නලින් ස්වාරිස් : මිතුරන්ගෙන් දේශපාලන සත්‍යවාදී බව අපේක්ෂා කල ඔහු – කුමුදු කුසුම් කුමාර විසිනි.

ආචාර්ය නලින් ස්වාරිස් – අනුස්මරණය

උපත 1938.11.06
විපත 2011.04.17

Nalin_Swaris_file_SLG_XX
නලින් අප අතරින් වෙන්ව ගියේ හදිසියේ ම ය. ඒ අපවත්, ඔහුවත් බලාපොරොත්තු නොවූ ලෙස ය. ජීවත්ව සිටිය දී මෙන්ම තම මරණයේදීත් නලින් තම සමීපතමයන්ගේ බලවත් අවධානය තමා වෙත ඉල්ලා සිටියේ ය. නලින්ගේ ඇසුර ලැබූ පවුලේ ඥාතීන් සහ මිතුරන්ගේ ජීවිතවලට සහ අපගේ පොදු ලෝකයට නලින්ගේ ජීවිතයෙන් ජනිත වූ ආලෝකය තුළ ඔහු අපට ඉතිරිකොට ගිය දෑ බොහෝ ය.

මිනිසෙකුගේ, විශේෂයෙන්ම නලින් වැනි සංකීර්ණ මිනිසෙකුගේ ජීවිතයක එක් අනන්‍යතාවයකට හසුකර ගත නොහැකි තැන් සහ මාණ කොතරම් තිබේදැයි අපට සිතා බැලිය හැකිය.

නලින්ගේ ජීවිතය හා බැඳුනු අන් බොහෝ අය වෙති. ඔවුනට නලින් ගැන කියන්නට ඔවුන්ගේම කථා තිබේ. මගේ මෙම ඉදිරිපත් කිරීම මගේ පර්යාලෝකයෙන් මා දුටු නලින්ගේ ජීවිතයේ මට වැදගත් යැයි හැඟෙන පැතිකඩ කිහිපයක් හසුකරගන්නට උත්සාහ ගන්නා නිසල ඡායාරූප කිහිපයක් වැනි යැයි සිතමි.

නලින් පෞද්ගලිකව දැන සිටි, අප සියලු දෙනාමත්මෙලොවින් පියමං කළ පසුත්, මෙලොව පැවැතීමේ විභවයක් ඇති නලින්ගේ බුද්ධිමය දායකත්වය පිළිබඳ යමක් පළමුව කෙටියෙන් සඳහන් කරන්නට කැමැත්තෙමි. Continue reading නලින් ස්වාරිස් : මිතුරන්ගෙන් දේශපාලන සත්‍යවාදී බව අපේක්ෂා කල ඔහු – කුමුදු කුසුම් කුමාර විසිනි.

Advertisements

ගෝලීය ආර්ථික අර්බුදයේ යුගය තුළ වෙළඳාම ලිබරල්කරණය – “එට්කා” ගිවිසුමේ දේශපාලන හා ආර්ථික ඇඟවුම් – අහිලන් කදිරගාමර්

සමාජවාදී අධ්‍යයන කවයේ සංවිධානයෙන් පසුගිය මාර්තු 11 දින සම සමාජ පියසේ දී වමේ කතිකාව: ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය:ඊසීටීඒ,විදේශ ආයෝජන හා අනෙකුත් විකල්ප යන මැයෙන් දැක්වූ අදහස් මත පදනම්ව අහිලන් කදිරගාමර් විසින් ලියන ලද Trade liberalization in the times of global economic crisis – political and economic implications of ETCA යන ලිපියේ සිංහල පරිවර්තනය පහත පලවේ.

අපේක්ෂා කළ ගෝලීය ආර්ථිකය යථා තත්වයට පත්වීම වෙනුවට දැන් ලෝකය අත්දකිමින් සිටින්නේ වේදනාකාරී අවධමනයකි. 1930 මහා ආර්ථික අවපාතයට පසු අවධමනය විසින් – එනම් මිල ගණන් පහල යාම සහ පාලනය කරගත නොහැකි ආකාරයකට ඉල්ලූමේ සිදුවන සර්පිලාකාර පහත වැටීම විසින්, මේ තරම් ඉහළ මට්ටමකින් ගෝලීය ආර්ථිකය සොලවා දැමූ අන් කිසිදු අවස්ථාවක් නැත.

ලෝකයේ ආර්ථික පොලිස්කාරයන් ලෙස ක්‍රියාකරන බටහිර බලවතුන් වන එක්සත් ජනපදය, ජර්මනිය විසින් නායකත්වය දෙනු ලබන යුරෝපා රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ඔවුන්ගේ නියෝජිතයින් වර්තමාන අර්බුදය ඇති වීම සම්බන්ධයෙන් පාර්ශවීය ලෙස වග කිව යුතු වෙති. 2008 ඇති වූ අර්බුදයේ තීව්‍රතාවය නොතකා ඔවුහු දිගටම ස්වකීය නව ලිබරල් දෘෂ්ටිවාදය වෙත ඇලී ගැලී සිටි අතර මූල්‍ය ප්‍රාග්ධනය නම් වූ සිය ස්වාමියා වෙත ඔවුන් තුළ තිබූ පක්ෂපාතීත්වය නොවෙනස්ව පැවැතිණ. ආයෝජන සහ වාණිජ බැංකු, අන්‍යොන්‍ය හා හෙජිං අරමුදල්, වෝල් වීදියේ හා ලන්ඩන් නාගරිකයේ ලැගුම් ගන්නා පුද්ගලයින්ගෙන් මෙකී මූල්‍ය ප්‍රාග්ධනය මූර්තිමත් වේ. මූල්‍ය ප්‍රාග්ධනය කෙරෙහි වූ මෙම පක්ෂපාතීත්වය දිගින් දිගටම සුබසාධන කප්පාදු වැඩපිලිවෙත් අනුගමනය කිරීම වෙත බටහිර බලවතුන් යොමු කළේය. බැරෑරුම් ආර්ථික විසඳුමක අවශ්‍යතාවය ඔවුන් විසින් සලකා බලනු ලැබුවේ හෝ නැත. මූල්‍යකරණ ක්‍රියාවලිය ආපසු හැරවීම සහ රජය විසින් සිදුකරන නිෂ්පාදනීය ආයෝජන මගින් රැකියා ජනනය වන ආර්ථික වර්ධන ක්‍රියාවලියක් සඳහා මුලපිරීම එබඳු බැරුරුම් ආර්ථික විසඳුමක් සඳහා අවශ්‍ය කෙරේ. ඒ වෙනුවට පෞද්ගලික ණය ප්‍රසාරණය කොට පරිභෝජනය හා සමපේක්ෂණමය ආයෝජන පුලුල් කිරීම ප්‍රවර්ධනය කෙරිණ. මෙම උපාය මාර්ගයේ නිෂ්ඵලභාවය සිතුවාටත් වඩා කලින් මේ වනවිට තහවුරු වී තිබේ. Continue reading ගෝලීය ආර්ථික අර්බුදයේ යුගය තුළ වෙළඳාම ලිබරල්කරණය – “එට්කා” ගිවිසුමේ දේශපාලන හා ආර්ථික ඇඟවුම් – අහිලන් කදිරගාමර්