නූතනත්වයට ප්‍රතිරෝධී දේශපාලනයකට මඟ ! – කුමුදු කුසුම් කුමාර

“නූතනත්වයට අපගේ සාමූහික චින්තනය ගැට ගැසී ඇති ආකාරය ප්‍රභලව ප්‍රකාශයට පත්වන එක් මූලික ක්ෂේත්‍රයක් නම් දේශපාලනය පිළිබඳ තලයයි. දේශපාලනය යනු කුමක්දැයි අප වටහා ගන්නා ආකාරය තුළ සහ අප දේශපාලනය ක්‍රියාත්මක කරන ආකාරය තුළ තරම් නූතනත්වයේ උපකරණමය බුද්ධිය (instrumental reason) ලාංකීය සාමූහික ජීවිතයේ ක්‍රියාත්මකවන වෙනත් අන් ක්ෂේත්‍රයක් නැතැයි කිව හැකි තරම්ය. මෙරට ඇති බුර්ෂුවා පාර්ලිමේන්තු නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයත්, ඒ හා බැඳුණු දේශපාලන පක්ෂ ක්‍රමයත්, ඊට එරෙහිව ගොඩනැගුණු වාමාංශික පාර්ලිමේන්තුවාදී, විප්ලවවාදී, ජාතිකවාදී යනාදී දේශපාලන ව්‍යාපාරයනුත්, සියල්ලම උනන්දු වී ඇත්තේ රාජ්‍ය බලය ලබා ගැනීමත්, ජනයා පාලනය කිරීමත් මුල් කරගත් දේශපාලනයක නිරතවීමට මිස, සාමූහික යහපැවැත්ම අරමුණු කොටගත් දේශපාලනයක බහුජනයාට නිදහස් පුරවැසියන් ලෙස ක්‍රියාකාරීව සහභාගි වන්නට ඉඩ සලසන ආකාරයෙන් නොවේ. අපගේ දේශපාලනයේ ප්‍රධාන අරමුණු බවට පත්ව ඇත්තේ රටේ ආර්ථිකය කළමනාකරණය/ “සංවර්ධනය” කිරීමත්, සමාජයේ විවිධ ජන කොටස්වල ඵල ප්‍රයෝජනයන් අතර, ආර්ථික හෝ වේවා, දේශපාලනික හෝ සාමාජික සංස්කෘතික වශයෙන් වේවා, ඇතිවන ගැටුම් සංසිඳවීමයි. සමාජ සාධාරනය සඳහා සටන්වැදීමයි. මෙම දේශපාලනය තුළ දකින්නට ඇති ප්‍රධානම ලක්ෂණය නම්, පොදු ලෝකයක් (common World) නමැති පොදු වස්තු විෂයක් (Common object) ඊට සහභාගි වන්නන්ට නොමැති වීමයි.”


ගැඹුරු දේශපාලනයකට මඟ: නූතනත්වයට ප්‍රතිරෝධය!

ලාංකීය සමාජ-දේශපාලන කතිකාව, නූතනත්වයේ සංකල්පීය රාමුව සමඟ ගැට ගැසී ඇති අකාරයත්, ඉන් අපේ දේශපාලන ක්‍රියාවලියට ඇති කෙරෙන බලපෑම පිළිබඳවත් අර්ථ විවරණයකට මුල පුරමින් ලියැවුණු මෙම ලිපියේ, මෙම කොටසින් මා අරමුණු කරන්නේ, ලිපියේ මුල් දෙකොටසින් ඉදිරිපත් කෙරුණු අදහස් ගොනු කරමින්, ලාංකීය සමාජ, දේශපාලන කතිකාව තුළ කෙරෙන විවිධ න්‍යායගැන්වීම්වලට පදනම් වන නූතනත්වයට පක්ෂව හෝ එරෙහිව ගන්නා ස්ථාවරයන්, නූතනත්වයේ කතිකාවට කේන්ද්‍රීය වන සංකල්ප ප්‍රකාශයට පත් කරන්නේ කෙසේද යන්න ගොනු කිරීමයි.

කාටිසියානු ද්වෛතය

දැනට මා දක්වා ඇති පරිදි, මෙම ලාංකීය කතිකාවන්, නූතනත්වය හා සම්ප්‍රදාය යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන සහසම්බන්ධ ප්‍රතිපක්ෂයන් මත පදනම්ව ලෝකය තේරුම් ගන්නා හෙයින්, ඉන් පෙන්නුම් කරන්නේ නූතනත්වයේ කතිකාවේ පදනම සපයන කාටිසියානු ද්වෛතය (Cartesian duality) නැතහෙත් ඩේකාට් විසින් කළ දෙකට බෙදීම තුළ අපේ චින්තනය සිරවී ඇති ආකාරයයි. මේ අනුව ලෝකය තේරුම් ගැනීමේ ක්‍රමය (method) සපයා දෙන්නේ, මෙම කාටිසියානු ද්වෛතය විසිනි. මෙම බෙදීම උපත ලබන්නේ කය සහ මනස, සංස්කෘතිය සහ විචාර බුද්ධිය තියුණු බෙදීමකට ලක් කොට, විචාර බුද්ධිය මනස තුළින්ම ස්වයංජාතවන හුදු මානසික ක්‍රියාවක් ලෙස සැලකීම තුළිනි. මේ අනුව, මනසේ ක්‍රියාවලියක් වන විචාර බුද්ධිය ඒ තුළ ලෝකය පිළිබඳ සත්‍යය වටහාගෙන න්‍යාය සම්පාදනය කරයි. ක්‍රියාවට මඟ පෙන්වන්නේ න්‍යාය යි. ඒ අනුව ලොව පිළිබඳ අපගේ අවබෝධයට පදනම් වන්නේ, අප එකිනෙකා ස්ථානගතව සිටින විවිධ ස්ථානයන්ගෙන් අප ගොඩනගන අර්ථවිවරණයන් (interpretations) අතර කෙරෙන සාමූහික ගනුදෙනු නොව, ලොව දැනගැනීමේ නිවැරදි ක්‍රමය දන්නා න්‍යායධාරියා තම විචාර බුද්ධිය මෙහෙයවීමෙන් සම්පාදනය කර දෙන සත්‍ය න්‍යායයි. මේ අනුව පෙළක් හෝ වියමනක් (text)-එය නිර්මිත කෘතියක් විය හැකිය, නැතහොත් මිනිස් ක්‍රියාකාරකමක් විය හැකිය- කියවීම යනු එහි අන්තර්ගතයේ ඇති පරම අරුත/සත්‍ය මතුකර ගැනීමයි. මේ අනුව “හැම වියමනක් කියැවීමක් ම පරිවර්තනයකි.” (translation) යන අදහස ඩේකාට්ගේ ක්‍රමවේදයට අනුව පිළිනොගැනෙයි. වියමනෙහි ඇති සත්‍ය අරුත පහදා දෙන්නේ ඒ පිළිබඳ “ප්‍රාමාණික උගතා” වන, වරලත්, විශේෂඥ, න්‍යායධාරියා විසිනි. මේ අනුව දේශපාලනයේ නායකත්වය හිමි “ප්‍රාමාණික උගතා”ටය.

තවද, මා දැනටමත් සඳහන් කොට ඇති පරිදි සම්ප්‍රදාය පිළිබඳ “ගැටලුවට” විසඳුමක් වශයෙන් නවීකරණය හෝ නවීකරණය පිළිබඳ “ගැටලුවට” විසඳුමක් ලෙසින් සම්ප්‍රදාය කරා යලි ගමන් කිරීම හෝ තම දේශපාලන ව්‍යාපෘතිය කරගන්නා හැම කෙනෙකුටම නූතනත්වය හා සම්ප්‍රදාය නමැති ද්වෛතය තුළ සිරවෙති. (අපගේ සංකල්පීය ලෝකය මෙබඳු කළු-සුදු ද්වෛතයන්ගෙන් හැසිරවෙන ආකාරයට මෙම ලිපියේ ඉහත දී දැක්වුනු උදාහරණ අතරට, අපගේ පොදු ව්‍යවහාරයේ දී නිතර දැකිය හැකි, සංවර්ධනය – ඌන සංවර්ධනය, ගැමි නාගරික, දියුණු – පසුගාමී, ප්‍රගතිශීලී- ප්‍රතිගාමී, “රැඩිකල්” – ගතානුගතික, රජය – වෙළෙඳපොළ යනාදී බෙදුම් ද එකතු කළ හැකිය.) මෙලෙස සම්ප්‍රදාය හා නූතනත්වය පිළිබඳ ද්වෛතය තුළ සිරවෙන අපගේ සමාජ-දේශපාලන කතිකාවේ කර්තෘවරු, තමා දරන ආස්ථානය නූතනත්වය හෝ වේවා සම්ප්‍රදාය හෝ වේවා තම අදාළ අනෙකා තමන්ගේ න්‍යාය ගැන්වීම්වල අරමුණ (Object) කර ගනිති, තම ආස්ථානය ආදර්ශය හෝ මිම්ම (norm), සහ එනිසා ප්‍රගතිශීලී/ රැඩිකල් ලෙසත් අනෙකා ප්‍රතිගාමී හෝ ගතානුගතික ලෙසත් සලකමින්, අනෙකා යටත් කර ගැනීම තුළින් තම අනන්‍යතාව සම්පාදනය කරගැනීමේ අභිලාෂය ප්‍රකාශ කරති.

අප ඉහත දුටු පරිදි ලාංකික සමාජ-දේශපාලන කතිකාව තුළ ප්‍රකට කෙරෙන, නූතනත්වයට හිමි මූලික සංකල්පීකරණයක් නම්, ව්‍යූහය සහ කර්තෘභාවය පිළිබඳ ද්වෛතයයි. එතුළින් තම දේශපාලන අරමුණුවලට සරිලන සේ ස්වායත්ත මානව ක්‍රියාකාරිකයා සාමූහික ක්‍රියාවලියෙන් බැහැර කොට, ඔහු/ඇය දෙන ලද ව්‍යූහයකට අනුව හැසිරවන මිනිස් රූකඩයක් බවට පත්කිරීමෙන්, ඔහු/ඇය මෙම ව්‍යූහාත්මක ව්‍යාධියෙන් ගලවාගෙන විමුක්තිය ලබාදීම න්‍යායධාරියා/දේශපාලකයා තමාට පවරා ගනියි.

නූතන, ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ පොරොන්දුව වූයේ, ඒකාධිපතිත්වයේ සහ බල අධිකාරයේ පීඩනයෙන් නිදහස් වූ, විචාරශීලී මානව කර්තෘවරයෙකු (Subject) නිර්මාණය කිරීමයි. එහෙත් නූතනවාදීන් මානව කර්තෘභාවයේ වරප්‍රසාදය තමන්ටම පමණක් පවරාගෙන අන් මානවයන්, නවීකරණ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමේ හුදු මෙවලම් හෝ උපකරණ ලෙස සැලකීම, තුළ ප්‍රබුද්ධත්වයේ විචාර බුද්ධිය (Enlightenment Reason) උපකරණමය විචාර බුද්ධියක් (Instrumental Reason) බවට පත් කරනු දැකිය හැකිය.

තමන් භෞතික වශයෙන් ජීවත්වන්නේ වර්තමානය තුළ නමුදු, මෙම සියලු ලාංකීය කතිකාවන් අවසන් වශයෙන් සුරක්ෂිත ස්ථානය ලෙස තම අපේක්ෂාවන් ප්‍රක්ෂේපණය කරන්නේ, එක්කෝ අනාගතයටය, නැතහොත් අතීතයටය. හැමවිටම අනාගතයට ගමන් කිරීමේ අපේක්ෂාව නූතනත්වයේ ප්‍රබල සංකල්පයකි. මෙහි ප්‍රතිපක්ෂය අතීතය හැමවිටම සුරක්ෂිත ස්ථානය කොට සැලකීමයි.

ලොව ඉතිහාසය, සම්ප්‍රදායේ සිට නූතනත්වය දක්වා වන අනිවාර්ය ප්‍රගතියේ ඒක රේඛීය මාවත ඔස්සේ, පසුගාමීත්වයේ සිට දියුණු තත්ත්වයක් කරා ගමන් කරන්නේය යන්න, අපගේ ලාංකීය කතිකාවන් විසින් නූතනත්වයේ සංකල්ප පද්ධතියෙන් ලබාගත් අදහසකි. මීට ප්‍රතිපක්ෂව, දාර්ශනිකව අතීතයට ගමන් කළ හැකි බව විශ්වාස කරන ජාතික චින්තනය, එතුළින් ඉතිහාසය එක් දිශාවකට පමණක් – මානව ඉතිහාසයේ අවධියක් වශයෙන් සම්ප්‍රදාය පසුකොට නූතනත්වය දක්වා – ඉදිරියට ගමන් කිරීම අනිවාර්යය යන අදහස ප්‍රතික්ෂේප කරන බව පෙනී යයි.

මෙම කතිකාවන් සියල්ලටම පොදු විශ්වාසයක් බව පෙනී යන්නේ, තම තමන්ගේ අදාළ කතිකාව ලාංකීය සමාජය මුහුණ දී සිටින “ගැටලු” සඳහා විසඳුම් සොයා ගැනීමට අවශ්‍ය මහා සලැස්ම නිර්මාණය කිරීමට මඟ පෙන්වන, භාවිතයට ගත යුතු ක්‍රමය (method) අනාවරණය කරන, සියල්ල අතැඹුලක් සේ පැහැදිලි කරන මහා න්‍යායක් සපයා දෙන්නේ ය යන අදහසයි. මේ ක්‍රියාවට මග පෙන්වීමක් වශයෙන් න්‍යාය ගැන්වීම පිළිබඳ නූතනත්වයේ විශ්වාසයයි.

සමාජ විපර්යාසය සඳහා “හැදෑරීම”

අද ලංකාවේ නූතනත්වයේ චින්තනය ප්‍රකාශයට පත්වන ප්‍රබලතම ආකාරයක් වී ඇත්තේ, නූතනත්වය “සමාජ ගැටලුවේ කතිකාව” ලෙසින් මෙලෙස වටහා ගැනීම යි. ඊටම බැඳුණු අනෙක් අදහසක් නම්, සමාජ වෙනස් වීම හෝ විපර්යාසය මානවයන් විසින් අවශ්‍ය ආකාරයට හසුරුවා පාලනය කළ හැකිය යන අදහසයි. මේ අවබෝධය තුළ “සමාජ ගැටලු” විසඳීමට අවශ්‍ය භාවිතයට ක්‍රමය සපයා දෙන්නේ න්‍යායයි. න්‍යායගැන්වීම පිළිබඳ මෙම නූතන අවබෝධයට අනුව, න්‍යායට හැම දෙයම පැහැදිලි කළ හැකිය, එයට ලොව පිළිබඳ විශ්වාස සහගත ඥානය නිශ්පාදනය කළ හැකිය. එම පදනම මත ලොව පර්යායකට (order) අනුව සකස් කළ හැකිය. ලොව පවතින අයහපත් දේ නිවැරදි කොට, “ගැටලු” විසඳිය හැකිය. මෙලෙස මාක්ස්වාදීන් ද, “පශ්චාත් – නූතන – තත්ත්වවාදීන් ද” ලිබරල්වාදීන් සමඟ හවුලේ විශ්වාස කරන අදහසක් නම්, තම තමන්ගේ පාලනය යටතේ, ලොවට පර්යාය ගෙන ආ හැකි බවයි. මේ නිසා, ක්‍රියාවට මග පෙන්වන න්‍යාය හැදෑරිය යුතු බව ඔවුහු විශ්වාස කරති. දේශපාලනය සඳහා න්‍යාය හැදෑරිය යුතුය යන අදහස් සම්ප්‍රදායිකව මාක්ස්වාදීන් තුළ පැවති විශ්වාසයක් නමුත් පශ්චාත් නූතන තත්ත්වවාදීන් විසින් මෙම අදහස් ලාංකීය, “සිංහල දේශපාලනයේ” පරමයක් බවට පත් කිරීමෙන් පසු, පශ්චාත් නූතන තත්ත්වවාදීන්ගේ පශ්චාත් ව්‍යූහවාදී “හැදෑරීම්”වල විචිත්‍රභාවය (exotic) සහ ගුප්තභාවය (esoteric) හමුවේ, සියලුම වාමාංශිකයන් පාහේ, “දේශපාලනය සඳහා හැදෑරිය යුතුය” යන අදහස පිළිගෙන සිටිති.

මේ අනුව එවැනි න්‍යායගැන්වීම්වලට පදනම සැපයෙන්නේ, “සත්‍යය”- එනම්, ලොව අයහපත් දේ නිවැරදි කිරීමට ඉඩ සලසමින්, ලොව පිළිබඳ සැබෑ ඥානය, නිවැරදි ඥානය – කරා ළඟා වීමට විචාර බුද්ධියට ඇති බලයෙනි.

ඩේකාට් විශ්වාස කළේ අවිශ්වාස සහගත සංස්කෘතියෙන් නිදහස් වන්නට විචාර බුද්ධිය මිනිසාට ඉඩ සලසන බවයි. ප්‍රබුද්ධත්වය (Enlightenment) විසින් මානව විචාර බුද්ධියේ හැකියාව, සම්ප්‍රදායේ සංස්කෘතියේ, අධිකාරයේ, අධිපතිභාවයෙන් නිදහස් කරගනු ලැබීයැයි විශ්වාස කෙරේ. මෙලෙස සම්ප්‍රදායෙන් නිදහස් වූ විචාර බුද්ධිය, ලොව පිළිබඳ සත්‍ය ඥානය ලබා ගැනීමට යොදා ගත හැකි ය. මෙලෙස විචාර බුද්ධිය මත පදනම් ව, උදාකර ගත් සත්‍යය, ඥානය, සමාජය සම්බුද්ධිකව විද්‍යාව මත පදනම් ව සංවිධානය කිරීමෙන් මුළු ලොවටම නිදහස ලබා දීමට පදනම සපයා දෙන්නේ යැයි, විශ්වාස කෙරෙයි.

මානවයන්ගේ ජීවිතවල දිග හැරෙන කටයුතු, ක්‍රියාකාරකම් පැහැදිලි කරදෙන පරම සත්‍යයක් තිබිය හැකිය යන අදහස, ප්‍රගතිය නවීකරණය සහ සංවර්ධනය වැනි සංකල්ප බවට පරිවර්තනය කරනු ලැබ අද මුළු ලෝකයේ ම සමාජ-දේශපාලන කතිකාවන්හි අධිපති ස්ථානයට පත්ව තිබේ.

මෙම අවබෝධයෙන් කියැවෙන්නේ, මානව පැවැත්මේ ජීව විද්‍යාත්මක අංශය ද ඇතුළුව, ස්වභාවික ලෝකයේ පරම සත්‍යය වටහා ගැනීමට ස්වභාවික විද්‍යාවන් අපට ඉඩ කඩ සලසා දෙන්නේ යැයි විශ්වාස කෙරෙන ආකාරයටම, ස්වභාවික විද්‍යාවන් හෙළි පෙහෙළි කළ මාවත ඔස්සේ ගමන් කරන මානව හෝ සමාජීය විද්‍යාවන් ද, මානව ලෝකයේ පරම සත්‍යය වටහා ගැනීමට අවශ්‍ය ක්‍රමය (method) සම්පාදනය කර දෙන බවයි.

මේ අනුව, ලෝකයේ ස්වභාවයත්, මානව සමාජයත් වටහා ගැනීමේ මාධ්‍යයත්, එය වෙනස් කිරීමේ උපායයත්, විද්‍යාත්මක සහ සංවිධානමය නව්‍යතාවන්ගේ ස්වරූපයෙන් සපයා දෙන්නේ තාක්ෂණයයි.

නූතනත්වයේ පොතේගුරු වාද

මෙලෙසින් ගත් කල ලාංකීය සමාජය පෙළෙන්නේ යැයි අප විශ්වාස කරන වර්තමාන ඇබැද්දීන් පිලිබඳව න්‍යායගැන්වීම සඳහා පදනම සැපයීමට උත්සාහ කරන පවත්නා කතිකාවන් සියල්ල, නූතනත්වයට හමි වඩාත්ම ව්‍යාප්ත වී ඇති පොතේගුරු වාදයන් (dogmas), නූතනත්වය සමඟ හවුලේ බෙදාගන්නා බව, අපට යෝජනා කළ හැකි ය. ෆූකෝ අනුව යමින් හොලින්ගර් (Hollinger) නමැති ලේඛකයෙකු දක්වා ඇති පරිදි එම පොතේගුරු වාදයන් මෙසේ ය.

· ඥානය, විශේෂයෙන්ම අනුභූතික විද්‍යාවන්ගේ ස්වරූපයෙන් එන ඥානය, මානව ප්‍රගතිය සහ සතුට වැඩි කිරීම සඳහා සමාජයට යොදා ගත හැකිය, යන විශ්වාසය.

· නිව්ටෝනියානු භෞතික විද්‍යාව අනුව හැඩගැස්වුනු මානව විද්‍යාවන්, මිනිස් සමාජය විද්‍යාත්මක, සහමුලින් ම සබුද්ධික (rational) සංස්කෘතියක් බවට විපර්යාස කිරීම සඳහා මානව ජීවිතය පිළිබඳ දැනුම සපයා දෙනු ඇත, යන අදහස.

· ආණ්ඩු කිරීම සඳහා විශේෂඥයන් අවශ්‍ය කිරීම හා බැඳුණු මානව ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රයෝජනතාවාදී (utilitarian) ආකෘතීන් පිළිබඳ අවධාරණය කිරීම.

· සබුද්ධික විශ්වීය වටිනාකම් (rational universal values) පිළිබඳ විශ්වාසය, සහ එක් හෝ අනෙක් මනෝරාජික ඉලක්කයක් කරා දිවෙන මානව ප්‍රගතිය පිළිබඳ විශ්වාසය.

· ජනයා පීඩනයෙන් මුදවාගන්නා ඥානය මත සුවිශේෂයෙන් ම පදනම් වූ සමාජයක් පිළිබඳ ප්‍රබුද්ධත්ව ඉලක්කය නොකඩවා සාක්ෂාත් කරගැනීමට මානව වර්ගයා සමත්වනු ඇත යන විශ්වාසය.

ලාංකීය සමාජයේ පවත්නා තත්ත්වයන් පිළිබඳව න්‍යායගැන්වීම් සම්පාදනය කරගන්නට උත්සාහ ගන්නා, ඉහත විමසුමට ලක්කළ සියලු කතිකාවන්, අපගේ සාමූහික යහපැවැත්ම පිළිබඳව ගැඹුරින් සිත් යොමු කරන්නන්ගේ පරිකල්පනාව අවදි කරවීමට අපොහොසත්වන්නේ, එම කතිකාවන්ගේ ආරම්භක ලක්ෂ්‍යය නූතනත්වය වන නිසා නොව මා ඉහතින් පෙන්වාදෙන්නට උත්සාහ කළ පරිදි, ඒවා නූතනත්වයේ පොතේගුරු වාදයන් සමඟ ගැඹුරින් පටලැවී ඇති නිසාය, යන්න මගේ යෝජනාවයි.

ඇත්ත වශයෙන් ම ගත් කල නූතනත්වය යටගේ ජීවත්වන අපට, නූතනත්වයෙන් පරිබාහිර සුරක්ෂිත ස්ථානයකට පසුබැසිය නොහැකි ය. අපගේ ජීවිත පිළිබඳ අවබෝධය ලබාගැනීම සඳහා සූත්‍රගත කිරීම් කරන්නට එවැනි ආකිමිඩියානු ලක්ෂ්‍යයක් අපට නැත. පවත්නා කතිකාවන්ගේ දකින්නට ඇති ගැටලුව නම් ඒවා එක්කෝ නූතනත්වය බදා, වැළැඳගැනීමයි, නැතහොත් දාර්ශනිකව හෝ වුව නූතනත්වය නොසලකා හරින්නට, නූතනත්වය ප්‍රතික්ෂේප කරමින් අතීත සම්ප්‍රදාය කරා නැවත යාමේ අපේක්ෂාව පළ කිරීමයි.

නූතනත්වය විසඳුමද? ගැටලුවද?

මගේ යෝජනාව, නූතනත්වය යනු ලංකාව වර්තමානයේ දී මුහුණ පා සිටින තත්ත්වයන්ට විසඳුමවත්, එම තත්ත්වයන් ඇති කරන ගැටලුවවත් නොව, අප විසින් අපේ බවට පත් කරගෙන සිටින, අපේ සිතීම හැඩගස්වන, අප සංකල්පීය වශයෙන් ස්ථානගතව සිටින කතිකාවය යන්නයි. කෙටියෙන් කියන්නේ නම් නූතනත්වය අපේ සාමූහික චිත්තයේ අධිපතිභාවය උසුලයි.

කතිකාවක් වශයෙන් අපි දැනටමත්, හැමවිටමත් නූතනත්වය සමඟ එකට පටලැවී, ගැටගැසී ඇති බැවින් අපට එය ප්‍රතික්ෂේප කළ නොහැකිය. එලෙස ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයම අප නූතන ලෙසින් ක්‍රියා කිරීම ප්‍රකාශයට පත් කිරීමක් වන්නේය. නවීකරණය බදා වැළඳගැනීම, අප අත්විඳින ඊනියා ගැටළුවලට විසඳුමක් ද නොවන්නේය. මන්දයත්, එම තත්ත්වයන් නවීකරණය හේතුවෙන් හෝ නවීකරණය නැති කමේ හෝ අඩුකමේ හේතුවෙන් ඇති වූ ඒවා නොව, නූතනත්වයේ සංකල්පීය රාමුව තුළින් ලොව දැකීමට අප යොමු වී තිබීමේ හේතුවෙන් ඇති වූ ඒවා විය හැකි හෙයිනි.

අප විමසුමට ලක් කළ කතිකාවන් සියල්ල, ඒවායේ ගැඹුරින් ප්‍රකාශයට පත් කෙරෙන සංසිද්ධිය නූතනත්වයයි. මෙම කතිකා සියල්ලම අවසාන විග්‍රහයේදී නූතනත්වයේ විවිධ නියෝජනයන් ම වෙති. උදාහරණයක් දක්වතොත් නූතනත්වය සමාජ ගැටලුවේ කතිකාව ලෙස ගැනීම මඟින් නොසලකා හැරෙන කරුණ නම්, අප ගැටලු වශයෙන් හඳුනා ගන්නා දේ දිගින් දිගට පවතින්නේ අප සතුව ඇති මෙම නූතන ආකාරයේ දැකීම නිසා බවයි. නූතනත්වයේ කන්ණාඩිය තුළින් දුටු විට සමාජ සංසිද්ධින් “සමාජ ගැටලු” බවට පත් වන්නේ කෙසේද? යන්නයි.

නූතනත්වයට ප්‍රතිරෝධය

මෙම අදහස අපට පිළිගත හැකි නම්, අප කළ යුත්තේ එක්කෝ නූතනත්වය බදා වැළැඳගැනීමවත්, නැතහොත් එය ප්‍රතික්ෂේප කොට අතීතය කරා ආපසු යෑමට වෙර දැරීමවත් නොව, නූතනත්වයට ප්‍රතිරෝධය (resistance) දැක්වීමයි. ප්‍රතිරෝධය දැක්වීම යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ, නූතනත්වයට යටත් නොවීමයි. ඊට විරෝධය පෑමයි. වෙනත් විදියකින් කියන්නේ නම් අප හමුවේ ඇති අභයෝගය නම්, අප හමුවේ ඇති දෙය කිසියම් අරමුණක් කරා ගෙනයෑමට කටයුතු කිරීමයි, අපට ලැබී ඇති දේ වර්ධනය කිරීමයි, නූතනත්වය රජයන ලොවක අපේ ඉරණම අප සාමූහිකව යහපත් යැයි අගයන ඉලක්කයක් කරා යොමු කිරීමට ක්‍රියාකාරීව මැදිහත් වීමයි. මේ සඳහා අප කළයුත්තේ මේ සඳහා, අප ලෝකය අවබෝධ කර ගැනීමට යොදා ගන්නා සංකල්ප තුළ නූතනත්වය ප්‍රකාශයට පත්වන ආකාරය විභාගයට ලක්කොට, එම පවත්නා අරුත්සුන්, දරදඬු සංකල්ප, යලිත් නව අරුතින් පුරවාලීමයි.

මේ අනුව, ලාංකීය සමාජයේ සිදුවෙමින් පවත්නේ කුමක්ද යන්න වටහා ගැනීමට නම්, ඒ සඳහා අප කළ යුත්තේ, අපේ සිතීමේ ආකාරයන්ම, අපේ ණ්‍යායගැන්වීම්ම පවා, නූතනත්වයේ කතිකාවට ගැටගැසී, පටලැවී, එකට බැඳී ඇති ආකාරය, අප අප අවට ඇති ලෝකය දකින ආකාරය නූතනත්වයේ සංකල්ප වලින් වර්ණ ගැන්වෙන්නේ කෙසේද යන්න, ලාංකික සමාජයත්, අප ජීවත්වන ලෝකයත් අපඅවබෝධ කරගන්නා ආකාරය තුළ නූතනත්වයේ පොතේගුරු වාදයන් රජයන්නේ කෙසේද යන්න, පහදාගැනීමය යන්න මගේ යෝජනාවයි.

නූතනත්වයට අපගේ සාමූහික චින්තනය ගැට ගැසී ඇති ආකාරය ප්‍රභලව ප්‍රකාශයට පත්වන එක් මූලික ක්ෂේත්‍රයක් නම් දේශපාලනය පිළිබඳ තලයයි. දේශපාලනය යනු කුමක්දැයි අප වටහා ගන්නා ආකාරය තුළ සහ අප දේශපාලනය ක්‍රියාත්මක කරන ආකාරය තුළ තරම් නූතනත්වයේ උපකරණමය බුද්ධිය (instrumental reason) ලාංකීය සාමූහික ජීවිතයේ ක්‍රියාත්මකවන වෙනත් අන් ක්ෂේත්‍රයක් නැතැයි කිව හැකි තරම්ය. මෙරට ඇති බුර්ෂුවා පාර්ලිමේන්තු නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයත්, ඒ හා බැඳුණු දේශපාලන පක්ෂ ක්‍රමයත්, ඊට එරෙහිව ගොඩනැගුණු වාමාංශික පාර්ලිමේන්තුවාදී, විප්ලවවාදී, ජාතිකවාදී යනාදී දේශපාලන ව්‍යාපාරයනුත්, සියල්ලම උනන්දු වී ඇත්තේ රාජ්‍ය බලය ලබා ගැනීමත්, ජනයා පාලනය කිරීමත් මුල් කරගත් දේශපාලනයක නිරතවීමට මිස, සාමූහික යහපැවැත්ම අරමුණු කොටගත් දේශපාලනයක බහුජනයාට නිදහස් පුරවැසියන් ලෙස ක්‍රියාකාරීව සහභාගි වන්නට ඉඩ සලසන ආකාරයෙන් නොවේ. අපගේ දේශපාලනයේ ප්‍රධාන අරමුණු බවට පත්ව ඇත්තේ රටේ ආර්ථිකය කළමනාකරණය/ “සංවර්ධනය” කිරීමත්, සමාජයේ විවිධ ජන කොටස්වල ඵල ප්‍රයෝජනයන් අතර, ආර්ථික හෝ වේවා, දේශපාලනික හෝ සාමාජික සංස්කෘතික වශයෙන් වේවා, ඇතිවන ගැටුම් සංසිඳවීමයි. සමාජ සාධාරනය සඳහා සටන්වැදීමයි. මෙම දේශපාලනය තුළ දකින්නට ඇති ප්‍රධානම ලක්ෂණය නම්, පොදු ලෝකයක් (common World) නමැති පොදු වස්තු විෂයක් (Common object) ඊට සහභාගි වන්නන්ට නොමැති වීමයි.

(‘බලය’ 2002 ඔක්තෝබර්)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )