සාප්පු සංකීර්ණයන්ගෙන් පිරි නූතනයේ සාමූහික ජීවිතය සොයා යෑම – රෝයි ටර්නර්

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

“සාප්පු වලින් මිලදී ගැනීම යනු, සියල්ලම සළකා බැලූ පසුත්, තමා සහ තමා ආශා කරන අනන්‍යතාවය අතර ගණුදෙනුවක් වේ. සාමාන්‍ය වැටහීමට අනුව, සාප්පු සංකීර්ණය විශිෂ්ට ලෙසින් මහජනමය වේ – අන්තර් ක්‍රියාකාරීමය වශයෙන් කියන්නේ නම් එය මහජන ස්ථානයකි, [නමුත්] මහජන යන්න පිළිබඳ හනා ආරන්ඩ්ට් වැඩි දියුණු කරන ලද දෘඪ අර්ථයෙන් (එයට මම ඉක්මනින් හැරී එමි) වෙසෙසි කොට ගත යුතුය. මහජන ස්ථානයක් වශයෙන් සාප්පු සංකීර්ණය පිරිනමන්නේ සමාජශීලීත්වය හෝ සංවාදය නොව සමූහචාරීත්වයයි, එනම්, ජෝන් බ්‍රින්කර්හෝප් ජැක්සන් හොඳින් විස්තර කළ අංග ලක්ෂණය වන අනන්‍යතාවක අමුද්‍රව්‍ය සොයා තම පෞද්ගලික ගවේෂණයේ නිරත බොහෝ දෙනා එකවර පැමිණීමයි “ඉක්මනින් හෝ පසුව හෝ තමන්ගේ වෙන්වූ මාර්ගයන්ගේ ගමන් කරන විෂමජාතීය වූ මහජනතාවක් විසින් හවුලේ භුක්ති විඳිනු ලබන අවකාශීය අත්දැකීමක් ඉන් පිරිනැමේ.” තථ්‍ය ලෙසම දේශපාලන භූමිදර්ශනයක් ලෙසින් ගත් මහජන චතුරස්‍රයෙන් ජැක්සන් මෙය වෙසෙසි කොට දක්වයි, මෙහිදී, මහජන චතුරස්‍රය ට “පැමිණෙන්නවුන් තමන් සියල්ලන් ප්‍රජාවේ සාමාජිකයන්, වගකීම් සහිත පුරවැසියන් බව සහ කලින් කලට ඔවුන් මහජන සාකච්ඡා වලට සහභාගී වනු ඇති සහ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාවට බසිනු ඇති බව දැනටමත් හොඳින් දන්නේය යන්න උපකල්පනය කෙරෙයි.”

යුද්ධය අවසන් ය. නමුත් අනන්‍යතාව පිළිබඳ කතාබහ නූතනත්වය තුළ දිගටම පවතිනු ඇත.
කැනඩාව ප්‍රංශ සහ ඉංග්‍රීසි කතා කරන වශයෙන් වෙන්ව හඳුනා ගැනෙන ප්‍රධාන ජනකොටස් දෙකකින් සැදුණු ලෙස සළකමින් මෙම ජන දෙකොටස අතර සබඳතා ත්, කැනඩාවට හැම අතින්ම ඉමහත් බලපෑම් කරන බලවත් ඇමෙරිකාව කැනඩාවේ අසල්වැසියා වීමත් මතුකරන දේශපාලන ගැටළු හමුවේ කැනේඩියානු අනන්‍යතාව රැකගැනීම පිළිබඳ නිමානොවන විවාදයක් කැනේඩියානු සම‍ාජයේ පැවත විත් ඇත.

පහත පරිවර්තනයෙන් පළවන ලිපිය ලියන රෝයි ‍ටර්නර් ගේ මතය සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ කරුණ වටහා ගන්න‍ට නම් අප නූතනත්වය තේරුම් ගත යුතු බවයි.

මෙම ලිපිය මුලින් පළවූයේ 1991 දී Dianoia සඟරාවේ ය. අමෙරිකාවේ බර්ක්ලි හි කැලි‍‍‍‍‍ෆෝනියා විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ බ්‍රිතාන්‍ය ජාතික රෝයි ‍ටර්නර් දිගුකලක් කැනඩාවේ බ්‍රිටිෂ් කොළම්බියා විශ්ව විද්‍ය‍ාලයේ සහ යෝක් විශ්ව විද්‍ය‍ාලයේ සමාජ න්‍යාය ඉගැන්වූයේය. ඔහු Ethnomethodolgy කෘතියේ සංස්කාරකවර‍යාය.

රෝයි ටර්නර් 2017 අප්‍රියෙල් 15 දින කැනඩාවේ ටොරොන්ටෝ හි දී අභාවප්‍රාප්ත වූ අතර ස්මරණ උත්සවය සැප්තෑම්බර් 10 දින කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.

පහත පළවන්නේ පළමුවරට විභාෂා පරිවර්තන පාඨමාලාව වෙනුවෙන් දිමුතු සමන් වෙත්තසිංහ කළ පරිවර්තනයෙහි වැඩිදුර සංස්කරණය කළ පිටපතකි .

නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව:”සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානය” ට විකල්පයක් තිබේ ද ? – රෝයි ටර්නර්

