නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අ‍ඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද සිල්වා ද ඊට සහභාගී වෙමිනි. 1970 දශකයේ අග භාගයෙන් ඇරඹි දශක කිහිපයක් තිස්සේ වර්ධනය වූ එම ජාතික චින්තන සංවාදය පසුව ජනවාර්ගික ගැටුම මුල් කර ගත් දේශපාලන භූමියේ යථාර්ථයට හසුවීමෙන් වල් මත් වී ගිය ද, එතෙක් එය සිංහල පාඨක සමාජයේ බුද්ධිමය වර්ධනයට දායකත්වය සැපයූ, ප්‍රධාන ධාරාවේ පුළුල් තලයක දිගු කලක් පැවති එබඳු එකම සංවාදය යැයි කිව හැකිය. ( ඊට අමතරව කළ එබඳු වැදගත් මැදිහත් වීමක් ලෙස අපට සිහිපත් කළ හැක්කේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1982 ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා පළ කිරීම යි.) අප පහත පළ කරන්නේ ‘නූතනත්වය සහ ලාංකීය සමාජ දේශපාලන කතිකාව’ නමින් කුමුදු කුසුම් කුමාර 2002 දී ‘බලය’ සඟරාවට ලියූ ලිපි පෙළක ගුණදාස අමරසේකරයන් ‘ජාතික චින්තනය’ මුල් කොට ලියූ අදහස් පිළිබඳ සාකච්ඡවකට අදාළ කොටස් කිහිපයකි.

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය

මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන මූලික ප්‍රවාදය, නූතනත්වය යටතේ ලාංකීය සමාජ-දේශපාලන කතිකාවේ කෙරෙන සියලු න්‍යාය ගැන්වීම් මෙන්ම අදාළ භාවිතාවන්ද සාමාන්‍යයෙන් ගත් කල ඒවායේ දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්, ඒවා ලෝකය අවබෝධ කරගන්නේ, නූතන සහ පූර්ව-නූතන හෝ සම්ප්‍රදායානුකූල යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළව වීමයි. මේ සියලු කතිකා, ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන්, සාමාන්‍යයෙන් ගත් කල එක්කෝ නූතනත්වයේ ප්‍රතිඵල ලෙස දකිති. නැතහොත් නවීකරණය වී නැතිකමට, නවීකරණය අසාර්ථකවීමට හෝ එය ක්‍රියාත්මකවෙමින් ඇති ආකාරයේ අඩුවකට පවරති. ඉතින්, මෙම කතිකාවන් සියල්ලේ පොදු ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය නම්, නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ඒවා ගන්නා ස්ථාවරයන්ගේ කොන්දේසිවලට යටත්ව ඒවා නූතනත්වය පිළිබඳව ගොඩ නගා ගන්නා සුවිශේෂී පර්යාලෝකයන් ආශ්‍රයෙන් එළඹෙන විග්‍රහයන් අනුව ඒවා එකිනෙකින් වෙනස් වෙයි. තවද, නවීකරණයේ වේගය පිළිබඳව ඇති තම තක්සේරුව අනුවත්, ‘නූතනත්වය යටතේ සමාජ සමානාත්මතාව පවත්වාගෙන යා යුත්තේ කෙසේද?’ යන්න පිළිබඳව තමන් දරන ස්ථාවර අනුවත්, මෙම ඇතැම් කතිකාවන් එකිනෙකින් වෙනස් වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවත්නා වර්තමාන තත්ත්වයන් මෙම එක් එක් කතිකාවක න්‍යාය ගැන්වීම් සහ හෝ භාවිතාව තුළ වටහාගැනෙන්නේ කෙසේද යන්න තුළින් ඔවුන් නූතනත්වය සම්බන්ධයෙන් දරන විවිධ ස්ථාවර අනාවරණය කිරීමද සිදුවෙයි.


ජාතික චින්තනය

ජාතික චින්තනය වෙනුවෙන් පෙනී සිටින්නන්ට අනුව ලංකාවේ වර්තමාන ඇබැද්දිකාරී තත්වයන්ට හේතුව නවීකරණය නොවීම හෝ නවීකරණයේ ඇති අඩුපාඩු නොවේ. එම තත්ත්වය අවශ්‍යයෙන්ම නවීකරණයේ, නූතනත්වයේ ප්‍රතිඵලයකි. නූතන යුගයේ ලංකාවේ සිදුවූ දේ ජාතික චින්තනය දකින්නේ සංවර්ධනය හෝ ප්‍රගතිය ලෙසින් නොව, පසුබැසීමක්, හෝ පිරිහීමක් ලෙසින්. මේ අනුව, රටේ වර්තමාණ තත්ත්වයන්ට හෝ “ගැටලු”වලට හේතුව සම්ප්‍රදාය නොසලකා හැරීම හෝ සම්ප්‍රදාය අපට අහිමි වීමයි. ජාතික හැඟීමකට උපත දිය හැකිව තිබුණේ සම්ප්‍රදායට හෙයින්, අප අතරින් සම්ප්‍රදාය තුරන් වීම ලාංකීය සමාජයේ වර්තමාන ඇබැද්දීන්ට හේතුවී තිබේ.

වත්මන් “ජාතික චින්තනයේ” නිර්මාතෘ ලෙස සැලකෙන ගුණදාස අමරසේකර ලංකාවේ වත්මන් ඇබැද්දීන් පිළිබඳ වගකීම සෘජුවම පවරන්නේ යටත් විජිත ලංකාවේ පාලක-ප්‍රභූ පැළැන්තියේ කර මතය. ලාංකීය පොළෙවෙන් මුල් ඉදිරුණු, රටේ පාලනය තමන්ට පැවරූ යටත්-විජිත ස්වාමිවරුන් අනුකරණය කිරීමේ ආශාවෙන් මඬනා ලද, මෙම ප්‍රභූ පැළැන්තියට තිබුණේ ජාතික චින්තනයක් නොව, අනුකාරක, විදේශීය මනසකි. මොවුහු වරප්‍රසාදිත, උගත්, නාගරික ධනපති පන්තියක් වූහ. මෙම ප්‍රභූ පැළැන්තිය විසින් පාලනය කරන ලද මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් මෙරට අති බහුතරයක් වන ජනයා පාර්ලිමේන්තු පාලනයෙන් පැහැදිලිවම බැහැර කරනු ලැබිණි. මහජනයා හිතමතාම ආණ්ඩුවෙන් දුරස් කොට තිබුණි. 1970 ගණන්වල අගභාගයේ මෙරටට හඳුන්වා දෙනු ලැබූ නිදහස් වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්ති, ඊට පසු බලයට ආ පාලනතන්ත්‍රය විසින් එහි තර්කානුකූල අවසානය කරා ගෙන යනු ලදුව, පාවාදීම සම්පූර්ණ කොට, ජාතික විනාශය හමුවට පමුණුවා තිබේ.

“අනගාරික ධර්මපාල මාක්ස්වාදීද? “පළමු මුද්‍රණය

ඉහත දැක්වෙන පරිද්දෙන්, තම ප්‍රවාදය ගොඩ නංවන අමරසේකර කියා සිටින්නේ, පශ්චාත්- යටත් විජිත සමයේ පරගැති ප්‍රභූ පැළැන්තියේ නායකත්වය යටතේ බිහිවුණු ආර්ථික, දේශපාලනමය හා සංස්කෘතික වශයෙන් පරාධීන, බංකොලොත්, දූෂිත සමාජය, නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය සහ, ලිබරල්වාදය යටතේ, එහි පරායත්තභාවයේ ක්‍රියාදාමයේ පරිපූර්ණත්වයට ළඟා වූ බවයි. පරාර්ථකාමීත්වය සහ සමානාත්මතතාවය වැනි සම්ප්‍රදායික ජාතික චින්තනයේ තැන, පාරිභෝජනවාදය, මසුරුකම හා තන්හාව විසින් ගෙන ඇත. ඔහුට අනුව ලාංකික සමාජයේ සිදු වී ඇති වෙනස්කම් පිළිබඳව වඩා බිය දනවන සුළු දෙය නම්, යහපත යටපත් කරගෙන දුරාචාරය මතු වී ඒමම නොව, යහපතත්, දුසිරිතත් අතර වෙනස හඳුනාගැනීමට අවශ්‍ය කුසලාකුසල විනිශ්චය ක්‍රියාවට නැංවීමට ඇති හැකියාව සමූහිකයක් වශයෙන් අපට අහිමි වී යෑමයි.

ජාතික චින්තනය වෙනුවෙන් පෙනී සිටින්නෝ, දාර්ශනික වශයෙන් නූතනත්වය ප්‍රතික්ෂේප කොට ඉහත සඳහන් කළ ආකාරයේ සාම්ප්‍රදායික ජාතික ඌරුවක් කරා නැවත යෑම යෝජනා කරන්නේ, නූතනත්වය විසින් නිර්මාණය කළේ යැයි ඔවුන් විශ්වාස කරන ලාංකීය සමාජයේ පවත්නා ගැටලුවලට ඉන් විසඳුමක් ලබාගත හැකිය යන විශ්වාසයෙනි. ජාතික ඌරුව කරා නැවත යෑම සඳහා ජාතික ආර්ථිකයක් ගොඩ නඟා, ස්වාධීන ජාතියක මුල් ගල් තුන, එනම් ජාතික ආර්ථිකය, ජනතාවගේ ජාතික ආණ්ඩුව සහ අධ්‍යාත්මික නායකත්වය වන බෞද්ධ සංඝයා එක්සත් කළ යුතු යැයි ජාතික චින්තනය යෝජනා කරයි. මෙම අරමුණ කරා පා නැඟීමේ මුල් පියවර ජාතිකවාදී ආණ්ඩුවක් පිහිටුවීම යැයි විශ්වාස කරන හෙයින්, ජාතික චින්තනය තම හදිසි දේශපාලන කර්තව්‍යය වශයෙන් තීරණය කොට ඇත්තේ, ඒ සඳහා අවශ්‍ය අඩිතාලම පිහිටුවා ලීමය. (‘බලය’ 2002 අගෝස්තු)

ජාතික චින්තනය සහ නූතනත්වය

ජාතික චින්තනය නූතනත්වය සලකන්නේ තම ප්‍රතිශේධ (negative) අනෙකා, සම්ප්‍රදාය විනාශ කරන්නා වශයෙන් වීමෙන් පෙන්නුම් කරන්නේ, නූතනත්වය පිළිබඳ අදහසින්ම සැපයෙන ද්වෛතයෙන් (duality) ජාතික චින්තනයේ සිතීමට සීමාව පැණැවී ඇති බවත්, නූතනයට ප්‍රතිපක්ෂවීමට එයට ඇති අභිලාෂය තිබියදීත්, ඒ තාක් දුරට එය නූතනත්වයෙහි ලා සහභාගි වන බවත්, මගේ යෝජනාවයි. එනම් නූතනත්වයට ප්‍රතිචාරයක් වශයෙන් ජාතික චින්තනය තම විග්‍රහය සූත්‍රගත කරන විට, ඒ තාක් දුරට නූතනත්වයෙන් තම අනන්‍යතාව ව්‍යුත්පන්න කරගනිමින් එම විග්‍රහයම එය විවේචනයට ලක් කරන නූතනත්වයේ ප්‍රකාශනයක් බවට පත්වන්නේය, යන්න මගේ යෝජනාවයි.

නමුත් නූතනත්වයට විකල්පයක් වන සාමූහික ජීවන ආකාරයක් තෝරා ගැනීමට යෝජනා කිරීමෙන්, ජාතික චින්තනය පළ කරන්නේ, එබඳු තෝරාගැනීමක් කිරීමට ඇති නිදහස පිළිබඳ නූතන පොරොන්දුව යි. ජාතික චින්තනය පිළිබඳ කතිකාව සම්පාදනය වන්නේ ම නූතනත්වය විසින් ඇති කළ තත්ත්වයන් හා කොන්දේසි යටතේ ය. එමෙන් ම, අතීතයේ වූ සම්ප්‍රදායක් කරා ආපසු යමින් එහි තිබුණූ ජාතික ඌරුවක් යළි පණ ගැන්වීමේ අදහසින් පළ කෙරෙන්නේ, දාර්ශනික වශයෙන් වුව, නූතනත්වයෙන් නිදහස් වූ, ඉන් පරිබාහිර සුරක්ෂිත ස්ථානයක් සඳහා වන ආශාවයි. හරියට නූතනයන් වීමෙන් වළකින්නට තෝරාගැනීම අපට කළ හැකිවාක් මෙනි, නූතනත්වයේ කතිකාව තුළ අප ක්‍රියාකරනා තාක් දුරට, අප “දැනටමත්, හැමවිටමත්” නූතනයන් නොවන්නාක් මෙනි. මෙම විග්‍රහය සම්ප්‍රදාය සලකන්නේ, හරියටම සම්ප්‍රදාය යනු ස්ථිතිකව පවතින, වෙනස් නොවන දෙයක් මෙන් සළකාගෙනය. හරියටම, සම්ප්‍රදායම නූතන බවටත්, නූතනයම සම්ප්‍රදායික බවටත් පත් නොවන්නාක් මෙනි.

ලංකාවේ පවත්නා වත්මන් තත්ත්වයට තනිකරම හේතුව නූතනත්වය යැයි අප කියන්නේ නම්, එම අදහසින් ඇමතෙන්නේ නැති කරුණ නම්, ලාංකික සමාජය තුළ නූතනත්වයේ නිශේධනීය, අඳුරු පාර්ශ්වය තහවුරු කිරීමෙහිලා අති බහුතරයක් වන ලාංකික ජනයා විසින් ඉතිහාසය පුරා ඉටු කොට ඇති වැඩ කොටසයි. ජාතික චින්තනය විසින් අනුකරණාවාදී යැයි විවේචනයට ලක් කරන මෙරට දේශපාලන නායකත්වය පසුගිය වසර පනහකට අධික කාලයක් තුළ දිගින් දිගටම බලයට පත් කර ඇත්තේ මෙරට ජනතාවම නොවේද?

“පරගැති මානසිකත්වයක් සහිත අනුකරණවාදී” හැරුන විට මෙරට අතිබහුතරයක් වන ජනයා “ජාතික ඌරුව” රැකගැනීමට ක්‍රියාකර ඇත්තේද? නැත්ද? යන්න මේ වන විට අපට පෙන්නුම් කෙරෙන්නේද? යන්න ජාතික චින්තනය විසින් ප්‍රමාණවත් ලෙස විමසුමට ලක් කොට ඇතැයි කිව නොහැකි ය. නැතහොත්, එම අතිබහුතරයක් වන ජනයා ම “සම්ප්‍රදාය නොසලකා හරිමින්” ක්‍රියාකර ඇත්තේද යන්න සහ, ඔවුන් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ඉමහත් සතුටින් බදා වැළඳගෙන පාරිභෝජනවාදයේ “ගොදුරු බවට පත් වීමට” තීරණය කළේ මන්දැයි, අප විමසුමට ලක් කළ යුතුය.

වත්මන් තත්ත්වයට විසඳුම් වශයෙන් ජාතික ඌරුව කරා යා යුතුය යන අදහස ද දනවන්නේ, සූත්‍රාකාර, මහා විසඳුමක් පිළිබඳ හැඟීමකි. සමාජ සංසිද්ධීන් මහා න්‍යායයක් සම්පාදනයෙන් විසඳිය හැකි ගැටලු ලෙසින් සැලකීම ම නූතන ආකාරයට ලොව දෙස බැලීමකි. නමුත් ඌරුව, සම්ප්‍රදාය සහ සංස්කෘතිය යනාදි අදහස් කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, වෙනස්වීම තුළ සම්ප්‍රදාය පැවතීම පිළිබඳවත්, සම්ප්‍රදායයේ ඇති යහපත් දේ රැක ගැනීමේ වැදගත්කම පිළිබඳවත්, සාමූහික යහපැවැත්ම සහ ප්‍රජාව පිළිබඳවත් අදහස් සමාජ-දේශපාලන කතිකාව තුළ මතු කිරීමෙන්, සාමූහික පැවැත්මේ තිබිය යුතු ආචාර ධර්මීයභාවය පිළිබඳ අදහස් මහජන කතිකාව තුළ අවදිව තබාගන්න්ට, ලිපියේ අදහස් සම්පාදනයට පදනම් වූ ජාතික චින්තනයේ මුල් අවදියට අදාළ ලිපි ලේඛනවලින් ගුණදාස අමරසේකර යොමු වී තිබුණි. (‘බලය’ 2002 සැප්තැම්බර්)

Advertisements