වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කරන්නේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍යයන් – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

hgh
ලංකාවේ අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

මේ වෙනකොට අධ්‍යාපනය විවිධාකාරයෙන් අර්බුදයට ලක්වෙලා තියෙන්නේ. මේකට එක ප‍්‍රධාන හේතුවක් අධ්‍යාපනය අනවශ්‍ය විදිහට දේශපාලනීකරණය වෙලා තියෙන එක. ඒක අධ්‍යාපනයට විතරක් නෙවෙයි අද රටේ හැම තැනකට ම වගේ පොදු දෙයක් වෙලා.

කොටින්ම කියනවා නම්, දැන් දේශපාලනය කියන එක සමාජ පංතියක් බවට පත්වෙලායි තියෙන්නේ. අද ලංකාවේ තියෙන්නේ මාක්ස්වාදයේ උගන්නන සමාජ පංති නෙමෙයි. එතැනට දේශපාලන පංතිය කියලා වෙනම පංතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පංතියට අයිති හැමෝම තමන්ගේ පංතියේ අනික් පුද්ගලයාව ආරක්ෂා කරනවා. ඔහු මොන දේශපාලන පක්ෂයකට අයිති වුණත්. මොන වරදක් කළත්. වේදිකාවේදී මොන හතුරුකම් පෙන්නුවත් මොවුන් කරන්නේ වැඩිම වුණොත් තමන්ගේ පංතියට කළ වරදට සුළු ද`ඩුවමක් දීලා කොහොම හරි වරද කළ කෙනා මුදවාගන්න එක. ඔවුන් සියලූ භේද නොතකා තම පංතිකයා වෙනුවෙන් පෙනී ඉන්නවා. කවුරු බලයට ආවත් ඒ අය වැඩ කරන්නේ දේශපාලන පංතියේ සුබසාධනයට.

වෙන දෙයක් ඕනෑ නෑ පළාත් සභා හා පළාත් පාලන ක‍්‍රමය ගන්නකෝ. මේ ක‍්‍රම නිර්මාණය වෙලා තියෙන්නේ බලය බෙදීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණෙන්ද? නෑනේ. මේවා තියෙන්නේ අර කියූ ආරක්ෂා කරන්න. කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් එක්කෝ ඔහුගේ බිරිද හරි පුතා හරි පළාත් සභාවේ. පුතාගේ බිරිද ප‍්‍රාදේශීය සභාවේ. ඒ නිසා මේ යාන්ත‍්‍රණයන් සියල්ල තියෙන්නේ දේශපාලන පංතියේ පැවැත්ම වෙනුවෙන්. අධ්‍යාපනයටත් දේශපාලනය විවිධ ස්වරූපයෙන් සම්බන්ධ වෙනවා. ළමයෙක් පාසලට ඇතුල් කිරීමේ ඉදන් ගුරුවරුන් පත්කිරීම මාරු කිරීම දක්වා හැම දේ ම දේශපාලනිකයි.

පාසල් අතර විසමතාව වර්ධනය වෙන්න අධ්‍යාපනය පළාත් අධ්‍යාපනික කාර්යයක් බවට පත් නොකර ඒකෙන් කොටසක් මධ්‍යම රජයට පවරාගෙන තියෙන එක බලපාලා තියෙනවා කියලා මතයක් තියෙනවා?

ඒක ඇත්ත. දැන් බලන්න පාසල්වල ගුරු හිගයක් තියෙනවාය කියන කතාව. නගරවල තියෙන ජනප‍්‍රිය ජාතික පාසල් හැම එකක ම වගේ ගුරු අතිරික්තයක් තියෙනවා. ඒ පාසලට ළගම තියෙන පළාත් පාසලේ ගුරු හිගයක්. ළමයි විතරක් නෙමෙයි ගුරුවරු පවා බලන්නේ පහසුකම් තියෙන ජනප‍්‍රිය පාසලකට යන්න. ඔබ කිව්වා වගේ, අධ්‍යාපයන මේ ආකාරයෙන් බෙදිලා තියෙන එක පාසල්වල සම්පත් බෙදීයෑමට බලපානවා.

රටේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයක් කිව්වාට ඇත්තටම තියෙන්නේ එහෙම එකක්ද කියලා මේ ගැටලූව දිහා බැලූවාම පේනවා. ජනප‍්‍රිය ජාතික පාසලකට ළමයෙක් දාද්දි ඔහුගේ කිසිම සුදුසුකමකට වඩා වැදගත්වෙලා තියෙන්නේ ඔවුන් පාසලට දෙන අරමුදල. යම් දෙමව්පියන්ට ඉස්කෝලෙකට ලක්ෂ ගණන් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒ දරුවා ඒ පාසලට ගන්නවා. පාසල් නඩත්තු වෙන්නේ එහෙම නම් එතැන කොහෙද නිදහස් අධ්‍යාපනයක්. අනික් අතට, ඉස්කෝල නඩත්තු වෙන්නේ එහෙම නම් කෝ ඒවාට රජයෙන් ලබාදෙන මුදල්. යම් දරුවෙක් ඉගනගන්න කොච්චර දක්ෂ වුණත්, ඉස්කෝලවලට ඒකට වඩා අදාල කලින් කී දේවල් නම් කෝ එතැන සාධාරණය.

ඒ වගේම බලන්නකෝ ඒ පාසල්වල විදුහල් පතිවරුන් සහ ගුරුවරුන්ට තියෙන බලය. මේ විදිහේ නීතිවිරෝධී දේවල් කොච්චර ඒ පාසල් ඇතුළේ එළිපිට සිදුවුණත් ඒ අයට කිසිම බලපෑමක් සිදු වෙන්නේ නෑ. මොකද මේ අය ඉතාම ළ`ගින් දේශපාලනය ඇසුරු කරනවා. කලිනුත් කිව්වා වගේ අද ලංකාවේ තියෙන්නේ තමන්ගේ කෙනා රකින ක‍්‍රමයක්. ඉතිං ඒ අය ආරක්ෂිතයි.

රටේ පාසල් එක මට්ටමට දියුණු කරන්න බැරි නම්, ජනප‍්‍රිය පාසල්වලට ළමයි ඇතුල් කරන කාරණයේදී ඒක මීට වඩා ප‍්‍රජාතන්ත‍්‍රීයව කරන්න ක‍්‍රම හොයාගන්න වෙනවා. ඒ සදහා ලෝකයේ සමහර රටවල් පාවිච්චි කරන එක ක‍්‍රමයක් තමයි කුසපත් අදින එක. එතැනදී වෙන්නේ ප‍්‍රදේශයේ තියෙන ඒ ඒ පාසල්වල නම් ලියපු කුසපත් සිසුන්ට තෝරාගන්න දෙන එක. එතැනදී ඒ ඒ දරුවා වෙනුවෙන් ලැබෙන කුසපත අනුව ඔහුගේ පාසල තීරණය වෙනවා. බැලූ බැල්මට කොහොම පෙනුණත්, කලින් කිව්වා වගේ එක් පිරිසකගේ දේශපාලනික හයිය සහ මූල්‍යමය ශක්තිය මගින් තවත් පිරිසකට සිදුවන අසාධාරණය මින් වැළකෙනවා.

උසස් අධ්‍යාපනය සම්බන්ධ තත්ත්වය මොකද්ද?

උසස් අධ්‍යාපනය තුළ වුණත් තියෙන්නේ අර මං කලින් කියූ ගැටලූම තමයි. අද උසස් අධ්‍යාපනයේත් හැම පියවරක්ම දේශපාලනීකරණය වෙලා. තවත් පැත්තකින් විශ්වවිද්‍යාල පාඨමාලා ගැටලූ සහගත වෙලා. ඇගයුම් ක‍්‍රමවේදයන් පවා විහිලූ සහගතයි.

උදාහරණයක් විදියට මානව හා ශාස්ත‍්‍ර ක්ෂේත‍්‍රයේ පර්යේෂණ කරන ආකාරය බලන්නකෝ. අද පර්යේෂණවලදී පරීක්ෂණ ගැටලූවක් තියෙන්න ඕනෑ කියලා නිර්මිතයක් තියෙනවා. ඒත් පරීක්ෂණ ගැටලූවක් කියන එක හැම වෙලාවෙම තියෙන්න පුළුවන් එකක්ද. විද්‍යා විෂයක නම් එහෙම එකක් තියෙන්න පුළුවන්. නමුත් මානව ශාස්ත‍්‍ර විෂයන්ගේ පරීක්ෂණවලට ඒක අදාළ නෑ. අපි හිතමු කිසියම් ශිෂ්‍යයෙක් ශේක්ෂ්ස්පියර්ගේ කවි පිළිබද පර්යේෂණයක් කරනවා කියලා. ඒ වගේ තැනක පරීක්ෂණ ගැටලූව මොකද්ද? ශේක්ෂ්ස්පියර් කවි ලියපු එකද, නෑනේ. පරීක්ෂණයක් කියන්නේ යම් සිතියමක් අදින එක. නමුත් ගැටලූවක් කියූ ගමන් ඒක ලඝු වෙනවා.

මං කලින් කියූ දේශපාලන පංතියක් ගොඩනැගීම කියන එක පරීක්ෂණ ගැටලූවක්ද, නෑනෙ. යමෙක් මේ පංතිය ගැන පරීක්ෂණය කරනවා නම් ඔහු පොදුවේ සමාජය පරීක්ෂණය කරන්න ඕනෑ. ඒ වාගේම දේශපාලනඥයෝ පංතියක් විදිහට හැසිරෙනවා කියලා උපන්‍යාස ගොඩනගාගෙන මේක කරන්නත් බෑ. ඉස්සෙල්ලා පොදුවේ දේශපාලනඥයන්ගේ හැසිරීම බලන්න ඕනෑ. පස්සෙ තමයි ඒ අය හැසිරෙන්නේ කොහොමද කියලා හිතන්න අවශ්‍ය.

එතැනින් එහාට ගිහින්, බලන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උසස්වීම් සදහා ලකුණු දෙන පිළිවෙළ. ගූගල් වගේ දේවල නම සදහන් වන අන්තර්ජාලයේ ජනප‍්‍රිය සගරාවල ලිපි ලියලා තියෙනවා නම් ඒකට උපරිම ලකුණු දෙනවා. නමුත් පොතක් පතක් ලියලා තිබුණාට එච්චර ලකුණු නෑ. උදාහරණයක් විදිහට මගේ එක පොතක් තියෙනවා පිටු දෙසිය ගාණක. ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක්. නමුත් මේ වගේ තැනක ඒ විදිහේ පොතකට ලැබෙන්නේ ලකුණු පහයි. නමුත් නිකම්ම නිකම් පිටු හයක ලිපියක් අන්තර්ජාලයේ පළකළොත් ලකුණු හයක් ලැබෙනවා. ඇත්තටම බලද්දී අපේ ක්ෂේත‍්‍රයේ පොතක් කියන්නේ සගරා ලිපියකට වඩා සිය ගුණයක් වටිනා දෙයක්නේ. හාවඞ් විශ්වවිද්‍යාලය වගේ තැන්වල පොත් දෙකක් විතර පළකරලා නැත්තම් මහාචාර්යවරයෙක් කරන්නේ නෑ. ශාස්ත‍්‍රීය පොතකයි මේ වගේ ප‍්‍රකාශනයකයි වෙනස නොදන්න තැන අනික් දේවල් ගැන හිතලා වැඩක් තියෙනවාද.

ඒ වගේම අන්තර් ජාලයේ සිංහලෙන් හරි දෙමළෙන් හරි පළකළ ලිපිවලට ලකුණු ලැබෙන්නේත් නෑ. හිතන්නකො ලංකාවේ ආර්ථිකය ගැන කවුරුහරි ලියනවා නම් ඒක ජර්මන් පොතක ලියලා වැඩක් තියෙනවාද.

බලන්නකො වෛද්‍ය විද්‍යාව දිහා. සමහර වෛද්‍යවරු ජාත්‍යන්තර සගරාවලට ලිපි ලියන්නේ නෑ. නමුත් ඒ අයට ඉතාම හොද ප‍්‍රායෝගික අවබෝධයක් තියෙනවා ලෙඩරෝග ගැන. ඉතින් මේ අය අගයද්දී අර නිර්ණායකය හරිද? ඔය ක‍්‍රමය මොකක් හරි එක විෂය ධාරාවකට දෙකකට හරියන්න පුළුවන්. නමුත් මානව ශාස්ත‍්‍ර සහ සමාජ විද්‍යා වගේ තැන්වලට ඕක ගැළපෙන්නේ නෑ.

මෙතැන ඊටත් වඩා විහිලූ තියෙනවා. මේ වගේ ලිපිවලට ලකුණු දෙද්දී ඒවා ජාත්‍යන්තරව කියවලා ඒවාට දක්වලා තියෙන ප‍්‍රතිචාර ප‍්‍රමාණයත් සැලකිල්ලට ගන්නවා. උදාහරණයක් විදිහට එක තැනක එක මහචාර්ය වරයෙකුගේ ලිපියකට ප‍්‍රතිචාර දොළහක් තියෙනවා. තවත් එකකට හතරයි තියෙන්නේ. ප‍්‍රතිචාර දොළහක් ලැබිලා තියෙන ලිපියට වැඩි ලකුණු ලැබෙනවා. හතරක් තියෙන එකට අඩු ලකුණු. නමුත් ලැබිලා තියෙන ප‍්‍රතිචාර මොනවාද කියලා බලද්දී දොලහෙන් දහයක් ම කියන්නේ මේක වැරදියි ආයෙ මේ වගේ ලිපි ලියන්න එපා කියලා. ඉතිං ඕකයි අද තියෙන තත්ත්වය. ප‍්‍රතිචාර ස`දහන් වූ වාර සංඛ්‍යාව විතරයි බලන්නේ.

මේ විදිහේ පරිපාලනමය අවුල් විතරද මේ කියන ගැටලූවලට බලපාලා තියෙන්නේ?

නෑ, ඒ විතරක් නෙමෙයි. මේකට විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපි හැමෝමත් කිසියම් ආකාරයකින් වගකියන්න ඕනෑ. අද සමහර ගුරුවරු තමන්ගේ දේශන කරන්නේ නෑ. දේශන තියා සමහරු විශ්වවිද්‍යාලවලට එන්නේත් නෑ. ඉගැන්නුවත් උගන්නන්නේ ප‍්‍රමිතියකට අනුව නෙමෙයි. ශිෂ්‍ය කේන්ද්‍රීයව උගන්නන්නේ නෑ.
ඒ වගේම ගොඩක් අය උගන්නන්නේ පරණ සටහන්මයි. සටහන් විතරක් නෙමෙයි, ඒ අය අලූත් දේවල් එනවාටත් විෂය නිර්දේශ අලූත් වෙනවාටත් කැමතිත් නෑ. කොටින්ම කිව්වොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් පිරිසක් කටයුතු කරන්නේ කිසිම වගවීමක් නැතිව. ඒකයි ප‍්‍රධාන ගැටලූව. වෙන එකක් අවශ්‍ය නෑ, දැන් බලන්නකො බුද්ධිමතුන් හැටියට සමාජයට ප‍්‍රවේශවෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගෙන් කීයෙන් කීදෙනාද කියලා.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ගැන ඔබේ ආස්ථානය මොකද්ද?

මං කලින් කියූ හැම දෙයකම අනිත් පැත්ත අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම තමයි. අද මේ අය කියනවා උසස් අධ්‍යාපනයට වෙනම ප‍්‍රවේශ මාර්ග හදනවා කියලා. ඒ අනුව ශිෂ්‍යයන්ට වෙන එකක් හරහා එන්න පුළුවන්ලූ උසස් අධ්‍යාපනයට.

අපි හිතමු, විශ්වවිද්‍යාලයක සමාජ විද්‍යාව ඉගන ගන්න ශිෂ්‍යයෙක් තමන්ගේ පශ්චාත් උපාධිය කරන්න කලින් අවුරුදු හතරක් සමාජ විද්‍යාව මූලික උපාධිය කරද්දී පිට කොහේ හරි වයරින් කෝස් එකක් කළ කෙනෙක්ට ඒ හරහා ඇවිත් සමාජ විද්‍යාව පශ්චාත් උපාධියක් කරන්න පුළුවන්. මේක මොන වගේ විහිලූසහගත තත්ත්වයක්ද? මේකෙන් වෙන්නේ අධ්‍යාපනය බාල්දු කිරීමක් විතරයි. අනිත් පැත්තෙන් අධ්‍යාපනය වෙළ`ද භාණ්ඩයක් කිරීම.

අඩු තරමේ මේ අය මෙහෙම කරන්නේ රජයේ විශ්වවිද්‍යාල දියුණු කරන ගමන්ද, නෑනේ. අපේ විශ්වවිද්‍යාලවල ප‍්‍රශ්න රාශියක් තියෙනවා. මේවාට නිසි පරිදි ප‍්‍රතිපාදන ලැබෙන්නේ නෑ. අධ්‍යාපනයට කරන වියදම වැඩි කරන්න කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල අරගලයක් කළා. පොරොන්දු වුණත් ඒ දේ හරියට කළේ නෑ. ඒ තියා සමහර තැන්වලට ලැබෙන ප‍්‍රතිපාදන අද අඩුවෙලායි තියෙන්නේ.

නිදහස් අධ්‍යාපනය පාවාදීමට අපි තදින්ම විරුද්ධයි. රාජ්‍ය නොවන අධ්‍යාපනයට රජය අසීමිත විදියට මැදිහත්වීම සහ උදවු කිරීම වැරදියි. සමහර වෙලාවට අපි දකිනවා රජය පෞද්ගලික ආයතනවලට ශිෂ්‍යත්ව දෙනවා. ඒක සීයට සීයක් වැරදියි. වරප‍්‍රසාද ලත් පංතියට තවත් වරප‍්‍රසාද දීමක් විතරයි එතැනින් වෙන්නේ. අනික රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප‍්‍රතිපාදන මදිව තියෙද්දී මේ දේ කරන්නේ කොහොමද.

දැන් රටේ යුද්ධයක් නෑ. යුද්ධය නිසා සංවර්ධනය කරන්න බෑ කියූ රට තවමත් ඒ විදිහමයි. යුද්ධය ඉවර වුණත් තවමත් වැඩි වශයෙන් වියදම් කරන්නේ ආරක්ෂාවට. තවමත් හමුදාවට පිරිස් බ`දවාගන්නවා. දැන් උතුරට ගිහින් බලන්නකෝ මේ හමුදා නිලධාරීන් මොකද කරන්නේ කියලා. ඒ අය එහේ ඉඩම් අල්ලාගෙන ගොවිතැන් කරනවා. වෙළ`දාම් කරනවා. හෝටල් කරනවා. ඇත්තට ම මේ දේවලින් වෙන්නේ ඒ ප‍්‍රදේශවල මිනිස්සුන්ගේ ජීවන ආදායම් පවා නැති කරලා ඒ මිනිස්සු තවදුරටත් පීඩාවට පත්කරන එක. හමුදාවට පඩි ගෙවන්නේ ජනතාව. ඉතින් ඒ අයට ජනතාවගේ බදු මුදලින් පඩි අරන්, ගොවිතැන් කරලා, ව්‍යාපාර කරලා අනික් අයට වඩා තරගකාරී මිලකට ඒ බඩු විකුණන්න පුළුවන්. එහෙම වුණාම ඒ දේවලින් ජීවත්වන මිනිස්සුන්ගේ ජීවන වෘත්තිය අහිමි වෙන එක අහන්න දෙයක් නෑ. මේ දේවල් දකුණේ වුණා නම් මිනිස්සු ඊට වඩා ඕකට විරෝධය පානවා.

ශිෂ්‍ය දේශපාලනය සහ සිසු ගැටුම් පිළිබදවත් මේ දවස්වල ආයෙම වටයකින් සමාජයේ අවධානයට ලක්වෙලා තියෙනවා?

