විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

සර් අයිවර් ජෙනින්ග්ස්  පේරාදෙනියේ දී
සර් අයිවර් ජෙනින්ග්ස් පේරාදෙනියේ දී

“1971 කැරැල්ලට ආසන්න මාසවලදී තරුණයින් සමඟ ගැටී, එවක වාතාවරණය ඉවෙන් උකහා ගත් අයට, තරුණයින්ගේ මානසිකත්වය ගැනත්, කැරැල්ලට මුල්වුනු දර්ශනය ගැනත් ඉතා වැදගත් ඉඟි කීපයක් නොලබා තිබීමට බැරි තත්ත්වයක් තබුණා. මගේ කුතුහලයට දැඩි ලෙස භාජනය වුනු දෙයක් තමයි, කැරලිකරුවන් පුස්තකාලය ගිනිබත් කරනවයි කියපු කටකතාව.

කැරැල්ලට කිසිසේත්ම සම්බන්ධ නැති අය ඇතුළුව ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මෙය සැබෑකොට පිළිගෙන,ඒ දවස්වල පුස්තකාලයට නොගිහින් සිටියා. ඒ කියන්නෙ එය පුහු ප්‍රචාරයක් යයි ඔවුන් ඇදහුවෙ නැහැ. හැම දේම අතරින් ඇයි පුස්තකාලය? මා තුළ එය මහත් කුතුහලක් දැනෙව්වා. එය සාමාන්‍ය විනාශකාරී වැඩක් වශයෙන් තේරුම් ගැනීම අපහසු වුනා.

මේ කටකතාව, ඉගෙනීම කෙරෙහි තරුණ කොටස් තුළ පැවතුණු ආකල්පය පිළිබඳව සංකේතයක් බඳුය. කැරැල්ලට නැඹුරු කොටස්, පාඩම් නොකරන ලෙසත් දේශනවලට නොයනලෙසත් අනික් සිසුන්ට කියමින් සිටියා. ශිෂ්‍යයින් හා ආචාර්‍ය්‍යවරුන් අතර සමාජයීය හා ආර්ථික පරතරයනවසිය හැට ගණන්වලදී පළල් වීමත් සමඟම, ශාස්ත්‍ර ඥානය වනාහි වරප්‍රසාද ලත් පංතියකගේ තහවුරු වරප්‍රසාද පොදියෙන් කොටසක් හැටියට සරසවි සිසුන් අදහන්නට වුනා.”

කුලපතිතුමනි, උප කුලපතිතුමනි, සරසවි සමාජයේ සියලු සාමාජිකයිනි, විශේෂ අමුත්තනි. මා අවුරුදු විසිපහකට වැඩි කාලයක සිට උගන්වපු බිමට ආපසු පැමිණ සිටීම ගැන මා කොයිතරම් සතුටුවෙනවාද, ආඩම්බර වෙනවාද කියා මා මුලින්ම කියන්න ඕනෑ. මගේ ශාස්ත්‍රීය ජීවිතයේ සාරවත්ම වකවානුව මා මෙහි ගත කළා යයි මා හිතනවා. මගේ සතුට, ආඩම්බරය හා ගෞරවය වඩාත්ම විශේෂ වන්නේ, මා මෙහාට කළ සේවය අගය කරමින්, ඔබේ ප්‍රධාන අමුත්තා වශයෙන් උපාධි ප්‍රධානෝත්සව දේශනය කිරීමට ආරාධනා කිරීම ගැනයි.

මා අද කතාකරන්නට තීරණයකර ගත්තේ මගේ මනසෙහි නිතර නළියන ප්‍රශ්නයක් ගැනයි. මේ ප්‍රශ්නය ඔබේ සිතටත් වධ දෙනවා ඇතැයි මා විශ්වාස කරනවා. මා මේ කියන්නෙ අද දවසේ විශ්ව විද්‍යාලවලට මුහුණ පාන්නට සිදුවී තිබෙන අර්බුදය ගැනයි. මෙබඳු අර්බුදයක් පවතින බව අප මුලදීම පිළිගන්න ඕනෑ. ඒ සමගම මේ ප්‍රශ්නය දෙස අප බලන්න ඕනෑ කිසියම් ආණ්ඩුවක් ගැන සලකාගෙන නොව ජාතික මට්ටමෙන්. ශාස්ත්‍ර ඥානයට මධ්‍යස්ථාන වශයෙනුත් ඥාන ගවේෂණයෙහි හා විචාරාත්මක විමර්ෂණයෙහි යෙදුණු ස්ත්‍රී පුරුෂ දෙකොට්ඨාශයකින් සමන්විත වූ ජන සමාජයක් වශයෙනුත් හඳුන්වනු ලැබූ විශ්වවිද්‍යාල මෙකල එම ලක්ෂණ වලින් පිරිහී තිබෙන බව අපට ප්‍රකටව පෙනෙන කරුණකි. දැන් විශ්ව විද්‍යාල පෙනෙන්නේ වැඩිහිටියන් විසින් අනාථකරනලද දූ දරුවන් ඉවක් බවක් නැතිව හැසිරෙන තැන් තැන්වල පිහිටි නිස්සාර ශුන්‍ය ජනපද කිහිපයක් ලෙසටයි. ඒවායේ ආචාර්‍ය්‍යවරුන් දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. ඒ අය ඉඳ හිට පැමිණ ස්වල්ප වේලාවක් නතරවී සිට තමන්ගේ නියම කටයුතු තිබෙන්නේ වෙන දිහාවකයැයි අඟවන්නා සේ කඩිමුඩියේ ආපසු යනවා.

අර්බුදයේ ලක්ෂණ

අර්බුදයක් ලෙස මා හැඳින්වූ තත්ත්වය දෙයාකාරයකින් විද්‍යාමාන වෙයි. එකක් නම් ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර දින දින වැඩිවෙමින් පවතින අන්‍යෝන්‍ය සංවාද පරතරයයි. මෙය වැඩිහිටි ගුරුවරුන් හා තරුණ විද්‍යාර්ථීන් අතර වයසේත් ආකල්පයේත් වෙනස්කම නිසා පැන නගින පරම්පරා පරතරයක් නොවන බව සැලකිය යුතුයි. එය මධ්‍යම වයස් සීමාවෙහි සිටින උපාධි ලබා පර්යේෂණ කාර්යයෙහි හසල බුද්ධියක් ඇති ගුරුවරුන්ට වුවත් දැනෙන එකකි. අර්බුදයක් තිබෙන බවට පෙනෙන අනිත් ලක්ෂණය නම් මෙයයි. එනම් මෙකල විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධරයන් අවුරුදු පහළොවකට හෝ විස්සකට උඩදී පිටවුණු උපාධිධරයන්ට වඩා බාලයයි පාලකයන් හා වෙනත් ප්‍රභූවරුන් පවසන මතයයි. වර්තමාන උපාධිධරයන්ගේ සාමාන්‍ය දැනුම ඉතා සීමා සහිත බවත් ඔවුනට අවට ලෝකයේ තතු දැනගැනීමට කිසි කුතුහලයක් නැති බවත් ඔවුන්ගේ බුද්ධිය හා චින්තන ශක්තිය පවා දුර්වල බවත් මේ ඇත්තන් කියනවා.

මේ දෙක අපි එකිනෙක ගෙන විභාග කොට බලමු. සංවාද පරතරය ඇති වී තිබෙන්නේ මෙකල විද්‍යාර්ථීන් තමන්ගේ විෂයට සම්බන්ධ වූ හෝ ඉන් පිටස්තර වූ හෝ පතපොත බැලීම ඉතා අඩු වී ඇති නිසා යැයි කියනවා. සිංහලෙන් තිබෙන පොත්වල සංඛ්‍යාව ඉතා අල්ප වන අතර ඒවායේ තිබෙන කරුණු ප්‍රාථමික මට්ටමක ඒවා බවත් කියනවා. මේ විද්‍යාර්ථීන්ගේ ඉංග්‍රීසි පිළිබද දැනුම ප්‍රමාණවත් නොවන නිසා ඔවුන්ට ඉංග්‍රීසියෙන් ලියවී තිබෙන පතපොත කියවන්නටත් නුපුළුවන. මේ හේතුවෙන් ගුරුවරුන් කියන්නේ පංතිකාමරයෙහි ලියා ගන්නා දේශණ සටහන් කියවීමට පමණක් විද්‍යාර්ථීන් සීමා වී තිබෙන බවයි. ආචාර්‍යවරුන් නිවේදනයට හා භග්නාශාවට පත්ව සිටින්නේ ඔවුන්ට ශිෂ්‍යයන් සමඟ සාමාන්‍ය ලෝක වාර්තා පිළිබඳව හෝ ශාස්ත්‍රීය විෂයක් පිළිබඳව හෝ සෑහෙන තරම් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවත්වන්නට බැරිවීම නිසායැයි කියනවා. මේ හේතුව නිසා ඇදුරන්ට කලකට පෙර තමන්ගේ ඉගැන්වීමෙන් ලැබුණු මානසික උත්තේජනය හෝ ප්‍රතිපෝෂණය හෝ දැන් නොලැබෙන බවත් ඔවුන් කියනවා. තමන්ගේ ශාස්ත්‍ර ඥාණය බෙදා හදා ගැනීමට කිසිවෙකු නැතිව තනිවන ඔවුන් ශිෂ්‍යයන් කෙරෙන් ඈත්ව හුදකලාව තම අධ්‍යයන හා පරයේෂණ කටයුතු කරගෙන යනවා. නැතහොත් විශ්ව විද්‍යාලයෙන් පිටවුව ද යම් ක්ෂේත්‍රයක ශාස්ත්‍රීය පෝෂණයක් ලබා ගත හැකිද එබඳු ක්ෂේත්‍රයකට ඇදී යනවා.

ආචාර්‍ය්‍ය ප්‍රතිචාරය

මේ තත්ත්වය යටතේ ශිෂ්‍යයා පමණක් නොව ආචාර්‍ය්‍යවරයාද අනුකම්පාවට භාජනය විය යුතුයි. තමාගේ දිවි පෙවෙතේ මධ්‍යම භාගයටවත් පැමිණීමට පෙර තමාට ආගිය අතක් නැතුව ගියා සේ ඔහුට දැනෙන්නට පුළුවනි. විශ්ව විද්‍යාලයේ ඇදුරන් බොහෝ දෙනෙකු ආචාර්‍ය්‍ය වෘත්තීය තෝරාගන්නට යෙදුනේ ශාස්ත්‍ර ඥානය කෙරෙහි තමන් තුළ වූ ඇල්ම නිසා මෙන්ම ශාස්ත්‍රීය කටයුතුවල යෙදී ජීවිතය ගතකිරීම වස්තුවටත් තාන්න මාන්න ආදිය ලබා ගැනුමටත් වඩා තමන් අගය කළ නිසයි.

සමාජය තුළින්ම සිදුවුනු බාල්දු කිරීමක් නිසා නොව, එය අවස්ථාවාදීව (දේශපාලන හේතුවලට උදාහරණයක් වශයෙන්) සිදුකළ නිසාය, බාල්දු කිරීමට භාජනය වුණු විෂයයන් භාර ආචාර්‍ය්‍යවරුන්ගේ කළකිරීම හා කොන්වීම වඩාත්ම තියුණුවුනේ. සිංහල, පාලි, සංස්කෘත, බෞද්ධ ශිෂ්ඨාචාරය වැනි විෂයයන්ගේ සමාජ අදාළත්වය සීමිත යයි කියමින්, රැකියා නැඹුරුවකින් යුක්ත යැයි සම්මත විෂයයන් ගණනාවක් පාඨමාලාවලට ඇතුල්කරන්නට තැත්කළ අවස්ථාවේදී ආචාර්‍ය්‍යවරුන්ගේ දොම්නස මට මතකයි. මේ අවස්ථාවේදී බහුශ්‍රැතභාවයෙන් අඩුවුණත් උපාය ඥානයෙන් කිසිසේත් හීන නුවූ ඇතැම් ආචාර්‍ය්‍යවරුන් ජනසංනිවේදනය, වාග් විද්‍යාව නැත්නම් සමාජ විද්‍යාව වැනි අද සමාජයට අදාළයැයි ගැනෙන විෂයයන් ගැන ලහි ලහියේ යමක් ඉගෙනගෙන එසේ නැතහොත් ඒවා ගැන කිසිම දැණුමක් නැතිව ඒ ඒ අංශවලට පැන ගත්තහැටි අපට තාමත් මතකයි. මා ඔවුන්ට දොස් නගන්නෙ නෑ. තමන්ගේ ජීවිතයට ඒ වේලේ එල්ලවුණු තර්ජනය කෙතරම් බැරෑරුම් එකක් ලෙස ඔවුන්ට පෙනුණාද කියායි අපට ඒකෙන් තේරුම් ගන්න පුළුවන්.

විශ්ව විද්‍යාල ආචාර්‍ය්‍යවරුන් වර්ග දෙකකට බෙදන්ට පුළුවන්. පළමු වර්ගයේ ඇදුරන් තමාගේ විෂය විචාරාත්මකව වටහාගෙන නිතර පොතපත බලා අලුත්ම පර්යේෂණ පිළිබඳ තොරතුරු දැනගෙන තම විෂය ඉගැන්වීමට සමත්වූ හොඳ ගුරුවරුන් බවට පත් වෙනවා. දෙවැනි වර්ගයේ ඇදුරන් වඩාත්ම කැමති පර්යේෂණයෙහි යෙදී අලුත් තතු සොයාගැනීමටයි. නැතහොත් පරණ තතුවලට අලුත් විවරණ සැපයීමටයි. ඒ ඇදුරන් ඉගැන්වීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. පත පොතේ තියන කරුණු ශිෂ්‍යයන්ට පත පොත බැලීමෙන් දැනගන්නට පුළුවන් බැවින් දේශන ශාලාවලට ඇවිත් ඒවා පුනරුච්චාරණය කිරීම නිශ්ප්‍රයෝජන දෙයක් හැටියට ඔවුන් සලකනවා. මේ දෙවර්ගයෙන් ආදර්ශමත් විශ්ව විද්‍යාල ආචාර්‍ය්‍යවරයා උගැන්වීමට රුචි පුද්ලගලයාද පර්යේෂණවලට රුචි පුද්ගලයාද යන දෙවර්ගයෙන් කවර වර්ගයකට වැටෙන තැනැත්තෙකුද කියා මා දැන් සාකච්ඡාකරන්නට අදහස් කරන්නෙ නෑ. ඒ කෙසේ වුනත් මට කියන්න ඕනෑ කළේ දැන් පවත්නා අර්බුදය වඩාත්ම බලපාන්නේ පළමු වර්ගයේ ඇදුරා කෙරෙහි බවයි. තම ශිෂ්‍යයන් වඩ වඩා තමන්ගෙන් ඈත්වෙන සැටිත් ඔවුන් හා තමා අතර පරතරය වඩ වඩා විශාල වන සැටිත් ඔහුට පෙනෙයි. ඔහුට තිබෙන එකම සරණ නම් පර්යේෂණයෙහි යෙදීමයි. එහෙත් පර්යේෂණ කාර්යයට ඔහු වැඩිය කැමති නැත.

මානව විද්‍යා ක්ෂේත්‍රයේ නම් ප්‍රධානතම ගැටළුව වුනේ, පර්යේෂණවල ප්‍රතිඵල පළකර ගැනීමේ මං අඩු කමයි. මෑත කාලයේ ශාස්ත්‍රීය සංග්‍රහවල සංඛ්‍යාව අප බලා සිටිද්දී අඩුවේගෙන ගියා. කඩදාසිවල මිළ නිසාත් දිනපතා නගින මුද්‍රණ ගාස්තු නිසාත් ශාස්ත්‍රීය සංග්‍රහ දැන් නැත්තටම නැති වී ගොස්ය. විද්‍යාව හා වෛද්‍යශාස්ත්‍ර වැනි විෂයයන්වල ආචාර්‍ය්‍යවරුන්ට මුහුණ පාන්ට තිබෙන ප්‍රශ්න කොයිවාගේ ඒවාද කියා මට ප්‍රත්‍යක්ෂ දැනුමක් නෑ. එහෙත් පර්යේෂණවලට අවශ්‍ය පහසුකම් හෝ අනුකූල වාතාවරණයක් මෙහි නැතැයි විද්‍යාඥයන් කියනවා මා අසා තියෙනවා. පර්යේෂණවලට අවශ්‍ය උපකරණ හිඟයක් තියෙනවද නැත්නම් පර්යේෂණ ව්‍යාපෘතිවලට වැයවෙන මුදල ඔරොත්තු නොදෙන මට්ටමක ඇත්දැයි කියා මා දන්නේ නැහැ.

එකක් පැහැදිළියි. බොහෝ විද්‍යා ආචාර්‍ය්‍යවරුන් එංගලන්තයේ සහ ඇමරිකාවේ සරසවිවල රැකියා සොයන්නේ, පඩි වැඩිකම නිසා පමණක්ම නොවන බව; ඔවුන්ගේ විශේෂඥ අවශ්‍යතා මුදුන් පමුනුවාගැනීමට බැරිවීමත් එක හේතුවක්.

එය සාමාන්‍යයෙන් ඉදිරිපත් කෙරෙන විදිහට මා මෙහි විස්තර කළේ, අර්බුදය වශයෙන් මා නම් කළ තත්වයයි. මුලින්ම, මේ විස්තරය නිවැරදිද, එය පවතින තත්ත්වය හරියාකාරව ප්‍රකාශකරනවාදැයි, අප අපෙන්ම ඇසිය යුතුයි. ඇත්තෙන්ම, සංවාද පරතරයක් තියෙනවැයි කියා පිළිගත්තොත්, එය බුද්ධිමය පරතරයක් යයි කීම, එය බිහිවෙන්නේ ශිෂ්‍යයන්ගේ පටු අවබෝධ මට්ටම නැත්නම් ඔවුන්ගේ බුද්ධිමය දොරටු සීමිත නිසා යැයි කීම නිවැරදිද, ඊට වඩා, එය බිහිවෙන්නේ, සියළු ශිෂ්‍ය හා තරුණ කොටස් තුළ පැතිර පවත්නා මූලික පෙළේ දෘෂ්ඨිමය වෙනසක්, ආකල්පයක් නැත්නම් සමාජ දර්ශනයක් නිසා නොවෙයිද?

කා වෙනුවෙන්ද අධ්‍යාපනය

jennings-peradeniya-plaque-new-picවහාම මා මේ කරුණ හාරා අවුස්සා බලන්නම්. 1971 කැරැල්ලට ආසන්න මාසවලදී තරුණයින් සමඟ ගැටී, එවක වාතාවරණය ඉවෙන් උකහා ගත් අයට, තරුණයින්ගේ මානසිකත්වය ගැනත්, කැරැල්ලට මුල්වුනු දර්ශනය ගැනත් ඉතා වැදගත් ඉඟි කීපයක් නොලබා තිබීමට බැරි තත්ත්වයක් තබුණා. මගේ කුතුහලයට දැඩි ලෙස භාජනය වුනු දෙයක් තමයි, කැරලිකරුවන් පුස්තකාලය ගිනිබත් කරනවයි කියපු කටකතාව.

කැරැල්ලට කිසිසේත්ම සම්බන්ධ නැති අය ඇතුළුව ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මෙය සැබෑකොට පිළිගෙන,ඒ දවස්වල පුස්තකාලයට නොගිහින් සිටියා. ඒ කියන්නෙ එය පුහු ප්‍රචාරයක් යයි ඔවුන් ඇදහුවෙ නැහැ. හැම දේම අතරින් ඇයි පුස්තකාලය? මා තුළ එය මහත් කුතුහලක් දැනෙව්වා. එය සාමාන්‍ය විනාශකාරී වැඩක් වශයෙන් තේරුම් ගැනීම අපහසු වුනා.

මේ කටකතාව, ඉගෙනීම කෙරෙහි තරුණ කොටස් තුළ පැවතුණු ආකල්පය පිළිබඳව සංකේතයක් බඳුය. කැරැල්ලට නැඹුරු කොටස්, පාඩම් නොකරන ලෙසත් දේශනවලට නොයන
———————————————————————————————

…….කාමරයෙන් පිටත සරොම් අඳ සිටිය වුනට රුපියල් දෙකකුත් ශත පනහක් දඩ ගැසූ අවස්ථා තිබේ….. පෙරදිග භාෂා හදාරන්නෝ, ජාතික ඇඳුම අඳින්නෝ, ඉංගිරිසි වචනයක් වරද්දා උච්චාඡාරණය කරන්නෝ, බාල් නොනටන්නෝ, ‘හරමානිස්‘ ‘ගොඩයටික්‘ යන අවඥාපූර්වක වචනවලින් සංග්‍රහ ලබති…… යුරෝපීය රටවල සාහිත්‍යය, සංගීතය, වෘක්ෂලතා, දේශගුණය, ක්‍රීඩා ආදිය පිළිබඳ බොහෝ තොරතුරු දන්නා උපාධි අපේක්ෂකයෝ ලංකාවෙි කැලෑ, වනසතුන්, වැව්, ඛණිජ ද්‍රව්‍ය, සාහිත්‍යය, කලා ශිල්ප ගැන කිසිවක් නොදනිති….. සර් අයිවන් ජෙනිංස්ගේ නිය රැස් නාන ලාංකික ජනනායකයෝ මෙවැනි තත්වයකට වගකිවයුත්තෛා් කවරහුදැයි ඔහුගෙන්ම මෙතෙක් නෑසීම පුදුමයක් නොවේ.
(පරපුට්ටන්ගේ පාරාදීසයෙන්, පිටු 42-43)

———————————————————————————————
ලෙසත් අනික් සිසුන්ට කියමින් සිටියා. ශිෂ්‍යයින් හා ආචාර්‍ය්‍යවරුන් අතර සමාජයීය හා ආර්ථික පරතරයනවසිය හැට ගණන්වලදී පළල් වීමත් සමඟම, ශාස්ත්‍ර ඥානය වනාහි වරප්‍රසාද ලත් පංතියකගේ තහවුරු වරප්‍රසාද පොදියෙන් කොටසක් හැටියට සරසවි සිසුන් අදහන්නට වුනා. වෙන වචනවලින් කියනවා නම්, ඔවුන්ට විශ්ව විද්‍යාල බාහිර සමාජයේ පුංචි පිළිබිඹුවක් වුනා. එහෙ වගේ මෙහෙත් පංති විරෝධතාවයක් තිබුණා. ඇත්තෙන්ම එය සීමිත ක්ෂේත්‍රයක් තුළ කොටුවී තිබුණ නිසා. විශ්ව විද්‍යාලය තුළ පංති විරෝධතාවය ඔවුන් දුටුවේ වඩාත් උත්සන්න ස්වරූපයකින්.

ශිෂ්‍යයින් ආවෙ යැපීම් මට්ටමක ජීවත්වෙන තරමේ දුප්පත් පවුල්වලින්. තම දෙමාපියන් එක්කෝ තමන්ගේ එහෙම නැත්නම් අනුන්ගෙ කෙත් වතුවල කුලීකරමින්,පණණල රැක ගැන්මට වැරවෑයමෙන් මුදලක් හදලක් උපයා ගත්තා. තම දූදරුවන්ට රැකියා සහනයක් මගින් තරමක හෝ සැපවත් ජීවිතයකට දොරටු විවෘතවේවීයි යන බලාපොරොත්තුවෙන්, ඔවුන් සරසවි එවීමට මව්පියන් බොහෝ විට ණය වුණා. එහෙත් සරසවියට පිවිසුණු තරුණ තරුණියන් එහි දැක්කේ මොකක්ද? ඔවුන්ට එහිදී මුහුණ ගැසුනේ, පිටස්තර ලොවේ ධනවත් පංති භාවිතා කළ අලස සුඛෝපභෝගී ජීවිතවලට සමාන දිවිපෙවෙත් ගතකරන උදවියයි. ඒ නිසා තමන් පීඩිතයින් ලෙසත්, සරසවි ඇදුරු සහ පරිපාලක මඩුල්ල පීඩකයින් ලෙසත් ඔවුන් දුටුවා.

පීඩනයේ උපකරණ වූයේ විභාග, විනයානුකූල කටයුතු කිරීම්, පංති තහනම් කිරීම්, සම්මුඛ පරීක්ෂණ සහ සමාජයේ වරප්‍රසාද ලත් තනතුරු සහ රැකියා සඳහා – වෙන වචනවලින්, තමන් ඔවුන්ගේ පංතියට උකහා ගැනීමට – ඔවුන් තෝරා ගැනීමට හෝ නොගැනීමට යොදාගත් උපායන්.

මෙය, නේවාසික විශ්ව විද්‍යාලයක තිබිය යුතුයයි අපේක්ෂිත ගුරු – ගෝල සබඳතා වැඩිදියුණු කිරීමට අවංකව ගත් සෑම උත්සාහයක්ම බිඳවැටීමට එක හේතුවක් වුණා. ඈත අතීතයෙදී ගෝලයා රජ පවුලකින් ආ කෙනෙකු වුවද, ශාස්ත්‍ර ඥානයට හා පාණ්ඩිත්‍යයට ඔබින ලෙස, ගුරුතුමා ගතකළ චාම් දිවිපෙවෙතට අනුගත වීමට ඔහුට සිදුවුනා. එහි පදනම වෙනස් හර මාලාවක් බව සබෑය. ඒත් අද ගමෙන් එන ශිෂ්‍යයාගේ සිතට එය මුළුමණින්ම ආගන්තුකයයි අපට කියන්න අපහසුයි. එදා ගුරු ගෝල සම්බන්ධයේ ගුරුතුමා ගෝලයාට වඩා ශාස්ත්‍ර ඥානයෙන් හා ප්‍රඥාවෙන් අධ්‍යාත්මිකව මුහුකුරා ගිය තැනැත්තෙකු වුණා පමණයි. අද ගුරුතුමා ගෝලයාට වඩා සමාජ – ආර්ථික වශයෙන් උසස් තත්ත්වයකය. තරුණ දෘෂ්ඨිය අනුව, ඒ උසස් තත්ත්වය යනු, දක්ෂතා මුල්කරගෙන අවස්ථා බෙදා නොහරින සමාජ ක්‍රමයක් සතු අසාධාරන සහ අනියම් හේතු සම්භාරයක ප්‍රතිඵලයක්.

තතු මෙසේ බැවින් විශ්ව විද්‍යාලවල ආචාර්‍ය්‍යවරයන් හා විද්‍යාර්ථීන් අතර පරතරය බුද්ධිමය පරතරයක් හෝ ඥානමය පරතරයක් ලෙස හැඳින්වීම අර්ධ සත්‍යයකට වඩා දෙයක් නොවන බව අපට පිළිගන්ට සිදුවෙයි. හේතු සහිතව හෝ හේතු රහිතව සැප පහසු රක්ෂාවල් හා වරප්‍රසාද දෙන තානාන්තර ලබාගෙන තමන් අවට වූ අප්‍රසන්න යථාර්ථයෙන් ඈත්ව එක්ටැම් ගෙවල්වල හැසිරීමට උපක්‍රමයක් කරගෙන ඇති ශාස්ත්‍ර ඥානය හා උපාධි යනාදිය ශිෂ්‍යයන් විසින් හේතු සහිතව හෝ හේතු රහිතව ප්‍රතිත්ක්ෂේප කරන ලද බව අමතක නොකළ යුතුයි.

අපේ සැලකිල්ලට භාජනය විය යුත්තේ, ශිෂ්‍යයින්ගේ මතයට පාදක වෙන තර්කනය නොව, එහි මානසිකත්වයයි. පෙරාදෙණි මාදිලිය මඟින් ශිෂ්‍යයින් හමුවේ තබන ලද ශාස්ත්‍රීය වත හා ජීවිතය කෙරෙහි ඔවුන්ගේ විශ්වසනීයත්වය බිඳුනා. අනික් විශ්ව විද්‍යාලයද, ඒ මාදිලිය අනුකරණය කළා. මේ විශ්වසනීයත්වය බිඳීමේ සුලමුල, හැටගණන්වල මුල දක්වා දිවෙනවා. විශේෂයෙන්ම සිංහල පුවත්පත් මඟින්, පේරාදෙණිය දැඩි දෝෂ දර්ශණයකට ලක්වූයේ, වරප්‍රසාද ලත් පංතීන්ගේ අවසාන හව්හරණය ලෙසයි.

පේරාදෙණි සරසවියේ තුන් අවුරුද්දක් ගෙවා, පනස් ගණන්වල අග උපාධිය ලබා පිටවුනු තරුණයෙක්, පරපුට්ටන්ගෙ පාරාදීසය නම් පොත් පිංචකින් ඊට කර්කශ ලෙස පහර දුන්නා. (තරුණයා මා.ගම්. තෙන්නකෝන්ය; පොත 1958 ය – මාවත.) එය ලියවුනේ සරසවියෙන් පිටවෙන සෑම උපාධිධාරියෙකුටම රැකියාවක් සහතික වුනු අවදියකයි. ඒ නිසා, හැට ගණන්වල අවසානයේදීත් හැත්තෑ ගණන්වලත් රැකියා තත්ත්වය ඉතා අවාසි සහගත තත්වයක් ගත් විට, උපාධිධාරීන්ගේ විශ්වාස භංගත්වය කොපමණදැයි අපට සිතාගන්න පුළුවන්.

පනස්ගණන්වල මුල හරියේ පැවතුණු තත්වයත් හැට ගණන්වල අන්තිම හරියේ සහ හැත්තෑ ගණන්වල මුල හරියේ තිබී අර්බුදයක් බවට පත්වුණු තත්වයත් අතර වෙනස ප්‍රමාණය අතින් පමණක් බව අප වටහාගත යුතුයි. සමාජයේ උසස් තලවලන් සිසුන් ඇවිත්, ඉංග්‍රීසි කථාකරමින්, හැඳි ගෑරුප්පු හසුරුවමින්, ආචාර්‍ය්‍ය මණ්ඩලය ‘ක්ලරැට්වලින්‘ සප්පායම් වී ‘හයි ටේබල්‘ රාත්‍රී භෝජන සංග්‍රහයන් භුක්තිවින්ද මුල් කාලයේදී, හැම දෙයම යහතින් පසුවුනා. එවක ආචාර්‍ය්‍යවරුන්ට සංවාද පරතරයක් නොදැනුනේ, ශිෂ්‍යයින්ගේ දැනුම වඩා ඉහළ මට්ටමක තිබුණු නිසාද, ඒ නැත්නම් ඔවුන්ද ගුරුවරුන් ආපන්ති පසුබිමෙන්ම පැමිණ, සමාන රුචි අරුචිකම් මාලාවක් භුක්ති වින්ද නිසාද? ගම්වලින් ආ දුප්පත් පංතීන් අතරින් ශිෂ්‍යයින් විශාල වශයෙන් ආ විට, සමාජ, ආර්ථික හා සංස්කෘතික පරතරය වැඩිවුනා නේද?

සැබෑ හා ව්‍යාජ විසඳුම්

studentමා මේ සාධක අවධාරණය කරන්නේ, හේතු දෙකකටයි. පළමුව, අපි හිතනවාට වඩා තත්වය සංකීර්ණ බව පෙන්වීමට. දෙවනුව, අපේ අති සරල හේතු දැක්වීම්වලින් සහ මතුපිටි විසඳුම්වලින්, තත්වය නිරාකරණය කරනවා වෙනුවට තවත් ව්‍යාකූල වීමට ඉඩ ඇති බව පෙන්වීමට. සියලු ගැටළුවලට මුල ස්වභාෂා ප්‍රතිපත්තියයි; ඒ නිසා විසඳුම් ඇත්තේ යලි ඉංග්‍රීසිය ස්ථාපිතකර තිබුණු මට්ටම දක්වා එය ඉහළ නැංවීම මතයයි කීම, අප බේරෙන්නට තැත් කරන උගුලටම හසුවීමක්දෝයි කියා සැකයක් මා තුළ උපදියි. අද දවසේ ඉංග්‍රීසි ගැන උදන් අනන හඬ හාත්පසින් නැගෙන සැටිත් ඉංග්‍රීසියේ අනුසස් දක්වා ඉංග්‍රීසි දැනුම පිරිහෙනවායැයි වැළපෙන සැටිත් ඇසෙන විට මේ නැගෙන්නේ ස්වභාෂාව අධ්‍යාපනයේත් පරිපාලනයේත් මාධ්‍යය කිරීම හේතුකොටගෙන ස්වකීය වරප්‍රසාදවලටත් සමාජ තත්වයටත් හානියක් සිදුවූ පංතියේ අඳෝනාවදෝයි මට සැක සිතෙයි.

එංගලන්තය යටත්කරගත් අන් කිසිම ජාතියකට වඩා වෙනස් අමුතුම තත්වයක්ය මෙහි ඉංග්‍රීසිය ඉසිලුවේ. එය එක පංතියකට බලය සහ තේජස හිමිකර දුන්නා මිස, ලෝක දැනුම් සම්භාරය ළඟාකර දීමට දොරටුවක් නොවීය. මේ පන්තිය නැවතත් හිස ඔසවමින් සිටිනා අතර, ඔවුන් ඉංගිරිසිය අධිපති තත්වයකට පත් කිරීමට වීරිය කරමින් සිටියි. ඒත් එවැනි පියවරකින් සිදු වෙන්නේ හතුරු පංති ප්‍රතිවිරෝධතාවයන් උත්සන්න වීමයි, ගම්බද බහුජනතාවට විවෘත ඉඩ ප්‍රස්තා ඇහිරී යෑමයි, අපේ සංස්කෘතික උරුමය කෙළෙසී යෑමයි.

ඒ වෙනුවට පමා වී හෝ එංගලන්ත මාදිලිය අනුව පිහිටුවපු විශ්ව විද්‍යාල අපේ සමාජයට නොගැලපෙන බවත්, ඒවායේ කාර්‍ය්‍යභාරයන් අපේ සමාජයට අවශ්‍යතාවයන්ට හිතකරව යළි නිර්වචනය කළ යුතු බවත් තේරුම්ගැනීම වඩා වැඩදායකයි. පේරාදෙණිය ප්‍රමුඛව, බොහෝ විශ්ව විද්‍යාලවලට එරෙහිව එල්ලකරන විවේචනය, හාත්පස සමාජය හා කිසිම සමීපකමක් නැතිකමයි. ශිෂ්‍යයින්ගේ කලා දස්කම් ජනතාවට හඳුන්වා දීම මඟින් හෝ හාත්පස ගම්මානවලම ක්ෂේත්‍ර පංති පැවැත්වීම වැනි විශ්ව විද්‍යාලයයි අවට සමාජයයි යා කරන උත්සාහයන් ඉතාමත්ම අවශ්‍යයැයි පිළිගැනෙන අතර, ශාස්ත්‍රීය වාර ප්‍රකාශනවල පළවෙන උසස් පර්යේෂණ ප්‍රතිඵල, අවධානයෙන් ගිලිහී යමින් පවතියි.

හුදු ශාස්ත්‍රීය කෝණයකින් බලන්නෙකුට නම්, ඒවා විශ්ව විද්‍යාල කාර්‍ය්‍යභාරයන්ට පරිබාහිරයයි තර්ක කළ හැකියි. එහෙත් විශ්ව විද්‍යාලයක වගකීම් ගැන එවැනි අර්ථනිරූපනයන්ට අපට තවදුර වහල්ව ඉන්න පුළුවන්ද?

පෞද්ගලික සදාචාරය මෙන් නොව, සමාජ සදාචාරය වෙනස් වෙන සමාජ තත්වයන්ට අනුගත විය යුතුයි. මට හිතෙන හැටියට, මෙවැනි අවස්ථාවක, විශ්ව විද්‍යාල ආචාර්‍ය්‍යවරයාගේ පරම හා හදිස්සි වගකීම වෙන්නේ දැනුම බෙදාහැරීමයි. නව දැනුම සෙවීමට වඩා ඊට ප්‍රමුකත්වයක් දිය යුතුයි. පසුබිම් දැනුම මදකමෙන් පෙලෙන ශිෂ්‍ය පරම්පරාවක් හමුවේ, කිසියම්ම හෝ ක්‍රමයකින් මේ නැති දැනුම ඔවුන් සතු කිරීම තමන්ගේ සදාචාරාත්මක වගකීමක් නොවන බව ඔවුන් කොහොම තර්ක කරන්නද? එක් විදිහක් තමා, තම විෂයයන් පිළිබඳව උසස් වගේම ජනප්‍රිය පොතපත ලිවීම.

පොත් ලියන අය මුහුණ පාන පොත් පළකිරීමේ ගැටලු අද පවතිනවා. එවැනි ප්‍රකාශන ව්‍යාපෘතීන් ආරම්භකර විශ්ව විද්‍යාල බලධාරීන් ඒවාට ආධාර උපකාර කළ යුතුයි. මෑත කාලයේදී විශේෂඥ හෝ ජනප්‍රිය මාතෘකා අළලා හෝ ප්‍රකාශන, විශ්ව විද්‍යාලවලින් පිටවෙනවා අපි දැකලා නැහැ. කලකට පෙර විශ්ව විද්‍යාලවල ක්‍රියා කළ ප්‍රකාශන අංශ ක්‍රියාත්මකවීමත් පෙනෙන්න නැත. විශ්ව විද්‍යාල වැටී තිබෙන අර්බුදකාරී ප්‍රපාතයෙන් ඒවා මුදා ගැනීමේ මෙහෙවරට උරනොදී, එම බලධාරීන් එදනෙදා පරිපාලන කටයුතු කිරීමෙන් හා ශිෂ්‍යයින් නිසලව තබා ගැනීමෙන් සෑහීමකට පත්ව සිටින බවක් දැකීම, කණගාටුවට කරුණක්.

[1982 මැයි 26 දා මේ කතාව කළේ ඉංග්‍රීසියෙන්. මේ පරිවර්‍තනයට පිටපත වුනේ මාර්තු 30 සහ 31 දා SUN පුවත්පතේ පළ වුනු ඉංග්‍රීසි ලිපි දෙකයි. විශේෂයෙන් මුල් කොටසට, 1982 අප්‍රේල් 2දා දිනමිණ පුවත්පතේ පළවූ ලිපියෙන් කොටස් කෘතඥතා පූර්වකව උපුටා ගත්තා. ඉතුරු කොටස පරිවර්‍තනය කර මුළුමනින්ම සකස්කළේ, සුසිල් සිරිවර්දන.]

Advertisements