අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර (2 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -(2 කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

“…මඩකලපු ප්‍රදේශය ව්‍යුහගත වී ඇත්තේ කුටි (සිංහල සහ දෙමළෙන් මඩු යන අර්ථය ඇති ) ලෙස හඳුන්වන මාතෘවංශික වරිග ඇසුරිනි.බාගදා, කරයියාර්වරු කිහිපදෙනෙක් හැරුනු විට සියලුම කුල සතුව මාතෘවංශික කුටි තිබුණ අතර ඊටත් වඩා පුදුමැති දෙය නම් මුස්ලිම්වරුන් අතර ද පවතින රටාව මෙයම වීමයි. කාරණ තවත් සංකීර්ණ කරන්නේ නම් විවාහ නීති ස්වාමියා බිරිඳගේ ඥාති සමූහයේ වාසයට යන බින්නවාසික නැඹුරුවකින් යුක්ත වීමයි…..මෙයින් සමහරක් කුටි සකස්වීම පිළිබඳ වැදගත් ඓතිහාසික තොරතුරු සපයයි. ඉතාම ප්‍රකට ඒවා නම් සිංකල කුටි සහ වෙටාර් කුටිය. මෙම කුටි දෙක පෙන්වා දෙන්නේ මෙම පූර්ව ජනවාර්ගික කණ්ඩායම් දෙක දෙමළ කතා කරන්නන්ගේ කුලයට සහ වරිග ව්‍යුහයට අන්තර්ගතකරණය වී ඇත්තේ ඔවුන්ම මෙම ප්‍රදේශයේ ස්ථාපිත වූවාට පසුවය. මලවරකන් කුටි සම්බන්ධයෙන් ගත් කළ කේරල කඳුකරයෙන් පැමිණි සංක්‍රමණික ගෝත්‍ර කණ්ඩායම් එලෙසම අන්තර්ගතකරණය වී ඇත.තෙවනුව දකුණු ඉන්දියාවේ ස්වාධීන කුල වන චෙට්ටි එසේත් නැතහොත් වෙළෙන්දෝ වෙල්ලාල කුලයේ වරිග සහ උප කුල ව්‍යුහයන්ට ස්වීකරණය වී ඇති අතර ඔවුන්ගේ සිංහල ප්‍රතිවර්ගය සම්බන්ධයෙන් ගත් කල මෙය සත්‍ය වන්නේ හෙට්ටිගේ, හෙට්ටිආරච්චි, ලද්දුවහෙට්ටි යන වාසගම් සහිත ගොවිගම කුලයේ මුල් උප කුල සම්බන්ධයෙන් ද මෙය ප්‍රත්‍යක්ෂ වන නිසාය….”

ආචාර්ය නීලන් තීරුචෙල්වම් අනුස්මරණය වෙනුවෙන් මහාචාර්ය ගණනාථ ඔබේසේකර 2004 වසරේ ජූලි 29 දින ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ දී කරන ලද මෙම දේශනය The Matrilineal East Coast Circa 1968: Nostalgia and Post Nostalgia in Our Troubled Time වශයෙන් 2004 දී පල විය. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කරුණා කණ්ඩායම බිඳී ගොස් හටගත් අභ්‍යන්තර යුද්ධයෙන් නැගෙනහිර පළාත උණුසුම්ව තිබූ තත්වයක් තුළ ඒ පිළිබඳ සඳහනක් මෙම දේශනයේ ආරම්භයේ වෙයි.