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

කැනේඩියානුවන් සියල්ලන්ම වාගේ “‍‍නූතනත්වය යහපත් යැයි සිතන” බව ජෝර්ජ් ග්‍රාන්ට් අපට පවසයි. ග්‍රාන්ට් ට අනුව මෙය කැනඩාව ස‍ඳහා අසුබ ප්‍රවෘත්තියක් වන්නේ නූතන ශිෂ්ටාචාරය සියලු ප්‍රාදේශීය සංස්කෘතීන් යල්පිනූවක් බවට පත්කරන නිසා සහ මෙලෙසින් නූතනත්වයම “සජාතීයකරණයක්” ලෙස ප්‍රකට වන නිසාය. මේ ආකාරයෙන්, කැනේඩියානුවන් තම සංස්කෘතික අනන්‍යතාවයේ සුවිශේෂීභාවය කෙරේ සිත යොමුකර ඇත්තේ එම අනන්‍යතාවය බොහෝ කැනේඩියානුවන් යහපත් යැයි සිතන යමක් මඟින් අනතුරේ හෙලන විටදීමය. “අවදානම පවතින්නේ කැනඩාව ශක්තිමත් එක්සත් ජාතියක් බවට පත්වේද? එසේත් නැතහොත් සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සංධානයක් බවට පත්වේද?” යන්න අතර බව තර්ක කරමින් පියරේ ටෲඩෝ තවද කැනඩාවේ පිහිටීම පිළිබඳ ඉතාමත් විවෘත දෘෂ්ටියක් ගන්නා බව පෙනේ. “සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානය” යන්නෙන් කියැවෙන්නේ නූතනත්වය සහ සජාතීයකරණය පිළිබඳ බව සත්‍යයක් වන අතරතුරේදී ද, ටෲඩෝ කැනඩාවට තෝරාගැනීමට හැකිය සහ විකල්පයක් තිබේය යන භව්‍යතාවය පිරිනමන බව පෙනේ. එම විකල්පය “ශක්තිමත් එක්සත් ජාතියකි”: ශක්තිමත් යන්න, යුරෝපයේ දරුවකු වීමෙන් හා එක්සත් ජනපදයේ අසල්වැසියකු වීමෙන් හිමිවන්නේ යැයි පෙනීයන අන්තරායට ලක්විය හැකිබව තිබියදී පවා; එමෙන්ම එක්සත් යන්න, තනි තනි වාසයන් දෙකකට වඩා බාගවිට බද්ධ වූ නිවුන් දරුවන් දෙදෙනෙකු හා වඩා සමීප වන අභ්‍යන්තර තත්ත්වයක් තිබියදී පවාය.

ගවේෂණය කිරීමට අවශ්‍ය ආතතියක් මෙහි ඇත: තියුණුව පිහිටුවන ලද විකල්පයන් අතර තෝරාගැනීමක් ටෲඩෝ කැනේඩියානුවන්ට පිරිනමන බව පෙනී යන අතරතුර තෝරාගැනීමක් තිබේය යන එම යෝජනාවම, ග්‍රාන්ට් විසින් කැනඩාව සඳහා ඇති තර්ජනය ලෙස සැළකූ නූතනත්වයේම ප්‍රකාශයට පත්වීමක් ලෙස සලකා බැලීමට ඉඩ ඇත. මෙය සත්‍ය නම්, එවිට ටෲඩෝගේ වාචිතය ට පදනම් වන අදහස — අනාගතයක් සහ සාමූහික ජීවිතයේ ආකාරයක් තෝරාගැනීමේ ලා අප නිදහස්ය යන අදහස — සහ එයින් නම් කෙරෙන විකල්පයන්ගෙන් වඩා අඩුවෙන් අවධාරණය කෙරෙන විකල්පය, එනම් ශක්තියෙන් සහ ඒකත්වයෙන් ඉවතට හැරීයාමක් නියෝජනය කරන එම සාප්පු සංකීර්ණයන් – මනාපය සහ තෝරාගැනීම පිළිබඳ නියම සංකේතයන් – සඳහා මනාප විය හැකි බව අතර, අපූර්ව සාම්‍යයක් ඇත. මින් යෝජනා කෙරෙන්නේ ටෲඩෝගේ වචන නූතනත්වයේ ආකෘතියෙන් පිටත ඇති සුරක්ෂිත ස්ථානයක සිට හඬනගා නැති බවත් ඒ වෙනුවට සාමූහික අනාගතයන් විකල්ප ස්වරූපයන් ගත හැකිය යන එහි විශ්වාසයට කැපවී ඇති බවත් ය: ටෲඩෝ කරන්නේ තෝරාගැනීමක් කළ හැකිද යන ප්‍රශ්නය පිළිබඳ ආස්ථානයක් ගැනීමට වඩා එම ප්‍රශ්නයට පිළිතුරු සපයා ඇත යන්න පූර්වයෙන් අඟවන උපදේශයක් දීමකි.

කෙනෙක් ග්‍රාන්ට්ගේ අ‍ඳෝනාවට එක් වුවත් නැතත්, දැන් සංස්කෘතික අනන්‍යතාවයේ සමකාලීන නියෝජනයන් සහ එහි “ගැටලු” පිළිබඳ කල්පනා කර බැලීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔහුගේ මතක් කිරීම මෙහි ඇත. ඇත්ත වශයෙන්ම, ග්‍රාන්ට් සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳ සමකාලීන කතිකාව තවමත් අනාවරණය කර ගැනීමට ඇති යම් ගැඹුරු ප්‍රපංචයක (නූතනත්වය) ප්‍රකාශයට පත්වීම් වල හෝ නියෝජනයන්ගේ රඟදැක්වීම ලෙසින් සළකයි; ඔහු, අවධානයේ යොමුව, තරඟකාරී පැහැදිලි කිරීම් අතර විනිශ්චය කිරීමේ සිට, ඒවා විවිධාකාරයෙන් නියෝජනය කිරීමට අපේක්ෂා කරන එම දෙය කුමක්ද යන්න ඇසීම දක්වා මාරුකරයි. කැනඩාවට හිමි ස්වරූපය විස්තර කරන බව පෙනීමට ඉඩ ඇති හෝ එසේ ඉඩ නැති ගුණාංගයන්ගේ වට්ටෝරුවක් ග්‍රාන්ට් අපේක්ෂා නොකරනු ඇති නමුත් නූතනත්වයේ පර්යාලෝකය ඇතුළත සංස්කෘතික අනන්‍යතාවය කුමක් සංඥාකෘත කරනු හැක්කේ ද යන්න ඇසීමට අපට බලකරනු ඇත. ඉතින්, කැනඩාව තේරුම් ගැනීමට නම් පළමුව නූතනත්වය තේරුම් ගැනීම අවශ්‍ය බව, සංස්කෘතියක අනන්‍යතාවයේ විවිධ සමකාලීන පිටපත් පැන නැගීම සළසන නූතනත්වයේ සිහිනය කුමක්ද යන්න ඇසීම අවශ්‍ය බව ග්‍රාන්ට් අපට කියයි. එසේ නැතහොත්, සංස්කෘතික අනන්‍යතාවය ප්‍රජාවේ අවලෝකනයන් සහ ස්වයං විග්‍රහයන්හිදී වර්තමානයේ ප්‍රකාශයට පත්වන්නේ කුමන වාග්මාලාව තුළද ඉන් ඉවතට හැරී එවැනි නියෝජනයන් අභිප්‍රේරණය කෙරෙන එම සිහිනදැකීම් සඳහා ප්‍රමාණවත් වන භාෂාවක් සොයා යාමටත් ග්‍රාන්ට් දැන් අපෙන් ඉල්ලා සිටියි.

