ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව – නිර්දේශ (11- 22 පරිච්ඡේද)

11 පරිච්ඡේදය – රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම

11.2 නිර්දේශ

පහත දැක්වෙන නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයෝ ඒකමතිකව එකඟ වූහ.

1. මෙහි ඇතුළත් වන රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම රටේ පාලනය සඳහා මූලික වන අතර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදි හා නිදහස් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ඒවා අනුගමනය කිරීම රාජ්‍යයේ වගකීමක් වෙයි. රජයේ සියලු ම ආයතන, ජාතික, පළාත් හා පළාත් පාලන මට්ටමේ සියලු රාජ්‍ය නිලධාරීන් හා සියලු පුද්ගලයින් කවරෙකු හෝ විසින් මෙම නියාමක මූලධර්ම පහත සදහන් කටයුතුවලදී අනුගමනය කළ යුතු වේ.

අ. මෙම ව්‍යවස්ථාව භාවිත කිරීම හෝ විවරණය කිරීම
ආ. ඕනෑම නීතියක් පැනවීම, භාවිත කිරීමහෝ විවරණය කිරීම හෝ
ඇ. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම හෝ ක්‍රියාත්මක කරන ඕනෑම විටෙක

11.2.1 නියාමක මූලධර්ම

1. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි රජයක් ස්ථාපිත කිරීමට රජය සහතික වී ඇති අතර එහි අරමුණු අතර පහත දැක්වෙන කරුණු අඩංගු විය යුතුය.

අ) සියලු පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස පූර්ණ ලෙස සාක්ෂාත් කිරීම;

ආ) ජාතික ජීවිතයේ සියලු ම ආයතනවලට මඟ පෙන්වන (සමාජීය, ආර්ථික හා දේශපාලන)සාධාරණත්වයක් සහිත සමාජ ක්‍රමයක් ඵලදායී ලෙස ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ජනතාවගේ සුබ සාධනය ප්‍රවර්ධනය කිරීම;

ඇ) ප්‍රමාණවත් ආහාර, ඇඳුම් පැලඳුම් හා නිවාස, තිරසර ලෙස ජීවන තත්ත්වයන් දියුණුවීම, විවේකය සහ සමාජ හා සංස්කෘතික අවස්ථාවන් හි පූර්ණ වින්දනය ඇතුළුව සියලු පුරවැසියන්ට හා ඔවුන්ගේ පවුල්වලට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම;

ඈ) රාජ්‍යය, අන්තර්ගත සමෝධානික හා තිරසර සංවර්ධනයක් ප්‍රවර්ධනය කළ යුතුය;

ඉ) පොදු යහපතට හොඳම සේවය සිදුවන ආකාරයට සියලු ස්වාභාවික හා ද්‍රව්‍යමය සම්පත් හා සමාජ නිෂ්පාදන සාධාරණ ලෙස බෙදී යා යුතුය;

ඊ) විශේෂයෙන්ම කෘෂිකර්මයේ, සත්ත්ව පාලනයේ හා ධීවර කර්මාන්තයේ සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන අංශ, රාජ්‍යය, සමූපකාර හා පුද්ගලික ව්‍යවසාය මෙන් ම පුද්ගල ව්‍යවසායකයන් අතර බෙදී යන නිෂ්පාදනය, බෙදා හැරීමේ හා හුවමාරු ක්‍රම සහිත සාධාරණ සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීම;

උ) ජනතාවගේ සදාචාර හා සංස්කෘතික තත්ත්වය දියුණු කිරීම හා මානව ස්වීයත්වයේ පූර්ණ සංවර්ධනය සහ

ඌ) අසාක්ෂරතාව සම්පූර්ණයෙන් තුරන් කිරීම හා සියලු පුද්ගලයන්ට සෑම මට්ටමකදීම අධ්‍යාපනය ලැබීමට ඇති සාර්ව හා සමාන අයිතිය තහවුරු කිරීම.

2. රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, ඒකීයත්වය හා භෞමික අඛණ්ඩතාව ආදිය ආරක්ෂා කළ යුතුය.

3. විමධ්‍යගත කිරීමෙන් හා ජාතික ජීවිතයේ හා රජයේ සෑම මට්ටමක ම මහජනතාවට සහභාගී වීමට හැකි තරම් අවස්ථා සලසා දීමෙන්, රජයේ ප්‍රජාතන්ත්‍රීය ව්‍යුහය හා ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පුළුල් කිරීමටත්, ශක්තිමත් කිරීමටත් රාජ්‍යය ක්‍රියා කළ යුතු ය.

4. බහුවිධ ලක්ෂණ පවත්වා ගනිමින්, විවිධත්වය ආරක්ෂා කරමින් සියලු ජනවාර්ගික, ආගමික හා සමාජ කණ්ඩායම් අතර සංහිඳියාව හා සාමකාමී සහජීවනය සහතික කිරීම රාජ්‍යයේ වගකීම වෙයි. වාර්ගික, ආගමික, භාෂා කණ්ඩායම් හා අනිකුත් කණ්ඩායම් ද, ඇතුලු ශ්‍රී ලාංකික ජනතාවේ සියලු කොටස් අතර සහයෝගීතාව හා අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කරමින්, ජාතික සමඟිය ශක්තිමත් කිරීමට රාජ්‍යය කටයුතු කළ යුතුය. වෙනස් ලෙස සැලකීම හා සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිටු දැකීමට, ඉගැන්වීම, අධ්‍යාපනය හා තොරතුරු යන අංශවල ඵලදායී පියවර ගත යුතුය.

5. රාජ්‍යය සියලු පුරවැසියන්ට සමාන අවස්ථා සහතික කළ යුතුය.

6. බරපතල අපරාධවලට වැරදිකරුවන් වූ අය හැර, ජාතිය, ජනවාර්ගිකත්වය, කුලය, පංතිය, ආගම, භාෂාව, විශ්වාස, ලිංගිකත්වය, ලිංගික නැඹුරුව හා අනන්‍යතා, වෛවාහික තත්ත්වය, මානසික හා ශාරීරික දුබලතා, දේශපාලන මත හෝ සම්බන්ධතා, වෘත්තිය, රාජ්‍යයට විරුද්ධව කැරලි ගැසීම් ඇතුලු අතීත හැසිරීම් යනාදී කිසිවක් පදනම් කර ගෙන කිසිම පුද්ගලයෙකුට හෝ සමූහයකට වෙනස් ලෙස නො සැලකිය යුතුය. ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය පිළිබඳ බහුවිධ නැඹුරුවක් සහිත පුද්ගලයන් ඇතුලු සියලු අනාරක්ෂිත කණ්ඩායම්වලට නියමිත ආරක්ෂාව ලබා දීම රාජ්‍යයේ වගකීමක් වෙයි.

7. රජයේ නීති, ක්‍රියා හා ප්‍රතිපත්තිවල බලපෑමට ලක් වූ අය හෝ ප්‍රධාන ධාරාවෙන් වෙන් කර හෝ කොන් කර ඇති අයට, ඔවුන්ගේ අනාගත දියුණුව හා අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ විධි විධාන සැලසිය යුතුය.

8. පිළිගත් විවිධ මූලික අයිතිවාසිකම් සමග අනුකූල වන, ප්‍රජාවන්ගේ චාරිත්‍රානුකූල අයිතීන් ආරක්ෂා කිරීම සහතික කළ යුතුය.

9. රැකවරණය පතන්නන්ගේ, සරණාගතයන්ගේ, රටක් නැති පුද්ගලයන්ගේ හා විදේශීකයන්ගේ මූලික අයිතීන් පිළිගෙන ආරක්ෂා කරන බවට රාජ්‍යය සහතික විය යුතුය.

10. උසාවියක්, විනිශ්චය සභාවක්, විමර්ශන කොමිසමක්, පොලිස් ස්ථානයක්, බන්ධනාගාරයක් වැනි ස්ථානවලදී නිදහස් නෛතික නියෝජනයකට සැම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහතික කිරීමට රාජ්‍යය සියලු සාධාරණ පියවර ගත යුතුය.

11. ආර්ථික හා සමාජ වරප්‍රසාද හා අසමානතා මෙන්ම පුද්ගලයෙක් විසින් හෝ රාජ්‍යය විසින් පුද්ගලයෙක් සූරාකෑම තුරන් කිරීමට රාජ්‍යය ක්‍රියා කළ යුතුය.

12. ආර්ථික පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස පොදු අනර්ථයක් සිදුවන ආකාරයට ධනය හෝ නිෂ්පාදන මාර්ග ඒකරාශී වීමක් සිදු නොවන බවට රාජ්‍යය සහතික විය යුතුය.

13. ජාතික සේවා, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන තුළින් දේශපාලන හෝ වෙනත් පක්ෂපාතීත්වයකින් තොරව පුරවැසියන්ට අවශ්‍ය පොදු සුබ සාධනය හා ආධාර සේවා පවත්වා ගනිම්න්, රාජ්‍යය සමාජ සුරක්ෂිතතාව හා සුබ සාධනය තහවුරු කළ යුතු අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා දිය යුතුය.

14. වෙළදපොළේ ආධිපත්‍යය සතු පුද්ගලික අංශයට යටත් කර ගැනීමට ඉඩ නොදී නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය හා පොදු ප්‍රවාහන සේවා මහජන සේවා ලෙස පවත්වා ගත යුතුය.

15. පුරවැසියන්ගේ සමාජීය, සංස්කෘතික හා දේශපාලන අයිතීන් සහතික කිරීම. දුගී බව නැති කිරීමට සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම, ඉඩම්, ජලය, වනාන්තර, ඛනිජ සම්පත්, නිවාස, අධ්‍යාපනය, භාෂාව, කෘෂිකර්මය, සෞඛ්‍යය සහ අනිකුත් සාමූහික කටයුතු පිළිබඳ විධිමත් රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමෙන් ජනතාවගේ ආර්ථික අයිතීන් සහතික කිරීම ආදිය රාජ්‍යයේ වගකීම වේ.

16. ජනතාවගේ භාෂා හා සංස්කෘතීන් දියුණු කර ගැනීමට රජය සහාය විය යුතුය.

17. සියලු ම ආගමික විශ්වාස දරන ජනයාට ආගමික මූල ධර්ම යථාර්ථයක් කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික හා සමාජ පරිසරයක් රජය විසින් නිර්මාණය කළ යුතුය.

18. පවුල, සමාජයේ මූලික ඒකකය ලෙස රාජ්‍යය විසින් පිළිගෙන එය ආරක්ෂා කළ යුතුය.

19. ආබාධිත පුද්ගලයන් මනුෂ්‍යත්වයේ හා මානව විවිධත්වයේ කොටසක් ලෙස පිළිගෙන ගෞරව කළ යුතුය. මානව හා ස්වාභාවික ව්‍යසන ඇතුලු හදිසි හා අවදානම් සහගත තත්ත්වයන් ගැන රාජ්‍යයේ සෑම ස්තරයකදීම පවතින සන්නිවේදන මාධ්‍ය තුළින් ආබාධිත පුද්ගලයන්ට එවැනි තත්ත්වයන් ගැන දැනුම් දෙන බවට රජය සහතික විය යුතු අතර අනෙකුත් පුද්ගලයින් හා සමාන පදනමක් මත ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ පියවර ගත යුතුය.

20. ළමයින්ගේ හා තරුණ තරුණියන්ගේ/තරුණ ජනයාගේ කායික, මානසික, සදාචාරාත්මක, ආගමික හා සමාජීය සංවර්ධනය සහතික කිරීමටත්, ඔවුන් සූරා කෑමෙන් හා වෙනස් ලෙස සැලකීමෙන් ආරක්ෂා කිරීමටත්, රාජ්‍යය අවධානයකින් කටයුතු කළ යුතුය.

21. රජය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශේෂ රැකවරණය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කළ යුතුය.

22. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ප්‍රජාවේ යහපත සඳහා පෘථිවි සම්පත් හා වත්කම්, සතුන් හා ශාක, ජල සම්පත්, ආදිය ඇතුලු පරිසරය රාජ්‍යය විසින් ආරක්ෂා කර සංරක්ෂණය කර වැඩි දියුණු කළ යුතුය. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව අවම වනගහණයක් පවත්වා ගැනීමත්, හරිත වායු විමෝචන අඩු කිරීමට පියවර ගැනීමත්, රාජ්‍යයේ වගකීම් වේ.

23. ජීවනෝපායකට ඇති අයිතිය ඇතුලු සංවර්ධන කටයුතුවල බලපෑමට ලක් වන ප්‍රජාවන් හා පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂා කරමින්, පරිසරය සුරැකෙන හා දූෂණය අවම වන ආකාරයට, සංවර්ධන කටයුතු සිදු වන බවට රාජ්‍යය සහතික කළ යුතුය.

24. ජාතික ප්‍රතිපත්තියක් පිළියෙල කිරීම මගින් නිෂ්පාදන ආර්ථිකයකට ප්‍රමුඛත්වය දෙමින් ජාතික කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතුය.

25. වී වගාවට සම්බන්ධ ජීවන රටාවට අනුව ග්‍රාමීය කෘෂිකර්මාන්යට සහාය දී ආරක්ෂා කළ යුතු වේ.

26. ජනතාවගේ පෝෂණ මට්ටම හා ජීවන මට්ටම ඉහළ නැංවීම හා මහජන සෞඛ්‍යය දියුණු කිරීම රාජ්‍යයේ මූලික වගකීමක් වෙයි.

27. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවක් මගින් අනුමැතිය ලබා ගැනීමෙන් තොර ව කිසිම රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය ආයතනයක කොටස් හෝ කිසිම රාජ්‍ය වත්කමක් හෝ විකිණීම හෝ පුද්ගලීකරණය නො කළ යුතුයි.

28. අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූල නීත්‍යනුකූල ක්‍රියා මාර්ගයකින් තොර ව කිසිවෙකුගේ ඉඩම් අයිතිය අහිමි නො කරන බවට රජය වග බලා ගත යුතුය. සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ දී එවැනි අත්පත් කරගැනීමකට පොරතුව ඉඩම් හිමියන්ට නියමිත වන්දි ගෙවිය යුතුය.

29. වෙළඳපොළ හා රාජ්‍ය පද්ධතිවලට විකල්පයක් ලෙස සමූපකාර ක්‍රමය රජය පිළිගත යුතු අතර සමුපකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් සමූපකාරවල කළමනාකරණයට දේශපාලනය මැදිහත් වීම වැළැක්වීමට කටයුතු කළ යුතුය.

30. වැඩපොළේ මූලික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්තිවල සඳහන් කම්කරු අයිතිවාසිකම් රජය ආරක්ෂා කළ යුතුය.
31. ආර්ථික සූරාකෑම ඇතුලු සියලු ආකාරයේ සූරාකෑම්වලින් පුරවැසියන් ආරක්ෂා කිරීමට රාජ්‍යය සියලු පියවර ගත යුතුය.

32. පුරුෂයින් හා ස්ත්‍රීන් යන දෙකොටසට ම සමාන වැඩ සඳහා සමාන මෙන් ම අවම වේතනයක් සහතික කිරීමෙන් ප්‍රමාණවත් ජීවනෝපායක් සලසා ගැනීමට රජය එහි පුරවැසියන්ට සහාය විය යුතුය.

33. ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් ඔවුන් විදේශ රටක සිටිය ද, ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් රැකවරණ සැපයීමට රජය කටයුතු කළ යුතුය.

34. කූඨ මනුෂ්‍ය ප්‍රවාහනජාවාරමට ගොදුරු වූ අයට ප්‍රමාණවත් ආරක්ෂාව සපයමින් සංවිධානාත්මක අන්තර් ජාතික අපරාධ වැළක්වීමට රජය විසින් ප්‍රමාණවත් පියවර ගත යුතු වේ.

35. අල්ලස්, දූෂණය හා අපරාධ, කූඨ මනුෂ්‍ය ප්‍රවාහන ජාවාරම, වහල් ශ්‍රමය සහ මත් ද්‍රව්‍ය පරිහරණය තුරන් කිරීමට රජය ක්‍රියා කළ යුතුය.

36. විශේෂයෙන්ම කායික හා මානසික දුබලතා ඇති අයට හා කාන්තාවන් හා ළමයින්ට එරෙහි බරපතළ අපරාධ සම්බන්ධයෙන් හැර අන් සියලු ම දඬුවම් වරදට සමානුපාතික හා ප්‍රතිශෝධක දඬුවම් වන බවට රාජ්‍යය වග බලා ගත යුතු ය.

37. රාජ්‍යය, ජාත්‍යන්තර සාමය, ආරක්ෂාව හා සහයෝගය ප්‍රවර්ධනය කරමින්, සාධාරණ අන්තර්ජාතික ආර්ථික හා සමාජීය ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහාය දෙමින් ජාත්‍යන්තර නීතිය පෝෂණය කරමින් එයට ගරු කළ යුතුය.

38. ජනතාවගේ ස්වෛරීත්වය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව අත්සන් කිරීමට අපේක්ෂා කරන සියලු ම ආර්ථික සම්මුති හා ප්‍රඥප්ති අනුමත කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වන ක්‍රියාදාමයන් තුළින් රජය ක්‍රියාකළ යුතුය.

39. සංස්කෘතික, සමාජ, ආර්ථික හා තාක්ෂණික හුවමාරු සමග සියලු ම ජාතීන් සමග මිත්‍ර සබඳතා පවත්වා ගැනීම රජය විසින් තහවුරු කළ යුතුය.

40. ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම්වල එකඟ වී ඇති ආකාරයට රජය ක්‍රියා කළ යුතුය. මෙහිදී විශේෂයෙන්ම කාන්තාවන්ගේ, ළමයින්ගේ හා දුබලතා සහිත පුද්ගලයන්ගේ මානව හිමිකම් වැදගත් වේ.

41. රජය අත්සන් කළ ජාත්‍යන්තර ප්‍රඥප්ති, සම්මුති හා ගිවිසුම් ඒවා අත්සන් කිරීමෙන් අවුරුද්දක් තුළ නීතිගත කිරීමට සහතික වීම රාජ්‍යයේ වගකීමක් වෙයි.

11.2.2 රාජ්‍යයේ සහ එහි නිලධාරීන්ගේ මූලික වගකීම්

42. රජයේ, රජයේ සියලු ආයතනවල හා නියෝජිතයන්/නිලධාරීන්ගේ මූලික වගකීම වන්නේ රටේ මූලික හා උත්තරීතර නීතිය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීම හා එහි ප්‍රතිපාදන පිළිපැදිමය.

43. සෘජු ව හෝ වක්‍රව රටේ ජනවර්ග ජාතිවාදය කුමන ආකාරයකින් හෝ ප්‍රවර්ධනය කිරීමෙන් වැළකීම රාජ්‍යයේ මූලික වගකීමක් වෙයි. ඒ වෙනුවට රජය ප්‍රවර්ධනය කළ යුත්තේ ඉතා ප්‍රබුද්ධ ආගමික හා අනාගමික මූලධර්ම මත පදනම් වූ ජාතිකවාදය හා පුරවැසි දේශමාමකත්වය, මූලික මානව හිමිකම් හා විශ්වදේශ වාදයයි.

44. පොලිස් නිලධාරීන් ඇතුලු සියලු ම රාජ්‍ය නිලධාරීන්ගේ මූලික වගකීමක් වන්නේ පුරවැසියන්ට සේවය කිරීමත්, ඔවුන්ට ආචාරශීලී වීමත්, ඉහළ ම වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගැනීමත්, අයථා අනුග්‍රහයන්, ඥාති සංග්‍රහ හා කුමන ආකාරයක හෝ මූල්‍ය හෝ වෙනත් නොපනත්කම්වලින් වැළකීමත්ය.
11.2.3 පුරවැසියන්ගේ මූලික වගකීම්

45. අයිතීන් හා නිදහස ක්‍රියාත්මක වීම හා භුක්ති විඳීම, වගකීම් හා බැඳීම්වලින් වෙන් කළ නොහැකි වන හෙයින් පහත දැක්වෙන කරුණු ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු ම පුද්ගලයන්ගේ වගකීම් වේ.

අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය රැක ගැනීම හා ආරක්ෂා කිරීම
ආ) ජාතික අපේක්ෂාවන්ට අනුග්‍රහය දැක්වීම හා ජාතික එක්සත් බව පෝෂණය කිරීම
ඇ) මහජන දේපළ සංරක්ෂණය කර ආරක්ෂා කිරීම හා පොදු දේපළ අවභාවිතය හා අපතේ යැවීමට විරුද්ධව ක්‍රියා කිරීම
ඈ) අන් අයගේ අයිතීන් හා නිදහසට ගරු කිරීම
ඉ) පරිසරය ආරක්ෂා කිරීම හා එහි පොහොසත් බව, සම්පත් සංරක්ෂණය කිරීම

46. වෛරී ප්‍රකාශනවලින් වැළකීමත්,සමාජ අසමගියට හේතු වන හෝ සමාජ කැළඹීමකට හේතු වන ප්‍රකාශ කිරීමෙන් වැළකීමත්, සියලු ම පුරවැසියන්ගේ මූලික වගකීමක් වේ.

නියාමක මූල ධර්ම, නීති මගින් ක්‍රියා කළ හැකි දේ බවට පත් කළ යුතු යයි ඉතා ප්‍රබල ඉල්ලීම් තිබුණි. කමිටුව මෙම අදහසට අනුවේදී වුවත්, මෙම කොටසේ අඩංගු මූලධර්ම සම්බන්ධයෙන් ඉන්දියානු ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන නිර්දේශ කිරීමට එකඟ වූහ.

47. මෙම පරිච්ඡේදයේ අඩංගු ප්‍රතිපාදන කිසි ම උසාවියක හෝ අධිකරණයක බලාත්මක කළ හැකි නොවේ.

12 පරිච්ඡේදය – මූලික අයිතිවාසිකම්

12.2 නිර්දේශ
12.2.1 පහත සඳහන් ප්‍රතිපාදන සහිත නව අයිතිවාසිකම් පනතක් කමිටුව නිර්දේශ කරයි.
1. ජීවිතයට ඇති අයිතිය
අපි පහත සඳහන් වගන්තිය යෝජනා කරමු.
“සෑම පුද්ගලයෙකුට ම ජීවිතයට, නිදහසට හා ආරක්ෂාවට නෛසර්ගික අයිතියක් ඇති අතර කිසිම පුද්ගලයෙකුට අත්තනෝමතික ලෙස ජීවිතය, නිදහස සහ ආරක්ෂාව අහිමි නො කළ යුතුය”
2. සමානාත්මතාවයට ඇති අයිතිය
• සෑම පුරවැසියෙකුට ම සමානාත්මතාවට ඇති අයිතිය හා එය බලාත්මක කිරීම සහතික කෙරේ.
• ජාතිය, ආගම, කුලය, වෛවාහක තත්ත්වය, මාතෘ භාවය, වයස, භාෂාව, කායික හෝ මානසික දුබලතාව,ගැබිණි බව, සිවිල් තත්ත්වය, වැන්දඹු වීම, සමාජ සම්භවය, ලිංගිකත්ව නැඹුරුව හෝ ලිංගිකත්වය සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ අනන්‍යතාව මත පදනම් ව කිසි ම පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට වෙනස් ලෙස නො සැලකිය යුතු ය.
• කාන්තාවන්, දුබලතා සහිත පුද්ගලයන්, දුගීන්, නූගතුන් හා පීඩිත කුල කණ්ඩායම් හෝ විශේෂ ලෙස හඳුනා ගත් කණ්ඩායම් වැනි වෙනස් ලෙස සැලකීමට භාජනය වන ආන්තික කණ්ඩායම්වලට සමානාත්මතාව හිමිකර ගැනීමට අවශ්‍ය විශේෂිත පියවර රජය විසින් ගත යුතුය.
• කාන්තාවන්ගේ ගරුත්වය, සුබ සාධනය හෝ අපේක්ෂාවන්ට විරුද්ධ වන හෝ ඔවුන්ගේ තත්ත්වය පහත හෙළන හෝ නීති, සංස්කෘති, චාරිත්‍ර හෝ සම්ප්‍රදායන් තහනම් කළ යුතුය.
• පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට සමාන අයිතිවාසිකම් තිබේ. විශේෂයෙන්ම පවුලේ, අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ, සෙවණ සැපයීමේ, දේපළ අයිතියේ, ජීවනෝපායේ, රැකියාවේ, වැඩපොළහි හා දේශපාලනයෙහිස්ත්‍රීන්ට ඇති සමානාත්මතාව නීතිය සහ භාවිතාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් තහවුරු කළ යුතුය.
3. මානව ගරුත්වය
සෑම පුද්ගලයෙකුට ම නෛසර්ගික පුද්ගල අභිමානය, ස්වාධිකාරය හා පුද්ගලත්වය පිළිගනී.
4. පුද්ගල නිදහස හා ආරක්ෂාව
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මූලික අයිතිවාසිකම් පිළිබඳ නව පරිච්ඡේදයක් පිළිබඳව සඳහන් වන (2009) කමිටු වාර්තාවේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම හා දඬුවම් දීම පිළිබඳ පුළුල් වගන්තියක් (13 වගන්තිය) තිබේ.
මෙයට අමතරව පහත දැක්වෙන කරුණු ද, අයිතිවාසිකම් පනතට ඇතුළත් කළ යුතු යයි අපි නිර්දේශ කරමු:
• කිසිම පුද්ගලයෙකුගේ නිදහස අත්තනෝමතික ලෙස අහිමි නො කළ යුතු මෙන් ම විධිමත් නඩු විභාගයකින් තොර ව කිසිවෙක් රඳවා නො ගැනීම
• පෞද්ගලික හා පෞද්ගලික ස්ථානවලදී අවමානයට, කුරිරු හෝ අමානුෂික ලෙස සැලකීමට හෝ වධ දීමට ලක් නොවීමේ නිදහස
• ස්වාධිකාරය ක්‍රියාත්මක කිරීමේ හා ප්‍රජනනය පිළිබඳ තීරණ ඇතුලු කායික පුර්ණත්වය විඳීමේ නිදහස
• රඳවා ගැනීමේදී, අධිකරණ ක්‍රියාවලියේදී හා රෑඳවීමෙන් නිදහස් කිරීමේදී විධිමත් ක්‍රියා මාර්ග අනුගමනය කිරීම.
• පිටුවහල් කිරීමෙන් පසු පුද්ගලයෙක් වධ දීමට ලක් වීමට ඉඩ ඇත්නම් පිටුවහල් නො කිරීමේ අයිතිය
• ගරුත්වයෙන් සලකමින් හා ප්‍රතිශෝධනයට අවස්ථා ලබා දෙමින් සිරකරුවන් පුනරුත්ථාපනය කර නිදහස් කිරීමට රජය සහතික විය යුතුය.
5. පෞද්ගලිකත්වයට හා පවුල් ජීවිතයට ඇති අයිතිය
ආබාධ සහිත පුද්ගලයන්ට එහි ඇති ගම්‍යාර්ථය සමග පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික අයිතියක් ලෙස නියම කළ යුතුය. මෙයට වෛද්‍ය හා අනිකුත් වාර්තා, නිවස හා පවුල මෙන් ම මැතිවරණ ක්‍රියාවලිය ඇතුළු පුද්ගලික සන්නිවේදන වැනි ආකාරයේ ලිපි ලේඛන,සෝදිසියෙන් හා ඒවාට මැදිහත් වීමෙන් ආරක්ෂාව ද, ඇතුළත් විය යුතු ය.
• සෑම පුද්ගලයෙකුට ම පෞද්ගලිකත්වයේ අයිතිය, පවුල් ජීවිතයට අත්තනෝමතික ලෙස මැදිහත් වීමෙන් ආරක්ෂා වීමේ අයිතිය, නිවසේ, ලිපි ලේඛන හා සන්නිවේදනවල අනුල්ලංඝනීයත්වය ඇති අතර එවැනි පුද්ගලයෙකුගේ ගරුත්වයට හා කීර්තියට නීති විරෝධි ලෙස පහර නො දිය යුතුය.
• වයස් සම්පූර්ණ වී ඇති සියලු පුද්ගලයන්ට ජනවර්ගය, ජාතිය, ආගම, ලිංගික අනන්‍යතාව හෝ ලිංගික නැඹුරුව ආදියේ සීමාවන්ගෙන් තොරව විවාහ වීමට හා පවුලක් සෑදීමට අයිතිය තිබේ. විවාහයට, විවාහය තුළ හා එය අවලංගු කිරීමෙන් පසුව ඔවුන්ට සමාන අයිතිවාසිකම් තිබේ.
6. ආගම, විශ්වාස, හෘද සාක්ෂියේ හා සිතීමේ නිදහස
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (10 ව්‍යවස්ථාව, පරිච්ඡේදය 3) දැනටමත් සිතීමේ, හෘද සාක්ෂියේ හා ආගමේ නිදහස ලබාදී තිබේ. සුළු සංශෝධන හා පහත දැක්වෙන කොටස් එකතු කරමින් මෙය රඳවා ගත යුතුය.
• මෙම ඡේදයෙන් ප්‍රකාශිත හා පිළිගත් මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ දකිසිම සීමා කිරීමක් නො විය යුතුය.
• ඇදහීමක් අනුගමනය නො කරන්නන්ගේ අයිතිවාසිකම්වලට ද ගරු කළ යුතුය.
7. අදහස් පළ කිරීමේ, රැස්වීමේ, පෙළපාලි යෑමේ,පිකට් කිරීමේ, පෙත්සම් ඉදිරිපත් කිරීමේ හා සංගම් පිහිටුවේ නිදහස
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) ව්‍යවස්ථාව රඳවා ගැනීම කළ යුතුය.
8. පුරවැසිභාවය
• පුරවැසි තත්ත්වය සම්බන්ධයෙන් ජාතිය, ආගම. කුලය, විවාහක තත්වය, මාතෘ භාවය, වයස, භාෂාව, මානසික හෝ කායික දුබලතා, ගැබිණිබව, සිවිල් තත්ත්වය, වැන්දඹුබව, ලිංගික නැඹුරුව, හෝ ලිංගික අනන්‍යතාව මත කිසිම වෙනස් ලෙස සැලකීමක් නො විය යුතුය. සියලු ම පුරවැසියන්ට පුරවැසිභාවයේ අයිතිවාසිකම්, වරප්‍රසාද හා ප්‍රතිලාභ සමාන ලෙස හිමි වන අතර ඒ ආකාරයට ම පුරවැසිභාවයේ වගකීම් හා නියමයන්ට ද යටත් වේ.
9. පදිංචියේ හා ගමන් බිමන් යෑමේ නිදහස
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) ව්‍යවස්ථාව රඳවා ගැනීම කළ යුතුය.
10. ආපසු පැමිණීමේ නිදහස
• ආපසු පැමිණීම පහසු කිරීම සඳහා රජයේ වගකීම දක්වන වගන්තියක් නියාමක මූලධර්මවලට ඇතුළත් කිරීම.
• පහත දැක්වෙන විශේෂිත වගන්ති ඇතුළත් කළ යුතුය:
o සෑම පුරවැසියෙකුට ම ජනරජයට ආපසු පැමිණීමේ අයිතිය තිබේ.
o ඔහුගේ/ඇගේ රටට ආපසු පැමිණීමේ අයිතිය අත්තනෝමතික ලෙස කිසිම කෙනෙකුට අහිමි නො කළ යුතු ය.
11. සාධාරණ පරිපාලනමය ක්‍රියා සඳහා ඇති අයිතිය
• ඉක්මන්, කාර්යක්ෂම, නීත්‍යනුකූල යුක්ති සහගත හාපටිපාටිවලට අනුව සාධාරණ පරිපාලන ක්‍රියාකාරීත්වයකට සෑම පුද්ගලයෙකුට ම අයිතියක් තිබේ.
• පුද්ගලයෙකුගේ අයිතිවාසිකමක් හෝ මූලික නිදහසක් කෙරෙහි පරිපාලන ක්‍රියාවක් නිසා අහිතකර බලපෑමක් ඇති වේ නම් එම ක්‍රියාව සඳහා හේතු ලිඛිත ව ලබා ගැනීමට එම පුද්ගලයාට අයිතියක් තිබේ.
• (1) වගන්තියේ සඳහන් අයිතිවාසිකම ලබා දීම සඳහා පාර්ලිමේන්තුව නීති සම්මත කළ යුතු අතර (අ) අධිකරණයක් හෝ උචිත හා අපක්ෂපාතී විනිශ්චය සභාවක් මගින් පරිපාලන ක්‍රියාවක් සමාලෝචනයට භාජනය කිරීම (ආ) කාර්යක්ෂම පරිපාලනයක් ප්‍රවර්ධනය කිරීමට එම නීති මගින් ඉඩ සැලසිය යුතු ය.
12. සෞඛ්‍යයට ඇති අයිතිය
• ලබා ගත හැකි ඉහළ ම මට්ටමේ කායික, මානසික හා සමාජීය සෞඛ්‍ය සේවා ලබා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරේ. සෞඛ්‍ය සේවා, නිවාරණ සේවා හා පානීය ජලය ලබා ගැනීම ඇතුලු සෞඛ්‍යය හා සුබ සාධනයට ප්‍රමාණවත් ජීවන මට්ටමකට සෑම පුරවැසියෙකුට ම අයිතියක් තිබේ.
• කිසිම පුද්ගලයෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අහිමි නො කළ යුතුය.
13. ආහාර, ජලය, නිවාස හා සමාජ ආරක්ෂාව
• ආහාර සුරක්ෂිතතාව හා ආහාර ස්වාධීනත්වයට ඇති අයිතිය
• ප්‍රමාණවත් ආහාර, ජලය, ඇඳුම් හා නිවාස ඇතුලු ප්‍රමාණවත් ජීවන තත්ත්වයක්
• කුස ගින්නෙන් තොර ව සිටීමේ අයිතිය
• සමාජ ආරක්ෂාව හා සමාජ රක්ෂණයට ඇති අයිතිය
14. අධ්‍යාපන අයිතිය
• සෑම කෙනෙකුට ම අධ්‍යාපනය ලබා ගැනීමට අයිතියක් ඇති අතර ඒ තුළින් මිනිස් පෞරුෂයේ පූර්ණ සංවර්ධනයත්, ඒ පිළිබඳ අභිමානවත් හැඟීමකුත්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා මූලික නිදහස් ගැන ඇති ගෞරවය ශක්තිමත් යුතුය.
• රජයේ වියදමින් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය
15. ඉඩම් අයිතිය
පනතේ මෙම පරිච්ඡේදය යටතේ පහත දැක්වෙන වගන්ති ඇතුළත් කිරීමට අපි යෝජනා කරමු.
අ. ස්ත්‍රීන්ට ඉඩම් උරුමය ලබා ගැනීමේ අයිතිය සහතික කළ යුතුය.
ආ. වතු අංශයේ ජනතාවට ඔවුන් ජීවත් වන ඉඩම්වල අයිතිය සහතික කළ යුතුය.
ඇ. ඉඩම්වල පදිංචි කිරීමේදී වෙනස් ලෙස සලකනු නො ලැබීමට වාර්ගික කණ්ඩායම්වලට ඇති අයිතිය.
ඈ. ‘සංවර්ධනයේ’ නාමයෙන් ඉඩම් අත්පත් කර ගැනීමෙන් ආරක්ෂා වීමට පුරවැසියාට ඇති අයිතිය
ඉ. පදිංචිවීම හා ජිවනෝපයන් සඳහා ඉඩම් ලබා ගැනීමට ආන්තික හා දුගී ප්‍රජාවන්ට ඇති අයිතිය
ඊ. ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ව්‍යසන සිදුවිය හැකි ප්‍රදේශවල ඇති පාරිසරික වශයෙන් සංවේදි ඉඩම් ආරක්ෂා කිරීමේ අයිතිය
උ. අකාර්යක්ෂම හා අයෝග්‍ය ආකාරයට ඉඩම් භාවිතයෙන් ආරක්ෂා කිරීමේ අයිතිය
ඌ. වනාන්තර හා රක්ෂිත ඉඩම් අල්ලා ගැනීමෙන් වැළැක්වීමේ අයිතිය
16. පරිසරය ආරක්ෂා කිරීම
• සෑම පුද්ගලයෙකුට ම පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයකට අයිතියක් ඇති අතර නෛතික හා වෙනත් පියවර මගින් වර්තමාන හා අනාගත පරම්පරාවල ප්‍රයෝජනය සඳහා පරිසරය ආරක්ෂා කර ගැනීමේ අයිතිය ද, මෙයට ඇතුළත් වේ.
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන හා ආරක්ෂා කර ඇති පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයකට ඇති අයිතිය අහිමි කිරීමක්, උල්ලංඝනයක්, කඩ කීරීමක් හෝ තර්ජනයක් සිදු වී ඇතැයි, සිදු වෙමින් පවතී යයි හෝ සිදුවීමට ඉඩ ඇතැයි හෝ යම් කිසි පුද්ගලයෙක් සිතන්නේ නම් එම පුද්ගලයාට එම කරුණ සම්බන්ධයෙන් ඇති නෛතික පියවරට අමතරව උසාවියකින් සහනය ඉල්ලා සිටීමට පුළුවන.
• එවැනි අයැදුමක් සලකා බැලීමෙන් පසු උසාවියට නියෝගයක් නිකුත් කිරීමට, උපදෙස් දීමට හෝ පහත දැක්වෙන ආකාරයේ උචිත ක්‍රියා මාර්ගයක් ගැනීමට හෝ ඉඩ තිබේ.
(අ) පරිසරයට හානිකර ඕනෑම ක්‍රියාවක් හෝ අතපසුවීමක් හෝ වැළැක්වීම නතර කිරීම හෝ අත්හිටුවීම
(ආ) පරිසරයට හානිකර ඕනෑම ක්‍රියාවක් හෝ අතපසුවීමක් හෝ වැළැක්වීම හෝ අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට බල කිරීම
හෝ
(ඇ) පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයකට ඇති අයිතිය උල්ලංඝනය වු ඕනෑම කෙනෙකුට වන්දි ලබා දීම
17. වැඩකිරීමට, රැකියාවට හා ජීවනෝපායට ඇති අයිතිය
• නීතියට අනුකූලව, ස්වයං රැකියාවන් ද, ඇතුලු ව නිදහසේ තෝරා ගත් වෘත්තියක නිරතවීම මගින් වැඩ කිරීමට ඇති අයිතිය
• සෑම පුද්ගලයෙකුට ම සමාන අවස්ථා සඳහා අයිතිය මෙන් ම ජ්‍යෙෂ්ඨත්වය හා හැකියාව හැර, වෙනත් දේ මත පදනම් නොවී, සුදුසු ඉහළ මට්ටමකට ඔහුගේ/ඇයගේ රැකියාවේ උසස්වීමට ද, අයිතිය තිබේ.
18. වෘත්තීය සමිති අයිතිවාසිකම්
• තමාගේ මනාපය අනුව වෘත්තිය සමිතියක් සැදීමට හෝ වෘත්තිය සමිතියකට බැඳීමට හෝ සෑම පුද්ගලයෙකුට ම නිදහස තිබෙන අතර එවැනි වෘත්තිය සමිතිවලට බාධාවකින් තොර ව කටයුතු කිරීමට හැකි විය යුතුය.
• වැඩවර්ජන ඇතුළු වෘත්තිය සමිති කටයුතුවලට සහභාගී වීමට සෑම කෙනෙකුට ම අයිතියක් ඇති අතර එය නීතියට අනුකූලව විය යුතුය.
• ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක ජාතික හෝ ආගමික සංහිඳියාව ආරක්ෂා කිරීමට හෝ අන් අයගේ අයිතිවාසිකම් හෝ නිදහස පිළිගැනීමට හෝ ගරු කිරීමට හෝ අවශ්‍ය වන නීතියෙන් නියම කර ඇති සීමා කිරීම් හැර මෙම ඡේදයෙන් පිළිගෙන ඇති හා ප්‍රකාශ කර ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිම සීමා කිරීමක් පැනවිය නොහැක.
19. වැඩ කිරීමට සුරක්ෂිත හා නිසි තත්වයන් ලබා ගැනීමේ අයිතිය
• සෑම පුද්ගලයෙකුට ම ආරක්ෂිත, නිසි, සෞඛ්‍ය සම්පන්න හා සාධාරණ වැඩ තත්ත්වයන්ට අයිතියක් තිබේ.
• සෑම පුද්ගලයෙකුට ම විවේකය, විනෝදය හා වැඩ කරන පැය ගණනේ සාධාරණ සීමාවකට මෙන් ම පඩි සහිත වාර නිවාඩු හා රජයේ නිවාඩු දින සඳහා ගෙවීම්වලට අයිතියක් තිබේ.
20. දේපළ හා ඉඩම් අයිතිය
• සෑම පුරවැසියෙකුට ම තනි ව හෝ වෙනත් අය සමග හෝ දේපළ අයිති කර ගැනීමේ අයිතිය තිබේ.
• සෑම පුද්ගලයෙකුට ම භාවිතය, මාරු කිරීම, පරිපාලනය, පාලනය, අයිතිය, අත්පත් කර ගැනීම, කළමනාකරණය, බුත්තිය, පැවරීම, උරුමය ආදිය සම්බන්ධයෙන් සමාන අයිතිවාසිකම් තිබිය යුතුය.
• අදාළ තත්ත්ව සැලකිල්ලට ගැනීමෙන් පසු උසාවියෙන් ලබාගත් නියෝගයක් මත නීතියෙන් ඉඩදී ඇති ආකාරයට හැර කිසිම පුද්ගලයකුගේ නිවසක් කඩා බිඳ නොදැමිය යුතු අතර ඔහුගේ/ඇයගේ නිවසෙන් ඉවත් නොකළ යුතුය. කිසිම නීතියකින් අත්තනෝමතික ඉවත් කිරීම්වලට ඉඩ නොදිය යුතුය.
• අදාළ තත්ත්ව සැලකිල්ලට ගත් උසාවි නියෝගයකින් නියම කර ඇති ආකාරයට කාලිනව, නිසි හා සාධාරණ වන්දි ගෙවීමකින් තොරව කිසිම පුද්ගලයෙකුගේ දේපළ අහිමි නොකළ යුතුය.
21. රාජ්‍ය රැකියාවල සාධාරණත්වය හා සමාන අවස්ථා
• රජය යටතේ ඕනෑම තනතුරකට පත් කිරීමේදී හා රැකියා සම්බන්ධ කටයුතුවලදී සියලු ම පුරවැසියන්ට සාධාරණය හා සමාන අවස්ථා ලැබිය යුතු ය.
22. අතුරුදහන් නොවීමේ අයිතිය
කිසි ම පුද්ගලයෙක් බලහත්කාර අතුරුදහන් කිරීම්වලට භාජනය නො කළ යුතු අතර සියලු දෙනාට ම පහත දැක්වෙන වගකීම් සහතික කර සිටී.
• බලහත්කාර අතුරුදහන් කිරීම් විමර්ශනය කර ඒවාට වගකිය යුතු අය අධිකරණය ඉදිරියට පැමිණ වීම;
• අපරාධ නීතිය යටතේ බලහත්කාර අතුරුදහන් කිරීම් වරදක් බවට පත් කිරීම ගැන සහතික වීම;
• චූදිතයා නේවාසිකයෙක් හෝ පුරවැසියෙක් නොවන විට පවා බලහත්කාර අතුරුදහන් කිරීම චෝදනා ගොනු කළ හැකි ආකාරයට අධිකරණ බල ප්‍රදේශය ස්ථාපිත කිරීම;
• අපරාධකරුවන්ට නඩු පවරන හෝ රටට ආපසු භාර දෙන බව සහතික කිරීමට වෙනත් රාජ්‍ය සමග සහයෝගයෙන් කටයුතු කිරීම හා අතුරුදහන් කිරීමට ගොදුරු වූ අයට සහාය වීම හෝ ඔවුන්ගේ මළ සිරුරු භාර දීම; බන්ධනාගාර ගතකිරීම උසාවියකදී අභියෝගයට ලක් කිරීම ඇතුලු නිදහස අහිමි කිරීම පිළිබඳ අවම නෛතික ප්‍රමිතිවලට ගරු කිරීම;
• වර්තමානයේ සිර ගතකර සිටින අයගේ ලේඛනයක් පවත්වා ගැනීම හා එය නෑයන් හා නීතිඥයින්ට පරීක්ෂා කිරීමට ඉඩ දීම;
• බලහත්කාර අතුරුදහන් කිරීම්වලට ගොදුරුවූවන් හෝ එය සෘජු ව බල පෑ අයට වන්දි හෝ හානි පූරණය කර ගැනීමට අයිතිය ලබා දීම;
• හානි පූරණ අයිතියට ද්‍රව්‍යමය හා සදාචාර හානි මෙන් ම අදාළ අවස්ථාවන්හි දී, අ) ප්‍රතිස්ථාපනය අ) පුනරුත්ථාපනය ඇ) ගරුත්වය හා හානි පූරණය ඇතුලු තෘප්තිය හා ඈ) නැවත සිදු නොවීමේ සහතිකය ආදිය ද, ඇතුළත් වේ.
* එක් සාමාජිකයෙක් වූ කුෂාන් ද අල්විස්, ජ.නී.ප්‍රකාශ කළේ මෙම අයිතිය අතීතයට බලපාන ආකාරයට යොදා නොගත යුතු බවයි. තව ද, ඔහුගේ මතය වූයේ අයිතිවාසිකම් පනතේ ජීවිතයට ඇති අයිතිය ඇතුලු යෝජනා කර ඇති සියල්ල ඇතුළත් වන්නේ නම් මෙම වගන්තිය අනවශ්‍ය විය හැකි බවයි.
23. තොරතුරු ලබා ගැනීම
• ඔහුට/ඇයට හෝ මහජනතාවට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට සහ ඉල්ලා සිටීමට සෑම පුරවැසියෙකුට ම අයිතියක් තිබේ.
• ප්‍රසිද්ධියට පත් කර ඇති තොරතුරු ලබා ගැනීමේදී පවා ආබාධ සහිත පුද්ගලයන්ට විවිධ බාධකවලට මුහුණ දීමට සිදු වේ. එසේ නොමැති තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කර වේ. තම දේශපාලන නියෝජිතයන්ගේ සුදුසුකම් හා ජයග්‍රහණ පිළිබඳ තොරතුරු කාලීන ව නොලැබීම නිසා ආබාධිත පුද්ගලයන්ට මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වීමට නොහැකි වී තිබේ. සමාජ සුබ සාධන ගෙවීම්, රෙගුලාසි, වෛද්‍ය වාර්තා, නීති ආධාර හා අධ්‍යාපනය ආදී ආබාධිතයන්ට සම්බන්ධ සේවා සහ වැඩසටහන් සපයන ආයතනවල ක්‍රියා මාර්ග පාරදෘශ්‍ය නැත්නම් මෙම ආයතන වගකියන බවට සහතික විය නොහැක.
24. යුක්තිය සඳහා අයිතිය
• සියලු පුද්ගලයන්ට අධිකරණය ඉදිරියට යෑමේ අයිතිය රජය සහතික කළ යුතු අතර යම් කිසි ගාස්තුවක් අවශ්‍ය නම් එය සාධාරණ විය යුතු මෙන් ම සාධාරණය ඉටු කර ගැනීමට එය බාධකයක් නොවිය යුතුය.
• ආබාධිත පුද්ගලයන්ට අපරාධයක් වාර්තා කිරීමට පොලිස් පද්ධතිය යොදා ගැනීමේදී, උසාවියට නඩුවක් ගොනු කිරීමේදී, සාක්ෂිකරුවෙක් ලෙස පෙනී සිටීමේදී හා වෙනත් ඕනෑම නෛතික ක්‍රියාමාර්ගයකට සහභාගී වීමේදී උචිත පහසුකම් සැලසිය යුතුය.
• නීති ආධාර ලබා ගැනීමට ඇති අයිතිය පිළිගත යුතුය.
• විශේෂයෙන්ම ළමයින් සම්බන්ධව නෛතික නියෝජනයට ඇති අයිතිය පිළිගත යුතු ය.
25. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්
i. ආර්ථික අයිතිවාසිකම්
ii. සමාජ ආරක්ෂාව සහතික කිරීම
අ) විශ්‍රාම වැටුප් අයිතිය (1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබූ,1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ විශ්‍රාමිකයන් පිළිබඳ ප්‍රතිපාදන නැවත ඇතුළත් කළ යුතුය)
ආ) සෞඛ්‍ය. පෝෂණ හා වෛද්‍ය ප්‍රතිලාභ
ඇ) ප්‍රවාහන සහනාධාරය
iii. රැකවරණය හා ආරක්ෂාව සැපයීම
අ) නො සලකා හැරීමෙන්, සූරා කෑමෙන් හා අපයෝජනයෙන් ආරක්ෂාව
ආ) ලිංගික හිංසාව ඇතුළු හිංසාවෙන් ආරක්ෂාව
ඇ) පවුල් සාමාජිකයන්/භාරකරුවන් විසින් රැක බලා නොගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැක බලා ගැනීමේ යන්ත්‍රණයක්
ඈ) ආයතනික යන්ත්‍රණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතාවන්ට සංවේදී වන බවට සහතික වීම. මෙය විශේෂයෙන් සඳහන් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අවශ්‍යතාවන්ට කිසිසේත් සංවේදි නොවන බෙහෙවින් නිලධාරීවාදී පද්ධති සම්බන්ධයෙනි.

