ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ? – කුමුදු කුසුම් කුමාර

චිත්‍රපටියක් වියමනක් ලෙස කියවිය හැකිද?

“ආදරය පිළිබඳ කෙටි චිත්‍රපටයක්”
A Short Film About Love

කිස්ලොව්ස්කි

කිස්ලොව්ස්කි අතිශූර කතා කියන්නෙකු බව මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙයි. චිත්‍රපටිය අපේ සිත් ඇද ගන්නේ ප්‍රධාන කොටම ඉන් කියවෙන කථාව නිසා මිසක, සිනමා කෘතියක් වශයෙන් එහි ඇති සුවිශේෂ ලක්ෂණයක් නිසා නොවුණද, අප හද – මනස අවදි කරවන කථාවක් ලෙසින් මේ චිත්‍රපටය ඉමහත් සේ රස විඳ අගය කරන්නට අපට හැකි වෙයි.

චිත්‍රපටයේ තේමාව, අප’තර පොදු ව්‍යවහාරයේ පවතින රාගය – ප්‍රේමය පිළිබඳ දේ – බෙදුම යයි සිතමි. ප්‍රේමය මෙන් නොව, රාගය පාපය හා බැඳුනකි, යන ආගමික විශ්වාසය මෙහිදී විමසුමට ලක් කෙරෙයි. චිත්‍රපටිය ආරම්භයේදී රාගය සංකේතවත් කරන වැඩිහිටි ගැහැණියක වන මැග්ඩාගේත්, අහිංසක, යෞවන ප්‍රේමය පෙන්නුම් කරන ටොමැක්ගේත් චරිත චිත්‍රපටිය තුළ වර්ධනය වීමෙන්, රාගයේ – ප්‍රේමයත්, ප්‍රේමයේ – රාගයත් මතුකර ගනිමින් කිස්ලොව්ස්කි චිත්‍රපටය සමාප්ත කරන්නේ රාගය – ප්‍රේමය අතර ඇතැයි ව්‍යවහාරයේ පවතින පැහැදිලි බෙදුම් රේඛාව බොඳ කොට හැරීම තුළ ජීවිතය පිළිබඳ අපේ පරිකල්පනය මුදා හරිමිනුයි.

ලිංගික සැපත හා බැඳුණ කාමය මිස ප්‍රේමය කියා දෙයක් නැතැයි අදහන බව පෙන්වන මැග්ඩා, තමා පතන ප්‍රේමය නොලැබුණොත් දිවි තොර කර ගන්නට තරම් ඇල්මක් තමා වෙත දක්වන ටොමැක්ගෙන්, ආදරය යනු කුමක්දැයි ඉගන ගැනීමට පටන් ගත්තා සේ ය. එක් ආදරවන්තයෙකුගෙන් තවෙකෙකු වෙත යමින් කම් සැපතින් දිවි සැපත සොයා යාමෙන් වෙහෙසට පත්ව දෝ ඉකි බිඳ හඬන තම හද සනසාලන්නට ප්‍රේමයේ කරුණාබර පහස ඈ යටි සිතින් පැතුවා නොවේ ද? ආරම්භයේදී ටොමැක් තම ප්‍රේමය ඈ වෙත පිරිනැමූ විට ඉන් මද වික්ෂිප්තභාවයට පත්වන නමුදු, ටොමැක්ගේ ප්‍රේමය කුරිරු ලෙස විසුළුවට ලක් කරන්නටත්, තම ආදරවන්තයෙකු ටොමැක්ට පහර දෙන තැනට පොළඹවන්නටත් තරම් ඇය සාහසික වන්නේ, නව යොවුන් වියේ පසුවන ටොමැක් ගේ ප්‍රේමාතුර ඇලුම ඇයට වටහා ගත නොහෙන හෙයිනි. ඒ, තමා පැතූ ආදරය සෙනෙහස ඇයට මෙතෙක් තම ජීවිතයෙන් නොලැබුණු නිසා ද?

හුදෙකලා ජීවිතයක් ගෙවන ටොමැක් ගේ සිත අවධි කරවන එකම දේ දුරදක්නයෙන් මැග්ඩා ගේ ගෘහ ජීවිතය නැරඹීමයි. යුදට ගිය මිතුරාගෙන් තමාට උරුම වූ මෙම කටයුත්ත ටොමැක්ට හුදු විනෝදාංශයක් වෙන්නේ, ඔහු සිත තුළ අවදිවන නව යොවුන් ප්‍රේමයට ඈ ඉලක්ක වන හෙයිනි. ඇයගේ ආදරවන්තයන් මෙන් නොව ටොමැක්ට අවශ්‍ය තම ප්‍රේමය මැග්ඩා ට පුද කරන්නට ය. නව යෞවනයේ ජීවයෙන් තම සිත් හී පිබිදී ඇති ප්‍රේමය ලොවට පුදන්නට ය. එසේ පිදීමෙන් පෙරළා පෙම් කරනු ලබන්නටය, එලෙසින් අනන්‍යවීමේ ආශ්වාදය භුක්ති විඳින්නටය. “ඔබට මගෙන් කුමක් අවශ්‍යද?” යි මැග්ඩා විමසූ වට “මට ඔබෙන් කිසිවක් අවශ්‍ය නැහැ” යි ටොමැක් පිළිතුරු දෙන්නේ එහෙයිනි. ටොමැක් ඉන් අදහස් කරන්නේ “මට අවශ්‍ය ඔබේ ප්‍රේමය යි” යන්න අපට සිතිය හැකිය. ඔහු ප්‍රේමය සඳහා පතන්නේ අන් කිසිවක් නොව පෙරළා ප්‍රේම කරනු ලැබීම පමණක් වැනිය. මැග්ඩා දැන සිටි ජීවිතයේ මිනිස් සබඳතා එකෙක් අනෙකාගෙන් යමක් ලබා ගැනීම මත ම පදනම් වූ උපයෝගීතාවාදී ඒවා වූ සේ ය. “මට ඔබෙන් කිසිවක් අවශ්‍ය නැතැ” යි ටොමැක් කියන දෙයෙහි අරුත ඇයට වටහා ගත නොහැක්කේ එහෙයිනි.

තම සිතැඟි ප්‍රේමය වචනයට නඟා ගත නොහැකිව, ඉමහත් වැර වෑයමෙන් ටොමැක් උත්සාහ ගන්නේ මැග්ඩා දැන හඳුනා ගන්නට ය, ඈ සමඟ කතා බස් කරන්නට ය, මිනිස් සබඳතාවක් ගොඩ නඟා ගන්නට ය. ඔහුට තමාගෙන් අවශ්‍ය කම් සැපත විඳීම නොවේ දැයි නරුමවාදීව ඇනුම්පද ස්වරූපයෙන් මැග්ඩා විමසූ විට උරණ වන ටොමැක් මහත් ආයාසයෙන් තම සිතැඟියාව වචනයට පෙරළා අයිස් ක්‍රීම් රස විඳින්නට අවන්හලකට යන්නට ඇයට ඇරයුම් කරන්නේ එහෙයිනි. නමුත් මැග්ඩාට වටහා ගන්නට අපහසු කරුණ ද එයම ය.

අවන්හලේ දී, මිදි පැන් රසෙහි සුවය විඳිමින් මඳින් මද දොඩමළු වන ටොමැක් හා සල්ලාපයේ යෙදීමෙන් තුටු වන මැග්ඩා ගේ සිත් දොරටු ටොමැත් ගේ ප්‍රේමයට මදක් විවර වූවා වැන්න. මිදි පැණින්, ප්‍රිය සමාගමයෙන් හා ප්‍රසන්න පරිසරයෙන් පිබිඳුණු ඉඳුරන් සහිත ටොමැක්, මුදු පහසින් කය කම් සැපතට යොමු කිරීමේ මුල් පාඩම අවන්හලේ දීම මැග්ඩාගෙන් උගනියි. තමා තුළ යළි අවදි වූ යෞවන කෙළිලොල් බවින් උද්දාමයට පත් මැග්ඩා, තමාගේත් ටොමැක්ගේත් සමාගමයේ අනාගතය ඉරණමට භාර කළා වැනිය. ඉරණම එය විසඳන්නේ, රාගයට ටොමැක් ගේ සිතත්, ප්‍රේමයට මැග්ඩාගේ කයත් පුබුදුවාලමින්, ඔවුන් දෙදෙනා අතර සිත-කය, රාගය – ප්‍රේමය එක්තැන් කරවන සබඳතාවයකට අවකාශය සලසමිනි.

එදින රැයෙහි, පිබිඳුණු ඉඳුරන් ඇතිව, මැග්ඩාගේ ඇරයුමින් ඇගේ කයෙහි පහස විඳින්නට උත්සුක, කෝඩුකාර සිතින් එළඹෙන ටොමැක්, තම රාගාන්වත හැඟීම ඈ ස්පර්ශයෙන් වහා පිබිද සුරතාන්තයට නැඟීම ඇගේ අවඥාවට ලක් වීමෙන් දැඩි නින්දාවට ලක්වූවා සේය. ඇගෙන් වහා පළා යන ඔහු, සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කරන්නේ තම ප්‍රකාශිත ප්‍රේමය යටපත් කොටගෙන රාගය නැඟී උතුරා ගියේ යැයි සිතීමෙන්, තමාගේ ප්‍රේමය මුසාවක් යැයි හෙළිදරව් විනැ යි ඈ සිතනු ඇතැයි සිතීමෙන්, තමා ඈ හමුවේ වංචාකාරයෙකු විණැ යි යන්න දරා ගත නොහැකි වීමෙන් ද, නැතහොත් ප්‍රේමයෙන් ඇය දිනා ගැනීමට තමා තුළ වූ අධිෂ්ඨානය පරාජය විනැයි ඇති වූ අපේක්ෂා භංගත්වය නිසාවෙන් ද? මෙම අත්දැකීමෙන් ඇති වූ අවුලත්, තැවුළත්, වේදනාවත් තුනී වී යමින් සුවය ලබද්දී තමා අත් දුටු ස්ත්‍රී – පුර්ෂ ප්‍රේමයෙහි දී රාගය ප්‍රේමයෙහි ම ප්‍රකාශනයක් බවට පත්වන අයුරු ටොමැක් වටහාගත් බවක් කිස්ලොව්ස්කි අපට කියන්නේ ද? තමා විසින් අවඥාවට ලක් කිරීමෙන් ටොමැක් තමා වෙතින් පළා යාමෙන් සසළ වන සිත් ඇති මැග්ඩා, ටොමැක් තුළ තමා වෙත පැවතියේ හුදු රාගය ඉක්මවා යන හැඟීමක් බව වටහා ගන්නේ, තමා මුල් කොට ගෙන සිය දිවි නසා ගන්නට උත්සාහ කරන්නට තරම් තමා ටොමැක් ට වටිනා පුද්ගලයෙකු බවට පත්ව තිබූ බව අවබෝධ කර ගැනීමෙනි. ඒ අවබෝධය නිසාවෙන් ඈ සිත තුළ සැඟැවී තිබූ ප්‍රේමාබද්ධ හැඟීම් යළි මතුව විත් ඈ ටොමැක් සොයා ගොස් ඔහු ප්‍රේමාන්ධව ස්පර්ශ කරන්නේ තම කය රාගයට නොව ප්‍රේමයට අවදි කරමින් නොවේ ද?

මෙලෙස කිස්ලොව්ස්කි, අප සිත් දැඩිව ග්‍රහණයට ගන්නා කතාවක් තුළින්, ආප්ත වචනයක් බවට පත් වූ කාමයේ පාශයෙන් බැඳුණු පාපකාරී ගැහැණිය, උසුරුවා ගැනීමට තතනන නව යෞවන ප්‍රේමයේ මායා වී බඳු බලයෙන්, ප්‍රේමය හඳුනන මිනිස් දුවක් බවට පත් කරන්නීය. රාගයෙන් බැඳී සිටිය ද ප්‍රේමයෙන් ළතෙත් බව සහමුලින් වියැකී නොගිය ඇගේ පිහිටෙහි, ටොමැක් ගේ යෞවනය, පරිනත බවට පා නැඟීමේ මුල් පාඩම උගත්තේ, ව්‍යවහාරයේ පවතින දෙ බෙදුම් පුපුරුවා හරින මෙම අත්දැකීමෙන්, මිනිසත් බවේ අසීමිත සංකීර්ණභාවය පිළිබඳ පරිකල්පනයට අප සිත් විවෘත කොට මුදා හරින්නට කිස්ලොව්ස්කි සමත් වන්නේ තම කථාන්දරයේ ග්‍රහණයට අසු කොට ගත් අප සිත් නිම්වළලු ඒ තුළින් ම මෙසේ පුළුල් කිරීමෙනි.

කිස්ලොව්ස්කි මෙම චිත්‍රපටයෙන් සිනමා කලාකරුවෙකු වශයෙන් සුවිශේෂ ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ යැයි මම ඉහත සඳහන් කළෙමි. නමුත්, ඔහු තම කථාවෙන් ද්වනිත කෙරෙන අරුත් තීව්ර කරමින්, එය ඉතා ශූර අන්දමින් කියන්නට සිනමා කලාව ඉතාමත් ම ප්‍රබල මෙවලමක් ලෙස යොදා ගන්නා බව කිව යුතුය. කතාවේ එන චරිත ප්‍රදීපනය වන පරිදි ඔහු අඳුරත්, ආලෝකයත් සියුම් ලෙස හසුරුවයි. සිනමා රූප විවිධ ව භාවිතා කිරීමෙන් චරිත ස්වභාව උද්දීපනය කරයි.

ලංකාව වැනි සමාජයක මෙවැනි චිත්‍රපටයක් නරඹන අපි – විශේෂයෙන් තරුණ ප්‍රේක්ෂකයන්ගේ සිත් බෙහෙවින් ඇද ගන්නා කරුණක් වන්නේ පුද්ගල සබඳතාවන්හිදී, විශේෂයෙන් ලිංගික සබඳතාවන්හිදී මෙවැනි චිත්‍රපටවල චරිත අත්විඳින නිදහසයි, ස්වාධීනත්වයයි. ඔවුහු නිදහසේ ඇසුරු කරති. අන්‍යෝන්‍ය එකඟත්වයෙන් රිසි සේ පෙම් කෙළිති. මෙලෙස, තාරුන්‍යයේ රමණීය රූ සපුවත්, ජවයත්, නිදහසේ, සිත් සේ සැරිසරන අන්දම තුළ අප හඳුනා ගන්නේ පුද්ගල නිදහස ගරු කරන සමාජික, සංස්කෘතික පසුබිමකි. වර්තමානයේ දී, පොදුවේ බටහිර සමාජයන් සම්බන්ධ කොට ගෙන නූතනයේ අංගයක් ලෙස අප හඳුනා ගන්නා මෙම පුද්ගල නිදහස අත්විඳීමට එරෙහිව යන ආර්ථික, සමාජික හා සංස්කෘතික පසුබිමක බහුතරයක් ලාංකීය තරුණ තරුණියන්ට දිවි ගෙවන්නට සිදුව තිබීම ඔවුන් බලවත් පීඩනයකට ලක් කිරීමට හේතු විය හැකිය.

එවැනි සීමාවන් තුළ තාරුණ්‍යයේ නිදහස සොයා යන ඔවුන්, ඒ නිදහස රාගය සංසිඳවීම මුල් කොට ගත්තක් සේ සිතීමට පෙළඹෙන්නේ නම්, කිස්ලොව්ස්කිගේ “ආදරය පිළිබඳ කෙටි චිත්‍රපටයක්”

අපට සිහිපත් කරන්නේ ජීවිතයේ සතුට ඇත්තේ එවැනි එළැඹුමකින් ඔබ්බට ප්‍රේමය සොයා යන වෑයමක් තුළ බව නොවේ ද?

මෙම ලිපිය දියැස (2002) 12 වන වෙළුමේ 10 කලාපයේ පල විය.

Advertisements