අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර ( 5 කොටස)

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක අතීතකාමය සහ පශ්චාත් අතීතකාමය -ගණනාථ ඔබේසේකර (4 කොටස)
පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

“යාපනයට යාබද සහ සාමාන්‍යයෙන් යාපන රජුගේ සම්ප‍්‍රදායික ආධිපත්‍යයට යටත් වන්නියේ මෙම ප‍්‍රදේශයේ දෙමළ කතා කරන්නන් ප‍්‍රමුඛ බව සිතියම් වලින්ම පෙන්නුම් කෙරේ. මලබාර්වරුන්ගේ මෙම ප‍්‍රදේශයෙන් දකුණට වන්නට සහ පුත්තලමෙන් උතුරට වන්නට ඇත්තේ දැන් මුළුමනින්ම වාගේ සිංහල වී ඇති ”දෙමළ හත්පත්තුව”යි (දෙමළ පදිංචිකරුවන්ගේ දිස්ත‍්‍රික්ක හත). එමෙන්ම මීගමුව ප‍්‍රදේශය තුළ තවදුරටත් දකුණට වන්නට ඇත්තේ අලූත්කුරු කෝරළයයි (කුරුවරුන්ගේ නව දිස්ත‍්‍රික්කය). මෙයද වර්තමානයේ මුලූමනින්ම සිංහල ප‍්‍රදේශයක් වන නමුත් සිංහල කෘති වලට අනුව මාගේ ප‍්‍රියතම පුරාවෘත්ත ගත රජු වන ගජබාහු විසින් චෝල දේශයෙන් ගෙනන ලද සිරකුරුවන් පදිංචි කළ ප‍්‍රදේශය යි. වෙනත් වචනවලින් පවසන්නේ නම් පුරාතනයේ පදිංචි කල දකුණු ඉන්දීය ප‍්‍රජාවන් හස්තියෙකුගේ බාහුවකින් යුතු වීර රජෙකු විසින් චෝල දේශයෙන් ගෙන එන ලද අය වශයෙන් හුදෙක් නම් කෙරුනේ අධිපති සිංහල පරිසරයට ස්වීකරණය වූ විටය.”

ආචාර්ය නීලන් තීරුචෙල්වම් අනුස්මරණය වෙනුවෙන් මහාචාර්ය ගණනාථ ඔබේසේකර 2004 වසරේ ජූලි 29 දින ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ දී කරන ලද මෙම දේශනය The Matrilineal East Coast Circa 1968: Nostalgia and Post Nostalgia in Our Troubled Time වශයෙන් 2004 දී පල විය. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කරුණා කණ්ඩායම බිඳී ගොස් හටගත් අභ්‍යන්තර යුද්ධයෙන් නැගෙනහිර පළාත උණුසුම්ව තිබූ තත්වයක් තුළ ඒ පිළිබඳ සඳහනක් මෙම දේශනයේ ආරම්භයේ වෙයි.

ලංකා ඉතිහාසය පිළිබඳ මුල්කාලීන කෘති හා සැසඳීමේදී මහාචාර්ය ඔබේසේකරගේ මෙම රචනාව සමග Buddhism Nationhood and Cultural Identity, The Coming of Brahmin Migrants: The Śudra Fate of an Indian Elite in Sri Lanka සහ The Many Faces of the Kandyan Kingdom, 1591-1765: Lessons For Our Time? යන රචනා ඥාන මීමංසාත්මකව සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසිය හැක්කේ මහාචාර්ය ඔබේසේකරගේ ග්‍රන්ථාවලී සංකරණයෙන් සහ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සහ නන්දන වීරරත්න සංස්කරණයෙන් පලවූ දුර්ලභ ඓතිහාසික ග්‍රන්ථ නම් මහනුවර සහ කෝට්ටේ යුගවල ප්‍රාදේශීය ග්‍රන්ථ වලින් හෙලිවන අප්‍රකට ඉතිහාස අධ්‍යයනය තුළ ඒවා පිහිටුවිය හැකි නිසාය. කෙසේ නමුත්, මෙම ලිපිය හෙලන අන්තර් දෘෂ්ටීන් ජනවාර්ගිකත්වය, කුලය, ආගම පිළිබඳ අධිපති ඉතිහාස ආඛ්‍යානයන් ගැටළුවට ලක් කරන බව පැහැදිළිය.මෙම කොටසෙහි සාකච්ඡා කෙරෙන්නේ මඩකලපු දෙමළ ජනයා සිංහලයා සමඟ ඇති දේශපාලන සහ සංස්කෘතික සබඳතා පිළිබඳවය.

මඩකලපු දෙමළ සහ මුස්ලිම් ජනයා : සිංහලයා සමඟ ඇති දේශපාලන සහ සංස්කෘතික සබඳතා (5 කොටස)

ත‍්‍රිකුණාමලයේ සහ මඩකලපුවේ බලකොටු ලන්දේසීන්ගේ දැඩි පාලනය යටතේ පැවති විටත් නුවර රජවරුන්ට බලකොටු වලින් පරිවාර ප‍්‍රදේශවල ප‍්‍රබල පාලනයක් පැවතුණේ ලන්දේසීන් හා නුවර රජ අතර 1766 ගිවිසුම අත්සන් කරන තාක් කල් බව පෙනේ. මෙම ගිවිසුමෙන් නැගෙනහිර මුහුුදුබඩ ප‍්‍රදේශ වඩාත් ප‍්‍රබල යටත්විජිත පාලනය යටතට ගෙනාවේය. රෙක්ස් කැසිනේඩාර් පවසන ආකාරයට මෙයින් අදහස් වූයේ මඩකලපු ප‍්‍රදේශයේ හෝ නැගෙනහිර වන්නි රාජ්‍යයන්ගේ ජනයා 15 වන ශත වර්ෂයේ මැද සිට 18 වන ශත වර්ෂයේ මැද දක්වා අවුරුදු 300 ක කාලයක් නුවර රාජධානියේ ආධිපත්‍යය පිළිගනිමින් ඒ සමඟ දීර්ඝ සමාගමයක් පැවැත්වූ බවයි. ලන්දේසීන් පැමිණීමත් සමඟ නුවර රාජධානිය වෙත දිවුන ගොඩබිම් මාර්ගය වඩා බරපතල වැදගත්කමක් අත්කර ගත්තේ නැගෙනහිර සිට පැමිණෙන ලන්දේසි තානාපතීන් සහ රාජතාන්ත‍්‍රික දූත සේවා බින්තැන්න – අලූත්නුවර පසු කරමින් නුවරට ලඟා වූ නිසාය. තවද, විදේශිකයන්ගේ පැමිණීම වර්ධනය වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නුවර වැසියන්ට සහ නැගෙනහිර වෙරළේ ජනයාට නව වෙළඳ භාණ්ඩ හඳුන්වා දෙනු ලැබිණි. මුක්කුවාර් ප‍්‍රජාවන් අතර එම කාලයේ රඟ දක්වන ලද සහ 1815 දී නුවර රාජධානියේ වැටීම දැක්වෙන ”කන්දේ රජ නාඩගම” නම් ජන නාට්‍යයක් තුළ තිබූ මුක්කුවාර්වරුන්ගේ සිංහලයන්ට පක්‍ෂපාත දේශානුරාගවාදය පිළිබඳ පසුකාලීන නිදර්ශනයක් කැසිනේඩාර් පවා වාර්තා කරයි. මෙම නාට්‍යය නුවර සිංහල රාජධානියේ නැතිවීම පිළිබඳ වැලපී ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ ද්‍රෝහියෙක් ලෙස දක්වන අතර සැක සහිත ඇහැලේපොල චරිතය වීරයෙක් ලෙස වර්ණනා කරයි. 1818 ව්‍යවසනකාරී කැරැල්ල පිළිබඳව ද එහි දැක්වෙන අතර මේ සියලූ දේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ කෙසේ හෝ සිංහලයන් අතර දෙමළ කතා කළ රජෙක්ය යන කරුණ තිබියදී බව සිහිකටයුතුය.

අයිසැක් ටීරියන්  විසින් කරන ලද සිතියම
අයිසැක් ටීරියන් විසින් කරන ලද සිතියම

මඩකලපු ප‍්‍රදේශය විශාල ප‍්‍රතිශතයක කෘෂිකාර්මික ඉඩම් හිමි වූ මුක්කුවාර්වරුන්ගේ ආධිපත්‍යයට යටත් වූ කෘෂිකාර්මික ප‍්‍රදේශයක් බව අපි සඳහන් කළෙමු. ඔවුන් සහ වෙල්ලාලවරුන් අතර රදළයන්ට හෝ එසේත් නැතහොත් පොටියාර්වරුන්ට ඉඩම් හිමිකාරත්වය තිබිය හැකි, සිංහල අඳේ හා සමාන පදනමින් අඳ ගොවීන්ට ගොවිතැන් කිරීමට හැකිව තිබූ නුවර වැඩවසම් මාදිළියට අනුගාමී, බලවත් ඉඩම් හිිමිකාර පංතියක් නොඅනුමානව සැදුනි. මෙම ප‍්‍රදේශය සාරවත් කුඹුරු යායක් වූ අතර නුවර යුග වලදී කුඹුරු 100000 ක රට යන අදහස ඇති වෙල්ලස්ස නමින් හැඳින් වූ, ප‍්‍රධාන වශයෙන් සිංහල හා වැදි ප‍්‍රදේශයකට බටහිර පසින් යාබදව පැවතුණි. පසුව සඳහන් කළ සංඛ්‍යාව අතිශයෝක්තියට නැඟූ ආසන්න සංඛ්‍යාවක් බවට සැක නැති නමුත් වෙල්ලස්සේ විශාල ප‍්‍රමාණයක් වගා කරන තැනට ගෙනෙන ලද්දේ රජුගේ රදළයන්ය. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් මෙම දුරස්ථ ප‍්‍රදේශ වලට යවන ලද්දේ පුරාණ සිංහල රජවරුන්ගේ 13 වන ශත වර්ෂයට පෙර පැවති මහා ජලාශ‍්‍රිත ශිෂ්ටාචාරය ආදර්ශයට ගෙන සුළු පරිමාණ වැව් සහ වාරි ඇළවල් ඉදි කරමින් එම බිම් වී වගාවට අවශ්‍ය පරිදි සකස් කිරීමටය. වන්දියක් ලෙස මෙම ව්‍යවසායක මුලාදෑනීන්ට ඉඩම් වල අයිතිය ලබාදුනි. රජුගේ අනුග‍්‍රාහකත්වය සහ ප‍්‍රාදේශීය මුලාදෑනීන්ගේ බලවත් පාලනය යටතේ මඩකලපු ප‍්‍රදේශයේ ද මෙම සංසිද්ධියම සිදු වූ බව මම අනුමාන කරමි. වෙල්ලස්සේ මෙම සුළු වාරිමාර්ග ජාලය බොහෝ සෙයින්ම 1818 ව්‍යවසනකාරී කැරලි සමයේ බි‍්‍රතාන්‍යයන් විසින් විනාශ කර දැමිණි. නැගෙනහිර වෙරළ එම විපතෙන් ගැලවුණ අතර සැබවින්ම මා කලින් සඳහන් කර පරිදි වෙල්ලස්සෙන් පලා යන සිංහල සරණාගතයන්ට ආරක්‍ෂාවක් සැලසීය. අපගේ නැගෙනහිර වෙරළේ කේරළ සංක‍්‍රමණිකයන් වනගත සහ ස්වල්ප වශයෙන් ජනාවාස වූ සුවිශාල භූමි ප‍්‍රදේශයක පදිංචි වූ බව නිසැක විය හැකි තරම්ය. ඔවුනට ඔවුගේ භාෂාමය සහ සංස්කෘතික අනන්‍යතාවය පවත්වා ගැනීමට හැකි වූ නමුත් මීට වෙනස්ව සිංහල ප‍්‍රදේශ වල කේරළ වෙළෙන්දන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් පැවති දේශපාලන සමාජ ව්‍යූහයන්ට ස්වීකරණය වූහ. මෙය තහවුරු කිරීමට අප සතුව පවතින සාක්‍ෂිය කුමක්ද? 18 වන ශතවර්ෂය මැද වන විට ලන්දේසීන් මඩකලපුව ප‍්‍රදේශය තුළ දැඩි ලෙස තහවුරු වන අතර ප‍්‍රථම වතාවට නැගෙනහිර වෙරළබඩද ඇතුලත් දිවයිනේ තරමක් නිරවද්‍ය සිතියම් නිර්මාණය කළේය. අයිසැක් ටීරියන් (1765 දී මියැදුණි) විසින් කරන ලද සිතියම ”සිලෝන් දිවයිනේ නව සිතියම” වශයෙන් නම් කෙරිණි. විෂාර් විසින් කරන ලද (කවන්ස් සහ මෝර්ටියර් විසින් සංශෝධනය කරන ලද) සිතියම ත‍්‍රිකුණාමලයෙන් උතුරු ප‍්‍රදේශය සහ යාපන අර්ධද්වීපය දක්වා විහිදුණු ප‍්‍රදේශය ”වැද්දන්ගේ රට” හෝ දඩයක්කාර ජනයා වාසිත පාලූ සුළු වශයෙන් ජනවාසිත ප‍්‍රදේශයක් වන බැද්ද වශයෙන් දක්වයි. එම නිසා ත‍්‍රිකුණාමලයට දකුණු රට සංක‍්‍රමණික කේරළ ජනයා ජනාවාස කරන තුරු ඒ හා සමාන ප‍්‍රදේශයක් බව කෙනෙකුට උපකල්පනය කළ හැක. මගේ ක්‍ෂේත‍්‍ර පර්යේෂණ සමයේ මෙම ජනයාට ස්ව – සවිඥානිකව තම කේරළ සම්භවයන් වර නැගීමටත්, ඔවුන් විජාතීය පිටස්තරයන් ලෙස දුටු යාපන වෙළෙන්දන් සහ නිළතාන්ත‍්‍රිකයන්ට විරුද්ධ වීමටත් හැකි වූයේ කඳුරට ගම්වල සිංහල ජනයා පහතරට වෙළෙන්දන් ”පාතයන්” ලෙස අවඥාසහගතව සැලකූ තරමින්ම බව අහම්බයක් නොවේ.

මෙම යාපනයෙන් වෙන්වන හැඟීමේ පාර්ශ්වයක් භූගෝලීයමය වේ. අවම වශයෙන් බි‍්‍රතාන්‍යයන්ගේ පැමිණීම දක්වාවත් එය එසේ වේ. එතැන් පටන් යාපනයේ සහ වයඹ වෙරළ තීරයේ ධීවර ජනයා මෙම ප‍්‍රදේශයේ ස්ථිර ප‍්‍රජාවන් හැදීම ඇරඹූහ. අඩ වශයෙන් පරිපාලන තනතුරු සහ ප‍්‍රාදේශීය වෙළඳාම හැසිරවූ අයගේ අමනාපයක් බව; අඩ වශයෙන් පොදු කේරළ සම්භවයන් තහවුරු කිරීමක් බව, අඩ වශයෙන් මාතෘවංශික ඥාති ක‍්‍රමය සහ ද්‍රවිඩයානු ජන ආගම, විශේෂයෙන්ම පත්තිනි කන්නකී ඇදහිල්ල තහවුරු කිරීමක් බව, ආදී මෙකී නොකී දේත් ඇතුලත් බව සැකයක් නොවීය.

 විෂාර්  කල (කවන්ස් සහ මෝර්ටියර් සංශෝධනය කරන ලද) සිතියම
විෂාර් කල (කවන්ස් සහ මෝර්ටියර් සංශෝධනය කරන ලද) සිතියම

ශ‍්‍රී ලංකාව පිළිබඳ නව ලන්දේසි සිිතියම් නැගෙනහිර පථයෙන් මේ මොහොතේ මඳක් ඉවත්වී ඇති තවත් සංසිද්ධියක් ඉස්මතු කිරීමට අපට උපකාරී වේ. මෙම සිතියම් මාතොටින් හෝ මන්තායි වලින් උතුරට වන්නට ඇති විශාල ප‍්‍රදේශයක් ”වන්නියාර්වරුන්ගේ රට” සහ ”මලබාර්වරු” වාසය කළ වශයෙන් දක්වයි. යටත් විජිත යුගයේ මුල් කාලයේ සිටම ”මලබාර්” යන වචනය දෙමළ කතා කරන්නන් සඳහා යෙදුණ ජනප‍්‍රිය වචනයක් වූ අතර කේරළ සංක‍්‍රමණිකයන් යන්න නොහැඟවුණි. මේ තරමින්ම සිංහල කෘති තුළ ”දෙමළ” යන වචනය ද කන්නාඩ වේවා, තෙළිඟු වේවා, මලයාලම් වේවා, දෙමළ වේවා, ඔරියා කතාකරන්නන් වේවා, සෑහෙන තරමින් යෙදෙන්නේ දකුණු ඉන්දියානුවන් සඳහන් කිරීමටය. යාපනයට යාබද සහ සාමාන්‍යයෙන් යාපන රජුගේ සම්ප‍්‍රදායික ආධිපත්‍යයට යටත් වන්නියේ මෙම ප‍්‍රදේශයේ දෙමළ කතා කරන්නන් ප‍්‍රමුඛ බව සිතියම් වලින්ම පෙන්නුම් කෙරේ. මලබාර්වරුන්ගේ මෙම ප‍්‍රදේශයෙන් දකුණට වන්නට සහ පුත්තලමෙන් උතුරට වන්නට ඇත්තේ දැන් මුළුමනින්ම වාගේ සිංහල වී ඇති ”දෙමළ හත්පත්තුව”යි (දෙමළ පදිංචිකරුවන්ගේ දිස්ත‍්‍රික්ක හත). එමෙන්ම මීගමුව ප‍්‍රදේශය තුළ තවදුරටත් දකුණට වන්නට ඇත්තේ අලූත්කුරු කෝරළයයි (කුරුවරුන්ගේ නව දිස්ත‍්‍රික්කය). මෙයද වර්තමානයේ මුලූමනින්ම සිංහල ප‍්‍රදේශයක් වන නමුත් සිංහල කෘති වලට අනුව මාගේ ප‍්‍රියතම පුරාවෘත්ත ගත රජු වන ගජබාහු විසින් චෝල දේශයෙන් ගෙනන ලද සිරකුරුවන් පදිංචි කළ ප‍්‍රදේශය යි. වෙනත් වචනවලින් පවසන්නේ නම් පුරාතනයේ පදිංචි කල දකුණු ඉන්දීය ප‍්‍රජාවන් හස්තියෙකුගේ බාහුවකින් යුතු වීර රජෙකු විසින් චෝල දේශයෙන් ගෙන එන ලද අය වශයෙන් හුදෙක් නම් කෙරුනේ අධිපති සිංහල පරිසරයට ස්වීකරණය වූ විටය. හැම විටම එසේමත් නොවේ; අපි දැන් එකතු කිරීමට ආරම්භ කර තිබෙන සිංහල පුස්කොළ අත් පිටපත් පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවට දෙමළ ජන කණ්ඩායම් වල නිරන්තර පැමිණිමත් අවම වශයෙන් අපගේ කෘති තුල, ඉඩම් ලබා දී බටහිර වන්නියේ තැනින් තැන පදිංචි කිරීමත්ය. අනිවාර්යයෙන්ම දෙමළ කතා කරන්නන් නොවුවත් දකුණු ඉන්දීය ප‍්‍රජාවන් මෙසේ පැමිණීම හා පදිංචි කරවීම නුවර රාජධානිය සම්බන්ධයෙන් ද සත්‍ය වේ. එසේ නම් මෙම ප‍්‍රජාවන් පදිංචි කරවීමේ අරමුණ කුමක්ද ?

වෙනත් ප‍්‍රකාශනයන් තුළ විස්තර සහිතව ගවේෂණය කිරීමට හැකි මාගේ ප‍්‍රවාදය නම් කෝට්ටේ සහ නුුවර යන නව රාජධානි කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා විශාල වනගත ප‍්‍රදේශ එළි කලත් ඔවුනට හිඟ වූ දෙය නම් ශ‍්‍රමය ය. මේ නිසා, යටත් කරගැනීම වනාහී හුදෙක් භෞමික සහ කොල්ලකාරී ව්‍යාප්තිය සඳහා නොව කම්කරු ජනයා අත්පත්කරගැනීම සම්බන්ධයෙන් වූ අග්නිදිග ආසියාතික සංසිද්ධියක ශී‍්‍ර ලාංකික පිටපතක් ලෙස මෙය ගත හැක. මීට අමතරව, ශී‍්‍ර ලංකාවේ දී තවත් සැලැස්මක් තිබුණි: රාජකාරී ක‍්‍රමයට සහ එමගින් නුවර රාජ්‍යයට අන්තර්ගත කරගත හැකි පරිදි ගැමි කෘෂිකර්මයට සුදුසු ආකාරයට වනගත ප‍්‍රදේශ දියුණු කිරීම සඳහා සංක‍්‍රමණිකයන්ට අනුබල දීමයි. මම සිතන ආකාරයට මඩකලපුව දිස්ත‍්‍රික්කය මෙම ඓතිහාසික සැලැස්මෙන් නිදහස්ය. මක්නිසාද මා කලින් පැහැදිලි කළ පරිදි මෙම ජන සමූහ දකුණේ සිටින ඔවුන්ගේ සිංහල ප‍්‍රතිපූරකයන් මෙන් කේරළයේ මාතෘවංශික ප‍්‍රදේශ වලින් පැමිණ ඇත්තේ කෝට්ටේ සහ නුවර සහ බාගදා දැදිගම සහ ගම්පොල රාජධානී ගොඩනැගීමට බෝහෝ කලකට පෙරය. එනම් 14 වන ශතවර්ෂයට පෙරය. ඔවුනට යාපනය, කෝට්ටේ සහ නුවර වැනි පසුකාලීනව ගොඩනගන ලද රාජධානී වල භාෂාමය සහ සංස්කෘතික අන්තර්ගතකරණයන්ට ඔරොත්තු දීමට හැකි විය.

මතු සම්බන්ධයි

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )