ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

“නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ….ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි (Je suis – I am) කියූ සැනින්ම තමාගේ ආනුභවික පැවැත්මට බාහිරව තම උත්පත්තියටත් පෙර මරණයටත් පසු සදාකාලික පැවැත්මක් ඇතැයි යන අභිමානය ජනිත වන බවත් එය ජීවිතය නිරන්තරයෙන් වෙනස් වන්නක් ජරාවට පත්වෙමින් මරණය කරා ගලා යන පැවැත්මක් ලෙස හිතුවක්කාර අන්දමින් ප්‍රතික්ෂේප කරන්නක් ද වන බවය.”

ආචාර්ය නලින් ස්වාරිස් අභාවප්‍රාප්ත වී අප්‍රියෙල් 17 දිනට අවුරුදු 6 ක් සපිරේ. ඩෙරීඩාගේ අභාවය වෙනුවෙන් ලියන ලද මෙම ලිපිය විභවි කලා තොරතුරු සංග්‍රහයෙන් උපුටා ගන්නා ලදී. නලින් ස්වාරිස් සමරුව වෙනුවෙන් අපි එය යළි පල කරමු. ශ්‍යාමා ජයවර්ධනට අපගේ ස්තුතිය හිමිවේ.

ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්

“ඩෙරීඩා” යන ප්‍රපංචය කන වැකුණු සැනින් ඒ හා සම්බන්ධ වන්නේ “විසංයෝජනය (deconstruction) නැත්නම් “විසංඛාර” යන යෙදුම සමගයි. දර්ශනවාදය-මනෝ විද්‍යාව-දේව ධර්මය- සාහිත්‍ය කලා විචාරය- ඉතිහාසය- ලේඛනය හා කලාව- නීති අධ්‍යනය මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය වැනි බටහිර ලෝකයේ බොහෝ ක්ෂේත්‍රයන්ට හා විවිධ ශික්ෂණයන්ට ඔහුගේ බලපෑම එල්ල විය;

මෙවැනි පෙරළිකාර චින්තකයෙකු බිහිවූ බටහිර ප්‍රංශ සංදර්භය කුමක් ද?

ෂාක් ලකාන්, මිෂෙල් ෆූකෝ, ලුවී අල්තූසර්, රෝලන්ඩ් බාත්ස්, පියරේ බොර්ඩියෝ, ගිලස් ඩෙලියුසේ, ජූලියා ක්‍රිස්ටිවා, ලුසී ඉරිගරේ වැනි විද්වත් හු 1960 ගණන් වලදී පැරීසියේ බුද්ධිමය වේදිකාවට කඩා වැදුනාහ. ඔවුන්ගේ චින්තනමය නිෂ්පාදනයන් ගෙඩි පිටින් ලංකාවට බා ගැනීමට පෙර එම ප්‍රපංචයේ ඓතිහාසික සංදර්භය කුමක්ද යන්න පිළිබඳ අප පළමුව තේරුම් කරගත යුතුවේ.

මේ චින්තන විප්ලවය ඇති වූයේ 1968 පැරීසියේ විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයින්ගේ දැවැන්ත කැරැල්ල මධ්‍යයේය. දෙවන ලෝක මහා යුද්ධයට පසුව උපන් පළමු බුද්ධිමය තරුණ පරපුර මොවුන්ය.

1. දෙවන ලෝක මහා යුද්ධය වැනි මිනිස් කමට තරම් නොවන මහා ව්‍යවසනයක් ඇති කල යුරෝපීය සංස්කෘතියේ හා සදාචාර උරුමයේ පැවති අභ්‍යන්තරික ඌනතාවය කුමක්ද යන්නත්, බටහිර සංස්කෘතිය පිළිබඳව මෙතරම් උදම් ඇනූ “ශිෂ්ට” යුරෝපයේ හදවත වන ජර්මනිය තුළම මේවා සිදුවීමට හැකි වූයේ කෙසේදැයි යන්නත් ඔවූහු ගැඹුරින් ප්‍රශ්න කල සිටියහ. මෙහිදී මිලියන 8 ක පමණ ජනතාවක් ඉතාමත් විද්‍යානුකූලව, තාක්ෂණිකව, විචාරශීලී හා තර්කාණුකූල සීතල බුද්ධිය පදනම් කොට ගනිමින් සමූලඝාතනය කිරීම යුරෝපීය ප්‍රබුද්ධ යුගයේ අඳුරු උරුමය මෙයදැයි යනුවෙන් වාද විවාදයට ලක් විය.

2. දෙවන ලෝක මහා යුද්ධයට පසු ප්‍රංශයේ ඇති වූ ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය සමග බොහෝ දෙනා කතෝලික ආගමෙන් ඈත් වීමට පටන් ගත්හ. නීට්ෂේගේ අනාවැකියට අනුව දේවස්ථාන ජන ශුන්‍ය වී කෞතුකාගාර බවට පත් වී තිබුණි. ආගම ගරා වැටීමත් සමගම සමස්ථ සමාජයට පිළිගත හැකි පොදු සදාචාර පද්ධතියක් ද නැතිවී යාමට පටන් ගැනිණි.

3. රුසියානු විප්ලවයට පසුව සම්ප්‍රදායික ආගම්වලට විකල්ප ධර්මයක් ලෙස ඉදිරිපත් වූ මාක්ස්වාදය හා කොමියුනිස්ට්වාදය දෙදරා යාමට පටන් ගැනුණි. ඊට පෙර නිමිත්තක් වූයේ 1968 දී චෙකොස්ලෝවැකියාවේ “වසන්ත විප්ලවය” සෝවියට් යුද ටැංකි යොදවා කෲර ලෙස කුඩු පට්ටම් කර දැමීමයි. සමාජවාදයට පුරෝගාමී වූ රජයක් මගින් සහෝදර සමාජවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඇති වු කැරැල්ලක් මෙලෙස අවි බලය යොදා මැඩ පැවැත්වූ ආකාරය සංවේදී බුද්ධිමතුනට විශාල ප්‍රහේලිකාවක් විය.

මේ අයුරින් ප්‍රංශ සරසවි සිසු කැරැල්ලත්, සම්ප්‍රදායික කතෝලික ආගමේ ගරා වැටීමත්, මාක්ස්වාදය හා කොමියුනිස්ට්වාදය කෙරේ බලාපොරොත්තු බිඳ වැටීමත් වැනි කාරණ මුල් කොට ගෙන එම සමාජයේ බුද්ධිමය රික්තකයක් ඇති විය.
ඒ බව එවකට පැරීසියේ විශ්ව විද්‍යාල පර්යන්තයක් තුළ බිත්තියක ලියා තිබු මෙම පාඨයෙන් මනා ලෙස සංක්ෂිප්තව ප්‍රකාශ විණි.

” දෙවියන් වහන්සේ මැරිලා
මාක්සුත් මැරිලා
මටත් දැන් සනීප මදි.”

බුද්ධිමය රික්තකයට පත්ව තිබූ පොළවේයි, වෙනත් ආකාරයකට කල්පනා කල, ප්‍රතිචාර දැක්වූ බුද්ධිමය චින්තකයන් පිරිසකගේ අදහස් මුල් ඇද්දේ.එම බුද්ධිමතුන් අතුරින් එක් අයෙක් වූයේ ෂාක් ඩෙරීඩාය.

යම්කිසි ප්‍රශ්න නොකළ පූර්වායවයක් මත සංස්කරණය කර තිබූ හා කරන කතිකාවන් ඔහු දැඩි ප්‍රශ්න කිරීමකට යොමු කළේය. මෙවැනි සර්ව සම්පූර්ණ ලෙස ඉදිකර ඇති චින්තන පද්ධතීන්ගේ කූට උපක්‍රමය ඔහු හෙළි කළේය. එය කිරීම සඳහා උපයෝගී කරගත් ශෛලිය ඔහු හැඳින්වූයේ විසංයෝජනය-වීසංඛාර යන නමිනි.එමගින් “අවසන් සත්‍යතාවය” නැතහොත් “විද්‍යානුකූල සත්‍යතාවය” ලෙසින් පෙනී සිටින කතිකාවන් නිශ්චිත රාමුවක් තුළ ක්‍රියාත්මක වන හැටි ඔහු අනාවරණය කළේය. එම රාමුව මගින් සමහර අදහස්, සාධකයන් / අත්දැකීම් ඇතුළත් කර ගැනීමේත් අන්‍ය අදහස් සාධක/ අත්දැකීම් පිටුවහල් කරන නැතිනම් බැහැර කිරීමේත් ක්‍රමවේදය හෙළිදරව් කළේය.

ඩෙරීඩා මෙය තේරුම් කර දීමට ප්‍රංශ භාෂාවේ අර්ථ දෙකක් ඇති වචනයක් වූ ජලුසි (Jalousie) යන්න උපයෝගී කර ගත්තා. එය ඉංග්‍රීසියෙන් ජෙලසි(jealousy) ය. සිංහලෙන් මාත්සර්යයයි. අවාසනාවට සිංහලෙන් මෙයට ඊර්ෂ්‍යාව යැයි භාවිතා කෙරෙනවා. මගේ සිංහල භාෂා දැනුමේ අඩුපාඩුවක් නිසා එම වැරැද්ද මූලිකව මමත් කලා. මෙය තවදුරටත් ඊර්ෂ්‍යාව ලෙසා භාවිතා කරන අය එසේ කරන්නේ සමහර විට ඔවුන්ගේ ප්‍රංශ භාෂා අඩුපාඩුවක් නිසා විය හැක. ජලුසි යන වචනයේ එක් අර්ථයක් මාත්සර්යය වන විට අනෙක් අර්ථය වන්නේ තීරු වලින් සමන්විත ආලෝකය විහිදීම පාලනය කරන තිරයන්(Venetian Blinds)ය. සෑම සංස්කෘතික නිර්මාණයක්ම- සංස්කරණයක්ම පඨිතයක්(text) බව ඩෙරීඩා කියා සිටී පෙළින් පෙළට ලියවෙන පඨිත මේ “තිරයේ” ස්වරූපය ගනී. සෑම පඨිතයක්ම සෑම ප්‍රකාශනයක්ම සංයෝජනය කර ඇති ආකාරයේ අර්ථය උච්චාරණය කිරීමේදී ලේඛනයේ දී ත් යමක් විවෘත් කරන අතර තව දෙයක් වසන් කරයි. එමගින් කතෘවරයෙක්, තමාගේ “සත්‍යතාවය” මසුරෙකු සේ මාත්සර්යයෙන් රැක ගනී. මේ නිසා ඩෙරීඩා පවසන්නේ සෑම පඨිතයකම ලැගුම් ගෙන ඇති මාත්සර්යය කුමක් ද යන්න ප්‍රශ්න කල යුතු බවය. ඔහු නීට්ෂේ අනුගමනය කිරීමෙන් පෙන්වා දෙන්නේ පඨිතයකින් ප්‍රකාශ වන සත්‍යතාවයට වඩා එහි ලැගුම් ගෙන ඇති අභිලාෂය(desire) කුමක්ද යන්න හැදැරිය යුතු බවය. මිචෙල් ෆූකෝ මෙන්ම වුවත් වෙනත් අයුරකින් ඔහු පැහැදිළි කරන්නේ සෑම “සත්‍ය හා ඥාන” නිෂ්පාදිතයකම පිටුපස ඇත්තේ “බල අපේක්ෂාව” බවයි. තමා කතෘ ලෙස උච්චාරණය කිරීමේදී අනෙකා වස්තු විෂය බවට පරිවර්තනය කරයි. මෙම ක්‍රියාවලිය වසන් කර තමා සෛවරී-ස්වාධීන-බලවත් කතෘ කෙනෙකු ලෙස තමාව ඉදිරිපත් කර ගනී. මේ රහස බෞද්ධ දර්ශනය තුළ මනා ලෙස හෙළිදරව් කර තිබෙන්නකි. “මම” (අහංභාවය) පදනම් වී තිබෙන්නේ ස්වයං සාරයක් මගින් නොව මගේ අනන්‍යතාවය මතය. එනිසා “අනෙකෙක්” නැතිව “මම” නොපවති. “නො-මම” නැති විට “මම” නැත. “මම-නොමම”,මම-අනෙකා” යන්න පටිච්ච සමුප්පාදයකි.

ඉමස්මිං සති ඉදං හෝති
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජාති
ඉමස්මිං අසති ඉදං න හෝති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජතී.


ද්විඝටනය හා ප්‍රචණ්ඩත්වය

මෙය තේරුම් ගත්තේ නම් ඩෙරීඩාගෙන් ලැබුන තවත් වටිනා දායාදයක් බව අවබෝධ කරගත හැකිය. ඩෙරීඩා පෙන්වා දුන්නේ සමස්ත බටහිර චින්තනය ගොඩ නගා ඇත්තේ ද්විඝටනය (dialectics) හා යුගල ප්‍රතිපක්ෂය(binary opposition) පදනමක් කරගෙන බවය. හේගල්ගේ හා මාක්ස්ගේ චින්තනයන් පදනම් කර ඇත්තේ මෙවැනි පරස්පර විරෝධතා අතර ද්විඝටනය මූලිකවයි.

සෑම මූලික ස්ථාවරයක්ම ප්‍රතිස්ථාවරයක් ජනනය කරයි. එහි ගැටුමක් මගින් නව ස්ථාවරයකට පැමිණෙයි.එම ස්ථාවරයෙන් යළිත් ප්‍රතිස්ථාවරයක් ජනනය කරයි.

මෙසේ චින්තන ලෝකයත්, භෞතික ලෝකයත්, ඉතිහාසයත් පරිණාමය වන්නේ මෙවැනි ගැටුම් තුළ බව මාක්ස්වාදයේ මුලධර්මයක් වී ඇත. ඩෙරීඩා එළඹුනු වැදගත් සදාචාර නිගමනයක් වූයේ, පරිණාමය හෝ ප්‍රගතිය ඇතිවන්නේ විඥානවාදී හෝ භෞතික ද්විඝටනය තුළින් නම් “ප්‍රචණ්ඩත්වය” ඉතිහාසයේ පරම සත්‍යතාවය හෙවත් යථාර්තය ලෙස පිළිගැනීමයි.එහෙත් ආධ්‍යාත්මික සහ භෞතික යන සංකල්ප උත්පාදනය වන්නේ අපේ ඉන්ද්‍රීයමය ප්‍රායෝගික අත්දැකීමෙන්ය. (මෙයට සමාන්තර විශ්ලේෂණයක් උදෙසා බුදුන්ගේ මූලපරියාය හා මදුපිණ්ඩික සුත්‍රයන් විමසන්න )

එමෙන්ම ඩෙරීඩා යුගල ප්‍රතිපක්ෂය ප්‍රතික්ෂේප කර එහි මෝහය ද නිරාවරණය කළේය.
උදාහරණ ආධ්‍යාත්මික-භෞතික; ආත්මය-ශරිරය; පුරුෂයා-ස්ත්‍රිය; සුදු-කලු; සුදනෝ-දුදනෝ
ඩෙරීඩා පෙන්වා දෙන්නේ මෙවැනි ඉහත කී ආකාරයේ පරස්පරතා යුගල ප්‍රතිපක්ෂ සබඳතාවල

පළමු පදය; ප්‍රථම, සුපිරි, බලවත්
හා අනෙකා; දෙවැනි,පහත්, දුබල

යනුවෙන් තීරණය කර ධූරාවලිගත කිරීම මගින් ඒවා ස්වභාවික, සදාකාලික, වෙනස් කල නොහැකි සාධකයන් ලෙස ඉදිරිපත් කර තිබෙන අයුරුය. එබැවින් ඔහු මනා ලෙස අපගේ කතිකාවන් හා සමාජ ආයතනයන් ද ගොඩ නගා ඇත්තේ මෙවැනි සාවද්‍ය තර්ක ශාස්ත්‍රයක් මත, සිය බලය සකසා පවත්වාගෙන යාමෙන් බව හෙළිදරව් කර සිටියේය.

එමනිසා, ඔහු විසංයෝජනය කර බලා යමක් අනාවරණය කල ද නව ස්ථාවරයක් නොගත්තේය. එහි ගැඹුරු අර්ථය අවබෝධ කර නොගත් අය ඔහුට ශුන්‍යවාදියෙකැයි, අරාජිකවාදියෙකැයි චෝදනා කරති.

මෙවැනි බටහිර චින්තන ලෝකයේ ඇති වූ අර්බුදයක් තුළ බටහිර චින්තන වේදිකාවට ප්‍රවේශ වූ ෂාක් ලකාන්, මිෂෙල් ෆූකෝ, ඩෙරීඩා වැන්නන් ලංකාව වැනි පෙරදිග සමාජයකට අදාළ වන්නේ කෙසේද?

එය අදාළ වන්නේ ලාංකිකයන් බටහිර චින්තනය, බටහිර දර්ශනවාදී පූර්වාවයන් සහ බුද්ධිමය රාමුව තුළින් පෝෂණය වී, ඒවාට ඇබ්බැහි වී ඒවා භාවිතයේ යොදා ගන්නා ප්‍රමාණයට මෙන්ම සමස්ත පෙරදිගම ප්‍රචලිත වූ සිද්ධාර්ත ගෞතමයානන්ගේ මූලික ධර්මයන් අවබෝධ කොට නොගෙන පසෙකට දමා කල්පනා කරන ලාංකීය බුද්ධිමතුන්ට පමණි.

ඩෙරීඩා සහ බුදු දහම

මෑතක දී ඩෙරීඩා ඇතුළු සෙසු ප්‍රංශ විද්වතුන් ඉදිරිපත් කල න්‍යායක් වන විසංයෝජනය, යුගල ප්‍රතිපක්ෂ, සංඥාර්ථවේදය හා භාශාව පිළිබඳ විවේචනය, සත්‍යත සහ බලය අතර ඇති සම්බන්ධතාවය සෑම සංස්කරණයකම උල්පත වන ආශාව හෝ තණ්හාව බව තීක්ෂණ ලෙස ක්‍රිස්තු පූර්වයෙන් අවුරුදු 600 කට පෙර අනාවරණය කළේ භාරතයේ උපන් සිද්ධාර්ථ ගෞතම ශාස්තෘවරයායි.

නියම විමුක්තියක් කරා යාමට යුගල ප්‍රතිපක්ෂයන් හා ද්විඝටනයෙහි අඩංගු ප්‍රචණ්ඩත්වයෙන් විනිර්මුක්තව නිදහස් විය යුතු බව බුදුන් වහන්සේ අනාවරණය කළේ මෙසේයි.

යදා ද්වයේසු ධම්මේසු
පාරගූ හෝති බ්‍රාහ්මණෝ
අථස්ස සබ්බේ සංයෝගා
අත්ථං ගච්ඡන්ති ජානතෝ

“(නියම) බ්‍රාහ්මණයා ද්විත්ව ධර්මයන්ගෙන් ඔබ්බට ගිය විට ඔහු කෙරෙහි වූ සකල සංයෝජනයන් අස්ථානගත වේ.”
ධම්ම පදය 384

ඩෙරීඩා නිරතුරුවම සියල්ල විසංයෝජනය කරයි. ප්‍රශ්න කරයි. විවේචනයට ලක් කරයි. අනාවරණය කරයි. නමුත් එය බුද්ධිමය ව්‍යායාමයකට සීමා වූවක් පමණි. කාල් මාක්ස් කියු පරිදි ලෝකයේ අරුත පැහැදිළි කිරීමට බොහෝ පඬිවරු උත්සාහ කරති. නමුත් වැදගත් වන්නේ ලෝකය ප්‍රායෝගිකව වෙනස් කිරීමය. ඩෙරීඩාගේ චින්තනයේ සමාජය වෙනස් කිරීමට ක්‍රම වේදයක් නොමැති වීම එහි කැපී පෙනෙන හිඟයකි.

නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ.

තණ්හාව උත්පාදිත කරන අහම්කාර, මමකාර නමැති ගෘහ නිර්මාණ ශිල්පියා හැඳින සිද්ධාර්ථ ගෞතමයානෝ බුද්ධ ප්‍රාප්තියේ දී මෙසේ වදාළේය.

ගහකාරක දිට්ඨෝසි
පුන ගේනං න කාහසී
සබ්බා තේ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා

මෙයින් පෙන්වා දෙන්නේ සිතින් මවාගත් සංස්කාරයන්, තණ්හාව නැසීමෙන් අත්පත් කරගත හැකි විමුක්තිය පිළිබඳවය. එය බුද්ධිමය ව්‍යායාමයක් පමණක් නොව මනෝ විද්‍යාත්මක සදාචාර පෙරළියකි.

ෂාක් ඩෙරීඩා කලක් පිළිකාවෙන් රෝගාතුර වී සිට 74 වන වියේ දී අභාවප්‍රාප්ත විය. ඒ සමගම සුවිශේෂ චින්තනයක පහන් සිළ ද නිවී ගියේය.

ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි (Je suis – I am) කියූ සැනින්ම තමාගේ ආනුභවික පැවැත්මට බාහිරව තම උත්පත්තියටත් පෙර මරණයටත් පසු සදාකාලික පැවැත්මක් ඇතැයි යන අභිමානය ජනිත වන බවත් එය ජීවිතය නිරන්තරයෙන් වෙනස් වන්නක් ජරාවට පත්වෙමින් මරණය කරා ගලා යන පැවැත්මක් ලෙස හිතුවක්කාර අන්දමින් ප්‍රතික්ෂේප කරන්නක් ද වන බවය.

ඩෙරීඩා තම ජපන් ජාතික මිතුරෙකුට ලියූ ලියුමක deconstruction යන්න තේරුම් කර දීමට උත්සාහ කළේය. එහි ඔහු කියා සිටියේ
විසංයෝජනය යනු සිදුවන්නකි(event). එය හැදැරීමක් හෝ මෙනෙහි කිරීමක් හෝ කතෘවරයෙකුගේ මැදිහත්වීමක් වන තෙක් බලා සිටිනා ක්‍රියාදාමයක් නොවේ. විසංයෝජනයේ ස්වභාවය ස්වයං විසංයෝජනය වීමයි. අවසානයේ ෂාක් ඩෙරීඩා චින්තකයාණෝ ද අපවත් වූහ. නැත්හොත් ස්වයං විසංයෝජනය විය.
පුරාණයේ පටන් “වය ධම්මා සංඛාරා” යනුවෙන් (විසං) යෝජනා කළේත් මෙයම නොවේද?

Advertisements