උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා වූ නිවාසයක වටිනාකම රුපියල් මිලියන දෙකයි – නාමිනී විජේදාස

‘‘උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නිවාස ඉදිකිරීම් හා සම්බන්ධ ණයගැතිභාවය ඉහල ගොස් තිබෙන්නේ ඒවා හිමිකරු විසින් මෙහෙවන ඉදිකිරීම් වීම නිසා නොවේ. මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සාධාරණ හා සූරාකෑමෙන් තොර ආකෘතියක් නොමැති වීම සහ ආරක්ෂිත හා හොඳ ආදායම් ලැබෙන ජීවනෝපාය මාර්ග නොමැති වීම ආදී හේතු කාරණා නිසාය ණයගැතිභාවය ඇති වූයේ ’’
‘‘නිවාස ව්‍යාපෘති හා සම්බන්ධ මෙම සැබෑ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරනු වෙනුවට කොන්ත‍්‍රාත්කරුවන්ට වාසිදායක වන ලෙස විශාල ප‍්‍රතිපත්තිමය විතැන් වීමක් සිදුව තිබෙන අතර ඒ ප‍්‍රතිපත්තිමය වෙනස සඳහා ප‍්‍රමාණවත් හේතු පැහැදිලි කිරීමක් ද සිදු වී නොමැත’’

උතුරු නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනයා වෙනුවෙන් නිවාස 65,000 ක් ඉදිකිරීමට ආණ්ඩුවේ මූලිකත්වයෙන් මේ වනවිට දියත් වී තිබෙන ව්‍යාපෘතියක් විශාල ආන්දෝලනයක් ඇති කොට තිබේ.
එක් එක් නිවාසවල වටිනාකම ලෙස ඇස්තමේන්තුගත කොට තිබෙන රු. මිලියන 2.1 ක මුදල සිවිල් සමාජ කණ්ඩායම් විසින් ප‍්‍රශ්න කිරීමට ලක්කොට ඇත. විවාදයට තුඩු දී ඇති අනෙක් ප‍්‍රශ්නය වනුයේ අදාල ව්‍යාපෘතිය සඳහා අයැදුම් කළ කොන්ත‍්‍රාත්කරුවන් තෝරාගනු ලැබූ ‘අධිවේගී’ ක‍්‍රමවේදයයි. කොන්ත‍්‍රාත්කරුවන් විසින් ඉදිකරන මේ නිවාස සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමට අවතැන්වූවන්ට අවස්ථාවක් නොමැත. ඉදි කරනු ලැබෙන නිවාස එලෙසින්ම ඔවුන් භාරගත යුතු අතර ඒ ඒ පුද්ගලයින්ගේ අවශ්‍යතා මත නිවාසවල වෙනස්කම් සිදුකිරීමට ඇති ඉඩකඩ අතිශය අල්පය. එසේ නැතිනම් එවැනි ඉඩක් නැති තරම්ය.

නිවාස සැලැසුම කොන්ත‍්‍රාත්කරු විසින් කලින් සැලසුම් කරනු ලැබේ. සෑම නිවාස ඒකකයක්ම වර්ග අඩි 520 න් සමන්විත වන අතර ඒවා වානේ ව්‍යුහයකින් සහ කෘතිම ජැනේලවලින් යුක්ත වනු ඇත. නිවාසවල මිලට රූපවාහිනී යන්ත‍්‍රයක, ගෘහ භාණ්ඩ කිහිපයක හා සූර්ය කෝෂ පද්ධතියක වටිනාකම ඇතුලත් කොට තිබේ.
‘‘මේ වියදම් ඇස්තමේනතුවේ පදනම පැහැදිලි නැති වූවත් එම වටිනාකම ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ නිවාස වටිනාකමට වඩා හතර ගුණයකින් වැඩි බවත්, දැනට සම්පූර්ණ කොට තිබෙන හෝ තවමත් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන වෙනත් ඕනෑම නිවාස ව්‍යාපෘතියකට වඩා මෙහි මිල ගණන් අධික බවත් ඉතාම පැහැදිලි’’ යැයි මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන සමූහයක් විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශයක දැක්වේ. මෙම ප‍්‍රකාශය සකස් කිරීම සඳහා විශේෂඥයින්ගේ හා පර්යේෂකයින්ගේ සහයෝගය ලැබී ඇත.
මෙම වටිනාකම් වෙනස අසමානතා වැඩි වීම සහ බහුවිධ සම්මතයන් ඇති වීම කෙරෙහි පමණක් නොව ප‍්‍රජාවන් අතර ආතතිකාරී තත්වයන් වර්ධනය වීම කෙරෙහි ද බලපෑ හැකි බව එම ප‍්‍රකාශය වැඩි දුරටත් දක්වයි.
2013 සහ 2015 වර්ෂ අතර කාලයේ දරිද්‍රතා අධ්‍යනය සඳහා වූ කේන්ද්‍රය (Centre For Poverty Analysis – CEPA) විසින් සංවර්ධන සහයෝගීතාවය සඳහා වූ ස්විට්සර්ලන්ත ඒජන්සිය විසින් දියත් කරන ලද නිවාස ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභීන් පිළිබඳ පර්යේෂණයක් සිදුකළේය. මෙම ව්‍යාපෘතිය අවතැන් වූවන්ට තම නිවාස ඉදිකිරීම සඳහා රු. 550 000 ක මුදලක් ප‍්‍රදානය කළේය. CEPA ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක් වන වගීෂ ගුණසේකර මෙසේ කියයි
‘‘ සමීක්ෂණයට ලක්වූ පළමු නියැදිය තුළ නිවාස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලයනයකට වැඩියෙන් වැය කොට තිබුණේ නිවාස දෙකක් පමණයි. දෙවැනි නියැදිය තුළ මිලියනයකට වඩා වියදම් කොට තිබුණු නිවාස ගණන තුනයි’’
සිවිල් සමාජ කණ්ඩායම් විසින් මතු කරන තර්කය වන්නේ හොඳ නිවාසයක් රුපියල් මිලියනයකින් ඉදි කළ හැකි නම් ඉතිරි මුදල ජීවනෝපාය මාර්ග හා වෙනත් අවශ්‍යතා ආදී වූ ක්ෂේත‍්‍ර මත ඵලදායීව ආයෝජනය කළ හැකි බවයි. නිවාස සඳහා අවශ්‍ය ජැනේල හා වෙනත් ව්‍යුහයන් ආනයනය නොකොට නිවාස දේශීයවම ඉදිකළ හැකි නම් එමගින් රැුකියා අවස්ථා ජනිත වනු ඇති බවත් ප‍්‍රදේශයේ ආර්ථිකයට එය උපකාරයක් වනු ඇති බවත් ඔවුහු පවසති.
‘‘ යුද්ධයෙන් පසු ගත වූ අවුරුදු කිහිපය තුළ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය ආශ‍්‍රිත ආදායම්වල විශාල පහත වැටීමක් සිදුවී තිබෙන අතර එය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බරපතල ණයගැතිභාවයක් නිර්මාණය කොට තිබෙනවා’’ යාපනයේ දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් වන අහිලන් කදිරගාමර් කියයි. ‘‘නිවාස ඉදිකිරීමේ වගකීම එහි හිමිකරු වෙතම පවරන ඉන්දීය හා ස්විට්සර්ලනස්ත නිවාස වයාපෘති ආදී විවිධ ව්‍යාපෘති නිසා ප‍්‍රාදේශීය වශයෙන් මේසන්වරුන් හා දෛනික කුලී පදනමක් මත වැඩ කරන කම්කරුවන් ආදී ශ‍්‍රමිකයින් සඳහා නව ඉල්ලූමක් ජනිත වුණා’’
කදිරගාමර්ට අනුව නිවාස ඉදිකිරීම් තුළින් ජනනය වන මෙබඳු ආදායම් ග‍්‍රාමීය ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් වූ වැදගත් උත්තේජනයකි.
‘‘රජයේ වියදමෙන් දියත් වෙන, එහෙත් විදේශ කොන්ත‍්‍රාත්කරුවෙක් විසින් මෙහෙයවනු ලැබෙන ප‍්‍රශ්නගත නිවාස 65,000 ව්‍යාපෘතියේ තිබෙන ප‍්‍රශ්නය තමයි මේ විශාල මූල්‍ය ආයෝජනය ප‍්‍රදේශයේ ආර්ථිකය උත්තේජනය කිරීමට දක්වන දායකත්ව ඉතාම අවම වීම’’
‘‘මේ නිවාස කලින් ඉදිකරනු ලැබ මෙරටට ගෙන්වා සවි කරන වර්ගයේ ඒවා නම් වැටුප් ලෙස ග‍්‍රාමීය ආර්ථිකයට ලැබිය හැකිව තිබූ ඩොලර් මිලියන ගණනක් විදේශ ශ‍්‍රමය සහ විදේශ කොන්ත‍්‍රාත්කරුවන්ට ලාභ ලෙස ගලා යනවා’’ ඔහු වැඩිදුරටත් කියයි. ‘‘ඒ වගේම දේශීයව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මනාව සැලසුම් කළා නම් එවැන්නක් උලූ නිෂ්පාදනය, වඩු වැඩපොලවල් වගේ නිවාස ඉදිකිරීම හා සම්බන්ධ වෙනත් කුඩා කර්මාන්ත ප‍්‍රසාරණයටත් හේතු විය හැකිව තිබුණා. එම නිසා විදේශීයව ඉදිකළ නිවාස ආනයනය කරන්නට ගත් තීරණයේ ආවස්ථික පිරිවැය බොහොම ඉහළයි’’
කෙසේ වූවද ආණ්ඩුව පවසන්නේ ඉන්දීය නිවාස ව්‍යාපෘතිය මෙන්ම ස්විට්සර්ලන්ත නිවාස ව්‍යාපෘතිය යන දෙකේම ප‍්‍රතිලාභීන් නිවාස ඉදිකිරීමේ ක‍්‍රියාදාමයේ දී ණයගැතිභාවට ලක්වූ බවයි. CEPA ආයතනයේ අධ්‍යනයන්ට අනුව බොහෝ අවස්ථාවල දී රු. 650 000 තරම් වූ ණය බරකට නිවාස හිමියෝ ගොදුරු වූහ.
සන්ඬේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දක්වමින් පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු භාර අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් ප‍්‍රකාශ කළේ ‘‘නිවාස හිමිකරු විසින් මෙහෙයවන’’ ප‍්‍රවේශයක් වෙනුවට ‘‘කොන්ත‍්‍රාත්කරුවෙක් විසින් මෙහෙවන’’ ප‍්‍රවේශයකට යාමට රජය තීන්දු කළේ මෙන්න මේ ප‍්‍රශ්නය නිසා බවයි.
‘‘ නිවාස අයිතිකරු විසින් නිවාසය ඉදිකිරීමේ ප‍්‍රවේශය අසාර්ථකයි. මොකද මිනිස්සු ණය වෙන නිසා’’ ඔහු කියයි.
කොහොම උනත් සිවිල් සමාජ සංවිධාන තමන් විසින් සිදුකල පර්යේෂණ මත පදනම්ව නිකුත් කළ ප‍්‍රකාශය මීට වඩා වෙනස් අදහසක් ඉදිරිපත් කරයි. ‘‘උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල නිවාස ඉදිකිරීම් හා සම්බන්ධ ණයගැතිභාවය ඉහල ගොස් තිබෙන්නේ ඒවා හිමිකරු විසින් මෙහෙවන ඉදිකිරීම් වීම නිසා නොවේ. මූල්‍ය පහසුකම් සැපයීම සඳහා සාධාරණ හා සූරාකෑමෙන් තොර ආකෘතියක් නොමැති වීම සහ ආරක්ෂිත හා හොඳ ආදායම් ලැබෙන ජීවනෝපාය මාර්ග නොමැති වීම ආදී හේතු කාරණා නිසාය ණයගැතිභාවය ඇති වූයේ ’’
‘‘නිවාස ව්‍යාපෘති හා සම්බන්ධ මෙම සැබෑ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කරනු වෙනුවට කොන්ත‍්‍රාත්කරුවන්ට වාසිදායක වන ලෙස විශාල ප‍්‍රතිපත්තිමය විතැන් වීමක් සිදුව තිබෙන අතර ඒ ප‍්‍රතිපත්තිමය වෙනස සඳහා ප‍්‍රමාණවත් හේතු පැහැදිලි කිරීමක් ද සිදු වී නොමැත’’ සිවිල් සංවිධාන ප‍්‍රකාශය වැඩිදුරටත් කියයි.
කොන්ත‍්‍රාත්කරුවන් තෝරා ගනු ලැබූ ක‍්‍රමවේදය – විශේෂයෙන්ම එහි කඩිනම් ස්වභාවය – පිළිබඳව ද විවේචන එල්ල වී තිබේ. උතුරු නැගෙනහිර පළාත්වල නිවාස 65 000 ක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ සැප්තැම්බර් මාසයේය. ඉන් දවස් දොලහකට පසු පුවත්පත් දැන්වීමක් මගින් ව්‍යාපෘතියට අදාල කොන්ත‍්‍රාත් සඳහා ඇරයුම් ඉදිරිපත් විය. පුවත්පත් දැන්වීමට අනුව අයැදුම් කරන පාර්ශවයන්ට සහනදායී මූල්‍ය පහසුකම් උත්පාදනය කිරීමේ හැකියාව සහ වසර පහක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමේ හැකියාව තිබිය යුතුය. ඉදිකෙරෙන නිවාස සාලයක්, කැම කාමරයක්, නිදන කාමර දෙකක්, කුස්සියක් හා ආලින්දයක් යන අංගවලින් සමන්විත විය යුතුය. මේ දැන්වීමට ප‍්‍රතිචාර 35 ට ආසන්න ප‍්‍රමාණයක් ඉදිරිපත් වූ අතර දැන්වීමෙන් දවස් විසි හතරකට පසු තෝරාගත් අයැදුම්කරුවන් පහලොස් දෙනෙක් ප‍්‍රසිද්ධ කරනු ලැබීය.
අමාත්‍යංශය එසේ නම් ප‍්‍රසිද්ධ කරන ලද පාර්ශවයන්ට තම තමන්ගේ සැලසුම් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා දින විසි පහක කාලයක් ලබා දුන්නේය. කෙසේ වූවද නිවාස ඉදිකිරීමට අදාල කොන්දේසි වෙනස් කෙරිණ. ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා වූ කාලය වසර පහේ සිට හතර දක්වා අඩු කරන ලදී.
ලංසු කැඳවීමට පෙර තිබූ රැුස්වීමේ දී අයැදුම්පත් ඉදිරිපත් කළ බහුතරයක් ඉල්ලූම්කරුවෝ වඩා හොඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා යෝජනා භාරගන්නා අවසන් දිනය දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටියෝය. කෙසේ වූවද අවසාන දිනය දීර්ඝ කරනු ලැබූයේ දවස් තුනකින් පමණි.
ඒ අනුව යෝජනා අටක් ඉදිරිපත් වී තිබේ. අමාත්‍ය ස්වාමිනාදන් පවසන පරිදි තවමත් ටෙන්ඩරය නිකුත් කොට නැත. එහෙත් විශ්වසනීය ආරංචි මාර්ග දක්වන ආකාරයට ලක්සම්බර්ගය මූලස්ථාන කොටගත් ්ArcelorMittal සමාගම වෙත ටෙන්ඩරය හිමිවනු ඇත.
‘‘අගෝස්තු මාසයේ පමණ අමාත්‍යවරයා අපට නිවාස 65 000 ව්‍යාපෘතිය ගැන් දැන්වූවා. ප‍්‍රංශ සමාගමකට කොන්ත‍්‍රාත්තුව දෙන බව ඔහු කීවා’’ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි. ‘‘ මේ අනුව පැහැදිලියි කොන්ත‍්‍රාත්තුව දෙන්නේ කාටද කියලා ඒ කාලයේම තීරණය කොට තිබූ බව. ටෙන්ඩර් ක‍්‍රියාවලිය හුදු ඇස්බැන්දුමක් විතරයි එහෙමනම්. ඒක සම්පූර්ණ රැවටිල්ලක්’’
ප‍්‍රංශ, ස්පාඤ්ඤ හා ලක්සම්බර්ග් හවුල් සමාගමක් වූ (Arcelor) සමාගම 2006 දී ඉන්දියානු හිමිකමක් තිබෙන බහුජාතික වානේ නිෂ්පාදන සමාගමක් වන (Mittal Steel) විසින් මිලට ගන්නා ලදී. ArcelorMittal සමාගම නිර්මාණය වූයේ ඒ අනුවය.
‘‘ මේ නිවාස ජාත්‍යන්තර ප‍්‍රමිතිය අනුව ඉදිකරාවි’’ ඇමති ස්වාමිනන්දන් පවසයි. ‘‘ ලෝකයේ හොඳම නිවාස අතර මේ නිවාස තිබෙන බවට සැකයක් නැහැ’’
ව්‍යාපෘතියට අදාල කොන්ත‍්‍රාත්තුව ලබාදීමේ අධිවේගී ක‍්‍රියාවලිය පිළිබඳ එල්ල වී තිබෙන චෝදනා ඔහු ප‍්‍රතික්ෂේප කරයි.
‘‘එහෙම හදිසියක් තිබුණේ නැහැ. ඒකට මාස තුන හමාරක් ගතවූවා. තවම ටෙන්ඩර් ක‍්‍රියාවලිය අවසන් වෙලා නැහැ. ටෙන්ඩරය ලැබිය යුතු සමාගම තවමත් තෝරාගෙන නැහැ’’
නිවාස ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභීන් කවුද යන්න අදාළ දිස්ත‍්‍රික්කවල ආණ්ඩුවේ ආයතනවල අදහස් විමසා බැලීමෙන් ඉක්බිති තීරණය කරන බව අමාත්‍යවරයා පවසයි. අවතැන්වූවන් සඳහා ප‍්‍රමුඛත්වය ලැබෙනු ඇත.
එහෙත් රජයේ පරිපාලන ආයතන තවමත් මෙම කරුණු පිළිබඳ දැනුවත් නැත. යාපනය, කිලිනොච්චිය හා මුලතිවු දිස්ත‍්‍රික්කවල දිසාපතිවරු අප සමග ප‍්‍රකාශ කළේ තවමත් නිල වශයෙන් ව්‍යාපෘතිය පිළිබඳ තමන්ට දැනුම් දී නැති බවත් එවැන්නක් තිබෙන බව ‘සමහර පුද්ගලයින්’ පවසනු පමණක් අසා තිබෙන බවත්ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )