බිලිපූජාවෙන් වෙසක් සමරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.

“මෙයට මාස දෙකකට පමණ පෙර එක්තරා උත්සවයක් විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පැවැත්වුණි. එයට සහභාගී වූයේ ඉන්දියානුවන් පිරිසකි. එහිදී අප ආදරයට ‘ස්පොටි’ ලෙස හඳුන්වන නගුට කොට බල්ලා, රතු පලස මතින් ඇවිද යාමටත්, අනතුරුව වේදිකාව මතට නැඟ හාස්‍යජනක රඟදැක්වීමක් ඉදිරිපත් කිරීමටත් අමතක කළේ නැත. මේ සිදුවීම නිසා කැළඹුණු උපකුලපති සහ පීඨාධිපති ‘මුළු බලු ප්‍රජාව’ කෙරෙහිම සිය වෛරය තවත් තහවුරු කර ගන්නට හේතුවක් කර ගත්තේය……නගුටක් නැති ස්පොටි බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් බලු සුරතලෙකි. ඔහුගේ පුරුද්දක් වන්නේ සුමංගල ගොඩනැඟිල්ලේ පහළ ඇති වේදිකාව මතට නැඟ හාස්‍ය රඟපෑමක් කිරීමයි. සාමාන්‍යයෙන් එම ශාලාවේ දේශන පවත්වද්දීත් ස්පොටි වේදිකාව මතට නැඟීමට ප්‍රිය කරන්නේය. ඔහු ශිෂ්‍ය භික්ෂුන්ගේ නේවාසිකාගාරයේ සිටින බලු සුරතලාය. ජපුර බලු සහෝදර සහෝදරියන් තිහකට අධික සංඛ්‍යාවකගේ ජිවිත නැති වීමටත්, තවත් 40 කට අධික සංඛ්‍යාවකගේ ජිවිත දැඩි අවධානමකට පත් වීමටත් මේ සුරතල් ස්පොටිගේ හාස්‍යජනක හැසිරීම් හේතුවක් කර ගන්නට තරම් සමාජයේ උගත් යැයි සම්මත, එහෙත් අළුගෝසු මානසිකත්වයකින් හෙබි පිරිසක් මුග්ධ විය…..ඇතුළුවන විටම විශාල බෞද්ධ කොඩියක් සේ දිස්වන බිත්තියකි. අනතුරුව භික්ෂූන් දෙනමකගේ පිළිරූ ඇත. එයත් පසුකොට යන විට සමාධි බුදු රුවක් සහ බෝ ගසකි. එයට පසුව තවත් භික්ෂු පිළිරුවකි. මේ සියල්ලට මුහුණලා ශාස්ත්‍ර පීඨය ඇත. එහි උගන්වන්නේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය, සාහිත්‍යය, ඉතිහාසය, ආදී විෂයයන්ය. නමුත් ඒ තුළ සිදු වන්නේ මහා පාපතර ක්‍රියාවන්ය…..පෙනෙන නොපෙනෙන, ළඟ දුර, විශාල ශරීර මෙන්ම ඉතා කුඩා ශරීර සහිත සෑම වර්ගයකම ජීවින් හට මෙත් සිත පතුරුවිම බෞද්ධ දර්ශනයේ ඉගැන්වේ. කරුණාවට සාගරයක් බඳු වූ, මෙත් සිසිලෙන් තෙත් වූ හදවතක් ඇත්තා වූ සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ පිළිරූ ඇති, බෝගස් ඇති, බෞද්ධ දර්ශනය උගන්වන, බෞද්ධ යන නම භාවිතා කරන ස්ථානයකට කිසිසේත්ම නොගැලපෙන ක්‍රියාකලාපයන් මෙහි සිදුවන්නේය.”


බිලිපූජාවෙන් වෙසක් සමරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

පසුගිය අප්‍රේල් 8, 9 දිනවල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ( http://www.sjp.ac.lk/ ) සිදු වූ නින්දනීය, අමානුෂික ක්‍රියාවලිය සිත්හි ඇති කළේ දැඩි කම්පනයකි. හඬක් නැඟිය නොහැකි ඒ අසරණයන් වෙනුවෙන් විශාල පිරිසක් ඉදිරිපත් විය. ඔවුන්ගේ ජිවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. මේ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ජිවත් වූ බල්ලන් තිහකට අධික ප්‍රමාණයක් හිංසනීය ලෙස සහ අභිරහස් ලෙස අතුරුදහන් කරවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙනි. විශ්ව විද්‍යාල උපකුලපති විසින් නඟන චෝදනා පදනම් විරහිත බවත්, හුදෙක් සත්ත්ව විරෝධී ආකල්ප බවත් සඳහන් කළ යුතුය. මෙහිදී සත්ත්ව කරුණාව සහ අනුකම්පාව ඇති බහුතරයකගේ හඬ නොසලකා ඇති බවත් පෙනී යන්නේය. එබැවින් ඔවුන්ගේ හඬටද ඉඩක් දිය යුතු යැයි තරයේ විශ්වාස කරන්නෙමු. විශ්ව විද්‍යාලය තුළ උද්ගත වූ තත්ත්වය ඇත්ත වශයෙන්ම සත්ත්ව විරෝධී, පරිසර විරෝධී සහ වෛරය මුල් කරගත් පිරිසකගේ පටු ආත්මාර්ථකාමී අදහස් ක්‍රියාවට නැඟීමකි. මෙතෙක් කල් නිදහසේ ජිවත් වූ බල්ලන් පිරිසක් එක්වරම ඔවුන්ගේ වාසස්ථාන වලින් අමානුෂික ලෙස ඉවත් කොට අතුරුදහන් කොට සති දෙකකුත් ඉක්මවයි. මනුෂ්‍යත්වය අගයන කිසිවෙකුත් හෝ මේ ක්‍රියාව අනුමත නොකරන බව විශ්වාසයි. මෙය හුදු විශ්ව විද්‍යාලයේ සිදුවීමක්ම නොව සමස්ථ රට පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත මෙන්ම ක්‍රියාත්මක වන ‘බල්ලන් මර්ධනය’ කිරීමේ අමානුෂික ක්‍රියාවලි ජාලයේ එක් පියවරකි. වසර ගණනාවක් තිස්සේ එකී භුමියේ වාසය කළ බල්ලන්ට එම භුමියේ ජිවත් වීමේ අයිතියක් ඇත. එම භුමිය අපගේ අවශ්‍යතාවන් සඳහා අප විසින් යොදා ගත්තද, අප එහි හිමිකරුවන් වන්නේ නැත. අප හා සම අයිතිවාසිකමක් එහි වාසය කරන සෙසු අයටද ඇත.

