ධර්මසේන පතිරාජ නම් වූ විශිෂ්ඨ සිනමාකරු

චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ විශේෂ උපහාර උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.

ඒ හා සමගාමීව අප පහත පළකරන්නේ 1970 දශකයේ මාවත සංස්කෘතික ප්‍රකාශනයේ පළ වූ චිත්‍රපට විචාර ලිපි දෙකකින් ධර්මසේන පතිරාජ ගේ අහස් ගව්ව, සහ බඹරු ඇවිත් යන චිත්‍රපට දෙක සම්බන්ධයෙන් ලියැවුණු අදහස් ඇතුළත් කොටස් ය. ඉන් පළමුවැන්න මාවත මංගල කලාපයේ (1976 අගෝස්තු-සැප්තැම්බර්) “අතරමැද මාවතක් නැත” යන මැයෙන් පියල් සෝමරත්න සහ කුමුදු කුසුම් කුමාර ගේ නමින් පළවිය. දෙවැන්න, මාවත අංක 7 කලාපයේ ( 1978 ජූලි -සැප්තැම්බර්) “ඔබත් මාත් අතරමං වෙන්නේ එකම මුහුදක” යන මැයෙන් කුමුදු කුසුම් කුමාර ගේ නමින් පළ විණි.

මෙම විචාර පිළිබඳ කුමුදු කුසුම් කුමාර අද මෙවැනි අදහසක් පළකරයි. “ අද මා යළිත් මෙම චිත්‍රපට පිළිබඳ විචාරයක් ලිවීමට යොමු වෙතොත් එය එදාට වඩා වෙනස් ආකාරයකට එහි මූලික එළඹුම සකස් කරනු ඇත. අභාවප්‍රාප්ත පියල් සෝමරත්නයන් වෙනුවෙන් කතා කිරීමට මට අයිතියක් නැත. නමුත් ඔහු සමග හවුලේ මා ලියූ අහස් ගව්ව පිළිබඳ විචාරය ගැනත් පසුව මා තනිවම බඹරු ඇවිත් පිළිබඳ ලියා ඇති අදහස් ගැනත් පතිරාජ ගේ සොල්දාදු උන්නැහේ වැනි පසුකාලීන චිත්‍රපටියක් ගැනත් සළකා බලන කල අද මා සිතන්නේ පතිරාජ ගේ චිත්‍රපටි පංති විග්‍රහය පදනම් කොට ගත් මාක්ස්වාදී දෘෂ්ටියට හුදු සීමා වී විග්‍රහ කළ නොහැකි ඉන් ඔබ්බට යන සංකීර්ණ මානව ක්‍රියාකාරකම් සහ සබඳතා පිළිබඳ ගැඹුරු ගවේෂණයකට යොමු වූ ඒවා බවයි. එහෙයින් එම චිත්‍රපට නොමසුරු එළඹුමකින් විචාරයට ලක් කිරීමට නම් පතිරාජ ගේ සිතීම ප්‍රධාන ධාරාවේ මාක්ස්වාදී විග්‍රහයෙන් ඔබ්බට ගිය සාත්‍රෙ, කැමූ, කෆ්කා ආදීන් විවිධ මට්ටමින් නියෝජනය කළ පුළුල්ව ගත් කළ සාංදෘෂ්ටිකවාදී, අරාජිකවාදී ලෙස හැඳින්විය හැකි සමාජ දැක්මක්ද ගැබ් කරගත් යුතු යුරෝපීය වාම සමාජ චින්තන ප්‍රවාහය ඇසුරෙන් විමසා බැලිය යුතු යැයි මට සිතෙන්නේ ඔහුගේ එම චිත්‍රපට එම කාලයේදී නැරඹීමෙන් පසු නැවත නැරඹීමෙන් තොරව ඒ පිළිබඳ කල්පනා කරන විටය. ඔහු මෑතදී නිර්මාණය කළ ස්වරූප චිත්‍රපටය සෘජුවම කෆ්කා ගේ රූපාන්තරණය නම් වූ කෙටි නවකතාව මත පදනම් වූවකි. ”

“ධර්මසේන පතිරාජ ලෙස්ටර් ජේම්ස් පීරිස් පුරෝගාමීව උදා කළ නූතන යථාර්ථවාදී සිංහල සිනමාකරණය සමාජීය අරුතින් ද ගැඹුරු කිරීමට  වසන්ත ඔබේසේකරයන් හා සමගාමීව එක හා සමාන මෙහෙයක් කළේ යැයි කිව හැකිය. මේ තිදෙනා සිංහල සිනමාව කලා මාධ්‍යයක්  ලෙස එහි ඉහළටම ඔසොවා තැබීමෙහි ලා  තම තමන්ට සුවිශේෂී සිනමා ආරක් වෙන් වෙන්ව වර්ධනය කර ගනිමින් ඉමහත් මාර්ග දර්ශක මෙහෙවරක් කළ විශිෂ්ඨ සිනමා කරුවෝ වෙති. ලෙස්ටර් යථාර්ථවාදී සිනමා ශෛලියෙහි පිහිටා මානව පුද්ගල සබඳතා සහ චෛතසිකයන් ගවේෂණයට යොමු වී නම් වසන්ත ඔබේසේකර සමකාලීන සමාජ සිදුවීම් පසුබිමෙහි තබා ආඛ්‍යාන ගොඩ නැඟූ අති ශූර වෘතාන්ත රචකයෙකු ද ලෙස මානව ක්‍රියාකාරීත්වය විග්‍රහ කළේ සිනමාවේ  ආකෘතිමය සහ ශිල්පීය ශක්‍යතා තීව්ර කරමින් චිත්‍රපටයේ ආකෘතිය සහ අන්තර්ගතය සමෝධානයට ගෙන එමිනි. ධර්මසේන පතිරාජ ධනේශ්වර නූතනත්වය යටතේ මානවයා සමාජීය පීඩනයට පත්වීම මුල්කොට ගෙන ඇය අත් විඳින විලෝපනයත් එය මැඬගෙන එයට එරෙහිව නැගී සිටීම අපේක්ෂා කරගත් වාමවාදී කැරලිකාරි දේශපාලන විභවයත් සියුම් සිනමා ශෛලියකින් ගවේෂණය කරමින් සිංහල සිනමාවේ  නිම් වළලු පුළුල් කළ සිනමා කරු ය.”

‘කතිකා’ හි අපි ධර්මසේන පතිරාජ සිනමා කරුවාට දීඝායු පතමු.

“අතරමැද මාවතක් නැත”

විකල්ප මාවතේ මෙතෙක් වඩාත්ම ඉදිරියට ගිය චිත‍්‍රපටය ධර්මසේන පතිරාජගේ අහස් ගව්වයි. …………එය සිංහල සිනමා කර්මාන්තයටත් ලාංකික සිනමා ශිල්පීන්ටත් එල්ල කළ බරපතල අභියෝගයක් වුනා. සිංහල සිනමාව යොමුවිය යුතු නිවැරදි මඟ පිළිබඳ මුල්ම ප‍්‍රබල ඉඟිය කළේ අහස් ගව්වයි. සිංහල සිනමාව යථාර්ථයට යා කිරීමේ හා මිනිස් ජීවිතයට වඩාත් සමීප, යථාර්ථරූපී අත්දැකීම් වෙත නැඹුරු කිරීමේ මූලික ප‍්‍රයත්නයක් එහි දැකිය හැකි වුනා. ඒ තුළින් නිරූපණය කිරීමට වෑයම් කර ඇත්තේ මෙරට තරුණ පරපුරට අදාළ විවිධ ප‍්‍රශ්න හා ඔවුන්ගේ ඉරණම මෙන්ම එම ඛේදජනක ඉරණමට එරෙහිව අරගල කිරීමට ඔවුන් තුළ නලියන ජීව ගුණය යි. විරෝධය යි. සටන් කාමීත්වය යි.


