවුනකි. කොඩිතුවක්කු රජුන් දෙදෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඇතුන් පිටින් බිමට බැස එකට වාඩි වී කථා කරන ලෙසය. රණකාමියන්ගේ හදවත පිරිමැද කවියා ඉල්ලා සිටින්නේ යුද්ධය නවතා සාකච්ඡාවට බසින ලෙසය.

මගේ මේසය මත තව පොතක් ඇත. මෙය සංස්කරණය කොට ඇත්තේ කලින් කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිවරයෙකු වූ සිරිල් මැතිව් ය. මේ පොතෙහි නම “ සිංහලයිනි, බුද්ධ සාසනය බේරා ගනුව්” යන්න ය. මේ පොත හඳුන්වා දෙන වැකිය එන්නේ දුටුගැමුණුගෙන් ම ය. මෙය මහාවංශයේ එන:

“මාගේ මෙම ව්‍යායාමය තෙමේ කිසිකලෙකත් රජසැප පිණිස නොවන්නේය. මාගේ මෙම උත්සාහය බුද්ධ සාසනයාගේ පිහිටවීම පිණිසමැයි.”

(මහාවංශ වාක්‍යය)

යන දුටුගැමුණුගේ වදනය. මේ පොත පැරණි විවාදය යලි පනගන්වයි. එපරිදි දෙමළුන් ඝාතනය කිරීම පිළිබඳව දුටුගැමුණුගේ සිතෙහි කිසිම ගැටුමක් ඇති වී නැත. මේ පොත එළාර ගැන කිසිවක් කියන්නේ ද නැත. ඒ වෙනුවට දෙමළුන් බෞද්ධ සිද්ධස්ථානවලට අතීතයේ කළ දැනටත් කරගෙන යන හානි විස්තර කරමින් මේ වෙහෙර විහාර බේරා ගැනීමට උපකාර කරන ලෙස යුනෙස්කෝ ආයතනයෙන් ඉල්ලා සිටියි.

මේ පොතෙහි කම්බ චිත්‍රය ස්තූපයකට පහර දෙන දෙමළුන් පෙන්වා දෙයි. මැතිව් මේ පොත පිළිගන්වා ඇත්තේ ආතම පරිත්‍යාගයෙන් වෙහෙර විහාර ආරක්ෂා කළ බෞද්ධ භික්ෂූන්ටත් මහජනයාටත් ය. මේ කිසිවක් පුරාවිද්‍යාවට සම්බන්ධ නැති බවත් ජාති වර්ග ඝට්ඨනයට පමණක් සම්බන්ධ බවත් අපට පැහැදිලිය. රජය ගැඹුරට සොයා බලා නැති බැවින් මහවැලි වාරිමාර්ග ක්‍රමය පටන් ගන්නා විට බොහෝ පුරාණ වස්තූන් වතුරින් යටවන බව කාටත් නොරහසකි. මෑතකදී අග්‍රාමාත්‍ය ප්‍රේමදාසගේ උපදෙස් යටතේ වව්නියාව ප්‍රදේශයේ නිවාස සමූහයක් ඉදිකිරීම පිණිස පුරා වස්තූන් රාශියක් බුල්ඩෝසර් යන්ත්‍ර යොදා පොළවට මට්ටම් කළ බව ද කවුරුත් දනිති. දේශපාලඥයන්ට පුරාවස්තුවල අගය පෙනෙන්නේ ඒවායේ දේශපාලන වැදගත්කමක් පෙනෙන විට පමණි. මේ පිළිබඳව උගතුන් ද දේශපාලඥයන්ට වඩා වෙනස් වී නැත.

මා කළින් සඳහන් කළ පරිදි වංශකථාවල නොකඩවා එන එක් තේමාවක් ඇත. එනම්, දුටුගැමුණුගේ චිත්තාභ්‍යන්තරයෙහි ඝට්ඨනයක් දැක්වෙන්නේ කොහිද, එහි එළාර ඉදිරිපත් කෙරෙන්නේ යුක්තිගරුක රජෙක් හැටියටය. එපරිදිම, දුටුගැමුණු චිත්ත පීඩාවෙන් තොරව රාජ්‍ය ධර්මය පිලිපැද්දේ යැයි කියැවෙන්නේ කොහිද, එහි එළාර ගැන සඳහන් වෙන්නේ නැත. එසේ වෙතොත් ඔහු ඉදිරිපත් කෙරෙන්නේ දුෂ්ඨයෙක් හැටියට ය. නූතන ප්‍රශ්නයේ ඇති වැදගත්කම නම් දේශපාලඥයන් හා උගතුන් එක්ව එළාර අහෝසි කර දැමීමය. අද පවතින තත්ත්වය මහාවංශයට දී ඇති වැදගත්කම අනුව දේශපාලඥයන්ටත් උගතුන්ටත් එළාර දුෂ්ඨයෙකැයි කීමට නොපුළුවන. නමුත් ඔවුන්ට, පුරාණ අනුරාධපුර නගරයේ වූ සමකාලීන සිත් සසල කරන, එළාගේ රාජ්‍යය අමතක කර දැමිය හැක.

උගතුන් අතර අද පවතින මතභේදය දුටුගැමුණු විසින් එළාර වෙනුවෙන් තනවන ලද සොහොන් කොත කොහි ඇත්දැයි යන ප්‍රශ්නයට ද සම්බන්ධය. ඉතිහාසය පුරා කොතරම් සිංහල – දෙමළ ගැටුම් පැවතුන ද එළාර ස්ථම්භය සිංහල මතකයෙහි ගැඹූරට මුල්බැස ඇත. ෆෝබ්ස් 1940 දී සඳහන් කළ පරිදි 1818 දී මහනුවර අගමැති පිළිමතලාව අදිකාරම මහනුවරින් පලා යන අතර මඟ, එළාර ස්ථම්භය කොතනකදැයි නිසැකව නොදත්තේ මුත් අනුමාන කරමින් තම සිතැඟි පරිදි සෑහෙන දුරක් දෝලාවෙන් බැස ගොස් ඇත. විසිවැනි සියවසෙහි අනුරාධපුර වාසීහු එම ස්ථම්භය දක්ෂින ස්තූපය යැයි අනුමාන කරති. මට හිතෙන හැටියට මේ ජනමතය සාවද්‍යය. ගැමියන්ගේ අනුමාන ඓතිහාසික සත්‍යයක් හැටියට ගත නොහැක. ඒ කෙසේ වුවද මෙහි ඇති වැදගත්කම නම්, රජරට සිංහල රාජධාණිය ඓතිහාසිකව කෙතරම් කැඩී බිඳී ගොස් දහහතර වැනි සියවස වන විට සම්පූර්ණයෙන් අතහැරී ගියද, මේ ප්‍රදේශයේ වූ සිංහලයන් අතර එළාර සොහොන් කොතට ගරුබුහුමන් දැක්වීම සම්ප්‍රදායක් බවට පත් වී නොකැඩී පැවතීම ය. ගෞරවණීය වස්තුවකට ඓතිහාසික පදනමක් තිබිය යුතු නැත. එය මහජනයා විසින් ශුද්ධ වස්තුවක් ලෙස පිළිගනු ලබන්නේ නම් සෑහේ. එහි ඇති මූලික වැදගත්කම එහි ගැබ්වූ සංකේතාත්මක අගය ය. එළාර සොහොන් කොත රජුන් දෙදෙනා අතර වූ සටන සිහිනංවාලයි. අපේ බලාපොරොත්තුව අප සතුරන් යැයි හංවඩුගසන අය දෙස සාධාරණ දෘෂ්ඨිකෝණයකින් බැලූ විට ඔවුන් යහපත් බවේ සංකේත ලෙස පෙනෙතැයි යන්න, කෙතරම් ජන-අප්‍රිය අදහසක් වුව ද, සියුම් මනස් හා හැඟීම් ඇත්තන්ගේ සිත් සතන් තුළ රැව් දෙතැයි යන්න ය. සතුරන්ට මෛත්‍රිය කළ යුතුය යන බෞද්ධ මතය එළාරගේ ජීවිතය හා මරණය පිළිබඳ කථා ප්‍රවෘත්ති වලින් සංකේතවත් වන අතර එය එළාර ස්ථම්භය තුළින් භෞතිකව ඉදිරිපත් වෙයි. භෞතික වස්තුව (සංකේතය) කාලයත් සමඟ වෙනස් වුවද ඉන් සංකේතවත් වූ අදහස (සංකේතිතය) අද දකවා වෙනස් වී නැත.

එච්.සී.පී. බෙල්
එච්.සී.පී. බෙල්

දක්ෂිණ ස්තූපය එළාරගේ සොහොන යැයි කියැවෙන ජනමතය පුරා විද්‍යාඥයෝ පිළිගන්නේ නැත. නමුත්, ටියුරීන් නුවරින් සොයා ගත් ක්‍රිස්තුස් වහන්සේගේ රුව සටහන් වුණ තිරය පිළිබඳ ඇති කතෝලික වාද විවාදවල මෙන්ම මෙහිදී ද සංකේතයක ඇති ඓතිහාසික පදනම ගැන වාද විවාද කරන උගතුන්ට ඒ සංකේතයෙන් ඉදිරිපත් කෙරෙන අර්ථයන් පෙනෙන්නේ නැත. එළාරගේ සොහොන් කොත පිළිබඳ විවාදයට සහභාගී වූ නව වාද විවාද ඇතිකළ රත්නම් මේ විවාදයේ ඉතිහාසය ගැන ලියා ඇත. නව වාද විවාද එකට කැටිගැසී නූතන සිංහල ජාති මමත්වය පිළිබිඹු කෙරෙන අලුත් සංකේතවලට හා පැරණි කථාවල අලුත් ස්වරූපවලට පදනම් වී ඇත. මේ ක්‍රියාවලියේ මූලික ලක්ෂණ කිහිපයක් දැන් වට ගනිමු.

නව මිත්‍ය කථා හා සංකේත සාමාන්‍ය ගැමියන් ඇතිකළ ඒවා නොවේ: උගතුන් හා දේශපාලඥයන් අතින් බිහි වූ ඒවාය. නමුත් කල් යෑමේදී මේ කථා හා සංකේත සිංහල බහුතරය විසින් පිළිගැනීමට බොහෝ ඉඩකඩ ඇත. මගේ මතය පැහැදිලි කරනු වස් මා මේ උගතුනගේ වාද විවාද මෙහිලා සළකන්නේ ඒවායේ ඇති ශාස්ත්‍රීය අංග ඉදිරිපත් කිරීමට නොවේ. උගතුන් මේ මිත්‍යා කථා අර්ථ කථනය කළ අන්දම කිරීමටය. මෙ අනුව අර්ථ කථනවල එන තර්ක ක්‍රම තරමටම අර්ථ කථන ඉදිරිපත් කෙරුනු ශෛලිය ද වැදගත් ය.

පසුගිය ශතවර්ෂයේ අග භාගයේදී එච්.සී.පී. බෙල් එළාර සොහොන සොයාගත් නමුත් සුප්‍රසිද්ධ ලාංකික පුරාවිද්‍යාඥයෙකු වූ සෙනරත් පරණවිතාන 1946 දී යලි එළිපෙහෙලි කරන තෙක් එය සම්පූර්ණයෙන්ම වාගේ අමතකව ගොස් තිබුණි. මේ සොහොන ගැන පරණවිතාන මෙසේ පවසයි.

“බෙල් මහතා කණින ලද අගල් අඩක් ගොඩ වී ඇත. දෙපැත්තෙන්ම ගස්වලින් වට වූ මේ අගල් මැයි හා ජූනි මාසවලදී අනුරාධපුරයට එන වන්දනා කරුවන්ගේ වැසිකිළි බවට පත් වී ඇත. ඔවුහු මේ ගොඩනැගිල්ලේ මුදුනෙහි ද මළපහ කරති. තම මුතුන්මිත්තන් විසින් සියවස් ගණනකට පෙර භක්තිමත්ව වන්දනා කරන ලද, යලි වරක් හඳුනා ගත් විට වන්දනාමාන ගරු බුහුමන් ලබන මේ සිද්ධස්ථානයෙහි කෙරෙන මේ කරදරය නැවැත්වීමට තමන්ට අපහසු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුරකරුවෝ පිළිගත්හ.”

හුරු පුරුදු සංකේත යළි මතුවන හැටි බලන්න. දහඅට වැනි සියවසෙහි රචිත රාජරත්නාකරය පවසන පරිදි දෙමළුන් බෞද්ධ සිද්ධස්ථානවලට අවමාන කළේ ඒවායේ මළපහ කිරීමෙනි. දැන් සිංහලයෝ ඊට පලිගනිති. පරණවිතාන පෙන්වන පරිදි සිංහලයෝ එළාරගේ සොහොන මත හා ඒ අවට ශරීරකෘත්‍යය කරති. කෙසේ වුව ද, ඔහු කියන අන්දමට මේ ස්ථානය පුරාවිද්‍යාඥයා විසින් යළි හඳුනාගත් පසු සිංහලයෝ මේ අපවිත්‍ර කිරීම නවත්වනු ඇත. පරණවිතාන විශ්වාස කළ පරිදි මේ සොහොන එළාරගේ නොව දුට්ඨගාමිණී අභය ගේ ම ය: ස්වකීය කැණීම්වලදී පරණවිතානට අඟුරු හා මිනී අළු හමු වීඇත. ඔහුට අනුව මේ මිනී අළු වෙන කිසිවෙකුගේ නොව වීරයා ගේ ම ය. මොනම සිංහල වංශකථාවක හෝ ජනකථාවක දුටුගැමුණුගේ අළු ස්තූපයක තැම්පත් කරන ලද බව සඳහන් නො වුව ද පුරාවිද්‍යාඥයා ඉන් පසුබට වූයේ නැත. දක්ෂිණ ස්තූපය එළාරගේය යන ජනමතයට විරුද්ධව සෑහෙන ශාස්ත්‍රීය සාක්ෂි ඉදිරිපත් කළ ද එය දුටුගැමුණුගේ යැයි කීමට පරණවිතානට සාක්ෂි නැත. නමුත්, මෙහිලා ගැනෙන දේශපාලනික වැදගත්කම කෙබඳුද යත් මිත්‍යා කථා ගෙතීමේ නූතන ක්‍රියාවලියට පුරාවිද්‍යාඥයා ද ඉබේටම සම්බන්ධ වී ඇත. වෙනත් පුරාවිද්‍යාඥයන් දෙදෙනෙකු පරණවිතානගේ මතය විවවේචනය කළ ද ඔවුන්ගේ ජන-අප්‍රිය අදහස් දේශපාලනිකව පිළිගැනී නැත. ස්වකීය අර්ථ කථනයෙහි ගැබ් වී ඇති සංකේතාත්මක අගය ගැන පරණවිතානම මෙසේ ලියයි:

“මේ සාක්ෂි සෑහේ නම් දක්ෂිණ ස්තූපය අග්‍රගන්‍ය ඓතිහාසික හා ආගමික ස්මාරකයක් හැටියට පිළිගත යුතුය. මෙය වන්දනාමාන ලැබිය යුත්තේ බෞද්ධයන්ගෙන් පමණක් නොව අතීත රණකාමය අගය කරන සෑම කෙනෙකු ගේ ම, සෑම සිංහලයෙකු ගේ ම ගෞරවය ලැබිය යුතුය.”

එළාර ගැන පරණවිතාන දරන මතය අනුව එළාරගේ ඓතිහාසික සොහොන අවාසනාවට මෙන් සම්පූර්ණයෙන් විනාශ වී ගොස්, සමහර විට දැනට වෛද්‍ය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලිවලට යටවී ගොස් ඇත.

පසුව දක්ෂිණ ස්තූපය දුටුගැමුණුගේ බව පෙන්වීමට දැන්වීමක් සිටුවන ලදී.

පරණවිතාන දුටුගැමුණුගේ අළු අනුරාධපුර කෞතුකාගාරයේ තැම්පත් කළේය. මේ භෂ්මාවශේෂ 1978 සිට 1980 දක්වා එහි තැම්පත් වී තිබුණි. මේ වන විට පරණවිතානගෙන් පසුව පුරාවිද්‍යා කොමසාරිස් කනතුරට පත්, පරණවිතානගේ මතය නොපිළිගත් ආර්.එච්. ද සිල්වා ඉහත සඳහන් දැන්වීම් පුවරුව ඉවත් කළේය. නමුත්, 1970 ගණන්වල අග භාගයේදී දුටුගැමුණු පිළිබඳ විවාදය තියුණු වී මැතිව් ඇමතියා හා රජයේ කටයුතු කළ අනෙකුත් අන්තවාදීන් විසින් සුළු ජාතීන් මර්ධනය කිරීම සඳහා සිංහල බෞද්ධයින්ට ඇති අයිතිය පෙන්වීම සඳහා යොදා ගනු ලැබිණ. සිංහල ජාති වර්ගයේ ආරම්භක විජයගේ භෂ්මාවශේෂ ද ඔහුගේ රාක්ෂස බිරිඳ වන කුවේනිගේ සළු පොට ද සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් උත්සුක කළ පුරාවිද්‍යා දෙපාරතමේන්තුව භාර සංස්කෘතික ඇමතිවරයා ද 1978 වර්ෂයේ දී මේ විවාදයට ඇදී ආවේ ය. ඔහු දුටුගැමුණුගේ භෂ්මාවශේෂ කොළඹට ගෙන එන ලෙස අණ කළේය. රත්නම් පවසන අන්දමට 1978 නොවැම්බරයේ දී ජනාධිපතිවරයාගේ හා ඇමති මණ්ඩලයේ උපදෙස් පරිදි හෙතෙම ශ්‍රී ලංකාවේ ප්‍රධාන උගතුන්ගෙන් හා පුරාවිද්‍යාඥයන්ගෙන් සමන්විත කොමිටියක් පත් කොට මේ අළුවල ඓතිහාසික තොරතුරු සොයන්නට නියෝග කළේය. හය මසකට පසු මේ කොමිටිය ජනාධිපතිවරයාට හා ඇමති මණ්ඩලයට වාර්ථාවක් ඉදිරිපත් කළ ද එය කිසි දා ප්‍රසිද්ධ කෙරුනේ නැත. 1980 පෙබරවාරි 28 දා පුවත්පතක පලවූ ලිපියක් අනුව මේ කොමිටි වාර්ථාව මෙසේ පවසයි,

“පැරීසියේ පවත්වන ලද පර්යේෂණයන්ට අනුව මේ අළු වර්ෂ 2000 ක් පමණ පැරණිය. අනෙකුත් සාධක හා සැසඳීමෙන් අනතුරුව ඒවා දුටුගැමුණුගේ භෂ්මාවශේෂ බව පෙනේ.”

