අප පතන ‘පොදු යහපත’ කුමක් ද? – කුමුදු කුසුම් කුමාර

උත්කෘෂ්ඨම දේශපාලන ගැට‍ළුව සදාචාරමය මිස සංවිධානමය නොවන්නේය.

– ෂේඩියාඩ්‍රෑරි, The Political Ideas of Leo – Strauss

‘රාවය’ තම සංවත්සරය වෙනුවෙන් ‘සියලු දෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ආදරණීය ශ‍්‍රී ලංකාවක් ඇති කර ගන්නේ කෙසේ ද?’ යනුවෙන් ප්‍රශ්නයක් නැඟීමෙන් මතු කරන ප්‍රධාන කරුණු දෙකක් මම දකිමි.

ඉන් පළමුවැන්න නම්, වත්මන් ලංකාව එබඳු රටක් නොවන බව අප පොදුවේ පිළිගන්නා බව යි.

දෙවැන්න නම්, එම ප්‍රශ්නය පිළිබඳ සිත එළවීමට තරුණ තරුණියන් ට මෙන් ම වැඩිහිටියන්ටත් ඇරයුම් කිරීම පෙන්නුම් කරන්නේ එබඳු ලංකාවක් ඇති කර ගැනීම පහසුවෙන් කළ හැකි සූත්‍රයක් සම්පාදනය කර ගැනීමේ මඟක් ඇතයි සිතීමට අප පොලඹවන නූතනවාදී දැක්මක් නොවේ. මෙම ප්‍රයත්නයෙහි ඇත්තේ ‘එය සංවාදයට බඳුන් කළ යුතු සහ ඒ පිළිබඳ කතිකාවක් ගොඩ නැඟිය යුතු සංකීර්ණ මාතෘකාවකි,’ යන අදහස බව පෙනී යයි. ඒ අනුව, ප්‍රශ්නයට අපට විසඳුමක් ලබා ගත හැකි වෙතොත් එය මෙබඳු උත්සාහතුළින් අපගේ සාමූහික විඥානයේ ඇති කරගන්නා වෙනසක් තුළින් පමණි. එය දිගු කාලීන ව්‍යායාමයක් බව මගේ වැටහීමයි.

මා මෙම ලිපිය ලියන්නේ එබඳු පුළුල් කතිකාවක් ගොඩ නැංවීමට කෙරෙන අල්ප දායකත්වයක් වශයෙන් සලකා විනා ප්‍රශ්නයට සරල විසඳුමක් මා අත ඇතයි සිතා නොවේ.

ලංකාව යහපත් රටක් බවට පත් කර ගැනීම පිළිබඳ වත්මන් ප්‍රධාන දේශපාලන ධාරාවේ ව්‍යවහාරයේ යෝජනා කෙරෙන විසඳුම් දෙකක් දැකිය හැකි ය. ඒවායේ පුළුල් සහ මූලික ආකෘතික ලක්ෂණ මෙසේ දැක්විය හැකි ය.

ඉන් එකක් නම්, සිංහල ජාතිකවාදී විසඳුමයි. එය,මහ ජාතියේ ආධිපත්‍යය රටේ තහවුරු කිරීමේ පදනම මත යහපත් රටක් ගොඩ නැඟිය හැකි යැයි විශ්වාස කරයි. මෙම විසඳුම, තම ප්‍රතිපක්ෂය වශයෙන් දෙමළ ජාතිවාදය පෝෂණය කරයි, එයින් තමන් වෙත ප්‍රතිරෝධය ගෙන එයි. එය, තනි නායකයකුගේ අනුහස මත පදනම් වූ නාමික පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ ව්‍යවස්ථාදායක ඒකාධිපති පාලනයක් පවත්වා ගෙන යාම අපේක්ෂා කරයි, කුඩා පාලක රෙජිමයක්නැතහොත් කතිපයාධිපත්‍යයක්අත බලය සංකේන්ද්‍රණය වීමෙන් මහජන සම්පත් අයථා පරිහරණයත්, දූෂණයත් පැතිරෙයි. මෙම ක්‍රමය පුරවැසියා දේශපාලනයෙන් බැහැර කරයි, පුරවැසි දේශපාලනය ජාතික ආරක්ෂක රාජ්‍යයට තර්ජනයක් ලෙස සලකනු ලැබෙයි. ආර්ථිකයේ දී එය පෞද්ගලික අංශය සමග තරඟයට රාජ්‍ය අංශය යොදවන ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් පිළිබඳ විශ්වාස කරන බව ප්‍රකාශ කරන නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ණය සහ ආධාර ලබා ගැනීම සඳහා ඔවුන් නිර්දේශ කරන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරයි. මෙම විසඳුම් මඟ දේශීය සහ විදේශීය අනෙකුන් පිළිබඳ අනියත බිය ජනයා මත පැනවීමෙන් ඔවුන්ගේ සහාය ලබා ගැනීම මත පදනම් වෙයි. එය යටතේ ජනවර්ග පීඩා විඳියි, මානව අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙයි, ජනයාට නිදහසත්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි වෙයි, පරිභෝජනවාදී ආකල්පය පිළිබඳ විවේචනයක් එයට ඇති නමුදු එය බැරෑරුම් සළකා විසඳුම් නොසොයයි.

දෙවැන්න, වෙළඳ පොළ මුල් කර ගත් ආර්ථික සංවර්ධනයක් තුළින් යහපත් දේශයක් ගොඩ නැඟිය හැකි යැයි විශ්වාස කරන දෙන සෘජු නව ලිබරල්වාදී විසඳුමයි. මෙහි දී, මානව අයිතිවාසිකම් මත පදනම් වූ පුද්ගල නිදහස වෙළෙඳ පොළ තුල නිදහසේ පාරිභෝජනයට ජනයාට ඇති අයිතිය සුරකියි. ජනවාර්ගික ගැටුමට විසඳුමක් ලෙස මානව අයිතිවාසිකම් වලින් තහවුරු කෙරෙන සමානාත්මතාව මත පදනම් ව, මූලික වශයෙන් ප්‍රභූන් ට, බලය පැවරීම අපේක්ෂා කෙරෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය මෙහි ලා අර්ථ ගන්වන්නේ ඡන්දදායකයා විසින් තම නියෝජිතයන්ට පරමාධිපත්‍ය බලය පවරා දෙන නියෝජන පාර්ලිමේන්තු ක්‍රමයක් ලෙසින් හෙයින් ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට පුරවැසියනට ඇති දේශපාලන අයිතිවාසිකම් ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැප කෙරෙයි. මෙහි දී ද, පුරවැසි දේශපාලනය ජාතික ආරක්ෂක රාජ්‍යයට තර්ජනයක් ලෙස සලකනු ලැබෙයි. දේශපාලන පංතියත් ධනපති පංතියත් හා සසඳන කළ අසමතුලිත ලෙස පොදු ජනතාව මත බදු බර පැටවෙයි; ආර්ථික සංවර්ධනයෙහි ලා වෙළෙඳ පොළ ආර්ථිකයට ප්‍රමුඛතාව දීමේ සමාජීය ඵල විපාකවශයෙන් ඇති වන පාරිභෝජන නැඹුරුව, සමාජයෙන් විලෝපනය නැතහොත් දුරස්ථ වීමසහ ඒ ආශ්‍රිත මත් ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ප්‍රපංච සහ එම ආර්ථික සංවර්ධන උපාය මාර්ගය අතර ඇති සම්බන්ධය නො දකියි; එම සමාජ ප්‍රපංච හුදු තාක්ෂණික හෝ නීතිමය විසඳුම් සෙවිය යුතු සමාජ ගැටලු ලෙස සලකනු ලැබෙයි.

මෙම එළඹුම් දෙක අතර රටේ ජනතාව දෙකට බෙදී සිටිති. පළමුවැන්න මෙරට බහු ජනතාවක් ප්‍රතික්ෂේප කළේ ය. දැන් ක්‍රියාත්මක කෙරෙමින් පවතින දෙවැන්න කෙරෙහි ජාතිකවාදී දෘෂ්ටියට බාහිරව ඉහත සඳහන් සහ තවත් අතෘප්තිකරයන් මතු වී තිබේ.

මෙරට සභ්‍යත්ව අර්බුදයක් ඇතයි කියන්නේ ජාතිකවාදී බුද්ධිමතුන් පමණක් නොවේ. මේ තත්වයෙන් ඔබ්බට අප ගෙන යා හැකි නායකයන් අපට නැතැයි දේශපාලනිකව සංවේදී ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් ප්‍රකාශ කරන විට අපට සිහිපත් වන්නේ ‘නායකයන් පතන දේශය අසතුටනි’ යන බර්ටෝල්ඩ්බ්‍රෙක්ට් ගේ සුප්‍රසිද්ධ කියමනයි.

ඉහත ජාතිකවාදී එළඹුම මර්ධනය, ඒකාධිපතිත්වය, සහ ෆැසිස්ට්වාදය ගෙන එයි. දෙවැනි විසඳුම, වෙළෙඳපොළ තර්කනය මුල් කර ගැනීමෙන් පුද්ගලයා මුල් තැනට ගනියි, පාරිභෝජනය ජීවන පැවැත්මේ පදනම ලෙස ගනියි. මෙම දෙ විසඳුම ම සාමුහිකත්වය, දේශපාලන සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය අපේ සාමුහික ජීවිතයෙන් විතැන් කරයි, පුරවැසියා හුදු ඡන්දදායකයකු බවට ලඝු කරයි. යහපත් ලංකාවක් ගොඩ නැඟීමට නම් අප සෙවිය යුත්තේ ඒවා ප්‍රතිෂ්ඨාපනය කළ හැකි දේශපාලන එළඹුමකි.ඒ සඳහා අපට සිතා බැලිය හැකි මූලික ක්‍රියාමාර්ග කිහිපයක් පමණක් මෙහි ලා යෝජනා කරමි.

පළමුව, ජනවර්ග අතර සමානාත්මතාව සඳහා, ජනවාර්ගික ගැටුමට විසඳුමක් ලෙස මානව අයිතිවාසිකම් ඉක්මවා යන දේශපාලන සමානාත්මතාව සඳහා බලය බෙදන ව්‍යුහයක් සම්පාදනය කර ගත යුතු ය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යුහය තුළ ඒ සඳහා ෆෙඩරල් නැතහොත් සන්ධීයක්‍රමයේ බලය බෙදීමක් අවශ්‍ය කෙරෙයි. ෆෙඩරල් ක්‍රමය අවශ්‍ය වන්නේ දෙමළ ජනයාට සිංහල අධිපති මධ්‍යම ආණ්ඩුවල ආධිපත්‍යයෙන් මිදී තමන් වසන ප්‍රදේශ පාලනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල තිබීම අවශ්‍ය කෙරෙන හෙයිනි. මෙම බලය බෙදා ගැනීමේ ව්‍යවස්ථාමය විධිවිධාන මධ්‍යම රජයට ඒකපාර්ශිකව යළි පවරා ගැනීමට නොහැකි විය යුතු ය. දෙවනුව, ආගම් අතර සමානාත්මතාව සඳහා රජය ආගම් වල පැවැත්මට සාධනීයව හෝ නිශේධනීයව බලපෑම් කිරීමෙන් මිදිය යුතු ය. රාජ්‍යයආගම් සම්බන්ධයෙන් නිල වශයෙන් මධ්‍යස්ථ ව සිටිය යුතුය.

තෙවනුව, සමාජ සාධාරණත්වය සඳහා, ආර්ථික සංවර්ධනයේ පදනම ලෙස වෙළඳ පොල ආර්ථිකය කල් තබා බාර ගැනීම වෙනුවට, වෙළෙඳ පොළ අපගේ ආර්ථිකයේ කුමන භූමිකාවක් ඉටු කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා සමාජයක් වශෙයන්අප පතන පොදු යහපත යන්න කුමක් ද? යන්න,පළමුව සළකා බැලිය යුතු ය. අපගේ සාමූහික දිවි පැවැත්ම සඳහා අප පතන පොදු යහපත පුද්ගලයා මුල් කොට ගත්තක්ද? නැතහොත්, සාමූහිකය මුල්කොට ගත්තක්ද? යන්න අප විසින් ඇසිය යුතුව තිබේ.ප්‍රධාන කොටම අප සාමූහික එකඟතාවටපත් විය යුතු කරුණ මෙය යි. අප ආර්ථික ප්‍රතිපත්ති ගොඩනඟා ගත යුත්තේ පොදු යහපත පිළිබඳ අප එළඹෙන එකඟතාව මතය.

ආර්ථිකයේ තීරක මූලධර්මය ලෙස වෙළෙඳ පොළ ගැනීම පසුපස ඇති අදහස නම් තනි පුද්ගලයන් තමන්ට යහපත් දේ කුමක් ද යන්න වෙළෙඳ පොළෙහි හුවමාරුව තුළ නිදහසේ තීරණය කරන බවයි. මේ අනුව පොදු යහපත යනු ප්‍රජාව සැදුම් ගන්නා තනි පුද්ගලයන් ගේ යහපතෙහි එකතුවක් ලෙස ගණන් ගැනෙයි. පුද්ගල යහපත ජීවිතයේ හදිසි අවශ්‍යතා සහ ස්වයං-සංරක්ෂණය පිළිබඳ සැළකිල්ල දක්වන හෙයින් සහ බොහෝවිට සාමුහික හෝ මහජන යහපතට එරෙහිව යන හෙයින් එය මහජන යහපත විය නොහැක.

බාධා විරහිත පුද්ගලවාදය නිදහස් වෙළෙඳපොළ සමග බද්ධවීම සාමුහික ජීවිතයෙන් විලෝපනය වූ පුද්ගලයන් බිහි කරන අතර එය ඔවුන් සමාජීය වශයෙන් විසන්ධි කරයි. පුද්ගලවාදයරජයන සමාජයක දේශපාලනය යනු එයටම අගයක් ඇති දෙයකට වඩා රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමෙන් ප්‍රජාවේ සිටින පුද්ගලයන්ගේ “සුභසාධනය” හුදෙක් සහතික කිරීමේ මඟක් වෙයි.එහෙයින් ආර්ථිකයක ප්‍රමුඛතාවවෙළෙඳ පොළට දීම මගින් දේශපාලනය, පුද්ගල සුභසාධනය ලබා දීමටත්, පුරවැසිභාවය, එම සුභසාධන වැඩ පිළිවෙලවල් කළමනාකරණය සඳහා දේශපාලනඥයන් පත් කර ගැනීමටත් ලඝු කෙරෙයි.

දේශපාලනය පිළිබඳ අපගේ සාමුහික උනන්දුව වඩා ප්‍රබල ආකාරයකට සූත්‍ර කළ හැකි ආකාරයක් නම් දේශපාලනය ප්‍රජාවේ තනි පුද්ගලයන්ගේ යහපත එකතු කර ගත් විට සැදෙන්නකට වඩා වෙනස් ආකාරයෙන් සාමුහික ජීවිතයේ යහපත ගැන සිතිය යුතු ය යන්නයි. මගේ යෝජනාව අපගේ පොදු යහපත, පුරවැසියන්ගේ දේශපාලන සමානාත්මතාව මත ගොඩ නැගෙන සාමුහිකයක් වශයෙන් අපට යහපත් වන දේ කුමක් ද යන්න තීරණය කිරීමෙහි ලා පුරවැසියන්ට සක්‍රීයව මැදිහත් විය හැකි (හුදෙක් පාර්ලිමේන්තු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නොවන) පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය විය යුතු බවයි.මා සිතන්නේ යහපත් ලංකාවක් ගොඩනැඟීමේ පදනම ඇත්තේ එබඳු ප්‍රජාතන්ත්‍රවාදයක් සාක්ෂාත් කර ගැනීම මත පමණක් බවයි.

අප මානවයන් ලෙස අපව වටහා ගන්නේ කෙසේද යන්න තීරණය කරන්නට වෙළෙඳ පොළට ඉඩ දිය යුතු නොවේ.අපේ දේශපාලනය ආර්ථික ගමන් මග තීරණය කරනවා මිස ආර්ථිකය දේශපාලන ගමන් මග තීරණය කළ යුතු නොවේ.

එහෙයින්, අවසාන වශයෙන්, යහපත් දේශයක් ගොඩ නැඟීමට නම් සැබෑ සක්‍රීය සෘජු පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආණ්ඩු ක්‍රමයක් පරිකල්පනය කළ යුතු වෙයි. එවැන්නක් සඳහා මූල ආකෘතියක් විප්ලවීය තත්වයන් තුළ පුරවැසියන් සක්‍රීය වීමේදී ස්වයංසිද්ධව ඔවුන් ගොඩ නගා ගන්නා විප්ලවීය කවුන්සිල නැතහොත් සභා වල දැකිය හැකි බව හනා ආර්න්ඩ්ට් බටහිර රටවල විප්ලව අධ්‍යයනයට ලක් කිරීම මත තර්ක කොට ඇත. එම විප්ලවීය පුරවැසි සභා සංවිධානය කෙරෙන්නේ පහළ මට්ටමේ සිට තලයෙන් තලය ජාතික මට්ටම දක්වා ඉහළට ගොඩ නැඟෙන පිරමිඩ ආකාර ව්‍යුහයක් ලෙසිනි. එක් එක් ගමක හෝ ටවුමක පුරවැසියන් සෘජු ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා නියෝජිතයන් ගෙන් පළමු සභා මට්ටම (වර්තමානයේ පළාත් පාලන මට්ටම ) සකස් වෙයි. එම පළමු මට්ටමේ සභා වල සිටින නියෝජිතයන් සෘජු ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා නියෝජිතයන්ගෙන්දෙවැනි සභා මට්ටම (වර්තමානයේ පළාත් සභා මට්ටම) සකස් වෙයි. අවසාන ජාතික මට්ටම සකස් වන්නේ දෙවැනි මට්ටමේ සභා වල සිටින නියෝජිතයන් සෘජු ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා නියෝජිතයන් ගෙනි.

මෙම ආණ්ඩු ක්‍රමයේ හරය වන්නේ වත්මන් නියෝජන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇති කරන සියළුමගැටළු වලට පාහේ විසඳුම් මෙහි ලා සෙවිය හැකි වීමයි. මූලික වශයෙන් ජාතික මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහළ සිට ඉහළට දිවෙන නියෝජන ව්‍යුහයක් තුළින් සිදු කෙරෙන බැවින් යෝජිත ක්‍රමය තම ගම් හා ටවුන් මට්ටමේ නියෝජිතයන් හරහා ජාතික මට්ටමේ දේශපාලනයට වඩා සෘජුව සම්බන්ධවීමට හැම පුරවැසියෙකුටම ඉඩ සළසයි. එක් එක්මට්ටමක පුරවැසි නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය පුරවැසියනට පැවරීමෙන් නියෝජිතයන් පුරවැසියනට සෘජුව වග කියන බවට සහතික විය හැකිය.

එවැනි ව්‍යුහයක් තුළ පළමුවෙන්පහළම මට්ටමේ පුරවැසි සභා ද, දෙවනුව දෙවැනි මට්ටමේ සභාද, තෙවනුව ජාතික මට්ටමේ සභාවද පිහිටුවනු ලැබෙයි. මෙහිදී පළමු මට්ටමට තම සභාවට අයත් භූමි ප්‍රදේශය පාලනය කිරීමට ඇති බලයෙන් කොටසක් ඊට ඉහළ මට්ටමේ සභාවට පැවරීමෙන් දෙවැනි මට්ටමේ බලයත්, දෙවැනි මට්ටමේ සභා වලට ඇති බලයෙන් කොටසක් ජාතික මට්ටමේ සභාවට පැවරීමෙන් ජාතික මට්ටමේ දේශපාලන බලයත් සමන්විත වෙයි. ඒ අනුව මෙය සන්ධීයකරණය කළ නැතහොත් ෆෙඩරල් සභා ක්‍රමයකි. එය පහළ සිට ඉහළට බලය බෙදීමක් වෙයි. ආණ්ඩු ක්‍රමය පිළිබඳ මේ හා සමාන ආකෘතිමය අදහසක් ඉදිරිපත් කරන මහාචාර්ය හේ. ශ්‍රියානන්ද ජාතික මට්ටමේ විවිධ සමාජ ප්‍රවර්ගවල නියෝජනය ද, මෙම ව්‍යුහය මගින් සහතික කළ හැකි බව පෙන්වා දෙයි.( බලන්න, A few suggestions for the proposed new constitution, http://www.slguardian.org/2016/01/a-few-suggestions-for-the-proposed-new-constitution/ ).

මා ඉහත ඉදිරිපත් කරන යෝජනා වලින් පළමු සහ දෙවැනි යෝජනා වත්මන් ආණ්ඩු ක්‍රමය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සිංහල බෞද්ධ ජාතිකවාදී ජනයා ඒ සඳහා දිනාගැනීමට දිග් ගැස්සුණු පුළුල් ජාතික සංවාදයක් අවශ්‍ය කෙරෙනු ඇත. මගේ සිවුවැනි යෝජනාව ක්‍රියාත්මක කිරීමට සමස්ත ලාංකේය ජනතාවගේ පරිකල්පනාවේ විප්ලවීය වෙනසක් අවශ්‍ය කෙරෙයි. ඒ සඳහා ඔවුන් පාර්ලිමේන්තුව තම පුද්ගලික වාසියට යොදා ගන්නා දේශපාලන පංතියෙන් ද පක්ෂ දේශපාලනයෙන් ද දෙකෙන් ම මිදිය යුතු ය. එම ක්‍රියාවලිය අප සමාජයේ ඉදිරි ගාමි කොටස් තුළ දැනටමත් දියත් වී ඇති බව මගේ විශ්වාසය යි.

මගේ තුන්වැනි යෝජනාව සළකා බලන සංවාදය අප සමාජයේ පශ්චාත් නිර්බාධකරණ සමයෙන් පටන් ගෙන දිගටම පැවත ඇති තවමත් අවසන් නොවුණු සංවාදයකි. අපගේ පොදු යහපත පුද්ගල යහපත මුල් කොට ගත් එකක් යැයි පිළිගැනීමට බහුතරයක් ලාංකේය ජනයා මේ දක්වාම ප්‍රතික්ෂේප කොට තිබේ. 2105 ජනවාරි 8 දා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ලද ජයග්‍රහණය සාමුහික යහපත වෙනුවෙන් සටන් වැද ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට සටනට පිවිස මෙරට බහු ජනතාව ලද ඓතිහාසික ජයග්‍රහණයකි. අප සමාජයේ සදාචාරමය භූමිය ලෙස වෙළෙඳ පොළ මත පදනම් වූ පුද්ගල යහපත පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම අප මෙරට පතන යහපත් දේශය ගොඩ නැඟීමේ පදනම සපයනු ඇත.

Advertisements