ඒත් අහස් ගව්ව තුලින් පතිරාජගේ වෑයම පලගැන්වී නැත්තේ චිත‍්‍රපටය මූලික ප‍්‍රතිවිරෝධතාවයකින් පෙළෙන නිසයි. එනම්, අන්තර්ගතය හා විලාශය අතර ගැටුමයි. අන්තර්ගතය නොගැඹුරුයි. අවිචාරවත් ඒත් එය ඉදිරිපත් කරන විලාශය හරවත්, ප‍්‍රාණවත්. ඒ නිසා චිත‍්‍රපටයේ මුළු බර උසුලනු ලබන්නේ එහි විලාශය විසින්. අධ්‍යක්‍ෂකවරයාගේ ශිල්පීය ස්වාධිනත්වය සිනමාරූපී ශික්‍ෂණයත් අපූරුවට කැපී පෙනෙනවා. එහෙත් අහස් ගව්වට තේමා වූ තරුණ ප‍්‍රශ්න එහි ගැඹුරට කිමිද යථාර්ථරූපීව ඉදිරිපත් කරන්නට සජීවී හා පැහැදිලි ලෙස ඉදිරිපත් කරන්නට ඔහු සමත්වෙලා නැහැ. සමස්ථයක් වශයෙන් ගත් කළ චිත‍්‍රපටයේ තේමාව හා හරය කැටිකොට දක්වන හුයක් බඳුවිය යුතු වූ අධ්‍යක්‍ෂකවරයාගේ දෘෂ්ටියේ නොපැහැදිලි බව මෙහි දක්නට ඇත. චිත‍්‍රපටයට පදනම් වන පුවතේ විභවයන් හා ප‍්‍රතිවිරෝධතාවයන් ගැඹුරින් හා විචාරවත්ව සාධනය කර නොගැනීම මූලික වශයෙන් දෘෂ්ටිමය දුබලතාවයක්. අත්දැකීම් වල මතුපිට ස්වරූප මිස ඒවායේ ඇතුළත යථාර්ථය හා ගැටුම් මතුකර නැහැ. ‘බජාර්’ ලෝකයේ ඇතුළත හා පිටත ප‍්‍රතිවිරෝධතා ප‍්‍රමාණවත්ව විවරණය වන්නේ නැහැ. ඒ වෙනුවට කෙරෙන්නේ චරිතයන්ගේ මානසිකත්වයේ ඇතැම් අංග කල්පිත කරණයට හසුකිරීමයි. එසේ කල්පිතකරණයට හසුකර ඇත්තේ තරුණයන්ගේ නිර්මාණාත්මක බව, වීරත්වය, ජීවගුණය හා එඩිතර බව වැනි අසම්මත අංග බව ඇත්ත. එහෙත් ඒවා යථාර්ථවාදීව සිදුවීම් තුළින් විවරණය නොකිරීම නිසා අගය අඩු වෙනවා.

සමාජයේ කේන්ද‍්‍රීය කොටසක් වන යොවුන් පරපුරේ ජීවිතය චිත‍්‍රපට ගතකිරීම ඒ මගින් සිංහල සිනමාව පෝෂණය කිරීමත් වැදගත්. තරුණයන් වෙනුවෙන් පෙනී සිට ඔවුන් කෙරෙහි එල්ල වන සම්මත අගතීන්ට පහර දීමත් තරුණ පරපුරේ කායික හා මානසික ශක්තිීන් නිර්මාණාත්මක බව ආත්ම විශ්වාසය හා උසස් බලාපොරොත්තු මිනිස් කම හා ජීවගුණය ඉස්මතු කිරීමත් ප‍්‍රශංසනීය ය. පතිරාජ මෙම චිත‍්‍රපටය තුළින් පෙන්නුම් කළේ වර්තමාන ජන ජීවිතයට කෙලින්ම බලපාන ප‍්‍රශ්න තම කලා කෘති වලට තේමාව කර ගැනීම තුළින් ඒවාට කලාත්මකව විසඳුම් මාර්ග ඉදිරිපත් කිරීමේ ලා වර්තමාන සැබෑ කලාකරුවා තමන් හමුවට පමුණුවාගෙන සිටින අභියෝගයට දැනුවත්ව මුහුණ දෙන්නට තමා ද සූදානම් බවයි. සිංහල සිනමාවේ කලාත්මක අංශය හා යථාර්ථරූපී බව පිළිබඳ ගැටලූවේ දී මීට කලකට පෙර ‘ගම් පෙරළිය’ එක් සන්ධිස්ථානයක් සලකුණු කලාක් මෙන් අහස් ගව්ව සිංහල සිනමාවේ අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කරයි. එම විසඳුම අද අවදියේ සැබෑ සිනමාකරුවන් සියලූ දෙනා විසින් අවබෝධ කර ගැනුමට උත්සාහ කළ යුතු සාධනයක්.

වර්තමානයේ ලාංකීය සිනමා කලාකරුවා සතු වගකීමත් යුතුකමත් වන්නේ නම් කුසලතාවයන්, නිපුනතාවයන් ප‍්‍රයෝජනයට ගනිමින් නිවැරදි දෘෂ්ටිය මත පිහිටා ජනතාවගේ ජිවන අරගලයේ අත්දැකීම් මානුෂීය හා කලාත්මක අන්දමින් යථාර්ථවාදීව පිළිබිඹු කිරීමයි. සමාජ යථාර්ථය නිවැරදිව වටහා ගැනීම යනු තමා ජීවත් වන යුගය විසින් කලාකරුවා වෙත පවරනු ලබන කාර්ය භාරය වටහා ගැනීමයි.

“ඔබත් මාත් අතරමං වෙන්නේ එකම මුහුදක”

බඹරු ඇවිත් චිත්‍රපටියෙන් ඉදිරිපත් කරන ධීවර ජනතාව මාළු මුදලාලියන් අතර, මාළු මුදලාලියන් අතරම,හෙලන්, වික්ටර්, බේබි හාමු ආදී වශයෙන් වන සම්බන්ධකම් සැබෑ මිනිස් සම්බන්ධකම් යැයි කිව හැකි ද? ඒවා කිසිසේත්ම යථාරූපී නොවේ. ඇඳුමෙන් පැළඳුමෙන් හා රඟපෑමෙන් සැබෑ යැයි මතුපිටට පෙනෙන මේ චරිත වල අඩුව මනසින් පුරවා හදාගන්නට නරඹන්නෝ පෙළඹෙති.චිත්‍රපටිය ඇරඹෙන්නේ ධීවර ජනතාව හා මාළු මුදලාලියන් අතරත්, මාළු මුදලාලියන්ම අතරත්, පංති ගැටුමක් ලෙසින් නමුදු එහිදී වුව පංති ගැටුම නිරූපණය කරන්නට අපොහොසත් වන අධ්‍යක්ෂ ඊලඟට මහත් කැමැත්තෙන් අතිශය පෞද්ගලික ත්‍රිකෝණ ප්‍රේම කතාවක්, චිත්‍රපටයට රිංගවයි. ධීවර ජනතාවගේ පීඩනය, ඔවුන් සූරා කැවෙන අන්දම, ඔවුන්ගේ ජීවන යථාර්ථය, අල්ලා ගන්නට අපොහොසත් වන අධ්‍යක්ෂ මුහුද ගැන, වැල්ල ගැන කතා කලත් චිත්‍රපටියේ දී ඔහු සැබැවින්ම ඉන්නේ මුහුදෙන් වැල්ලෙන් ඈත ඉහළ අහස තලයේය. යථාර්ථයෙන් ඈත්ව මනෝරාජික සිහිනයක් දකින ඔහුගේ මේ අදහස් චිත්‍රපටිය නියෝජනය කරන්නේ වීරේගේ චරිතයයි. ධීවර ගමේ සිදුවන දේවල් ගැන අබමල් රේණුවක් වත් හැඟීමක් නැතිව ජනතාවගෙන් ඈත් වීරේ දොඩවන මනෝරාජික දර්ශනවාදී අදහස් චිත්‍රපටියේ එන සිද්ධි වලට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මේ සියලු දුර්වලකම්වලට හේතු වී ඇත්තේ අධ්‍යක්ෂකගේ දෘෂ්ටිමය අවුල් සහගත බවයි. තවත් විදිහකින් කියනවා නම් චිත්‍රපටිය තේමා කරගන්නා සමාජ ජීවිතයේ ඇත්ත පිළිබඳ එය ක්‍රියාත්මක වන නියාමයන්, ප්‍රතිවිරෝධයන් ගැන නිවැරදි වැටහීමක් නැති කමයි මේ නිසාම චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයා කියන්නට හදන්නේ කුමක්දැයි නරඹන්නන් තුළ ප්‍රශ්නයක් මතුවෙයි. බඹරු ඇවිත් හි ආකෘතිය චිත්‍රපටියෙන් ඉදිරිපත් කරන ධීවර ජන ජීවිතයේ යථාර්ථයට කිසිසේත් නොගැලපෙන කල්පිත, සුන්දර ආකෘතියකි. කල්පිටිය නම් ධීවර ගම්මානයේ මතුපිට සුන්දරත්වයෙන් අධ්‍යක්ෂකවරයා වශී ඇති බවක් පෙනෙයි.චිත්‍රපටියේ රූප රාමුවක්, රාමුවක් පාසා දැකිය හැකි සුන්දරකරණය තීව්ර කරන්නට සංගීතය ගීත සංස්කරණය ආදී අනෙකුත් අංග උපයෝගී වෙයි. මේ අතින් එතරම් ඉහළ මට්ටමේ නොවූවත් “සත් සමුදුර” හා “චෙම්මීන්” වැනි චිත්‍රපටි දැක්වූ යථාර්ථයට සමීප බව මෙම චිත්‍රපටියෙන් දැකිය නොහැක. අහස් ගව්ව නිර්මාණය කොට මහත් බලාපොරොත්තු දනවමින් සිංහල සිනමාවට පිවිසි ධර්මසේන පතිරාජ ඒ තුළින් පෙන්නුම් කල දෘෂ්ටිමය නැඹුරුව ඉන්පසු නිර්මාණය කළ පොන්මනී හෝ එයා දැන් ලොකු ළමයෙක් තුළින් ඉදිරියට ගෙන යන්නට අපොහොසත් වූ අතර බඹරු ඇවිත් චිත්‍රපටියෙන් දෘෂ්ටිමය වශයෙන් අවුලකට පත්වී අතරමං වී ඇත.එහෙත් ඔහු සිනමා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් තමා සතු ශිල්පීය කුසලතාවය පියවරෙන් පියවර දියුණු කරගත් බව බඹරු ඇවිත් පෙන්නුම් කරයි. රූප නිර්මාණය, ඡායාරූපකරණය, සංස්කරණය, සංගීතය ආදී අංග චිත්‍රපටියක් නිර්මාණය කිරීමේ ලා මැනවින් ගොනු කරගන්නට තමන් සතු කුසලතාවය ධර්මසේන පතිරාජ බඹරු ඇවිත් තුළින් ද ඉහළ මට්ටමකට ගෙන එයි. නිවැරදි දෘෂ්ටියක් ගොඩනගා ගතහොත් තමන් සතු කුසලතාවයෙන් හා ශිල්පීය නිපුණත්වයෙන් ජනතාවට ඵලදායී සේවයක් කිරීමේ වාසනාව ධර්මසේන පතිරාජ තුළ නොමඳව ඇති බව නම් විවාද රහිතය.

Advertisements