ජ’පුර සිදුවීම මෙසේ පෙළගැස්විය හැක. මෙයට මාස දෙකකට පමණ පෙර එක්තරා උත්සවයක් විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පැවැත්වුණි. එයට සහභාගී වූයේ ඉන්දියානුවන් පිරිසකි. එහිදී අප ආදරයට ‘ස්පොටි’ ලෙස හඳුන්වන නගුට කොට බල්ලා, රතු පලස මතින් ඇවිද යාමටත්, අනතුරුව වේදිකාව මතට නැඟ හාස්‍යජනක රඟදැක්වීමක් ඉදිරිපත් කිරීමටත් අමතක කළේ නැත. මේ සිදුවීම නිසා කැළඹුණු උපකුලපති සහ පීඨාධිපති ‘මුළු බලු ප්‍රජාව’ කෙරෙහිම සිය වෛරය තවත් තහවුරු කර ගන්නට හේතුවක් කර ගත්තේය.

මේ ‘ස්පොටි’ ගැනත් යමක් කිව යුතුය. නගුටක් නැති ස්පොටි බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් බලු සුරතලෙකි. ඔහුගේ පුරුද්දක් වන්නේ සුමංගල ගොඩනැඟිල්ලේ පහළ ඇති වේදිකාව මතට නැඟ හාස්‍ය රඟපෑමක් කිරීමයි. සාමාන්‍යයෙන් එම ශාලාවේ දේශන පවත්වද්දීත් ස්පොටි වේදිකාව මතට නැඟීමට ප්‍රිය කරන්නේය. ඔහු ශිෂ්‍ය භික්ෂුන්ගේ නේවාසිකාගාරයේ සිටින බලු සුරතලාය. ජපුර බලු සහෝදර සහෝදරියන් තිහකට අධික සංඛ්‍යාවකගේ ජිවිත නැති වීමටත්, තවත් 40 කට අධික සංඛ්‍යාවකගේ ජිවිත දැඩි අවධානමකට පත් වීමටත් මේ සුරතල් ස්පොටිගේ හාස්‍යජනක හැසිරීම් හේතුවක් කර ගන්නට තරම් සමාජයේ උගත් යැයි සම්මත, එහෙත් අළුගෝසු මානසිකත්වයකින් හෙබි පිරිසක් මුග්ධ විය.

කෙසේ හෝ මේ සිද්ධිය කලක් තිස්සේ අළුයට සැඟවී තිබුණු ගිණි අවුලුවිමට හේතුවක් කර ගත්තේ, මනසින් උසස් යැයි කියන පිරිසක්ය. කලක් තිස්සේම මේ ‘බලු විරෝධය’ මතුවී තිබුණි. මෙහි ආරම්භය සිදු වූයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙනි. මෙයට මාස හයකට පමණ පෙර, එක්තරා ආචාර්යවරයෙක් (ආපන ශාලාවෙන් කිරි පැකට් සොරකම් කර කිර්ති නාමයක් දිනාගත්) මුල් වරට සිය බලු විරෝධී වෛරී ආකල්පය ඉදිරිපත් කළේය. ඔහුට අනුව බල්ලන්ට කන්න දීම හිසරදයකි..වරදකි…එයටම එකඟ වන අදහස් ඇති එවකට වැඩබලන ලේඛකාධිකාරී තනතුර දැරූ අය ‘බල්ලන්ට කන්න දෙන්න එපා’ යැයි නියෝගයක් පනවමින්, පීඨය පුරා දැන්වීම් ගසන්නට කටයුතු කෙරීය. එයින් නොනැවතුණු ඔහු පීඨය තුළ සිටින බල්ලන් ඉවත් කිරීමට, මානසික අසමතුලිතතාවකින් පෙළෙන මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ වලට සිරගතව සිටි එක්තරා සේවකයෙකුට නියෝග කළේය. ඒ අනුව කළු කෙල්ල, බ්‍රවුන්, ෆ්ලෆි, සුද්දා යන අයත් තවත් කුඩා පැටියෙකුත් පැට්‍රොල් ඇඟට වක්කරමින් එළවා දමන්නට මොහු ඉදිරිපත් විය. සමෙහි රෝගී තත්ත්වයක් ඇති සුද්දා පැට්‍රොල් නිසා උපන් දැවිල්ල සහ වේදනාව නිසා ඇඹරෙන්නට විය. එසේ එළවා දැමූ බ්‍රවුන් අප්‍රේල් 8 හෝ 9 දින අමානුෂික ලෙස අතුරුදහන් කරවන ලදී. මේ සියල්ල සිදු වූයේ දෙනෝ දාහක් බලා සිටියදීය. නමුත් එක් අයෙක් පමණක් විරෝධය පා කෙසේ හෝ දෙවන දිනයේදී පැට්‍රොල් ගැසීම නැවැත්විය. කුඩා පැටවා මිනිසුන්ගේ කුරිරුකම් තේරුම් ගැනීමට කුඩා වැඩි වූවා, යළි යළිත් පීඨය කරාම එන්නට විය. ඉතා පහත් මානසිකත්වයකින් යුතු මේ මිනිසා එක් අතකින් පැට්‍රොල් බෝතලය සහ අනෙක් අතෙන් පොල්ලක් රැගෙන පැටවා එළව එළවා යන්නට විය. අවසන මේ පැටවා මේ ස්ථානයෙන් ඉවත් කිරීමටත්, ඇයට ඉතා යහපත් නිවසක් ඉක්මනින්ම සොයා ගැනීමටත් හැකි විය.
මේ සිදුවීමට මාස කිහිපයකට, එනම්, හරියටම වෙසක් සතියේ, තවත් නින්දනීය දෙයක් විශ්ව විද්‍යාලයේ සිදු විය. එනම්, සමස්ථ භූමියේම පලිබෝධ නාශක ඉසීමත්, මිය ගිය මීයන්ගේ මළකුණු තැන තැන දක්නට ලැබීමත්ය. අනතුරුව එළඹෙන කාලය තුළ ‘බල්ලන්ට කන්න දෙන්න එපා’යන දැන්වීම් තැන තැන දක්නට ලැබුණි.

කෙනෙකු මෙසේ අසන්නට පුළුවන්. පලිබෝධ මර්ධනය නොකර කෙසේද යන්නය. පලිබෝධ ලෙස අප හඳුන්වා ඇත්තේද අප මෙන්ම තවත් ජීවින් කොටසකි. ඔවුන්ගෙන් යම් යම් හිරිහැර අපට සිදු වන නිසා ඔවුන්ගෙන් සිදු වන ඒ හානි සහ හිරිහැර වළක්වා ලීමට පරිසර හිතකාමී සහ හිංසනීය නොවන පාරම්පරික ක්‍රමෝපායයන් රාශියක් අප සතුව ඇත. ඒවායෙන් ඒ සතුන්ටත් හානියක් නොවන අතර, පරිසර හිතකාමී වනවා මෙන්ම අපටද යහපත්ය. නමුත් මේවා නොකර, ඉතා හානිකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සතුන් මර්ධනය කරනු ලැබේ. මෙයින් අතිවිශාල සංඛ්‍යාවක සතුන් ප්‍රමාණයක් මිය යන අතර, පරිසරයට සහ අපටද හානි කර විෂ නිකුත් වන අතර, පරිසර සමතුලිත තාවය විනාශ වීමටද මෙය හේතු වේ. උගත් යැයි සම්මත පිරිසක් විසින් මෙහෙයවනු ලබන විශ්ව විද්‍යාල බලධාරීන්ට මේවා නොතේරීම පුදුමයකි.

ක්‍රමයෙන් ආරම්භ වූ මේ වෛරී ආකල්ප වැඩිවන්නට වූයේ සම අදහස් ඇති අයගේ එකතුවීම් වැඩිවීමත් සමඟය. වරක් බලු පැටවකු දේශනා ශාලාවක් අසල සිටිනු දුටු එක්තරා ආචාර්යවරයෙකු මෝල්ගසක් තරම් පොල්ලක් ගෙන ඌට තඩි බාන්නට විය. දිනපතා බල්ලන්ට ආහාර දෙන ශිෂ්‍යාවකට එක් ප්‍රසිද්ධ චීවරධාරී ආචාර්යවරයෙකු පවසා සිටියේ, “අපි ඉක්මනටම මේ බල්ලන් අයින් කරනවා. ඒකට ඉක්මන් වැඩපිළිවෙලක් යොදවනවා” යන්නයි. මෙලස ක්‍රමයෙන් නැඟුණු සත්ත්ව විරෝධි, පරිසර විරෝධී ආකල්ප කෙතරම් දරුණුදැයි කිවතොත් වරක් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් දෙදෙනෙක් කතා බස් කරමින් සිටියදී ප්‍රකාශ කළේ විශ්ව විද්‍යාලයේ සිටින ලෙහෙනුන් ඔවුන්ට විශාල කරදයක් බවයි. එසේම විශාල ගස් නිසා වාහන පියස මත කොළ එකතු වන බවත්, මේවා කරදයක් බවත් කතා වන්නට විය. කෙසේ හෝ මේ වන විට ක්‍රමයෙන් විශ්ව විද්‍යාල භුමියේ ගොඩනැඟිලි ආසන්නව පවතින තණබිස්සවල් ඉවත් කොට සිමෙන්ති ගල් අල්ලනු ලැබේ. එසේම, විශාල ගස් ක්‍රමයෙන් කපා ඉවත් කිරීමද කරගෙන යනු ලැබේ.

සත්ත්ව කරුණාව, පරිසර හිතකාමිත්වය සිත්හි දරාගත් බහුතරයකගේ අදහස් නොසලකා හරිමින්, වෛරය පෙරදැරි කරගත් පිරිස එක්ව, පිඹුරු පත් සකස් කරන ලද්දේ මෙහි සිටින අහිංසක බල්ලන් පිරිස විනාශ කොට දැමීමටය. මෙහි ප්‍රධානත්වය ගත් අය අතර ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති, සහ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, වැඩබලන ලේඛකාධිකාරී යන අයයි. උපකුලපති රටින් බැහැරව යන විට බලතල පවරා ගියේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිටය. මාස ගණනක් තිස්සේ සකස් කළ පිඹුරු පත් අනුව, අප්‍රේල් මස නිවාඩු ලැබෙන තුරු බලා සිටියේ කාටත් නොපෙනෙන සේ සිය අමානුෂික සැලැස්ම ක්‍රියාත්මක කිරීමටය. අප්‍රේල් 7 සිකුරාදා නිවාඩු දුන්නේය. අප්‍රේල් 8 සවස 6ට පමණත් අප්‍රේල් 9 සවස 6 ට පමණත් මෙය ක්‍රියාත්මක කළේ රහසිගතවය. ඒ කොන්ත්‍රාත්තුව භාර දුන්නේ පෞද්ගලික පලිබෝධ නාශක ආයතනයක් වන අල්ට්‍රාකිල් (Ultrakil) සමාගමටය. ඔවුන් ඒ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කළේ සමාගම් වාහන වල නොව, කුලියට ගත් ඩිමෝ බට්ටන් දෙකක් සහ කුලියට ගත් මිනිසුන් කිහිප දෙනෙක් හරහාය. මේ සියල්ල රටේ පවතින නීතිය සහ ප්‍රතිපත්ති වලට පටහැනිව සිදු වන්නකි. ඔවුන් සූදානම් වූයේ නිවාඩු කාලයේ, රහසිගතව විශ්ව විද්‍යාල භුමියේ සියලු බල්ලන් මරා දමන්නටය. ඔවුන් බල්ලන්ට බෙහෙතක් එන්නත් කළ අතර, එවිට මහා හඬින් විලාප නඟමින් බිම ඇඳ වැටුණු බල්ලන් අත්පා වලින් ඇඳ වාහන වලට පටවා ගත් අතර, විශ්ව විද්‍යාල ආරක්ෂක නිලධාරීන්ගේගේ අනුදැනුම සහ අවධානය මධ්‍යයේ ඔවුන් පළා ගියේය. දෙවැනි දිනයේ මෙය ක්‍රියාත්මක කරන්නට බැරි වූයේ සිද්ධිය දුටු සිසුන් මේ මිනිසුන් ගෙන් ප්‍රශ්න කරන්නට වූ නිසාය. එසේම, මහජන සෞඛ්‍ය නිලධාරියාද මෙහි සිටි අතර, ප්‍රශ්න කළ සිසුන්ට ඔහු නරක අන්දමින් බැණ වැදුණේය. කෙසේ හෝ දෙවැනි දිනයේ ඔවුන්ගේ ක්‍රියාව සාර්ථක ලෙස සිදුකරගන්නට නොහැකි වූ අතර, බල්ලන් දහයක් පමණ ප්‍රමාණයක් පටවා ගෙන ගියේය.

නමුත් වාහන වල අංක සහ මහජන සෞඛ්‍ය නිලධාරීගේ තොරතුරු ඔස්සේ, මේ සිදුවීමේ අගමුල සොයා ගත හැකි විය. වහා ක්‍රියාත්මක වූ සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් අල්ට්‍රාකිල් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ගෙන් මේ ගැන විමසා බලන්නට විය. නමුත් දෙපාර්ශ්වයම නිසි පිළිතුරක් දුන්නේ නැත. අප විමසා සිටියේ ගෙන ගිය බල්ලන් දැන් සිටින්නේ කොහෙද කියා පමණි. වරක් අල්ට්‍රාකිල් කියා සිටියේ ඔවුන් දෙහිවල මුහුදු තීරයේ අත්හැරිය බවයි. වරක් කියා සිටියේ ඔවුන් දෙහිවල කලුබෝවිල ප්‍රදේශ වල තැන තැන අත්හැරිය බවයි. උපකුලපති කියා සිටියේ කටට එන වචනය. ඒ අනුව ඔවුන් කහතුඩුව අනාථාගාරයට ගෙන ගිය බව කිවේය. එතැන නැති බව අප විශ්වාසයෙන් කී විට කිවේ අහංගම ගෙන ගිය බවයි. මෙලෙස විවිධ පිළිතුරු ලැබුණේය. උපකුලපති ගෙන් මේ ගැන විමසීමට හමු විය හැකි දැයි විමසූ විට එය ඔහු ප්‍රතික්ෂේප කළේය. අප්‍රේල් 10 දින පුරා අප උත්සාහ කළේ මේ බල්ලන් කොහෙද යන්න අදාළ පුද්ගලයින්ගෙන් දැන ගන්නටය. නමුත් එය අසාර්ථක විය. ඒ අනුව, අප්‍රේල් 11 වන දින අප මේ ගැන පොලිස් පැමිණිල්ලක් කළ අතර, එදිනම සවස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. ක්‍රමයෙන් මේ පුවත පුවත්පත්, ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සහ සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් රට පුරා මෙන්ම ලෝ පුරා පරිසර හිතකාමී, සත්ත්ව හිතකාමී මිනිසුන්ගේ සිත් කළඹන්නට විය.

පොලිස් විමර්ශනය ඉදිරියට යද්දී, ජාත්‍යන්තර පෙත්සම්ද, ජාත්‍යන්තර සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ලිපි සහ ඇමතුම්ද උපකුලපති ඇතුළු විශ්ව විද්‍යාල බලධාරීන් වෙතට ගලා එන්නට විය. මෙලෙස විශ්ව විද්‍යාලයට විශාල අඳුරු කැළලක් ඇතිකළ බලධාරීන් එක් පාපකර්මයක් වැසීමට තවත් බොහෝ පාපයන් සිදු කරන්නට විය. එක් අතකින් විශාල බේගල් ඇද බාමින්ද, අනෙක් අතින්, මේ සිද්ධිය ඇසින් දුටු පිරිස් බිය වද්දමින්ද බලපෑම් කරන්නටත් පටන් ගත්තේය. ඒ අනුව, සිද්ධිය ඇසින් දුටු සහ මුල් දිනයේ ඒ ගැන සංවේගයෙන් කතා කළ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ කටවල් වැසීමට ඔවුන්ට හැකි විය. එසේම මේ අමානුෂික ක්‍රියාවට එරෙහිවූ ශිෂ්‍ය ශිෂ්‍යවන් ගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නේය, විනය පරීක්ෂණ පවත්වන්නේය යනුවෙන් ඔවුන් බිය වද්දන්නට විය. ඒ අතරම වෙනත් බොහෝ අරමුණු මුදුන්පත් කර ගැනීමට ඇතැම් ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සුළුතරයක් උපකුලපති ගේ මේ අමානුෂික ක්‍රියාකලාපය අනුමත කරන්නට ඉදිරිපත් විය.

උපකුලපතිට එල්ල වන චෝදනාවෙන් ගැලවීමට ඔහු තව තවත් පිඹුරු පත් සකස් කරනන්ට විය. එක වරදකින් මිදීමට මොහු තවත් වරදක් කෙරිය. ඒ අනුව, අදාළ අමාත්‍යංශයේ ලේකම් කෙනෙක්ද වන, විශ්ව විද්‍යාලයේද පාලක මංඩලයේ සාමාජිකයෙකු ද වන එක්තරා පුද්ගලයෙකු සහ අදාළ අමාත්‍යවරයා සමඟ එක්ව කුමන්ත්‍රණයක් සිදු කළේ ‘නීති විරෝධී’ යන චෝදනාවෙන් ගැලවීමටය. ඒ අනුව, අප්‍රේල් 20 දින අමාත්‍යවරයා ලංකාව පුරාම සිටින බල්ලන් අල්ලා නිර්වින්දනය කොට මුහුදට දැමීමට නියෝග කළේය. එසේම මේ ක්‍රියාව ආරම්භ කරන්නට නියෝග කළේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිරිව සිටින බල්ලන් පසුදිනම අල්ලා මුහුදට දැමීමෙනි. එවන් නියෝගයක් පවතිද්දී, උපකුලපති සිදු කරන ලද්දේ නීතිවිරෝධී ක්‍රියාවක් නොව රජයේ අමාත්‍යාංශයකින් පණවන ලද නියෝගයක් අනුව බවට පවසමින් ගැලවීමට හැකිවෙතැයි සිතාය. එසේම මේ නින්දිත ක්‍රියාව ක්‍රියාත්මක කිරීමට සුදානම් ව සිටි අප්‍රේල් 21 වන දින සවස 2.30 ට ‘බලු මර්ධනය’ ගැන කතා කිරීමට රැස්වීමක් පැවැත්වීමට උපකුලපති තීරණය කළේය. මේ රැස්වීමේදී උපකුලපති මාසයක් කාලයක් තුළ බල්ලන් ඉවත් කරන ලෙසත්, ඒ සඳහා මාසයක් කල් දෙන බවත් පොරොන්දු වීමට නියමිත ව තිබුණි.. ඒ අනුව රැස්වීමෙන් පසු සතුටු සිතින් ගෙදර යන අතර, එදිනම රාත්‍රියේ සිය කෘර සැලැස්ම ක්‍රියාත්මක කරන්නට සුදානම්ව තිබුණි. පසුව උපකුලපති ඇතුළු විශ්ව විද්‍යාල බලධාරීන්, උපකුලපති රැස්වීමේදී මාසයක් කල් දෙන බව කී බවත්, බල්ලන්ට කිසිඳු හානියක් නොකළ බවත්, මෙවර මෙන්ම පෙර වතාවේද මේ ක්‍රියාව සිදු කළේ තමා නොව, වෙනත් කවුරුන් හෝ බවත් පවසා බේරීමට සිතා සිටියේය. ඒ අතර, නිල නොවන එහෙත් රහසිගත ලෙස එම නියෝගය නිකුත් කල නිසා අමාත්‍යාංශයටද ගැලවිය හැකිවනු ඇත.

නමුත් කෙසේ හෝ මේ නින්දිත කුමන්ත්‍රණය අප්‍රේල් 21 දින හෙළි විය. පෙර අවස්ථාවේදීද (අප්‍රේල් 8 සහ 9) සිද්ධියට සම්බන්ධ මහජන සෞඛ්‍ය නිලධාරි පුද්ගලයා අප්‍රේල් 21 දින විශ්ව විද්‍යාල භුමිය පුරා සැරිසැරුවේ එහි සිටින බල්ලන්ගේ ඡායාරූප ගනිමින්, අද රෑ බල්ලන්ට හොඳ පාඩමක් උගන්වනවා යැයි තෙපර බාමින්ය. ඔහුට කිසියම් මානසික විකෘතිතාවයක් පවතින බව පැහැදිලිය. එතනින් පිට වූ ආරංචිය නිසා විශ්ව විද්‍යාලය තුළ සිටින සත්ත්ව හිතකාමීන් පිරිස වහා තොරතුරු හුවමාරු කරගත්තේය. ඒ අනුව සමාජ ජාලා අඩවි හරහා මේ නව පුවත ප්‍රචාරය විය.එත් සමඟම මාධ්‍ය විමසිම්ද අදාළ පාර්ශවයන්ගෙන් සිදු විය. දැනට ඉතිරිව සිටින බල්ලන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය හදිසි මෙහෙයුමක් කිරීමට සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍ය සුදානමින් සිටි අතර, තවත් සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් ජනාධිපති කාර්යයාලය වෙතට ගියේ මේ සිදු වීමට නියමිත විශාල විනාශයක් වලක්වාලීම සඳහාය. කෙසේ හෝ, ඇතිවුණු බලපෑම් හමුවේ, මේ කුමන්ත්‍රණය තාවකාලිකව අත්හිටුවීමට අදාළ පුද්ගලයින් ක්‍රියාත්මක විය. එසේ වුවද කොයි මොහෙතෙහෝ මේ බල්ලන් ඉවත් කොට දැමීමට (මරා මුහුදට දමන්නට ) බලධාරීන් ක්‍රියාත්මක වනු ඇත.

