ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනිකකරණය – කුමුදු

ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනික කරණය

( හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව පිළිබඳ සටහනකි.)

“ ජේ.ආර්. ඇරඹූ මගෙහි අපි ඉදිරියට යමු! – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ” යනුවෙන් පළ කොට ඇති ලිපිය අගමැතිවරයා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුස්මරණ රැස්වීමක දී කළ කතාවකි (බලන්න, http://www.samabima.com/?p=15616 )

මෙම කතාවේ එන අදහස් අර්ධ න්‍යායික වෙසින් ඉදිරිපත් කරන දේශපාලන අලංකාරිකයකි. මෙහි දී ආසියාතික කලාපයේ රටවල ඉතා සංකීර්ණ ආර්ථික සංවර්ධනයේ ඉතිහාසය ආර්ථික නිර්බාධ කරණය පිළිබඳ සරල සූත්‍රයකට ලඝු කරන්නට දැරෙන උත්සාහය ප්‍රශ්න කළ යුතු ය.

ආසියානු කොටින්, කාර්මික කරණය සහ රජය

ආසියානු කොටින් වශයෙන් විවිධ සමූහකරණයන් ඇතුළත නම් කෙරෙන හොංකොං, දකුණු කොරියාව, සිංගප්පුරුව, තායිවානය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල අපනයන සහ කාර්මික කරණය නිසාවෙන් ආර්ථික සංවර්ධනය අත් පත් කර ගත් රටවල් ය. බ්‍රිතාන්‍ය විජිතයක් ව පැවති හොංකොං හැරුණු විට මේ අන් කිසිදු රටක් නිදහස් වෙළෙඳ පොළ ආර්ථිකයක් වීම සමීපයට පවා නො පැමිණියේ ය. ඒ සියල්ලේ ම ආර්ථිකයට මඟ පෙන්වීමේ සහ සම්බන්ධීකාරක භූමිකාවක් රාජ්‍යය ඉටු කළේ ය. මේ රටවල රජය ආර්ථික සංවර්ධනයෙහි ලා තීරණාත්මක මැදිහත් වීම් කළේ ය. (හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කරණය පිළිබඳ ජෝන් එෆ් කෙනඩි පාසලේ ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය පිළිබඳ මහාචාර්ය ඩානි රොඩ්රික්, Global Poverty Amid Global Plenty: Getting Globalization Right, http://americasquarterly.org/rodrik) මෙම රජයේ භූමිකාව ආර්ථික වර්ධනයට බල පෑ ආකාරය තීරණය කරන ඒ ඒ රටට සුවිශේෂ අභ්‍යන්තර සාධක, එනම් ප්‍රධාන කොට ම පන්ති සාධක තිබුනි.

ජාතික නීති වලින් නිදහස් ව විදේශීය ආයෝජකයන් රට තුළට කැඳවන ආසියාවේ පළමු විශේෂ ආර්ථික කලාප 1965 දී අරඹන ලද්දේ ඉන්දියාවේ ය. ( http://www.ibtimes.co.uk/sez-2-0-inside-failed-india-free-trade-zones-where-economic-miracle-mirage-1541192 )සිංගප්පූරුව නිර්බාධ ආර්ථිකය වැළඳ ගන්නේ 1960 ගණන් වල සිට ය. ඒ ලංකාව එසේ කරන්නට බොහෝ පෙර ය. චීනයේ පළමු නිදහස් වෙළෙඳ කලාපය ඇති කළේ ෂැංහයි වල නොව 1980 දී හොංකොං සමීපයේ පිහිටි ෂෙන්ජෙන් නගරයේ ය. ( http://internshipschina.com/development-chinas-special-economic-zones/ )

මේ හැම රටක ම ආර්ථික සංවර්ධනය ඒ රටවල කම්කරු පන්තිය අමානුෂික, දැඩි සූරාකෑමකට ලක් කිරීම මත පදනම් වී ය. අදත් චීනයේ ආර්ථික සංවර්ධනය යටතේ එරට දුගී පන්තීන් සූරාකෑමට ලක් වන අයුරු පිළිබඳ වාර්තා සුලබ ය. තවද, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පරිසර දූෂණයට ඉඩ සැලසීම හේතුවෙන් චීනය එරට පරිසරයත් සමස්ත වායු ගෝලයත් අතිශයින් දූෂිත කිරීම අද ලෝකයේ ම අවධානයට ලක් වූ කරුණකි. (බලන්න, How China Is Screwing Over Its Poisoned Factory Workershttps://www.wired.com/2015/04/inside-chinese-factories/, Sweatshops in China Continue reading ජේආර් : අසංගත දේශපාලන අලංකාරිකයක දාර්ශනිකකරණය – කුමුදු

රනිල්: දේශපාලන කතරේ ක්ෂේම භූමියක්ද ? මිරිඟුවක් ද? – ප්‍රජාතන්ත්‍ර විසිනි

“දේශපාලන කාන්තාරයට එකම සුදුස්සා රනිල්” යැයි වික්ටර් අයිවන් පවසා තිබේ. එය සාධාරණය කරන්නට ඔහු බොහෝ තර්ක ඉදිරිපත් කරයි. ඉන් සමහරක් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු ඒවා නොවේ. මේ ඉන් සමහරකි.

රනිල් “සාහිත්‍යය, කලාව වැනි විෂයන් සම්බන්ධයෙන් පවා” හොඳ අවබෝධයක් තිබෙන බව වික්ටර් පවසයි. එබඳු අවබෝධයක් ඇති බව ප්‍රකාශ කිරීම වගේම ඒ ක්ෂේත්‍රයට අදාළව කරන ක්‍රියා ද එක සේ වැදගත්ය. සරච්චන්ද්‍රට පහර දී බිම දමා ඇදගෙන ගියේ රනිල් ද නායකයෙකු වූ ජේ.ආර් ජනාධිපති පාලනය සමයේ ය. එම පහරදීම මෙහෙයවූ බවට ජනයා සාක්ෂි දරන එවක එජාප ජාතික සේවක සංගමයේ නායකයා වූ පියසේන ජයවීර එජාපයට කළ සේවයට රනිල් එජාප නායක සමයේදී සම්මාන පිරිනැමුණු බවට වාර්තා විය. සරච්චන්ද්‍රට කළ පහර දීම ගැන රනිල් ගේ එජාපය සමාව ඉල්ලන්නේ කවදාද?
Continue reading රනිල්: දේශපාලන කතරේ ක්ෂේම භූමියක්ද ? මිරිඟුවක් ද? – ප්‍රජාතන්ත්‍ර විසිනි

සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර

නිගමනය: සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම (අවසාන කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

ගණනාථ ඔබේසේකර
ගණනාථ ඔබේසේකර
“නැගෙනහිර වෙරළේ මෙන්ම වන්නියේ සෑම තැන්හිම සිටින මෙම පුරාණ සිංහල ගම්වාසීන්ට තමන් දීර්ඝ කාල පරිඡ්චේදයක් තිස්සේ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වූ දෙමළ ජනයා සමග යහපත් සම්බන්ධතා තිබුණි. රට පුරා සෑම ප්‍රදේශයකින්ම තෝරා ගන්නා ලද සහ දැඩි සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී සම්මුතියක් බාර ගැනීමට නැඹුරු වූ නව පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ. පූර්ව යටත් විජිත සහ මුල් යටත් විජිත කාලයන්හි කවර දේශපාලන ඒකත්වයක් පැවතිය ද ඒවා දැන් යළි අත්පත් කරගත නොහැකි ලෙස බිඳ වැටී ඇති බව පෙනේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා අවසානයේ දී දිවෙන තරම් දෙමළභාවය පිළිබඳ ඔවුන්ගේ සාකල්‍යකරණ දෘෂ්ටිවාදය සහ නිජබිම් ප්‍රබන්ධ නිර්මාණය කිරීම ඇරඹෙන විට මඩකලපු දෙමළ ජනයාට සානුකම්පිතව එල්.ටී.ටී.ඊ ට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම අප පුදුම විය යුක්තක් නොවේ. නමුත් මෙම දෘෂ්ටිවාදී සම්මුතිය දිගටම පවතීවි ද යන්න ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය. එසේත් නැතහොත්, සාකල්‍යකරණ දෘෂ්ටිවාද වල පැවැත්ම ෆූකෝ “මර්ධිත දැනුමේ නැගිටීම” වශයෙන් හැඳින්වූ තවත් සමාජ සංසිද්ධියක් අනුක්‍රමිකව බිහි කරන්නේ ද යන්න අනුමාන කළ හැකිය. මගේ අනුමානය වන්නේ නැගෙනහිර පමණක් නොව යාපනය දිස්ත්‍රික්කයේ පවා නිදහස් මැතිවරණ අවසානයේ දී නියෝජනාත්මක ආණ්ඩු වර්ධනය කරන්නේ නම් එය සිදුවනු ඇති බවයි. නියුරෝසියාවන් තුළ වේවා, දේශපාලනය තුළ වේවා මර්ධිත දෙයෙහි යළි පැමිණීම නීට්ෂේ අදහස් කළ “සනාතන යළි පැමිණීම” නොහඟවයි. මර්ධිත දෙය යළි පැමිණෙනු ඇති නමුත් ඒ වෙනත් වේශයකිනි, සමහර විට භයංකාර ලෙසය, සමහර විට පෙරට වඩා උසස් බවට පමුණුවනු ලදුවය – ඒ වනාහී කුලය පිළිගන්නා නමුත් අසමානතාව ප්‍රතික්ෂේප කරන සමකාලීන කුල සැකසුමෙන් අප දන්නා ආකාරයටය. සමහර විට, කෙසේ හෝ ප්‍රාදේශීය දැනුම සහ ප්‍රාදේශීය ව්‍යුහයන් එවැනි මර්ධනයකට ලක් කල හැකි අතර දේශපාලනිකව කතා කරන්නේ නම් ඒවාට යළි පැමිණීමට කොහෙත්ම අවස්ථාව නොලැබෙනු ඇත. සාකල්‍යකරණ දෘෂ්ටිවාද තුළ ප්‍රචණ්ඩත්වය සහේතුක කෙරන්නේ මේ නිසාය. බුර්ෂුවා බුද්ධිමතුන්ට නම් ආශ්චර්යමත් අරුතැති වචනයක් වන “විමුක්තිය” යන්න චේතනාව වන විට පවා කෙනෙකුට නූතන දේශපාලන ව්‍යාපාරයන්හි ඇති ප්‍රචණ්ඩත්වය සහේතුක කිරීම තුළින් සියලු ප්‍රකාර මර්ධිත දැනුම මෙන්ම විසම්මුතිය තලා දැමිය හැක. ආදර්ශ විමුක්ති ව්‍යාපාරයක් වන ප්‍රංශ විප්ලවය තුළ භීෂණයේ සහේතුකකරණය සහ විමුක්තිය යන දෙකම එකට පැවතුන බව අමතක කළ යුතු නොවේ. “බිහිසුණු සුන්දරත්වයක් පහළ වී ඇත” යනුවෙන් යේට්ස් පවසන විට ඔහු අයර්ලන්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉස්මතු කළේ මෙම විරුද්ධාභාසය යැයි මම සිතමි.” Continue reading සාකල්‍යකරණ දෘෂ්ටිවාද මතුවීම-අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය(අවසාන කොටස)– ගණනාථ ඔබේසේකර

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සමාජ-ආර්ථික සාධාරණත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

2016 සැප්තැම්බර් 13

ජනතාවගේ සමාජීය සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරිමසඳහා රජයට පවතින වගකීම ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරෙන බව සහතික කරන මෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ විශේෂයෙන් මෙහෙයුම් කමිටුවේ සියලූම සාමාජිකයින්ගෙන් පහත අත්සන් තබන සංවිධාන හා පුද්ගලයින් වශයෙන් අපි ඉල්ලා සිටිමු.

පළමුව මෙය රටපුරා ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුව වෙත මේ සම්බන්ධයෙන් ලබාදුන් යෝජනා නැවත ඉස්මතු කිරිමක් පමණක් බව අපි අවධාරණය කරමු. මෙම යෝජනා මහජන නියෝජන කමිටුවේ වාර්තාවේ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පිළිබඳ (විශේෂයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳ මඟ පෙන්වීමේ මූලධර්ම, පරම අයිතිවාසිකම්/මූලික අයිතිවාසිකම් පනත, රාජ්‍ය මූල්‍ය සහ ඉඩම් සංවර්ධනය හා පරිසරය සම්බන්ධ පරිච්ඡේදයන්හි) සවිස්තරාත්මක නිර්දේශයන් මගින් පැහැදිළිව ඉදිරිපත් කර ඇත.

දෙවනුව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිදහසින් පසු ඉතිහාසය තුළ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුභසාධනය වැනි ක්ෂේත‍්‍රයන්සඳහා රජයේ මැදිහත්වීමපිළිබඳශ‍්‍රී ලංකාවේ අත්දැකීම් ගොනු කර ගත යුතු අතර, ඒ මගින් නිදහස, ගරුත්වය, යහපැවත්ම සහ මානව ආරක්ෂාව සඳහා පදනම් වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන බව තහවුරු කළ යුතුය. වර්තමාන මූල්‍ය හා වෙළෙදප‍්‍රතිපත්තින් මගින් ද, යුද්ධය හා නැවත ගොඩනැංවීමට හා සංවර්ධනයට අදාලව යුද්ධයෙන් පසු සිදුකරන ලද ක‍්‍රියාවලින් මගින් ද, සිදු කර තිබෙන සමාජ හා කලාපීය අසමානතාවයන් හා අස්ථීරත්වයන්උග‍්‍රකරවීම, සමාජ ප‍්‍රතිපත්තීන් දුර්වල කරවීම හා ඒවායේ සමාජ, ආර්ථික හා පාරිසරික පිරිවැය අප අත්දකින මෙවන් මොහොතක මෙය ඉතා වැදගත් වේ. Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට විවෘත ලිපියක්

“The government is not thinking of any alternative”: An Interview with Ahilan Kadirgamar

By Umesh Moramudali

Alliance for Economic Democracy (AED) is an organization formed by a group of persons who insists upon the importance of economic justice. Ceylon Today interviewed Ahilan Kadirgamar, a member of the AED, who in the course of the interview insisted how the possible outcomes of the IMF Agreement hurt the ordinary people of the country. Very often, when tax increases are suggested it is the indirect tax such as Value Added Tax (VAT) that increases, which hurts the public. Most importantly, in Sri Lanka 80 per cent of tax revenue come from indirect taxes such as VAT. That means the ordinary people will pay for it. It seems that, it is the ordinary people who pay for the government’s economic mismanagement, of the country. Continue reading “The government is not thinking of any alternative”: An Interview with Ahilan Kadirgamar

“බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම සංඝ සංස්ථාව දූෂණයට බඳුන් වීමට හේතුවක්” – කුමුදු කුසුම් කුමාර

අනාගමික රාජ්‍යයක් යනු කුමක් ද? අප මේ ප්‍රශ්නය මතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව වාර්තාවේ ආගම පිළිබඳ කර ඇති එක් නිර්දේශයක් වන “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය” යන අදහස මුල් කොට ගෙන මතු වී ඇති ආන්දෝලනය සලකන විට ය. මහජන අදහස් විමසීමේ කමිටුවේ එම නිර්දේශය ඉදිරිපත් කළ එක් කමිටු සාමාජිකයකු වශයෙන් මෙම ලිපිය ලියමි.

කමිටු වාර්තාවේ ආගම පිළිබඳ දක්වා ඇති විකල්ප නිර්දේශ හය (06) ක් වෙයි. (වරහන් ඇතුළත දක්වා ඇති නම්, එක් එක් නිර්දේශය වෙනුවෙන් පෙනී සිටින කමිටු සාමාජිකයන් ගේ ය.) ඒවා නම්:

i. කිසිම වෙනසකින් තොර ව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (II වැනි පරිච්ඡේදය) 9 වැනි ව්‍යවස්ථාව තබා ගැනීම. ( කුෂාන් ද අල්විස්, ජ.නී; එම්.කේ. නදීකා දමයන්ති)

ii. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “බුද්ධාගම” නොව “ආගම්” යනුවෙන් වෙනස් විය යුතු අතර 9 වැනි ව්‍යවස්ථාව කිසිම වෙනසක් නො කර තබා ගත යුතු ය. (තේමිය එල්.බී. හුරුල්ලේ; වින්ස්ටන් පතිරාජ)

iii. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට වෙනස් කළ යුතු ය:

ශ්‍රී ලංකා ජනරජය සියලු ම ආගම්වලට සම තත්ත්වයක් දිය යුතුය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි හා 14(1)ඉ ව්‍යවස්ථාවලින් සියලු ආගම්වලට ලබා දී ඇති අයිතීන් ආරක්ෂා කරමින් රාජ්‍යය බුද්ධාගම හා බුද්ධ ශාසනය පෝෂණය කර ආරක්ෂා කළ යුතු ය. (උපුල් අබේරත්න; එම්.එල්.ඒ. කාදර්; ලාල් විජේනායක; සිරිමසිරි හපුආරච්චි; සුනිල් ජයරත්න)

iv. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය. (හරිනි අමරසූරිය; එස්.සී.සී. ඉළංකෝවන්; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ; එන්. සෙල්වක්කුමාරන්)

v. ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට ආගමේ කාර්යභාරය පිළිගන්නා අතර ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් විය යුතු ය.( ඒ.එම්. නවරත්න බණ්ඩාර)

vi. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “ආගම්” විය යුතු ය. එයට අදාළ ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට සංශෝධනය විය යුතු ය.

“ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක් දිය යුතු ය.” (එස්. තවරාජා; එස්. විජේසන්දිරන්)
මෙහි පළමුවැන්න හැර අන් සියලු නිර්දේශ පෙන්නුම් කරන්නේ ඒවා ඉදිරිපත් කෙරෙන්නේ වත්මන් ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත් වය දීමෙන් උදා වන ගැට‍ළු සහගත තත්වය අඩු වැඩි වශයෙන් සැලකිල්ලට ගෙන බවයි.

විවාදයට තුඩු දී ඇති ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යන්න ඉහත නිර්දේශ හය (06) අතුරෙන් එකක් පමණි. ඉහත පස්වැනි (05) නිර්දේශය ද රාජ්‍යය සහ ආගම අතර තිබිය යුතු සම්බන්ධය පිළිබඳ ගත් කළ පෙර කී එකට හරයෙන් සමාන යැයි සලකා එයට එකතු කළ ද එතන ඇත්තේ නිර්දේශ දෙකකි.

එම සියලු නිර්දේශ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සැලකිල්ලට ගැනීම සඳහා සාමාජිකයන්ගේ විකල්ප නිර්දේශ” වශයෙන් ඉදිරිපත් කොට ඇත. මෙහි “විකල්ප නිර්දේශ” යන්නේ අදහස මේ සියලු නිර්දේශ එක හා සමාන වැදගත් කමක් ඇති ලෙස සලකා කමිටුව විසින් ඉදිරිපත් කරන බවයි. රටේ ජනතාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටත් ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවකින් පසු එකඟ විය හැකි නිර්දේශයක් සම්පාදනය කර ගත හැකි බවයි.

වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී කමිටුව එකඟ වූයේ මහජන නියෝජන මත පදනම් ව කෙරෙන හෙයින් සියලු නිර්දේශ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාකච්ඡාව සඳහා එක හා සමාන වැදගත් කමකින් සලකා ඉදිරිපත් කිරීමට ය. ජනතාවගේ නියෝජනවලට සංඛ්‍යානමය අගයක් දීමට වලංගු පදනමක් සැපයීමට නො හැකි හෙයින් එසේ නො කිරීමට කමිටුව එකඟ වුණා ය. ඒ ලෙසින් ම කමිටුවේ සාමාජිකයන් වැඩි දෙනෙක් දෙන ලද නිර්දේශයක් වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න මත එම නිර්දේශයට අන් ඒවාට වඩා වලංගුභාවයක් පැවරිය නො හැකි යැයි ද කමිටුව එකඟ වී ය.
කරුණු මෙසේ තිබිය දී ඉහත සඳහන් අනෙකුත් නිර්දේශ සියල්ල පසක ලා ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යන නිර්දේශය පිළිබඳ පමණක් විවාදයක් මතු වීම අප වටහා ගන්නේ කෙසේ ද?

මා දකින පරිදි , එයට හේතුවක් විය හැක්කේ, මෙම නිර්දේශය එහි එන ‘අනාගමික’ යන පදයත් සමගින් වටහා ගන්නා ආකාරය යි. ‘අනාගමික’ යනු ඉංග්‍රීසියෙන් යෙදෙන ‘secular’ යන පදයට සිංහලෙන් ඇති ප්‍රධාන අරුත් දෙකෙන් එකකි. එනම්, ආගමික නොවන යන්න ය. අනෙක් අරුත “මෙලොව, ලෝකායත්ත, ලෝකායත, ලෞකික” යන්න යි. Secular state යනු අනාගමික/ ලෝකායත්ත රාජ්‍යය යි. (සුචරිත ගම්ලත් ශබ්ද කෝෂය)

මෙහි ලා රාජ්‍යය යනු ජනතාවගේ “පරමාධිපත්‍යය” ක්‍රියාත්මක කිරීමට මුල් වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන පද්ධති තුනෙන් සැදුම් ගන්නා, රට පාලනය කරන රාජ්‍ය තන්ත්‍රය යි. එහෙයින් ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යනුවෙන් අදහස් කරන්නේ රට කරවන රාජ්‍යය ආගම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ගත් කළ කිසියම් ආගමක් සුවිශේෂ කොට නො සළකනු ඇති, එනම් නිල වශයෙන් මධ්‍යස්ථ ව සිටිනු ඇති, බවයි. එසේ නොමැතිව ශ්‍රී ලංකාව යනු ආගම් බැහැර කරන හෝ නො සළකා හරින රටකි යන්න ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඉන් අදහස් නොවේ. එබඳු ආගම් විරෝධී ආස්ථානයක් එහි නොවේ. මේ බව ආගම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුබිම් වූ සාකච්ඡාව පිළිබඳ ඉහත කමිටු වාර්තාවේ එන විස්තරය කියවූ කළ පැහැදිළි වෙයි.

කමිටු වාර්තාවේ ‘රාජ්‍යය අනාගමික විය යුතු ය’ යන නිර්දේශය ඉදිරිපත් කිරීමට පදනම වූයේ එක් අතකින් ආගම පෞද්ගලික ඇදහීම හා විශ්වාසය සම්බන්ධ දෙයක් වන හෙයින් එයට රාජ්‍යය මැදිහත් විය යුතු නැති බවත්, අනෙක් අතට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරිදි එක් ආගමකට ප්‍රමුඛත්වයක් දීම අනිත් ආගම්වලට වෙනස් ලෙස සැලකීමක් වන බැවින් එය සමානාත්මතාවේ මූලධර්ම උල්ලංඝනය කරන අතර ආගමික අසමගියට ද, හේතු විය හැකි බවත් සැලකිල්ලට ගැනීම යි.

මේ පිළිබඳ සමාජයේ පවතින අදහසක් නම් බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම පසුගිය සමයේ සංඝ සංස්ථාව රැඩිකල් කරණයට සහ දූෂණයට බඳුන් වීමට හේතුවක් වී සංඝ සංස්ථාව කෙලසීමට ලක් වී ඇති බවයි. රාජ්‍යය සහ ආගම වෙන් කිරීම පිළිබඳ අදහස ක්‍රියාත්මක වන්නේ කුමන හෝ එක් ආගමක් රජයට බලපෑම් කල හැකි තත්වයක නො සිටිය යුතු ය යන පදනම මත ය. මන්ද යත් එක ආගමක සුවිශේෂ ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද සියල්ල සියලු පුරවැසියන් පිළිගන්නා ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද අත්‍යවශ්‍යයෙන් ම පිළිබිඹු නො කිරීමට ඉඩ ඇති හෙයිනි. නමුත් රාජ්‍යය අනාගමික භූමිකාවක් ආරෝපණය කරගැනීම රජයෙන් ආගම්වලට ලැබෙන මූල්‍ය හෝ වෙනත් ආකාරයේ අනුග්‍රහ අවශ්‍යයෙන්ම අහිමි කිරීමට හේතු විය යුතු නොවේ. රාජ්‍යය සහ ආගම වෙන් කිරීම පිළිබඳ අදහස කියා සිටින්නේ රාජ්‍යයේ තීරණ ගැනීම කුමන හෝ එක් ආගමක ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද වල බලපෑමට යටත් නො කළ යුතු බවයි.

සැබෑ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්, සැබෑ සාමය සහ ප‍්‍රතිසන්ධානය ගොඩ නැඟිය හැක්කේ සැමට සමානාත්මතාව සහ යුක්තිය, අන්‍යෝන්‍ය ගරුත්වය, සියලු පුරවැසියන් එක හා සමාන කොටස්කරුවන් ලෙස සැලකීම යනාදී ප‍්‍රතිපත්ති මත මිස අසමානත්වය මත නොවේ. රාජ්‍යය අනාගමික ලෙස ප්‍රකාශ කරන්නට ව්‍යවස්ථාව අපොහොසත් වීම අසමානතාව පිළිබඳ අනෙකුත් සියලු කරුණු නිරාකරණය කළ නො හැකි අන්දමට බලපාන කරුණක් ලෙස සලකන්නට සිංහල බෞද්ධ නොවන ජන කොටස්, විශේෂයෙන් දෙමළ ජනයා පෙලඹීමට ඉඩ තිබේ. ව්‍යවස්ථාවෙන් රාජ්‍යය තුළ බුද්ධාගමට ප‍්‍රමුඛතාව දීම යන අදහස යුද්ධ සමය තුළ අත්දැකීම් පසුබිමෙහි රාජ්‍යය මිලිටරි කරණය සමඟ බුද්ධාගම බැඳී ඇත යන්න සමඟ ඇති සම්බන්ධය යළි යළිත් මතු වීම මෙහි දී වැළැක්විය නො හැකි වනු ඇත.

අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර ( 5 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

“යාපනයට යාබද සහ සාමාන්‍යයෙන් යාපන රජුගේ සම්ප‍්‍රදායික ආධිපත්‍යයට යටත් වන්නියේ මෙම ප‍්‍රදේශයේ දෙමළ කතා කරන්නන් ප‍්‍රමුඛ බව සිතියම් වලින්ම පෙන්නුම් කෙරේ. මලබාර්වරුන්ගේ මෙම ප‍්‍රදේශයෙන් දකුණට වන්නට සහ පුත්තලමෙන් උතුරට වන්නට ඇත්තේ දැන් මුළුමනින්ම වාගේ සිංහල වී ඇති ”දෙමළ හත්පත්තුව”යි (දෙමළ පදිංචිකරුවන්ගේ දිස්ත‍්‍රික්ක හත). එමෙන්ම මීගමුව ප‍්‍රදේශය තුළ තවදුරටත් දකුණට වන්නට ඇත්තේ අලූත්කුරු කෝරළයයි (කුරුවරුන්ගේ නව දිස්ත‍්‍රික්කය). මෙයද වර්තමානයේ මුලූමනින්ම සිංහල ප‍්‍රදේශයක් වන නමුත් සිංහල කෘති වලට අනුව මාගේ ප‍්‍රියතම පුරාවෘත්ත ගත රජු වන ගජබාහු විසින් චෝල දේශයෙන් ගෙනන ලද සිරකුරුවන් පදිංචි කළ ප‍්‍රදේශය යි. වෙනත් වචනවලින් පවසන්නේ නම් පුරාතනයේ පදිංචි කල දකුණු ඉන්දීය ප‍්‍රජාවන් හස්තියෙකුගේ බාහුවකින් යුතු වීර රජෙකු විසින් චෝල දේශයෙන් ගෙන එන ලද අය වශයෙන් හුදෙක් නම් කෙරුනේ අධිපති සිංහල පරිසරයට ස්වීකරණය වූ විටය.”

Continue reading අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර ( 5 කොටස)

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය තීන්දු වී ඇත්තේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක රෙජිමය යළිත් බලයට එනු ඇතයි වත්මන් පාලක රෙජිමය වෙළා ගෙන ඇති බිය සහ ඔවුන්ට නව ලිබරල් ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කර ගැනීමේ අපේක්ෂාව මත පදනම් ව යැයි යන අදහස සත්‍යයෙන් එතරම් ම දුරස්ථ ප්‍රකාශයක් නොවන බව පෙනෙයි. මහින්ද රාජපක්ෂට සිංහල බෞද්ධ බලවේගවල සහාය ලැබේ යැයි විශ්වාස කරන හෙයින් ඒවා අවුළුවා ලන ආකාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් නො කළ යුතු ය යන තීරණයට ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති සෙයකි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන ඇතැම් “සිවිල් සමාජ සංවිධාන” ද එම ස්ථාවරය පිළිගෙන ඇති සෙයකි.

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ ඇති ගැට‍ළුව නම් එහි නිර්දේශ වල එන වැදගත් මාතෘකා පිළිබඳ එකඟතාවක් නොමැතිකම’ යැයි ඇතමුන් කියන විට එහි සැඟවුන අදහසක් නම් ‘මෙම අපේක්ෂිත එකඟතාව ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති තීරණය අපේක්ෂා කරන්නකි’ යන්න යැයි තර්කයක් ඉදිරිපත් කෙරෙන්නට ඉඩ තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම ඇරඹීමටත් ප්‍රථම ජනාධිපති සහ අගමැති වෙන් වෙන් ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණේ වත්මන් ව්‍යවස්ථාවේ ‘ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් සැලකීම’ සහ ‘බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීම’ ඉදිරියටත් නො වෙනස් ව පැවතිය යුතු බවයි. මහත් බලාපොරොත්තු ඇති කරමින් ආරම්භ කෙරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ වාර්තාව දැන් පළ කොට ඇත. මෙම අවස්ථාවේ ආණ්ඩුව සහ ඇතැම් “සිවිල් සමාජ” සංවිධාන එම වාර්තාව ගැන දක්වන එළඹුම වටහා ගත හැක්කේ ඉහත පදනම මත විය හැකි ය. එම වාර්තාව සම්පාදනය කරන ලද්දේ අමාත්‍ය මණ්ඩලයෙන් නිර්දේශ කළ, මහජන නියෝජිත කමිටුවක් මඟින් නමුත් මේ දක්වා එය පාර්ලිමේන්තුවෙහි සභා ගත කොට නැත. Continue reading ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ
දෙවැනි රාජසිංහ
දෙවැනි රාජසිංහ

“පුරාවෘත්තවලට ඓතිහාසික වලංගුතාවයක් නොතිබිය හැක; නමුත් පුරාවෘත්ත යටින් ඇති දේශපාලන අරුත් වලට එවැනි වලංගුතාවයක් ඇති අතර, එනම් අවම වශයෙන් 15 වන ශත වර්ෂය තුළ සහ ඉන්පසුව නැගෙනහිර වෙරළ නුවර රාජධානියේ කොටසක්ව පැවතුණේ රජුගේ විධිවත් ආධිපත්‍යයට යටත් වු මුක්කුවාර්වරුන්ගේ ප‍්‍රධානත්වය යටතේය.

මෙම අදහස තවදුරටත් විස්තර කිරීමට මට ඉඩ දෙන්න. නැගෙනහිර වෙරළ, ලන්දේසී මූලාශ‍්‍ර වලට අනුව ආසියාවේ ඉතා සමෘද්ධිමත් නගරයක් වූ බින්තැන්න ලෙසින් ද හැඳින්වූ මහියංගනය වෙළඳ මධ්‍යස්ථානය කරගෙන මඩකලපුවේ සහ ත‍්‍රිකුණාමලයේ සිට නුවර දක්වා දිවුන වෙළඳ මාර්ග කිහිපයකින් යාවී තිබුණි. මෙම වැදගත්කමේ පාර්ශ්වයක් හට ගත්තේ නැගෙනහිර සමඟ වෙළඳාමෙන් වන අතර විශේෂයෙන්ම වැදගත් වූයේ නුවර වැසියන්ට ලූණු සහ කරවල කළමණා සැපයූ මුස්ලිම් වෙළෙන්දන්ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් නුවරට පහර දුන් විට හෝ පහරදීමට තර්ජනය කළ විට රජවරු බින්තැන්නේ සටන්කාමී වැද්දන්ගේ ආරක්‍ෂාව යටතට තම පවුල් යැව්වෝය. මෙම වැද්දන්ගෙන් සමහරෙක් ඒ වන විටත් රජුගේ මාළිගයේ හේවායින්ගේ කොටසක් බවට පත්ව තිබුණි. විකල්ප අගනුවරක් ලෙස එහි තිබූ වැදගත්කම නිසාම බින්තැන්න-අලූත්නුවර ලෙස යළි නම් කෙරිණි. ඉතා බලවත් නුවර රජෙක් වූ දෙවැනි රාජසිංහ උපත ලැබුවේ බින්තැන්න – අලූත්නුවරය.

Continue reading 1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)