26. පාරිභෝගික අයිතිවාසිකම්
ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂාව ඉතා දුර්වල බවට පැමිණිලි කළ මහජනයා ඉල්ලා සිටියේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් (භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය, තොරතුරු, සෞඛ්‍ය ආරක්ෂාව, ඌනතා නිසා ඇති වන අනතුරුවලට වන්දි ගෙවීම, සත්‍ය දැන්වීම්කරණය) ආරක්ෂා කළ යුතු බවයි.
27. තිරසර සංවර්ධනය හා ශුභ සාධනයට ඇති අයිතිය
තිරසාර සංවර්ධනය හා පුද්ගලයන්ගේ හා කණ්ඩායම්වල ශුභ සාධනයට ඇති අයිතිය ව්‍යවස්ථානුකූලව පිළිගත යුතු වේ.
28. විවිධ ලිංගික අනන්‍යතා සහිත ජනයාගේ අයිතිවාසිකම්
පොලිස් විමර්ශන හා රඳවා ගැනීම්වලදී වධ දීමෙන්, කුරිරු, අමානුෂික හා අවමන් සහගත ලෙස සැලකීමෙන් නිදහස් වීමේ අයිතිය
අධිකරණ හා නීති බලාත්මක කරන නිලධාරීන්ගේ පූර්ව විනිශ්චයන්හි බලපෑමෙන් තොර ව සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය
සම්බන්ධය පුද්ගලික හා එකඟ වූ වැඩිහිටියන් අතර වුවත්, අස්වාභාවික මෛථුන නීති පැවතීම නිසා පෞද්ගලිකත්වයට ඇති අයිතිය අහිමි කිරීම
නීතියෙන් සුප්‍රකාශකව අහිමි කරන අදහස් ප්‍රකාශ කිරිමේ හා සමිති සමාගම් සෑදීමේ අයිතිය
වෙනස් ලෙස සැලකීමේ රැකියා ප්‍රතිපත්ති හා භාවිතයන් අනුව කල්පිත හෝ සත්‍ය ලිංගික නැඹුරුව මත පදනම් ව අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම් තුළින් ආර්ථික අයිතිවාසිකම් අතර වඩාත් බලපෑමට ලක්වී ඇති වැඩ කිරීමේ අයිතිය
ජීවන තත්ත්වයට බලපාන සමාජ ආරක්ෂාව, ආධාර හා ප්‍රතිලාභවලට ඇති අයිතිය. උදාහරණයක් වශයෙන් සමාජ ආරක්ෂණයට සුදුසුකම් ලැබීම සඳහා කලයත්‍ර අනන්‍යතාව ඉල්ලා සිටීම
සෞඛ්‍ය සේවා පද්ධතියේ වෙනස් ලෙස සලකන ප්‍රතිපත්ති හා භාවිතාවන් හා ගැටෙන කායික හා මානසික සෞඛ්‍යයට ඇති අයිතිය
අධ්‍යාපනයට ඇති අයිතිය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (ICCRP) 2වැනි හා 26 වැනි ඡේද සමග පූර්ණ අනුකූලත්වය සහතික කිරීම සඳහා දණ්ඩ නිති සංග්‍රහයේ 363 හා 365 (අ) වගන්ති ඉවත් හෝ සංශෝධනය කළ යුතු ය.
මෙම ප්‍රජාවේ පුද්ගලයන්ට නඩු පැවරීමට බොහෝ අවස්ථාවල වරණීය ලෙස යොදා ගන්නා පාදඩ ආඥාපනත සංශෝධනය කළ යුතුය.
ශ්‍රී ලංකාව අත්සන් කර ඇති මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය හා අනිකුත් ගිවිසුම් යටතට එන සියලු මානව හිමිකම් ඇතුළත් වන ආකාරයට මානව හිමිකම් කොමිසමේ බලතල පුළුල් කළ යුතුය.
29. ස්ත්‍රී අයීතිවාසිකම්
ස්ත්‍රීන්ට මූලික අයිතිවාසිකම්:
• ස්ත්‍රීන්ට වෙනස් ලෙස සලකන සියලු නීති/ප්‍රතිපාදන අවලංගු කිරීම
• පිරිමින්ට හා ස්ත්‍රීන්ට සමාන අයිතීන් තිබිය යුතුය. විශේෂයෙන්ම පවුල නම් වූ පුද්ගලික ක්ෂේත්‍රයේමෙන් ම පුළුල් සමාජයේ ද, නීතියෙන් හා භාවිතයෙන් සමානාත්මතාවය තහවුරු කළ යුතුය.
• සමාන වටිනාකමක් ඇති වැඩ සඳහා ස්ත්‍රීන්ට සමාන වැටුප් ලබා ගැනීමේ අයිතිය තිබේ.
• ස්ත්‍රීන්ට ස්වීකාරයට හා කායික පූර්ණත්වය විඳීමට අයිතියක් තිබේ
• හිංසාවෙන් තොරව අභිමානයෙන් ජීවත් වීමේ අයිතිය ස්ත්‍රීන්ට තිබේ
• ඔවුන්ට අවශ්‍ය රැකියා සොයා ගැනීමටත්, ජීවනෝපාය හා වේතනයකටත් ස්ත්‍රීන්ට අයිතියක් තිබේ.
• ආහාර සුරක්ෂිතතාව හා ආහාර ස්වාධීනත්වයට ස්ත්‍රීන්ට අයිතියක් තිබේ
• සමාජ ආරක්ෂණය, නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍යය ආදියට ස්ත්‍රීන්ට අයිතියක් තිබේ.
• නියෝජනය සහ තීරණ ගැනීමේ සමාන අයිතියක් ස්ත්‍රීන්ට තිබේ.
• පුද්ගලික හා පොදු ස්ථානවලදී හිංසාව, වධ දීම්, අවමන් සහගත, කුරිරු හා අමානුෂික සැලකීම්වලින් නිදහස් වීමේ අයිතියක් ස්ත්‍රීන්ටතිබේ.
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂාව ලිංගික වශයෙන් අපක්ෂපාතී විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂාව පිළිබඳ ව ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුව ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයෙකුගේ උපදෙස් ලබා ගත යුතුය.
• කෙටුම්පත් කමිටුවට උපදෙස් දීමට ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයින්ගේ කමිටුවක් පත් කළ යුතුය. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ කාන්තා නියෝජනය ඉතා පහළ වන අතර උප කමිටු සඳහා කිසිම මන්ත්‍රීවරියක් නම් කර නැති බැවින් මෙය ඉතා වැදගත් වේ.
• කාන්තාවන් සඳහා ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය. මේ පිළිබඳ විස්තර 18 වැනි පරිච්ඡේදයේ සදහන් කර ඇත.
30. ළමයින්ගේ හා තරුණ ජනයාගේ අයිතිවාසිකම්
i. ළමයින්ගේ හා තරුණ ජනයාගේ අයිතිවාසිකම්:
අ) සමානාත්මතාව හා වෙනස් ලෙස සැලකීමෙන් නිදහස, ළමයින්ට හා තරුණ ජනයාට රටේ පුරවැසියන්ට හිමි සියලුම අයිතිවාසිකම් ඇති අතර ඔවුන්ගේ වයසට නියමිත අයිතීන්ද ලැබේ.
ආ) අනන්‍යතාව හා ජාතිකත්වය-විවාහයෙන් පිට උපන් ළමයින්ට ද, සමාන අයිතිවාසිකම් සහතික කිරීම
ඇ) අපයෝජනය, නොසලකා හැරීම, හිංසාව, අඩන්තේට්ටම් කිරීම හා අවමානයට ලක්වීම ආදියෙන් ආරක්ෂාව
ඈ) පවුල් පරිසරයෙන් ඉවත් කළ විට පවුලක රැකවරණය හෝ විකල්ප රැකවරණයකට ඇති අයිතිය
ඉ) මූලික අවශ්‍යතා සපුරාලීම:පෝෂණය, සෙවණ, සෞඛ්‍ය හා සමාජ සේවා
ඊ) ළමා හිතකාමී නීති ආධාර හා අධිකරණයට යෑමේ පහසුව
උ) අවි ගැටුම්වලට යොදා නොගැනීම හා අවිගැටුම් සමයේ විශේෂ ආරක්ෂාව
ඌ) ළමයින්ගේ සෞඛ්‍යයට හානිකර ඇබ්බැහිවන ද්‍රව්‍යවලින් ආරක්ෂාව
ඒ) වයසට උචිත ප්‍රජනන හා ලිංගික අධ්‍යාපනය ඇතුළු රජයෙන් සපයන නිදහස් අධ්‍යාපනය
ඔ) කායික හා මානසික සෞඛ්‍යය අතින් ලබා ගත හැකි ඉහළම තත්ත්වය, රජයෙන් ලබා දෙන වැළැක්වීමේ හා සුව කිරීමේ සෞඛ්‍ය සේවා නොමිලේ ලබා ගැනීම, හදිසි වෛද්‍ය ප්‍රතිකාර. ප්‍රජනන හා ලිංගික සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අයිතිය
ඕ) වයස අවුරුදු පහත්, දහඅටත් අතර සියල්ලන්ට රජයෙන් සපයන නිදහස් අධ්‍යාපනය ලබා ගත හැකි වීම. වයස අවුරුදු පහත්, දහහතරත් අතර අධ්‍යාපනය සියල්ලන්ට අනිවාර්ය වේ.
ක) අනතුරුදායක කටයුතු සහිත රැකියා, ශ්‍රමය සූරාකෑම, නීතිවිරෝධී මිනිස් ප්‍රවාහනය, වහල් සේවය හා බලෙන් වැඩ ගැනීම ආදියෙන් ආරක්ෂාව
ග) ආබාධ සහිත, පරිහායක/නිදන්ගත රෝග සහිත ළමයින්ට විශේෂ ආරක්ෂාව
ජ) දෙමාපියන් එක් කෙනෙක් හෝ දෙදෙනා ම අත්අඩංගුවට පත්වූ විට විශේෂ ආරක්ෂාව
ට) ව්‍යසන හෝ ගැටුම් කාලවලදී ප්‍රමුඛ රැකවරණය
ඩ) හිංසාව, වාර්ගික හා/හෝ ලිංගික හිංසාව ප්‍රවර්ධනය කරන පණිවුඩවලින් ආරක්ෂාව
ii. ළමයින්ගේ හා තරුණයන්ගේ විශේෂ අපේක්ෂාවන් රැක ගෙන ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීමක් වේ.
අ) සූරාකෑම, අපයෝජනය හා නොසලකා හැරීම ආදියෙන් ආරක්ෂා කිරීම
ආ) විශේෂයෙන්ම අනාරක්ෂිත, දෙමාපිය හෝ භාරකාර රැකවරණයක් නැති, ප්‍රචණ්ඩත්වයේ හා ගැටුම්වලට ගොදුරු වූ ළමයින්ට සහාය වන සමාජ හා නීති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
iii ජාතිය ගොඩනැඟීමේ, ප්‍රතිසන්ධානයේ හා සංවර්ධනයේදී තරුණ ජනයාගේ කාර්ය භාරය පිළිගැනීම.
අ) පොදු හා ප්‍රජා කටයුතුවලට ළමයින් හා තරුණයන් සහභාගී කරවීම
iv) පවුල, සමාජයේ වැදගත් ඒකකයක් බවත් සමාජය හා රජය විසින් එය ආරක්ෂා කළ යුතු බවත් පිළිගැනීම
අ) සියලුම පුරුෂයින්ට සහ ස්ත්‍රීන්ට විවාහ වීමේ හෝ නො වීමේ හිමිකමමෙන්ම, පවුලක් ස්ථාපිත කිරීමට හිමිකම තිබේ. පවුල තුළ පුරුෂයාගේ සහ ස්ත්‍රීයගේ අයිතිවාසිකම් සමාන විය යුතුය.
ආ) විවාහයක් සිදු විය හැකි වන්නේ එසේ බලාපොරොත්තු වන කලත්‍රයන්ගේ පූර්ණ හා නිදහස් එකඟත්වය මත පමණි.
ඇ) විවාහය තුළත්, එය අවලංගු කිරීමෙන් පසුවත්, කලත්‍රයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් සමාන වේ. එවැනි විවාහවල දරුවන්ගේ ආරක්ෂාවට අවශ්‍ය ප්‍රතිපාදන සපයා දිය යුතුය.
v. සියලුම අවස්ථාවන්හිදි ළමයාගේ පාර්ශවයෙන් බලන විට හොඳ ම දේ පිළිබඳ මුලධර්මය අනුගමනය කිරීම
31. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්
• මනුෂ්‍යත්වයේ හා මානව විවිධත්වයේ කොටසක් ලෙස දුබලතා සහිත පුද්ගලයන් පිළිගෙන ගරු කළ යුතු ය.
i විශේෂයෙන්ම බහුවිධ ආකාරයට වෙනස් ලෙස සැලකීමේ අත්දැකීම විඳින ආබාධයන් සහිත ස්ත්‍රීන් හා ගැහැනු ළමයින් ඇතුලු සියලු ආබාධිත පුද්ගලයන්ට සත්‍ය වශයෙන් ම සමානත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය විශේෂිත පියවර සඳහා සහනදායී ක්‍රියා මාර්ගයක් ගැනීම. මෙම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තුළ එවැනි පියවර වෙනස් ලෙස සැලකීමක් නොවනු ඇත.
ii. ශ්‍රී ලංකාවේ දැනට ඇති ආර්ථික, සමාජ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, ආබාධ සහිත පුද්ගලයන්ගේ විශේෂිත තත්ත්වයට සංකල්පීය වශයෙන් සම්බන්ධ කිරීම සඳහා මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ අදාළ ඡේදයන්හි සමාන අවස්ථා පිළිබද ව සඳහන් විය යුතුය. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගත හැකි රාමුවට වැදගත් වන්නේ සමාන සැලකීම නොව මෙම මූලධර්මයයි.
iii නීතිය ඉදිරියේ සමාන පිළිගැනීමකට ඇති අයිතිය සමග, තමාට කැමති තීරණ ගැනීමේ නිදහස ඇතුළුව ආබාධයක් සහිත සෑම පුද්ගලයෙකුගේ ම ආවේණික හා පුද්ගල අභිමානය, ස්වාධිකාරය, හා පුද්ගලත්වය විශේෂිත ලෙස පිළිගත යුතුය. මෙයින් අදහස් කරන්නේ ආබාධ සහිත පුද්ගලයෙකුට එම ආබාධය නිසා මැතිවරණ ක්‍රියාවලිය ඇතුලු දේශපාලන හා පොදු කටයුතුවලට බලපෑම් කිරීමේ අයිතිය අහිමි කළ නොහැකි බවයි. ඔවුන් ද, ශ්‍රී ලංකාවේ සමාන පුරවැසියන් ලෙස සැලකිය යුතු වේ. තවද, පුද්ගලයෙකුගේ කායික හා මානසික පූර්ණත්වයට රජය ගරු කළ යුතු අතර ආදේශක නොව සහායක තීරණ ගැනීමේ යන්ත්‍රණයක් සහිත ව ඔවුන්ගේ නෛතික තත්ත්වය පිළිගත යුතුය.
iv. දුබලතා තිබීම කිසිම අවස්ථාවක ඔවුන්ගේ නිදහස අහිමි කිරීමට හේතුවක් නොවේ.
v. දුබලතා සහිත පුද්ගලයන් ඉතා අනාරක්ෂිත වන අවස්ථා ඉස්මතු කරමින් දුබලතා සහිත පුද්ගලයන්ගේ ජීවිතයට ඇති අයිතිය විශේෂිතව පිළිගත යුතුය.
vi. සුරාකෑමෙන් නිදහස: ශ්‍රි ලංකාවේ දුබලතා සහිත පුද්ගලයන් ආයතනගත කිරීමේ ඉහළ ප්‍රණනතාවක් දක්නට ලැබේ. මේවායේ කාන්තාවන් හා ගැහැනු ළමයින් සූරාකෑමට ලක්වීමේ අවදානම ඉතා ඉහළය.
vii. නිවස ඇතුළත හා පිටත මෙන් ම පොදු හා පුද්ගලික ආයතන තුළ ඔවුන්ගේ ලිංගිකත්වය පදනම් වූ අංශ ඇතුලුව සියලුම ආකාරයෙන් අපයෝජන හා සූරාකෑම්වලින් රජය, දුබලතා සහිත පුද්ගලයන් ආරක්ෂා කළ යුතුය.
viii. ආර්ථික හා සමාජීය අයිතිවාසිකම්: අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා, සමාජ ආරක්ෂාව සහ නිවාස සමග මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයේ දක්වා ඇති හා විවිධ සම්මුති මගින් ශ්‍රී ලංකාව එකඟ වී ඇති ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකමි දුබලතා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂයෙන් පිළිගත යුතුය.
ix. ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳකොමිසමක් ස්ථාපිත කිරීම. (විස්තර සඳහා 18 පරිච්ඡේදය බලන්න)
x මැතිවරණ ප්‍රතිසංස්කරණ- මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වීම: මධ්‍යම රජය හා බලය පැවරූ අනිකුත් මට්ටම්වල රාජ්‍ය ආයතනවලට ඡන්දය දීමට හා තේරී පත්වීමට දුබලතා සහිත පුද්ගලයන්ට ඇති අවස්ථා හා අයිතිය නිශ්චිතව දැක්විය යුතු ය. මේ පිළිබඳ විස්තර 15 පරිච්ඡේදයේ අඩංගු වේ.
32. සත්ව අයිතිවාසිකම් හා ආරක්ෂාව
කමිටුවේ නිර්දේශය වන්නේ සතුන්ගේ සුබ සාධනය ප්‍රවර්ධනය කරන හා සතුන්ට කුරිරු ලෙස සැලකීම වළක්වන, නීති මගින් ක්‍රියා කළ හැකි වගන්තියක් අයිතිවාසිකම් පනතට ඇතුළත් කිරීම පිළිබද ව සළකා බැලිය යුතුය යන්න යි. මේ මගින් කාරුණික හා සානුකම්පික ලෙස සතුන්ට සැලකීම සහතික කෙරෙනු ඇත.
12.3 මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සහන ලබා ගැනීම හා යුක්තිය ඉටු කරවා ගැනීම
12.3.2 නිර්දේශ
1. අයිතිවාසිකම් පනත කෙටුම්පත් කළ යුත්තේ ජනතාවගේ වෙනස් වන අවශ්‍යතා හා අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයටයි. අයිතිවාසිකම් පිළිබඳ අදහස ක්‍රමයෙන් පරිණාමය වන සමාජීය ලේඛනයක් ලෙස සැලකිය යුතුය. වෙනත් වචනවලින් කිවහොත් වරින් වර සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපාදන තිබිය යුතුය.
2. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම පිළිබඳ අදහස් අනතුරට පත් නොකර තරගකාරී හෝ එකිනෙක ගැටෙන අයිතිවාසිකම් පිළිබඳ විසංවාද සම්බන්ධයෙන් තීරණ ගන්නා ක්‍රියාවලිය නිශ්චිතව දැක්විය යුතුය.
3. නිෂේධනාත්මක අයිතිවාසිකම් (රාජ්‍යයෙන් ආරක්ෂා වීම) හා ධනාත්මක අයිතිවාසිකම් (රජයේ ආරක්ෂාවට හිමිකම්, පෝෂණය, සෙවණ, අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා) අතර සමතුලිත බවක් ඇති බවට වග බලාගත යුතුය. රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම සකස් වන්නේ කෙසේ ද? යන්න මෙයට සම්බන්ධ විය හැක. සාම්ප්‍රදායික ව අයිතිවාසිකම් ගැන සිතන්නේ රජයේ සීමා ඉක්මවා යෑම්වලින් ආරක්ෂා වීමක් ලෙස වුවත්, අද පුද්ගලික ව්‍යවසාය/ ආයතන බොහෝ අවස්ථාවල රජයට වඩා බලපෑමක් රාජ්‍ය උපකරණවලට සහ බලයන් කරන බැවින් රජයට පිටින් ඇති ආයතන ද, වග කිව යුතු ලෙස සැලකීම අවශ්‍ය වේ.
4. අයිතිවාසිකම් පිළිබද ව අවධාරණය කිරීම රාජ්‍යය සමග ඇති සමාජ ගිවිසුමෙන් ඉවත් වීමක් නොවන බවට සහතික විය යුතුය. එසේ වුවහොත්, එහි ප්‍රතිඵලය වන්නේ මූලික රාජ්‍ය කාර්යයන වත් ඉටු කළ නොහැකි අසාර්ථක අවම රජයකි. මෙයින් අදහස් කරන්නේ රාජ්‍යයේ නියාමක ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිකුත් කොටස්, අයිතිවාසිකම් පනත සමග ගැලපෙන හා සහාය දෙන ආකාරයේ විය යුතුය යන්නයි.
5. කණ්ඩායම් පදනම් වූ පිඩනයට විරුද්ධව සටන් කිරීමට අයිතිවාසිකම්වල ඇති අගය අවබෝධ කර ගැනීම.
6. අසමාන සැලකිලි පිටුදැකීමේ කොමිසමක් හෝ සමාන අවස්ථා කොමිසමක් ස්ථාපිත කිරීම (21 වැනි පරිච්ඡේදය බලන්න).
7. අධිකරණ ක්‍රියාදාමයකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවු අවස්ථාවලදී මූලික අයිතිවාසිකම් පිළිබඳඅධිකරණ බලයට අධිකරණය ද,යටත් විය යුතුය.
8. පුද්ගලික ආයතන විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ විට එය මුළික අයිතිවාසිකම් අධිකරණයට යටත් විය යුතුය.
9. මූලික අයිතිවාසකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ඕනෑම කණ්ඩායමකට හෝ පුද්ගලයෙක් වෙනුවෙන් ඕනෑම කණ්ඩායමකට නඩු පැවරිය හැකි ආකාරයට හෝ පොදු යහපත වෙනුවෙන් නඩු පැවරීමේ ප්‍රතිපාදන සකස් කළ යුතුය.
10. නියමිත කාලයකට ප්‍රතිජනන ක්‍රියාමාර්ගයක් සැකසීම- සමාජයේ අසමානතාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උචිත සිද්ධි සම්බන්ධයෙන් අසමානතාව ආපසු හැරවීමේ ක්‍රියාමාර්ග ගැනීම (21 වැනි පරිච්ඡේදය බලන්න).
11. අයිතිවාසිකම් පනත් මූලික අයිතිවාසිකම් වගන්ති සහ ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති එක්සත් ජාතීන්ගේ සම්මුති සමග සංගත වන බවට සහතික විය යුතුය.
12. හදිසි අවස්ථා රෙගුලාසි හා මහජන/ජාතික ආරක්ෂාව මගින් මූලික අයිතිවාසිකම් යටපත් කිරීමේ අනතුර අප ඉදිරියට පැමිණි බොහෝ අය විසින් පෙන්වා දෙන ලදී. මේ නිසා මූලික අයිතිවාසිකම් සීමා කිරීම හැකි තාක් දුරට අවම කළ යුතුය.

12.4 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි ව්‍යවස්ථාව
12.4.2 නිර්දේශ
1. මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ඉදිරිපත් කිරීමේ කාල සිමාව මාස 3ක් දක්වා වැඩි කළ යුතුය.
2. පළමුවෙන් මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය පළාත් සැසිවාර පවත්වන අභියාචානාධිකරණයට පවරා එහි නියෝගයකට විරුද්ධව අභියාචන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමේ බලය ලබා දීම
3. උචිත අවස්ථාවන්හි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ව අවිධිමත් අයදුම්පතක් හෝ පිළිගෙන ඒ පිළිබඳ ව ක්‍රියා කිරීමට අවශ්‍ය වන උසාවි නීති සකස් කිරීම
4. කණ්ඩායමක සාමාජිකයෙකුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වූවිට එම කණ්ඩායමට මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ගොනු කිරීමේ අයිතිය ලබා දීම

13 පරිච්ඡේදය – භාෂා අයිතිවාසිකම්

13.2 නිර්දේශ

1. සිංහල හා දෙමළ භාෂා නිල, ජාතික හා පරිපාලන භාෂා ලෙසත්, ඉංග්‍රිසි සන්ධාන භාෂාව ලෙසත්, ප්‍රකාශ කළ යුතුය.
2. පුරවැසියා කැමති භාෂාවකින් රජය සමග සන්නිවේදනය කිරීම හා පොදු සේවාවන් ලබාගැනිම මූලික අයිතියක් ලෙස සහතික විම. විශේෂයෙන්ම මෙය පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වේ.
i. ඕනෑම ජාතික භාෂාවකින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය
ii. පරිපාලනයේ භාෂාව හා උසාවියේ භාෂාව ඉතා තදින් ක්‍රියාත්මක කළ යුතු අතර එය මූලික අයිතිවාසිකමක් බවට ප්‍රතිපාදන ඇතුළත් කළ යුතුය.
• දෙපාර්තමේන්තුවක් හෝ රජයේ වෙනත් ඕනෑමආයතනයක් සමග ඕනෑම ජාතික භාෂාවකින් හෝ සන්ධාන භාෂාවෙන් සන්නිවේදනය කිරීම මූලික අයිතිවාසිකමක් ලෙස ප්‍රකාශ කළ යුතුය.
• ඕනෑම පළාත් සභාවක් හෝ පළාත් සභාවක් යටතේ ඇති ඕනෑම ආයතනයක් සමග සිංහල හෝ දෙමළ භාෂාවලින් හෝඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය මූලික අයිතිවාසිකමක් ලෙස ප්‍රකාශ කළ යුතුය.
iii. සියලු රජයේ හා පළාත් සභා දැන්වීම්, පෝර්ම හා එවැනි පොදු ලේඛන සියල්ල සිංහල හා දෙමළ භාෂාවලින් තිබිමත්, එවැනි දැන්විම් පෝර්ම ආදිය සම්බන්ධයෙන් සිංහල හෝ දෙමළ භාෂාවලින් සන්නිවේදනය කිරීම අයිතිය ඕනෑම පාර්ශවයකට ඇති බවත් මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනිම.
iv. භාෂාව පදනම් කර ගෙන වෙනස් ලෙස සැලකීම මුලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙස සැලකීම.
3. සෑම පුරවැසියෙකුටම තමන් කැමති භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය තිබේ. පළමු වැනි ශ්‍රේණියේ සිට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ඉගෙනීම අනිවාර්ය කළ යුතුය.
4. ජාතික භාෂා ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය භාෂා කොමිසමට බලය ලබා දීම
5. කුඩා සුළුතර කණ්ඩායම්වල භාෂා ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීමට රජයේ ආධාර ලබා දිය යුතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි භාෂා පිළිබඳ උපලේඛනයක් ඇතුළත් කළ යුතුය.
6. සියලු පුරවැසියන්ට ඔවුන්ගේ භාෂා හා සංස්කෘතිය ඉගෙනීමට අයිතියක් ඇති අතර ඓතිහාසිකව රටේ වාසය කරන ජනයාගේ භාෂා හා සංස්කෘති පෝෂණය කිරීමත්, සංරක්ෂණය කිරීමත් සඳහා රාජ්‍ය භාෂා කොමිසමේ විෂය පථය පුළුල් කළ යුතු වේ. තමන්ගේ භාෂාව හා සංස්කෘතිය ඉගෙනීමේ සමාන අවස්ථා සෑම පුරවැසියෙකුටම ලබා දීම රජයේ වගකිමක් වෙයි.
7. ආබාධිතයන්ගේ භාෂා, සංඥා භාෂා හා බ්‍රේල් ආදියද, අවශ්‍ය වු අවස්ථාවන්හි නිල සන්නිවේදනයට යොදා ගත හැකි භාෂා වන බැවින් රජයේ සේවා අපේක්ෂා කරන මෙවැනි අයට මෙම භාෂාවලින් එම තොරතුරු ලබා දීම රජයේ වගකීමකි.

14.පරිච්ඡේදය – අධිකරණය

14.1. උසාවි ව්‍යුහය

ජනතාවගේ අධිකරණ බලය කෙළින්ම ව්‍යවස්ථාවෙන් උපරිමාධිකරණවලට පැවරිය යුතුයයි නිර්දේශ කරන අතර මෙම උසාවිවල විවිධ අධිකරණ විෂය සිමාවන් ව්‍යවස්ථාවේම දැක්විය යුතු වේ. රජයේ අනිත් ආයතනවලින් න්‍යායිකව හා පෙනුම යන දෙයාකාරයෙන් ම එය ස්වාධිනත්වය තහවුරු කරන බැවින් කමිටුව ඒ අදහසට එකඟ වේ.
පවුල් හා පවුල සම්බන්ධ කරුණු ගැන කටයුතු කිරීමට දිස්ත්‍රික්ක මට්ටමේ පවුල් උසාවි පිහිටුවිම නිර්දේශ කෙරේ.
‍ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ගණන 15 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 35-45 අතර ගණනක් දක්වාත් වැඩි කිරීම නිර්දේශ කෙරේ.
සමථ මණ්ඩලවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද වර්තමාන නීතිය සංශෝධනය විය යුතු යයි යෝජනාවක් කෙරුණි. වර්තමාන නීතියට අවශ්‍ය වෙනස්කම් කිරීම තුළින් සමථ මණ්ඩලයේදි එකඟ වන විසඳුම බලාත්මක කළහැකි වේය යන අදහස ඉදිරිපත් විය. මෙම යෝජනාවේ යම් වටිනාකමක් ඇතැයි කමිටුව පිළිගන්නා බැවින් ඒ ගැන සලකා බැලිම හා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ කෙරේ.

14.2. ව්‍යවස්ථාදායක උසාවිය/ ශ්‍රෙෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාදායක මඬුල්ල

14.2.2 නිර්දේශ
1. පහත දැක්වෙන අධිකරණ බලය සහිතව ව්‍යවස්ථාදායක අධිකරණයක් පිහිටුවිය යුතු යයි සමහර සාමාජිකයන් විසින් නිර්දේශ කරන ලදී. ( හරිනි අමරසූරිය; එම්.කේ.නදීකා දමයන්ති; සිරිමසිරි හපුආරච්චි; වින්ස්ටන් පතිරාජ; එන් සෙල්වක්කුමාරන්; එස් තවරාජා; එස් .විජේසන්දිරන්; ලාල් විජේනායක)
අ. යෝජිත ව්‍යවස්ථා සංශෝධනවල ව්‍යවස්ථානුකූලතාව නිර්ණය කිරීම
ආ. පාර්ලිමේන්තු පනත්වල ව්‍යවස්ථානුකූලතාව නිර්ණය කිරීම
ඇ. පාර්ලිමේන්තු පනත්, රාජ්‍ය ප්‍රතිපත්තියේ නියාමක මූලධර්ම සමග ගැළපේද යන්න නිර්ණය කර ප්‍රකාශ කිරීම
ඈ. පාර්ලිමේන්තුව සහ පළාත්සභා මගින් සම්මත කරන නීතිවල ව්‍යවස්ථානුකූලතාව නිර්ණය කිරීමට එම නීති අධිකරණ සමාලෝචනයකට භාජනය කිරීම
ඉ. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය හා සම්බන්ධ කරුණු ගැන ප්‍රකාශ කිරීම
ඊ. අධිකරණ සේවා කොමිසමෙන් ගත් ඕනෑම තීරණයක් ගැන අධිකරණ සමාලෝචනයක් කිරීම
උ. ජාතික හා ව්‍යවස්ථාමය වැදගත්කමක් ඇති කරුණක් තිබේ යයි ව්‍යවස්ථාදායක උසාවියේ අදහස වන අවස්ථාවන්හි ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් අභියාචනා ඇසීම
ඌ. ඒවායින් මූලික අයිතිවාසිකම්/ මානව අයිතිවාසිකම් කඩ කර ඇතැයි යන පදනම මත අධිකරන ක්‍රියා, නියෝග හා තීන්දු අභියෝගයට ලක් කරන පෙත්සම් ඇසීම
ඔ. ව්‍යවස්ථාමය වශයෙන් වැදගත්වන ඕනැම කරුණක් ගැන ව්‍යවස්ථාදායක උසාවියේ මතය දැන ගැනීමට ජනාධිපති, අගමැති හා කථානායකට හැකි වන ලෙස උපදේශාත්මක අධිකාර බලය
2. ව්‍යවස්ථාදායක අධිකරණය, ශ්‍රී ලංකාවේ උසාවිවල අග්‍ර උසාවිය වන අතර එය පොතන උසාවියක් වනු ඇත.
අ. ව්‍යවස්ථාදායක උසාවිය සභාපති හා තවත් විනිසුරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.
ආ. ව්‍යවස්ථාදායක උසාවියේ සභාපති හා විනිසුරුවන් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කරනු ලැබේ.
ඇ. ව්‍යවස්ථාදායක උසාවිය සම්පුර්ණ උසාවියක් ලෙස හෝ විනිසුරුවන් පස් දෙනෙකුගේ කොටසක් ලෙස ක්‍රියා කරනු ඇත.
3. ව්‍යවස්ථාදායක සභාව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවන්, නීතිය හා සම්බන්ධ විෂයයන් පිළිබද අධ්‍යයන සුදුසුකම් ඇති විශාරද පුද්ගලයන් හා නීති ක්ෂේත්‍රෙය් විශ්‍රාමික විශිෂ්ටයන්ගෙන් සමන්විත යුතුයයි යෝජනා කෙරේ.
4. දේශපාලනයට කෙළින්ම සම්බන්ධ හෝ දේශපාලන පක්ෂයක තනතුරක් දැරූ හෝ දරන පුද්ගලයන් ව්‍යවස්ථාදායක උසාවියට පත් නොකළ යුතුයයි නිර්දේශ කෙරේ.
ඉහත විස්තරාත්මකව දක්වා ඇති ආකාරයේ ව්‍යවස්ථාදායක උසාවියක් පිහිටුවිම ගැන සමහර කමිටු සාමාජිකයන් එකඟ වූයේ නැත. ඔවුන්ගේ මතය වූයේ මේ මගින් රජයේ විධායක හා නීතිසම්පාදකඅංශවලට අධිකරණයේ ස්වාධීනත්වයට මැදිහත්විමට ඉඩ ලැබෙන බවයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉහළින් ආයතනයක් තිබිය යුතු නැති බවයි. වර්තමානයේ වුවද නීතිඥයින් නොවන අය ෆශ්‍රෂ්ඨාධිකරණයට පත්කිරීමට තහනමක් නැතිබවද ඔවුන් පෙන්වා දුන්නේය. වෙනස් ආයතනයක් ලෙස ව්‍යවස්ථාදායක උසාවියක් පිහිටුවීමට විරුද්ධවන අතර ඔවුන් යෝජනා කලේ පවතින අධිකරණ ව්‍යුහය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාදායක මඬුල්ලකි.
( කුෂාන් ද අල්විස්, ජා.නී. එම් වයි.එම්. ෆයිස්; සුනිල් ජයරත්න; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ )
තවත් නිර්දේශයක් වූයේ පවතින උසාවි ව්‍යුහය තුළ ව්‍යවස්ථාදායක මඬුල්ලක් පිහිටුවිමත් එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් පමණක් සමන්විත නොවිය යුතුය යන අදහසයි. ඔවුන් යෝජනා කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවන්, නීතිය හා සම්බන්ධ විෂයයන් පිළිබද අධ්‍යයන සුදුසුකම් ඇති විශාරද පුද්ගලයන් හා නීති ක්ෂේත්‍රෙය් විශ්‍රාමික විශිෂ්ටයන්ගෙන් සමන්විත උසාවියකි.
( ඒ.එම්.නවරත්න බණ්ඩාර; එස්.සී.සි. ඉළංකෝවන් )

14.4 අධිකරණයේ ස්වාධීනත්වය

14.4.1 ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම

14.4.1.2 නිර්දේශ
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කළ යුත්තේ ජනාධිපති දෙන අක්තපත්‍රයකිනි.
• ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට විනිසුරුවෙක් පත් කිරීමට ජනාධිපතිට බලය ලැබෙන්නේ යෝජිත පත්වීම ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් අනුමත කර ඇත්නම් පමණි.
• ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට පත් කළ විනිසුරුවෙක් නිල රාජකාරී ආරම්භ කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්සවාකර සැසියකදි තනතුරේ දිවුරුම ගැනීම අවශ්‍ය වේ.
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ පුරප්පාඩුවක් ඇතිවූ විට එම තනතුරට පත් කළ යුතු පුද්ගලයා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරු නීතිපති හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන්, ජනාධිපති තුමා ඉල්ලා සිටිය යුතුය.
• ඉන්පසු අගවිනිසුරු නීතිපති හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන්, නිර්දේශ කරන ලද නම් අතරෙන් ජනාධිපති එක් පුද්ගලයෙක් තෝරා ගත යුතුය.
• පුරප්පාඩු වූ තනතුරුට පත් කිරීමට නිර්දේශිත නම සමග අග විනිසුරු නීතිපති හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිර්දේශ කරන ලද සියලුම නම් ද ජනාධිපති විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.
• ජනාධිපති විසින් නිර්දේශ කළ තැනැත්තාගේ පත්වීම ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවහොත් එම පුද්ගලයා ජනාධිපති විසින් පත් කරනු ඇත.
• ජනාධිපති විසින් නිර්දේශ කරන ලද පුද්ගලයා පත් කිරීම ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් අනුමත නොකළ හොත් ඔවුන්ගේ තීරණයට හේතු දක්වමින් අගවිනිසුරු නීතිපති හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිර්දේශ කරන ලද අනිත් පුද්ගලයන් අතරෙන් කෙනෙක් පත් කරන ලෙස ජනාධිපතිට නිර්දේශ කළ යුතුය
• එවැනි අවස්ථාවකදි ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් නිර්දේශ කර ඇති පරිදි ජනාධිපති වෙනත් පුද්ගලයෙක් පත් කළ යුතුය.
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවිමට පත් කිරීම් සිදු කිරීමේදී අනවශ්‍ය ප්‍රමාදයන් ඇති නොවන බවට ජනාධිපති හා ව්‍යවස්ථාදායක මණ්ඩලය සහතික වීම අවශ්‍ය වේ.

14.4.2 ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් විශ්‍රාම ගැනීම

14.4.2.2 නිර්දේශ
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 විය යුතුය.
• අග විනිසුරු හා අභියාචනාධිකරණයේ සභාපති එම තනතුරු දැරිය යුත්තේ උපරිම වශයෙන් අවුරුදු හයකි. අග විනිසුරු හෝ අභියාචනාධිකරණයේ සභාපති වයස 65 විමට පෙර ඔහුගේ ධ්‍රර කාලය වන අවුරුදු හය සම්පූර්ණ කළ හොත් අවුරුදු හයේ ධ්‍රර කාලය අවසානයේ පූර්ණ ප්‍රතිලාභ සහතිව විශ්‍රාම ගැනිමට හෝ අවුරුදු 65 වනතෙක් උසාවියේ විනිසුරුවෙක් ලෙස දිගටම සේවය කිරීම හෝ යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට ඉඩ දිය යුතුය.
• විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් උසාවියේ හෝ අධිකරණවල පෙනී සිටිමෙන් හෝ නීතිඥ කුටියේ උපදෙස් සැපීමෙන් හෝ ආදි කිසිම ආකාරයකින් නීතිමය කටයුතු නොකළ යුතුයි.
• විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හෝ ශ්‍රී ලංකා නීති විද්‍යාලය හෝ පිලිගත් ආයතනයක ඉගැන්විම හැරෙන්නට, විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් විශ්‍රාම ගැනීමෙන් අවුරුදු තුනක අවම කාලයක් ගත වන තුරු රාජ්‍ය අංශයේ ගෙවීම් සහිත හෝ රහිත කිසිම පත්වීමක් බාර නො ගත යුතුය.

14.4.3 ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ වැටුප්

14.3.4.2 නිර්දේශ
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ වැටුප් හා විශ්‍රාම හිමිකම් පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු අතර එය ඒකාබද්ධ ගිණුමෙන් අය කර ගත යුතුය.
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්ට ගෙවිය යුතු හා ඔවුන්ට ලැබිය යුතු වැටුප්, විශ්‍රාම හිමිකම් හා අනිකුත් සියලු ප්‍රතිලාභ ඔවුන් පත්කිරීමෙන් පසු අඩු කළ හැකි නොවේ.
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් විශ්‍රාම ගැනිමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවන්ට ගෙවිය යුතු හා ඔවුන්ට ලැබිය යුතු විශ්‍රාම හිමිකම් හා අනිකුත් සියලු ප්‍රතිලාභ විශ්‍රාමික විනිසුරුගේ ජීවිත කාලය තුළදී අඩු කළ හැකි නොවේ

14.4.4 ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් ඉවත් කිරීම

14.4.4.2 නිර්දේශ
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ලෙස දිගටම කටයුතු කිරීමට නුසුදුසුවන විෂමාචාරයක් හෝ අනිසි ක්‍රියාවක් කර ඇති බවට ඔප්පු වී ඇති බවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ලෙස කටයුතු කිරීමට නොහැකි කායික හෝ මානසික අබලතාවක් ඇති බව ඔප්පු වි ඇතැයි යන පදනම මත ජනාධිපති විසින් කරන නියෝගයකින් හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ඉවත් කළ නොහැක
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ලෙස දිගටම කටයුතු කිරීමට නුසුදුසුවන විෂමාචාරයක් හෝ අනිසි ක්‍රියාවක් කර ඇති බවට ඔප්පු වී ඇති බවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ලෙස කටයුතු කිරීමට නොහැකි කායික හෝ මානසික අබලතාවක් ඇති බව ඔප්පු වි ඇතැයි යන පදනම මත ව්‍යවස්ථාදායක මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ඉවත් කිරීම නිර්දේශ කර නැත්නම් ජනාධිපතිට එවැනි නියෝගයක් කළ හැකි නොවේ.
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ලෙස කටයුතු කිරීමට නොහැකි කායික හෝ මානසික අබලතාවක් ඇති බවට උපරිමාධිකරණ සඳහාවූ අධිකරණ කොමිසම විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ලෙස දිගටම කටයුතු කිරීමට නුසුදුසුවන විෂමාචාරයක් හෝ අනිසි ක්‍රියාවක් කර ඇති බවට විමර්ශන කණ්ඩායමක් විසින් සොයා ගෙන උපරිමාධිකරණ සඳහාවූ අධිකරණ කොමිසම මගින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවලදි හැර ව්‍යවස්ථාදායක මණ්ඩලය එවැනි නිර්දේශයක් නොකළ යුතුය.
• විනිසුරු විෂමාචාරයකට වැරදිකරු බව විමර්ශන මණ්ඩලයක් විසින් තීරණය කර ඇතැයි උපරිමාදිකරණය සඳහාවු අදිකරණ කොමිසම ළුයවස්ථාදායක මන්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලිමෙන් පසු, එම විෂමාචාරය හෝ අනිසි ක්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ලෙස කටයුතු කිරීමට නුසුදුසු කරන ත්තවයේ විෂමාචාරයක් හෝ අනිසි ක්‍රියාවක් යයි තීරණය කළ හොත් ව්‍යවස්ථාදායක මණ්ඩලයල එම විනිසුර ධුරයෙන් පහ කිරිම හැර සුදුසු විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා එම වාර්තාව උපරිමාධිකරණ සඳහවූ අධිකරණ කොමිසට යවනු ඇත.

14.4.5 ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ නිවාඩු

14.4.5.2 නිර්දේශ
• ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ නිවාඩු අනුමත කිරීම අග විනිසුරු විසින් කළ යුතු අතර අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ නිවාඩු අනුමත කිරීම අභියාචනාධිකරනයේ සභාපති විසින් කළ යුතුය.
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ ගණපූරණය තාවකාලිකව නැතිවු අවස්ථාවන්හි සීමිත කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවෙක් ලෙස කටයුතු කිරීමට අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවෙක් පත් කිරීමට අග විනිසුරුට බලය තිබේ. අභියාචනාකරණයේ විනිසුරුවන්ගේ ගණපූරණයේ තටකාලික අඩුවක් ඇතිවූ විට සීමිත කාලයකට අභියාචනාධිකරණයේ විනිසුරුවෙක් ලෙස කටයුතු කිරීමට මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවෙක් පත් කිරීමට අග විනිසුරුට බලය දිය යුතුය.

14.5 උපරිමාධිකරණ සඳහා අධිකරණ කොමිසම

14.5.2 නිර්දේශ
• උපරිමාධිකරණ සඳහා පහත දැක්වෙන පුද්ගලයන්ගෙන් සමන්විත අධිකරණ කොමිසමක් පිහිටුවිය යුතුය.
• සභාපති ලෙස කටයුතු කරන අග විනිසුරු
• ශ්‍රේෂ්ඨාධිකරණයේ ඣ්‍යෙස්ඨ විනිසුරුවන් දෙදෙනෙක්
• ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිර්දේශ මත අගවිනිසුරු විසින් නම් කරන අවංක හා ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්.
මෙම පුද්ගලයන් අවුරුදු 05 කාලයකකට මෙම තනතුරු දැරිය යුතු අතර ඒ කාලය තුළ උසාවියක හෝ අධිකැණයක පෙනී සිටීම තහනම් වේ.
• අග විනිසුරු, නීතිපති හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් ඒකාබද්ධව නම් කරන ෆශ්‍ර්ෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවන් තුන් දෙනෙක්
• උපරිමාධිකරණය සඳහා වූ අධිකරණ කොමිසමේ වගකීම් හා රාජකාරී පහත දැක්වේ.
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ට විරුද්ධව ඇති විෂමාචාර හා අනිසි ක්‍රියා පිළිබඳ පැමිණිළි විමර්ශනය කර කරුණු සොයා ගැනීම
• විෂමාචාර හෝ අනිසි ක්‍රියාවල යෙදෙන හෝ හැකියවක් හෝ කාර්ය ශුරත්වයක් පෙන්වීමට අසමත් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවන් සම්බන්ධයෙන් තනතුරෙන් ඉවත් කිරීමෙන් හැර උචිත විනය ක්‍රියා මාර්ග ගැනීම;
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙකුට කායික හෝ මානසික අබාධයක් කටයුතු කිරිමට නොහැකිදැයි විමර්ශනය කර කරුනු සොයා ගැනීම
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විෂමාචාර හෝ අනිසි ක්‍රියා ගැන උපරිමාධිකරණයේ අධිකරණ කොමිසමට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා පුරවැසියන්ට අයිතියක් තිබේ.
• එවැනි පැමිණිලි දිවුරුම් පෙත්සමක් මගිනි සහායක සාක්ෂි සමග ඉදිරිපත් කළ යුතු අතර දැන දැනම සාවද්‍ය පැමිණිල්ලක් කිරීම හෝ ද්වේෂ සහගත පැමිණිල්ලක් කිරීස සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් උසාවියට අපහාස කිරීම හා බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම ගැන පැමිණිලිකරුටදඬුවම් කරනු ඇත.
• එවැනි පැමිණිල්ලක් ලැබුණු විට උපරිමාධිකරණයේ අධිකරණ කොමිසම පැමිණිල්ලේ සඳහන් වන විනිසුරුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතුය.
• පැමිණිල්ල හා විනිසුරුගේ ප්‍රකාශය සලකා බැලිමෙන් අනතුරුව උපරිමාධිකරණයේ අධිකරණ කොමිසමේ මතය වන්නේ එය හරයක් නැති හෝ වැදගැම්මකට නැති හෝ බොළඳ හෝ ද්වේශ සහගත පැමිණිල්ලක් බව නම් කොමිසමට එය ඉවත දමා අවශ්‍ය නම් උසාවියට අපහාස කිරීම ගැන පැමිණිලිකරුට නඩු පැවරීම සඳහා එය නීතිපතිට යොමු කළ හැකි වේ.
• පැමිණිල්ල හා විනිසුරුගේ ප්‍රකාශය සලකා බැලිමෙන් අනතුරුව උපරිමාධිකරණයේ අධිකරණ කොමිසමේ මතය වන්නේ එහි වැඩිදුර විමර්ශනය කළ යුතු දුක්ගැනවිල්ලක් ඇති බව නම් කොමිසම මූලික විමර්ශනයක් කර පැමිනිලිකරුට හා විනිසුරුට ඔවුන්ගේ ආස්ථානයන් සම්බන්ධව වැඩිදුර කරුණු ඉදරිපත් කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුය.
• එවැනි මූලික විමර්ශනයකින් පසුව විෂමාචාර චෝදනා ඉදිරිපත් කිරිමට තරම් කරුනු ඇතැයි උපරිමාධිකරණය සඳහාවූ අධිකරණ කොමිසමට පෙනි ගියහොත් කොමිසම විෂමාචාර හෝ අනිසික්‍රියා සම්බන්ධ චෝදනා සකස් කර විනිසරට ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විමට පූර්ණ හා සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතුය.
• ඉන්පසු විෂමාචාර චෝදනා ගැන විභාග කිරීමට උපරිමාධිකරණයේ අධිකරණ කොමිසම විසින් විමර්ශන මණ්ඩලයක් පත කළ යුතුය.
• ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙකුට විරුද්ධව විෂමාචාර චෝදනා ගැන විභාග කිරීමට පත් කරන විමර්ශන මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවන් තුන්දෙනෙකුගෙන් සමනිවිත විය යුතු අතර එහි සභාපති විය යුත්තේ විශ්‍රාමගත් අගවිනිසුරුවරයෙකි.
• විෂමාචාර හා අනිසි ක්‍රියා ගැන චෝදනාව ඇත්තේ අගවිනිසුරුට විරුද්ධව නම් විමර්ශන මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවන් දෙදෙනෙකුගෙන් හා පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක විශ්‍රාමික අගවිනිසුරුවරයෙක් එහි සභාපති විය යුතුය.
• විමර්ශනය අවසානයේ විෂමාචාර හෝ අනිසි ක්‍රියා චෝදනා සම්බන්ධයෙන් විනිසුරු වැරදිකරුදු නැද්ද යන්න නිර්ණය කර උපරිමාදිකරණය සඳහා වූ අදිකරණ කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. කොමිසම එය ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.
• තම වාර්තාවේ උචිතයයි සිතන නිරදේශයක් කිරීමට විමර්ශන මණ්ඩලයට බලය තිබේ.
• උපරිමාධිකරණය සඳහාවූ අධිකරණ කොමිසම, විමර්ශන මණ්ඩලයේ වාර්තාව, ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.
• තනතුරෙන් පහ කිරීම හැර විනිසුරු ගැන උචිත විනිය ක්‍රියාමාර්ගයක් ගැනිම සඳහා මෙම වාර්තාව ව්‍යවස්ථාදායක ඹණඩලය විසින් උපරිමාදිකරණය සඳහාවූ අධිකරණ කොමිසමට යොමු කරනු ඇත. කොමිසම විනිසුරුට විරුද්ධව තනතුරෙනු පහ කිරීම හැර සුදුසුයයි සිතන විනය ක්‍රියා මාර්ගයක් ගත යුතුය.
• කායික හෝ මානසික දුබලතාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙකුට නියමිත රාජකාරි ඉටු කළ නොහැකි යයි සිතීමට සාධාරණ හේතු ඇති විට, උපරිමාධිකරණයේ අධිකරණ කොමිසම අවශ්‍ය ආකාරයට පරීක්ෂණයක් හා විමර්ශණයක් සිදු කර ව්‍යවස්ථාදායක මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. කායික හෝ මානසික දුබලතාවේ ප්‍රතිඵලයක් ලෙස විනිසුරුට ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවෙකු ලෙස හැකිද නැද්ද යන්න ගැන මෙම වාර්තාවේ සඳහන් විය යුතුය.
• උපරිමාධිකරණය සඳහා වූ අධිකරණ කොමිසමේ සාමාජිකයන්ගේ ධුර කාලයේ සුරුක්ෂිතතාව ආරක්ෂා කළ යුතුය.
• උපරිමාදිකරණය සඳහවූ අදිකරණ කොමිසමේ ලේකම් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවෙකු විය යුතුය

14.6 අධිකරණ සේවා කොමිසම

14.6.2 නිර්දේශ
මේ අනුව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබේ.
• අධිකරණ සේවා කොමිසම (දැනට අග විනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත වන) පහත සඳහන් පුදුගලයන්ගෙන් සමන්විත විය යුතුය.
• සභාපති ලෙස කටයුතු කරන අග විනිසුරු
• ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් දෙදෙනෙක්
• අභියාචනාධිකරණයේ සභාපති
• ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිර්දේශ මත අගවිනිසුරු විසින් නම් කරන අවංක හා ප්‍රසිද්ධ එක් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. මෙම තැනැත්තා අවරුදු පහක කාලයකට මෙම තනතුරු දැරිය යුතු අතර ඒ කාලය තුළ උසාවියක හෝ අධිකරණයක පෙනී නොසිටය යුතුය.
• අධිකරණ සේවා කොමිසමට, මහාධිකරණ විනිසුරුවන් ඇතුළු සියලුම අදිකරණ නිලධාරීන් පිළිබද පත් කිරීම, උසස් කිරීම,මාරු කිරීම, සේවයෙන් පහ කිරීම, පරිපාලන අධිකාරිය හා විනයානුකූල අධිකාරිය ඇතුළු සියලු බලතල තිබේ.
• ඔවුන්ගේ නිල කාලය තුළ අධිකරන සේවා කොමිසමේ සාමාජිකයන්ගේ නිලයේ සුරුක්ෂිතතාව ආරක්ෂා කළ යුතුය.
• අධිකරණ සේවා කොමිසමේ ලේකම්, මහාධිකරණ විනිසුරුවෙකු විය යුතුය.

14.7 මානව හිමිකම් කොමිසම
14.7.2 නිර්දේශ
ඉහත සඳහන් කරුණු මත පදනම්ව අපි පහත දැක්වෙන යෝජනා ඉදිරිපත් කරමු.
i. ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ සඳහන් ආකාරයට කොමසාරිස්වරුන් පත් කරමින් මානව හිමිකම් කොමිසමක් ස්ථාපිත කළ යුතු ය. කොමිසමේ බලතල, කාර්යයන් හා රාජකාරී ව්‍යවසථාවේ සඳහන් වන අතර වැඩි විස්තර පනතේ දී තිබේ.
ii. පළාත් කොමසාරිස්වරුන් ලෙස සේවය කිරීමට ප්‍රමාණවත් සංඛ්‍යාවක් සිටිනසේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය පුළුල් කළ යුතුය.
iii. මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළ හොත් අදාළ වගඋත්තරකරු විසින් නිශ්චිත කාලයක් තුළ ඒයට හේතු ලිඛිතව මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුය.
iv. වගඋත්තරකරු නිර්දේශයට අනුව කටයුතු නොකරන්නේනම් හෝ අනුකූලතාව නොදැක්විමට දි ඇති හේතු ගැන මානව හිමිකම් කොමිසම තෘප්තිමත් නොවන්නේ නම් හෝ ,මානව හිමිකම් කොමිසමට හෝ පැමිනිලිකරුට තීරණය බලත්මක කරවා ගැනීමට අබියාචනාධිකරණයට යා හැකි වේ.
v. වර්තමාන ව්‍යවස්ථාවේ 126 හෝ 141 වගන්ති යටතේ හැර මානව හිමිකම් කොමිසමේ තීරණයක් හෝ ක්‍රියාවක් අභියෝගයට ලක් කළ නොහැක.
vi. ඒකාබද්ධ අරමුදල තුලින් පාර්ලිමේන්තුව, මානව හිමිකම් කොමිසමේ කටයුතු සඳහා ප්‍රාමාණවත් අරමුදල් සැපයිය යුතුය.

14.8 ඔම්බුඩ්ස්වරයා

14.8.2 නිර්දේශ
ඉහත දැක්වූ කරුණු මත පදනම්ව කමිටුවේ නිරිදේශ පහත දැක්වේ.
1. මූලික කරුනු/සුළු දුක්ගැනවිලි විමර්ශනය කිරීමට සෑම දිස්ත්‍රික්කයක් සඳහා නියෝජ්‍ය ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කළ යුතුය.
2. ඔම්බුඩස්මන්වරයා හා නියෝජ්‍ය ඔම්බුඩස්මන්වරුන් ළුයවස්ථාදායක අදිකරණයේ උපදෙස් මත ජනාධිපති විසින් පත් කළ යුතුය.
3. ඔම්බුඩස්මන්වරයාගේ හා නියෝජ්‍ය ඔම්බුඩස්මන්වරුන්ගේ කාර්යාලවලට , පාර්ලිමේන්තුව ඒකබද්ධ අරමුදල මගින් අරමුදල් සැපයිය යුතුය.
4. පරිපාලනය පිලිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්ගේ කාර්යාලය, ඔම්බුඩ්ස්මන්වරයා ලෙස හැඳින්විය යුතුය. එසේ නෙවුන හොත් ඔමබුඩ්ස්වරයා පාර්ලිමේන්තු පාලනයට යටත්යයි ජනතාව සිතන්නට ඉඩ තිබේ.

14.9 යුක්තිය ලබා ගැනීම – නීතිඥ ගාස්තු හා මිල අධික යුක්තිය

14.9.2 නිර්දේශ
ව්‍යවස්ථාදායක මන්ඩලය මගින් කොමසාරිස්වරුන් පත් කිරිමේ ප්‍රතිපාදන සහිතව වයවස්ථාව යටතේ ස්වාධීන ආයතනයක් ලෙස නිති ආධාර කොමිසම පිහිටුවිය යුතුයයි කමිටුව නිර්දේශ කර සිටී. මේ සඳහා අවශය අරමුදල් කෙලින්ම පාර්ලිමේන්තුව ඒකාබද්ධ අරමුදලෙන් ලබා දිය යුතුයයිද නිර්දේශ කරමු.
කාලිකව හා ප්‍රමාදයකින් තොරව සාදාරනය ඉටු කිරීම අධිකරණයේ කාර්යයක් හා පරම වගකිමක්බව ව්‍යස්ථාවේ සඳහන් කිරීමට යෝජනා කරමු.නීති ක්ෂේත්‍රයත් සමග සහයෝගයෙන් කටයුතුකරමින් අර්ථාන්විත ලෙස නඩු අවසන් කිරීමට ඔවුන් ක්‍රියා කළ යුතුය.
14.10 නීතියේ ප්‍රමාදයන්
යුක්තිය පසඳලිම පිලිබඳව අදහස් දැක්වූ බොහෝ දෙනෙකුට අධිකරණයෙන් සාධාරණය ඉටු කරවා ගැනීමේදි ඔවුන් මුහුණ දුන් ප්‍රමාද විම් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබුණි. ඔවුන් පෙන්වා දුන්නේ “යුක්තිය ප්‍රමාද වීම යුක්තිය නැති කීරීමක්” බව යන සුපුරුදු කියමනේ සත්‍යතාවයි.
කමිටු සාමාජිකයන්ගේ මතය වන්නේ ඉදිරිපත් කළ විවේඡන බොහෝදුරට සත්‍ය බවත් රජය හා විහේෂයෙන්ම අදිකරණ පද්ධතිය, ඉතා ඉක්මනින් හා ගැඹුරින් මේ කරුණුවලට අවධානය යොමු කළ යුතු බවයි. නිර්දේශ කරන සමහර යෝජනා අතර උසාවි හා විනිසුරුවන් ගණන වැඩි කිරීම, සුළු කරුනු සඳහා උසාවි/ ප්‍රාථමික උසාවි පිහිටුවීම, සමථ ක්‍රියාවලය ප්‍රවර්ධනය කිරීම, බේරුම් කිරීමේ හා අනිකුත් ආරවුල් විසඳීමේ ක්‍රම, ගත යුතු ක්‍රියාමාර්ග හා පියවර සරල කිරීම සඳහා උසාවි ක්‍රියාපිළිවෙල හා සම්බන්ධ නීති ප්‍රතිශෝධනය කිරීම ආදිය වේ.

15 පරිච්ඡේදය – මැතිවරණ ක්‍රමය හා ක්‍රියාවලිය

15.2 නිර්දේශ

15.2.1 මැතිවරණ ක්‍රමය

i. එක් සාමාජිකයෙක් කිසි ම වෙනස් කිරීමකින් තොරව යෝජිත 20වැනි සංශෝධන පනතට කැමැත්ත පළ කළ අතර පහත දැක්වෙන මැතිවරණ පිළිබඳ නිර්දේශ කිසිවකට එකඟ නොවේ.
කුෂාන් ද අල්විස්, ජ.නී
ii. අනිත් සාමාජිකයන් පහත දැක්වෙන කරුණුවලට එකඟවූහ.
අ. ජනාධිපතිවරණය
• ජනාධිපති නාමික රාජ්‍ය නායකයා නම් ඔහු/ඇය, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, පළාත්පාලන ආයතනවල සභාපතිවරුන් හා උප සභාපතිවරුන්ගෙන් සමන්විත ඡන්දදායක ගණයකින් තෝරා පත් කර ගත යුතුය.
• ජනාධිපතිට සීමිත බලතල ලබා දෙන්නේ නම් ඔහු/ඇය මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතුය.
ආ. පාර්ලිමේන්තු මැතිවරණය
• මිශ්‍ර ක්‍රමයක් – කොට්ඨාසයකට මන්ත්‍රීවරු දෙදෙනෙක් පත් කරන කේවලක්‍රමයක සහ පළාත් මට්ටමේ සමානුපාතික ලැයිස්තුවක් සහිත ලැයිස්තු ක්‍රමය මිශ්‍රකරගත් ඡන්ද ක්‍රමයක්
• කේවල ක්‍රමයෙන් 60%ක් හා සමානුපාතික ක්‍රමයෙන් 40%ක් පත් කර ගැනීම
• කේවල ක්‍රමයට එකක් හා සමානුපාතික ක්‍රමයට එකක් යනුවෙන් ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කිරීම
• කේවල ක්‍රමය -පිරිමි හා ගැහැනු අපේක්ෂකයන් සඳහා වෙනම ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදීම
• සමානුපාතික ක්‍රමය – සෑම ඡන්ද පත්‍රිකාවක ම පිරිමි හා ගැහැනු අපේක්ෂකයන්ගේ ලැයිස්තුවල විකල්ප නම් ඇතුළත් කිරීම. ලැයිස්තුවල තරුණ අපේක්ෂකයන් සඳහා ද, යම් කිසි ප්‍රතිශතයක් අඩංගු විය යුතුය.
• කමිටුවේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ මතය වූයේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් සංඛ්‍යාව 225 නො ඉක්මවිය යුතු බවයි. විශේෂයෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා මෙම වාර්තාවේ නිර්දේශ කර ඇති යෝජනා සමග එවැන්නක් අවශ්‍ය නොවේ.
ඇ. පළාත් සභා මැතිවරණය
• මිශ්‍ර ක්‍රමයක් – කොට්ඨාසයකට මන්ත්‍රීවරු දෙදෙනෙක් පත් කරන කේවලක්‍රමයක සහ පළාත් මට්ටමේ සමානුපාතික ලැයිස්තුවක් සහිත ලැයිස්තු ක්‍රමය මිශ්‍රකරගත් ඡන්ද ක්‍රමයක්
• කේවල ක්‍රමයෙන් 60%ක් හා සමානුපාතික ක්‍රමයෙන් 40%ක් පත් කර ගැනීම
• කේවල ක්‍රමයට එකක් හා සමානුපාතික ක්‍රමයට එකක් යනුවෙන් ඡන්ද පත්‍රිකා දෙකක් ලබාදීම
• කේවල ක්‍රමය- පිරිමි හා ගැහැනු අපේක්ෂකයන් සඳහා වෙන ම ඡන්ද පත්‍රිකා දෙකක් ලබා දීම
• සමානුපාතික ක්‍රමය-සෑම ඡන්ද පත්‍රිකා වකම පිරිමි හා ගැහැනු අපේක්ෂකයන්ගේ ලැයිස්තුවල විකල්ප නම් ඇතුළත් කිරීම. ලැයිස්තුවල තරුණ අපේක්ෂකයන් සඳහා ද, යම් කිසි ප්‍රතිශතයක් අඩංගු විය යුතුය.
ඈ. පළාත් පාලන ආයතන මැතිවරණ
• පළාත් සභා මැතිවරණයට සමාන වේ. නමුත් සමානුපාතික නියෝජනයේ පදනම වන්නේ පළාත් පාලන ආයතනයේ ප්‍රදේශයයි.
ඉ. බහු මන්ත්‍රී කොට්ඨාස
• බහුත්වවාදී ලක්ෂණ ඇති කොට්ඨාස සඳහා (පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිවරණ) බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස ක්‍රමයක් කමිටුව නිර්දේශ කරයි.
ඊ. ස්වාධීන අපේක්ෂකයෝ
• කේවල මන්ත්‍රී ඡන්ද කොට්ඨාස සඳහා ස්වාධීන කණ්ඩායම් සෑදීමෙන් තොරව ස්වාධීන අපේක්ෂකයන් ලෙස තරග කිරීමට පුද්ගලික පුරවැසියන්ට පහසුකම් සැලසිය යුතුයි.
උ. ජාතික ලැයිස්තුව
• සමහර කමිටු සාමාජිකයන්ගේ අදහස වූයේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හා දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කළහොත් ජාතික ලැයිස්තුවක් අවශ්‍ය නොවන බවයි.
උපුල් අබේරත්න; හරිනි අමරසූරිය; කුෂාන් ද අල්විස් ජ.නී; එම්.කේ. නදීකා දමයන්ති; එස්.සී.සී. ඉලංකෝවන්; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ; එන්.සෙල්වක්කුමාරන්; ලාල් විජේනායක; ඒ.එම්. නවරත්න බණ්ඩාර;
• අනිත් සාමාජිකයන්ගේ මතය වූයේ පහත දැක්වෙන කොන්දේසි යටතේ ජාතික ලැයිස්තුව දිගට ම පවත්වා ගත යුතු බවයි.
සිරිමසිරි හපුආරච්චි; වින්ස්ටන් පතිරාජා; සුනිල් ජයරත්න
ජාතික ලැයිස්තුවේ සංඛ්‍යාව අඩුකිරීම
ජාතික ලැයිස්තු සාමාජිකයන් එම ලැයිස්තුවෙන් පත් කළ යුතු අතර අනිත් ලැයිස්තුවල පුද්ගලයන් නම් නොකළ යුතුය. ජාතික ලැයිස්තුව ප්‍රත්‍යවර්තනය වන ආකාරයට එනම් එකක් හැර එකක් වශයෙන් පිළිවෙළින් පුරුෂයන් හා ස්ත්‍රීන් පත් කරන ආකාරයට සකස් කළ යුතුය.

15.2.2 මැතිවරණ ක්‍රියාවලිය

i. මැතිවරණ වියදම් සීමා කිරීම
අපේක්ෂකයන් විසින් හා ඔවුන් වෙනුවෙන් කරන මැතිවරණය හා සම්බන්ධ වියදම්වලට සීමාවක් පැනවිය යුතුය. මූල්‍ය පරිත්‍යාග කළ පුද්ගලයන් හා ප්‍රමාණ ද, හෙළි කළ යුතුය. අපේක්ෂකයන් මේ සම්බන්ධයෙන් වග කියන තත්ත්වයට පත් කළ හැකි, දැඩි නිශ්චිත ක්‍රමයක් නීති මගින් ඇති කළ යුතු ය.
ii වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් මැතිවරණයට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශයක් කළ යුතු අතර තේරී පත් වුවහොත් ඉන් පසු සෑම වර්ෂයකට ම වරක් ධුර කාලය අවසන් වනතුරු එම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. එහි දක්වා ඇති විස්තර සත්‍ය නොවේ නම් මහජනයා අතරින් ඕනෑ ම කෙනෙකුට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි වන ලෙස මෙය ප්‍රසිද්ධ කළ යුතුය.
iii භාරකාර ආණ්ඩුව
පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිවරණවලදී ඒවායේ අමාත්‍ය මණ්ඩලසාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක නොවිය යුතුයි. මැතිවරණ කොමිසමේ පරීක්ෂාව යටතේ ක්‍රියාත්මක වන භාරකාර ආණ්ඩුවක් තිබිය යුතුය.
iv ආචාර ධර්ම පද්ධතිය
ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුය. එය උල්ලංඝනය කරන පුද්ගලයන් උසාවියට ගෙන යෑමට හෝ ආපසු කැඳවීමට හෝ හැකි විය යුතුයි.
v පැති මාරු කිරීම
• හෘද සාක්ෂියට අනුව ඡන්දය දීමට ඉඩ දිය යුතුය.
• කුමන තත්වයක් යටතේවත් පැති මාරු කිරීමට ඉඩ දිය යුතු නොවේ.
කුෂාන් ද අල්විස්, ජ.නී; සිරිමසිරි හපුආරච්චි
• පහත සඳහන් කරුණුවලට යටත්ව පැති මාරු කිරීමට ඉඩ දිය යුතුය.
o පැති මාරු කරන අයට කිසිම ප්‍රතිලාභයක් හෝ වරප්‍රසාදයක් නො ලැබිය යුතුයි.
o ඔවුන්ට යම් කිසි ප්‍රතිලාභයක් ලැබුණ හොත් ඔවුන් අතුරු මැතිවරණයකදී ආපසු ජනතාව ඉදිරියට යා යුතුයි.
• රජය අස්ථාවර වන්නේ නැත්නම් මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂිය අනුව ඡන්දය දීමට ඉඩ දිය හැකියි. ඒ සාධනීය විශ්වාස භංග යන්ත්‍රණයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව සහතික කිරීමටයි.
උපුල් අබේරත්න;
vi පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආපසු කැඳවීම
ආපසු කැඳවීමේ ක්‍රමයක් කමිටුව අනුමත කරන අතර එය නිර්දේශ කරයි. එංගලන්තයේ හා වේල්සයේ 2015 ආපසු කැඳවීමේ පනත මේ සඳහා මග පෙන්වීමක් ලෙස ගත හැක.
vii මැතිවරණ දින දර්ශනය
ජනාධිපතිවරණ. පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වෙන දින නිශ්චිතව දක්වන මැතිවරණ දින දර්ශනයක් හඳුන්වා දිය යුතුය. අතුරු මැතිවරණ පැවැත්වීම හෝ විශ්වාස-භංග යෝජනා නිසා ඇතිවන තත්ත්ව හෝ මැතිවරණ දින දර්ශනය සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු වේ.
කමිටු සාමාජිකයෙක් වූ උපුල් අබේරත්න මැතිවරණ දින දර්ශනය පිළිබඳ අදහසට සහාය දැක් වූයේ නැත.
viii ස්ත්‍රී හා තරුණ නියෝජනය
• බහුතරවාදී ක්‍රමයක් යටතේ සෑම පක්ෂයක්ම කේවල ආසන සඳහා තරග කිරීමට නාමයෝජනා කරන අපේක්ෂකයන්ගෙන් අඩු ම වශයෙන් තුනෙන් එකක් ස්ත්‍රීන් විය යුතුය.
හරිනි අමරසූරිය; එම්.කේ. නදීකා දමයන්ති; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ; එන් සෙල්වක්කුමාරන් යන අය කියා සිටියේ සෑම පක්ෂයකින්ම කේවල ක්‍රමයට තරග කරන අපේක්ෂකයන් ගෙන් අඩක් කාන්තාවන් විය යුතු බවයි.
• සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පුරුෂ හා කාන්තා අපේක්ෂකයන් අතර ප්‍රත්‍යවර්තනය වන ආවෘත ලැයිස්තුවක් තිබිය යුතුය.
• සෑම පක්ෂයකින් ම තරුණ සහභාගිත්වයක් සහතික කිරීම සඳහා මෙයට සමාන ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.
ix ඡන්දය ප්‍රකාශ කිරීම
• රජයේ ලියාපදිංචි වී ඇති සංක්‍රමණික සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි උචිත යන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය.
• උචිත ආරක්ෂණ විධිවිධාන සහිත ව ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමට ක්‍රියා කළ යුතු වේ.
• කම්හල් සේවකයන්, නිදහස් වෙළඳ කලාප සේවකයන්, ආබාධ සහිත පුද්ගලයන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැනි අයට ඡන්දය ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහා (ප්‍රවාහන පහසුකම් ඇතුළුව) විශේෂ ඡන්ද පොළවල් හෝ වෙනත් විධිවිධාන යෙදිය යුතුයි.
• ආබාධිත පුද්ගලයන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු සිය ලුම පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියා පිළිවෙල, පහසුකම් හා ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි විය යුතුය.
x මැතිවරණ ප්‍රචාරක වැඩ
මැතිවරණ කාලය තුළ ප්‍රචාරය පිළිබඳ ව ඇති රෙගුලාසි තදින් ම බලාත්මක කළ යුතුයි. විශේෂයෙන් ම සීමිත සම්පත් ඇති අපේක්ෂකයන්ට රජය මාධ්‍යවල සමාන කාලයක් ලබා දිය යුතු වේ. පරිසර හිතකාමී හා පොදු ජනයාගේ එදිනෙදා ජීවිතයට අනවශ්‍ය ලෙස බලපෑමක් නොකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු දිරි ගැන්විය යුතුය.
xi නියෝජනයක් නැති/ ඌන නියෝජනයක් සහිත කණ්ඩායම්
කිසි ම නියෝජනයක් නැති හා ඌන නියෝජනයක් සහිත කණ්ඩායම්වල සහභාගීත්වය සහතික කිරීම සඳහා (නම් කළ මන්ත්‍රීන්, බහු -මන්ත්‍රී ආසන, වෙන්කළ ආසන) යන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු වේ. තෙළිඟු හා මලයාලම් කථා කරන ජනයා, මැලේ හා බර්ගර් ජනයා හා අප්‍රිකානු සම්භවයක් ඇති ජනයා ආදීන් මෙවැනි කණ්ඩායම් වේ. මැතිවරණ සම්බන්ධ ලිපිලේඛන බ්‍රේල් භාෂාවෙන් ලබා දීම ඇතුළු ආබාධ සහිත පුද්ගලයන්ට මැතිවරණවලදී තරග කළ හැකි වාතාවරණයක් ඇති කිරීම අවශ්‍ය වේ.
xii අපේක්ෂකයන්ගේ දිවුරුම් ප්‍රකාශ
පහත දැක්වෙන කරුණු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සෑම අපේක්ෂකයෙක් ම නාම යෝජනා පත්‍රයට ඇමිණීම සහතික කිරීම සඳහා මැතිවරණ නීති සංශෝධනය කළ යුතු යයි සමහර සාමාජිකයෝ යෝජනා කළහ.
සමහර සාමාජිකයන් මෙම නිර්දේශය සමග එකඟ වූයේ නැත
• අපේක්ෂකයාගේ අධ්‍යාපන සුදුසුකම් හා එම සුදුසුකම් ලබා ගත් දින
• අපේක්ෂකයා උසාවියකින් වරදකරුවෙක් ලෙස ප්‍රකාශ කර තිබේ ද? යන්න හා එසේනම් චෝදනාවේ ස්වභාවය හා උසාවියේ තීන්දුව.

16 පරිච්ඡේදය -රාජ්‍ය සේවය, රාජ්‍ය මූල්‍යය හා විගණනය

16.2 නිර්දේශ

16.2.1 දේශපාලනය හා පරිපාලනය අතර අවකාශය/ රාජ්‍ය සේවයේ කළමනාකරණ ශක්‍යතාව
මෙම නිර්දේශ සම්බන්ධයෙන් කමිටුවේ පොදු එකඟත්වයක් නොවීය. එහෙයින් එය මෙසේ ඉදිරිපත් කෙරේ.
කමිටුවේ සමහර සාමාජිකයන් විසින් පහත දැක්වෙන නිර්දේශ ඉදිරිපත් කෙරේ.
උපුල් අබේරත්න; හරිනි අමරසූරිය: එ.එම්. නවරත්න බණ්ඩාර; එම්.කේ. නදීකා දමයන්ති; එස්.සී.සී. ඉළංකෝවන්; එම්.වයි.එම්. ෆායිස්; සිරිමසිරි හපුආරච්චි; සුනිල් ජයරත්න; කුමුදු කුසුම් කුමාර; වින්ස්ටන් පතිරාජ; තේමිය එල්.බී. හුරුල්ලේ; කාන්ති රණසිංහ; එන්. සෙල්වක්කුමාරන්; එස්. තවරාජා; එස්.විජේසන්දිරන්; ලාල් විජේනායක
අ) වත්මන් ව්‍යවස්ථාවේ 54 (1) ව්‍යවස්ථාව, පහත දැක්වෙන ඡේදයෙන් ප්‍රතිස්ථාපනය කිරීම;
“ රාජ්‍ය නිලධාරීන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, අස් කිරීම, විනය පාලනය හා කළමනාකරණ ශක්‍යතා වැඩි දියුණු කිරීම රාජ්‍ය සේවා කොමිසමට පැවරිය යුතු අතර එය ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කරන සාමාජිකයන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. මෙයින් සාමාජිකයන් තුන්දෙනෙකුට නො අඩු සංඛ්‍යාවක් රාජ්‍ය නිලධාරියෙක් ලෙස අවුරුදු පහළොවකට වැඩි පළපුරුද්දක් ඇති පුද්ගලයන් විය යුතු අතර රාජ්‍ය සේවා කොමිසමේ අනිත් සාමාජිකයන් පරිපාලන නීති, රාජ්‍ය මුදල් හා මානව සම්පත්, ව්‍යාපාර හා රාජ්‍ය කළමනාකරණය ආදිය පිළිබඳ දැනුම හා අත්දැකීම් ඇති පුද්ගලයන් විය යුතුය.”
ආ) වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 (2) සිට 54 (11)ව්‍යවස්ථා ඒ ආකාරයට ම තබා ගැනීම
ඇ) රාජ්‍ය සේවා කොමිසමට පාර්ලිමේන්තුවෙන් සෘජුව ම අරමුදල් හා කාර්ය මණ්ඩල ලබා ගත හැකි වන සේ පාර්ලිමේන්තුව අවශ්‍ය නෛතික හැකියාවන් ලබා දිය යුතුය.
ඈ) රාජ්‍ය සේවා කොමිසමට පවරා ඇති “රාජ්‍ය සේවයේ කළමනාකරණ ශක්‍යතාව වැඩිදියුණු කිරීම” ආරම්භ කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසම යටතේ කළමනාකරණ කාර්යාලයක් ස්ථාපිත කරනු ඇත.
(ඉ) ජනාධිපති විසින් යෝජනා කරන පුද්ගලයන් ජනාධිපති, අමාත්‍ය මණ්ඩලය හා අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතු වේ. ජනාධිපති විසින් යෝජනා කරන පුද්ගලයන් පත් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුවේදී මාධ්‍ය හා සිවිල් සමාජයේ සහභාගිත්වයෙන් මහජන පරීක්ෂා ක්‍රියාවලියක් සිදුවිය යුතු ය.
(ඊ) පරිපාලන පද්ධතිය තුළ වෘත්තීය ප්‍රමිති පවත්වා ගනිමින් ඇමතිවරු හා ලේකම්වරුන් අතර යහපත් ක්‍රියාකාරී සබඳතාවක් පවත්වා ගැනීමට බාධකයක් මෙන් ම රාජ්‍ය සේවා කොමිසමට පවරා ඇති බලය නිෂේධනය කරන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52(2) ව්‍යවස්ථාව ඉවත් කිරීම (එක් සාමාජිකයෙක් මෙම නිර්දේශයට එකඟ වූයේ නැත)
එස්.තවරාජා
උ) රජයේ දෙපාර්තමේන්තුවල පරිපාලන ඒකකවල භූගෝලීය සීමා, නීත්‍යනුකූල ව ස්ථාපිත කර ඇති පහළ ම මට්ටමේ පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරි කොට්ඨාසය මත පදනම් විය යුතුය. ඔවුන්ගේ සේවා ප්‍රදේශ නිරූපණය කිරීමේ දී හෝ අර්ථ දැක්වීමේදී කිසි ම රාජ්‍ය ආයතනයකට ග්‍රාම නිලධාරි කොට්ඨාස ඉක්මවා යෑමට බලයක් නැත. ප්‍රාදේශීය සභා සීමාවන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවන් එක ම විය යුතුය.
එක් සාමාජිකයෙක් විසින් පහත දැක්වෙන නිර්දේශය ඉදිරිපත් කරන ලදී.
කුෂාන් ද අල්විස්, ජ.නී.
වර්තමාන ව්‍යවස්ථාවේ 9 හා 17 වැනි පරිච්ඡේද ඒ ආකාරයට ම තබා ගත යුතුය. මෙම නිර්දේශ ෆෙඩරල් යන පදය යොදා නො ගෙන ෆෙඩරල් රාජ්‍යයක් කරා යන පියවරක් මෙන් ම රාජ්‍ය සේවා හා රාජ්‍ය අරමුදල් පිළිබඳ බලය පවරන ලෙස කිසිදා ඉල්ලීමක් නොකළ උතුරු පළාතෙන් පිට ජීවත්වන ජනයා මත ෆෙඩරල් සංකල්පය බලෙන් පැටවීමක් වෙයි.

16.2.2 රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය

අ. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, උසස්කිරීම් හා අනිකුත් මානව සම්පත් කටයුතුවලදී මෙන් ම පරිපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී දැඩි ලෙස ක්‍රියාත්මක කරන කුසලතා ක්‍රමයක් යොදා ගත යුතුයි. මෙය, සීමිත කාල පරිච්ඡේදයකට කාන්තාවන් , සුළුතර ප්‍රජාවන්, යුද්ධයේ බලපෑමට ලක්වූ ප්‍රජාවන් ආදි හඳුනාගත් වරප්‍රසාද නොළත් කණ්ඩායම් සවිබල ගැන්වීමට බඳවා ගැනීම් පටිපාටිවල ප්‍රමාණවත් ඉඩක් ලබා දීමේ ප්‍රතිජනන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, පරිපාලන බලධාරීන්ට බාධකයක් නොවේ.
ආ. කුසලතා පදනමක් මත බඳවා ගැනීමට මැදිහත් වීම හෝ බාධා කිරීම දඬුවම් දිය හැකි වරදක් බවට පත් කරන හා පුරවැසියෙකුට එවැනි ක්‍රියාවක් උසාවියේදී අභියෝගයට ලක් කළ හැකි නීති පාර්ලිමේන්තුව සම්මත කළ යුතුයි.
ඇ. පාර්ලිමේන්තුව එම නීතිය යටතේ ම රාජ්‍ය නිලධාරීන් ජාතික හෝ ප්‍රාදේශීය දේශපාලනයට සහභාගිවීම තහනම් කර එවැනි ක්‍රියා දඬුවම් දිය හැකි වරදක් කළ යුතුය.
ඈ. නීතියට අනුව තනතුරේ කටයුතු කිරීම නිසා රාජ්‍ය නිලධාරියෙකුගෙන් පළිගැනීම හෝ වෙනස් ලෙස සැලකීම හෝ අස් කිරීම, තනතුරෙන් ඉවත් කිරීම, තත්ත්වය පහත දැමීම හෝ නෛතික ක්‍රියාපිළිවෙලකින් තොරව විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ වළක්වන ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ අඩංගු විය යුතුය.
ඉ. ඇමතිවරුන්ට ඔවුන් තෝරාගත් ප්‍රතිපත්ති උපදේශකයන්ට දේශපාලන පත්වීම් දීමට අවශ්‍ය නම් මහජන පරීක්ෂා ක්‍රමයක් සහිතව උසස් තනතුරු කමිටුවෙන් එම පත්වීම් අනුමත කළ යුතු වේ.
ඊ. රජයේ සේවකයන්ගේ විශ්‍රාම අයිතිවාසිකම් ව්‍යවස්ථාවේ ඇතුළත් කිරීම (1972 ව්‍යවස්ථාවේ 109 වැනි වගන්තියට සමාන)
16.2.3 අත්තනෝමතික පරිපාලන බලය පාලනය කිරීම/ රාජ්‍ය සේවයේ, අර්ධ රාජ්‍ය ආයතනවල සාමාජිකයන්ට විරුද්ධ පැමිණිලි
අ. 59 වැනි ඡේදයට අනුව අධිකරණ සේවා කොමිසම විසින් පත් කරන ලද පරිපාලන අභියාචනා උසාවිය දිගට ම පවත්වා ගෙන යෑම. කෙසේ වෙතත් එයට පවරා ඇති බලය පහත දැක්වෙන ආකාරයට පුළුල් කිරීමට යෝජනා කෙරේ.
i) වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති ආකාරයට රාජ්‍ය සේවා කොමිසමේ තීරණවලට විරුද්ධව රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබෙන අභියාචනා බාර ගැනීම
ii) පරිපාලන චක්‍රෙල්ඛන හා රෙගුලාසි අමාත්‍ය මණ්ඩලයේ හෝ ඇමතිවරුන්ගේ තීරණ හා අදාළ පාර්ලිමේන්තු නීතියට අනුව නීත්‍යනුකූල දැයි සමාලෝචනය කිරීම
සහ
iii) පරිපාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරුද්ධව යුක්තිය ඉටු කරවා ගැනීමට මහජනයාට අවස්ථාව දීම.
ආ. වත්මන් ව්‍යවස්ථාවේ 55(1) ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට ප්‍රතිවින්‍යාස කරන්න.
“ පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සියලු ප්‍රතිපත්තිමය කරුණු තීරණය කරනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිසම විසිනි”
ඇ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(2) ව්‍යවස්ථාව ඉවත් කළ යුතුය. 55(3) සිට 55(5) දක්වා ඡේද තබා ගත යුතුය.
ඈ. පාර්ලිමේන්තු පෙත්සම් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව (PAC), රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුව (COPE) ආදියෙන් රාජ්‍ය නිලධාරීන්ට දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ පසුවිපරම් නිරීක්ෂණ මෙහෙයවීම හා ඒවායේ ප්‍රගතිය ගැන පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ කාර්යය රාජ්‍ය සේවා කොමිසමට පැවරිය යුතුය.
ඉ. අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන මාතෘ නිවාඩු, බෝනස් වැනි සමාන පහසුකම් ලැබෙන සේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට පොදු මානව සම්පත් ප්‍රතිපත්තියක් සකස් කිරීම
ඊ. සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, ව්‍යවස්ථාපිත අධිකාරී වැනි අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම් සම්බන්ධයෙන් ද, ඉහත 16.2.2 (අ) කොටසේ යෝජනා කර ඇති ආකාරයේ ක්‍රමයක් තිබීම අවශ්‍ය යයි කමිටුවේ අදහස වේ.
මෙම කටයුතු සඳහා අර්ධ රාජ්‍ය ආයතන සඳහා රාජ්‍ය සේවා කොමිසමක් ස්වාධීන ආයතනයක් ලෙස පිහිටුවීම කමිටුව නිර්දේශ කරයි. මෙය ව්‍යවස්ථාවේ සඳහන් විය යුතු අතර එයට රාජ්‍ය සේවා කොමිසමට සමාන ප්‍රතිපාදන තිබිය හැකියි.
16.2.4 රාජ්‍ය සේවා ලබා ගැනීම හා සම්බන්ධ විශේෂ ගැටලු
පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් නීති සම්මත කිරීම අවශ්‍ය බව සඳහන් කරන ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ අඩංගු විය යුතුය.
අ. රජයේ පොදු සේවා ලබා ගැනීම ගැන සීමා පනවමින් වතු ජනගහණය පිළිබඳ සියලු කටයුතු ගැන තීරණය කිරීම වතු කළමනාකරුවන්ට වතු සමාගම් විසින් බලය පවරා තිබීමත්, වතු ජනාවාස සම්පූර්ණ වශයෙන් රාජ්‍ය පරිපාලනය යටතට ගෙන නොතිබීමත්, නිසා වතු ජනතාවට රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට ඇති වර්තමාන බාධක ඉවත් කිරීම.
ආ. වතු මානව ජනාවාස ද, රාජ්‍ය ආයතනවලින් සෘජු ව ම සේවා සපයන ග්‍රාමීය පද්ධතියේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
ඇ. විශේෂ බඳවා ගැනීමේ පරිපාටි තුළින් යුද්ධයේ බලපෑමට ලක් වූ ජනතාව ඇතුලු ආන්තික ප්‍රජාවන් සහ කණ්ඩායම්වලින් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමට සහනදායී ක්‍රියා මාර්ගයක් හඳුන්වා දීම
ඈ. දෙමළ ප්‍රජාව සමග එදිනෙදා කටයුතු කළ හැකි, දෙමළ දැනුමක් ඇති පුද්ගලයන්රජයේ කාර්යාලවලට පත් කිරීම. සිංහල කථා කරන ප්‍රජාව සුළුතරය වන ප්‍රදේශවල ද, මෙයට සමාන ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම.

16.2.5 පළාත් රාජ්‍ය සේවාව හා රාජ්‍ය මූල්‍යය

අ. පළාත් රාජ්‍ය සේවා කොමිසමක්, පළාත් උසස් තනතුරු කමිටුව විසින් නිර්දේශ කළ යුතු අතර ආණ්ඩුකාරයා විසින් ඔවුන් පත් කළ යුතුය. පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන්, පළාත් රාජ්‍ය සේවයේ විනය හා මානව සම්පත් ගැටලු ගැන කටයුතු කළ හැකි අත්දැකීම් හා දැනුම සහිත අවංක පුද්ගලයන් විය යුතුය. පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන්ගේ නිලකාලය හා තනතුරෙන් ඉවත්වීම ආදිය ගැන රෙගුලාසි පිළියෙල කිරීමේදී වර්තමාන ව්‍යවස්ථාවේ 54 (4) ව්‍ය වස්ථාව අනුගමනය කළ යුතුයි.
ආ. පළාත් රාජ්‍ය සේවයේ පත් කිරීම,. උසස්කිරීම්, විනය පාලනය හා කළමනාකාර කාර්ය සාධනය වැඩි දියුණු කිරීම පළාත් රාජ්‍ය සේවා කොමිසමට පැවරිය යුතුය. මධ්‍යම රජයේ හා පළාත් රාජ්‍ය සේවයේ පොදු වෘත්තීය ප්‍රමිති අනුගමනය කරන බවට සහතික වීම සඳහා සෑම පළාත් රාජ්‍ය සේවා කොමිසමක්ම රාජ්‍ය සේවා කොමිසම හා අනිත් පළාත් රාජ්‍ය සේවා කොමිසමක් සමග සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළ යුතු වේ.
ඇ. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූල ව නීති කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පළාත් සභාවලට උපදෙස් දීමට ස්වාධීන ඇඩ්වකේට් ජනරාල්වරයෙක් හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒකකයක් හෝ තිබිය යුතුය.
ඈ. පළාත් රාජ්‍ය සේවා කොමිසමේ තීරණවලට විරුද්ධව පළාත් රාජ්‍ය සේවයේ සාමාජිකයන්ට පරිපාලන අභියාචන උසාවියට අභියාචනා ඉදිරිපත් කළ හැකිවේ. පළාත් රාජ්‍ය සේවා කොමිසමේ තීරණවලින් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ගැන මහජනයාට ද, සහන ඉල්ලා පරිපාලන අභියාචන උසාවියට කරුණු ඉදිරිපත් කළ හැකි වේ. පළාත් රාජ්‍ය සේවයේ සාමාජිකයන් නිකුත් කරන පරිපාලන චක්‍රලේඛ, පළාත් සභාව සම්මත නීතිවලට අනුකූල බව සහතික කිරීමට ඒවා පළාත් ඇඩ්වකේට් ජනරාල් විසින් සියුම් ලෙස පරීක්ෂාවට භාජනය කළ යුතුය.
ඉ. පළාත් පරිපාලනය හසුරුවීම සඳහා විවෘත දැන්වීම් හා කුසලතා පදනම් ව තෝරාගත් පළාත් කළමනාකාර සේවයක් පත් කළ යුතුය. මෙම පළාත් කළමනාකාර සේවයේ සාමාජිකයන් පළාත් අතර මාරු කිරීමට හැකි වේ. පළත් කළමනාකරණ සේවයේ අවශ්‍යතා නියම කරන සේවා අත්පොත පිළියෙල කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිසමේ හා පළාත් සේවා කොමිෂන්වල නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් මගිනි. දීප ව්‍යාප්ත සේවාවන්හි සාමාජිකයන්, පළාත් කළමනාකරණ සේවයට ද්විතීනය කළ හැකියි.