1980 දී අගෝස්තු මස දැන් දුටුගැමුණුගේ බව ප්‍රසිද්ධ කරන ලද මේ අළු මොටෝරථ පෙරහරකින් කොළඹ සිට දුටුගැමුණුගේ උපන් ගම වන දකුණු පලාතේ මාගමට ගෙනගොස් යලිත්, සිංහල හදවත් තුළට වඩවඩා තියුණු වෙන සංකේතාත්මක අගයක් දරණ, අනුරාධපුර නගරයට ගෙන යන ලදී. එහි මේ අළු තැම්පත් කොට ස්මාරකයක් බැඳීමට රජය බලාපොරොත්තු වෙයි. මේ සමඟම, මේ සම්ප්‍රදාය පිළිබඳව ඉදිරිපත් කෙරුණූ නව අර්ථ කථන නිසා, ප්‍රකෝපකාරී ක්‍රියාවලි ඇති වෙතැයි ද රජය බලාපොරොත්තු වෙයි. රත්නම් පවසන පරිදි මේ අළු දරණ කරඬුව තැම්පත් කෙරෙන්නේ මහජනයාට දැක බලාගත හැකි පරිදි මූනිස්සම් ප්‍රහාර වලින් නොබිඳිය හැකි වීදුරු ආවරණයක් තුළ ය. උගතුන් හා දේශපාලඥයන් එක්වී අලුත් මිත්‍යා කථාවක් හා තියුණු සංකේත සමූහයක් බිහි කොට ඒවා නවීන ප්‍රචාරක මාධ්‍යයන් ඔස්සේ මහජන පිළිගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

තුන් වසරකට අඩු කාලයකට පසු 1983 ජූනි – සැප්තැම්බර් මාසවල දී කොළඹ නගරය එක් වරම ගිනි දළු වලින් වට වූ අවස්ථාවේදී මම ද ඒ නගරයෙහි සිටියෙමි. හදවතක් නැති මිනිසුන්, මුඩුක්කු වාසීන් හා විකෘති මනස් ඇත්තවුන්, දේශපාලඥයින් හා ඔවුන්ගේ ඇටිකිත්තන් විසින් පොළඹවනු ලැබූ කෝපයෙන් වියරු වැටී දිවයිනේ නූතන ඉතිහාසය කිසිදා නුවූ පරිදි ගිනි තැබීම් හා අනේක ප්‍රකාර හිංසාකාරී ක්‍රියාවන්හි යෙදෙනු දුටිමි. මේ හිංසකයන්ගේ චර්යාවන්ට මට සමාව දිය නොහැකි මුත් ඔවුන් තේරුම් ගැනීමට මම මහන්සි දරමි. එනිසා, මගේ බෞද්ධ හැදියාව හා මානව විද්‍යාඥයෙකු හැටියට මගේ විෂයයේ පිහිට පතමින් මම මෙසේ ප්‍රශ්නයක් නඟමි.

උගතා ගේ හදවතට කුමක් වුනිද?

සමාජ විද්‍යාඥ, මැක්ස් වේබර් ට අනුව උගතා ද අවශේෂ ජනතාව මෙන්ම “තම කාලයාගේ පැවැත්මට ගොදුරු වේ”. ඔහුද, අවශේෂ ලාංකික මධ්‍යම පන්තික උගතුන් මෙන්ම බුද්ධාගමේ මිත්‍යා මත ශාස්ත්‍රීය අධ්‍යයනයන් තුළින් අවලංගු වී යාම නිසා ඇතිවන සංස්කෘතික අර්බුදයට ගොදුරු වේ. නමුත් ඔහුගේ බටහිර ශාස්ත්‍රීය සහායකයින් මෙන් නොව ඔහු, 19 වන සියවසේ අග භාගයේදී අනගාරික ධර්මපාල විසින් යලි මතුකරන ලද බෞද්ධ රාජ්‍ය පිළිබඳ මතවාදවලින් ගැලවී නැත. ඔහු බහුතරය විසින් පිළිගන්නා බෞද්ධ කථාන්තර ඉවත දමා ඇත. ඔහුගේ සමහර සමකාලීන උගත් සහායකයෝ බෞද්ධ ආචාර ධර්ම, භාවනා ක්‍රම බඳු නූතන ගිහි ආගමික වතාවත් පිළිපදිති. අනෙක් අය පිළිපදින ධර්මය දාර්ශනික අර්ථයන්ගෙන් හා දේශපාලනික අර්ථයන්ගෙන් බහුල වුව ද හෘදසාක්ෂියක් ගොඩනැංවීමෙහි ලා අසමත්ය. බුද්ධ ධර්මය හෝ ළමා වියේ අත්දැකීම් හෘදසාක්ෂියක් ඇතිකරන මූලාශ්‍රයන් නොවේ. සමහරු සමහර විට වෙනත් හේතූන් තුළින් තම හෘදසාක්ෂි ඇතිකර ගන්නවා වෙන්නට පුළුවන. මේ අතර තවත් අය හෘදසාක්ෂියක් ගොඩනඟා ගැනීමට සම්පූර්ණයෙන් අසමත් වෙති. විශ්ව ආගමක ඇති කථාන්තර තුළින් රඟ දක්වා පෙන්නුම් කෙරෙන විශ්ව සාධාරණ ආචාර ධර්ම තම හෘදසාක්ෂියේ අංගයන් බවට පත් කරගැනීමට බොහෝ මධ්‍යම පන්තිකයෝ අසමත් වෙති.

අර්ථ කථනවාදී දාර්ශනික ගදාමර්
අර්ථ කථනවාදී දාර්ශනික ගදාමර්

උගතෙකු හමුවේ තව ගැටළු මතු වේ. එනම්, ඔහුගේ සමාජ පන්තියේ අනෙක් අයට මෙන් නොව ස්වකීය අධ්‍යයනයන් වාස්තවික රාමුවක් තුළ කළ නිසා ඒවා ආශ්‍රයෙන් ඔහුට යම් දේශපාලනික මතයක් ද ගොඩනඟා ගත හැක. තමා මෙසේ දේශපාලන මතයක් ගොඩනඟා ගත් බව ඔහු අවංකවම නොදන්නවා විය හැක. නමුත්, අර්ථ කථනවාදී (Hermeneutic) දාර්ශනිකයෙකු වන ගදාමර් පවසන පරිදි මේ වාස්තවික රාමුව අප විසින් සිතින් මවා ගත්තක් පමණි. ඔහු තර්ක කරන අන්දමට අර්ථ කථනය කිරීම නිවහල් උගතෙකුගේ පූර්ණ වාස්තවික ක්‍රියාවක් නොවේ. අපේ මමත්වයයන් හා අපේ සංස්කෘතික ඓතිහාසික පදනම මේ අර්ථ කථන තුළ කැවී ඇත. ගදාමර්ට අනුව මේ අර්ථ කථනයන් ඇති වන්නේ “ක්ෂිතිජයන් ගණනාවක් එකට පෑහීම” තුළිනි. අර්ථ කථන ක්‍රියාවලිය තුළදී උගතාගේ ශාස්ත්‍රීය ක්ෂිතිජය ඔහු අර්ථ කථනය කරන ග්‍රන්ථයේ, ලේඛනයේ හෝ ක්‍රියාවලියේ ක්ෂිතිජයන් හා එකට බැ‍ඳේ. ග්‍රන්ථයක් ඈත අතීතයට අයත්වන විට ඓතිහාසික ලේඛනයක් තුළ බොහෝ හිස්තැන් ඇති වූ මෙන්ම ග්‍රන්ථයක් අතිශයින් භාවාත්මක විවාදයන් ඉදිරිපත් කරන විට ද ස්වකීය පුද්ගලික මතයන් මේ හිස්තැන් වලට ඇතුළු කිරීමෙන් උගතා වළකින්නේ නැත. මෙහිලා ස්වාධීන චින්තකයන් ජාතිවාදී චින්තකයන්ගෙන් වෙනස් වන්නේ නැත. එසේ වෙනස් වෙතොත් ඒ දුටුගැමුණුගේ මෙන් ඔවුන්ගේ ද හෘදසාක්ෂි තුළ පැනනඟින ගැටුම් අතරින් මතුවන පුද්ගලික මත නිසාය. ඔවුන්ගේ බොළඳකම් වලට මට සමාව දිය හැක. මැක්ස් වේබර් 1918 පළමුවැනි ලෝක යුද්ධයට පෙර සඳහන් කළ අන්දමට උගතුන්ගේ අධ්‍යයනයන් ඔවුන්ගේ පුද්ගලික මත වලින් හෝ පාක්ෂිකත්වයෙන් මිදෙන්නේ නැත. නමුත් තමන් හදාරන විෂය හා සම්බන්ධිත ක්‍රම වාදයන් තුළින් ඔවුන්ට සමබර දෘෂ්ඨිකෝණයන් ගොඩනගා ගත හැක. මේ පිළිබඳව මා තුළ ඇත්තේ සැකයකි. ක්‍රමවාද ඉවත දැමිය යුතු යැයි මා කියන්නේ නැත. මන්ද, ස්වකීය මමත්වයෙන් මිදී තමාගේම හා අනෙකුත් උගතුන්නේ අධ්‍යයනයන් දෙස විචාර බුද්ධියෙන් යුක්තව බැලීම ද ක්‍රමවාද උගතෙකුට උපකාරී වන බැවිනි. නමුත් භාවයන් කුපිත කරවන දේශපාලනික වැදගත්කමක් ඇති කරුණු අධ්‍යයනය කරන විට තමාගේ පුද්ගලික මත හා පාක්ෂිකත්වයන් මොනවාදැයි ඔහු පැහැදිලි කළ යුතුය. එනිසා, බෞද්ධ උගතෙකු වන වල්පොල රාහුල හා එකඟ වෙමින් මම මගේ සදාචාරාත්මක පාක්ෂිකත්වය මෙසේ ඉදිරිපත් කරමි. දුටුගැමුණු ගැන මා තුළ ඇත්තේ අනුකම්පාවකි. නමුත් ඔහු සැනසූ රහතුන් කෙරෙහි මා තුළ එබඳු අනුකම්පාවක් නැත. සතුරන් නැසීම සාධාරණීකරණය කිරීම බුද්ධ ධර්මය විකෘති කිරීමකි. එසේ සාධාරණීකරණය කරන්නෝ සිය බෞද්ධ උරුමයට පිටුපා ඇති අතර දුට්ඨගාමිණී අභයගේ චිත්තාග්නිය තුළින් මතුවන මහා සදාචාරාත්මක ප්‍රශ්නය හා එහි ඇති වැදගත්කම ඔවුන්ට වැටහී නැත. මට හිතෙන අන්දමට මේ රජුගේ හදවත ගැන ඇති කථා වස්තුව ශ්‍රී ලංකාවට සීමා වෙන්නේ නැත. රජ්ජුරුවන්ගේ චිත්ත සංවේගය පිළිබඳ කථාවේ ඇති පුළුල් අර්ථයන් මඟ හැරිය හැක්කේ අප කාටද? අප කථා කරන්නේ යුදෙව්වන් හා අරාබිවරුන්, බස්ක් වරුන් හා ස්පාඤ්ඤ ජාතිකයන්, අයර්ලන්ත කතෝලිකයන් හා ප්‍රොතෙස්තන්ත වාදීන් හෝ දුෂ්ඨ අධිරාජ්‍යයන් හා විශිෂ්ඨ අධිරාජ්‍යයන් ගැන වෙන්නට පුළුවන. එයින් කමක් නැත. සියුම් මනස් ඇත්තවුන් ඇසිය යුත්තේ සරල ගැටුම් තුළ අපේ සිතුම් සිර කරන, තරණය කළ නොහැකි අගාධවලින් අප එකිනෙකා වෙන් කරන ලෝක ස්වභාවය කුමක්දැයි යන්නය. හෘදසාක්ෂිය හා ලෝක ස්වභාවය අතර ඇති ගැටුම විසඳීම සුළුකොට තැකිය හැකි කර්‍තව්‍යයක් නොවේ. අතපය හකුළුවාගෙන යහනෙහි වකුටු වී “දකුණින් ගොළු මුහුදය, උතුරින් හැඩි දෙමළුය, මම කෙසේ අත් පා දිග හරිම්දැ” යි ඇසූ බොළඳ කොලු ගාමිණී අනුකරණය කිරීම, තම සතුරන් තුළ යම් යහපත් ස්වථාවයක් දුටු මේරූ වැඩිහිටි දුට්ඨගාමිණී අනුකරණය කිරීමට වඩා පහසුය. මෙබඳු වාද විවාද වලට අයත් එක්තරා කර්‍තව්‍යයක් ඇත. එනම් උගතුන් සිය මුල් බැසගත් මෙවැනි විවාදයන් විසින් උගතුන්ට තම එක්ටැම් කුළුණුවලින් පිටතට බැසීමට බලකළ යුතු අතර රජුගේ හෘදසාක්ෂිය පිළිබඳව පුළුල් ප්‍රශ්නයට මුහුණ දීමෙන් මිදීමට නොහැකිවන තත්ත්වයට පත් කළ යුතුය. නොවැළැක්විය හැකි පරිදි උගතෙකු මෙවැනි භාවාතීශය විවාදයන්ට සහභාගිවන විට ඔහුට මෙම කාරණාවන් පිළිබඳ නිසැකතාවන් ඇතිකර ගැනුමට අපහසුය. මා මේ දේශනය අවසාන කරන විට මිත්‍යා කථා පිළිබඳ විග්‍රහ කිරීම සහ විග්‍රහ කිරීම පිළිබඳ මිත්‍යා කථාව අතර පවතින සියුම රේඛාව කොතනින් සනිටුහන් කළ යුතුදැයි මට නිසැක විය නොහැකි ය.

උපුටා පල කරන්නේ නම් Kathika.wordpress.com සඳහන් කරන්න

Advertisements

2 thoughts on “දුටුගැමුණු ගැන මා තුළ අනුකම්පාවක් ඇතත් රහතුන් කෙරෙහි එසේ නැත:(දුටුගැමුණුගේ හෘද සාක්ෂිය:අවසාන කොටස)-ගණනාථ ඔබේසේකර”

  1. ඕනෑම අයෙකුට ඕනෑම මතයක් දැරීමට ඉඩ ඇත. එය සමාජයට ඉදිරිපත් කිරීමටද ඔහුට අයිතියක් ඇත. එහෙත් එම කරුණු කෙරෙහි බාහිර පාර්ශවයන් විසින් අසනු ලබන ප්‍රශ්න වලට ඔහු පිළිතුරු දීමට අනිවාර්‍ය ටෙන්ම බැඳී සිටි. මා මිට පෙර ඇසු ප්‍රශ්නයකට මෙන්ම තවත අයෙකු ඇසු ප්‍රශ්නයකටද උත්තෙර දීමට තරම් මෙය පක කරන්නා ආචාරශීලි වී නැත. එබැවින් මෙම ලිපි සියල්ල කුණු බක්කියට දැමීම මිස් කලයුතු වෙන දෙයක් නැත.

    1. ඕනෑම අයෙකුට ඕනෑම මතයක් දැරීමට ඉඩ ඇත. එය සමාජයට ඉදිරිපත් කිරීමටද ඔහුට අයිතියක් ඇත. එහෙත් එම කරුණු කෙරෙහි බාහිර පාර්ශවයන් විසින් අසනු ලබන ප්‍රශ්න වලට ඔහු පිළිතුරු දීමට අනිවාර්‍ය ටෙන්ම බැඳී සිටි.”යන ඔබගේ චෝදනා අදාළ වන්නේ අපට නොව මෙම අදහස් ලියා හෝ දේශනයක දී ඉදිරිපත් කර ඇති මහාචාර්ය ගණනාථ ඔබේසේකර ට ය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට බලය ඇත්තේ ඔහුට මිස අපට නොවන බව ඔබට නොතේරීම පුදුමයකි. අපගේ ආචාරශීලීත්වය ගැන ගැටළුවක් පැන නොනගින්නේ අප මෙය පල කිරීමට පෙර පල වූ ස්ථාන සහ අනෙකුත් සියළු මුලාශ්‍ර නිසි පරිදි සඳහන් කර ඇති නිසාත්,අපගේ බ්ලොග් අඩවියේ මෙය පලකල විට ආ සියලු අදහස්, යොජනා, චෝදනා (ඔබගේද ඇතුලත්ව ) අප පල කර ඇති නිසාත්ය. පල කරන්නා ලේඛකයා වන ඔබේසේකරගේ අදහස් වෙනුවෙන් පිළිතුරු දීමෙන් ඇතිවන ආචාරශීලීත්වය කුමක්දැයි අපට තේරුම් ගත නොහැක. අවසාන වශයෙන් ඔබ ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් අපගේ නිරීක්ෂණය මෙසේය. ඔබේසේකර මෙම ලිපිය තුළ ජනකථා (folk tales) යන පදය යොද ගන්නේ හෝ සාකච්ඡා කරන්නේ නැත. මිථ්‍යා කතා (පුරාවෘත්ත ) යන පදය පුළුල් අරුතින් මෙහි ගෙන ඇත්තේ මිථ්‍යා කතා හා ඉතිහාසය අතර ගැටළුව සාකච්ඡා කිරීමටය. එම නිසා ඔබේ සිතේ පවතින ගැටලුවක් ගැන ඔබේසේකරගේ ලිපියේ සාකච්ඡා නොකිරීම නිසා ඒ පිළිබඳ අපගෙන් පිළිතුරක් විමසා චෝදනා කිරීම සාධාරණ නොවේ. ඔබ කළ යුත්තේ එය ඔබේසේකරට ඉදිරිපත් කිරීමයි. කුණු බක්කි කතාව ද ඔහුටම ඉදිරිපත් කිරීම සුදුසුය. එහිදීද අචාරශීලීත්වය පිළිබඳ ගැටලුවක් මතු නොවන්නේ ඔබේසේකර අන්තර්ජාලයට මුදා ඇති ඔහුගේ බොහෝ ලිපි සඳහා ඔබලාට අදහස් දැක්වීමට ඔහුගේ අන්තර්ජාල ලිපිනය දක්වා ඇති හෙයිනි. මේ එක් අවස්ථාවකි.මේ ගැන සාකච්ඡා කිරීමට තවදුරටත් බලාපොරොත්තු නොවෙමු.
      සංස්කාරකවරු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )