සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයෙකු ව සිටියදී කුරිරු ලෙස ඝාතනය කරන ලද දයා පතිරණ අනුස්මරණයේ 10 වෙනි සමරුව වෙනුවෙන් එම කමිටුව සංවිධානය කරන ලදුව අර්ජුන පරාක්‍රම විසින් කරන ලද මෙම සමරු දේශනය 1996 දෙසැම්බර් 15 දින කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වුණ අතර දියැස සඟරාවේ ප්‍රථම වරට පලවිය. මෙහිදී අර්ජුන පරාක්‍රම සමාජ විග්‍රහයේදී මෙන්ම සමාජ විපර්යාසයේදී මහා ආඛ්‍යානයන්ගේ සීමාසහිත බවත් නිර්ප්‍රභූ පර්යාවලෝකයේ අදාළත්වය ගැනත් සියුම් විග්‍රහයක් අප හමුවේ තබයි.

අර්ජුන පරාක්‍රම කැළණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෙන්ම ඩෙරීඩාගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කල සහ පසු කලෙක නිර්ප්‍රභු අධ්‍යයන (Subaltern Studies) ගුරුකුලයේ ප්‍රකාශිකාවක වූ ගයාත්‍රී චක්‍රවර්ති ස්පිවැක් යටතේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නිරත විය. භාෂා ප්‍රමිති ආධිපත්‍යහරනය කිරීම (De-Hegemonizing Language Standards) නම් ඔහුගේ කෘතිය පල්ග්‍රේව් සහ මැක්මිලන් සමාගම් විසින් පළ කර ඇත. ප්‍රමිතිගත භාෂා සහ භාෂා ප්‍රමිතිකරණයේ ප්‍රභු ස්වභාවයට එරෙහිව ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය ප්‍රති නිදර්ශනයක් ලෙස මෙහි සාකච්ඡා කෙරේ. භාෂාව සහ කැරැල්ල (Language and Rebellion)නම් ඔහුගේ කෘතිය 1848 ගැමි කැරැල්ල යටත් විජිත පාලනයට එරෙහිව නිර්ප්‍රභු අරගලයක් ලෙස හඳුනාගන්නා අතර සමකාලීන අරගල සම්බන්ධයෙන් ඇති වැදගත්කම සාකච්ඡා කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ සේවය කල ඔහු එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කලක් කටයුතු කළේය. පසුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ප්‍රධාන මහාචාර්යවරයා බවට පත්විය.දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම දේශපාලන හා මැතිවරණ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව සිවිල් සංවිධාන ගොඩ නැගීමේ ලා ක්‍රියාකාරී විය.

සමාජ විපර්යාසයක් සඳහා (නිර්ප්‍රභූ) කතිකාවක් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

දයා පතිරණ අනුස්මරණ කමිටුවේ ආරාධනාව පිළිගත්තට මේ සඳහා මම මොන විදියේ සුදුස්සෙක්ද කියන එක මට සැකයි. මෙහිදී මම අදහස් කිහිපයක් ප‍්‍රකාශ කරන්න යන්නේ ඇත්තෙන්ම ඒ දයා පතිරණගේ මරණය පිළිබඳ සිහිපත් කරලා, ඒ අවදානමත්, එවැන්නක් නැවත ඇතිවීමේ දෙවන අවදානමත් ගැන කල්පනා කරලයි.

මෙතැනදි මට හිතුණා ඒ ගැන කතා කරන්න කලින් අපට සමාජ විපර්යාසයක්, සමාජ වෙනස් වීමක් පිළිබඳ හැදෑරීමට න්‍යායක්, න්‍යායාත්මක පසුබිමක්, නිරාකරණය කිරීම අත්‍යවශ්‍ය බවත් මතු කරන්න. න්‍යායක් පිළිබඳ ඇති අවශ්‍යතාවයත් දැනට පවතින න්‍යායක් තුළින් පවතින ගැටළු පිළිබඳවත් අදහස් කිහිපයක් ප‍්‍රකාශ කරලා, ඒ තුළින් මම දැනට නිරතව සිටින අධ්‍යයනයක් පිළිබඳව අදහස් කිහිපයක් දක්වන්න බලාපොරොත්තු වෙනවා. එවැනි මැදිහත් වීමක් සඳහා සූදානමක් තමයි අද මේ දේශනයෙන් සිද්ධ වෙන්නෙ.

පැහැදිලි පුළුල් න්‍යායක් නැත්නම් ඇත්තෙන්ම සමහර වෙලාවට අවස්ථාවාදී ව කටයුතු කරන්න අපට සිද්ධ වෙනවා. සමහර විට මේ අවස්ථාවේදී පවා ”අපට ගැහැවුවොත් ගහනවා” ”අපේ හතුරාගේ හතුරා අපේ මිතුරා” ”පවතින රජයට දොස් කියන්න බෑ. මොකද ඊට වඩා ලොකු හතුරෙක් පිටු පස ඉන්නවා” වැනි පටු න්‍යායකි, එවැනි ඊනියා න්‍යායක්, ඊනියා ප‍්‍රස්තුතයක් තුළ අපි හිර වෙන්න ඉඩ තියෙනවා.

මම මගේ අදහස් කිහිපය ආරම්භ කරන්න කැමැතියි විට්ගන්ස්ටයින් නැමැති දාර්ශනිකයා ලියූ දෙයක් විකෘති කිරීමක් තුළින්. ඇත්තෙන්ම විට්ගන්ස්ටන් කතා කළේ කලා කෘතිය ගැන හා දර්ශනය ගැන. මම ඒක ටිකක් වෙනස් කළා. එයාගෙ අදහස මේකයි. ”සමාජ අත්තිවාරමේ, සමාජ පදනමේ ඇති දෝෂයක් නිසා එහි බිත්තිවල ඉරි තලා ගොස් ඇත. ඇසට පෙනෙන මේ පලූදුව, මෙම දෝෂය වසන්නට අපි පැලැස්තර දානවා. අපේ හෘදය නිහඬ කරන්නට අපි එතනට යොදන්නේ ඉස්තරම්ම වර්ගයේ පැලැස්තර” එවැනි තත්තවයක් තමයි මේ වන විට සිදු වෙලා තියෙන්නේ. අත්තිවාරමේ, පදනමේ ඇති ගැටලූවක් නිසා ඇති වන දෝෂයක් වහන්න අපි පැලැස්තර දානවා. හැබැයි ඒ පැලැස්තර දාන්නෙ මුදල් වැඩියෙන් වියදම් කරලා ඉස්තරම්ම ජාතියෙන් ඉතාම ලස්සනට. ඒකද අප කළ යුත්තේ කියන ගැටළුව මතක තියාගෙන මම අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමාජ වෙනස් වීම් තේරුම් ගැනීමට අපි භාවිතා කරන ප‍්‍රධාන ආඛ්‍යානයන්ගේ පවතින සීමා සහිතභාවය ගැනයි.

ඇත්ත වශයෙන්ම අපි බොහෝ දෙනා පිළිගන්නා දෙයක් තමයි (මාක්ස්වාදය හෝ පසු මාක්ස්වාදී ආභාසයකින්) පංති විග‍්‍රහය තුළින් මේ සමාජය තේරුම් ගැනීම. පන්ති විප්ලවය තුළින් සමාජය වෙනස් වීම තේරුම් ගැනීම, ඒක ප‍්‍රධාන ආඛ්‍යානයක් (Master Narratives) වෙනවා. එම ඉංග‍්‍රීසි යෙදුමේ Master කියන වචනයෙන් ප‍්‍රධාන කියන අදහසකුත් තවත් අදහස් කීපයකුත් ගම්‍ය වෙනවා. මේ ප‍්‍රධාන තේරුම් ගැනීමේ රටාව තුළ සීමා ඇත්ත වශයෙන්ම අපට දකින්නට පුළුවන්.

මම කියන්න හදන්නේ අද තියන අර්බුදය, අද තියෙන ප‍්‍රශ්නය දෙයාකාරයි. එකක් තමයි සමාජ අර්බුදයක් තියෙනවා. මුලසුනේ ඉන්න සහෝදරයා කිව්වා වාගේ බොහෝම ගැටලූ සහගත තත්වයකට අපි මුහුණ දීලා ඉන්නවා. දෙවැන්න තමයි අපට කලින් තිබුණා වාගේ පැහැදිලි අවබෝධ කිරීමේ ක‍්‍රමයක්, පිරිසිඳු පවිත‍්‍ර න්‍යායක් අපට නොමැතිකම. ඉතින් මේක තමයි අද තියෙන ප‍්‍රශ්නයේ දෙයාකාරය.

අද පවත්නා ප‍්‍රධාන ආඛ්‍යාන වෙන් කරලා ගත්තොත්, එකක් තමයි දැන් බොහෝම ප‍්‍රචලිත වෙලා තියෙන සමාජ ලෛංගික භාවය (Gender Relation) තුළින් විග‍්‍රහ කිරීම.මේ ආඛ්‍යානය මගින් සමාජය විග‍්‍රහ කරන කොටසක් ඉන්නවා. මුළු සමාජයම විග‍්‍රහ කරන්නේ ඒ ප‍්‍රධාන ආඛ්‍යානය මුල් කර ගෙන. ඒ වාගේම තවත් ආඛ්‍යානයක් තමයි පන්ති විග‍්‍රහය. ඒ විග‍්‍රහය අපි දන්නවා. ඒක පැහැදිලියි. එමෙන්ම ජන වාර්ගික දෘෂ්ටියක් තුළින් මුළු සමාජයම විග‍්‍රහ කරන කොටසක් ඉන්නවා. ඒ නිසා මේක අද පවතින තවත් ප‍්‍රධාන ආඛ්‍යානයක්.

එහෙත් මම දකින්නේ මේ ප‍්‍රධාන ආඛ්‍යාන හැම එකකම ගැටලූවක් තියෙනවා. අපි හුදෙක් පන්ති විග‍්‍රහයක් තුළින් සමාජය තේරුම් ගන්නට සහ වෙනස් කිරීමට වෙර දැරුවා නම්, සමාජ ලෛංගිකත්වය කියන අනෙක් ප‍්‍රධාන කතිකාවෙන් අපිට උත්තර දෙන්න බැරි ප‍්‍රශ්න මතු කරනවා. එනම් මාක්ස්වාදී දෘෂ්ටියක සිට පන්ති පදනමක පිහිටා සමාජය පිළිබඳ ඇති කර ගන්නා අවබෝධයට සමාජ ලෛංගිකත්වය පිළිබඳ කතිකාවෙන් පැහැදිලි අභියෝගයක් එල්ල වෙනවා. ඒ වාගේම සමාජ ලෛංගිකත්වය පිළිබඳ කතිකාවෙන් මුළු සමාජයම විග‍්‍රහ කරන්න ගියහොත් පන්ති විග‍්‍රහය වැනි අනෙක් කතිකාවලින් සමාජ ලෛංගිකත්වය පිළිබඳ කතිකාවට පැහැදිලි අභියෝගයක් එල්ල වෙනවා.

ඒ වාගේම ධනේෂ්වර ක‍්‍රමයේ වැරැද්ද පෙන්නලා සමාජයේ පවතින අඩු පාඩු සියල්ල හුදෙක් ධනේෂ්වර ක‍්‍රමය නිසාය පවතින්නේ කියලා අපට කියන්න බැහැ. උදාහරණයක් හැටියට පුරුෂාධිපත්‍යය ගැන ගත්තොත් එහි 100% ක වගකීම හුදෙක් ධනේෂ්වර ක‍්‍රමය මතම පවරන්නට බැහැ. අපේ සමාජයේ තියෙන පුරුෂාධිපත්‍යය වගේ ස්ත‍්‍රීන්ට ඇති ගැටලූ සියල්ලටම හේතු ව මේ ධනේෂ්වර ක‍්‍රමය බව සමහරු තවම කියනවා. ධනේෂ්වර ක‍්‍රමය නැති වුණා නම්, සමාජවාදී සමාජ ක‍්‍රමයක් බිහි වුණා නම් මේ ඔක්කොම ප‍්‍රශ්න නැති වෙනවාය කීම මං හිතන්නේ ඇත්ත වශයෙන්ම අපට විශ්වාස කරන්න බැරි දෙයක්. ඒ නිසා මෙම කතිකාව ප‍්‍රමාණවත් නෑ. ඒ වාගේම තමයි ජන වාර්ගික කතිකාවත්. ජනවාර්ගික කතිකාව තුළින් පෙන්වන්න පුළුවන් පන්ති විග‍්‍රහයෙන් ඉදිරිපත් වන සමාජ අවබෝධය ප‍්‍රමාණවත් නැති බව එහෙත් ජන වාර්ගික කතිකාවෙන් මුළු සමාජයම විග‍්‍රහ කරන්නට ගියහොත් එම කතිකාවේ සීමාවන් පැන නගිනවා. කාන්තා විමුක්ති කතිකාවත් ඒ වාගේමයි.

ඒ වාගේම ඔය ජන වාර්ගික ප‍්‍රධාන ආඛ්‍යානයේ අනු ආඛ්‍යාන තියෙනවා. ජාතික චින්තනයට ධාරාව වගේ. ඒවත් අපි නැවත නැවත බැලූවා නම් අපිට පේන්නේ මේ එක් එක් ප‍්‍රධාන ආඛ්‍යාන පැහැදිලි ව ප‍්‍රමාණවත් නැති බවයි. ඒ කියන්නේ අපිට ප‍්‍රශ්න කරන්න පුළුවන් බොහෝ සියුම් දේවල් වුණාට පැහැදිලිව පෙනෙනවා ඒවා ප‍්‍රමාණවත් නොවන බව. මේවා එකිනෙක අනෙක් ප‍්‍රධාන ආඛ්‍යානයක ප‍්‍රශ්න කිරීමක් තුළින් බිඳ වැටෙනවා. ඒ නිසා ඒවායේ ප‍්‍රමාණවත් නොවන බව පැහැදිලිව ඒත්තු ගැන්වෙනවා.

මම ආඛ්‍යාන කිහිපයක් පමණයි ඉදිරිපත් කළේ. මේ ප‍්‍රධාන ආඛ්‍යාන කිහිපයට අමතරව තව ආඛ්‍යාන තියෙනවා. හැම දෙයක්ම පාරිසරික දෘෂ්ටියකින් ඉදිරිපත් කරන පාරිසරික ප‍්‍රධාන ආඛ්‍යානය වගේ. මෙම ආඛ්‍යානයේ තියෙන ගැටලූත් අනෙක් ප‍්‍රධාන ආඛ්‍යාන තුළින් ප‍්‍රශ්න කරන්නත් පුළුවන්. තවත් බොහෝ ප‍්‍රසිද්ධ ආඛ්‍යානයක් බටහිර ලෝකයේ මානව අයිතිවාසිකම් කතිකාව. ඒ කතිකාවේ පුද්ගලවාදී නැඹුරුව මම හිතන්නේ පැහැදිලිව පෙනෙනවා. අනෙක් ප‍්‍රධාන ආඛ්‍යාන තුළින් ඒවා ප‍්‍රශ්න කරා නම් මානව හිතවාදී කතිකාවේ මෙම දුර්වලතාව පෙන්වන්නට පුළුවන්. මෙම කතිකාවේ තියෙන ප‍්‍රධාන දුර්වලතාව තමයි, පොදු අයිතිවාසිකම් පරිත්‍යාග කරනවා පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන්. දෘෂ්ඨිය බොහෝම පුද්ගලිකයි. විශේෂයෙන් ධනේෂ්වර රටවල පවතින විදිහට එම කතිකාව පුද්ගලවාදයට ලොකු රුකුලක් දෙනවා.

ඉතින් ඇත්ත වශයෙන්ම බොහෝම සම්පිණ්ඩනය කළා නම් මේ ප‍්‍රධාන ආඛ්‍යානවල තියෙනවා මම දකින විදිහට පරිණාමවාදයේ ලක්ෂණ. ඒ කියන්නේ ඒවායේ අන්තර්ගත වෙලා තියෙනවා නොදියුණු භාවයක ඉඳන් දියුණු භාවයක් කරා ක‍්‍රමයෙන් පරිණාමය වීමේ ස්වාභාවයක්. ඇත්ත වශයෙන්ම මේවායේ ජීව විද්‍යාවේ ඇති පරිණාමවාදී දෘෂ්ටිය පැහැදිලිව ම අන්තර්ගතයි.

සමහරු මෙහිම අනෙක් පැත්තක් ගැන කතා කරනවා. එනම් පරිණාමය තුළ ලබන දියුණුවක් වෙනුවට ඉතිහාසය තුළ පැවති, නැතිවුණු ස්වර්ණමය යුගයක් ගැන කතා කරනවා. උදාහරණයක් හැටියට ”ජාතික චින්තන නඩය” වගේ කතා කරන ඒ කතිකාව. ජාතික චින්තනයත් මම දකින්නේ එක්තරා විදිහක පරිණාමයේ තියෙන අනු ආඛ්‍යානයක් හැටියට. පරිණාමය වීමේදී ම යම් කිසි උච්ච අවස්ථාවකට පැමිණිලා යළි බැස්මක් ඇති වෙනවා. මේ බැස්ම ඇති වෙන්නේ නොයෙක් බාහිර හේතු නිසා. අපට අවශ්‍ය නැවත ඒ උච්ච අවස්ථාව කරා පැමිණෙන්න කියන එකයි එයාලා කියෙන්නේ. මම දකින්නේ ඒකත් අර පරිණාමවාදී දෘෂ්ටියකින් හදපු එකක් හැටියටයි.

අනෙක් කාරණාව මේවායේ තියෙනවා බොහෝ දුරට ”මනෝ රාජ්‍යමය ස්වභාවයක්” ( Utopian Movement). ඒ වාගේම තියෙනවා එකිනෙකට පරස්පර සංකල්ප දෙකක් මත පදනම් වීමක්. එක කොටසක් හොඳයි. අනෙක නරකයි. අපේ වාමාංශික කතිකාවේ ඒක පැහැදිලියි. සූරා කන්නෝ ඉන්නවා ඒ අය අනිවාර්යයෙන් ම නරකයි. පීඩිතයෝ ඉන්නවා. ඒ අය අනිවාර්යයෙන්ම හොඳයි. බොහෝම පැහැදිලි විභේදනයක් තියෙනවා. පැහැදිලි දෙපිළක් ඉන්නවා. එමෙන්ම මේ ප‍්‍රධාන ආඛ්‍යානයන් දෙස බැලූවහම හැම දෙයක්ම විස්තර කරන්න හැකියාවක් තිබෙන බව පෙන්නුම් කෙරෙනවා. පන්ති විග‍්‍රහය කරන කෙනාට අනෙක් හැම දෙයක්ම ද්විතිකයි. අනෙක් හැම විග‍්‍රහයක්ම ඒකට යටත් වෙනවා. ඊට අනුකූල වෙනවා. ඒ වගේම බොහෝ දුරට ජන වාර්ගික දෘෂ්ටියකින් බලන කතිකාවට අනුව කියවෙන්නේ (විශේෂයෙන්ම මධ්‍යම හා ඉහළ මධ්‍යම පාන්තික විග‍්‍රහයක් තුළ) මේ රටේ සමෘද්ධිය, සංවර්ධනය, දියුණුව, සාධාරණත්වය, පදනම් වෙන්නේ බලය විමධ්‍යගත කිරීමෙන් පමණක් බවයි.

ඒ වාගේම මේ ආඛ්‍යාන තුළ පවතින මම දකින තවත් එක් ගැටලූවක් තමයි මේ කතිකා කතා කෙරෙන්නේ තම තමන් අතර වීම.

මාක්ස් වාදී කතිකාවේ අය තම තමන් අතර මේක කතා වෙනවා. ඉතින් තව කෙනෙකුට එක් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමක් නෑ. ඒක එතනට ගැටලූවක් වුනොත් ”මම මාක්ස්වාදියෙක් නෙවෙයි””ඔයා සිංහලයෙක් නොවෙයි” විදිහෙ උත්තර තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙය තාර්කික ව පෙන්නුම් කරන්න පුළුවන් ක‍්‍රමයකුත් නොවෙයි. අනෙක් කාරණය ඒවා ආගමික කතිකාවත් වගෙයි. බොහෝ දුරට විශ්වාසයන් මතයි පදනම් වෙන්නේ. මම මේ කියන්නේ ප‍්‍රධාන ලක්ෂණ විතරයි. මේවායේ ව්‍යතිරේඛ තියෙනවා. වෙනස්කම් තියෙනවා.

ඒත් මම දකින ප‍්‍රධානම ලක්ෂණය ඒක නොවෙයි. මේවායේ තියෙන විදග්ධ භාවයයි. විදග්ධ භාවය කියන්නේ එක්කෝ පක්ෂයක් ඉදිරියේ තියෙන ප‍්‍රධාන ( Vanguardist Party) හෝ කණ්ඩායම හෝ පන්තිය හෝ ස්ත‍්‍රීන් නම් ස්ත‍්‍රී පුරුෂ භාවය වාගේ එක් කොටසක් ප‍්‍රමුඛ කිරීමක් සිදු වෙනවා.

ඉතින් මේ විදග්ධ ස්වරූපයට ප‍්‍රතික‍්‍රියාවක් හැටියටයි ඇත්තෙන්ම මම මේ හැඳින්වීම කළේ. සමහර අයට ඒක අති සරල වෙන්න පුළුවන්. සමහරුන්ට ඉක්මන් වෙන්න පුළුවන්. මම කියන්නේ දැන් තියෙන මේ වාගේ ගැටලූ නිසා ඇත්තෙන්ම අපට අලූත් විග‍්‍රහයක් අවශ්‍ය වෙනවා.

මේ එක් එක් ප‍්‍රධාන ආඛ්‍යාන එකිනෙකට බෙදිලා ක‍්‍රියාකාරී වන නිසා ඒවා ඇත්තටම ශක්තිමත් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ එක් කතිකාවක් තවත් කතිකාවකින් දුර්වල වන තැන්වලදී යි. උදාහරණයක් හැටියට ස්ත‍්‍රීවාදී කතිකාව, ඒ කියන්නේ සමාජ ලෛංගිකත්වය පිළිබඳ කතිකාව ජන වාර්ගික යොමුව ඇති කතිකාවෙන් දුර්වල වෙනවා. මොකද ඒ ස්ත‍්‍රීන්ට එතකොට සියලූ ම ස්ත‍්‍රින් ඒකාකාරී ලෙස පුරුෂාධිපත්‍යයට යට වෙනවා කියලා කියන්න බෑ. ඇත්තෙන්ම පැහැදිලිව ලාංකීය සමාජය දිහා බැලූවහම උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඉන්න ස්ත‍්‍රීන්ට ඇති වන පීඩනයන් හා දුෂ්කරතා ඇති වන අසමානතා ඇති වන දූෂණ වෙනස්. මේ නිසා ස්ත‍්‍රීවාදී කතිකාව දුර්වල වෙනවා වගේම පුළුල් වෙනවා. ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙන්නේ සංකීර්ණව. මම දකින්නේ ප‍්‍රධාන ආඛ්‍යාන කිහිපයම එකතු වීම අවශ්‍යයි. හැබැයි මේ එකතු වීම සිද්ධ වෙන්නේ එක් එක් කතිකාවල දුර්වල තැන් අනෙක් කතිකාවලින් ප‍්‍රශ්න කෙරෙන තැන්වලිනුයි. මේ ආකාරයට සමාජ ලෛංගික කතිකාව, පන්ති අරගල කතිකාව, ජන වාර්ගික කතිකාව, පාරිසරික කතිකාව, ඒ වාගේම මානව අයිතිවාසිකම් කතිකාව එකිනෙක අනෙක අර්බුදයට පත් කරනවා. ඒක බොහෝම පලදායී අර්බුදයක්. ඒකෙන් එක් එක් කතිකාව වර්ධනය වෙනවා. මං හිතන්නේ ඒක විය යුතුයි.

ඒ ආකාරයට බැලූවහම ඇත්ත වශයෙන්ම අපට පුළුවන්ද මේ කතිකාව නොපිළිගෙන ඒවා ප‍්‍රශ්න කරන්න? ඒ කියන්නේ සංශයවාදී අදහසක ඉඳන් කතිකා එකතු කිරීමක් ගැන කතා කරන්න අපට පුළුවන්ද? අද අපට අවශ්‍ය වන්නේ මේ කතිකා තුළින් ඇති වුණු, ඒවායින් පෝෂණය වුණු වෙනත් මෙවලමක් පාවිච්චි කරලා සමාජය විග‍්‍රහ කරන්නයි.

කොහොම වුණත් මම පෙන්නුම් කරන්න හැදුවේ මේ කතිකාවල තියෙන හුදකලා භාවයයි. ස්ත‍්‍රීවාදී කතිකාව කතා කරනවා නම් ඒක විතරයි. පරණ මාක්ස්වාදී විග‍්‍රහය කරන අය ඒ ටික විතරයි. ජන වර්ග ගැටලූව ගැන බහු ජාතික, බහු ආගමික කතිකාව කතා කරන්නේ ඒ අය විතරයි. ඒ හුදකලා වීම නිසා අනෙක් ප‍්‍රධාන ආඛ්‍යානයන් තරම් ගැඹුරක් හෝ ශික්ෂණයක් හෝ නොමැති දේශපේ‍්‍රමී කතිකාව, ලෝක නිදහස් ආර්ථික විරෝධී කතිකාව, විදේශ විරෝධී කතිකාව, ආදියට යම්කිසි හුස්ම ගැනීමේ ඉඩක් ඇති වෙලා තියෙනවා. මම කතා කරන්නේ සමස්තයක් ගැන නොවෙයි. මම කියන්නේ ප‍්‍රවණතාවක් ගැන විතරයි. ඉහත අපි කතා කරපු ප‍්‍රධාන ආඛ්‍යාන ලෝකය විස්තර කරන්න අපි යොදා ගන්නේ ඒවා ශික්ෂණයක් තුළින් ඇති වෙච්ච නිසා. ඒවායේ ගැඹුරක් සමාජය විග‍්‍රහ කිරිමේ හැකියාවක් තියෙනවා. ප‍්‍රමාණවත්ද? නැද්ද? කියන එකයි ප‍්‍රශ්නය. මාගේ නම් අදහස මේ එක් එක් කතිකාව තනි තනිව ගැනීම ප‍්‍රමාණවත් නැහැ කියන එකයි.

මේ දැන් දැන් ප‍්‍රධාන වේදිකාව ගන්න විදේශ විරෝදී දේශපේ‍්‍රමී කතිකාව සම්බන්ධයෙන් මට මතක් වුනා 18 වෙනි සියවසේ හිටපු ඩොක්ටර් සැමුවෙල් ජොන්සන් කියපු කතාවක්. ඔහු කිව්වා ”දේශප්‍රේමී භාවය” දේශානුරාගය හොරුන්ගේ අන්තිම තුරුම්පුවයි” කියා. ඒකත් මතක තියාගෙන අපි දැන් බලමු ප‍්‍රගතශීලී කියන මේ ප‍්‍රධාන ආඛ්‍යාන, ප‍්‍රධාන කතිකා පිටුවහල් කරන්න බැරි ඇයි කියලා. සදාචාරවාදී කතිකාව ගැන ලංකාවේ සුවිශේෂී භාවය, ඒ කියන්නේ මේ කතිකාවල තියෙන තවත් ප‍්‍රධාන ලක්ෂණයක් තමයි විදග්ධ භාෂාව. විශේෂයෙන් වාමාංශික හා ස්ත‍්‍රීවාදී කතිකාවල සාදාචාරවාදී භාවයක් තියෙනවා. ඒ වාගේම මෙම කතිකා එකිනෙකට විරුද්ධ වුනත් ඒගොල්ලො සහභාගී වන සාමූහික කුමන්ත‍්‍රණයක් තමයි ඔය විදග්ධ භාෂාව කියන එක. ප‍්‍රතිවිරුද්ධ කතිකා පවා කතා කරන්නේ ප‍්‍රමිතිකරණය කරන ලද මෙම විදග්ධ භාෂාවයි. උදාහරණයක් විදිහට ජාතික චින්තනය නඩය හා මාක්ස්වාදී නඩය පවා කතා කරන්නේ එක භාෂාවකින්. ඒක කුමන්ත‍්‍රණයක් හැටියට මම දකිනවා.

මම ප‍්‍රායෝගිකව කරන්න යන දේ දැන් යම් අදහසක් දක්වනවා. සමාජ අර්බුදයක් පවතිනවා පමණක් නොවෙයි, ඒක තේරුම් ගැනීම සහ විග‍්‍රහ කිරීම අත්‍යවශ්‍ය කියන එක නැවත මතක් කළ යුතුයි. මේ ප‍්‍රධාන ආඛ්‍යානවල ගැටලූ තියෙනවා. ඒවා දැන් පවතින්නේ හුදකලාව. එකතු කිරීම අමාරුයි. අපිට වචනයක් කියන්න පුළුවන් ”ඔව්! එකතු කළ යුතුයි!” එහෙත් තේරෙන්නෙ නැහැ කොහොමද ඒක කළ යුත්තේ? ඇත්තෙන්ම මේ කතිකාවන් අතර ඇති වන ගැටුම, අර්බුදය පලදායී. මොකද එකක්වත් ප‍්‍රමාණවත් නැහැ. අපට කොකිස් අච්චුවක්වත් පැහැදිලි පිරිසිඳු ක‍්‍රියාවලියක් වත් නැහැ. අපම නැවත නැවත ප‍්‍රශ්න කරන්න වෙනවා. මම යෝජනා කරනව ඇත්ත වශයෙන්ම සංශයවාදී පියවරක් හැටියට ඉන්දියානු ඉතිහාසයේ කිහිප දෙනෙක් කතා කරපු නිර්ප‍්‍රභූ (Subaltern) කියලා හඳුන්වන ඒ ආඛ්‍යානය. ඒ ක‍්‍රමවේදය. මේක මෙහාට අලූත් ද මම දන්නෙ නැහැ. ලෝකෙට නම් අලූත් නැහැ.

කව්ද මේ නිර්ප‍්‍රභූන් කියන්නේ?ඇත්ත වශයෙන්ම ඒ වචනයත් අපැහැදිලියි. වැරදියි. නිර්ප‍්‍රභූ කියපුවහම අපට හිතෙන්නෙ ප‍්‍රභූ නොවන කියන එකයි. විශේෂයෙන්ම 1900 ගණන්වල ඉන්දීය යටත් විජිත ඉතිහාසය පිළිබඳ කළ අධ්‍යයනයන් තුළිනුයි වඩාත් පැහැදිලි ව මේ දර්ශනය මතු වුනේ. කව්ද මේ නිර්ප‍්‍රභූන්? මේ දර්ශනය ඉදිරිපත් කරද්දී ඉන්දියාවේ සිටියා විදේශීය විදග්ධ කොටසක්. ඒ වාගේම දේශීය ප‍්‍රභූන් සහ විදේශීය ප‍්‍රභූන්. ඒ දෙගොල්ලන් නොවෙයි. තවත් සෑහෙන පිරිසක් සිටියා. දෙපැත්තටම යන්න පුළුවන් කොටසක්. වල් විදිහට කිව්ව නම් මධ්‍යම පංතිකයන්. ඒ කොටසට ඉහලටත් පහලටත් දෙපැත්තටම යන්න පුලුවන්.එයාලත් නොවෙයි. නිර්ප‍්‍රභූ හැටියට හැඳින්වෙන්නේ ඉහළ යාමේ හැකියාවක් නැති, බල කතිකාවතට කවදාවත් හිමිකම් කියන්න බැරි කොටසක්. හැබැයි දැන් මේක තරමක් සංකීර්ණයි. මොකද ඒ නිර්ප‍්‍රභූ කියලා හැඳින්වුනු කොටසේ නාමයෙන් නොයෙක් දේවල් සිද්ධ වෙනවා. ආදි වාසී දින, ආදි වාසී වර්ෂ වාගේ නොයෙක් දේවල් සිද්ධ වෙනවා. මම නිර්ප‍්‍රභූ කොටස් වෙනුවෙන් එනම්, ඉහළ යෑමට හෝ බල කතිකාවට පිවිසීමට හෝ කිසිම හැකියාවක් නැති කොටස් වෙනුවෙන් කතා කරනවා නොවෙයි. මම කතා කරන්නේ විග‍්‍රහයක් කිරීමේ හැකියාව සහ නොහැකියාව ගැන. උදාහරණයක් හැටියට ඔය ජාත්‍යන්තර ආදි වාසී දේ… අනෙක් පැත්තෙන් ලිංගික ශ‍්‍රමිකයන් හඳුන්වන්න අපට තවම වචනයකුත් නැහැ. තාම අපි ඒගොල්ලන් හඳුන්වන්නේ ගණිකාවන් කියලා. ඒ ගොල්ලන් වෙනුවෙන් කතා කරන අය එතැන යම් පරස්පරයක් දකිනවා.

ඉතින් මම කියන්නට යන්නේ මේ නිර්ප‍්‍රභූ සංකල්පය ඉදිරිපත් කරපු අය දැක්කා. (අපි දැන් දැක්ක වගේ) වාමාංශික ඉතිහාසඥයෝ, වාමාංශික සමාජ විද්‍යාඥයෝ,වාමාංශික පර්යේෂණකරුවෝ වගේම දක්ෂිණාංශික කට්ටියත් එක තැනක ඉන්නවා. ඒ දෙගොල්ලන්ගේම ඉතිහාසය විග‍්‍රහයේ විශේෂයෙන්ම යටත්විජිත විග‍්‍රහයේ මේක පැහැදිලිව පේනවා. මම මේකට දෙන ප‍්‍රායෝගික උදාහරණවලින් ඒක පැහැදිලි වෙයි.

ඉතින් නිර්ප‍්‍රභූ සංකල්පය ඉදිරිපත් කළ අය බැලූවා, ඇත්ත වශයෙන්ම පවතින මේ දෘෂ්ටිය විදග්ධ දෘෂ්ටියක්. ඒ විදග්ධ දෘෂ්ටියෙන් බැහැරව ඒ එකම ලිපි ද්‍රව්‍ය, ඒ එකම සිද්ධිය වෙනත් දෘෂ්ටියකින් බලන්න පුළුවන් නම් සමහර විට ඒක ලොකු විපර්යාසයක් වෙන්න පුළුවන්.

අපට මෙතැනදි ආධිපත්‍යය කියන වචනය සලකා බලන්න වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ආධිපත්‍යභාවය(Hegemony) කියන එක. ආධිපත්‍යයේ ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් ඉහළින් එන අණසක වගේම පහළින් එන පිළිගැනීම, පහළින් එන කැමැත්ත. (ඉහළින් එන අණසක වගේම පහළින් එන කැමැත්ත) අපි කැමති වුණත් අකමැති වුණත්(hegemony) අධිපත්‍යභාවය කියන එක අපි සම්බන්ධයෙන් වැඩ කරනවා. එහෙත් නිර්ප‍්‍රභූන් ආධිපත්‍යය පිළිගන්නෙ නෑ. අපි ඒ subaltern හෙවත් නිර්ප‍්‍රභූ හඳුන්වන්නා වූ ස්ථානය, ඒ ප‍්‍රවේශය, ඒ නිර්ප‍්‍රභූ ඉන්න තැන්වල, ඒගොල්ලෝ ගැවසෙන තැන්වල (මේක මම රූපිකයක් හැටියට කියන්නේ. නැතිව ඉන්න තැන් කියන්නේ ලයිබ්රි එකේ නෙවෙයි)ඒ මතවාදයේ සිටින තැන්වල dominant without hegemony කියන සංකල්පයයි බලපාන්නේ.

අපි දැන් බලන්න ඕනේ dominant කියන එක.

මම ඒක පරිවර්තනය කරන්න හැදුවා. ඇත්ත වශයෙන්ම dominant කියන එකයි hegemony කියන එකයි දෙකම සිංහලෙන් පරිවර්තනය වෙන්නේ ආධිපත්‍යය කියලා. ඇත්තෙන්ම මේ වචන දෙක සමානද? මම හිතන්නේ ඒක විකාර පරිවර්තනයක්. dominant පරිවර්තනය විය යුත්තේ ආධිපත්‍යය – අධිපතිභාවය නොමැති ආධිපත්‍යය ලෙසයි.

නිර්ප‍්‍රභූන් සම්බන්ධයෙන් බලපාන්නේ මේක කියලයි මා කියන්නේ. අපට මෙහෙම කියන්න පුළුවන්. ආධිපත්‍යය නොමැති බලවත්කම තමයි මෙතැන බලපවත්වන අධිපති භාවය. ඒ ගොල්ලෝ යටත් වෙන්නේ නැහැ. බලයෙන්ම යටත් කරන්න වෙනවා. මොකද ආධිපත්‍යයෙන් යටත් කරන්න බැහැ. ඒ ඔවුන් උඩින් එන අණසක පිළිගන්නේ නැති නිසා. එහෙත් අපි සම්බන්ධයෙන් ගත්තාම එහෙම නොවෙයි. අපි සම්බන්ධයෙන් hegemony (ආධිපත්‍යය) කියන එක වැඩ කරනවා. මොකද අපි නිර්ප‍්‍රභූන් නොවන නිසා. ඒ විදග්ධ කතිකාවට අපි පිවිසිලා තියෙන නිසා. උදාහරණයක් හැටියට සමහරු කියනවා. ”මම IMFත්‍ එක පිළිගන්නේ නැහැ”,” මම මේ රජය පිළිගන්නේ නැහැ” කියලා. එහෙත් අපි අපේ විරෝධය ප‍්‍රකාශ කරන්නෙත් අපි අපේ නොකැමැත්ත ප‍්‍රකාශ කරන්නෙත් ඒ කතිකාව තුළින්. අපි විරුද්ධ වුණත් ඒ විරෝධය සිද්ධ වෙන්නේ තේරෙන කතිකාවකින්. එහෙත් නිර්ප‍්‍රභූ අයට ඒ කතිකාව තේරෙන්නේ නැහැ. ඒ අයට ඒ කතිකාව වලංගු නැහැ.

මම දැන් උදාහරණ දෙකක් අරගෙන මේ කාරණය පැහැදිලි කරන්නම්.

ඔබ දන්නවා 1848 කැරැල්ල. මේ කැරැල්ල ගැන හුඟ දෙනෙක් ලියලා තියෙනවා. විශේෂයෙන් දෙපැත්ත නියෝජනය කරන්න පුළුවන් විදිහට. ආචාර්ය කුමාරි ජයවර්ධන ලියලා තියෙනවා බොහොම පැහැදිලිව වාමාංශික ස්ථාවරයකින්. කේ.එම්. ද සිල්වා ලියලා තියෙනවා අන්ත දක්ෂිණාංශික ස්ථාවරයකින්. මෙතැන දී කුමාරි ජයවර්ධන අර සාම්ප‍්‍රදායික වාමාංශික කතිකාවෙන් මොකක් ද කියන්න හදන්නෙ. එයා මේක දකින්නේ යටත් විජිත යුගයේ එක්තරා අවධියක් හැටියට. එක්තරා අවස්ථාවක් හැටියට. මේ සිද්ධිය එක හුදකලා සිද්ධියක් හැටියට බලන්නේ නැහැ. එම කතිකාවෙන් අර සිද්ධි මාලාවේ එකක් හැටියට සළකනවා. කොහොම වුණත් එතැනට එන්න ඉස්සෙල්ලා මම සිද්ධිය විස්තර කරන්නම්.

1848 ජූලි 06 වන දා 3000 ක ජනතාවක්, ආයුධ සන්නද්ධ නොවන පිරිසක් නුවර නගරයට ඇතුළු වුණා. තමන්ගේ විරෝධය පාන්න. මොකට ද විරෝධය පෑවෙ? අලූතෙන් පැනවූ බදු වලට. ඒ කාලයේ බි‍්‍රතාන්‍යයෝ විකාර බදු වගයක් ඉදිරිපත් කළා. එකක් තමයි තුවක්කු බද්ද, අනෙක බලූ බද්ද, ඇත්ත වශයෙන්ම බල්ලො ඇති කළේ නැහැ. ගෙවල් ළඟ බල්ලෙක් හිටියා නම් බදු ගෙවන්න වෙනවා. තුවක්කු බද්ද තුවක්කුවට වටා වටිනවා. ඒ වගේම රාජකාරි ක‍්‍රමය හා සමාන ක‍්‍රමයකුයි බදු ගෙවීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වුනේ. බදු ගෙවන්න බැරි නම් බි‍්‍රතාන්‍ය රජයට වැඩ කරන්න ඕනෑ. ඒ වගේම බදු හයක් විතර දියත් කළා. මෙතැනදි හිටපු දිසාපති මේ අයට කතා කරන්න උත්සහ කළා. ”ගැටලූවක් වෙන්නෙ නැහැ.” “ප‍්‍රශ්නයක් කරන්න එපා” ය කියලා දිසාපති ඒ ගොල්ලන්ට කිව්වා. එහෙත් ඒක හරි ගියේ නැහැ. 1848 ජූලි 06 වෙනිදා සිද්ධ වුන මේ සිද්ධියට පස්සේ ඒ මාසයේ මැද හරියේදී 3000 ක විතර පිරිසක් මාතලේ කච්චේරියට ගියා. ඔවුන් කච්චේරියට ගිහින් ඒ ලිපි ද්‍රව්‍ය ඔක්කොම පිච්චුවා. කාටවත් හිංසාවක් හානියක් කලේ නෑ. ලිපි ද්‍රව්‍ය පිච්චුවා. කුරුණෑගල කච්චේරියට ගිහිල්ලා එතැනත් ලිපි ද්‍රව්‍ය පිච්චුවා. හිරේ හිටපු ඔක්කොම හිරකාරයෝද නිදහස් කළා.

මේ සිද්ධියේදී එකම එක්කෙනයි තුවාල වුණේ. ඒ බි‍්‍රතාන්‍ය සොල්දාදුවෙක්. මම හොයලා බැලූවාම එයත් තුවාල වෙලා තිබුණේ එයාගෙම තුවක්කුවෙන් එයාගෙම කකුලට වෙඩි පහරක් වැදිලා. වෙන කාටවත් කරදරයක් වුනේ නැහැ. මේ සිද්ධිය 1848 ජූලි 06 – 26 අතර සිද්ධ වුන දෙයයි. හැබැයි ඒකෙ ප‍්‍රතික‍්‍රියාව ඉතාම බිහිසුණු එකක් වුනා. ඒ සිද්ධි දෙක නිසා බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුනා. පීල්ගේ බි‍්‍රතාන්‍යයේ තිබුණු ආණ්ඩුව පෙරලන්න එක ඡන්දයයි මදි වුනේ. නැත්නම් ආණ්ඩුවක් පෙරළෙනවා. ඒක තමයි සැකිල්ල. මොකක්ද සැකිල්ල? මෙන්න මෙහෙම අමුතු විදිහේ සිද්ධි දෙකක් වුණා. මහා දැවැන්ත මර්දනයක් ඊටපස්සෙ දියත් වුනා. මොකද බි‍්‍රතාන්‍යයට තේරුනේ නැහැ මේක. 1814 – 18 කැරලි වගේ නෙවෙයි සිද්ධ වුනේ. එහෙම නැත්නම් 28-31 ඒ කැරළි වගේ පැහැදිළි කැරැල්ලක් නොවේ මේක. එතැනදී මොකක්ද සිද්ධ වුනේ.ප‍්‍රභූ කොටස් සුද්දට කිව්වා ”තමුසෙලා මේ මිනිස්සු සූරා කන එක නවත්වනවා. අපි අවුරුදු ගාණක් කරපු එක කරපු එක අපිටම අයෙත් දෙනවා” කියලා. බි‍්‍රතාන්‍යයන්ට ඒක තේරුණා. මොකද, එක ප‍්‍රභූ කොටසක් තව ප‍්‍රභූ කොටසක් එක්ක සටන් කළා. මිනිස්සුන්ව තමන්ගේ ආධිපත්‍යය යටතේ පවත්වාගෙන යන්න. ඒක පැහැදිලියි. ඒ කැරලිවලදී මොකක්ද ප‍්‍රභූ කොටස් කළේ. ඒ ගොල්ලෝ කරේ දකුණු ඉන්දියවෙන් රජකමට උරුම කියන කුමාරයෙක් ගෙන්න ගෙන ”එයා ඇත්තෙන්ම අපේ රජ්ජුරුවෝ, බි‍්‍රතාන්‍යයෝ අපිට එපා.” කියලා බොහෝම පැහැදිලි විදිහේ කැරැල්ලක් ඇති කළා. මෙතනදී මොකද වුනේ? මෙතැන වුනේ මා දකින විදිහට නිරිප‍්‍රභූ කොටස් කිව්වා ”අපට සුද්දත් එපා. අපට මේ ප‍්‍රභූ පැළැන්තියත් එපා.” හැබැයි ඒගොල්ලො කලේ ඒගොල්ලන්ට පුළුවන් විදිහෙන්.

මේ විග‍්‍රයන්වලදී විශේෂයෙන් කුමාරි ජයර්ධන වාගේ අය බොහෝම පැහැදිලිව පෙන්නන්න හදන්නේ පුරන් අප්පු වගේ අයයි මේ කැරලි ඇති කලේ කියලා. කව්ද මේ පුරන් අප්පු ප‍්‍රැන්සිස්කෝ? බටහිර කොළඹ ප‍්‍රදේශයේ හිටියේ. එයා නාගරීකරණය වුණු දියුනු පුද්ගලයෙක්. ඒ දියුණු පුද්ගලයා එහේ ගිහිල්ලා මේ සටන මෙහෙයෙව්වා. අදත් පෙන්නන්න හදන්නේ මේකයි. මේ ගොවීන්, මේ සාමාන්‍ය මිනිසුන්, ඒ ගොල්ලන්ට දියුණු බුද්ධියක් නැහැ. ඒ ගොල්ලන්ට කරන්න පුළුවන් වෙන්නේ වෙන කාගෙ හරි අණ පිළිපදින එක විතරයි. ඒ එක විදිහක්. අනිත් අතින් මේවා විග‍්‍රහ කෙරෙනවා බොහෝම ප‍්‍රාථමික දේ හැටියට. ”මේ ගොල්ලො ඒ තරම් තියුණු නැති නිසා . ඒක හරිගියේ නැහැ. අසාර්ථක වුණා “කියලා .කේ. එම් ද. සිල්වාගේ විග‍්‍රහය එවැනි විග‍්‍රයක්. ඒ අය කියන්නේ මේගොල්ලෝ මෝඩ මිනිස්සු බවයි.

දැන් මම මෝඩකමට තවත් උදාහරණ කීපයක් දෙනවා. මම අදහස් කරන්නේ මේක මෝඩ ද අතිශය උපක‍්‍රමශීලී ද කියන එක. ඒ දෙකම එකද කියන එක. ඇත්ත වශයෙන්ම මම කියන්නේ යන්නේ සමහර විට අතිශය මෝඩ වීමත් අතිශය උපක‍්‍රමශීලී වීමත් එක්තැන් වෙනවා කියන එකයි. මේක අමුතුම කතාවක්. උදාහරණයක් වශයෙන් එදා කටුගස්තොට පාලමට ආවා මිනිස්සු 1000 ක් විතර. ඞී.ඞී. විජේසිංහ කියලා මුහන්දිරම් කෙනෙක් මුහන්දිරම් කෙනෙක් එයාලව ප‍්‍රශ්න කරනවා. ”ඇයි උඹලා උද්ඝොෂණය කරන්නේ?” එක මිනිහෙක් කියනවා “මගේ ගෑණිගේ තන ලොකුයි. මගේ ගෑණිගේ තන ලොකු වුනාට මම ඒවාට බදු ගෙවන්නේ නැහැ. මට ගෙවන්න විදිහක් නැහැ.මගේ ගෑණිගේ තන ලොකු හින්දා එවාට බදු ගෙවන එක අසාධාරණයි. “ ඞී. ඞී. විජේසිංහ කියනවා “එහෙම තන බද්දක් නැහැ. බයවෙන්න එපා” එහෙත් එයා කියනවා ”උඹ දන්නෙ නැහැනෙ.මමනෙ දන්නේ. මම ගෙවෙන්නෙ නැහැ. ඉතින් මම යනවා. ගිහිල්ලා ආණ්ඩුකාරතුමාට කියනවා තන බද්ද ගෙවන්නෙ නැහැ කියලා.” එයා ගිහිල්ලා ආණ්ඩුකාරවරයාටත් කිව්වා. ආණ්ඩුකාරවරයා අහනවා ”මේ මොන පිස්සුද ? බදු හයයි තියෙන්නේ. තුවක්කු බද්දයි. බලූ බද්දයි ඒ වාගේ බදු තියෙන්නේ. තන බද්දක් නැහැ. ආණ්ඩුකාරවරයාටත් එයා කියනවා. ”තමුසෙ ඒක කිව්වට මම දන්නවානේ. මේක මම ගෙවන්නේ නැහැ. මම විරුද්ධයි.”

තව මිනිහෙක් කිව්වා එළවළු බද්දක් ගැන. ”මගේ එළවළු ගොඩාක් සරුයි. අනෙක් මිනිස්සුන්ගේ එළවළුවලට වඩා මගේ එළවළු ගොඩාක් ලොකුයි. ලොකු එළවළුවලට මම බදු ගෙවන්නේ නැහැ.” අන්න ඒ වගේ. ඉතින් මොකක්දෝ කතිකාවක් ඒ ගොල්ලෝ කතා කරන්නේ. මේ පැත්තෙන් අර මිනිහා තර්ක කරනවා මෙහෙම බද්දක් නැහැ කියලා. මේ මිනිහා ඒක පිළිගන්නේ නැහැ. ඉතින් අපි මොකක්ද කියන්නේ. “සාමාන්‍යයෙන් අපි කියන්නේ ”හරි මෝඩයි. අතිශය මෝඩයි. හැබැයි. ඒ කතිකාව බිඳ වැටීම නිසා සුද්දට, ආණ්ඩුකාරවරයාට, ඒ පරිපාලනයට, මේකට උත්තර දෙන්න බැරි වුණා. ඇත්ත වශයෙන්ම දකුණේ ක‍්‍රිස්ටර් විලියම් වගේ ප‍්‍රභූ කොටස් මේ බදුවලට විරුද්ධ වුනා. ඒ අය විරුද්ධ වුනේ බි‍්‍රතාන්‍ය පාලනයේ ඒ ආණ්ඩු ක‍්‍රම රටාවේ ඒවා තුළ කතිකාවකින්. ඒගොල්ලොත් කිව්වා මේ බදු අසාධාරණ බව. Observer පත්තරයට බදුවල අසාධාරණත්වය ගැන එයා ලිව්වහම ආණ්ඩුකාරවරයාගෙන් උත්තරයක් ලියවෙනවා. ඒ ගොල්ලො තාර්කිකව, බොහොම තාර්කිකව අදහස් ප‍්‍රකාශ කරලා ඉදිරිපත් කරනවා. ”මේ බදු වැඩක් නැහැ” ඒ තර්ක වලට ප‍්‍රති තර්ක ඉදිරිපත් වුනා. එහෙත් මේකට තර්කයෙන් උත්තර දෙන්න බැහැනේ. ඉතින් ඒ වගේ කතිකා තුළින් මේක බිඳ වැටුනා. කරන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම අපි කල්පනා කරලා බැලූවහම එක පැත්තකින් හරිම මෝඩයි, අනෙක් පැත්තෙන් ………….?

තව උදාහරණයක් ගත්තොත් අපට පුළුවන් තවදුරටත් පැහැදිලි කර ගන්න. අපි දන්නවා මීට කලින් සිද්ධ වුන හැම කැරැල්ලකදීම රජ කෙනෙක්ව තේරුවා. දකුණු ඉන්දියාවෙන් උරුම කියන රජ කෙනෙක්ව. ඒත් මම කියන්න යන මේ සිද්ධියේදී එහෙම කෙනෙක් නෑ. නිශ්චිත රජෙක් නෑ. රජකමට උරුම කියන, දකුණු ඉන්දියාවේ කුමාරයෙක්ව ඉදිරියට දැම්මා ම මොකද සිද්ධ වුනේ. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා කෙලේ? ඒ මනුෂ්‍යව අල්ලන එක. ඒ මිනිහව ඇල්ලූවහම කැරැල්ල ඉවරයි. ඒත 1849 දි 1848 අගදී සිද්ධ වුනු මේ කැරැල්ලේ දි බි‍්‍රතාන්‍ය ඔටුන්නට හිමිකම් කියන්න රැජිනගේ නම ගන්න ඉදිරිපත් වුනු නිශ්චිතව උරුමකම් කියන කුමාරයෙක් සිටියේ නැහැ. ඉතින් රජකමට උරුම කියන්න ආපු පුද්ගලයව එයාලා හැඳින්වූයේ (pretender)සොරා, වංචාකාරයා කියලා. කැරැල්ල අතරතුරදි ටොරින්ටන් ආණ්ඩුකාරවරයා බි‍්‍රතාන්‍යයට ලියනවා ”ගැටලූවක් නැහැ මම pretender අල්ලූවා. ”කියලා. නමුත් ඊළඟ සුමානෙදි ඒ වගේම තවත් pretenderකෙනෙක් ඇවිල්ලා. ඉතින් හැමතැනම pretenders ලා. දඹුල්ලේ එක්කෙනෙක්, නුවර එක්කෙනෙක්, කුරුණෑගල තවත් එක්කෙනෙක්, ඉතින් අල්ලන්නේ කොහොමද? මේ කැරැල්ල නිශ්චිත උරුමක්කාරයෙක් මත, රජ කෙනෙක් මත පදනම් වුණු එකක් නෙවෙයි. මේක බොහොම ලස්සන සිද්ධියක්. හැබැයි සාම්ප‍්‍රදායික විග‍්‍රහවල මේ විස්තර නැහැ. කේ.එම් . ද සිල්වාගේ විස්තරයේ තන බද්ද, ගැන හෝ එළවළු බද්ද ගැන හෝ නැහැ. ඔහු කරන්නේ එහි තියෙන තාර්කික භාවය ගන්න එක. එහෙම අරගෙන අනෙක් ඒවා ප‍්‍රතික්ෂේප කරනවා. ඒ ගොල්ලන්ගේ තර්කය ” මේ මිනිසුසු මෝඩ මිනිස්සු. මොනවද එයාලා දන්නෙ? එයාලා නූගත්. එයාලා බොරු කියනවා. කියන එක.

තවත් අපූරු සිද්ධියක් නුවර බෝගම්බර දී සිද්ධ වෙනවා. බල්ලෙකුට ඔටුන්න පැළඳුවා. එක පැත්තකින් ඒක මහා විකාරයක්. ඔටුනු පළඳින්න නම් රජ උරුමකම් කියන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහගේ නෑදෑ කෙනෙක් වෙන්න ඕන. අනෙක් පැත්තෙන් බැලූවහම මොකක්ද එයාලා කියන්නේ? ”බල්ලෙක් වටිනවා ඔටුන්න.” හැබැයි ඒ තිබුණ හැම කැරැල්ලකින්ම මේ කැරැුල්ලේදී විතරයි ඇත්තෙන්ම ඔටුනු පැළඳීමක් සිද්ධ වුනේ. දඹුලූ විහාරයේදී ගොංගාලේ ගොඩ බණ්ඩාට ඔටුන්නක් පැළැන්දුවා. අනෙක් ඒවායේදී ඒක කෙරුනේ නැහැ. කව්ද මේ ගොන්ගාලේගොඩ බංඩා? එයා ගොවියෙක්. ඒ මිනිහා හරි මෝඩයි කියලා කියනවා. ඒ මිනිහව අල්ලලා මරණීය දණ්ඩනය නියම කළා. ඉතිනි අභියාචනයක් ඉදිරිපත් කරන්න ඕනෑ. එයා අභියාචනයක් ඉදිරිපත් කළා. ආණ්ඩුකාරතුමාට. ”අනේ ආණ්ඩුකාරතුමනි, මගේ ජීවිතේ බේරන්න. කරුණාකරලා මගේ ජීවිතේ බේරන්න. හැබැයි ජීවිතේ බේරුවට වඩා අර මගේ මාමාගේ මී හරක් තුන්දෙනෙක් නැතිවෙලා. මී හරකුන් තුන්දෙනත් දෙන්න ඕනෑ. අනිවාර්යෙන්ම මගේ ජීවිතේට වඩා වැදගත් ඒක

ඉතින් එයා තමන්ගේ මරණයවත් සීරියස් ගත්තේ නැහැ. තමන්ගේ ජීවිතය ලබා දෙන්න කියලා ලියන අභියාචනාවේ මිනිහා කියනවා අර මීහරක් තුන්දෙනත් අරං දෙන්න කියලා. ඒක ඉතාමත් වැදගත් කියලා. අභියාචනාව ඉවර කරන්නෙත් ඒකෙන්. ඉතින් මොකක්ද සාම්ප‍්‍රදායික දෘෂ්ටිය.? ”මේකා ලෝක මෝඩයෙක්. මිනිහාගේ ජීවිතේ ගැනවත් එයාට අවබෝධයක් නැහැ. ඒ තරම් මෝඩයි. ඒ තරම් නූගත්.” ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ගත්තාම මොකක්ද මේ කියන්නේ? ”ඔව් ඉතින් ඔයා ඉල්ලනවානම් මගෙන් ඒ අභියාචනය ඒක ගන්න. හැබැයි මම ඒක සත පහක් ගණන් ගන්නේ නැහැ. මීහරකුන් තුන්දෙනෙක් තරම් මම ඒක ගණන් ගන්නේ නැහැ.” කව්ද ඉතින් මී හරකා.? අර බල්ලට ඔටුනු පැළඳවීමෙන් මොකක්ද කියන්නේ? එයාලගෙ රැජිණිගේ ඔටුන්න දෙන්නේ කාටද? ඉතින් ඔය විදිහෙන් අපි බැලූවේ නැහැ. මේවා අපි බොහෝම සීරියස් විදිහට සැළකුවේ නැහැ. තන බද්ද කතාවෙන් මොකක්ද කියන්නේ? මේවා විකාර බදු. තුවක්කු බද්ද, අර තන බද්දට වඩා විකාර බද්දක්. බලූ බද්ද අර ඔක්කෝටම වඩා විකාර බද්දක්. ඇත්තෙන්ම ඒ බදු ක‍්‍රමය සම්පූර්ණයෙන් ම අපහාසයට පත් කරන්නේ අර විදිහේ දේකින් මිසක් තර්ක කිරීමකින් නෙවෙයි. ශිෂ්ට විදිහට තර්ක කළාම මෙහෙන් කියනවා ”ඔය තුවක්කු බද්ද තුවක්කුවට වඩා වටිනවා” එතකොට ආණ්ඩුකාරවරයා කියනවා “ඔව් තුවක්කුවත් අපේ. බදුත් අපේ. දුන්නේ නැත්නම් හිරේ දානවා” ඉතිං ඒ තර්ක කිරීම තුළින්, ඒ කතිකාව තුළින් ප‍්‍රශ්න කරන්න පුළුවන් සීමා තිබෙනවා. ඒ භාෂා ක‍්‍රීඩාවේ, ඒ සන්දර්භයේ ඒ පන්තිය තුළ. එහෙත් මේක එනම් ”නිර්ප‍්‍රභූගේ කතිකාව” ඒ සන්දර්භයෙන් සම්පූර්ණයෙන් පිටස්තරයි.

ඔය කැරැල්ලේදී විතරයි ප‍්‍රභූ පැළැන්තියේ රටේ මහත්තයා කෙනෙකුට රන් පදක්කමක් දුන්නේ. ගොන්ගාලෝගොඩ බණ්ඩා ඇල්ලූවාම බි‍්‍රතාන්‍යයෙන් මෙහේ රටේ මහත්තයාට රන් පදක්කමක් දෙනවා. ඉතින් ඒකෙන් පැහැදිලිව පේනවා මේ කැරැල්ල හුදෙක් බි‍්‍රතාන්‍ය යටත් විජිත අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව කරපු දෙයක් පමණක් නොවෙයි. ප‍්‍රභූ පැළැන්තියටත් විරුද්ධයි. දෙගොල්ලන්ටම ප‍්‍රශ්නයක් මේක. මොකද මේ කැරැල්ල තුළින් දෙගොල්ලොම ප‍්‍රතික්ෂේප වුණා. හැබැයි කොහොමද මේක ලියවෙන්නේ.? ඇත්ත වශයෙන්ම හැම පැත්තෙන්ම ලියැවෙන්නේ මෙහෙමයි. අර මම කියන ”විකාර” අයින් කරනවා. ඇයි කැරලි ගැහුවේ? කේ. එම්.ද සිල්වා කියනවා ”බදු වැඩිය.” අර තුවක්කු බද්දට විරුද්ධ වුණ මිනිස්සු 1000 න් මුහන්දිරම් විජේසිංහ ප‍්‍රශ්න කරල තියෙනවා. කටුගස්තොට පාලමේදී. ඒ දාහෙන් තිස්පස් දෙනෙක් පමණයි බදු සාධාරණ විදිහට තාර්කිකව ප‍්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ තිස් පස් දෙනා කියපු දේ පමණයි කේ.එම්.ද සිල්වා අර ගන්නේ. අනෙත් ඒවා ඔක්කොම විකාර හැටියට ප‍්‍රතික්ෂේප කරනවා. බල්ලට ඔටුන්න පැළැඳ වීමේ සිද්ධිය නැහැ. ඔය අනික් කතා බහත් නැහැ. හැබැයි එතනදීත් මේ කට්ටියට කිසිම සහයෝගයක් නැහැ. ඒ ගොල්ලො වෙනුවෙන් කතා කලේ ඒ ගොල්ලෝ පමණයි. නීතිඥයෝ කව්රුවත් ඉදිරිපත් වුනේ නැහැ.

ඒ කට්ටිය (බි‍්‍රතාන්‍යයෝ සහ දේශීය ප‍්‍රභූන්) දැක්කා මේක මොකක්ද කියන එක. මේක බොහොම භයානකයි. මේක අර අනෙක් කැරලි වගේ නෙවෙයි. අපේ පිළට බැටින් chance එක දෙන එකක් නෙවෙයි මේක. මේක සම්පූර්ණ වෙනස් එකක්. game එක වෙනස් කරනවා. ඒ game එක වෙනස් හින්දා ඒක ලොකු තර්ජනයක්. ඉතින් දෙගොල්ලොම හවුල් වෙලා මේක මර්දනය කරන්න හැදුවා. ඉතාමත් දරුණු ලෙස මර්දනය කළා. සිය ගණනක් ජීවිත නැති කළා. ඉතින් මම පෙන්නන්න හදන්නේ මේවා අර විදිහෙන් සාර්ථක වෙන ඒවත් නොවෙයි. හැබැයි ඊට පස්සේ කැරලි ඇති වුනේ නැහැ.

ඒත් මෙම සිද්ධි දෙකේ ප‍්‍රතික‍්‍රියාවන් ඉතාමත් දරුණු වුනා. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස් වෙන්නට සිද්ධ වුනා. පීල්ගේ බි‍්‍රතාන්‍යය රජය බේරුණේ එක ඡන්දයෙන්.

මොකක්ද මෙතැන සිද්ධ වෙන්නේ කියන එක සුද්දට තේරුණේ නැහැ. ඉතින් ඒ ගොල්ලො බැලූවේ මේ කැරලිකාරයෝ යටින් ඉන්නවාද ප‍්‍රභූ කොටස් කියලා, රටේ මහත්තයලා, අදිකාරම් ලා ඉන්නවාද කියලා බැලූවා. ඒත් ඒ අය කවුරුවත්ම නැහැ.

විශේෂයෙන්ම ගොන්ගාලෙගොඩ බණ්ඩාගේ අන්තිම ලියුමයි අර අනිත් අය ලියපු ඒවයි බැලූවාම අපට පේනවා ඒකෙ තියෙනවා පැහැදිලි අපහාසයක්. පැහැදිලිවම එම ආධිපත්‍යය නොපිළිගැනීමක්. තමන්ගේ ජීවිතයයි මී හරක් තුන් දෙනයි සන්සන්දනය කිරීමක් කරනවා. ඉතින් මම කියන්නේ අපට අවශ්‍යයයි මේ වගේ විග‍්‍රහයක් කරන්නට නම් අර වෙන විදිහේ මෙවලම්. ඒ මොකද අපි දකින මේ කතිකාවෙන් පිට නම් ඒ ප‍්‍රධාන ආඛ්‍යානවලින් පිට නම්, ඒ අය පාවිච්චි කරන්නේ අපි විරෝධය පාන්න පාවිච්චි කරන මෙවලම් නොවේ. එයාලා භාවිතා කරන්නේ ඒ ක‍්‍රම නොවේ. සමහර විට ඒවා නොදැනුවත්ව කෙරෙන්න පුළුවන්. ඇත්තෙන්ම නිර්ප‍්‍රභූ නම් අර කතිකාවේ සාමාජිකයෙක් නොවේ නම් එහෙම සිද්ධ වෙන්නේ. අපි නිර්ප‍්‍රභූ නොවන නිසා මේවායේ තියෙන තාර්කික භාවය අපට තේරෙන්නේ නැහැ.

හුඟ දෙනෙක් අපි කිව්වහම අහනවා ”ඒ මිනිහා අර තන බද්ද හෝ ගැන හෝ මේ එළවළු බද්ද ගැනද කතා කරපු හැටියට කොහොමද ඔයා දන්නේ මේක තුළින් මේ කතිකාව බිඳින්න පුළුවන් කියලා.” මං හිතන්නේ ඒ ප‍්‍රශ්නය වලංගු නැහැ. දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඒක බිඳෙනවා. ඇත්ත වශයෙන්ම ඒකයි වැදගත් වෙන්නේ. අපි මේ කතිකාවේ සහභාගීකාරයෝ නිසා, හවුල්කාරයෝ නිසා, අපි ඒවායින් භුක්ති විඳින නිසා, අපි ඒවායින් සැදී පැහැදී ඇති නිසා අපිට බැහැ එහෙම කඩන්න. දැන් තව බොහොම සරල උදාහරණයක් මම ගන්නම්.

මම ගමේ වයසක සීයා කෙනෙක්ගෙන් දැනට අවුරුදු දෙකකට කලින් ඇහැව්වා ඡන්දය දුන්නද කියලා. එයා කියනවා ”ඔව් මහත්තයෝ, මම පුටුවට ඡුන්දය දෙන්න ගියේ. එහෙ ගිහිල්ලා මොනවා වුනාද දන්නෙ නැහැ. අලියට ඡන්දය දීලා ආවා.” අපි මොකක්ද කියන්නේ. ”මෝඩයා. පිස්සෙක්. එයාට පුටුවෙයි අලියාගෙයි වෙනස තේරෙන්නෙ නැහැ. ”හැබැයි ඒ එක පැත්තක්. ඒ මනුස්සයා එතැන කරපු විග‍්‍රහයට අපට අවුරුදු දෙකක් කරන්න වෙලා තවම තේරිලා නැහැ. අලියාගෙයි පුටුවෙයි මොකක්ද තියෙන වෙනස? එක පැත්තක් ඒ පවතින විග‍්‍රහය. ඒක බොහොම සරල විග‍්‍රහයක්. ”ඒ මිනිහා මෝඩයි. එයාට ඔය වෙනස තේරෙන්නේ නැහැ. ඇත්තෙන්ම එයාගේ ජීවිතයේ වෙනසක් නැහැ. ඒ වෙනස නොතේරීම තමයි එයාගේ නිර්ප‍්‍රභූ භාවයේ ලක්ෂණය. එහෙත් ඒ වෙනස තේරෙන අපිට කවදාවත් නිර්ප‍්‍රභූ වෙන්න බැහැ. එවැනි විග්‍රහයක් කරන්නත් බැහැ. මොකද එක පැත්තකින් බැලූවහම ඒ අලින්ගෙයි මේ පුටුයි අතර වෙනසක් නැහැ. ඇත්තෙන්ම මිනිස්සු අලි සහ පුටු උඩ නගිනවා. එහෙත් පුටු සහ අලි එහෙම්ම තියෙනවා. ඒ එකක්. අනික මං හිතන්නේ ඊට වඩා න්‍යායාත්මක කතිකාවක්. නිර්ප‍්‍රභූ අයට මේ ප‍්‍රජාතාන්ත‍්‍රීය කතිකාව, ප‍්‍රජාතන්ත‍්‍රීය දේශපාලනයේ කව්රු අලි වුණත්, කව්රු පුටු උනත් ඒ පක්ෂ දේශපාලනයෙන් ඇත්ත වශයෙන්ම නියම විකල්පයක් නැහැ. ඒ ඊනියා විකල්පයේ විකල්පයක් නැහැ කියලා පෙන්නන්නේ ඒ වැරැද්ද කරන්න පුළුවන් කෙනෙක්. අපිට. අපිට ඒ වැරැද්ද කරන්න බෑ. මොකද අපිට ඒ වෙනස්කම් තියෙනවා. අපිට ඇත්තෙන්ම නොයෙක් වරප‍්‍රසාද නොයෙක් දේවල්, හවුල් සභාග, ඒවගේ නොයෙක් දේවල් අපිට ඒකෙ තියෙනවා. අපි ඒක කරා නම් බරපතළ වරදක්. ඒ වරද කරන්න පුළුවන් වෙන්නේ ඒ කතිකාවේ නැති අයට. ඒ ඔවුන් ඒ කතිකාව තුළ නොසිටින නිසා. ඒක මහා ගැඹුරු විග‍්‍රහයක්. ලංකාවේ විතරක් නොවෙයි මං හිතන්නේ මුළු ලෝක ආර්ථිකය දිහා බැලූවත් ඒවැනි තත්වයකදී කවදාවත් එයාට විකල්පයක් ඇති වෙන දෙයක් වෙන්නේ නැහැ. හැමදාම එයාට වෙන්නේ අලියා වෙනුවට පුටුව, පුටුව වෙනුවට අලියා වගේ මොකක් හෝ ඊනියා විකල්පයක් තෝරා ගන්න. හරියට පෙප්සි කෝලා වෙනුවට කොකා කෝලා වගේ ඊනියා විකල්පයක් එයාට තියන්නේ. ඉතින් එයා ඒක තේරුම් ගත්තද එයා නොතේරිලා ඒ විග‍්‍රහය කළාද කියන්න අපි දන්නේ නැහැ. මම හිතන්නේ ඒක නොවෙයි ප‍්‍රශ්නය. ඒකෙන් අපි දකින්න ඕනේ මම කියන විදිහට අර විකල්පයකුත්, විකල්ප දේශපාලනයකුත් අවශ්‍යයි කියන කාරණය. පක්ෂ කේන්ද්‍රීය මධ්‍යගත දේශපාලනය මං හිතන්නේ නිරන්තරයෙන් සිදු කරන්නේ අර විදිහේ දෙයක්. අන්තිමේදී සාම්ප‍්‍රදායික විග්‍රහයට අනුව එයා මෝඩයි. මොකද එයාට අපි ඔක්කොම එකතු වෙලා පෙන්නුම් කරනවා ”මෙන්න අපි. අපි මෙන්න මේ දේවල් ඔයාට කරනවා. අර මිනිස්සු ඔයාට ඒ දේවල් කරන්නේ නැහැ”

ඉතින් ඒ මිනිහා ගිහිල්ලා වැරදි තැනට ඡන්දය දානවාද? එහෙමත් නැත්නම් අපි ඒ මනුස්සයාට කියන ඒවාද බොරු? ඉතින් ඒ සාම්ප‍්‍රදායික කතිකාව මෝඩකම් කියලා හඳුන්වන දේ තුළින් තමයි මම දකින්නේ අලූත් දේශපාලනයක්. අලූත් සමාජ විග‍්‍රහයක්.

උපුටා පල කරන්නේ නම් Kathika.wordpress.com සඳහන් කරන්න

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )