“බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම සංඝ සංස්ථාව දූෂණයට බඳුන් වීමට හේතුවක්” – කුමුදු කුසුම් කුමාර

අනාගමික රාජ්‍යයක් යනු කුමක් ද? අප මේ ප්‍රශ්නය මතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව වාර්තාවේ ආගම පිළිබඳ කර ඇති එක් නිර්දේශයක් වන “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය” යන අදහස මුල් කොට ගෙන මතු වී ඇති ආන්දෝලනය සලකන විට ය. මහජන අදහස් විමසීමේ කමිටුවේ එම නිර්දේශය ඉදිරිපත් කළ එක් කමිටු සාමාජිකයකු වශයෙන් මෙම ලිපිය ලියමි.

කමිටු වාර්තාවේ ආගම පිළිබඳ දක්වා ඇති විකල්ප නිර්දේශ හය (06) ක් වෙයි. (වරහන් ඇතුළත දක්වා ඇති නම්, එක් එක් නිර්දේශය වෙනුවෙන් පෙනී සිටින කමිටු සාමාජිකයන් ගේ ය.) ඒවා නම්:

i. කිසිම වෙනසකින් තොර ව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (II වැනි පරිච්ඡේදය) 9 වැනි ව්‍යවස්ථාව තබා ගැනීම. ( කුෂාන් ද අල්විස්, ජ.නී; එම්.කේ. නදීකා දමයන්ති)

ii. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “බුද්ධාගම” නොව “ආගම්” යනුවෙන් වෙනස් විය යුතු අතර 9 වැනි ව්‍යවස්ථාව කිසිම වෙනසක් නො කර තබා ගත යුතු ය. (තේමිය එල්.බී. හුරුල්ලේ; වින්ස්ටන් පතිරාජ)

iii. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට වෙනස් කළ යුතු ය:

ශ්‍රී ලංකා ජනරජය සියලු ම ආගම්වලට සම තත්ත්වයක් දිය යුතුය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි හා 14(1)ඉ ව්‍යවස්ථාවලින් සියලු ආගම්වලට ලබා දී ඇති අයිතීන් ආරක්ෂා කරමින් රාජ්‍යය බුද්ධාගම හා බුද්ධ ශාසනය පෝෂණය කර ආරක්ෂා කළ යුතු ය. (උපුල් අබේරත්න; එම්.එල්.ඒ. කාදර්; ලාල් විජේනායක; සිරිමසිරි හපුආරච්චි; සුනිල් ජයරත්න)

iv. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය. (හරිනි අමරසූරිය; එස්.සී.සී. ඉළංකෝවන්; කුමුදු කුසුම් කුමාර; කාන්ති රණසිංහ; එන්. සෙල්වක්කුමාරන්)

v. ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයට ආගමේ කාර්යභාරය පිළිගන්නා අතර ශ්‍රී ලංකාව අනාගාමික රාජ්‍යයක් විය යුතු ය.( ඒ.එම්. නවරත්න බණ්ඩාර)

vi. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ ශීර්ෂය “ආගම්” විය යුතු ය. එයට අදාළ ව්‍යවස්ථාව පහත දැක්වෙන ආකාරයට සංශෝධනය විය යුතු ය.

“ශ්‍රී ලංකා ජනරජය සියලු ආගම්වලට සමාන තත්ත්වයක් දිය යුතු ය.” (එස්. තවරාජා; එස්. විජේසන්දිරන්)
මෙහි පළමුවැන්න හැර අන් සියලු නිර්දේශ පෙන්නුම් කරන්නේ ඒවා ඉදිරිපත් කෙරෙන්නේ වත්මන් ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත් වය දීමෙන් උදා වන ගැට‍ළු සහගත තත්වය අඩු වැඩි වශයෙන් සැලකිල්ලට ගෙන බවයි.

විවාදයට තුඩු දී ඇති ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යන්න ඉහත නිර්දේශ හය (06) අතුරෙන් එකක් පමණි. ඉහත පස්වැනි (05) නිර්දේශය ද රාජ්‍යය සහ ආගම අතර තිබිය යුතු සම්බන්ධය පිළිබඳ ගත් කළ පෙර කී එකට හරයෙන් සමාන යැයි සලකා එයට එකතු කළ ද එතන ඇත්තේ නිර්දේශ දෙකකි.

එම සියලු නිර්දේශ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සැලකිල්ලට ගැනීම සඳහා සාමාජිකයන්ගේ විකල්ප නිර්දේශ” වශයෙන් ඉදිරිපත් කොට ඇත. මෙහි “විකල්ප නිර්දේශ” යන්නේ අදහස මේ සියලු නිර්දේශ එක හා සමාන වැදගත් කමක් ඇති ලෙස සලකා කමිටුව විසින් ඉදිරිපත් කරන බවයි. රටේ ජනතාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටත් ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවකින් පසු එකඟ විය හැකි නිර්දේශයක් සම්පාදනය කර ගත හැකි බවයි.

වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී කමිටුව එකඟ වූයේ මහජන නියෝජන මත පදනම් ව කෙරෙන හෙයින් සියලු නිර්දේශ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාකච්ඡාව සඳහා එක හා සමාන වැදගත් කමකින් සලකා ඉදිරිපත් කිරීමට ය. ජනතාවගේ නියෝජනවලට සංඛ්‍යානමය අගයක් දීමට වලංගු පදනමක් සැපයීමට නො හැකි හෙයින් එසේ නො කිරීමට කමිටුව එකඟ වුණා ය. ඒ ලෙසින් ම කමිටුවේ සාමාජිකයන් වැඩි දෙනෙක් දෙන ලද නිර්දේශයක් වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න මත එම නිර්දේශයට අන් ඒවාට වඩා වලංගුභාවයක් පැවරිය නො හැකි යැයි ද කමිටුව එකඟ වී ය.
කරුණු මෙසේ තිබිය දී ඉහත සඳහන් අනෙකුත් නිර්දේශ සියල්ල පසක ලා ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යන නිර්දේශය පිළිබඳ පමණක් විවාදයක් මතු වීම අප වටහා ගන්නේ කෙසේ ද?

මා දකින පරිදි , එයට හේතුවක් විය හැක්කේ, මෙම නිර්දේශය එහි එන ‘අනාගමික’ යන පදයත් සමගින් වටහා ගන්නා ආකාරය යි. ‘අනාගමික’ යනු ඉංග්‍රීසියෙන් යෙදෙන ‘secular’ යන පදයට සිංහලෙන් ඇති ප්‍රධාන අරුත් දෙකෙන් එකකි. එනම්, ආගමික නොවන යන්න ය. අනෙක් අරුත “මෙලොව, ලෝකායත්ත, ලෝකායත, ලෞකික” යන්න යි. Secular state යනු අනාගමික/ ලෝකායත්ත රාජ්‍යය යි. (සුචරිත ගම්ලත් ශබ්ද කෝෂය)

මෙහි ලා රාජ්‍යය යනු ජනතාවගේ “පරමාධිපත්‍යය” ක්‍රියාත්මක කිරීමට මුල් වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන පද්ධති තුනෙන් සැදුම් ගන්නා, රට පාලනය කරන රාජ්‍ය තන්ත්‍රය යි. එහෙයින් ‘ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු ය’ යනුවෙන් අදහස් කරන්නේ රට කරවන රාජ්‍යය ආගම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් ගත් කළ කිසියම් ආගමක් සුවිශේෂ කොට නො සළකනු ඇති, එනම් නිල වශයෙන් මධ්‍යස්ථ ව සිටිනු ඇති, බවයි. එසේ නොමැතිව ශ්‍රී ලංකාව යනු ආගම් බැහැර කරන හෝ නො සළකා හරින රටකි යන්න ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඉන් අදහස් නොවේ. එබඳු ආගම් විරෝධී ආස්ථානයක් එහි නොවේ. මේ බව ආගම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුබිම් වූ සාකච්ඡාව පිළිබඳ ඉහත කමිටු වාර්තාවේ එන විස්තරය කියවූ කළ පැහැදිළි වෙයි.

කමිටු වාර්තාවේ ‘රාජ්‍යය අනාගමික විය යුතු ය’ යන නිර්දේශය ඉදිරිපත් කිරීමට පදනම වූයේ එක් අතකින් ආගම පෞද්ගලික ඇදහීම හා විශ්වාසය සම්බන්ධ දෙයක් වන හෙයින් එයට රාජ්‍යය මැදිහත් විය යුතු නැති බවත්, අනෙක් අතට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරිදි එක් ආගමකට ප්‍රමුඛත්වයක් දීම අනිත් ආගම්වලට වෙනස් ලෙස සැලකීමක් වන බැවින් එය සමානාත්මතාවේ මූලධර්ම උල්ලංඝනය කරන අතර ආගමික අසමගියට ද, හේතු විය හැකි බවත් සැලකිල්ලට ගැනීම යි.

මේ පිළිබඳ සමාජයේ පවතින අදහසක් නම් බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම පසුගිය සමයේ සංඝ සංස්ථාව රැඩිකල් කරණයට සහ දූෂණයට බඳුන් වීමට හේතුවක් වී සංඝ සංස්ථාව කෙලසීමට ලක් වී ඇති බවයි. රාජ්‍යය සහ ආගම වෙන් කිරීම පිළිබඳ අදහස ක්‍රියාත්මක වන්නේ කුමන හෝ එක් ආගමක් රජයට බලපෑම් කල හැකි තත්වයක නො සිටිය යුතු ය යන පදනම මත ය. මන්ද යත් එක ආගමක සුවිශේෂ ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද සියල්ල සියලු පුරවැසියන් පිළිගන්නා ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද අත්‍යවශ්‍යයෙන් ම පිළිබිඹු නො කිරීමට ඉඩ ඇති හෙයිනි. නමුත් රාජ්‍යය අනාගමික භූමිකාවක් ආරෝපණය කරගැනීම රජයෙන් ආගම්වලට ලැබෙන මූල්‍ය හෝ වෙනත් ආකාරයේ අනුග්‍රහ අවශ්‍යයෙන්ම අහිමි කිරීමට හේතු විය යුතු නොවේ. රාජ්‍යය සහ ආගම වෙන් කිරීම පිළිබඳ අදහස කියා සිටින්නේ රාජ්‍යයේ තීරණ ගැනීම කුමන හෝ එක් ආගමක ඉගැන්වීම්, විශ්වාස සහ මතවාද වල බලපෑමට යටත් නො කළ යුතු බවයි.

සැබෑ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්, සැබෑ සාමය සහ ප‍්‍රතිසන්ධානය ගොඩ නැඟිය හැක්කේ සැමට සමානාත්මතාව සහ යුක්තිය, අන්‍යෝන්‍ය ගරුත්වය, සියලු පුරවැසියන් එක හා සමාන කොටස්කරුවන් ලෙස සැලකීම යනාදී ප‍්‍රතිපත්ති මත මිස අසමානත්වය මත නොවේ. රාජ්‍යය අනාගමික ලෙස ප්‍රකාශ කරන්නට ව්‍යවස්ථාව අපොහොසත් වීම අසමානතාව පිළිබඳ අනෙකුත් සියලු කරුණු නිරාකරණය කළ නො හැකි අන්දමට බලපාන කරුණක් ලෙස සලකන්නට සිංහල බෞද්ධ නොවන ජන කොටස්, විශේෂයෙන් දෙමළ ජනයා පෙලඹීමට ඉඩ තිබේ. ව්‍යවස්ථාවෙන් රාජ්‍යය තුළ බුද්ධාගමට ප‍්‍රමුඛතාව දීම යන අදහස යුද්ධ සමය තුළ අත්දැකීම් පසුබිමෙහි රාජ්‍යය මිලිටරි කරණය සමඟ බුද්ධාගම බැඳී ඇත යන්න සමඟ ඇති සම්බන්ධය යළි යළිත් මතු වීම මෙහි දී වැළැක්විය නො හැකි වනු ඇත.

Advertisements