විශ්වවිද්‍යාලවල තියෙන ඛේදනීයම ගැටලූව ඕක. සමහර වෙලාවට විශ්වවිද්‍යාල වැඩකරන්නේ සීමිත සිසුන් පිරිසකගේ සෙල්ලම් භූමියක් හැටියට.
ශිෂ්‍යයා දේශපාලනය කියලා කරන දේ ඇතුළේ වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නෑ. ගොඩක් වෙලාවට ශිෂ්‍ය සංගම්වලට තනතුරු පත්කරන්නේ නිතරගයෙන්. ඒ පත්කරන තනතුරුවලින් වැදගත් තනතුරු ඔක්කොම වාගේ සිංහල සිසුන්. ඒ විතරක් නෙමෙයි ශිෂ්‍යාවනුත් ඒවට සම්බන්ධ කරගන්නේ නැති තරම්. තීරණ ගන්න මට්ටමේ සාකච්ඡුා සිදුකරන්නේ ගොඩක් වෙලාවට ශිෂ්‍යාවන්ගෙන් තොරව.

නවක වධයේ ඉදන් හැම දේම සිදුකරන්නේ ධුරාවලි හරහා. හතරවෙනි වසර හැම වසරටම වඩා ලොකුයි. තුන්වෙනි වසර කෙනෙක් කිව්වොත් දෙවෙනි වසර අය අහන්න ඕනෑ. දෙවෙනි වසර අය කිව්වොත් පළවෙනි වසර අය අහන්න ඕනෑ.

සයිටම් එක හොදද නැද්ද ඒක වහන්න ඕනෑද නැද්ද කියන කාරණේ පැත්තකින් තියලා බලන්නකෝ මේකට විරුද්ධව සිසුන් සංවිධානය වෙලා තියෙන විදිහ. වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ පටු අරමුණු වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කරන්නේ ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍යයන්. නමුත් ශාස්ත‍්‍ර පීඨ උපාධිය ඕනෑ තරම් රට හැම තැනම විකුුණනවා. ඒවාට ඒ අයගේ මැදිහත්වීමක් නෑ. අද මේ ශිෂ්‍යයන් ම කියන දෙයක් තමයි තමන්ගේ උපාධිය වැඩකුත් නෑ තමන් වැඩකුත් නෑ කියලා. ඉතින් වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට වැඩ වැඩියි ප‍්‍රැක්ටිකල් තියෙනවා, ඒ නිසා අපි ඉන්න ඕනෑ එතැන කියලා තමන්ට සිදුවන හානි පැත්තකින් තියලා වෛද්‍යවරුන්ගේ වරප‍්‍රසාද රකින්න මේ අය කැපවෙනවා.

වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ වෘත්තීයමය විෂයයන් හදාරන සිසුන්ට හැරෙන්නට අනික් සියලූ විෂයන් හදාරන ශිෂ්‍යයන් තුළ අද හීනමානයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසයි ප‍්‍රචණ්ඩත්වය ඇතිවෙන්නේ. ඒ අය තමයි ඊනියා සංස්කෘතිය ආරක්ෂා කරන්න ගල්මුගුරු ගන්නේ.

අවුරුදු දොළහක් දහතුනක් පාසල්වලත් ඉගනගෙන තව අවුරුදු හතරක් පහක් විශ්වවිද්‍යාල වලත් ඉගනගෙන උපාධියක් පිටවෙන ශාස්ත‍්‍රපීඨ සිසුන්ට අද එළියට ආවාම ලැබෙන රස්සා මොනවාද. රටේ හැමෝටම අවම වැටුපක් තීන්දු කරලා තියෙනවා. තේ දලූ නෙලන කම්කරුවාට පවා. නමුත් උපාධිධාරියාට සාධාරණ අවම වැටුපක් තීන්දු කරලා තියෙනවාද. නෑනෙ. මේ අය ගොඩක් වෙලාවට රාජ්‍ය සේවයට එකතු වෙන්නේ රුපියල් විසි තිස්දාහක පඩියකට. නමුත් ඒ කිසිම මහන්සියක් නැතිව හමුදාව වගේ තැනක රස්සාවකට ගියත් කෙනෙකුට රුපියල් හතලිස්දාහක් පණස්දාහක් ගන්න පුළුවන්. ඒ තත්ත්වය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තුළ අර විදිහේ හීනමානයක් ඇතිවෙන එකේ අසාධාරණයකුත් නෑ.

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර

බලන්න http://ravaya.lk/?p=16188

Advertisements