අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය – ගණනාථ ඔබේසේකර (3 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (3 කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

“මඩකලපු සහ අම්පාර දිස්ත්‍රික්ක වල දෙමළ කතා කරන කොටස් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දකුණු කොටස, යාපනය සහ උඩරට දෙමළ ප්‍රදේශවලින් සංස්කෘතිකව, සමාජ විද්‍යාත්මකව වෙනස් කොට දක්වන සමාජ, ආර්ථික, දේශපාලන හා ආගමික රටා මෙම ප්‍රදේශයේ ගැඹුරින් මුල් බැසගෙන ඇත. නැගෙනහිර වෙරළේ දෙමළ සහ මුස්ලිම් සංස්කෘතික සංකීර්ණත්වයට, ඒකාබද්ධ ගොවිතැන් ක්‍රම සහ මිශ්‍ර ගම් වාසස්ථාන, මාතෘවංශික වරිග පදනම් වූ කෝවිල් සහ (මුස්ලිම්) දේවස්ථාන පාලක භූමිකා, මාතෘමූලික විවාහ රටා සහ මියයාමට පෙර දෑවැද්දක් ලෙස ධනය (නිවාස සහ ඉඩම්) පැවරීම, බ්‍රාහ්මණික නොවන හින්දු යාතුකර්මීය සම්ප්‍රදායන්,බාවා සහ (මුස්ලිම්) සන්න්‍යසිවරුන්ගේ කුල්මත් මුස්ලිම් සුෆී භක්ති රැඟුම් සහ පැරණි සාහිත්‍ය ආකාරයන් සුරැකෙන ප්‍රාදේශීය දෙමළ භාෂා ව්‍යවහාරයන් ආදිය ඇතුළත්ය. ඉහළ කුල වල යාපන දෙමළ ජනයා, විශේෂයෙන්ම යාපනයේ වෙල්ලාල රදළයෝ මඩකලපු දෙමළ ජනයා පහත් කොට සළකන්නේ ඔවුන්ගේ පහත් යැයි කියන කුල සම්භවය නිසාත් ඔවුන්ගේ සංස්කෘත නොවන යාතුකර්ම මාදිළි නිසාත්ය. මඩකළපු දෙමළ ජනයා පවා උතුරේ ජනයාගේ මෙම උභතෝකෝටික දෘෂ්ටියට පරස්පර ප්‍රතිචාර දක්වති: යාපනවාසීන් මහේච්ඡ සහ ඉතා උගත් යැයි ඇගයෙන අතරේ ඔවුන් උඩඟු, උපයෝජනාත්මක සහ ගෝත්‍රවාදී ලෙස ද දකී. දෙමළ ඊලාම් දෘෂ්ටිවාදය සහ මෑත දශක වල ප්‍රචණ්ඩ සිද්ධීන් මඩකලපුවේ සිය රටට ආවේණික ප්‍රාදේශීය ලැදිකම අඩු වැදගත් බවට පත්කර ඇතත් එය කවර හෝ දීර්ඝ පරාසයක විසඳුමක දී තවදුරටත් විභවාත්මක සාධකයකි.”

ආචාර්ය නීලන් තීරුචෙල්වම් අනුස්මරණය වෙනුවෙන් මහාචාර්ය ගණනාථ ඔබේසේකර 2004 වසරේ ජූලි 29 දින ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ දී කරන ලද මෙම දේශනය The Matrilineal East Coast Circa 1968: Nostalgia and Post Nostalgia in Our Troubled Time වශයෙන් 2004 දී පල විය. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කරුණා කණ්ඩායම බිඳී ගොස් හටගත් අභ්‍යන්තර යුද්ධයෙන් නැගෙනහිර පළාත උණුසුම්ව තිබූ තත්වයක් තුළ ඒ පිළිබඳ සඳහනක් මෙම දේශනයේ ආරම්භයේ වෙයි.

