“අඩු කුලේ කියාලා අසරණයා, මැඩලන්නෙ මේ ලෝකේ වසලයා” : කීර්ති වර්ණකුලසූරිය ගේ ජාතිවාදය නොව ඔහුගේ විසම්මුතියේ නිදහස වෙනුවෙන් – කුමුදු විසිනි

දිවයින මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මම කලකට පෙර දැන සිටියෙමි. මා 1970 දශකයේ මැද භාගයේ ජනවේගය පත්තරයේ සේවය කළ සමයේ දී ඔහු සේවය කළේ සමසමාජයෙන් පළ කළ ජන දින පත්තරයේ ය. අපේ කාර්යාල මාලිගාවත්ත පාරේ එක ළඟ පිහිටා තිබුණු හෙයින් දෝ අප හඳුනා ගත් බව මට මතක ය. මෘදු ගති පැවතුම් ඇති, ප්‍රිය මනාප පුද්ගලයෙකු වූ ඔහු මා 1977 පමණ ජනවේගයෙන් ඉවත් ව ගිය පසු මට හමු වුනා නම් ඒ කලාතුරකිනි. පසුව එවැනි හමුවීමක් වත් ඇති නොවුණි. නමුත් ඔහු දිවයින පත්තරයේ සේවය කරන බව මම දැක තිබුණෙමි.

දිවයින පත්තරයේ ඔහු ගේ ලිපි ජාතිකවාදී ස්වරූපයක් ගන්නා බව දුටු විට මට ඇති වූයේ කනගාටුවකි. ඒ ඔහුට වාම නැඹුරුවක් තිබුණා යැයි මා විශ්වාස කළ නිසා විය යුතු ය. ඔහුගේ ලිපි රචනයේ එළඹුම පසු කළෙක උග්‍ර ජාතිවාදී ස්වරූපයක් ගත් බව මම නිරීක්ෂණ කළෙමි. මේ නිසා කීර්ති වර්ණකුලසූරිය ගේ භූමිකාව සිංහල බෞද්ධ ජාතිවාදී මත දරන්නන්ගේ අගය කිරීමටත්, පිළිගැනීමටත්, සම්මානයටත් පාත්‍ර වූ බව ද දුටුවෙමි. අනිත් අතට ඔහු සිංහල බෞද්ධ ජාතිවාදයට සහ ජාතිකවාදයට එරෙහි මත දරන්නන්ගේ උග්‍ර විවේචනයට, හෙළා දැකීමට සහ පිළිකුල ට ලක් වී සිටියි. නමුත් එනිසා ඔහු අපගේ වෛරයට පාත්‍ර විය යුතු ද?

කීර්ති වර්ණකුලසූරිය ගේ මාධ්‍ය භාවිතාව හේතුවෙන් ඔහු වසුරු බුදින්නකු සහ වසළයකු ලෙසින් හංවඩු ගැසීම ජනප්‍රිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියක සිදු වූවා නම් එය මේ කාලයේ සාමාන්‍ය දෙයක් ලෙස සළකනු ලැබෙයි.

මන්ද යත් ඇතැම් ජනප්‍රිය සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල එළඹුමත් සාමාන්‍ය භාෂාවත් අද වන විට ඒ තත්වයට පත්ව ඇති හෙයිනි. ප්‍රධාන ධාරාවේ යැයි හැඳින්වෙන සිංහල මාධ්‍ය පවා එන්න එන්නම පදික වේදිකාවේ ග්‍රාම්‍ය කට වහර තම කතුවැකි වලටත් ලිපි සිරස්තලවලටත් යොදා ගැනීම පෙන්නුම් කරන්නේ වෙළෙඳ පොළ තරඟයේ අභියෝගයට මුහුණ දීමට සිදුවීම හමුවේ එම මාධ්‍ය කරුවන්ගේ දීන භාවය ප්‍රකට කිරීම යි. නමුත් කීර්ති වර්ණකුලසූරිය වසුරු බුදින්නකු සහ වසළයකු ලෙසින් හංවඩු ගැසීමට යහපාලනය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය භාවිතාව තුළ ඉඩ කඩ සැළසීම අප වටහා ගන්නේ කෙසේද?

රාජපක්ෂ සමයේ රජයේ මාධ්‍ය අරක් ගත් මහින්ද අබේසුන්දර, හඩ්සන් සමරසිංහ වැන්නවුන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි දේශ ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසන විට රාජපක්ෂ රජයේ මැරයෝ ඔහු පසුපස හඹා ආ හැටි අපට මතක ය.

