නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර

p1

“වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය ව මැදිහත් වන පුරවැසි දේශපාලනය යි. අප යටත් විජිතවාදයේ ග්‍රහණයෙන් මිදී ලබා ගත් නිදහස සැබෑ ලෙසින් අර්ථවත් වනු ඇත්තේ එබඳු පුරවැසි ක්‍රියාකාරීත්වයක් තුළින් අප කවදා හෝ සාක්ෂාත් කර ගැනීමට ඉඩ ඇති නිවහල් සාමූහික ආචාර ධර්මීය ඌරුවක් වගා කර ගැනීමෙන් පමණි. අප ඒ සඳහා යා යුතු දුර බොහෝ යැයි සිතමි.”

1948 දී අපි යටත් විජිතවාදී ග්‍රහණයෙන් මිදුණෙමු. 1972 දී, යටත් විජිතවාදයට තිබූ සෙසු ආයතනික බැඳීම් වලින් ද නිදහස් ව ලංකාව ජනරජයක් බව ප්‍රකාශ කර සිටියෙමු.

නමුත්, ලංකාව සැබෑ ජනරජයක් නො වන්නේ ය. එමෙන්ම, අපි තවදුරටත් මනසින් වහල් ව, අනුකාරකවාදීව සිටින්නට තෝරා ගෙන ඇත්තෙමු.

අපේ අනුකාරකවාදී මනස පිළිබිඹු කරන මූලික උදාහරණ කිහිපයක් පමණක් මෙහි ලා ගෙන හැර දැක්විය හැකිය.

එයින් උපත ලද තිස් වසරක යුද්ධයක් උදා කළ මහා ජීවිත සහ ධන විනාශයකින් පසුත්, ජනවාර්ගික ගැට‍ළුවට තිරසාර විසඳුමක් සොයා ගැනීමට අදත් අපි අපොහොසත් ව සිටිමු.

ලංකාව ආර්ථික වශයෙන් ස්වාධීන නොවේ. අපේ ආර්ථිකය උග්‍ර ණය බරකට ඇද දමා ඇත.

අපි වෙනත් රටවල බල පොරයට අපේ රට සටන් භූමියක් කර ගැනීමේ ඉඩ කඩ සලසා දී ඇත්තෙමු. මෙහි දී, ලෝකයේ වෙනත් රටවල් උගත් පාඩම් යළිත් අප විසින් මඅලුතින් ම ඉගෙන ගැනීමේ නිෂ්ඵල බව අපේ නායකයෝ නො දකිති. ඒ වෙනුවෙන් මහජනයාට ගෙවන්නට වන අධික මිල පිළිබඳ ඔවුන්ට තැකීමක් නැත.

ණයට හිලව් වන්නට අපේ නායකයෝ රටේ භූමිය සහ සම්පත් නොරටුන්ට රටේ නූතන ඉතිහාස කාල පරාසය මෙන් දෙවරක කාලයකට දැනට පවරමින් සිටිති. තිසරණී ගුණසේකර අපට සිහිපත් කරන්නාක් මෙන් කියුබාව ස්පාඤ්ඤ යටත් විජිතවාදියා එළවන්නට උදව් පතා ගුවන්තනාමෝ ඇමරිකාවට පවරා දීමෙන් ලද කටුක අත්දැකීම තිබිය දීත් ලාංකේය ජනතාවට ඒ හා සමාන අත්දැකීමක් චීනය සමග අත්විඳීමේ අවස්ථාව ලබා දෙන්නට මෙම නායකයෝ අධිෂ්ඨාන කොට ගෙන සිටිති. ත්‍රිකුණාමල වරාය සංකීර්ණය ආශ්‍රිත තෙල් ටැංකි සහ භූමි කලාපයක් ඉන්දියාවට පවරා දීම දේශපාලන වියවුලකට මඟ පාදනු ඇතයි දයාන් ජයතිලක මතු කරන කරුණ ද ඔහු ගේ දේශපාලනය පිළිබඳ අප එකඟ නොවන නිසාම ඉවත දැමිය යුතු එකක් නොවේ.

අපේ තරුණ පරම්පරා කිහිපයක් ම දකුණේ සහ උතුරේ රාජ්‍ය විරෝධී කැරලිවලට සහ ත්‍රස්තවාදයට යොමු වීමෙන් විනාශ මුඛයට යනු වළකා ලන්නටඅපි අපොහොසත් වීමු.

අපේ වනගහනය, ජල සම්පත, මත්ස්‍ය සම්පත, සත්ව සම්පත යනාදීස්වාභාවික පරිසර සම්පත් මෙන් ම ඒ හා බැඳුණු ප්‍රජාවන් ගේ ජන ජීවිත ද ආර්ථික සංවර්ධනයේ නාමයෙන් විනාශ කරන්නට අපි ඉඩ දී ඇත්තෙමු.

අපේ අධ්‍යාපන ක්‍රමය යහපත් පුරවැසියන් බිහි කිරීම නොව වෙළෙඳ පොළේ රැකියා ඉලක්ක කොට පුද්ගල ස්වාර්ථ සාධනයට තරුණ පරපුර යොමු කොට ඇත;මහජන සෞඛ්‍ය සේවය පිරිහෙමින් පැවතී ඇත; මහජන මගී ප්‍රවාහන සේවාව මහජනයාට,වැඩ කරන ජනයාට හිරිහැරයකි, අකාර්යක්ෂම ය.

අපේ නායකයන්ට ලංකාව වෙනුවෙන් දුරදක්නා දැක්මක් නොමැත. එබන්දක් ඇතයි පෙනෙන විට එය හුදෙක් රටේ පවතිනා තත්වයන් සැලකිල්ලට ගැනීමට අපොහොසත් ආර්ථික දැක්මක් පමණි. හුදු ආර්ථික දැක්ම ඉක්මවා පොදු යහපත පිළිබඳ සිතිය හැකි දේශපාලන නායකත්වයක් අද අපට නැත.

අපගේ දේශපාලනඥයන් අතර බලය සඳහා වන පොරය වෙන කවරදාවත් නොවූ පරිදි උග්‍ර ය. ඔවුන් ලෝකයේ පවතින සියලු ප්‍රශ්න විසඳීම සඳහා මෙතෙක් තිබූ එකම අඩුව තමන්ට දේශපාලන බලය නො තිබීම යැයි විශ්වාසයෙන් උඩඟු කමින් පිරී ගොස් ඇති අයයි. කුමන මාර්ගයකින් හෝ අත්පත් කර ගන්නා ආර්ථික වර්ධනය සියලු ගැට‍ළුවිසඳා ලනු ඇතයි මෙම නායකයෝ විශ්වාස කරති. ජනයාගේ මතය හෝ කැමැත්ත නො විමසාජන ජීවිතය යහපත් කිරීම සඳහා අවශ්‍ය දේ තමන් නිවැරදිව ම දන්නේ යැයි ඔවුහු විශ්වාස කරති.
අපගේ දේශපාලනඥයන් පුරවැසියාට සලකන්නේ හුදු ඡන්දදායකයෙකු ලෙස පමණකි. ඔවුහු තමන් නියෝජනය කරන්නේ යැයි සිතන ජනයාට වුවත්ඇහුම්කන්නො දෙති, මහජන මතය නො සලකා හරිති. ඔවුන් ගේ දේශපාලන පොරොන්දු බලයට ඒම සඳහා පමණක් මිස අව්‍යාජ ව ඉටු කිරීම අරමුණු කොට දෙන ඒවා නොවේ. ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා බලවත් අවශ්‍යතාවක් ජනතාව අතර පවතින අවස්ථාවක ඉදිරිපත් කරන සවිස්තරාත්මක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඇති සියලු කරුණු ඉටු කිරීමට තමන්ට ජනවරමක් ලැබී ඇතයි පුන පුනා කියන්නට තරම් අපගේ දේශපාලන නායකයෝ වංචනික වෙති.

පුරවැසියා පොදු යහපත පිළිබඳ හැඟීමක් නැති හුදු බඩගෝස්තරවාදියෙකු ලෙස සැලකීම අපගේ ඇතැම් දේශපාලනඥයන් ගේ සිරිත ය. මෙය රදල මානසිකත්වයකි. තරුණයන්ට අවශ්‍ය හුදෙක් බඩ කට පුරවා ගැනීම නොව දේශපාලනයට එනම් අප පතන පොදු යහපත කුමක් දැයි තීරණය කිරීමේ කටයුත්තට සක්‍රීය ව හවුල් වන්නට බව ඔවුන්ට නො වැටහෙයි.

