ආදරය සහ ජනප්‍රිය සංස්කෘතිය

“එෆ්.ආර්. ලීවිස් ගේ සුප්‍රසිද්ධ “ බහුජන ශිෂ්ඨාචාරය සහ සුළුතර සංස්කෘතිය” යන බෙදීමට අනුව අනුව කර්මාන්තකරණයෙන් බිහිවන බහුජන සමාජය මාධ්‍ය සහ චිත්‍රපට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඉල්ලා සිටියෙන් බහුජන සමාජයේ බහුජන ප්‍රේක්ෂකයන් සතුටු කිරීම සඳහා බහුජන මාධ්‍ය එක මට්ටමට සමතලා කිරීම සිදුවිය. එහිදී ප්‍රේක්ෂක සමූහයා බහුජනයා බවට පත්වීම සිදුවුණි. බහුතරය ජනමාධ්‍ය සහ චිත්‍රපට වලින් දෙන අරුත් සහ පණිවුඩ ඒ හැටියෙන්ම භාර ගනියි. ඔවුනට තමන්ට ලැබෙන පණිවිඩ සැබැවින්ම ප්‍රශ්න කිරීමට සහ තමන් ගේම විනිශ්චයන් ගොඩ නඟා ගැනීමට හැකියාවක් නොමැතිය. ලීවිස් කියා සිටියේ බහුතරයට මේ නිසා සංස්කෘතියක් නැති බවත් එය හිමි සුළුතරයකට බවත් ය.”

“ අධිපති සංස්කෘතිය” සහ “ජනප්‍රිය සංස්කෘතිය” පිළිබඳ සාකච්ඡාවකට සටහන්

හැඳින්වීම

“ජනප්‍රිය සංස්කෘතිය” පිළිබඳ කතාබහ යළි යළිත් මතුව එන්නකි.

මේ සාකච්ඡා සියල්ලම පාහේ සිදුවන්නේ ‘සංස්කෘතිය යනු කුමක්ද?’ යන්න පිළිබඳ හැම දෙනම එකඟ වන පූර්ව නිගමනයක් ඇතැයි යන පදනම මත බව පෙනෙයි. නමුත් එවැනි පූර්ව නිගමනයකට එළඹ කටයුතු කිරීම ගැටලු සහගත වන්නේ එය සංස්කෘතිය පිළිබඳ සියල්ල ඇතුළත් කරගන්නා නිර්වචනයක් මත පදනම් වන බව පෙනෙන හෙයිනි.

මෙහිදී අපට සිහිපත් වන්නේ අතිශයින් ජනප්‍රිය මානව විද්‍යාත්මක නිර්වචනය කි. ඒ ටයිලර් ගේ නිර්වචනය යි.

“සංස්කෘතිය යනු සමාජයේ සාමාජිකයෙක් වශයෙන් අත් කරගන්නා දැනුම, විශ්වාස, කලා, ආචාරවිධි, නීති, සිරිත් සහ වෙනත් ඕනෑම හැකියාවන් සහ පුරුදු අයත් වූ සංකීර්ණ සමස්ථයය.”

සමාජයේ ප්‍රචලිතව පවතින ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ අදහසෙහි ප්‍රථිඵලය වන්නේ ඉන් සංස්කෘතිය පිළිබඳ අදහස ඉහත මානව විද්‍යාත්මක නිර්වචනය වැන්නකට ලඝු වීමයි.

“බහුජන ශිෂ්ඨාචාරය සහ සුළුතර සංස්කෘතිය”

එෆ්.ආර්. ලීවිස් ගේ සුප්‍රසිද්ධ “ බහුජන ශිෂ්ඨාචාරය සහ සුළුතර සංස්කෘතිය” යන බෙදීමට අනුව අනුව කර්මාන්තකරණයෙන් බිහිවන බහුජන සමාජය මාධ්‍ය සහ චිත්‍රපට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඉල්ලා සිටියෙන් බහුජන සමාජයේ බහුජන ප්‍රේක්ෂකයන් සතුටු කිරීම සඳහා බහුජන මාධ්‍ය එක මට්ටමට සමතලා කිරීම සිදුවිය. එහිදී ප්‍රේක්ෂක සමූහයා බහුජනයා බවට පත්වීම සිදුවුණි. බහුතරය ජනමාධ්‍ය සහ චිත්‍රපට වලින් දෙන අරුත් සහ පණිවුඩ ඒ හැටියෙන්ම භාර ගනියි. ඔවුනට තමන්ට ලැබෙන පණිවිඩ සැබැවින්ම ප්‍රශ්න කිරීමට සහ තමන් ගේම විනිශ්චයන් ගොඩ නඟා ගැනීමට හැකියාවක් නොමැතිය. ලීවිස් කියා සිටියේ බහුතරයට මේ නිසා සංස්කෘතියක් නැති බවත් එය හිමි සුළුතරයකට බවත් ය. ( https://is.cuni.cz/studium/predmety/index.php?do=download&did=41298&kod=JJM117 )

‘අධිපති සුළුතර සංස්කෘතිය සහ බහුතර මානුෂික විකල්ප සංස්කෘතිය’

“ජනප්‍රිය සංස්කෘතිය” පිළිබඳ කතාබහ තුළ මෑතකදී ‘අධිපති සුළුතර සමාජයේ සංස්කෘතිය සහ ඊට බාහිරින් තිබුණු යටත් බහුතර මානුෂික සමාජයේ විකල්ප සංස්කෘතිය’ ගැන අදහසක් යලිත් පළ වී තිබේ. (බලන්න, වංගීස සුමනසේකර ගේ “ ආදරය දේශපාලන සාධකයක් ලෙස” https://bavaweb.wordpress.com/2017/08/18/ආදරය-දේශපාලන-සාධකයක්-ලෙස/ ලිපිය)

සංස්කෘතිය සුළුතර අධිපති සහ බහුතර ජනප්‍රිය ලෙසින් බෙදීම ලීවිස් ගේ ඉහත අදහස ට දැක්වූ ප්‍රතිචාරයකින් ජනිත වන අදහසක් වැන්න. සංස්කෘතිය පිළිබඳ ජනප්‍රිය අවබෝධයේ ඇති මෙම ගැටළුව වෙනම සාකච්ඡා කළ යුත්තකි. ( ඒ පිළිබඳ ප්‍රවිශ්ඨයක් සඳහා බලන්න, “ සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 3 වැනි කොටස ” -හනා ආරන්ඩ්ට් )://kathika.wordpress.com/2009/12/18/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-3/#more-1452 ;

ඒ පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කෙරෙන අදහස් එකතුවක් සඳහා බලන්න, https://kathika.wordpress.com/category/%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA/ )

දැනට, අපි කතිකාවේ ඒ පිළිබඳ කතා කෙරෙන ජනප්‍රිය ආකාරය අනුව මෙම කතාබහ ගෙන යමු.

ඉහත වංගීස සුමනසේකර ගේ “ ආදරය දේශපාලන සාධකයක් ලෙස” ලිපියෙන් මතුවන පැහැදිළි කරගත යුතු අදහස් රාශියක් තිබෙනවා. පහත සටහන් ඒ පිළිබඳ සාකච්ඡාවකට පිවිසුමක්.

ගැටළු

මේ සංස්කෘතීන් දෙක අයත් වන සමාජ සමූහ දෙක වෙනස් පංතීන් දෙකක් ද? ඒ කුමන පංතීන් ද? එය පංතීන් දෙකක් නම් ඒ දෙකට අතරමැදි පංතීන් තිබෙනවාද? තිබේනම් ඔවුන් ගේ සංස්කෘතික භාවිතාවන් බහුතර සුළුතර සංස්කෘතික භාවිතාවන් ගෙන් කුමකට අයත් වේද? නැතහොත් ඒවා දෙකෙන්ම වෙනස් ද? ඒ කුමන ආකාරයෙන්ද?

ඒවා පංතීන් නොවෙයි නම් එය හුදෙක් සුළුතර බහුතර බෙදීමක් ද?

එසේත් නොමැති නම් මේ වෙනස හුදු සංස්කෘතික භාවිතාවන් මත පදනම් වූ වෙනසක් පමණද? එසේ නම් ඒ සමූහ දෙක අප හඳුනාගත යුත්තේ සංස්කෘතික සමූහ ලෙසද? සමාජ සමූහ ලෙසද?

එකක් මානුෂික යැයි නම් කිරීමෙන් අනෙක අමානුෂික බව කියැවෙනවාද? එම අමානුෂික යනු කුමක් ද?

මේ දෙක එකිනෙකින් වෙන්වෙලා බව කියැවෙනවා. ඒ කියන්නේ ඒවා අතර සංවාදයක් ගණුදෙනුවක් නැහැ කියන එකද?

විකල්ප සංස්කෘතිය විකල්ප වන්නේ කුමන අර්ථයෙන්ද?

මේ කරුණු අපට උදාහරණ ඇසුරෙන් සාකච්ඡා කළ හැකිද? අප ඒ සඳහා මෙහිදී සාකච්ඡා වන ගීත, චිත්‍රපට, නවකතා යනාදිය ගතහොත් ඒවායින් මේ අධිපති-යටත් / විකල්ප වෙනස හඳුනා ගත හැකිද?

අධිපති – විකල්ප දෙපිලට අයත් කලාකරුවන්/ කෘති

අමරදේව සරච්චන්ද්‍ර ලෙස්ටර් වික්‍රමසිංහ වැන්නවුන් ගේ කෘතීන් අයත් වන්නේ සුළුතර සංස්කෘතියට ද? ඔවුන් ගේ කෘතීන් හි ආදරය/ ප්‍රේමය පිළිබඳ නිරූපණය වන අදහස් විකල්ප සංස්කෘතියේ ආදරය /ප්‍රේමය පිළිබඳ වලින් හරයෙන් වෙනස් වන්නේ කෙලෙසින්ද?

මනමේ නාඩගම අයිති ජනප්‍රිය සංස්කෘතියට නම් එයත් එය පාදක කොට සම්පාදනය කළ මනමේ නාටකයත් අන්තර්ගතය ( උදා- ප්‍රේමය පිළිබඳ අදහස්) අතින් සුළුතර බහුතර ලෙසින් බෙදිය හැකිද?

වික්‍රමසිංහගේ නවකතා වල ආදරය පිළිබඳ කතා කෙරෙන ආකාරය සහ කරුණාසේන ජයලත් ගේ නවකතාවල ආදරය නිරූපණය කෙරෙන ආකාරය අතර හරයෙන් ඇති වෙනස් කම් මොනවාද? ඒවා ඉහත විදග්ධ ජනප්‍රිය බෙදීම අනුව විග්‍රහ කළ හැකිද?

ගීත ගතහොත් අධිපති සංස්කෘතියේ ගීත සහ යටත් සංස්කෘතියේ ගීත අප වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද?

නන්දා මාලිනී, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, සනත් නන්දිසිරි වැනි අයගේ ප්‍රේම ආදර ගීත අයත් වන්නේ ඉහත දෙකෙන් කුමන සංස්කෘතියට ද?

සිනමාවේ ධර්මසේන පතිරාජ හෝ වසන්ත ඔබේසේකර ගේ කෘතීන් අයත් වන්නේඉහත දෙකෙන් කුමන සංස්කෘතියට ද?

එදිනෙදා ජීවිතය

සංස්කෘතිය පිළිබඳ ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන – ප්‍රභූ විදග්ධ දෙබෙදීම කොතෙක් එදිනෙදා ජිවිත භාවිතාවන් සමග ගැළපේද?

පාසැල් අධ්‍යාපනය මෙම විභේදනයට බලපාන්නේ කෙසේද?

ජාතක කතා, නාඩගම්, නූර්ති යනාදී කලා සම්ප්‍රදායයන් ජනප්‍රිය සංස්කෘතියට අයිති නොවේද?

පශ්චාත් විජිත රාජ්‍යය

මෙහිදී ආමන්ත්‍රණය කළ යුතු ගැටළුවක් නම් පශ්චාත් විජිත ලාංකේය රාජ්‍යයට අධිපති සංස්කෘතියේ ආධිපත්‍යය පවත්වා ගෙන යෑමට හැකියාවක් තිබිණි ද? ඒ කෙසේද? යන්න යි. එය ප්‍රකාශ වූයේ, සමාජයට බලපෑවේ කුමන ආකාරයන්ගෙන්ද? එය හුදු සමජාතීය මතවාදී අඩංගුවක් ගත්තක් වීද?

එයට උදාහරණ වශයෙන් දිය හැක්කේ ගුවන් විදුළි සංස්ථාව, ජාතික රූපවාහිණිය, සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, කලා මණ්ඩලය වැනි ආයතන යැයි අප සිතතොත් ඒවා පශ්චාත් විජිත සමාජය පුරාම 1990 පමණ වන තුරුම එකම පිරිසකගේ ග්‍රහණය සහ ආධිපත්‍යය යටතේ පිහිටියේද? බලයට පත්වන ආණ්ඩුව අනුව – එජාප, ශ්‍රීලනිප,ශ්‍රීලනිප-වාමාංශික හවුල් ආණ්ඩු අනුව මෙම ආයතන විසින් නිශ්චය කෙරුණු මතවාදී අඩංගුවේ හරය වෙනස් නොවීද?

ගුවන් විදුළිය යනු ජාතික සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීමේ දෘෂ්ඨිවාදී මෙහෙයුමක්, ’දේශීය සංස්කෘතියේ හර පද්ධතිය’ වැනි නිශ්චිත අදහසක් වෙනුවෙන් පෙනී සිටීමක් යන්න නියෝජනය කරන්නේ කුමන කාල පරිච්ඡෙදයක ද? එකම කාල පරිච්ඡෙදයටම වුවත් මෙය සමස්ථ ගුවන් විදුලියටම එක හා අදාළද?

ගුවන් විදුලිය සම්බන්ධයෙන් අධිපති සංස්කෘතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රවාදය අදාළ හින්දුස්ථානි සංගීත ආභාෂය මුල් කොටගත් සිංහල සරල ශාස්ත්‍රීය සංගීතය ප්‍රබුද්ධ ලෙසින් හඳුන්වා දෙමින් එයට අයත් නොවන අය ඉන් බැහැර කිරීම සම්බන්ධයෙනි. නමුත් මේ අධිපති මතවාදය පිළිබඳ ප්‍රවාදය ගුවන් විදුලියේම අනෙක් සංගීත අංශ සම්බන්ධයෙන්ම වුවත් (උදා. වෙළෙඳ සේවය, ඉංග්‍රීසි අංශය, දෙමළ අංශය) කොතෙක් දුරට අදාළ වේදැයි විමසිය යුතුය. ගුවන් විදුලියේ නාට්‍ය අංශය වැන්නකට මෙය එලෙසින්ම අදාළ වූයේ යැයි කිව හැකිද යන්න අතිශයින් සැක සහිත වන්නේ එය හා ආශ්‍රිත නාට්‍ය රචකයන් සහ නිශ්පාදකයන් පිරිස එවැනි එක් අධිපති මතවාදයකට ගොණු කළ හැකි නොවන බව පෙනී යන හෙයිනි.

පශ්චාත් විජිත ලාංකේය සංස්කෘතික භූමි පථය පිළිබඳ සිතීමේදී ‘මාවත’ සංස්කෘතික ප්‍රකාශනයේ මුල් කලාප වල යටත් විජිත සමයේ සහ පශ්චාත් විජිත සමයේ ලාංකේය සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ පළ කළ ලිපි සිහිපත් වෙයි. එම ලිපි කියැවීමේදී මතුවන කරුණක් නම් එම සංස්කෘතික භූමිය දිගටම අරගල භූමියක් ව පැවති බවයි.

විජිත සමයේ තිබූ විජිත විරෝධී සංස්කෘතික ව්‍යාපාරය තුළ දේශප්‍රේමීයත්වය, 1940ස් ගණන් වල බිහිවූ “සුළුතර” පේරාදෙණි ගුරුකුලය, කේයස්, අල්විස් පෙරේරා මෙන්ම කුමාරගම, මහින්ද හිමි, මුනිදාස කුමාරතුංග ද අයත් වූ “බහුතර” කොළඹ කවියේ ගුරැකුලය, 1956 සිට 1970 දක්වා වූ කාල සමයේ “සුළුතර බහුතර” ගැටුම යනාදිය මීට උදාහරණ ය.

‘මාවත’ සඟරාවේ උද්ධෘත සඳහා පහත ඇමුණුම් බලන්න (1-7)

ආදරය සහ විකල්ප දේශපාලනය

ආදරය / ප්‍රේමය බහුතර යටත් සංස්කෘතියට පමණක් සීමා වූ දෙයක් ද? අධිපති සංස්කෘතියට ආදරය/ ප්‍රේමය පිළිබඳ භාවිතයක්, සංකල්පනාවක් නැතිද? දෙවැන්නටත් ආදරය පිළිබඳ සංකල්පනාවක් තිබේ නම්, ආදරය පිළිබඳ විකල්ප අවකාශය නියෝජනය කළ ආදරය විදග්ධ සුළුතරයේ ආදරයෙන් වෙනස් වූයේ කෙසේද?

ආදරය යනු අධිපති සංස්කෘතියට එරෙහිව මානුෂික සංස්කෘතිය නියෝජන කළ මිනිසුන්ගේ කේන්ද්‍රීය ආත්ම ප්‍රකාශනයක් ලෙස හඳුනා ගනු ලැබීම නිවැරදි නම් එය ආත්ම ප්‍රකාශනයක් වන්නේ කුමන අර්ථයෙන්ද යන්න උදාහරණ ඇසුරෙන් සනාථ කිරීම අවශ්‍ය වෙයි.

විකල්ප ජනප්‍රිය සංස්කෘතිය තුළ ආදරය ප්‍රේමය යනු කුමක් ද? විකල්ප සංස්කෘතියේ ගීත නියෝජනය කළ ආදරයේ ස්වරූපය කුමක් ද?

1990 දශකයේ ආරම්භය තුළ ‘ආදරය’ පිළිබඳව අදහසට තිබූ රැඩිකල් වලංගුතාවය කුමක් ද?

“ ආදරය කිරීම, ආදරය පිළිබඳව කතා කිරීම, ආදරය පිළිබඳව ඇති ගීත සහ චිත්‍රපටි වලට කැමති වීම ආදිය තවදුරටත් හොර රහසේ, පුද්ගලික ජීවිත තුළ පමණක් කළ යුතු දෙයක්” වූයේ කුමන සංස්කෘතිය තුළද? එසේ වූ ආකාරය අපට නිශ්චිත උදාහරණ ඇසුරෙන් විස්තර කළ හැකි ද?

ආදරය මූලික සාධකයක් බවට පත් කොට මෙරට තුළ 1990 දශකයේ දී ආරම්භ වී විකල්ප මහජන දේශපාලනයක් ගොඩ නැගුණි නම්, ‘ආදරය’ පිළිබඳ සංවාදය සමාජය තුළ වඩාත් බලපෑම් සහගත මාතෘකාවක් වී නම් එය සමාජය තුළ ප්‍රකාශිත වූයේ කුමන ආකාරයෙන්ද? විකල්ප දේශපාලනයක් ගොඩ නැඟීමෙහි ලා ආදරය ප්‍රධාන සාධකය වූයේ කෙසේද? එම දේශපාලනයට පිටු දුන් ආදරය පිළිබඳ සංවාදයේ මූලික සංකල්පීය සංඝටක වූයේ මොනවාද?

ආදරය සහ රොමෑන්තිකවාදය

ආදරය ප්‍රේමය යනු එහි ජනප්‍රිය අර්ථයෙන් ගත් කළ ප්‍රකාශ වන්නේ රොමෑන්තික නැතහොත් විචිත්‍රාත්භූත ස්වරූපයෙන් නොවේද? එය ‘යටත්’ සංස්කෘතියේ එදිනෙදා ජීවන අත්දැකීම හා බද්ධ වන්නේ කුමන ආකාරයෙන් ද?

ශේක්ස්පියර් ගේ නාට්‍ය අයත් වන්නේ ලංකාවේ / ජාත්‍යන්තරව අධිපති සුළුතර සංස්කෘතියට ද? බහුතර විකල්ප සංස්කෘතියට ද?

ශේක්ස්පියර් ගේ The Taming of the Shrew නාට්‍යයේ ඇති දෙබස් ඛණ්ඩයක් ජනප්‍රිය යැයි අප කියන විට අප ඉන් අදහස් කරන්නේ එය සුළුතරය අතර ජනප්‍රිය යන්න ද?

විචාරක්ෂි විසිනි

‘මාවත’ ඇමුණුම්




Advertisements