විශ්ව විද්‍යාල බලධාරීන් පවසන ලෙස බල්ලන් හිරිහැරයක් නම්, ඔවුන් ඉවත් කිරීමේ විධිමත් වැඩ පිළිවලක් සහ ඊට අදාළ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ඇත. ඒවායේ සහය ගෙන, මේ ක්‍රියාව සිදු කළ යුතුව තිබුණි. නමුත් දැනට වසර දෙකක පමණ සිට විශ්ව විද්‍යාලයේ පවතින්නේ අත්තනෝමතික යම පාලනයකි. විශ්ව විද්‍යාලයේ සිටින සත්ත්ව හිතකාමී බහුතරය සහ එම සතුන්ගේ ජිවත් වීමේ අයිතිය නොසලකා, ඉතාම නින්දිත ලෙස, නීති විරෝධී සහ අමානුෂික ලෙස මේ සතුන් මෙලෙස අතුරුදහන් කරවන ලදී.

අප තොරතුරු සොයා බැලූ විට, පසුගිය වසර පුරාවටම විශ්ව විද්‍යාලයෙන් වාර්තා වී ඇත්තේ බල්ලන් සපාකෑම් පහකට අඩු ගණනක් බවට හෙළි විය. නමුත් විශ්ව විද්‍යාල බලධාරීන්ට ඒ ගණන පෙනෙන්නේ පසුගිය මාසය තුළ 20කට ආසන්න ගණනක් ලෙසටය. මාර්තු මස වන විට මේ භුමිය තුළ සිටින බල්ලන් ගණන 83 කි. නමුත් විශ්ව විද්‍යාල බලධාරීන්ට ඒ ගණන පෙනෙන්නේ 130 ලෙසටය.! 130 ක් සිටියේ දැනට වසර පහකට පෙරය. ඒ ගණන මේ වන විට 83 වූයේ නිසි කළමනාකරණ වැඩසටහන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ නිසාය. එසේම මේ බල්ලන්ට රජයේ ජල භිතිකා මර්ධන ඒකකය මඟින් වසරක් පාසා එන්නත් ලබා දෙන්නේය. රාජ්‍ය නොවන සංවිධාන විසින් වඳ සැත්කම් සහ අනෙක් සෞඛ්‍ය පහසුකම් සලසන්නේය. සිසුන් සහ විශ්ව විද්‍යාලයේ සේවය කරන්නන් දිනපාතා ආහාර ලබා දෙන්නේය. මේ සියලු බල්ලන්ට නම් තිබුණි. ඇතැම් බල්ලන්ට නම් කිහිපයක් තිබුණේ ඔවුන්ට හිමිකරුවන් කිහිපදෙනෙක්ම සිටි නිසාය.

මේ විශ්ව විද්‍යාලය බෞද්ධ පිරිවෙණක්ව පැවතුණි. ඉදිරිපස ඇත්තේ භික්ෂු නේවාසිකාගාරයයි. ඇතුළුවන විටම විශාල බෞද්ධ කොඩියක් සේ දිස්වන බිත්තියකි. අනතුරුව භික්ෂූන් දෙනමකගේ පිළිරූ ඇත. එයත් පසුකොට යන විට සමාධි බුදු රුවක් සහ බෝ ගසකි. එයට පසුව තවත් භික්ෂු පිළිරුවකි. මේ සියල්ලට මුහුණලා ශාස්ත්‍ර පීඨය ඇත. එහි උගන්වන්නේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය, සාහිත්‍යය, ඉතිහාසය, ආදී විෂයයන්ය. නමුත් ඒ තුළ සිදු වන්නේ මහා පාපතර ක්‍රියාවන්ය. පසුගිය වෙසක් මස, වෙසක් සතිය ආරම්භ වූයේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව ඝාතනයකිනි. පලිබෝධ ලෙස අප විසින්ම නම් කරන ලද අසරණ සතුන් ගේ මළකුණු මතින්ය. එසේම අසරණ සතුන්ට ආහාර ලබා දීම වරදක් ලෙස සලකන, රෝගී සතෙක් දුටු විට පිළිකුල් කොට එළවා දමන, නමුත් හාත්පස සිසාරා ළෙලදෙන බෞද්ධ කොඩි සහ බෞද්ධ සැරසිලි මධ්‍යයේය. දානය බෞද්ධ දර්ශනයේ ප්‍රධාන තැනක් ගන්නේය. එසේම සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සැමට මෙත් සිත පතුරුවිමයි. පෙනෙන නොපෙනෙන, ළඟ දුර, විශාල ශරීර මෙන්ම ඉතා කුඩා ශරීර සහිත සෑම වර්ගයකම ජීවින් හට මෙත් සිත පතුරුවිම බෞද්ධ දර්ශනයේ ඉගැන්වේ. කරුණාවට සාගරයක් බඳු වූ, මෙත් සිසිලෙන් තෙත් වූ හදවතක් ඇත්තා වූ සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ පිළිරූ ඇති, බෝගස් ඇති, බෞද්ධ දර්ශනය උගන්වන, බෞද්ධ යන නම භාවිතා කරන ස්ථානයකට කිසිසේත්ම නොගැලපෙන ක්‍රියාකලාපයන් මෙහි සිදුවන්නේය.

තවමත් විශ්ව විද්‍යාල බලධාරීන් සිටින්නේ මේ බල්ලන් ඉවත් කරනවාය යන ස්ථාවරයේය. එසේම බල්ලන්ට කෑම දැමීම නවත්වන ලෙස නියෝග කරන්නේය. බල්ලන්ට කෑම දෙන්නන් හට තර්ජන කරන්නේය. සතෙක්ට කන්න ටිකක් දෙන එක වරදක් ලෙස, අපරාධයක් ලෙස සලකන කරුණාවක්, අනුකම්පාවක් නැති ඔවුන් නොමිනිසුන් නොවන්නේද? මොවුන් ශිෂ්‍යයන්ට උගන්වන්නේ මොනවද?
මෙවන් ගුරුවරුන් යටතේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ මනුගුණදම් ගැන කවර කතාද? මේ සඳහා මෑතක සිදු වූ පිළිකුල්සහගත සිදුවීමක් සඳහන් කරනු කැමැත්තෙමු. ශාස්ත්‍ර පීඨයේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ බිම් මහලේ ස්ථාන දෙකක වතුර පල් වී ගඳ ගසන විශාල පොකුණු දෙකක් සහිත විසි කරන ලී, යකඩ සහ වෙනත් බොහෝ අපද්‍රව්‍ය ගොඩගසා ඇති අංගනයන් දෙකක් ඇත. මේවායේ මාළුන් සහ ඉබ්බන් සිටි අතර, එක් අංගනයක හාවුන් ගෙනත් දමන ලදී. ඒවා සුරතල් මසුන්ට සිටීමට තරම් කිසිසේත්ම සුදුසු හිතකර පරිසරයක් නොවිය. මේ අතර, දැනට මාස කිහිපයකට පෙර විශ්ව විද්‍යාලයේ පැවත්වුණු උත්සවයකට පසු දින දැනගන්නට ලැබුණේ හාවුන්, මාළුන් සහ ඉබ්බන් කිසියම් පිරිසක් විසින් මරාගෙන එතැනම පුළුස්සා කා දමන ලද බවයි. එසේ කරන ලද්දේ ශිෂ්‍යයන් බවට ප්‍රචාරයක් පැවතුණි. ඇතැම් පිරිස් පැවසූයේ ඒ ආරක්ෂක අංශ නිලධාරීන් බවයි. කෙසේ හෝ මෙහි පොකුණක සිටින ඉබ්බෙක්ට මාළුවෙක්ට හෝ නිදහසේ ජිවත් විය නොහැකි පරිසරයක් පවතින බව නම් පැහැදිලිය. මිනිසා මිනිසාට නිගරු කරන සමාජයක, අනෙක් ජිවින්ගේ ජීවත්වීමේ නිදහස ගැන කවර කතාද!!!

ලෝකේ කොහේවත් ‘වීදි බල්ලන්ට’ ඉඩක් නැතැයි විශ්ව විද්‍යාලයේ ඉහළ තනතුරු හොබවන්නන් කියා සිටියි. ඔවුන් නොදන්නා දෙයක් නම්, ලෝකේ කාටත් නිදැල්ලේ ජිවත් වීමේ අයිතියක් ඇතැයි යන්න. ඔවුන්ගේ එම අයිතිය උදුරා ඇත්තේ පටු චින්තනයෙන් හෙබි මුග්ධ මිනිසුන් පිරිසක් විසින් බවත්, ලෝකය නිර්මාණය වී ඇත්තේ සෑම සියලු දෙනාටම බවත් අමතක නොකළ යුතුය. මිනිසා සිය අසීමිත ආශාවන් සපුරා ගනු වස් සොබාදහම සූරා කන අතර, සෙසු ජිවින්ගේ ජීවන අයිතිය උදුරා විනාශ කර දමා ඇත. මේ විශ්ව විද්‍යාල භුමියෙන් බල්ලන් ඉවත් කළ යුතු බවත්, එසේ නැතහොත් ඔවුන් වැඩ වර්ජනය කරන බවත් කියා සිටින අයට කිව යුත්තේ මෙයයි. ඔබලා වැඩ වර්ජන කළත් නැතත් වෙනසක් නැත. මන්ද සෙසු දිනවලද කරන්නාවූ වැඩක් නැත. අධ්‍යනය කාර්යය මණ්ඩලය, මහජන මුදල් අපයෝජනය කරමින් වැඩෙන්නේ, පරපෝෂිත කිනිතුල්ලන් මෙනි.

වීදි බල්ලන්ට ඉඩක් නැත්තම්, වීදි දරුවන්ටද ඉඩක් නැතැයි මොවුන් හෙට අනිද්දා කියනු ඇත. ලෝකයේ දියුණු යැයි සම්මත රටවලින් මොවුන් ඉගෙන ගෙන ඇත්තේ පාරේ බල්ලන් දක්නට නොමැත යන කරුණ පමණක් විය යුතුය. එවන් රටවල මානව හිමිකම් හා සම මට්ටමේම සත්ත්ව හිමිකම්ද ඇත. එසේම එවන් රටවල මිනිසුන් අතර ඇති මනුගුණදම් වෙනුවට, මොවුන් ඉගෙන ගෙන ඇත්තේ පාර වල බල්ලන් දක්නට නැතැයි යන කරුණ පමණක් වීම, මොවුන් විදේශවලට යැවීමට වැය කරන මහජන මුදල් අපරාධයකි.

අප මේ භුමිය වෙන් කොට අපගේ පරිභෝජනය උදෙසා යොදා ගත්තද, ඇත්ත වශයෙන්ම ඒ බව මේ සතුන් දන්නේ නැත. අප බල්ලන් ගැන කතා කළහොත්, බල්ලා යනු මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයේ පටන් අප හා බැඳී වෙන් නොවී සිටි මිත්‍රයෙකි. ආදී මානවයා ක්‍රමයෙන් ශිෂ්ට සම්පන්න වන විට ඒ ක්‍රියාවලියේදී බල්ලන් ගෙන් ලැබුණු සහය අතිවිශාලය. අවසාන අයිස් යුගයේ පටන්ම මේ සත්ත්ව විශේෂ දෙක අතර, දඩයම, ආරක්ෂාව, ආහාර, බර ඇදීම ආදී අන්‍යොන්‍ය උපකාරයන්ට අමතරව, දැඩි මානසික බැඳීමක්, මිතු දමක් ගොඩනැඟී ඇත. දියුණු රටවල මෙසේය, ආදී වශයෙන් පාරම් බාන අයට කිව යුත්තේ, ඒ රටවල රෝගී මිනිසුන් සුවපත් කිරීම සඳහාද බල්ලන්ගෙන් උපකාර ලබා ගන්නා බවයි. බල්ලන් රෝගීන්, කායික සහ මානසික දුබල අය, කුඩා ළමුන් සහ වයසක අය බලා කියා ගන්නට යොදා ගැනේ.

අප රටේ සිටින වීදි බල්ලන් දෙස පිළිකුලෙන් බලන මිනිසුන් ඇත. ඔවුන්ටද යමක් කිව යුතුය. අප රටේ සිටින වීදි බල්ලන් යනු ගල් යුගයේ සිට අප සමග සිටි අපගේ මිතුරන්ය. ඔවුන් වනයෙන් එළියට ඇද, ජාන වෙනස් කොට, තනිවම ජිවත් වීමට නොහැකි තත්ත්වයකට ඔවුන් ඇඳ දැමුවේ අප විසින්මය. මේ සිටින වීදි බල්ලන් වීදියට ඇද දැම්මෙත් අපමය.මෙරට සිටින ‘සිංහල සුනඛයන්’ ( කීර්තිමත් විද්වත් පී.ඊ.පී.දැරණියගල මහතා මේ නම් මුල් වරට හඳුන්වා දුන්නේය), සුවිශේෂී වර්ගයක් බවයි. දඩයමට සහ මුරකමට මොවුන් විශේෂ දස්කම් දක්වන්නේය. එසේම දිවයිනේ අනාදිමත් කලක සිට වාසය කරන වැදි ජනයා බල්ලන්ට ඉතා කුළුපගය. ඔවුන්ට සිය දඩයම් බල්ලන් සම්පතකි. සිය වත්කම් පෙන්වන සාධකයකි. අතීතයේ සිට බල්ලන් සහ මිනිසුන් අතර තිබුණු අන්‍යොන්‍ය සම්බන්ධතාවයට ඕනෑ තරම් නිදසුන් පැරණි බිතුසිතුවම්, කැටයම් සහ ෆොසිල සාධක අනුව පෙනී යයි. බහුතර ජනයා විදේශීය බලු වර්ග පමණක් ඇතිදැඩි කරන අතර, දිවයින ජනාවාස කළ මුල්ම මානවයාට ප්‍රාථමික අවධියේ සිට සහයවුණු දේශීය බල්ලන්, එසේත් නැතහොත් අපේ දඩෝරියන් හුදෙකලා වී ඇත. නමුත් වැද්දන් සහ දඩෝරියන් අතර තවමත් නොනැසී පවතින මේ මිතුදම, සහශ්‍ර ගණනක් තිස්සේ මෙම විශේෂ දෙක අතර පැවති සම්බන්ධය තවදුරටත් නොනැසී පවත්වා ගැනීමක් මෙන්ම, කෘතගුණ සැලකීමක්ද වන්නේය.

අපට අසන්නට ඇත්තේ මෙපමණය. මිනිසුන්ට මෙන්ම සෑම ජිවියෙක්ටම ජිවත් වීමේ නිදහස ඇත. එය වළක්වන්නට අපට අයිතියක් නැත. ඔවුන් ගේ පැවැත්ම හෝ නොපැවැත්ම තීරණය කිරීමට අපට කිසිඳු අයිතියක් නැත. මේ මහා පොළොව පොදුවේ සෑම ජිවින්ටම අයත් වන අතර, අපට පමණක් අයිති ස්ථානයක් නොවන්නේය. අප මහ පොළොවේ කොටස් බෙදා ගත්තද, ඒවා සෙසු සතුන්ට අදාල වන්නේ නැත. ඔවුන්ට රිසි සේ, නිදහසේ ජිවත් වීමේ අයිතියක් ඇත. ඒ අයිතිය අප ඔවුන්ට පවරා දිය යුතුය.

Save the Dogs in J’pura University ෆේස්බුක් පිටුවෙනි

Advertisements