අගමැති රනිල් වික්‍රමසිංහ කිර්ති වර්ණකුලසූරිය ට ගස් ගෙම්බා යැයි බැණ වැදුණි. කීර්ති ගස් ගෙම්බෙකු වන්නේ මන්දැයි රනිල් වික්‍රමසිංහ පැහැදිළි කළේ නැත. දැන් කිර්ති වර්ණකුලසූරිය වසුරු බුදින්නෙකු සහ වසළයෙකු යැයි යහපාලනය අනුයන මාධ්‍ය කියන විටත් ඒ යෙදුම් කීර්තිට අදාළ වන්නේ කෙසේදැයි පැහැදිළි කිරීමක් නැත.

කීර්ති කරමින් සිට ඇත්තේ තමන් විශ්වාස කරන මතවාදයක එල්බ ගෙන ඒ අනුව ප්‍රවෘත්ති සහ අදහස් සම්පාදනය කරමින් ලිපි ලිවීම යි. ඒවා උග්‍ර ජාතිවාදයක් ප්‍රකට කරයි. ඔහුගේ අදහස් පළකරන ප්‍රධාන ධාරාවේ ජාතික මට්ටමින් අලෙවි වන පුවත් පතක් තිබේ. කීර්ති ලියන ලිපි එම පුවත් පතෙහි පළ කෙරෙන්නේ හුදෙක් එහි හිමිකරුවන් රාජපක්ෂවාදීන් වීම නිසා නම් ඔවුනුත් වසුරු බුදින්නන් සහ / හෝ වසළයන් ගේ ගණයට වැටෙන්නේද යන්නත් විමසිය යුතුය.

ව්‍යාජ පුවත් පළ කිරීමට හෝ ජාතිවාදය උසිගැන්වීමට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි පවත්නා නීති අනුව කටයුතු කිරීමේ අවකාශය මෙරට තිබේ යැයි මම සිතමි.

යහපාලන ආණ්ඩුව සහ එහි අනුගාමිකයන් මුහුණ දී සිටින ප්‍රධාන ගැටළුවක් බව පෙනෙන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී මතවාදයට මුහුණ දෙන්නේ කෙසේද? යන්න යි. ජාතිවාදය තර්කයෙන් පරාජය කළ නොහැකි නම් බිය වැද්දීමෙන්, මර්ධනයෙන් එය කළ හැකි යැයි සහ යුතු යැයි ඔවුන් සිතන බව පෙනෙයි. ලෝක ඉතිහාසය මේ ගැන අපට කියා දෙන පාඩම් මොනවා ද?

අවසාන වශයෙන් කිව යුත්තේ ‘වසලයා’ යන යෙදුම ජාතිවාදීන් හෝ ජාතිවාදී විරෝධීන් යැයි තමන් හඳුන්වා ගන්නවුන් හෝ අනුන් හංවඩු ගැසීමට යොදා ගත්තත් එය ඉන්දියානු වහරේ පහත් යැයි සම්මත කුළ ජනයා පොදුවේ හැඳින්වීමට යොදා ගත් පදයකි යන්න යි. එය මානවයන් නම් කිරීමේදී ශිෂ්ඨ සම්පන්න කතිකාවෙන් ඉවත් කළ යුතු යෙදුමකි. බුදුන් වහන්සේ වසල සූත්‍රය යැයි දෙසුමක් වදාළේද එහෙයිනි.

බුදුන් තම වසල සූත්‍රය (බලන්න, පහත) ඇසුරෙන් කියන පරිදි ‘උපතින් නොව ක්‍රියාවෙන්ම මිනිසා වසලයෙකු වන්නේය’ යන අදහස අපටම අදාළ කොට සලකා බැලීමට අප කී දෙනෙක් සූදානම් ද?

ඒ.ජේ.කරීම් ගායනා කළ ‘අඩු කුලේ කියාලා අසරණයා’ නමැති පැරණි ජනප්‍රිය ගීතය ද (බලන්න, පහත) මතු කරන්නේ මේ එකම කරුණ යි.
—————————-
——————
වසල සූත්‍රය
පහත කියවන්න වසල සූත්‍රය:
ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
1. උරග වර්ගය
7. වසල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම්වූ විහාරයෙහි වැඩවාසය කරන සේක. එකල්හි වනාහී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාගේ ගෙය යම් තැනෙක්හිද එතැනට වැඩිසේක.
අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම වැඩමවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේමය. දැක භාග්‍යවතුන් වහන්සේට මේ වචනය කීයේය. මුණ්ඩකය, එහිම සිටුව, නින්දිත (සැඩොල) මහණ එහිම සිටුවයි” මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාට මෙසේ වදාළසේක. බමුණ, තෝ සැඩොලා හෝ සැඩොල් බවට පමුණුවන කාරණයන් හෝ කිමෙකැයි දන්නෙහිද?”
“වසලයා හෝ වසල බවට පමුණුවන ධර්මය හෝ නොදනිමි. භවත් ගෞතමතෙම වසලයා හෝ වසල බවට පමුණුවන කාරණයන් යම්සේ මම දැනගනිම්ද, මට එසේ දහම් දෙසන සේක්වායි” සැළකෙළේය.
“බමුණ, එසේවීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළසේක. “පින්වත, එසේයයි” කියා අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි” දැනගත යුතුයි.
“මේ ලොකයෙහි යම් පුද්ගලයෙක් පක්ෂීන්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද, (හෙවත් දිවි තොරකෙරේද) යමෙක්හට සත්වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දතයුතුයි.
“යමෙක්තෙම ගම් හා නියම් ගම්ද විනාශ කෙරේද, සේනාව ලවා වටලාද නිග්‍රහ කරන්නෙකැයි ප්‍රසිද්ධවේද ඔහු වසලයෙකැයි දැනගත යුතුයි.
“ගමෙහි හෝ ඉදින් වනයෙහි හෝ අනුන්ගේ මමත්වය ඇති යම් වස්තුවක් සොරසිතින් ගනීද ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යමෙක්තෙම ඒකාන්තයෙන් ණය රැගෙන චොදනා කරනු ලබන්නේ ‘තට ණයක් නැත්තේයයි’ බැහැරයාද ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යමෙක් ඒකාන්තයෙන් කිසි වස්තුවක් කැමැත්තේ මාර්ගයෙහි යන්නාවූ ජනයා නසා කිසි වස්තුවක් පැහැර ගනීද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යම් මනුෂ්‍යයෙක් සාක්ෂි විචාරණ ලද්දේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොටගෙන හෝ යම් ධනයක් හේතුකොට හෝ බොරු කියාද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යමෙක් නෑයන්ගේ හෝ යහලුවන්ගේ හෝ භාර්යාවන් කෙරෙහි බලාත්කාරයෙන් එකක්හුගේ ප්‍රෙමයෙන් හෝ උභය ප්‍රෙමයෙන් හෝ දක්නා ලැබේද හෙවත් අනාචාරයෙහි හැසිරේද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.
“යමෙක් තෙම බොහෝ ධනධාන්‍ය ඇත්තේ ජරාපත්වූ පහවගිය යෞවන බව ඇති මව හෝ පියා හෝ පෝෂණය නොකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුයි.
“යමෙක්තෙම මවට හෝ පියාට හෝ සහෝදර සහෝදරියන් හා නැදිමයිලන්ට හෝ හිංසා කෙරේද, වචනයෙන් ක්‍රොධකෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යමෙක් තෙම විචාරණ ලද්දේම අනර්ථයක්ම ප්‍රකාශ කෙරේද සැඟවීම වශයෙන් යම් යම් දේ කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යමෙක් තෙම පව්කම්කොට මා නොදනීවායි කැමති වේද, යමෙක් තෙම අනුන් නොදන්වා සඟවා කරන ලාමක ක්‍රියා ඇත්තේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යමෙක්තෙමේ මේ ඤාතිමිත්‍රාදී අන්ගෙයකට ගොස් යහපත් භොජනයක් අනුභව කොට පසුව තමාගේ ගෙට පැමිණි ඔවුන්ට ආහාර පානයක් නොදේද, ඔහු ඒකාන්තයෙන් වසලයා යයි දත යුතුයි.
“යමෙක් තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ අන්කිසි යාචකයකු හෝ තමාගේ ගෙට පැමිණි කල්හි බොරුකියා වඤ්චාකෙරේද ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යමෙක්තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ පෙරවරු වේලෙහි පැමිණිකල්හි කිසිවක් නොදේද නුසුදුසු වචන කියමින් රොස් උපදවාද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.
“මේ ලොකයෙහි යමෙක්තෙම මොහයෙන් වැසෙන ලද්දේද කිසියම් දෙයක් නොදී වළකමින් අසත්පුරුෂ වචන කියාද, ඔහු වසලයයි දතයුතුයි.
“යමෙක් තෙම ස්වකීය උඩඟු මානයෙන් පිරිහුනේ තමන් උඩඟු කෙරේද අන්‍යයාට නින්දාකෙරේද හෙවත් හෙලා දකීද, ඔහු වසලයයි දතයුතුයි.
“යමෙක් අනුන්ට ක්‍රොධ කෙරේද තද මසුරු සිත් ඇත්තේද නැති ගුණයෙන් පෙනී සිටීද ලජ්ජානැත්තේද පවට බිය නැත්තේද, ඔහු වසලයයි දත යුතුයි.
“යමෙක් තෙම බුදුන්ටද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටද පරිබ්‍රාජකයන්ටද ගෘහස්ථයන්ටද පිරිහෙලා කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.
“යමෙක් තෙම රහත් නුවූයේම රහත්යයි අඟවාද බ්‍රහ්මයන් සහිතවූ ලොකයෙහි මෙතෙම ඒකාන්තයෙන් පළමුවෙනි මහසොරා වේ. මේ තෙමේ චණ්ඩාලයන්ගෙන් අධමවේ.
“ජාතිය හෙතුකොට ගෙන චණ්ඩාලයෙක් නොවේ. ජාතිය හෙතුකොට ගෙන බ්‍රාහ්මණද නොවේ. අධම ක්‍රියාව හෙතුකොට ගෙන චණ්ඩාලවේ. යහපත් ක්‍රියාව හෙතුකොට ගෙන බ්‍රාහ්මණද වේ.
“යම්සේ මාගේ මේ උපමා දැන්වීමක් ඇද්ද ජාතිය හෙතුකොට ගෙන සැඩොල් නොවන බව මෙයින්ද දැනගනිව් සැඩොල් පුත්වූ සොපාකයයි කියන ලද මාතංගයයි ප්‍රසිද්ධවූ
“ඒ සොපාක තෙරුන්වහන්සේ මේ රාගාදී රජස් රහිතවූ මහතුන්ගේ මහාමාර්ගයවූ ඒ අෂ්ටසමාපත්ති නම් දිව්‍ය යානාවට නැගී කාමරාගය පහකොට උත්පත්ති වශයෙන් බ්‍රහ්මලොකයට පැමිණියේ විය.
“ජාතිය ඔහු බඹලොව ඉපදීමෙන් නොවැළක්විය මන්ත්‍ර අධ්‍යයනයෙන් කල්යවන ප්‍රසිද්ධ බ්‍රාහ්ණ කුලයෙහි උපන්නාවූ වෙදයම නොහොත් මන්ත්‍රයම පිහිටකොට ඇති බ්‍රාහ්මණයෝ පව් කිරීමෙහි නිතර පව් කරන බව දක්නා ලැබෙද්ද, ඒ බ්‍රාහ්මණයෝ මෙලොවදීම නින්දාවට පැමිණෙන්නෝ වෙත්. පරලෙව්හිදී දුගති නම්වූ සතර අපායට පැමිණෙන්නෝ වෙත්. ජාතිය ඒ සත්වයන් පරලොව අපායෙන් හෝ මෙලොව නින්දාවෙන් හෝ නොනවත් වන්නේය.
“ජාතිය හෙතුකොට ගෙන වසලයෙක් නොවන්නේය. ජාතිය හෙතුකොට ගෙන බ්‍රාහ්මණයෙක්ද නොවන්නේය. ක්‍රොධ ඊර්ෂ්‍යා මානාදී හීනවූ පාප ක්‍රියාවෙන් වසලයෙක් වන්නේය. ක්‍රොධාදී පාපකර්මයෙන් තොරවූ කරුණාදී යහපත් ක්‍රියාවෙන් උතුම් ජාතියවූ බ්‍රාහ්මණයෙක් වන්නේ යයි” වදාළසේක.
“මෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කෙළේය. (මෙහි සූත්‍ර නිපාතයේ 1 වර්ගයේ 4 සූත්‍රයේ 8 ඡෙදය යෙදිය යුතුයි.)
වසලසුත්තං සත්තමං නිට්ඨිතං.
https://suttacentral.net/si/snp1.7

අඩු කුලේ කියාලා අසරණයා
ඒ.ජේ.කරීම් ගායනා කළ ගීතයේ පද මාලාව
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා

අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා

පුහු මානය හෘදේ පුරවන්නේ
දස පාප ක්රියාවේ පැටලනේනේ
පුහු මානය හෘදේ පුරවන්නේ
දස පාප ක්රියාවේ පැටලනේනේ
යුතුකම් සුසිරී මග නොම දන්නේ
ඔහු නොවෙ ද මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා

අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා

එක ලේ මස නහරින් බැඳුණු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ

එක ලේ මස නහරින් බැඳුණු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ
අවසානේදී මරු සමඟ ඇදේ
මෙය නොදැන සිටින්නේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා

අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා

Advertisements