(පශ්චාත්) නූතන දෘෂ්ටියෙන් ‘සිංහල ගම’ දෙස බැලීම – කුමුදු කුසුම් කුමාර

මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස චිත්‍රපට පිළිබඳ කියැවීමක්සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය.

මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට පෙර ‘මේ මගේ සඳයි’ මුල් කරගෙන ඉරිපත් කර ඇත්තෙමු.

මෙම ලිපියේ අරමුණ මෙම නව පරපුරේ අධ්‍යක්ෂවරුන් තම මුල් චිත්‍රපටි සඳහා සිංහල ගම මුල් කරගන්නේ මන්ද යන්න පිළිබඳ කියැවීමක් ඉදිරිපත් කිරීමයි.

ඉහත සඳහන් චිත්‍රපට හැමෙකක්ම යුද්ධයේ කුරිරු ඵල-විපාක පිළිබඳ ඒවා වෙයි. එවායේ එන ගම යුද්ධයෙන් විනාශ වූ, හෝ යුද්ධයේ බලපෑමට වක්‍රව හෝ ලක් වූ ගම් වෙයි. එහෙයින් මෙම චිත්‍රපට අප ගෙන යන්නේ – මායිම් ගම්මානයකට ය. යුද්ධයේ මායිමේ ඇති ගම්මානයකට ය.

මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරු යුධ බිමේ ගිනිසිළු මැද ‘ඌණ සංවර්ධිත’ මායිම් ගම්මානයේ කටුක දිවිය තුළ වල් වැදී ගිය මිනිස්කම් සොයා යති. මිනිසා‍ගේ ශිෂ්ඨත්වය යුද්ධය නිසා විනාශ වී යයි, යුද්ධය ගමට ව්‍යසනයක් ගෙන එයි. ඔවුන්ගෙන් සමහරු, එහි මිනිසුන්ගේ ලිංගික කටයුතු අතිශයෝක්තියෙන් අවධාරණය කරමින් ගම ගැන විවේචනයක් ගොඩ නඟති. යුද්ධය නිසා පිරිහෙන ගම ප්‍රාථමිකය, ම්ලේච්ඡය, මිනිසුන් තුළ ඇති නොතිත් ලිංගික ආශාවන් යුද්ධයෙන් මුදා හැරෙයි. ලිංගික අසහනයෙන් පෙළෙන ගැමි ගැහැණුන් සහ පිරිමින් තිරිසනුන් මෙන් ලිංගික ක්‍රියාවේ යෙදෙති. ඔවුන් ගේ ජීවිතයේ කිසිදු සෞන්දර්යයක්, චමත්කාරයක් නොමැත.

මෙම චිත්‍රපට වලින් කියැවෙන පොදු අදහසක් නම් යුද්ධය යටතේ ගමට එහි සම්ප්‍රදායික අගයන්, වටිනාකම් නැතුව යන බවයි. අහිමිවන බවයි. මෙම චිත්‍රපට සමාජය පොදුවේ අගයයන්, ප්‍රතිමාන, රීති සහ චර්යාවන් උල්ලංඝණය කිරීම් ලෙස සැළකෙන ඒවා කෙරෙහි අපගේ අවධානය යොමු කරයි. චිතුපටයෙන් පිටස්තරව අන් තැන ප්‍රකාශිත ඔවුන්ගේ නූතනවාදී ආස්ථානයනට ප්‍රතිපක්ෂව මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරු යුද්ධය හමුවේ නැතිවී යතැයි කියැවෙන මෙම අගයයන් වෙනුවෙන් පෙනී සිටිති.

තවද, යුද්ධය හේතුවෙන් මිනිසුන්ට තම මානවීයභාවය පිළිබඳ හැඟීම් අහිමි වෙයි. එනිසා, යුද්ධය, නරකය, නිශේධනාත්මක ය. ගමේ වටිනාකම් විනාශවන්නේ යුද්ධය නිසාම පමණක් නොවේ. ඊට අමතරව වානිජකරණය, වෙළඳපොළ, චන්ද්‍රිකා රූපවාහිනිය ගම කීතු කොට ඉරා දමයි.

මෙය අධ්‍යක්ෂවරුන්ගේ දෘෂ්ටිකෝණයෙන් අපට අහිමිවේ ගෙන යන දේ පිළිබඳ අවලෝකනයට සහ එහෙයින් ඒවා රැකගන්නට අප කැඳවන්නකි.

මෙය ගම පිළිබඳ රොමෑන්තික් නැතහොත් කල්පිත, විචිත්‍රාත්භූත චිත්‍රයකි. කාර්මිකකරණය, නාගරිකකරණය හමුවේ බිඳී විසිරී යන ගමක් පිළිබඳ යුරෝපයේ ලියැවුණු රොමෑන්තික සාහිත්‍යයට මෙය සමානය.

මේ කතාන්දරය එක් එක් අධ්‍යක්ෂවරයා කියා ඇති ආකාරය තුළ ඔවුන්ගේ පෞද්ගලික එළඹුම් වෙනස්ය. ඇතමෙකුට අනුව නගරය ශිෂ්ඨවෙමින් පවතින ස්ථානය යි, ගම එසේ නොවේ. මේ හේතුවෙන් සිංහල ගැමියන් අත්‍යවශ්‍යයෙන්ම වනචාරීන් හෝ ප්‍රාථමික වාසීන් බවට පත්වේද?

මෙම චිත්‍රපටකරුවෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව මතවාද දෙකක් අතර ගැටුමේදී එක් පාර්ශවයක් ගෙන තම චිත්‍රපට එම මතවාදය ප්‍රකාශ කිරීමට මාධ්‍ය ලෙස යොදා ගනිති.

ඉන් එක් මතවාදයක් නම්, සිංහල ගම සිංහල බෞද්ධ වටිනාකම් හෝ ඌරුවේ, සම්ප්‍රදායයේ කෝෂඨාගරය ලෙස සැළකෙන, ගුණදාස අමරසේකරයන් විසින් ප්‍රචලිත කළ එකළ ජාතික චින්තනය යනුවෙන් හැඳින්වුණු මතවාදයයි. අනෙක, ඊට ප්‍රතිචාර වශයෙන් උපන් , එබඳු සිංහල ගමක් නැත, ඒ වෙනුවට ඇත්තේ පිරිහී ගිය, ම්ලේච්ඡ මිනිසුන් ගැහැණුන් රැගත් ගම් ය යන්නයි.

මගේ යෝජනාව මෙම දෙවන අර්ථය ප්‍රකාශ කිරීම අරමුණු කරන තාක් දුරට, මේ චිත්‍රපට ගම ගැන වනවා වෙනුවට පළමු මතවාදය ප්‍රතික්ෂේප කිරීමේ අරමුණෙන් නිමැ වූ ඒවා බවය.

මේ චිත්‍රපට නියෝජනය කරන්නේ සිනමාව තුළ කෙරෙන මතවාදීමය සටනකි. මේ සටනේ පැතිගෙන විවිධ බලවේග සිංහල ජාතිකවාදී සහ නූතනවාදී ලෙසින් මහජන තලයේ කඳවුරු බැඳ මෙම චිත්‍රපට වලට පක්ෂව විපක්ෂව විවාදයන්හි යෙදුනේ මේ නිසාය.

මා දකින අන්දම‍ට, මේ අධ්‍යක්ෂවරු, තම චිත්‍රපට තුළින් පළකරන්නේ ගමෙන් නගරයට සංක්‍රමණය වී , නගරයේ පදිංචි වී ජීවිතයක් ගොඩනඟා‍ ගෙන නූතනත්වය අත් විඳින, දේශ දේශාන්තරයන් හී සංචාරය කරමින්, තමන් ජගත් පුරවැසියන් (එබඳු දෙයක් තිබේද?) වෙතැයි සිතන මානසිකත්වයකි. එය යළිත් ගමට පදිංචියට යා නොහැකි මානසිකත්වයකි. ආපසු යැමට ගමක් නැත. මෙම චිත්‍රපට ඒ නැවත යා‍ නොහැකි ගම චිත්‍රණය කිරීම් ය.

ප්‍රසන්න විතානගේට පමණක් ගම ගැන සුළු බලාපොරොත්තුවක් තිබේ. තම පුතා පිළිබඳ තමා තුළ ඇති ස්නේහය නැමැති මානව ගුණාංගය මුදලට, වාසියට පාවාදීම ප්‍රතික්ෂේප කරන මහළු ගැමියා ‘පුරහඳ කළුවර’ තුළින් අපට දනවන්නේ විතානගේ ගේ ඒ බලාපොරොත්තුවයි.

සැබෑ ගම මීට වඩා බොහෝ සංකීර්ණ විය හැකිය යන කරුණ ගැන මේ අධ්‍යක්ෂවරුන්ට අවබෝධයක් නැතැයි අපට සිතිය නොහැකිය. ‘අශිෂ්ඨ’ – සැබෑ මායිම් ගම්මානයේම පවා, මිනිස්කම් උල්ලංඝණය පමණක් නොව ආදරය, කැපවීම, බැඳීම, අපේක්ෂාවන්, ත්‍යාගශීලීභාවය, විනීතභාවය ද නොමඳව දැකිය හැකි බව අපට විශ්වාස හෙයිනි.

නීතිය ක්‍රියාත්මක නොවන තැන මිනිසා හුදු ම්ලේච්ඡයෙකු බවට පත්වන්නේය යන අදහස මානව සමාජය පිළිබඳ හොබ්සියානු දෘෂ්ටිය පදනම් කර‍ගෙන ගොඩ නැඟුණකි.

ගැමි මුග්ධ භාවය පිළිබඳ අදහස, කාර්මිකකරණය, නාගරීකකරණය, නවීකරණය මත, ශිෂ්ඨත්වයත් සමඟ බැඳි මිනිසා යන්නට ප්‍රතිපක්ෂව ගොඩනඟා ගත් අදහසකි. සිංහල – බෞද්ධ සදාචාරයේ කෝෂ්ඨාගාරය ලෙස සිංහල ගම චිත්‍රණය කිරීමට එරෙහිව යාම, යුද්ධයට පසුබිම් වන ජනවාර්ගික ගැටුමට අදාළව දෙමළ ජනයාට තම සහෝදරත්වය ප්‍රකාශ කිරීමේ දේශපාලන අවශ්‍යතාව ද ක්‍රියාවට නැංවීමකි.

අපි නූතන වෙමු, ශිෂ්ට වෙමු, නගරයේ සංස්කෘතිය, ශිෂ්ටභාවයේ කේන්ද්‍රය යි. ගැමියෝ ශිෂ්ඨත්වයේ ඇකයෙන් ගිලිහී වැටුනවුන් වෙති. නොඑසේ නම්, ගැමියා යනු වනචාරියෙක් ද? ම්ලේච්ඡයෙක් ද? ශිෂ්ට සම්පන්න ජීවිතය ඇත්තේ නාගරීක ජීවිතයේ ද? ඒ කුමන අර්ථයෙන් ද?

රේඛාව චිත්‍රපටය නාගරීකකරණය යටතේ අතුරුදහන් වෙමින් යන ගම පිළිබඳ කල්පිත චිත්‍රයක් ඉදිරිපත් කළේය. සමාජ/ මානව විද්‍යඥයින් විසින් නිරීක්ෂණය කොට ඇති පරිදි අතුරුදහන් වෙමින් යන ගම මහජන කතිකාවේ නැවත නැවතත් මතුවන තේමාවකි. නූතන නාගරීකකරණය නමැති සංසිද්ධිය පහළ වීමත් සමඟ සිංහල සිනමාවේ නව රැල්ලේ චිත්‍රපට කියැවිය හැකි එක් මඟක් වන්නේ ඒවා අතුරුදහන් වෙමින් යන ගම නමැති තේමාව සන්දර්භයෙහි තබා විමසුමට ලක් කිරීමයි.

මෙවර ගම අතුරුදහන් වන්නේ, යුද්ධයේ බලපෑම යටතේය, සීඝ්‍රයෙන් වානිජකරණය වෙමින් පවතින, පාරිභෝජනවාදයට යට වූ ගෝලීය ගම්මානයක් ඇතුළතය.

මෙම ගම්වල වැසියෝ සම්ප්‍රදායික සංස්කෘතියකින් හික්මවනු ලබනවා වෙනුවට තම මානව සබඳතා වලදී වඩා ප්‍රාථමික ස්වරූපයෙන් හැසිරෙති. අපට මෙහි දැකිය හැක්කේ, සම්ප්‍රදාය පිළිබඳ කතිකාව සහ නූතනත්වය පිළිබඳ කතිකාව එකිනෙකට එරෙහි ප්‍රතිපක්ෂයක් ලෙස ගනිමින්, ඒවා අතර ඇති ද්වන්ධාත්මක සම්බන්ධය අමතක කරනු ලැබීමයි. නවීකරණය වන්නේ සම්ප්‍රදායයි, එවිට එය යළි සම්ප්‍රදායයක් බවට පත් වෙයි, එය නූතන සම්ප්‍රදාය යි.

මෙම ද්වෛතය තුළ නගරය උසස්ය, ගම අශිෂ්ඨය, එමනිසා ගම වෙනස් කිරීමේ නවීකාරක ව්‍යාපෘතිය අපට හිමි කටයුත්තකි.

ඉන්දියානු සංකල්ප ලෝකයේ ‘ගම’ පිළිබඳව රචනාවක් ලියූ අෂීස් නන්දි පෙන්වා දුන් කරුණක් වූයේ ගාන්ධි, සත්‍යජිත් රායි වැනි ඉන්දියානු නාගරික ප්‍රභූ චරිත තම ජීවිතයේ තිබූ ගැමි ස්වභාවය යළි අවදි කරගැනීම තුළින් තම නිර්මාණශීලීත්වයට නව ජීවයක් ලබාදුන් බවයි.

ගමෙන් නගරයට ආ අපේ කලාකරුවෝ ගමෙන් නිදහස් වීමට, ගමට ඇති තම සම්බන්ධයෙන් සංකල්පීයව නිදහස් වන්නට අපේක්ෂා කරති. අපට අවශ්‍ය අපේ ගැමි ප්‍රභවයේ පෙකණිවැල කපා දමන්නටය. එනිසා ගම ම්ලේච්ඡවාසයක් මෙන් පිරිහුණු තැනක් මෙන් නිරූපණය කිරීම අවශ්‍ය ය. ගම අපේ ප්‍රභවය යි, මූලාරම්භය යි, ඉන් කැඩීමට ඇති අපේ අවශ්‍යතාව, අපේ සම්ප්‍රදායෙන් අපේ ස්වායත්තතාව, ඕපපාතික බව ප්‍රකාශ කරන්නට ය.

kathika.lk වෙබ් පිටුවෙන්

Advertisements