විවියන් චරිතයේ හිතුවක්කාරී, කැරලිකාරී ගති ලක්ෂණවල අවශ්‍යතාවය තදින් දැනේ – හරිනි අමරසූරිය

විවියන් ගුණවර්ධන සහෝදරියගේ ඡන්ම ශත සංවත්සර උත්සවය
කාන්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නව ව්‍යවස්ථාව

හරිනි අමරසූරිය

වයලට් විවියන් ගුණවර්ධන ඡුන්ම ශත සංවත්සර උත්සවයේ සංවිධායක මණ්ඩලයට පළමුව මම ස්තුතිවන්ත වෙනවා, මෙම දේශනය පැවැත්වීමට මට ආරාධනා කිරීම ගැන

විවියන් ගුණවර්ධන වැනි ශ්‍රේෂ්ඨ දේශපාලන නායිකාවකගේ ජීවිතය සමරන උත්සවයකදී මට කථා කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස සලකමි.

මෙම දේශනයට සූදානම්වීමේදී විවියන් ගුණවර්ධන ගැන ලියවුණු බොහෝ දේ කියවීමි. ඇය විස්තර කරනු ලැබීමට භාවිතා කෙරුණු වචන කිහිපයක් මා කිය වූ සෑම ලිපියකම පාහේ දක්නට ලැබුණි. එනම් ‘‘සටන්කාමී’’, ‘‘කැරලිකාරී’’, ‘‘විප්ලවකාරී’’, ‘‘චතුර’’ යන වචන නිතර ඇයව විස්තර කිරීමට භාවිතා කර තිබුණි. සාමාන්‍යයෙන් කාන්තාවක් විස්තර කිරීම සඳහා භාවිතා නොවන, විශේෂයෙන්ම කාන්තාවක් ප‍්‍රශංසාවට භාජනය කිරීම සඳහා භාවිතා නොවන, මේ වචන දකින විට විවියන් ගුණවර්ධන පිළිබඳව විශාල කුතුහලයක් මා තුළ ඇති විය.

ඉතාමත් සම්ප‍්‍රදායිකව හැඳුනු වැඩුණු, රදළ, ඉහල පාන්තික සමාජ පසුබිමක් සහිත කාන්තාවක් ඇගේ සමාජයෙන් පැණවූ තහංචි බිඳ ප‍්‍රගතිශීලී සහ සටන්කාමී දේශපාලන කි‍්‍රයාධාරිනියක් සහ නායිකාවක් බවට පත්වූයේ කෙසේද? විශේෂයෙන් ඒ වකවානුව තුළ ඉහළ පාන්තික කාන්තාවන්ගේ උරුමය වූයේ හොඳ බිරින්දෑවරුන් සහ මව්වරුන් වීමය. අද දවසේ වුවද එය ඒ තරම්ම වෙනස් වී නොමැත. නමුත් කාන්තාවන්ට උරුම වූ එම සම්ප‍්‍රදායික භූමිකාව බිඳ වෙනස් ජීවිතයක් ගත කිරීමට ඇයට ධෛර්යය, මගපෙන්වීම සහ උත්තේජනය ලැබුණේ කෙසේද? මා විවියන් ගුණවර්ධන සහෝදරිය පිළිබඳව අසා ඇති සහ කියවා ඇති දේ අනුව ඇය සාධාරණය හා යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි කෙනෙක්. නිර්භීතව නොසැලී ඇය විශ්වාස කළ දේ වෙනුවෙන් සටන් කරපු කෙනෙක්.

මා සිතනා ආකාරයට විශේෂයෙන්ම වාමාංශික දේශපාලනයට අද අවශ්‍ය වී ඇත්තේ මෙවන් චරිතයි. 1980 ගණන්වල සිදුවුණු දේශපාලන හා ආර්ථික වෙනස්කම් නිසා වර්තමාන යුගය නව ලිබරල් මතවාදයේ දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය වලට විකල්ප වූ දේශපාලන හා ආර්ථික මතවාද නැති වී ගිය යුගයක් ලෙස සැලකිය හැකිය. මෙම යුගය ලංකාවේ වාමාංශික දේශපාලඥයන්ගේ සහ මත දරන්නන්ගේ ආත්ම විශ්වාසය විනාශ වී ගිය යුගයක් ලෙස හැඳින්විය හැකිය. කොතරම් දුරකට වමේ දේශපාලඥයින්ගේ සහ මතදරන්නන්ගේ ආත්ම විශ්වාසය නැති වී ගොස් තිබේ ද කිවහොත් වර්තමානයේ ඔවුන් සමාජවාදී සමාජ පරිවර්ථනයක් ගැන කථාකරනවා වෙනුවට ධනවාදී සමාජය තුළ ප‍්‍රායෝගික සහ යථාර්ථවාදී දේශපාලනයක් කිරීම යන ප‍්‍රවේශය දක්වා පසුබැස ඇත. නමුත් මේ වන විට විකල්ප දේශපාලනයක් පිළිබඳ දාර්ශනික සාකච්ඡුා සහ අත්හදා බැලීම්වලට ලෝකය යොමු වී ඇත. නමුත් මගේ හැඟීම නම් අවාසනාවකට ලංකාවේ වමට අද ගෝලීය වශයෙන් සිදුවන සුවිසල් වෙනස්වීම් සහ ප‍්‍රවනතා පිළිබඳ සංවේදීතාවය ඉතා ම අඩු බවයි. සම්ප‍්‍රදායිකව සමාජවාදී නැඹුරුවක් ඇති ලතින් ඇමෙරිකානු රටවල් පමණක් නොව ධනවාදයේ කේන්ද්‍රස්ථාන වන බටහිර යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ වුවද අද නව ලිබරල්වාදයේ අවසානය, ධනවාදයේ අර්බුදය, වෙළඳපොලේ අර්බුදය, ගෝලීය මූල්‍ය ආයතනය හා ප‍්‍රාග්ධනයේ දූෂණය ගැන සාකච්ඡුාවෙමින් විවිධ අරගල හරහා නව දේශපාලන ප‍්‍රවනතා බිහිවෙමින් පවතී. නමුත් ඊට ප‍්‍රතිපක්ෂව අපි තවමත් නව ලිබරල්වාදය සහ ධනවාදය නූතනත්වය සහ අලූත් දේ නියෝජනය කරන මතවාදය ලෙස විශ්වාස කරමින් සිටිමු. අවම වශයෙන් අද ලෝකය මුහුණපාන ප‍්‍රධානතම ගැටලූවක් වන ස්වාභාවික සම්පත්වල සීමාවන්, දේශගුණ විපර්යාස වැනි ගැටලූ නිසා ධනවාදය පවත්වා ගෙන යාමට අවශ්‍ය අසීමිත පරිභෝජනය සහ අසීමිත ආර්ථික වර්ධනයට ඇතිවී තිබෙන අභියෝග පවා අපට නොපෙනෙන සුළුය. අප තවම කථා කරන සංවර්ධන මාදිලිය ෆොසිල් ඉන්ධන මත යැපෙන ආර්ථික වර්ධනය ගැන පමණක් හිතන සම්ප‍්‍රදායික සංවර්ධන මාදිලියක්. විවියන් ගුණවර්ධන අද ජීවතුන් අතර සිටියානම් අප සමාජය තුළ දිනෙන් දින උග‍්‍ර වන අසමානතා සහ අසාධාරණකම් පිළබඳව කුමක් කරයිද? අපට මේ සිදු වී ඇත්තේ කුමක්ද? ලංකාවේ වමට සිදු වී ඇත්තේ කුමක්ද? අපගේ ප‍්‍රගතිශීලී සහ සටන්කාමී දේශපාලන නායකයන් කොහිද? අපගේ විකල්ප මතවාද කොහිද?

මා සිතනා අන්දමටට සාම්ප‍්‍රදායික රදල පවුලක ගැහැණු දරුවෙකුට උරුම වූ ජීවිතයෙන් බිදී වෙන් වී, සාම්ප‍්‍රදායික නොවූ නිදහස් ජීවිතයක් ගත කිරීමට හැකියාව අත්පත් කරගත් විවියන් ගුණවර්ධන චරිතයේ තිබුණු ඒ නිර්භීත, හිතුවක්කාරී, කැරලිකාරී ගති ලක්ෂණවල අවශ්‍යතාවය ඉතා තදින් දැනෙන මොහොතකි මේ. විකල්ප මතවාදවල ශඛ්‍යතාවය පෙන්නුම් කෙරෙන විප්ලවකාරී චරිත අපට අත්‍යාවශ්‍ය වී ඇත.

පසුගිය කාලය තුළ මා ලැබූ අත්දැකීම් කිහිපයක් තුළින් මට හැඟී ගිය දෙයක් ඇත. එනම් ලංකාව තුළ යම් කිසි වෙනසක් ඇති කිරීමට නම් අප කි‍්‍රයාත්මක වන ආකාරයේ විශාල වෙනසක් අවශ්‍ය වන බවත්, ඒ වෙනස ඇති කළ හැකි හෝ අවම වශයෙන් ඒ සඳහා උවමනාවක් ඇති දේශපාලන නායකයින් හිඟ බවයත් ය. අපි 2015 ජනවාරි වල කිසියම් වෙනසක් ආරම්භ කළෙමු. වෙනසක් ඇති කිරීමට අත්‍යවශය වුණු එක් කාරණයක් ඉෂ්ඨ වුණු නමුත් ඒ වෙනසට මගපෑදුවේ දේශපාලන නායකයන්ගේ දක්ෂකම ද නැතහොත් බහුතරයක් ජනතාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා පැවැති පෙළඹවීම ද යන්න නැවත නැවත සිතිය යුතුව ඇත. ඔව්, 2015 වෙනස තුළින් අවස්ථාවන් කිහිපයක් විවෘත වී ඇත. නව ව්‍යවස්ථාවක්, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක්, සංහිඳියාව ගැන කථාබහක්, ජනතාවට දේශපාලන කි‍්‍රයාවලිය තුළ සකී‍්‍රයව සහභාගීවීමට අවස්ථා වැනි වෙනස්කම් සිදු වී ඇත. නව ව්‍යවස්ථාව සහ සංහිඳියා යාන්ත‍්‍රණය පිළිබඳ මහජන අදහස් ලබාගනිමින් සිටී. නමුත් ජනතාවගේ අදහස් ලබා ගැනීමත් ඇත්ත වශයෙන්ම තීරණ ගන්නා කි‍්‍රයාවලියත් අතර ඇති සම්බන්ධය කුමක්ද? අප ඉතිහාසය තුළ ජනතා අදහස් ලබාගත් පළමු අවස්ථාව ද මෙය නොවේ. අප රටේ මහජන අදහස් ලබා ගැනීමේ කොමිෂන් සභා කොතරම් ප‍්‍රමාණයක් තිබී ඇත්ද? අවසානයේ මේ කොමිෂන්වල ඉරණම කුමක් වූයේද? අවසානයේ තීරණ ගත්තේ කවුරුන්ද? තීරණ ගත්තේ කෙසේද? අවසානයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාධාරණත්වය, සමානාත්මතාවය නිර්වචනය කෙරුණේ කෙසේද? මෙම කොමිෂන් වාර්තාවලින් ලැබුණු නිර්දේශ සහ උගත යුතු පාඩම්වලට සිදු වූයේ කුමක්ද? සිදුවන්නේ කුමක්ද?

ඔබ සමහරක් දන්නා පරිදි නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සාමාජිකයෙක් ලෙස සේවය කිරීමට මට පසුගිය කාලයේ අවස්ථාවක් ලැබුණි. අපට එම කර්තව්‍ය සඳහා රට වටේ ගමන් කරමින් මිනිසුන් සමග ව්‍යවස්ථාව ගැන සාකච්ඡුා කිරීමට අවස්ථාව ලැබුණි. මට දිස්ති‍්‍රක්ක 07කට පමණ යෑමට මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඉඩ ලැබුණි. මෙම කි‍්‍රයාවලියට ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වුණු බව අපි නිරීක්ෂණය කළෙමු. මා විශේෂයෙන් දුටු දෙයක් නම් කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සංවිධානය වෙමින් අප වෙත පැමිණ යෝජනා ඉදිරිපත් කරනු ලැබීමයි. අප ගිය සෑම දිස්ති‍්‍රක්කයකම කාන්තාවන් පැමිණ නව ව්‍යවස්ථාවකට යෝජනා ඉදිරිපත් කළා පමණක් නොව දවසම රැුදී සිටිමින් මෙම කි‍්‍රයාවලියට සකී‍්‍රයව සහභාගී වනු දක්නට ලැබුණි. මෙම කාන්තාවන් ඉදිරිපත් කළ යෝජනාවල පැහැදිලි වෙනසක් මම දුටුවෙමි. ඔවුන්ගේ යෝජනා පිටුපස තිබුණේ් ජීවත් වීමට කරනු ලබන අරගලයක් තුළින් ලැබූ අත්දැකීම්ය. උදාහරණයක් ලෙස ළමයින්ට අධ්‍යාපනය ලබා දීමේදී මුහුණ දෙන ගැටලූ, සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේදී මුහුණදෙන ගැටලූ, සමාජ ආරක්ෂණ අයිතීන් නැති වීම, ගෘහය තුළ හා සමාජයේ ප‍්‍රචණ්ඩත්වය සහ බලහත්කාරකම් නිසා මුහුණ දීමට සිදුවන තත්ත්වයන්, යුද්ධය නිසා පවුලේ සාමාජිකයන් අතුරුදහන් වීම සමග ඇති වන ගැටලූ, ජීවනෝපාය මාර්ග නැතිවීම, ණය බරින් පෙලීම, සම්ප‍්‍රදාය, සංස්කෘතිය හා ආගම යනාදී දේවල නාමයෙන් පාලනයට ලක්වනු ලැබීම, යනාදී කරුණු ඔවුහු අප වෙත ඉදිරිපත් කළහ. මෙම ප‍්‍රශ්න හා ගැටලූ තුළින් හෙම්බත් වී එම තත්ත්වයන් වෙනස් කිරීමේ බලාපොරොත්තුවෙන් ඔවුහු පැමිණ සිටියහ. නව ව්‍යවස්ථාව තුළින් ඔවුන් බලාපොරොත්තු වූයේ ඔවුන් මුහුණදෙන අසාධාරණකම් වලින් ආරක්ෂාවයි. මෙම කාන්තාවන් බොහෝමයක් මෙම ප‍්‍රශ්න ඉදිරිපත් කළ පළමු අවස්ථාව ද මෙය නොවිය. එල්.එල්.ආර්.සී, එක්සත්ජාතීන්ගේ සංවිධානයේ විවිධ නියෝජිතයන් ඉදිරිපිට, පරණගම කොමිසම යන විවිධ කොමිෂන් සභා සහ විද්වතුන් ඉදිරියේදී විවිධ අවස්ථාවන්හිදී තමන්ගේ ප‍්‍රශ්න ඉල්ලීම්, යෝජනා සහ නිර්දේශ ඔවුහු ඉදිරිපත් කර ඇත. මා පුදුමයට පත්කළ එක් කරුණක් නම් මොවුන් විසඳුම් සෙවීම සහ අපේක්ෂා කිරීම අතහැර නොතිබීමයි. මා හිතනා අන්දමට විවියන් ගුණවර්ධන ඔවුන්ගේ මේ ලක්ෂණය අගය කරනු නිසැකයි.

මේ කාන්තාවන් ඉල්ලා සිටියේ කුමක්ද? ගෘහය හා සමාජය තුළ සාධාරණත්වය, සමානාත්මතාවය සහ යුක්තිය! ඔවුන් කියා සිටියේ කුමක්ද? ‘‘අපට සාමය අවශ්‍යයි! ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි! නමුත් අප සාමයේ, සාධාරණත්වයේ සහ සමානාත්මතාවයේ නාමයෙන් විවිධ වූ බලාධිකාරයන්වලට යටත් වීමට සූදානම් නැත!’’ එසේම ඔවුන් ඉල්ලන්නේ බලපෑම්වලින් නිදහස්ව ජීවත්වීමට ඇති අයිතියයි. එසේම ඔවුන් පෙන්නුම් කරන්නේ තමන්ගේ තීරණ ගැනීමට ඇති අවකාශය සහතික කරගැනීම සහ එකිනෙකාට යටත් නොවී ජීවත් වීමට තිබෙන වුවමනාවයි. මා සිතනා අන්දමට මේ අපේක්ෂාවන් විවියන් ගුණවර්ධනගේද අපේක්ෂාවන් වීමට හොඳටම ඉඩ තිබුණි. ඇගේ ජීවිතය තුළත් පෞද්ගලිකව හා දේශපාලනිකව ඇය සටන් කළේ මේවාටම නොවේද?
අප ඉදිරියට ආ මෙම කාන්තාවන් කියූ දේ තුළින් එක් දෙයක් පැහැදිලි විය. එනම් අවුරුදු 60 කට අධික ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයක් තිබුණ ද අපගේ මූලික ප‍්‍රශ්න කිසිවක් විසඳී නොමැති බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අප භාවිතා කර ඇත්තේ රජයක් පිහිටුවීමට හා වෙනස් කිරීමට පමණි. එම කාර්යය ඉටු වූවායින් පසුව අපේ අවධානය යොමු වී ඇත්තේ පවත්නා තත්ත්වය විශේෂයෙන්ම පාලක පන්තියේ තත්ත්වය එලෙසින්ම පවත්වාගෙන යාමටය. අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇත්තටම උනන්දුවනවා නම් මේ භාවිතය වෙනස් විය යුතුය. සාමාන්‍ය ජනතාව රටේ පුරවැසියන් වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන අපට අවශ්‍යතාවය ඇත. මා මෙසේ කියන්නේ ඇයි?

අප රටේ තීරණ ගන්නා ආකාරය ගැන මොහොතක් සිතමු. ඔව්, අද අපිට අවුරුදු 2ට කලින් තිබුණට වඩා නිදහස ඇත. මා කළින් කියූ පරිදි අලූත් ව්‍යවස්ථාවක් සහ සංහිඳියා යාන්ත‍්‍රණය පිළිබඳ අදහස් ගන්නා කි‍්‍රයාවලියක් ස්ථාපිත වී ඇත. නමුත් අදහස් ලබා ගැනීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. එම අදහස් ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලියට සහ සංහිදියා යාන්ත‍්‍රණයට සම්බන්ධ වන්නේ කෙසේද? මොහොතක් කල්පනා කරන්න. අද ව්‍යවස්ථාව ආරම්භ කරන විට වැඩිපුර අවධානය ලැබෙන්නේ කවර මාතෘකා සඳහා ද? බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙනවාද? ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට අවස්ථාව විවර වෙයිද? ජාතික කොඩියේ ස්වරූපය වෙනස් වෙයිද? මෙම මාතෘකා ගැන ජනතාව තුළ විවිධ අදහස් මතු වූ නමුත් රජය වගකිව යුතු තනතුරු දරන අය දැනටමත් ප‍්‍රකාශ කර සිටින අන්දමට මෙම කරුණු වෙනස් නොවනු ඇත. ඒවා වෙනස්වීමට අවශ්‍යද නැද්ද යන කාරණයට වඩා වැදගත් වී ඇත්තේ අවධානම් රහිත දේශපාලන තීරණ ගැනීමයි. අපේ කමිටු වාර්තාව කියවා බැලූවහොත් මිනිස්සුන්ගේ ප‍්‍රධාන අවශ්‍යතාවයක් වුණේ සමානාත්මතාවය සහ සාධාරණත්වය සියලූ පුරවැසියන්ට ජාතිය, ආගම, ස්තී‍්‍ර පුරුෂභාවය, ලිංගිකත්වය, පන්තිය යනාදිය කුමක් වුනත් සෑම පුරවැසියෙකුටම සමානව භුක්ති විදිය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තහවුරු වන නව ව්‍යවස්ථාවක්, එනම් මිනිසුන්ගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සඵල කළ හැකි ව්‍යවස්ථාවක් ඇතිවනු දැකීමයි.

එය සිදුවීමට නම් අපේ පාලක පන්තිය පුරවැසියන්ගේ අදහස්වලට අවංකව ප‍්‍රතිචාර දැක්විය යුතුය. නමුත් එය සිදු වී ඇත්ද? සහ අනාගතයේදී එය සිදුවීමට නියමිත ද යන්න ගැන බලවත් සැකයක් ඇත. අප ඉතිහාසයේ අද්දැකීම් අපට පවසා සිටිනුයේ මෙය සාධාරණ සැකයක් බවයි. අවුරුදු 60කට අධික කාලයක් තුළ සිදු වී ඇත්තේ පාලක පන්තිය බලවත්වීම මිසක පුරවැසියන් බලවත්වීම නොවේ. ආණ්ඩු වෙනස් වුණාට වරප‍්‍රසාද හා බලය ආරක්ෂා කරන දේශපාලන සංස්කෘතිය වෙනස් වී නොමැත. නව ව්‍යවස්ථාවේ සමාජ, ආර්ථික හා සංස්කෘතික සමානාත්මතාවය සහ සාධාරණත්වය ගැන ඇති වී තියෙන සංවාදය වෙත අපේ අවධානය යොමු කරමු. අප ඉදිරියට ආ ජනතාව විශේෂයෙන් කාන්තාවන් සිය ආර්ථික, සමාජීය හා සංස්කෘතික සාධාරණත්වය නව ව්‍යවස්ථාව තුළින් බලාපොරොත්තු විය. එපමණක් නොව ලඟදී විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති කාන්තාවන් බහුල වශයෙන් සහභාගී වූ මහජන රැුස්වීමක දී ආර්ථික සාධාරණත්වය, සම්පත් සාධාරණව බෙදී යාම, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය වැනි සේවාවන්, පොදු සම්පත් වශයෙන් ආරක්ෂා වීම, මෙම සේවාවන් වෙළඳපොළින් ඉවත් කිරීම වෙනුවෙන් රජයට ඇති වගකීම යනාදී කරුණු රාශියක් නව ව්‍යවස්ථාව තුළින් ප‍්‍රකාශයට පත්විය යුතු බව අවධාරණය කෙරිණි. රැුස්වීමෙන් පසු අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් ගොස් අගමැති කාර්යාලයට සංදේශයක් භාරදෙන ලදී. මේ පිරිසෙන් බොහෝ දෙනෙක් ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව වෙතටත් යෝජනා ඉදිරිපත් කළ අය වූහ.

නමුත් දැන් ලැබෙන ආරංචි අනුව මෙම ප‍්‍රවේශ ගැන ඉල්ලීම් 02 ක් දැක ගන්නට ඇත. පළමුව මෙම කාරණා කිසිවක් ව්‍යවස්ථාවට එකතු නොකළ යුතුය යැයි තර්ක කරන කණ්ඩායමේ ප‍්‍රවේශය. අනෙක ආර්ථික, සාමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයට ඇතුළත් විය යුතු බව කියන කණ්ඩායමේ ප‍්‍රවේශය.

නමුත් ජනතාව ඉල්ලා සිටියේ මේවා මූලික අයිතිවාසිකම් හැටියට පමණක් ප‍්‍රකාශයට පත් වීම නොව, සමස්ථ ව්‍යවස්ථාව තුළින්ම සාමාජීය, සංස්කෘතික, ආර්ථික, සිවිල් හා දේශපාලන සමානාත්මතාවය සහ සාධාරණත්වය ප‍්‍රකාශයට පත් විය යුතු බවයි. දුප්පත්කමින් පීඩිත ජනකොටස්වල ගැටලූවලට විසදුම් දිය හැකි ලෙස, සම්පත් සමානව සියලූ ජන කොටස් අතර බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ වගකීම සඳහා රජයට ව්‍යවස්ථාපිතව බල කළ යුතු බවයි. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? ව්‍යවස්ථා සම්පාදනය හරහා පාලක පන්තියත් රජයේ ප‍්‍රතිපත්ති සම්පාදන කි‍්‍රයාවලියත් පාලනයකට යටත් කිරීමට ජනතාව අපේක්ෂා කරන බවයි. මෙම අවශ්‍යතාවය මතු වී ඇත්තේ නොගැලපෙන සහ අසාධාරණ රාජ්‍ය ප‍්‍රතිපත්ති වලින් හෙම්බත් නොවී සිටීම උදෙසා වූ ජනතාවගේ අපේක්ෂාව නොවේද? එසේම මේ තුළින් කියැවෙන්නේ සෑම ආණ්ඩුවක්ම පාහේ සිය සංවර්ධන සහ ආර්ථික ප‍්‍රතිපත්ති මගින් ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම්දීමට අපොහොසත් වී ඇති බව නොවේද?

නමුත් අප පාලක පන්තිය මෙය නොඇසුණා සේ, එසේත් නැතහොත්, ඇසුනත් එය අදාල නැති සේ හැසිරේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ බලයට තර්ජනයක් නොවන පරිදි කි‍්‍රයාත්මක කළ හැකි ප‍්‍රතිසංස්කරණ පමණි. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ වරප‍්‍රසාද කිසිසේත් තර්ජනයට ලක් නොවන පරිදි ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’, ‘‘සාමය’’ හා ‘‘සංහිදියාව’’ නාමිකව පවත්වාගෙන යාමය. මෙහිදී බලාපොරොත්තු කඩවන කාරණය නම් දැඩි ජාතිවාදී නැඹුරුවක් සහිත පාලක ප‍්‍රභූ පිරිසක් මෙම ස්ථාවරයට සිට කටයුතු කිරීම නොව, වඩා ප‍්‍රගතිශීලී රැුඩිකල් හා ලිබරල් නායකත්වයන් ද අඩු වැඩි වශයෙන් මෙම ස්ථාවරයටම පැමිණීමය. මෙම කණ්ඩායම් දෙකම තමන්ගේ තත්වයටත් බලයටත් අභියෝග එල්ලවීම නොඉවසයි.

මා දකිනා ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ දී අප මුහුණ දෙන ප‍්‍රධානම අභියෝගය මෙයයි. එනම් පාලක පන්තිය පුරවැසි අයිතිවාසිකම් ඉටු කිරීමට වඩා තම පැවැත්ම කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමයි. මෙය කොතරම් භයානක තැනකට පැමිණ ඇද්ද කිවහොත් අප දැන් ආණ්ඩු මාරු කිරීම හරහා පාලක පන්තියේ ලොකු වෙනසත් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇත.

පසුගිය රජයේ පාලන කාලය තුළ අප මෙහි ඉතාමත් භයානක අදියරකට ඇද වැටුණි. එනම් පාලක ප‍්‍රභූව ව්‍යාපාරික පන්තිය සහ මිලිටරිය අතර ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නැගීමය. මේ ති‍්‍රත්වය එකමුතු වීම පුරවැසි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ඉතාමත් භයානක තත්වයකි. අප පසුගිය කාලයේදී දුටු දෙය නම් ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයින් අතර වෙනසක් නැති තරමට ගොඩ නැගුණු සම්මුඛ සම්බන්ධතාය. ව්‍යාපාරිකයන්ට වාසිවන පරිදි නීති සහ ප‍්‍රතිපත්ති සම්පාදනය කරන විට මිලිටරිය මගින් ඒවා කි‍්‍රයාත්මක විය. නාගරීකරණය සහ සංවර්ධනය යන නමට මුවා වී මේවා සිද්ධ විය. නමුත් සාමාන්‍ය පුද්ගලයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සම්පූර්ණයෙන්ම යටපත් විය.

මා දකින විදියට මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලන සංස්කෘතියට බලවත්ම තර්ජනයක් එල්ල කළ හැක්කේ කාන්තාවන්ටය. මන් ද කිවහොත් අපට කාන්තාවන් වීම නිසාම, පිරිමින්ට වඩා අසාධාරණය සහ අසමානතාවය හොඳින් දැනීම සහ පෙනීමයි. අපේ අද්දැකීම් බොහෝ දුරට තීරණය වන්නේ පවුල තුළ සහ සමාජය තුළ බලපවත්නා පුරුෂාධිපත්‍යය තුළිනි. පුරුෂාධිපත්‍යය ජාති ආගම් භේදයකින් තොරව කාන්තාවන්ට එරෙහිව කි‍්‍රයාත්මක වෙයි. මේ සඳහා උදාහරණ දෙකක් ඉදිරිපත් කරමි.

ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තිය ඉවත් කරන මෙන් කාන්තාවන්ගෙන් හඩක් නැගී ඇත. නමුත් මෙයට විරුද්ධව ගොඩනැගී ඇති ව්‍යාපාරය, ආගම්, ජාති භේදයකින් තොරව ඉදිරිපත් වී ඇත. 16 වන වගන්තියෙන් අසාධාරණයක් සිදු වන්නේ ප‍්‍රධාන වශයෙන් කාටද? කාන්තාවන්ටය! මාගේ දෙවන උදාහරණය, පාසැල්වලට පැමිණෙන කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳව මේ දිනවල ඇති වී තිබෙන කතිකාවයි. එක් පැත්තකින් බොදු බල සේනා වැනි සංවිධාන මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් ගැලවීමට යෝජනා කරන අතර අනෙක් පැත්තෙන් කාන්තාවන්ට සුදුසු ඇඳුම් තීරණය කිරීමට විදුහල්පතිවරුන් ඉදිරිපත් වී ඇත. කාන්තාවන් පාලනය කිරීමට භේදයකින් තොරව පීතෘ මූලික සමාජය කටයුතු කරයි. මේ නිසා අසාධාරණය සහ අසමානතාවය අපට හොඳින් තේරුම්ගත හැකිය.

මේ නිසා කාන්තාවන්ට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සමානාත්මතාවය ලබා ගැනීම සඳහා අරගලය කරන්න සිදු වී ඇත්තේ එම අයිතිවාසිකම් සහ සමානාත්මතාවය කාන්තාවන්ට ලැබීම නිසා තර්ජනයට පත් වන අයගේ පොදු සංධානයක් සමගයි. එසේම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සාධාරණත්වයත් සමානාත්මතාවයත් මෙම නව ව්‍යවස්ථාව තුළින් ලබා ගැනීමට නම් අපට අරගල කිරීමට සිදු වන්නේ දැනට පවත්නා දේශපාලන, ආර්ථික, සාමාජීය, සංස්කෘතිකමය ආකෘති තුළින් වාසි සහ බලය ලබන අය සමගයි. මේ අතර අපේ මිතුරන් ද සිටිය හැකිය. එනමුත් කළ කිසිවක් නොමැත.

අප මේ බලාපොරොත්තු වන සැබෑ වෙනස අරගලයකින් මිස සාකච්ඡුා මගින් ලබා ගත නොහැක. උපයෝගීතා දේශපාලනය හරහා කර ගත නොහැක. එම වෙනස ලබා ගැනීමටනම් අපට වයලට් විවියන් ගුණවර්ධනගේ චරිත ලක්ෂණ සහ ඒ සටන්කාමී හැඟීම් අත්‍යවශ්‍ය වනු ඇත. විවියන් ගුණවර්ධන චරිත කථාව ලියූ ආචාර්ය පුල්සරා ලියනගේ මට පවසා සිටි දෙයක් මතකයට නැගේ. එනම් ‘විවී’ කියන්නේ මේ රටට ආදරය කළ කෙනෙක්. මේ රටේ සාමාන්‍ය ජනතාවට ආදරය කළ කෙනෙක්. මේ ආදරය අව්‍යාජ ආදරයක්.

අපට ඒ වගේ මිනිසුන් අද දේශපාලනයේ නැති එකයි, අපේ අවාසනාව.

ස්තූතියි,

Advertisements