16.2.6 රාජ්‍ය තාන්ත්‍රික සේවාව

අ. රාජ්‍ය තාන්ත්‍රික තනතුරුවලට අනුග්‍රාහක පදනමක් යටතේ පුද්ගලයන් පත්කිරීම නතර කිරීම
ආ. විදේශ සේවයේ බඳවා ගැනීමේ නිර්ණායක තීරණය කිරීමටත්, රාජ්‍ය තාන්ත්‍රික තනතුරු සඳහා වෘත්තියෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන් නොවන පුද්ගලයන්ගේ නාම යෝජනා ඇගයීමත් සඳහා රාජ්‍ය තාන්ත්‍රික සේවා කොමිසමක් (DSC) ස්ථාපිත කළ යුතුය. මෙම (DSC) කොමිසම විසින් තීරණය කළ යුතු කරුණු අතර තානාපති සේවයේ සිටිය යුතු වෘත්තිය හා වෘත්තීය නොවන නිලධාරීන්ගේ අනුපාතය, වෘත්තීය නොවන රාජ්‍ය තාන්ත්‍රිකයන් පත් කළ හැකි තානාපති තනතුරු හඳුනා ගැනීම හා එසේ පත් කරන පුද්ගලයන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙළක් ආදිය වේ.
16.2.7 රාජ්‍ය මූල්‍යය හා විගණනය
අ. රාජ්‍ය මුදල් පිළිබඳව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති 148 හා 151 ඡේද ඒ ආකාරයට ම රඳවා ගැනීම.
ආ. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ මත ජනාධිපති විසින් මුදල් කොමිසම පත් කළ යුතුය. එය භාණ්ඩාගාරය තුළ නොතිබිය යුතුය. සම්පූර්ණ රාජ්‍ය ආදායමෙන් වෙන් කළ යුතු ප්‍රතිශතය හා පාර්ලිමේන්තුවෙන් ලබා දුන් අරමුදල් පළාත් සභා අතර බෙදා දීම පිළිබඳ නිර්ණායක මුදල් කොමිසම විසින් පිළියෙල කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
ඇ. පළාත් සභා සහ පළාත්පාලන ආයතනවලට අවම වෙන් කිරීම බදුවලින් හා ණයවලින් ජනනය වන රාජ්‍ය ආදායමෙන් 25%ක් විය යුතු අතර මුදල් කොමිසම පළාත් සභා හා පළාත්පාලන ආයතන අතර එය බෙදා දිය යුතුය (යෝජිත අනුපාතය වන්නේ පළාත් සභා සඳහා 18%ක් හා පළාත්පාලන ආයතන සඳහා 7%ක්ය). එක් සාමාජිකයෙක් යෝජනා කළේ බලය පැවරීම අර්ථාන්විත වීම සඳහා පළාත් සභාවලට අවම වෙන් කිරීම රාජ්‍ය ආදායමෙන් 40%ක් විය යුතු බවය. (පළාත් සභාවලට 30% හා පළාත්පාලන ආයතනවලට 10%ක්).
එස්.තවරාජා
ඈ. ආණ්ඩුකාරයාගේ හා පළාතේ ප්‍රධාන ලේකම්ගේ මැදිහත් වීමෙන් නිදහස් පළාත් සභාව විසින් පත් කළ අභ්‍යන්තර විගණන අංශයක් පළාත් සභාවේ තිබිය යුතුය.
ඉ. දුර්වල සෞඛ්‍ය තත්ත්වය හෝ කායික හෝ මානසික දුබලතාවක් නිසා විගණකාධිපති ඉවත් කිරීමට ජනාධිපතිට බලය ලබා දෙන 153 (ඈ) ව්‍යවස්ථාව ඉවත් කළ යුතුය.
ඊ. ස්වාධීන විගණන කොමිසමක් නිර්මාණය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කළ යුතුය.
උ. රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණයට සම්බන්ධ නිලධාරීන්ගෙන් එම මුදල් අය කර ගැනීමටත්, ඔවුන්ට නඩු පවරන ලෙස ඉල්ලා නීතිපතිට වාර්තා කිරීමටත්, විගණකාධිපතිට බලය දිය යුතුය.
ඌ. ජනාධිපති විසින් වැඩබලන විගණකාධිපතිවරයෙක් පත් කිරීම වැළැක්වීම සඳහා අලුත් පුද්ගලයා පත් කිරීම පිළිබඳ කටයුතු ව්‍යවස්ථාදායක මණ්ඩලය කලින් ම ආරම්භ කළ යුතුය.
එ. මහජන මුදල් භාවිතයට ගෙන ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ඇමතිවරුන්ට අනිවාර්ය කළ යුතු අතර එය අනුමැතිය සඳහා මහජනයාට විවෘත කළ යුතුය.
ඒ. අල්ලස හා දූෂණය තුරන් කිරීමට දැනට ඇති යන්ත්‍රණය ශක්තිමත් කිරීම. මුදල් වියදම් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විස්තර අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යැවීම අනිවාර්ය කිරීමෙන් ඔවුන්ට එම ක්‍රියාවලිය සමීක්ෂණය කිරීම පහසු කරවීම.
ඔ. කොටස් වෙළඳපොලට ඇතුල්වීම සඳහා අර්ථසාධක අරමුදල් හා භාරකාර අරමුදල් ආයෝජනය කළ සමාගම් සමීක්ෂණය කිරීමට ඔවුන් රාජ්‍ය ව්‍යවසාය පිළිබද කමිටුවට (COPE) ඉදිරියට කැඳවීමට හැකි වන සේ නීති සම්මත කිරීම.

17 පරිච්ඡේදය – මහජන ආරක්ෂාව හා මානව ආරක්ෂාව

17.2 නිර්දේශ
1. හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම අධිකරණ සමාලෝචනයකට යටත්වීම සහතික කළ යුතුය. හදිසි අවස්ථා රෙගුලාසි හා නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචන ඉක්මනින් අවසන් කළ යුතුය.
2. ව්‍යවස්ථාවේ පහත සඳහන් ප්‍රතිපාදන ඇතුළත් කළ යුතුය.
i. පවතින නීතියට අමතරව මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ හැකි වන්නේ ජාතියේ ජීවිතය තර්ජනයට ලක්වී ඇති අවස්ථාවක හෝ ස්වාභාවික ව්‍යසනයකදී පමණි.
ii. ශ්‍රේෂ්ඨාධිකරණයට සිය කැමැත්තෙන් හෝ උසාවියට ඉදිරිපත් කළ අයදුම්පතක් මත හෝ හදිසි අවස්ථා තත්ත්වයක් හේතු සහගත ද? යන්න සමාලෝචනය කළ හැක.
iii මහජන ආරක්ෂක නීති යටතේ පනවන හදිසි අවස්ථා රෙගුලාසිවලට ජීවිතයට ඇති මූලික අයිතිය, සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ හා ආගමේ නිදහස, වධදීමෙන් නිදහස්වීමේ මූලික අයිතිය, අමානුෂික හෝ අවමානයට ලක් කෙරෙන සැලකිලි හා දඬුවම්, අත්තනෝමතික රඳවා නොගැනීමේ හා දඩුවම් නොලැබීමේ නිදහස හා අතුරුදහන් නොවීමේ නිදහස ආදිය උල්ලංඝනය කළ නොහැක.
iv එක දිගට මාස හයකට වැඩි කාලයක් හදිසි අවස්ථාව පවත්වා ගත යුතු නම් හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමේ නිවේදනය පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් සම්මත විය යුතුයි.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මානව සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම පිළිබද ප්‍රතිපාදනවල, පොලීසිය හා ආරක්ෂක හමුදා විසින් පුද්ගලයන් හා කණ්ඩායම්වලට එරෙහිව බලය යෙදීම මහජන ආරක්ෂාව හා නීතිය හා සාමයට ඇති තර්ජනයට සමානුපාතික විය යුතු බව ඇතුළත් විය යුතුය.
4. රටේ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ ප්‍රශ්න විසඳෙන ආකාරයට මහජන ආරක්ෂක ආඥාපනත සංශෝධනය කළ හැකි බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය.
කුෂාන් ද අල්විස් ජ.නී. හා එම්.කේ නදීකා දමයන්ති මෙම නිරිදේශය සමග එකඟ වූයේ නැත.
5. රාජ්‍යයේ නියෝජිතයන් හා රාජ්‍යයේ නොවන පුද්ගලයන් අතින් අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට එයට ගොදුරු වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර රැකගත යුතුය.

18 පරිච්ඡේදය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා

18.1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

18.1.2 නිර්දේශ

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සිදු කරන පත්වීම් සම්බන්ධයෙන් මහජනයාගේ විශ්වාසය දිනා ගැනීමේ වැදගත් පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය ඉහත දැක්වූ ආකාරයට විය යුතුය.
2. 19 වැනි සංශෝධන පනතේ තිබූ වැදගක් ප්‍රතිපාදනයක් වූ පහත දැක්වෙන කොටස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය.
අ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, බහුවිධතාව හා සමාජ විවිධත්වය ඇතුළු ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ව ලක්ෂණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පිළිබිඹූ වන බව සහතික කිරීම සඳහා අගමැති හා විරුද්ධ පක්ෂ නායකයා විසින් පස් දෙනෙක් නම් කිරීමේදී පාර්ලිමේන්තුවේ නියෝජනය දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නායකයන් සමග ඒ ගැන සාකච්ඡා කළ යුතුය.
පත් කරන හෝ නම් යෝජනා කරන පුද්ගලයන් ප්‍රසිද්ධ හෝ පුද්ගලික ජීවිතයේ කීර්තියක් ලබා ඇති අවංක හා විශිෂ්ට පුද්ගලයන් විය යුතු අතර ඔවුන් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවිය යුතුයි.

18.2 ස්වාධීන කොමිෂන් සභා

18. නිර්දේශ

දැනට ඇති ඒවාට අමතරව පිහිටුවිය යුතු සමහර කොමිෂන් සභා ගැන කමිටුව දැනටමත් නිර්දේශ ඉදිරිපත් කර තිබේ. වැඩි වැඩියෙන් කොමිෂන් සභා ඉල්ලීමට හේතු වී ඇති මහජනයාගේ ප්‍රශ්න, විසඳිය හැකි සමහර ව්‍යවස්ථාදායක ප්‍රතිපාදන ද, මෙහිදී නිර්දේශ කර තිබේ. අපේ අදහස වන්නේ ස්වාධීන කොමිෂන් සභා සංඛ්‍යාව, විෂය පථය හා සංයුතිය පිළිබඳව තීරණය කිරීමේදී ව්‍යවස්ථා සම්පාදක සභාව රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, රාජ්‍ය සේවාවල කාර්යක්ෂමතාව වැනි පුළුල් කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවයි.

19 පරිච්ඡේදය – ඉඩම්, පරිසරය හා සංවර්ධනය

19.2 නිර්දේශ
1. ස්වාභාවික සම්පත්, සතුන් හා වෘක්ෂලතා ආදියේ භාවිතය පිළිබද ව්‍යවස්ථාමය උපදෙස් ලබා දිය යුතුය.
2. ඉඩම්, පරිසරය හා සංවර්ධනය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ඇතුළත් කළ යුතුය. සතුන් හා වනජීවින් පරිසරයේ හා පරිසර පද්ධතියේ කොටසක් වන බැවින් පරිසරය පිළිබඳ මූලික අයිතිවාසිකම් කොටසේ සත්ත්ව අයිතිවාසිකම් හා සුබ සාධනය සම්බන්ධයෙන් ද, සැලකිල්ල දැක්විය යුතුයි.
3. ඉඩම්,පරිසරය හා සංවර්ධනය පිළිබඳ අයිතිවාසිකම් ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න පැහැදිලි කරමින් ඒවා පිළිබඳ වෙන ම පරිච්ඡෙද ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේදී කෙන්යාවේ හා ඉක්වදෝරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැලකිල්ලට ගන්නා ලෙස අපි යෝජනා කරමු. උදාහරණයක් වශයෙන් එහි පහත දැක්වෙන කරුණු සඳහා ප්‍රතිපාදන ඇතුළත් විය යුතුය.
• පරිසරය හා ස්වාභාවික සම්පත්වල තිරසර උපයෝජනය, භාවිතය, කළමනාකරණය හා සංරක්ෂණය සහතික කරමින් ලැබෙන ප්‍රතිලාභ ද සමසේ බෙදි යන බවට සහතික වන්න.
• පරිසර විශේෂඥයින් සමග සාකච්ඡා කර අවම වන ආවරණයක් තීරණය කර එය මුදුන්පත් කරගෙන පවත්වා ගැනීමට ක්‍රියා කිරීම
• ප්‍රජාවන්ගේ ජාන සම්පත් හා ජෛව විවිධත්වයේ දේශීය දැනුමට ඇති නෛතික ආරක්ෂාව වැඩි දියුණු කර ආරක්ෂා කරන්න.
• පරිසරය කළමනාකරණය, ආරක්ෂා කිරීම හා සංරක්ෂණයේදී මහජන සහභාගීත්වය දිරි ගැන්වීම
• ජාන සම්පත් හා ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න.
• පරිසර බලපෑම් ඇගයීමේ ක්‍රම ස්ථාපිත කරන්න.
4. පරිසර විගණනය හා පරිසරය සමීක්ෂණය කිරීම
5. පරිසරයට හානිදායක විය හැකි ක්‍රියාවලි හා කටයුතු තුරන් කරමි න්පරිසරය හා ස්වාභාවික සම්පත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත සඳහා යොදා ගැනීම
6. සෑම පුද්ගලයෙකුට ම රජයේ ආයතන සමග සහයෝගීව කටයුතු කිරීමට වගකීමක් ඇති අතර සෑම දෙනාම පාරිසරිකව තිරසර සංවර්ධනයක් හා ස්වාභාවික සම්පත් භාවිතය සහතික කරමින් පරිසරය ආරක්ෂා කර සංරක්ෂණය කළ යුතුය.
7. සංවර්ධනය හා සම්බන්ධ සූරාකෑම හා අවතැන්වීම වළක්වන ප්‍රමාණවත් යන්ත්‍රණ ඇතිබව සහතික කිරීමට හා ආර්ථික සංවර්ධන දුක්ගැනවිලි ගැන සොයා බැලීමට කොමිසමක් ස්ථාපිත කිරීම
8. ඉඩම්, පරිසරය හා සංවර්ධනය හා සම්බන්ධ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූ අයට වන්දි හා සහන ලබා දෙන ක්‍රම
9. සංවර්ධනයේ නාමයෙන් ජනතාව සූරාකන හෝ පරිසරයට හානිකරන හෝ පුද්ගලයෙක් හෝ ආයතනයකට විරුද්ධව කටයුතු කිරීමට බලය ඇති රාජ්‍ය නිලධාරීන්ගේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවට ප්‍රතිපාදනයක් ඇති කිරීම
10. රටේ සම්පූර්ණ ඉඩම් ප්‍රමාණයෙන් පිළිගත හැකි ප්‍රතිශතයක්, වන ආවරණය ලෙස පවත්වා ගැනීමේ ක්‍රමයක් හඳුනා ගැනීම
11. රටේ තිරසර සාධාරණ සමාජීය වශයෙන් යුක්ති සහගත සමාජ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කැපවීම

21 පරිච්ඡේදය – වෙනස් ලෙස සැළකීමට විරුද්ධ කොමිසම

21.2 නිර්දේශ
1. සාකච්ඡා, කතිකා හා මැදිහත්වීම් තුළින් සංවාදයක් ආරම්භ කර ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා වෙනස් ලෙස සැලකීම පිළිබඳ කොමිසමක් පිහිටුවීම. සමාජ විද්‍යාව, නීතිය, ඉතිහාසය හා රාජ්‍ය පරිපාලනය ආදී ක්ෂේත්‍රවල විශිෂ්ටයන්ගෙන් මෙම කොමිසම සමන්විත විය යුතුය. මෙම කොමිසමට ඉහත දැක්වූ අංශවල පුද්ගලයන් 12 දෙනෙක් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කළ යුතු යයි අපි නිර්දේශ කරමු.
2. විවිධ සමාජ-සංස්කෘතික හා ජනවාර්ගික-ආගමික කණ්ඩායම් කොමිසමේ නියෝජනය විය යුතු යැයි ද, අපි වැඩිදුරටත් නිර්දේශ කරමු.

22 පරිච්ඡේදය – රාජ්‍ය සේවා දුක්ගැනවිලි කොමිසම

22.2 නිර්දේශ

මෙම අරමුණ ළඟා කර ගැනීම සඳහා කමිටුව නිර්දේශ කරන්නේ රාජ්‍ය සේවා දුක්ගැනවිලි කොමිසමක් පිහිටුවීමයි. මෙය ස්වාධීන ආයතනයක් විය යුතු අතර එහි සභාපති හා සාමාජිකයන් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ මත ජනාධිපති විසින් පත් කළ යුතුය. මෙම කොමිසම සාමාජිකයන් හතක් හෝ නවයකින් සමන්විත විය යුතු අතර ඔවුන් සමාජ සේවය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය පරිපාලනය, කෘෂි තාක්ෂණය, නීතිය, මානව හිමිකම්, තාක්ෂණය ආදී ක්ෂේත්‍රවල අත්දැකීම් ඇති අය විය යුතුයි.
සමාජ සේවය මෙහි ඇතුළත් කිරීම පිළිබද ව කුෂාන් ද අල්විස්, ජ.නී. එකඟ වූයේ නැත.
සේවා සැපයීමේදී අසාධාරණ හා අනවශ්‍ය ප්‍රමාදයන් ඇති කරන පරිපාලන ක්‍රියාපිළිවෙල හා භාවිතයන් සම්බන්ධ පැමිණිලි මෙම කොමිසම බාර ගනු ඇත. කොමිසමේ අධිකාරය රජයේ ආයතනවලට පමණක් නොව සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජයට කොටස් අයිති සමාගම් වැනි අර්ධ රාජ්‍ය ආයතනවලට ද, බල පැවැත්වේ. මානව හිමිකම් කොමිසම, රාජ්‍ය භාෂා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ඔම්බුඩ්ස්වරයා හෝ සමාන ආයතනවල තීරණ සමාලෝචනය හෝ අභියාචනා සලකා බැලීම මෙම කොමිසමට අයත් කාර්යයන් නොවේ. කෙසේ වෙතත් මෙම ආයතනවලට සංස්ථානික ස්වභාවයේ ගැටලු ඇත්නම් ඒවා පිළිබද ව සලකා බලා අවශ්‍ය කටයුතු කිරීම සඳහා රාජ්‍ය සේවා දුක්ගැනවිලි කමිටුවට ඉදිරිපත් කළ හැකි වේ.

Advertisements