මා දකින පරිදි ඉහත මූලික උදාහරණ වලින් පෙන්නුම් කරන අපගේ සිතීමේ වහල් භාවයට ප්‍රධාන හේතුව වන්නේ අපගේ සිතීම යටත් විජිත වාදයෙන් අප ලද උරුමයක් වන අනුකාරකවාදී අච්චුවකට අනුව හැඩ ගැසීම යි. අපි නූතනත්වයේ අනුකාරකවාදීන් වී සිටිමු. එහි දී අප අපගේ සිතීමෙන් මානවීයවාදය බැහැර කොට ඇත්තෙමු. මාක්ස්වාදය හෝ වේවා ලිබරල්වාදය හෝ වේවා දේශපාලනයේ නාමයෙන් සහ ආර්ථික සංවර්ධනයේ නාමයෙන් අපි අපගේ සිතීමෙන් මානවීයවාදය බැහැර කොට ඇත්තෙමු.

යහපත් යැයි පාලකයන් සිතන අරමුණු සාක්ෂාත් කර ගනු වස් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි යැයි පාලකයන් දර දඬු ලෙස එල්බ ගෙන සිටින මතය මානව විරෝධී ය. එය එම ක්‍රියාමාර්ග වලින් තනි පුරවැසියන්ගේ සහ හඬක් නොමැති කුඩා ප්‍රජාවන්හිපැවැත්මට වන හානි නො වැදගත් ලෙස නො සලකා හරිනවා මෙන් මරටේ අනාගත පැවැත්මට, පොදු යහපතට ඉන් වන හානි ද නො සලකා හරින්නේ ය.

මානවීයවාදය යනු පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ලිබරල් නෛතික කතිකාව නොවේ. එය පුරවැසියාගේ අයිතීන් දේශපාලන කරුණක් ලෙස සලකා සහතික කරන්නකි. සංවර්ධනයේ නාමයෙන් නාගරික වැසියන්, ධීවරයන්, ගොවියන්, ගම්වැසියන් තම පාරම්පරික නිෂ්පාදන භූමි සහ වාසභූමි වලින් එළවා දැමීම හුදු මානව අයිතිවාසිකම් පිළිබඳ නෛතික ගැට‍ළුවකින් එහාට යන්නකි.

මානවීයවාදයෙන් තොර ආර්ථික සංවර්ධනය හුදු යාන්ත්‍රික එළඹුමකි. මානවීයවාදයෙන් තොර ආණ්ඩු කරණය ආචාර ධර්මීය භාවයෙන් තොර ය. එය යහපාලනය නොවේ. යහපාලනය සැබෑ අර්ථයෙන් ධර්මිෂ්ඨ විය යුතු ය, පෙර රජ දරුවන්දස රාජ ධර්මයෙන් රට පාලනය කළ ලෙසිනි. රජුන් දස රාජ ධර්මය කඩ කළ විට ඔවුන් බලයෙන් පහ කිරීමේ අයිතිය රට වැසියන්ටඇතයි යන්න අතීතයේ පටන් පිළිගැනුණුධර්මයකි යන්න අප මෙහිදී සිහිපත් කළ යුතු ය.

ජනරජයක් යනු මහජනතාවගේ දෙයකි. එය පුරවැසියන්ගේ පොදු භුක්තියට යටත් දෙයකි. නීතියේ පාලනයට යටත් දෙයකි. එසේ නොමැතිව තනි මිනිසුන් විසින් තම සිතැඟි අනුව පාලනය කරනු ලබන දෙයක් නොවේ. පරමාධිපත්‍යය (එනම්, දේශපාලන දේහය තුළ පරම සහ අවසාන බලයක් පැවරෙන අධිකාරයක් ඇත යන අදහස) මුලින් එය හිමි යැයි සලකනු ලැබූ රජුගෙන්, ජාතියට සහ එනයින් මහජනතාවට පැවරී ඇතයි අපට කියන නමුත් වත්මන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ මහජනතාවට ඇති ස්වාධිපත්‍ය බලයක් නොමැත. එතුළ බලය සැබවින්ම හිමිව පැවතියේ දේශපාලන පංතියකට ය.

ලොව ප්‍රකට ඇමරිකානු දාර්ශනිකයෙකු වන ඇලස්ඩෙයාර් මැකින්ටයර් 1997 දී ලියූ රචනයක බටහිර ලෝකයේ අත් දැකීම් සලකා බලමින් ඒ පිළිබඳ මෙසේ කියා සිටියේ ය:

“ දියුණු ධනවාදී නූතනත්වය යටතේ ඇති සමාජයන් දේශපාලන වශයෙන් ගත් කළ ප්‍රජාතන්ත්‍රවාදයන් ලෙසින් වෙස්වලා ගත් කතිපයාධිපත්‍යයන් ය.ඒවායේ වසන අතිමහත් බහුතරයක් දෙනා, ඡන්දදායකයන්ට ඒවා අතුරින් තෝරා ගැනීමට අවසර ඇති විකල්පයන්ගේ පරාසය තීරණය කරන ප්‍රභූ පැලැන්තියේ සාමාජිකත්වයෙන් බැහැර කොට ඇත. වඩාත් ම මූලික විවාදපන්න කරුණු එම විකල්පයන්ගේ පරාසයෙන් බැහැර කොට ඇත.”

මේ අදහස සාකච්ඡා කරන විචාරකයෙකු පෙන්වා දුන්නේ මැකින්ටයර් මෙහි ලා වඩාත් ම මූලික විවාද පන්න කරුණු ලෙස අදහස් කරන්නේ ‘තනි මානව පුද්ගලයන්ට සහ සමස්තයක් වශයෙන් මානව ප්‍රජාවන් සඳහා වන වඩාත් ම යහපත් ජීවන ආකාරය කුමක් ද?’ සහ ‘අන් ඒවාට සරුසාර වීමට ඉඩ සලසන පරිද්දෙන් ඒ එක එකක් පර්යාය ගත කළ හැක්කේකෙසේ ද?’ යන්න බවයි. එනම් පොදු යහපත යන කරුණ පුද්ගලයා සහ ප්‍රජාව යන දෙකම අන්‍යොන්‍යව ඇතුළු කර ගන්නා, සශ්‍රීක ජීවිතයක් ඇති වන පරිද්දෙන් එකඟ ව පර්යාය ගත කල හැක්කේ කෙසේ ද? යන්න යි. නූතන දේශපාලනයේ එවැනි වාද මාතෘකා සඳහා අවකාශ නොමැති බව එම විචාරකයා මැකින්ටයර් අනුව යමින් තර්ක කළේය .

ප්‍රංශ දාර්ශනික අලේන් බදියු ඇමෙරිකාවේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු උදා වන තත්වය සාකච්ඡා කරමින් ලියු ලිපියක එන එක් අදහසක් මැකින්ටයර් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයන්හි බලය දේශපාලන කතිපයාධිපත්‍යන් අතට පත්වීම පිළිබඳ ඉදිරිපත් කරන අදහස වර්තමානයට අදාළව පැහැදිළි කරන්නකි.

බදියු එහි මෙසේ කියයි:

රිපබ්ලිකන් සහ ප්‍රජාතන්ත්‍රවාදීන්, සමාජවාදීන් සහ ලිබරල්වාදීන්, වම සහ දකුණ යනාදී වශයෙන් වියුක්ත ව පමණක් බෙදී ඇති සමූහයක් වන මෙම දේශපාලන කතිපයාධිපත්‍යය, දේශපාලන පංතිය,ලෝක මට්ටමින් ගත් කළ එකම සමූහයක් බවට පත් වෙයි. එම ආකාරයේ බෙදීම් අද වන විට හුදු වියුක්ත වන අතර යථාවාදී නොවේ. බටහිර ලෝකයේ මෙම දේශපාලන කතිපයාධිපත්‍යය අතින් අද ධනවාදී යන්ත්‍රණයේ පාලනය එන්න එන්නම ගිලිහෙමින් පවතියි.

( http://www.versobooks.com/blogs/2940-alain-badiou-reflections-on-the-recent-election )

මැකින්ටයර් සහ බදියු ගෝලීය උතුරේ දේශපාලනය සම්බන්ධයෙන් කරන මෙම නිරීක්ෂණ ලංකාව සම්බන්ධයෙන් සලකා බලන කල 1977න් පසු සමයේ වඩාත් ප්‍රකට ව පෙනුණු ඒ හා සමාන තත්වයන් වටහා ගැනීමට අපට පිහිට වන්නේ යැයි සිතමි.

එබඳු තත්වයන් සාධාරණීකරණය කිරීමෙහි ලා දේශපාලනඥයන් ගේ පිහිටට මකියාවෙල්ලි යොදාගැනීම අප සමාජයෙත් දකින්නට ලැබේ.

‘දේශපාලනයෙහි ලා ආචාර ධර්ම වලංගු නැත’ යි මකියාවෙල්ලි මතු කළ සංකල්පීය කරුණ ප්‍රතිමූර්තිමත් කිරීමේ වගකීම අපගේ දේශපාලනඥයන් තමන්ට පවරා ගෙන ඇති සෙයකි. පවතිනා දේශපාලනයේ ස්වරූපය මෙය වන නමුදු දේශපාලනය සහ ආචාර ධර්මය අතර ඇති සම්බන්ධය පිළිබඳ බටහිර දේශපාලන චින්තනයේ ආරම්භක සමයේ දී ඇරිස්ටෝටල් මතු කළ අදහස් මෙයින් නිශේධනය නොවේ.

තම ආචාර ධර්මය නමැති කෘතියෙහි තර්ක කළ පරිදි, ඇරිස්ටෝටල් ආචාර ධර්මය සහ දේශපාලනය අතර සමීප සම්බන්ධයක් දුටු අතර සද්ගුණවත් ජීවිතයක් දේශපාලනයෙහි ලා සහභාගී වීමෙන් පමණක් ලැබිය හැකි දෙයක් ලෙස සැලකීය. මෙහි ලා දේශපාලනය යනු පොදු යහපත යනු කුමක් ද යන්න තීරණය කිරීමෙහි ලා සහභාගී වීම යන්න වැදගත් ය. ඇරිස්ටෝටල් ට අනුව දේශපාලනයේ අරමුණ වඩාත් ම යහපත් අරමුණ යි ; දේශපාලනයේ ප්‍රධානතම සැලකිල්ල ඇත්තේ පුරවැසියා තුළ යහපත් චරිත ස්වභාවයක් ගොඩ නංවා ඔහු උතුම් ක්‍රියාවන්හි නිරත වීමට යොමු කිරීමට යි.

ඇරිස්ටෝටල් දුටුවේ දේශපාලනය සැබෑ ලෙස හදාරන ශිෂ්‍යයා අන් සියල්ලට මඉහළින් සද්ගුණය පිළිබඳ හැදෑරුවෙකු විය යුතු ලෙසිනි. මන්ද යත්, ඔහු තම පුරවැසි සගයන් නීතිගරුක යහපත් මිනිසුන් බවට පත් කිරීම අරමුණු කරන හෙයිනි. තමන්ගෙන් දේශපාලනය විද්‍යාව ගැන අධ්‍යාපනය ලබන්නට පැමිණෙන්නන් යහපත් හුරු පුරුදු ඇති මනා හැදියාවක් ඇති අය විය යුතු යැයි ඔහු කියා සිටියේ එහෙයිනි.

වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය ව මැදිහත් වන පුරවැසි දේශපාලනය යි. අප යටත් විජිතවාදයේ ග්‍රහණයෙන් මිදී ලබා ගත් නිදහස සැබෑ ලෙසින් අර්ථවත් වනු ඇත්තේ එබඳු පුරවැසි ක්‍රියාකාරීත්වයක් තුළින් අප කවදා හෝ සාක්ෂාත් කර ගැනීමට ඉඩ ඇති නිවහල් සාමූහික ආචාර ධර්මීය ඌරුවක් වගා කර ගැනීමෙන් පමණි. අප ඒ සඳහා යා යුතු දුර බොහෝ යැයි සිතමි.

Advertisements