ලංකා ඉතිහාසය පිළිබඳ මුල්කාලීන කෘති හා සැසඳීමේදී මහාචාර්ය ඔබේසේකරගේ මෙම රචනාව සමග Buddhism Nationhood and Cultural Identity, The Coming of Brahmin Migrants: The Śudra Fate of an Indian Elite in Sri Lanka සහ The Many Faces of the Kandyan Kingdom, 1591-1765: Lessons For Our Time? යන රචනා ඥාන මීමංසාත්මකව සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසිය හැක්කේ මහාචාර්ය ඔබේසේකරගේ ග්‍රන්ථාවලී සංකරණයෙන් සහ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සහ නන්දන වීරරත්න සංස්කරණයෙන් පලවූ දුර්ලභ ඓතිහාසික ග්‍රන්ථ නම් මහනුවර සහ කෝට්ටේ යුගවල ප්‍රාදේශීය ග්‍රන්ථ වලින් හෙලිවන අප්‍රකට ඉතිහාස අධ්‍යයනය තුළ ඒවා පිහිටුවිය හැකි නිසාය. කෙසේ නමුත්, මෙම ලිපිය හෙලන අන්තර් දෘෂ්ටීන් ජනවාර්ගිකත්වය, කුලය, ආගම පිළිබඳ අධිපති ඉතිහාස ආඛ්‍යානයන් ගැටළුවට ලක් කරන බව පැහැදිළිය.මෙම කොටසෙහි සාකච්ඡා කෙරෙන්නේ මඩකලපු ප්‍රදේශයේ සංස්කෘතික සුවිශේෂත්වය පිළිබඳවය.

මඩකලපු ප්‍රදේශයේ මාතෘවංශික ඥාති ක්‍රමය සහ සමාජ ව්‍යුහය

හෙට්ටිවරයෙක් 1870 දී
හෙට්ටිවරයෙක් 1870 දී
මෙම කුටි සමහරක අරුත සහ එවා හා බැඳුනු කාර්යපටිපාටි එතරම් අරුතක් ගෙන නොදුන්නද ඒවා සියල්ල ගොවීන් අයත් වන වෙල්ලාල පාඨය යටතේ එක්තැන් වී ඇත.මෙම වරිග වල අංග දෙකක් සැළකිල්ලට ගත යුතු තරම්ය. පළමුවැන්න නම් කුටි ක්‍රියා කරන්නේ බොහෝ සෙයින් වෙල්ලාල කුලයේ උප කුල ලෙසය. එහිදී තරාතිරම් වලට තරඟයක් ඇතත් සමහරක් ඒවා අනෙක්වාට වඩා උසස්ය. දෙවැන්න නම් මෙයින් සමහරක් කුටි සකස්වීම පිළිබඳ වැදගත් ඓතිහාසික තොරතුරු සපයයි. ඉතාම ප්‍රකට ඒවා නම් සිංකල කුටි සහ වෙටාර් කුටිය. මෙම කුටි දෙක පෙන්වා දෙන්නේ මෙම පූර්ව ජනවාර්ගික කණ්ඩායම් දෙක දෙමළ කතා කරන්නන්ගේ කුලයට සහ වරිග ව්‍යුහයට අන්තර්ගතකරණය වී ඇත්තේ ඔවුන්ම මෙම ප්‍රදේශයේ ස්ථාපිත වූවාට පසුවය. මලවරකන් කුටි සම්බන්ධයෙන් ගත් කළ කේරල කඳුකරයෙන් පැමිණි සංක්‍රමණික ගෝත්‍ර කණ්ඩායම් එලෙසම අන්තර්ගතකරණය වී ඇත.තෙවනුව දකුණු ඉන්දියාවේ ස්වාධීන කුල වන චෙට්ටි එසේත් නැතහොත් වෙළෙන්දෝ වෙල්ලාල කුලයේ වරිග සහ උප කුල ව්‍යුහයන්ට ස්වීකරණය වී ඇති අතර ඔවුන්ගේ සිංහල ප්‍රතිවර්ගය සම්බන්ධයෙන් ගත් කල මෙය සත්‍ය වන්නේ හෙට්ටිගේ, හෙට්ටිආරච්චි, ලද්දුවහෙට්ටි යන වාසගම් සහිත ගොවිගම කුලයේ මුල් උප කුල සම්බන්ධයෙන් ද මෙය ප්‍රත්‍යක්ෂ වන නිසාය. සිව්වැනිව වෙද වරිගය හුදෙක් වැද්දා වරිගයට ඉහලින් ඇත්තේ මන්දැයි යන ප්‍රහේළිකාවට බාගදා හේතුව විය හැක්කේ මෙම කුල දෙකම දේහයන් සිදුරු කිරීම හා සම්බන්ධ වන නිසාත් එමගින් ලේ සහ මරණය හා බැඳුනු කිලි සමග ඇසුරට වැටෙන නිසාය.ශ්‍රී ලංකාවේ මෙම මාතෘවංශික කුල ක්‍රමයේ අද්විතීයභාවය වන්නේ එහි ඓතිහාසික සුනම්‍යතාව හා වරිගය සහ උප කුල ව්‍යුහය අතර පවතින සමරූපීතාවයි.

තම්බිලුවිල් හි පූජකයන්
තම්බිලුවිල් හි පූජකයන්

මාතෘවංශික වරිග තවදුරටත් සංස්ථාපිත ඉඩම් හිමිකාර ඒකක නොවේ නම් මාතෘ වංශය සතුව සමාජ ව්‍යුහය තුළ කිරීමට ඇති කාර්යය කුමක්ද? මෙයට පිළිතුර වන්නේ එකිනෙක මාතෘවංශික වරිග කෝවිල්වල සහ මුස්ලිම් දේවස්ථාන වල නිළධාරීන් පත් කරන බවත් විශේෂයෙන්ම කෝවිල් සඳහා වන්නකාර්( සිංහලෙන් බස්නායක) ද මුස්ලිම් දේවස්ථාන සඳහා මරික්කාර් ද වශයෙන් වන තීරක නිළ සඳහා පත් කරනු ලබන්නේ පරම්පරා උරුමය හා බැඳුනු කාර්යකට හිමිකම් කියන වරිගයක් විසිනි. මාගේ මූලික තොරතුරු හින්දු කුටි වලින් ගත් නිසා මාගේ ක්ෂේත්‍ර පර්යේෂණ සමයේ තම්බිලුවිල් හි කන්නකි කෝවිලේ පොදුවේ නිළවල සහ වරිග වල කාර්ය වෙන් කර දීම පිළිබඳ සංක්ෂිප්තව සහ ක්‍රමානුරූපව විස්තර කිරීමට මට දැන් ඉඩ දෙන්න.

වයිකචි කටන්කු නමින් හඳුන්වන වාර්ෂික පූජෝත්සවය තම්බිලුවිල් හි දවස් 7 ක් හා අනෙක් ප්‍රදේශ වල දවස් 8 ක් මැයි මාසයේ දී පවත්වයි.ඉන් සැමරෙන්නේ දේවතාවිය තම ස්වාමියා වූ කොවුලාන මැරූ වියරුවෙන් තම පියයුරු කඩා මදුරායි පුරයට විසිකර එය ගින්නෙන් අවුලුවා විනාශ කල ආකාරය පිළිබඳ පුරාවෘත්තයය. මෙය සම්මත පුරාවෘත්තය වන අතර සීලප්පටිකාරම් හි මෙන්ම සිංහල සාමූහික යාතුකර්ම තුළ ද ඇත්තේ මෙයය. මැයි මස පුරපසළොස්වක දිනයට වැටෙන සත්වෙනි දිනය දේවතාවියගේ කෝප සිසිලනය සඳහා වන අතර එය කුයිරට්ටි සිසිලනය ලෙස හඳුන්වයි.තම්බිලුවිල් හි පූජෝත්සවයේ දී නිළ භාරකරු හෝ වන්නකාර් පැමිණෙන්නේ කට්ටපට්ටාන් වරිගයෙන් වන අතර කප්පුකනාර් හෝ පූජකයා(සිංහලෙන් කපුරාල ) පැමිණෙන්නේ කේරලය සමග ඇති සම්බන්ධය නිසා මල්ලවරකන් වරිගයෙනි. ඉහළ තත්වයේ කුරුක්කුරල්වරු (“ගුරු” යන වචනයේ නිරුක්තියෙන් )පූජෝත්සව සිදු කරන්නේ වෙනත් කන්නකී නොවන කෝවිල් වල වන අතර එතැන්හි යම් යම් ඉන්දු ආර්ය දෙවිවරුන්ගෙන් යුත් සංස්කෘතකරණය වූ දේව මණ්ඩලයක් ක්‍රියාත්මකය. ප්‍රථම දිනයේ දී සවස 4 ට පමණ විශේෂ පූජාවක් වන්නකාර් තමා වෙනුවෙන් සහ කට්ටපට්ටාන් වරිගය වෙනුවෙන් කරයි. දිවා කාල සහ සවස පූජා කරනු ලබන්නේ සිංකල කුටි විසිනි. එතැන් පටන් දිනකට පූජා තුනක් ඇති අතර උදේ 6 ට මල් පූජාවකුත් දිවා කාලයේ සහ සවස ඉතා විචිත්‍රවත් පූජා පවත්වනු ලැබේ. පුජා සඳහා නියමිත වරිගයේ ඉතිරි අය මෙසේය.

දෙවෙනි දිනය- කුරුක්කුරල් කුටි

තෙවැනි දිනය -කුරකල්ලප්පන් කුටි

මඩකලපුව කිරාන් පත්තිනි කෝවිලේ සිසිලන යාතුකර්ම
මඩකලපුව කිරාන් පත්තිනි කෝවිලේ සිසිලන යාතුකර්ම

සිව්වන දිනය- කට්ටපට්ටාන් කුටි. අසුභ සිකුරාදා දිනයක මෙය සිදුවේ නම් පූජා සිදු කරනු ලබන්නේ තම්බිලුවිල් හි ලෝකුරුවන් සහ රන්කරුවන්ය.මොවුන් (දේවතාවියගේ වල්ලභයා)කොව්ලාන පාවා දුන්නෝ ලෙස පත්තිනි පුරාවෘත්තයේ දුෂ්ට පුවතක් ලබා ඇති කුල වේ. කෙසේ නමුත් තොරතුරුකරුවන් මට පැවසූවේ මෙම චාරිත්‍රය නැගෙනහිර වෙරළේ අනෙක් කෝවිල් වල දැකිය නොහැකි බවයි. පත්තිනි කෘති තුළ ඇති රන්කරුවන්ගේ නිශේධාත්මක ප්‍රතිරූපය සහ සේවා කුලයක් ලෙස ඔවුන්ගේ සාපේක්ෂ ස්වාධීනත්වය පත්තිනි ඇදහිල්ලේ කටයුතු වලින් ඔවුන් ඈත් කිරීමට නැඹුරු කර ඇත. සිංහල සහ දෙමළ ප්‍රදේශ වල ඔවූහු ඉතා ධනවත් සහ උගත් බවට පත්ව ඇති අතර මෑතක දී නව කුල සමාගමයන් ඇති කර ඇත.

පස්වෙනි දිනය -මුන්නන් කයිකාවති කුටි

සයවන දිනය – වෙටාර් කුටි

සත්වන දිනය – මෙම දිනයේ වරිග පූජා නැත. ඒ වෙනුවට පත්තිනි වෘත්තාන්තයේ පාඨ මුලු සතිය පුරාම ගයන අතර සිසිලනය පිළිබඳ පාඨ ගැයීම ඔස්සේ, බැතිමතුන් සිසිලන ආහාර අනුභව කිරීම ඔස්සේ සහ පූජනීය අළු වලින් ශරීර ආලේප කිරීම ඔස්සේ උච්චස්ථානයට පත්වේ.මෙය මහා උත්සවශ්‍රීයේ දිනය හෝ පොංකල් දිනය වන අතර ප්‍රදේශයේ ජීවත් වන සිංහල, මුස්ලිම් ජනයා සිසිලන ආහාර ගනිමින් සහ දේවතාවියට යාතිකා කරමින් සහභාගි වන්නේ මෙයටය.මෙහිදී සිහිපත් කල යුතු දෙය නම් දකුණු ඉන්දියාවේ සෑම තැන්හිම මාතෘ දේවතා ඇදහිල්ල බෝවන රෝග සහ ලමා රෝග වැළැක්වීම සහ පොදුවේ මනුෂ්‍ය ශරීරයේ සහ රජයේ යහපත උදෙසා කැපවූ සිසිලන යාතුකර්ම හා බැඳී ඇති බවයි. මේ නිසා මුස්ලිම්වරුන්ට, සිංහලයන්ට මෙම යාතුකර්ම වලට සහභාගී වීම අරුතක් දනවයි. මීට වෙනස්ව සිංහල පත්තිනි ඇදහිල්ල තුළ සුවිශේෂ සිසිලන යාතුකර්ම නැත. ඒ වෙනුවට සිංහල දේවාල වල ගිනි පෑගීමේ හා දිය කැපීමේ යාතුකර්ම ඇති අතර එම යාතුකර්ම දෝස හෝ ඇවිස්සුණු රක්තය සහ සෙම් පිත් වශයෙන් මිනිස් ශරීරය තුළ ප්‍රකට වන පරිසරයේ ඇති ගින්නේ සහ ජලයේ ආකූල අංග සංකේතාත්මකව පාලනය කර තැබීමට උපකාරී වේ
.

කඩදොර පත්තිනි දේවාලේ දිය කැපීම
කඩදොර පත්තිනි දේවාලේ දිය කැපීම

පත්තිනි පුරාවෘත්තය හා බැඳුනු විචිත්‍රවත් යාතුකර්මීය නාටක සිංහල ප්‍රදේශවල ඇතත්, නැගෙනහිර වෙරළෙහි සැබැවින්ම එවැනි දේ නැත. ඒ වෙනුවට දේවතාවියගේ පුරාවෘත්තය යාතුකර්මීය රඟමඩල තුළ ගැයේ. කෝවිල්වල සිදු කරන යාතුකර්ම විධිවත් සහ සන්සුන් වන අතර සිංහලයන්ගේ මෙන් විකට සහ භාව විරේචන යාතුකර්ම වල ගිල්වන්නේ නැත. කෙසේ නමුත්, ප්‍රදේශ දෙකේම සමානව කෙරෙන පොල් කෙළිය සහ අං කෙළිය සම්බන්ධයෙන් ගත් කළ සත්‍යය මෙය නොවේ.මෙම ක්‍රීඩා දෙකම තරඟ කරන පාර්ශව අතර ආතතියෙන් බැඳුනක් වන අතර පරාජිත පිළට ජයග්‍රාහකයන් විසින් දොඩන අධික අශ්ලීල වදන් වලින් නින්දා ගෙන දේ. මගේ ක්ෂේත්‍ර පර්යේෂණ සමයේ සිංහල සහ දෙමළ ප්‍රදේශ දෙකේම උගත් ප්‍රභූන් මෙයට ප්‍රතිරෝධය දැක්වූ අතර අශ්ලීලතා පමණක් නොව පොදුවේ යාතුකර්මීය ක්‍රීඩාවම මුලිනුපුටා දැමීමට තැත් කලේය. සිංහල ප්‍රදේශවල ගම හෝ ගම් සමූහය උඩු පිළ හා යටි පිළ වශයෙන් බෙදුනි. මඩකලපුවේ දී බෙදීම වන්නේ උතුර සහ දකුණ වශයෙනි. උතුර වල්ලභයා වන කොවුලානගේත් දකුණ දේවතාවියගේත් පිළ් වේ. පිළ් දෙකේම නියෝජිතයන් සිටින මලවරකන් කුටි හැර ගමේ සියලුම වරිග කුමන හෝ එක පිළකට අයිති වේ. මලවරකන් කුටි වල අය දෙපිළේම ඇත්තේ කප්පුකන්නාර් පැමිණෙන්නේ මෙම කුටියෙන් නිසාය. දෙවියන්ගේ පිළට ඉහළම තත්වය ඇති නිසා කෝවිල් නිළධාරීන් දකුණු පිළට අයිති වන බව පෙනේ. සාකච්ඡාවේ මෙම කොටස මම අවසන් කරන්නේ මැක්ගිල්ව්රේ විසින් කරන ලද නැගෙනහිර වෙරළේ තත්වය පිළිබඳ කදිම සාරාංශයකිනි.

පානම අං කෙළිය
පානම අං කෙළිය

“මඩකලපු සහ අම්පාර දිස්ත්‍රික්ක වල දෙමළ කතා කරන කොටස් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දකුණු කොටස, යාපනය සහ උඩරට දෙමළ ප්‍රදේශවලින් සංස්කෘතිකව, සමාජ විද්‍යාත්මකව වෙනස් කොට දක්වන සමාජ, ආර්ථික, දේශපාලන හා ආගමික රටා මෙම ප්‍රදේශයේ ගැඹුරින් මුල් බැසගෙන ඇත. නැගෙනහිර වෙරළේ දෙමළ සහ මුස්ලිම් සංස්කෘතික සංකීර්ණත්වයට, ඒකාබද්ධ ගොවිතැන් ක්‍රම සහ මිශ්‍ර ගම් වාසස්ථාන, මාතෘවංශික වරිග පදනම් වූ කෝවිල් සහ (මුස්ලිම්) දේවස්ථාන පාලක භූමිකා, මාතෘමූලික විවාහ රටා සහ මියයාමට පෙර දෑවැද්දක් ලෙස ධනය (නිවාස සහ ඉඩම්) පැවරීම, බ්‍රාහ්මණික නොවන හින්දු යාතුකර්මීය සම්ප්‍රදායන්,බාවා සහ (මුස්ලිම්) සන්න්‍යසිවරුන්ගේ කුල්මත් මුස්ලිම් සුෆී භක්ති රැඟුම් සහ පැරණි සාහිත්‍ය ආකාරයන් සුරැකෙන ප්‍රාදේශීය දෙමළ භාෂා ව්‍යවහාරයන් ආදිය ඇතුළත්ය. ඉහළ කුල වල යාපන දෙමළ ජනයා, විශේෂයෙන්ම යාපනයේ වෙල්ලාල රදළයෝ මඩකලපු දෙමළ ජනයා පහත් කොට සළකන්නේ ඔවුන්ගේ පහත් යැයි කියන කුල සම්භවය නිසාත් ඔවුන්ගේ සංස්කෘත නොවන යාතුකර්ම මාදිළි නිසාත්ය. මඩකළපු දෙමළ ජනයා පවා උතුරේ ජනයාගේ මෙම උභතෝකෝටික දෘෂ්ටියට පරස්පර ප්‍රතිචාර දක්වති: යාපනවාසීන් මහේච්ඡ සහ ඉතා උගත් යැයි ඇගයෙන අතරේ ඔවුන් උඩඟු, උපයෝජනාත්මක සහ ගෝත්‍රවාදී ලෙස ද දකී. දෙමළ ඊලාම් දෘෂ්ටිවාදය සහ මෑත දශක වල ප්‍රචණ්ඩ සිද්ධීන් මඩකලපුවේ සිය රටට ආවේණික ප්‍රාදේශීය ලැදිකම අඩු වැදගත් බවට පත්කර ඇතත් එය කවර හෝ දීර්ඝ පරාසයක විසඳුමක දී තවදුරටත් විභවාත්මක සාධකයකි.” ( Dennis McGilvray, “Tamil and Muslim Identities in the East”)

මතු සම්බන්ධයි

උපුටා පල කරන්නේ නම් මූලාශ්‍රය සඳහන් කරන්න

ඡායාරූප http://invokingthegoddess.lk/ වෙබ් අඩවියෙනි

Advertisements