ලංකා ඉතිහාසය පිළිබඳ මුල්කාලීන කෘති හා සැසඳීමේදී මහාචාර්ය ඔබේසේකරගේ මෙම රචනාව සමග Buddhism Nationhood and Cultural Identity, The Coming of Brahmin Migrants: The Śudra Fate of an Indian Elite in Sri Lanka සහ The Many Faces of the Kandyan Kingdom, 1591-1765: Lessons For Our Time? යන රචනා ඥාන මීමංසාත්මකව සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසිය හැක්කේ මහාචාර්ය ඔබේසේකරගේ ග්‍රන්ථාවලී සංකරණයෙන් සහ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සහ නන්දන වීරරත්න සංස්කරණයෙන් පලවූ දුර්ලභ ඓතිහාසික ග්‍රන්ථ නම් මහනුවර සහ කෝට්ටේ යුගවල ප්‍රාදේශීය ග්‍රන්ථ වලින් හෙලිවන අප්‍රකට ඉතිහාස අධ්‍යයනය තුළ ඒවා පිහිටුවිය හැකි නිසාය. කෙසේ නමුත්, මෙම ලිපිය හෙලන අන්තර් දෘෂ්ටීන් ජනවාර්ගිකත්වය, කුලය, ආගම පිළිබඳ අධිපති ඉතිහාස ආඛ්‍යානයන් ගැටළුවට ලක් කරන බව පැහැදිළිය.මෙම කොටසෙහි සාකච්ඡා කෙරෙන්නේ මඩකලපු ප්‍රදේශයේ සංස්කෘතික සුවිශේෂත්වය පිළිබඳවය.

මඩකලපු ප්‍රදේශයේ මාතෘවංශික ඥාති ක්‍රමය සහ සමාජ ව්‍යුහය

කරයිතිව් හි පත්තිනි ප්‍රතිමාව
කරයිතිව් හි පත්තිනි ප්‍රතිමාව

මඩකලපු ප්‍රදේශයට ඉහත සාකච්ඡාවේ ඇති සම්බන්ධය කුමක් ද? මා මාගේ ආචාර්ය උපාධිය අවසන් කල පසු හැට ගණන් වල මැද පසුවන විට සිංහල ප්‍රදේශයේ පත්තිනි ඇදහිල්ල පිළිබඳ මගේ අධ්‍යයනය තරමක් දුරට සම්පූර්ණ කර තිබුණි. නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ පත්තිනි ඇදහිල්ල පුළුල්ව ව්‍යාප්තව තිබුණු බව මා දැන සිටියත් එම ප්‍රදේශය පිළිබඳ අධ්‍යයනය කිරීමට මම පසුබට වීමි. එහිදී මගේ උනන්දුව ඇවිලවූ කරුණක් නම් මෙම ඇදහිල්ල මාතෘවංශික පෙළපත සමග පවතින සමාගමයයි. මෙම සමාගමය ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය තත්වයක් වන අතර එසේ වුවත් මෙම ඇදහිල්ලේ උත්පත්ති ස්ථානය යැයි මා උපකල්පනය කරන සහ මා ක්ෂේත්‍ර පර්යේෂණ වල නියැලුනු කේරලයේ කොටුන්කොලුර් සහ කොචින් ආසන්න ප්‍රදේශ සම්බන්ධයෙන් ද එය එසේ නොවේ.

ශ්‍රී ලංකාව පුරාම සිංහල හා දෙමළ ප්‍රදේශවලට පොදු ව්‍යුහමය අංග ඇති බව ඔබ දැනුවත්ව සිටීමට ඉඩ ඇත. නිදර්ශනයක් ලෙස ඇවැස්ස විවාහය නම් ආදර්ශයෙන් යුතු ද්‍රවිඩියානු ඥාති ක්‍රමය යනුවෙන් හඳුන්වන දෙය රටේ සියලුම ප්‍රදේශවල තිබූ අතර කෙසේ නමුත් 1970 පමණ වන විට පහත රට ප්‍රදේශ වල මෙම වරණීය විවාහ පද්ධතිය සිංහල සහ මුස්ලිම්වරු අතර තරමක් දුරට වියැකී ගොස් තිබුණි. ශ්‍රී ලංකාවේ දී ව්‍යභිචාරී යැයි සැළකෙන චාරිත්‍රයක් වන සමාන්තර සහෝදර විවාහයට නැඹුරු වූ මැදපෙරදිග නිදන්ගතව ඇති පරමාදර්ශවලට ඇවැස්ස විවාහය ප්‍රතිවිරුද්ධ බව පෙනේ. ශ්‍රී ලංකාවේ දී ඉන්දියාව සම්බන්ධ කාරණයේ දී මෙන් බහුවිධ කුල නැති අතර ක්ෂත්‍රීයන් ද නැත. උතුරේ සිටින බ්‍රාහ්මණයෝ සාම්ප්‍රදායික ඉන්දියානු පටිපාටියට අනුව ශුද්‍රයෝ ලෙස සැළකෙන අධිපති වෙල්ලාල කුලයේ හුදෙක් සේවකයන් පමණි. සිංහල ප්‍රදේශවල දැකිය හැකි බ්‍රාහ්මණික සංක්‍රමණිකයෝ යැයි පෙනෙන අය කල් යෑමේදී ගොවිගම කුලයට පරිවර්තනය වී ඇත. මෙම ප්‍රදේශ දෙකේම යාතුකර්මීය අවශ්‍යතා ඉටු කිරීමට අවශ්‍ය සේවා කුල වල සීමිත පිරිසක් ද සහිත ජනගනයෙන් 50-60% අතර ප්‍රමාණයක් වෙල්ලාල හෝ ගොවිගම අයගෙන් සමන්විත වේ. මෙම වෙනස්කම් විනිවිද දක්නා නුවනින් ප්‍රථමයෙන් දැක සම්ප්‍රදායික ඥාති ක්‍රමය, ඉඩම් වෙන්කිරීම සහ වරප්‍රසාදිත පුරවැසිභාවයේ අයිතියක් වන රාජකාරි ක්‍රමය සමග ඒවායේ ඇති බැඳීම පෙන්නුම් කරමින් ඒවා න්‍යායකරණය කළ පුද්ගලයා ඒ. එම්. හෝකාර්ට්ය.

බස්නාහිර සහ උතුරු ප්‍රදේශ වල ඉතා වැදගත් සහ සංඛ්‍යාත්මක වශයෙන් ඉතා විශේෂ කුලය වූයේ මුහුදු සමග ඇසුරු කරන යන වාච්‍යාර්ථය ඇති ජනගහනයෙන් 15% ක් පමණ වන (සිංහලෙන්) කරාව හෝ (දෙමළෙන්) කරයියාර් කුලයය. වෙල්ලාල-ගොවිගම පරිකල්පනය අනුව කරයියාර්- කරාව හුදෙක් ධීවර කුලයක් පමණක්ය යන්න සිතා ගැනීම මතිභ්‍රමයකි. ඔවූහු ධීවරයෝ බවට සැකයක් නැත. නමුත් ගොවිගම අයට මෙන් ඔවුනට ද නාවිකයෝ සහ බාගදා හේවායෝ වශයෙන් නම් ඇති වෙනත් වෘත්තීන් තිබුණි. මුහුදු යන්නන් යැයි නිසි පරිදි ඇමතිය යුතු මේ අය සිංහල රාජ්‍යත්වයේ සම්ප්‍රදායික ඉඩම් බුක්ති ක්‍රමයට බැඳී නොතිබුණි. එනම්, ඔවුන් රාජකාරී ක්‍රමයට බැඳී නොතිබුණි. එතෙකුදු වුවත්, ඔවුනට සම්ප්‍රදායික ආදර්ශය අනුකරණයෙන් ඔවුන්ගේම සේවා කුල ඇත. කරයියාර්- කරාව ජනයා පෘතුගීසි සමයේ විශාල වශයෙන් කතෝළික ආගමට හැරුණු අතර මෙය කරණකොටගෙන, ඔවූහු මග්ගොන උතුරු ප්‍රදේශයේ සිට අඩුම තරමින් යාපනය දක්වා ප්‍රමුඛ කතෝළික ප්‍රජාව බවට පත් වූහ. පෘතුගීසීන්ට අනුව මෙලෙස එම ආගමට හැරීම ධීවර කර්මාන්තයේ දී ආර්ථික සහයෝගයක් ද, දේශීය සොල්දාදුවන් බඳවා ගැනීමේ පදනමෙන් යුදමය ආධාරයක් ද සැලසීය. දෙමළ රටේ නොව සිංහල වෙරළබඩ ප්‍රදේශවල සමහරුන් බ්‍රිතාන්‍ය යුගයේ දී බලවත් වෙළඳ ප්‍රභූන් බවට පත් වූයේ තවත් පිරිසක් වෙරළබඩ ගම් වල සම්ප්‍රදායික ධීවර වෘත්තියේ සහ මුහුදු යාමේ නියැලෙන අතරය.

මඩකලපු ප්‍රදේශය යම් පමණකින් මෙම කුල ව්‍යුහයට ප්‍රතිරෝධය දක්වයි. කෝට්ටේ යුගයේ සිට මෙම ප්‍රදේශයේ අධිපති කුලය වූයේ මුක්කුවාර්වරුය. ප්‍රාදේශීය කෝවිල් වල මෑතක් වන තුරුම කිසිම බ්‍රාහ්මණික පූජකයෙක් නොවූ අතර ඔවුන් වෙනුවට කෝවිල් සහ යාතූකර්මීය කටයුතු කරන ලද්දේ වීරශෛවවරු හෝ ලිංගයාත්වරු වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වන දොළොස්වන ශතවර්ෂයේ ප්‍රතිසංස්කරණ ශෛවවාදී බ්‍රාහ්මණික නොවන පූජකයන් විසිනි.ඩෙනිස් මැක්ගිල්ව්රේ ට අනුව වර්තමාන තත්වය නම් ප්‍රධාන කුල තුන වන්නේ මුක්කුවාර්, වෙල්ලාල සහ කුරුක්කුරල් වීමයි. අනෙක් අතට, කුල රටාව විශාල අධිපති කුලයක් සහ සේවා කුල සුලු ප්‍රමාණයක් සහිත ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට සමාන වේ. ඊටත් වඩා අරුමැති දෙය නම් රටේ අනෙක් ප්‍රදේශවල කෙනෙකුට දැකිය හැකි ශක්තිමත් පීතෘවංශික අවධාරණයක් සහිත ද්වි පාර්ශවීය ඥාති ක්‍රමයට වෙනස්ව මඩකලපු ප්‍රදේශය ව්‍යුහගත වී ඇත්තේ කුටි (සිංහල සහ දෙමළෙන් මඩු යන අර්ථය ඇති ) ලෙස හඳුන්වන මාතෘවංශික වරිග ඇසුරිනි.

පත්තිනි ආරූඩයෙන් නැටීම (කොරවේලි මඩකලපුව)
පත්තිනි ආරූඩයෙන් නැටීම (කොරවේලි මඩකලපුව)

බාගදා, කරයියාර්වරු කිහිපදෙනෙක් හැරුනු විට සියලුම කුල සතුව මාතෘවංශික කුටි තිබුණ අතර ඊටත් වඩා පුදුමැති දෙය නම් මුස්ලිම්වරුන් අතර ද පවතින රටාව මෙයම වීමයි. කාරණ තවත් සංකීර්ණ කරන්නේ නම් විවාහ නීති ස්වාමියා බිරිඳගේ ඥාති සමූහයේ වාසයට යන බින්නවාසික නැඹුරුවකින් යුක්ත වීමයි. සිංහලයා අතර සුළු විවාහ නීතියක් වන බින්නවාසිකත්වය මෙම මඩකලපු සමූහ අතර ප්‍රතිමානක නීතියක් බවට පත්වී ඇතුවා සේය. මේ හා සමාන මාතෘවංශික ජන සමූහ මලයාවේ නෙග්‍රි සෙම්බිලාන් වල සහ සුමාත්‍රාවේ මෙනංකබෝ වල සාම්ප්‍රදායිකව දැකිය හැකි වුවත් බොහොමයක් මුස්ලිම් ලෝකය තුළ මෙය දුර්ලභ විය. කෙසේ නමුත්, එක් ව්‍යතිරේඛයක් ඇත. මුස්ලිම් සහ හින්දු යාබද මාතෘවංශික සමූහ උතුරු කේරලයේ මප්පිලාවරු සහ ටියිවාවරු අතර දැකිය හැකි අතර එමනිසා මෙය මඩකලපු දෙමළ මුස්ලිම් සහ හින්දු සංක්‍රමණයේ මුල් ප්‍රදේශ වු බව නිසැක විය හැකි තරම්ය. කෙසේ නමුත්, කෙනෙක් වර්තමාන අරාබි ජාතීන්ගේ පරමාදර්ශ සැලකිල්ලට ගන්නේ නම් මුස්ලිම්වරු හා සම්බන්ධ වූ ත්‍රිවිඩාකාර වෛධර්මිකතාවයක් තිබුණි. එනම්, මාතෘවංශික ඥාති ක්‍රමය, බින්නවාසිකතාව සහ ඇවැස්ස විවාහයයි.

කේරලයේ සම්භාව්‍ය මාතෘවංශික පෙළපත් ක්‍රමය වන්නේ මධ්‍යම කේරලයේ නායර්වරුන්ගේ ක්‍රමයය. එහිදී මාතෘවංශික මූලධර්මය කොතරම් විධිවත්ව අනුගමනය කරන්නේ ද කිවහොත් කාන්තාවගේ ස්වාමියා හෝ ස්වාමිවරු හුදෙක් නන්නාදුනන හෝ එසේත් නැතහොත් සංස්ථාපිත ඉඩම් හිමි ඒකකය වශයෙන් ක්‍රියා කරන මාතෘවංශය හෙවත් තරවද් සම්බන්ධයෙන් කවරහෝ බලයක් නැති නොවැදගත් පිටස්තරයෙකි. සංස්ථාපිත දේපළ උරුම වන්නේ ස්ත්‍රී පෙළපතින් වන අතර එනම් පියාගෙන් පුතාට නොව මවගේ සහෝදරයාගෙන් තම සහෝදරියගේ පුතාටය.පොදුවේ මාතෘවංශික ඥාති ක්‍රමයේ දී පියා නොව මවගේ සහෝදරයා අධිකාරී පුද්ගලයා වන අතර මෙය මැලිනොව්ස්කි අනුමාන කළ ලෙස ඊඩිපස් සංකීර්ණයේ විකෘති පිටපතකට යොමු කරයි. සංස්ථාපිත මාතෘවංශික ඉඩම් හිමිකාර ඒකක නොමැති මඩකලපු ඥාති ක්‍රමය හා සම්බන්ධයෙන් ගත් කල මෙය එසේ නොවේ. කෙසේ නමුත්, යටත් විජිත යුගයන් ට පෙර මෙම කුටි සතුව පීතෘවංශික ඉඩම් හිමිකාර සංස්ථාවන් හෝ මා සහ එඩමන්ඩ් ලීච් විග්‍රහ කළ සිංහල ප්‍රදේශ වල වාසගම් හා සමාන වන සංස්ථාපිත කෘත්‍යයයන් තිබී ඇත. නමුත්. මෑත කාලීන අධ්‍යයන පෙන්වා දී ඇත්තේ මුලින් මුලින් උග්‍ර මාතෘවංශ පවා යාබද පීතෘමූලික ව්‍යුහයන්ගේ සහ නෛතික සම්මතයන්ගේ වෙනස්වීම බලපෑම හේතුකොට ගෙන සැළකිය යුතු ලෙස වෙනස් වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ දී මඩකලපුවට ද සාමාන්‍යයෙන් සමාජයට පොදු වූ නෛතික සම්මතයන්ට අනුකූල වීමට සිදුවූ අතර සියලු ඒකාංශ ව්‍යුහයන් උග්‍ර ලෙස බිඳ දැමූ විවාහය, දික්කසාදය, උරුමය පිළිබඳ බ්‍රිතාන්‍ය නීති මගින් යළි වෙනසකට ලක් කළ බිහිසුණු රෝම ලන්දේසි නීතිය මත පදනම් වීමට සිදු විය. එතෙකුදු වුවත්, මඩකලපු කාන්තාවන්ට මුස්ලිම් ප්‍රදේශ වල පවා පවුලේ වතු වලින් 2/3 දෙනු ලැබීම ඉතා අපූරුය. තවද, සම්ප්‍රදායික සිංහල චාරිත්‍ර මෙන් නොව අනන්තර ඇවැස්ස විවාහය සිදුවන විට දෑවැද්ද ද අනිවාර්ය වේ. කාන්තාවන්ට නෛතිකව හිමිවන දෑවැද්ද හා බැඳුනු බින්නවාසිකතාව විවාහක සහෝදරියන් යාබද ස්ථානීකරණයකට යොමු කරන අතර මෙය ඔවුනට එකමුතුබවේ සහ ආත්ම අභිමානයේ මහත් හැඟීමක් ලබා දේ. මා අනුමාන කරන ආකාරයට පළාතේ මෑත දේශපාලන ආරවුල් හේතු කරගෙන පිරිමින් පිටතට සංක්‍රමණය වන විට එය පද්ධතියට ශක්තියක් වී ඇත. කෙසේ නමුත්, මෙම තොරතුරු මෙම පළාතේ සියලු මාතෘවංශික කුල සම්බන්ධයෙන් සනාථ කිරීමට ප්‍රමාණවත් මානවවංශ තොරතුරු නැත.

තම්බිලුවිල් පත්තිනි කෝවිල
තම්බිලුවිල් පත්තිනි කෝවිල

කුල සහ මාතෘවංශික ඥාති ක්‍රමය අතර ඇති සම්බන්ධය කුමක් ද? මගේම පර්යේෂණ සහ ලෙස් හියැට්ගේ පර්යේෂණය සහ පසුකාලයේ ඩෙනිස් මැක්ගිල්ව්රේ ගේ සහ මාර්ක් විටේකාර් ගේ ඒවා ද මත පදනම් වෙමින් මට කතා කළ හැක්කේ පළාතේ වෙල්ලාල කුලය වෙනුවෙන් පමණි. ගම් හතරක් මා හොඳින් දැන සිටියෙමි: තම්බිලුවිල්, පට්ටිමෙතු, වීරමුණෙයි, කරයිතිව්.

මගේ ක්ෂේත්‍ර පර්යේෂණ සමයේ තම්බිලිවිල් ගමේ මාතෘවංශික කුටි පිළිබඳ සංක්ෂිප්ත අදහසක් ඔබට දීමට මට ඉඩ දෙන්න. තම්බිලුවිල්හි කුල 5 ක් ඇත.අධිපති වෙල්ලාල කුලයෙන් 90% ක ජනහනයක් සමන්විත වේ. ඊට අනුකූල සේවා කුල වන්නේ තත්තාර් (රන්කරුවන්), කොල්ලාර් (ලෝකුරුවන්), වන්නාර් (රෙදි සෝදන්නන් ) සහ අම්බත්තාර් (කරණවෑමියන්)ය.වෙල්ලාල සහ මුක්කුවාර්වරුන් අතර විටින් විට විවාහ සබඳතා ඇති වුවද වරිග පරමාදර්ශීයව බහිර්ජන්‍ය විවාහය මගින් හැසිරවෙන අතර කුල බොහෝ සෙයින් අන්තර්ජන්‍ය විවාහයට නැඹුරුය. මාතෘවංශික නැගෙනහිර වෙරළ පුරාම වරිග 7 ක් පිළිබඳ සඳහන් ඇත. එමෙන්ම මට්ටකලපු මන්මියන් කෘතිය තම්බිලුවිල් ගම සඳහා නම් හතකින් යුතු වරිග සඳහන් කරයි. ඉන්දු ආර්ය චින්තනයේ සුබ ඉලක්කමක් නිසා 7 යන ඉලක්කම යථාර්තයේදී හුදෙක් ගුප්ත සංඛ්‍යානවේදයකි. ඇත්තෙන්ම ගත් කළ, තම්බිලුවිල් හි වෙල්ලාල කුලය ඇතුළත මාතෘවංශික වරිග 12 ක් ඇති අතර එයිනුත් 4 ක් මට්ටකලපු මන්මියන් කෘතියේ සඳහන්ය.

මට්ටකලපු මන්මියන් කෘතිය
මට්ටකලපු මන්මියන් කෘතිය

මෙහි ස්ථිර නම්බුකාර තරාතිරම් නැත. මක්නිසාද තත්වය යන්න පුළුල් ලෙස තරඟකාරීත්වයකට ලක් වී තිබෙන බව පෙනේ. ප්‍රථමයෙන් සඳහන් කරන ලද මුල් වරිග තුන සතුව දළ වශයෙන් සමාන තත්වයක් ඇති බව පෙනී ගිය නමුත් බොහෝ විස්තර වලට අනුව කන්තන් සහ කට්ටපට්ටාන් ඉහළම තත්වය උසුලන බවත් වරිග අතර විවාහ සිදුවන බවත් පෙනේ.

A 1. කන්තන් කුටි, කට්ටපට්ටාන් කුටි යන දෙකම මට්ටකලපු මන්මියන් කෘතියේ සඳහන්ය.
A 2. කුරුක්කුරල් කුටි, නමුත් මැක්ගිල්ව්රේ පෙන්වා දී ඇත්තේ කූරුක්කුරල්වරු වෙනම කුලයක් ලෙස සැළකිය යුතු බවයි.
A 3. චෙට්ටි (මුලින් වෙළෙඳුන් වුවත් වර්තමානයේ ගොවීන්ය.)
2. කුරකල්ලපන් කුටි (අර්ධ වශයෙන් මිශ්‍රය ) මෙහි සම්භව පුරාවෘත්ත පැහැදිළි නැත.
3. මලවරකන් කුටි, ( කේරළයේ කඳුකර ප්‍රදේශයක් වන මල්නද් වලිනි )
4. මුන්නන් කයිකාවතී කුටි ” සැට අත් වළලු වරිගය” යනුවෙන් හඳුන්වන මෙය ද එතරම් පැහැදිළි නැති කණ්ඩායමකි. ඔවුන්ගේ කාන්තාවන් වළලු හැටක් පැළඳිය යුතුය.
5. පනික්කාර් එසේත් නැතහොත් අලි පුහුණු කරන්නන් නම් වන මෙම කණ්ඩායම වර්තමානයේ තම සම්ප්‍රදායික වෘත්තිය නොකරන තරම්ය.
6. චරිවේලි කුටි, මට්ටකලපු මන්මියන් කෘතියේ සඳහන් තවත් අපැහැදිළි වරිග නාමයකි.
7. සිංකල කුටි,(“සිංහල වරිගය”)
8. වෛටියන් කුටි (“වෙද වරිගය “) මට්ටකලපු මන්මියන් කෘතියේ සඳහන්ය.
9. වෙටාර් කුටි (“වැද්දා වරිගය”)

මතු සම්බන්ධයි

උපුටා පල කරන්නේ නම් මූලාශ්‍රය සඳහන් කරන්න

Advertisements