මෙය කිරීම, එනම් තර්කයේ පදනම් සපයන්නේ නූතනත්වය වන හෙයින්, සංස්කෘතික අනන්‍යතාවය එහි වැටැහියාව සඳහා නූතනත්වය වෙත අපගේ අවධානය යොමු කිරීම අපගෙන් ඉල්ලා සිටින ප්‍රපංචයක් ලෙස සිතාගැනීම, අපට, සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳ කතිකාවේ සමකාලීන කොන්දේසිවලට ප්‍රතිරෝධය දැක්වීම පවරනු ඇත. ප්‍රතිරෝධය දැක්වීම යනු නොසළකා හැරීම නොවන බව නොකිවමනාය. මෙම ලිපියේ පසුව එන බොහෝදේ එවැනි කතිකාවකට සමීප අවධානය යොමුකරන්නේ එය විසින් අමතනු ලබන ප්‍රපංචය විස්තර කිරීමේ උනන්දුවෙනි.

සම්ප්‍රදාය සහ වෙනස්වීම

ග්‍රාන්ට්, කැනඩාවට අහිමි වී ඇති හෝ අහිමි වෙමින් තිබෙන්නේ යැයි ඔහු සිතන දෙය දෙස ආපසු හැරී බලයි. ටෲඩෝ තවමත් ඉෂ්ටසිද්ධවීමට ඇති අනාගතයක් සඳහා සූදානම් ව සිටින, ඒ නිසා බාගවිට බලපෑමට විවෘත ව සි‍ටින කැනේඩියානුවන් ට කතා කරයි. සෑම ප්‍රජාවක්ම ඉතිහාසය තුළ ගිලී ඇති බැවින් එහි වර්තමානය තේරුම්ගැනීම සහ හැඩගැස්වීම උදෙසා ආපසු මෙන්ම ඉදිරියද බැලීම අවශ්‍ය බව ඔවුහු දෙදෙන එක්ව අපට සිහිපත් කරති. එසේ වුවත් එවැනි ස්වයං – අවලෝකනයක් කිරීම බාරගැනීම සම්බන්ධයෙන් ප්‍රජාව දෙගිඩියාවෙන් සිටීමට සහ කාංසාසහගත වීමට ඉඩ ඇත යන එම ආනුභවික භව්‍යතාවයද ඔවුහු අපගේ අවධානයට යොමුකරති. නූතනවාදී කතිකාව තුළ “සම්ප්‍රදාය” යන්න මාතෘකාවක් ලෙස, අතීතයේ බලපෑම බරපතළ ලෙස සීමාකිරීමේ හෝ නැතහොත් එහි අඛණ්ඩ පැවතීම තර්ජනයක් – ප්‍රගතියට, නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් – ලෙස විස්තර කිරීමේ ලා මහත් උනන්දුවක් කැඳවයි. අනෙක් අතට “විප්ලවය’ යන්න, අනාගතය [අපට අවශ්‍ය දෙයක් ලිවිය හැකි] පිරිසිදු පුවරුවක් ලෙසින්, වර්තමානයේ අධිෂ්ඨානයට අනුව අතීතයේ සියලු අයුක්තීන් මුලිනුපුටා දමන සහ එහි සියලු අසමර්ථතා නිවැරදි කරන ස්ථානය ලෙසින්, නූතනත්වය විසින් විශ්වාස කිරීම පිළිබඳ සඳහන් කරයි. මෙසේ සියලු යහපත උපදින්නේ අනාගතයේ හෙයින් නූතනත්වය ඊට සහයෝගය දීමට වඩා කැමැත්තෙන් සිටියි, එයට අමතක කර දැමිය නොහැකි නම්, අයුක්තියේ සහ අසමර්ථතාවයේ භව්‍යතාවය නිරන්තරයෙන් මතකයට නගන කරුණක් වශයෙන් පමණක් පවතින තමන්ගේම ඉතිහාසයෙන් එය වෙන්වීමට උත්සාහ කරයි.

ඇත්ත වශයෙන් නූතනත්වය දැනට වාදපිට පවත්නා මූලකෘති පිළිබඳ මතිය වැනි අතීතය පිළිබඳ වෙනත් ඕනෑම ආකාරයක උනන්දුවක් හෝ ඇගයුමක් පාරභෞතික ලෙස දකියි: අතීතය මියගොස් ඇති අතර (නූතනත්වය යථාර්ථය වටහා ගන්නා අයුරින්) යථාර්තයක් නැත. කෙසේ නමුත්, නූතනත්වය පරම ලෙසින් විශ්වාස කරන දේ වන්නේ අනාගතයේ, සහ එම අනාගතය ලියා දැක්වීමේ ලා එයම සතු තාක්ෂණික බලයන්ගේ, යථාර්තය යන දෙකම වේ.

එතකුදු, අතීතයේ අතීතභාවය, වරක් අප සතුවූ දේ අපට අහිමිවූවා විය හැකිය යන භව්‍යතාවය මතුකරන තාක් දුරට සහ අනාගතය ආනුභවිකව නොපැමිණීම මේ දක්වා පැවැත්මට නොපැමිණ ඇති දෙයෙහි සංතෘප්තිය කල් දමන හෙයින්, කාලිකත්වය දෙසට වන මෙම නැඹුරුවීමත් කාංසාවේ හේතුවකි. සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳ වන සැළිකිලිමත්වීමකදී මෙම කාංසාව ගැන මෙනෙහි කෙ‍ාට ඇති ආකාරය ක්‍රේග් බොයිඩෙල් සහ අනෙකුත් අය මනාව ප්‍රකාශ කරති.

කැනේඩියානු අනන්‍යතාවය පිළිබඳව සැලකිල්ල නවමු එකකට වඩා චිරකාලික එකකි. වර්තමාන සැළකිල්ල මූලික වශයෙන් ප්‍රකාශයට පත්වන්නේ කැනඩාව ඇගේ අනන්‍යතාවය, අහිමිකරගැනීම හෝ පවත්වාගෙන නොයෑමේ අනතුර, වෙනත් ජාතික අස්තිත්වයන්ගෙන් වෙන්වූ, විශේෂ සහ ස්වාධීන අස්තිත්වයක් වීම පිළිබඳ ඇගේ හැඟීම ආශ්‍රයෙනි. එතරම් ව්‍යාප්තව නොපවතින තවත් දෘෂ්ටියක් වන්නේ ඇයගේම අනන්‍යතාවයක් සැබැවින්ම වර්ධනය කරගැනීමේ ලා කැනඩාව අපහසුතාවයක ඇතිව සිට ඇති බවය.

මේ දක්වා මම තර්ක කිරීමට උත්සාහ කර ඇතිදේ වන්නේ කැනඩාවේ සංස්කෘතික අනන්‍යතාවය පිළිබඳ වර්තමානයේ පවතින පුළුල් ව්‍යාප්ත දෙගිඩියාව සහ සැලකිල්ල කැනඩාවේ බාහිර කොන්දේසි සහ වාතාවරණයන්ගේ හුදු ප්‍රතිබිම්බයක් වනවාට වඩා මෙම කොන්දේසි නූතනත්වයේ කාචයන් තුළින් කියවීමේ ආකාරයක් වන බවයි.

ඉතිහාසයේ තැන සහ වර්තමානය මත එහි බලපෑම පිළිබඳ වඩා යහපත් දෘෂ්ටියක් සහ එහෙයින් සංස්කෘතික අනන්‍යතාවයේ මුළුමනින්ම වෙනස් ප්‍රකාශනයක භව්‍යතාවයද සොයා යාම මෙලෙස ලියන ගැඩමර් තුළින් කෙනෙකුට ඇරඹිය හැකිය:
ඉතාම අව්‍යාජ සහ ස්ථීරසාර සම්ප්‍රදාය පවා, වරක් පැවති දෙයක ඇති අකර්මකතාව නිසා, ස්වභාවයෙන්ම නොකඩවා පවතින්නේ නැත. එය තහවුරු කරනු ලැබීමට, වැළඳගනු ලැබීමට සහ වගාකරනු ලැබීමට අවශ්‍යය. එය ප්‍රධාන වශයෙන්ම, සියලු ඓතිහාසික වෙනස්වීම් තුළ සක්‍රීයව තිබෙන්නා වැනි වූ සංරක්ෂණය වේ ……. සංරක්ෂණය යනු විප්ලවය සහ ප්‍රතිස්ථාපනය මෙන් නිදහසේ තෝරා ගත් ක්‍රියාවකි.

බොහෝවිට ඉතිහාසය මියගොස් යැයි පෙන්නුම් කරන සහ එහෙයින් සම්ප්‍රදායේ නොකඩවා පැවැත්ම එක්තරා ආකාරයක අකර්මකතාවක් ලෙස විස්තර කිරීමේ හැකියාවක් පමණක් ඇති, සමකාලීන දේශපාලන සහ සමාජ චින්තනය තුළ පුළුල්ව ව්‍යාප්ත සම්ප්‍රදායේ ශේෂය පිළිබඳ දැක්ම ගැඩමර් මෙහිදී ප්‍රතික්ෂේප කරයි. මෙම ප්‍රතිරූපය අනාවරණය කරන දෙය සම්ප්‍රදාය නොව නූතනත්වය බව ගැඩමර් අපට පෙන්වා දෙයි. මෙසේ ගැඩමර් සම්ප්‍රදාය සඳහා ඇති වර්තමාන එදිරිවාදීත්වය ප්‍රතික්ෂේප නොකරන අතර එසේවුවත් අකර්මකතාව වැනි එවැනි මතයන් හුදු විස්තරාත්මක නොව වර්තමානය පාරිශුද්ධකිරීමක් අරමුණු කළ නූතනත්වයේ එම සුවිශේෂී කාර්යයේ නිෂ්පාදිතය බව පෙන්නුම් කිරිමෙන් එහි අර්ථය පිළිබඳ මනා අවබෝධයක් පිරිනමයි. සම්ප්‍රදාය කෙරේ ඇති සමකාලීන නිෂේධක ආකල්පය වනාහී, අවතාරයක් වැනි වස්තුවක් ලෙසින් සම්ප්‍රදායේ ස්වභාවික තත්ත්වය අනිවාර්යයෙන් ප්‍රකාශනයවීම නොව, ඊට වෙනස්ව, අනාගතය පිළිබඳ, එනම් නිදහසේ ස්ථානය ලෙස අනාගතය පිළිබඳ එක්තරා (සුවිශේෂ) වටහාගැනීමක ලා නූතනත්වය කරන ආයෝජනයේ ප්‍රකාශනයවීම වේ.

මෙලෙස ගැඩමර්, තම සම්ප්‍රදායයන් වැළඳගන්නා සහ තහවුරු කරගන්නා ප්‍රජාවක් සහ ඒවා නොසළකා හැර ඉවත දැමීමට (මෙයම, මර්ධනය මෙන්, සංරක්ෂණයේ ආකාරයකි) ප්‍රයත්න දරණ ප්‍රජාවක් අතර වෙසෙසිකොට දැකීමට මඟ හෙළිපෙහෙලි කරයි. මෙම විශිෂ්ඨතාවයේ අදාළත්වය පැහැදිළිය: ප්‍රජාවක් එහි ඉතිහාසය සහ එහි සම්ප්‍රදායයන් වගා කරන ආකාරය තුළින් තමා කවරෙක්දැයි පෙන්නුම් කරයි. මේ නිසා සංස්කෘතික අනන්‍යතාවය යනු තත්ත්වයන්ගේ හුදු හට ගැනීම ම නොවේ, ඉතිහාසයේ හෝ වට‍ාපිටතත්වයන්ගේ තනිකර ආනුභවික ප්‍රතිඵලයක්ම නොවේ. එය, ඊට වෙනස්ව එක්තරා ප්‍රමාණයකට තමාගේම තත්ත්වය කාලීන ප්‍රපංචයක් ලෙස අවලෝකනය කිරීම තුළින් ප්‍රජාවක් ඉටුකිරීමට කැමතිව සිටින එක්තරා ආකාරයක කාර්යයක නිෂ්පාදිතය වේ. මෙහිදී ඉල්ලා සිටින කාර්යයට අපට “පරිකල්පනය” යැයි කිව හැකිය. පරිකල්පනය සාම්‍යයට වඩා වෙනස සමග මිතුරු වන හෙයින්, (කැනේඩියානු සිත යොමුවීමක් සඳහන් කරන්නේනම්) අනන්‍යතාව යන්න අසල්වැසියන්ගෙන් වෙනස් වූ සුවිශේෂත්වය ලෙස වටහාගන්නා ප්‍රජාවකට පිරිනැමීමට යමක් එය සතුව තිබෙන බව පෙනේ. එසේ වුවත්, විරුද්ධාභාෂීය ලෙසින්, මහජන ජීවිතය තුළදී පරිකල්පනයට ප්‍රමුඛ ස්ථානයක්දීමට නූතනත්වය මැළිවන්නේ නූතනත්වය සාම්‍යත්වය ලෙසින් වටහාගන්නා (සහ දිරිගන්වන) සමාජීය සමානාත්මතාවය පරිකල්පනය විසින් පෙරළා දමනු ඇතැයි යන බියෙන්.

සජාතීයකරණයේ අනතුර හටගන්නේ හුදු යා බැඳි බව තුළින්, අසල්වැසියන්ගේ බලපෑමෙන් නොව පරිකල්පනය ක්‍රියාවේ යෙදවීමට නූතනත්වයේ ඇති අරුචිය තුළිනි. මේ නිසා, මෙම සජාතීයකරණයේ මූලයන් යමෙකු සොයා යා යුත්තේ ප්‍රජාතාන්ත්‍රික සමාජයක් සඳහා උචිත ප්‍රමිතිය ලෙස සාම්‍යත්වය තුළ තබා ඇති විශ්වාසයක් සමග බැඳි, පරිකල්පනය සම්බන්ධයෙන් ඇති සැකය තුළ ය. කෙටියෙන් කිවහොත් නූතනත්වයේ විරුද්ධාභාෂය වන්නේ එය වෙනස සඳහා මහත් ඇල්මෙන් සිටින අතරතුර සාම්‍යත්වය පෝෂණය කිරීමයි. එය සතු අපහසුතාවය වන්නේ එකම විට දෘෂ්ටිවාදී විකෘතියේ හෝ ප්‍රභූවාදයේ මූලාශ්‍රයක් නොවන වෙනසේ ප්‍රභවයක් පරිකල්පනය කිරීමට එයට නොහැකිවීමයි.

නූතනත්වයට අනුව, කලාව සහ පරිකල්පනයේ ඇති වරද වන්නේ ප්‍රමිතිය වශයෙන් ඒවා ආනුභවික සහ විස්තරාත්මක දෙයින් වෙනස්ව ක්‍රියාකිරීම සහ එහෙයින් ආකස්මිකවීමේ අවදානම දැරීමය. එහෙයින් ඒවා සියල්ලන්ටම දෘෂ්‍යමාන වන එදිනෙදා ලෝකයේ කරුණු තුළ පදනම්වී හෝ ඒවා මගින් පාලනය කරනු ලබන්නේ හෝ නොමැත්තේය යන හේතුවෙන්, සාමාහිතික නොවන බැවින් ඒවා තමන්ම වගකීම් සහගත නොවන බව පෙන්නුම් කරයි.

පරිකල්පනාත්මක වීමට නූතනත්වයේ ඇති මැළිකම

“රටක් එම රටේ මිනිසුන්ට සැබෑ නිවහනක් වීමට පෙර කලාවක් වැඩී මල්ඵල දැරිය යුතු” යැයි වරක් ලෝරන් හැරිස් ලියුවේය. හැරිස් පිළිබඳ නිර්ලෝභී අර්ථකතනයකින් මෙය ඇසී යනු ඇත්තේ හුදු භූගෝලය — “රට” — සහ පරිකල්පනයේ ක්‍රියාවන් තුළින් රටකින් තනා ගත හැකි යම් දෙයක් එනම් “සැබෑ නිවහනක්” අතර අත්‍යවශ්‍ය විශේෂතාවයක් දක්වන ලෙසිනි. “සැබෑ” නිවහනක් යනු සරල, ස්වභාවික ප්‍රපංචයක් නොව කලාවෙහි දක්ෂ, පරිකල්පනාත්මක නිර්මාණයක් බව මෙය අපට පවසයි; හුදු ජීවිතය පවත්වාගෙන යන සහ නඩත්තුකරන ස්ථානයකට වඩා, එය අනන්‍යතාවක් වගාකරනු ලබන ස්ථානයකි; මෙලෙසින් ග්‍රාන්ට්ට අනුව නූතනත්වයේ තර්ජනයට ලක්වන ප්‍රාදේශීය සහ සුවිශේෂ දේ නියෝජනය කරන ස්ථානයද එයවේ. සැබෑ නිවහනක් වන ප්‍රජාවක්, පවත්නා තත්ත්වයන්ගේ උද්ගතයන් ලෙසින් නොව එම ප්‍රජාව අහඹු දේ වගාකරගැනීමේ සහ තහවුරුකරගැනීමේ ප්‍රතිඵලය ලෙසින් තම සුවිශේෂතාවන් සම්බන්ධයෙන් ආඩම්බර වෙයි. තමන් සතු දේ සහ භව්‍යතාවයන්ගේ අහඹු එකතුවකට වඩා වැඩි කිසිවක් වීමට ආරම්භයේදී ඉඩ නොතිබුණු දෙයින් “නිවහනක් තනාගැනීම” ගැන අප කතාකරන්නේ මේ අරුතෙනි; නිවහනක් තනාගැනීම යනු, කෙනෙකුට එය කුමන ආකාරයෙන් ලැබුණද, කෙනෙකු සතු දේ තහවුරු කර ගැනීම සහ වර්ධනය කර ගැනීමයි.

හැරිස්, කැනඩාව – එයට අහිමි වී ඇති දෙය පිළිබඳ අවිනිශ්චිත, හා එය ප්‍රාර්ථනා කරන දේ පිළිබඳ ඒ හා සමානවම අවිනිශ්චිත – අන්තරයක වාසය කරන්නේය යන්න අරමුණු කෙරෙන බොයිඩ්ල්ගේ ශෝකපීඩිත වචන තුළ අත්හැරුණු යමක් සලසා දෙන්නේය. සියල්ලටම වඩා, බොයිඩ්ල්ගේ දැක්ම අනුව, අතීතය නැවත සදාගත නොහැකි හෙයින්, කැනඩාවට කළහැකි හොඳම දේ වන්නේ අහම්බයන් එන යන විට සහ අනාගතය වර්තමානය ලෙසින් ඉෂ්ට සිද්ධ වනවිට, කුමක් මතුවනු ඇත්දැයි බලා සිටීමයි. හැරිස් – ගැඩමර් ප්‍රතිරාවය කරමින් – පැහැදිළි කර දෙන දෙය වන්නේ අව්‍යාජ සහ ශක්තිමත් සංස්කෘතික අනන්‍යතාවක් යනු භෞතික විද්‍යාවේ නියාමයන්ට සාදෘශ්‍යව ගත් කළෙක මෙන් එය අනන්තර වටපිටාවේ තත්ත්වයන් හුදු පරාවර්තනය කරන යමක් නොව, කලාව සහ පරිකල්පනය එනම් වගා කිරීම සහ තහවුරු කර ගැනීම අවශ්‍ය කෙරන යමක් බවයි. කෙනෙක් ටෲඩෝගේ සංලක්ෂ්‍යයන් උත්ප්‍රාසාත්මක ලෙසින් අසන්නේ නම් ටෲඩෝ කියන පරිද්දෙන් මෙන් ඔහුට ඇසෙනු ඇත්තේ කැනේඩියානුවන් ඔවුන්ගේ සමාජ ලෝකය පිළිබඳ ලෞකික හැඟීම අනුගමනය කළහොත් — එනම් ඔවුන් පරිකල්පනාත්මක නොවේ නම් – – තම ස්වයංසාක්ෂාත්කරණය එහි සාප්පු සංකීර්ණයන් දක්වා සිටින දෙය තුළ පමණක් සොයාගනු ඇති රටක් ඔවුන්ට ලැබෙනු ඇති බවය. මීට වෙනස්ව, ශක්තිමත් ජාතියක් මතුවිය හැක්කේ තහවුරු කර ගැනීමේ සහ වගා කිරීමේ කටයුතු තුළිනි, තවද මෙය කිරීමට බාරගනු ඇත්තේ එබඳු කටයුතු එයම වශයෙන් අගය කළ හැකි සහ අභිමත ලෙසින් තහවුරු කරගන්නා ප්‍රජාවක් විසිනි.

ගැඩමර් සහ හැරිස් තුළ පොදුව දැකිය හැකි සහ බොයිඩ්ල් තුළ හිඟ දෙය නම් හුදෙක් සිදුවන දෙය හෝ තත්ත්වයන් මගින් සළසාලනු ලබන දෙය හැර අන් යමක්, වටිනා යමක්, නුවණින් සැළකීමට ඇති පරිකල්පනාත්මක ශක්‍යතාවයයි. මෙසේ කීම කලාව සහ පරිකල්පනය මත විශ්වාසය තැබීමට නූතනත්වයේ ඇති අකමැත්ත සහ කෲර පාලනයේ සහ ප්‍රයෝගයේ ගම්‍යමානයන්ද සමඟින් ඒවා “අලංකාරිකය” ලෙස ගොඩ ගැසීමට එහි ඇති සූදානම නැවතත් අනාවරණය කිරීමකි. නූතනත්වයට අනුව, කලාව සහ පරිකල්පනයේ ඇති වරද වන්නේ ප්‍රමිතිය වශයෙන් ඒවා ආනුභවික සහ විස්තරාත්මක දෙයින් වෙනස්ව ක්‍රියාකිරීම සහ එහෙයින් ආකස්මිකවීමේ අවධානම දැරීමය. එහෙයින් ඒවා සියල්ලන්ටම දෘෂ්‍යමාන වන එදිනෙදා ලෝකයේ කරුණු තුළ පදනම්වී හෝ ඒවා මගින් පාලනය කරනු ලබන්නේ හෝ නොමැත්තේය යන හේතුවෙන්, සාමාහිතික නොවන බැවින් ඒවා තමන්ම වගකීම් සහගත නොවන බව පෙන්නුම් කරයි.

මීට වෙනස්ව, හැරිස් සහ ගැඩමර් ගෙනහැර දක්වන ස්ථාවරය වන්නේ, නිරවද්‍යයෙන්ම, ශක්තිය පැළ පදියම්ව ඇත්තේ යමක් “මල්පල ගනු ඇති” සහ සංරක්ෂණය නමැති සාධානීය ක්‍රියාව සඳහා වටිනු ඇති පරිද්දෙන් අවදානම් ගන්නා තැන බවයි. මේ නිසා වටපිටාවේ තත්ත්වයන් දිළිඳු නම් හෝ නැතහොත් ඒවායින් උපකාරයක් නැතිනම් කිසිම සංස්කෘතික අනන්‍යතාව ක් — අවම වශයෙන් කිසිම ප්‍රයෝජනවත් සංස්කෘතික අනන්‍යතාවක් — ප්‍රකාශයට පත්වීම විය හැකි හෝ වනු ඇති බව ඔවුහු ප්‍රතික්ෂේප කරති. හැරිස් අප මතකයට ගෙනෙන දෙය නම් සංස්කෘතික අනන්‍යතාව යනු, කලාව මෙන්ම, හරියටම, වටපිටාවේ තත්ත්වයන් තිබියදීත් ඒ නොසලකා නිපදවෙන එක්තරා දෙයක් බවයි. මේ නිසා කලාවක් හෝ චරිත ස්වභාවයක් නිමැවීමෙහි ලා සාර්ථකවීම යනු, වාසනාවන්තවීම හෝ සතුටුදායක තත්ත්වයන් තිබීම හා සමාන නොවේ. මෙම අවස්ථාවන්හිදී සාර්ථකවීම යනු, කාර්යය කුමන වටපිටාවේ තත්ත්වයන් යටතේ සිදුකිරීමට ඇතත්, විශිෂ්ඨත්වය පිළිබඳ ප්‍රමිතියකට යොමුවීමට හැකිවීමයි: එනම්, අමුද්‍රව්‍ය සහ එම අමුද්‍රව්‍යයන්ගෙන් යමක්, හුදෙක් ඒවායේ “ස්වභාවික” ගුණාංගයන්ම ප්‍රකාශ නොකරන යමක්, තනාගන්නා ආකාරය පිළිබඳ දැනුම අතර පවතින වෙනස පෙනීමට සැලැස්වීමට හැකිවීමයි. “හුදෙක් ‍වෙනස් වනවා වෙනුවට කථනය සහ ක්‍රියාව තුළින් මිනිසුන් ඔවුන්ම වෙසෙසිකොට දක්වති” යනුවෙන් හනා ආරන්ඩ්ට් පවසන විට ඇය අමතන දෙය ස්ථීරවශයෙන්ම මෙයවේ.

කලාව සහ අනන්‍යතාවය වැනි එවැනි ප්‍රපංචයන් ඒවා විස්තරාත්මකව ලබාගත හැකිව තිබෙන ආකාරයෙන් තේරුම් නොගත යුතු බව මෙමගින් ඇය අදහස් කළේයැයි මම සළකමි; සංස්කෘතික අනන්‍යතාව, උදාහරණ වශයෙන් පාෂාණ සහ පාෂිණීධාතු භූ විද්‍යා කාලයේ අවශේෂයක් වන ආකාරයට එක්තරා ආකාරයක ඉතිහාසයේ අවශේෂයක් නොවේ. ආරන්ඩ්ට්ට අනුව කලාව සහ අනන්‍යතාව, මිනිසුන් යහපත සහ ඉෂ්ඨකරගැනීම වටිනා දේ කුමක්ද යන්න සම්බන්ධයෙන් වන ඔවුන්ගේ දැනුම සහ ඒ සඳහා ඇති ඔවුන්ගේ සැළකිල්ල එමගින් ප්‍රදර්ශනය කරන ආකාරයන් වේ. කලාව සහ අනන්‍යතාව යනු අප හුදෙක් වෙනස් කොට දක්වනු ලබන දේ වන අහඹු හිමිකාරත්වයන් නොවන තරම් වේ. ආරන්ඩ්ට්, ප්‍රත්‍යක්ෂ ලෙසින් වෙනස් දේ පිළිබඳ පමණක් නොව වටිනා දේ ලෙසින් ඉෂ්ඨ කරගත් දේ පිළිබඳ ද කතා කිරීමට අපට ඉඩකඩ විවර කරන “වෙසෙසි කොට දක්වනවා” යන්නෙහි ද්විත්ව අර්ථය පිළිබඳ ද විමසා බලයි. මෙම අදහස වැඩිදියුණු කරනු ලැබීම අවශ්‍ය කෙරේ.

ශක්තිමත් සහ එක්සත් ජාතියක් ජීවන විලාශයක් ලෙසින් තෝරාගත නොහැකි බව දැන් පැහැදිලිය, මක් නිසාද ජීවන විලාශය නම් අදහසට අත්‍යවශ්‍ය දේ හරියටම එය සතුව නොපවතින නිසාය. ජීවන විලාශවාදියාට කැපවුනු ජීවිතයක් පිළිබඳ අපෝහකයේ අවදානම ගත නොහැකිය. මන්ද, කුමන ප්‍රතිපලයක් උදාවනු ඇතිද යන්න හෝ එහෙයින්, ඔහු දෘෂ්‍යමාන වනු ඇති ආකාරය ගැන කල් තබා කීමක් නැති නිසාය.

ජීවිතය සහ ජීවන විලාශය

ටෲඩෝගේ නර්මාලාපය මතක නැති නොවන දෙයක් බවට පත් කරන්නේ, එය කේන්ද්‍රයේ එක්තරා ඉලක්කයක් කරා යොමුවන බව පෙනී යාමය. නමුත් එම ඉලක්කය කුමක්ද? පහසු පිළිතුර, මහජන ජීවිතයේ ඉතා චාම් බවින් වැඩි සහ ස්පෘශ්‍ය බවින් අඩු භාණ්ඩ වලට වඩා සාප්පු සංකීර්ණයන්ට වඩා වැඩියෙන් ඇළුණු යමක් වන පාරිභෝගික සමාජය පිළිබඳ අදහස කැඳවනු ඇත. එහෙත් මහජන ජීවිතය සහ දේශපාලනයම පාරිභෝගික සමාජයේ බොහෝ තථ්‍ය සළකුණු වලට හිමිකම් කියන අතර මේ නිසා මෙහි කිසිම අව්‍යාජ ප්‍රතිවිරෝධයක් නැත. එසේ වුවත් මහජන සහ පෞද්ගලික ජීවිතය අතර පවතින වෙනස පිළිබඳ යාතිකාවක් මෙහි ඇති අතර, – ශක්තිමත් ජාතිය සහ ලිහිල් සංධානය ඒ පිළිබඳ ලාංඡනික වන – ඒවා අතර ආතතිය සාකච්ඡාවට සුදුසු වේ.

ප්‍රථම නිරීක්ෂණයක් නම් සාප්පු සංකීර්ණය පිළිබඳ අදහසම මහජන ලෝකය පිළිබඳ සුවිශේෂී වටහා ගැනීමක් තුළින් පැන නඟින බව පෙනී යාම වේ. ප්‍රාරම්භක වශයෙන්, ජීවන විලාශයන් විදහා පෑම සඳහා අවශ්‍ය මෙවලම් සහ ඇඳුම් පැළඳුම් සපයන්නා වන සාප්පු සංකීර්ණය තරම්, ඇළුම් සහ ඒවා ඉටුකර ගැනීමේ සිහින දැකීමෙන් යුක්ත වූ තනි පුද්ගලයා වන පෞද්ගලික තමාට ඉතාමත් සෘජුව කවර හෝ දෙයක් අමතන්නේ නැති බව පෙනී යාමට ඉඩ තිබේ. සාප්පු වලින් මිලදී ගැනීම යනු, සියල්ලම සළකා බැලූ පසුත්, තමා සහ තමා ආශා කරන අනන්‍යතාවය අතර ගණුදෙනුවක් වේ. සාමාන්‍ය වැටහීමට අනුව, සාප්පු සංකීර්ණය විශිෂ්ට ලෙසින් මහජනමය වේ – අන්තර් ක්‍රියාකාරීමය වශයෙන් කියන්නේ නම් එය මහජන ස්ථානයකි, [නමුත්] මහජන යන්න පිළිබඳ හනා ආරන්ඩ්ට් වැඩි දියුණු කරන ලද දෘඪ අර්ථයෙන් (එයට මම ඉක්මනින් හැරී එමි) වෙසෙසි කොට ගත යුතුය. මහජන ස්ථානයක් වශයෙන් සාප්පු සංකීර්ණය පිරිනමන්නේ සමාජශීලීත්වය හෝ සංවාදය නොව සමූහචාරීත්වයයි, එනම්, ජෝන් බ්‍රින්කර්හෝප් ජැක්සන් හොඳින් විස්තර කළ අංග ලක්ෂණය වන අනන්‍යතාවක අමුද්‍රව්‍ය සොයා තම පෞද්ගලික ගවේෂණයේ නිරත බොහෝ දෙනා එකවර පැමිණීමයි “ඉක්මනින් හෝ පසුව හෝ තමන්ගේ වෙන්වූ මාර්ගයන්ගේ ගමන් කරන විෂමජාතීය වූ මහජනතාවක් විසින් හවුලේ භුක්ති විඳිනු ලබන අවකාශීය අත්දැකීමක් ඉන් පිරිනැමේ.” තථ්‍ය ලෙසම දේශපාලන භූමිදර්ශනයක් ලෙසින් ගත් මහජන චතුරස්‍රයෙන් ජැක්සන් මෙය වෙසෙසි කොට දක්වයි, මෙහිදී, මහජන චතුරස්‍රය ට “පැමිණෙන්නවුන් තමන් සියල්ලන් ප්‍රජාවේ සාමාජිකයන්, වගකීම් සහිත පුරවැසියන් බව සහ කලින් කලට ඔවුන් මහජන සාකච්ඡා වලට සහභාගී වනු ඇති සහ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාවට බසිනු ඇති බව දැනටමත් හොඳින් දන්නේය යන්න උපකල්පනය කෙරෙයි.” ජැක්සන් ඇරිස්ටෝටල් ගෙන් පැවත එන දිගුකල් පවත්නා සම්ප්‍රදායක් ඔස්සේ යයි. “මෙහිදී කිසිවක් මිලදී ගනු ලැබීමට හෝ අලෙවි කරනු ලැබීමට ඉඩ නැත” යනුවෙන් ඇගරා හෙවත් මහජන අවකාශය පිළිබඳ ඇරිස්ටෝටල් කියන විට වචනානුසාරයෙන් වනවාට වඩා රූපකානුසාරයෙන් කතා කරන ලෙසින් ඔහුට ඇහුන්කන් දෙනු ලැබීම අවශ්‍ය කෙරෙයි.

කෙනෙක් ජැක්සන්ගෙන් ඉගෙන ගන්නා දෙය නම්, මහජන අවකාශය ශක්තිමත් ජාතිය නිර්මාණය කරන්නේ හෝ නිර්වචනය කරන්නේ නැත යන්නය. මින්, “ඵලදායී” මහජන අවකාශයන් සැලසුම්කරණය සහ භාවිතය පිළිබඳ සමකාලීන සැලකිල්ලට භාජනය වීම් වල වැදගත් කම ප්‍රතික්ෂේප නොවේ, නමුත් එවැනි අවකාශයන් සංකල්පනා ගත කිරීමම මහජන ජීවිතය සැකසෙන්නේ කුමකින්ද යන්න පිළිබඳ ප්‍රජාවක හැඟීම ප්‍රකාශයට පත්කරන බව අපගේම මතකයට කැඳවීමකි, සියල්ලෙන් ඉනික්බිති, සැකය වන්නේ, සාප්පු සංකීර්ණය, සමකාලීන මහජන ජීවිතය කුමක් හා සමාන විය හැකිවේද යන්න පිළිබඳ බලවත් සංකල්පනයක් සම්පූර්ණයෙන්ම ප්‍රකාශනයට පත් කරන්නේය යන්නයි: එනම්, පෞද්ගලික ඇළුම්වල පරිසමාප්තිය සොයා තනි තනි පුද්ගලයන් එක් රැස්වීමයි. ජැක්සන් පවසා සිටින්නේ ශක්තිමත් ජාතියක් ඕනෑම තැනක තම මහජන අවකාශය නිර්මාණය කරගැනීමෙහි ලා සමත් බවය, මක් නිසාද, ශක්තිමත් ප්‍රජාව ට “මහජන” යන්නෙන් සඳහන් කෙරෙන්නේ, — කොහෙත්ම වෙතොත් — එක්රැස්වීම සහ එක්ව පෙනීසිටීමට වඩා, දේශපාලන ප්‍රජාවට එහි ජීවිතය ඇති පථය වශයෙන් හනා ආරන්ඩ්ට් අපගේ අවධානය යොමුකරන මෙම සංකල්පීය අවකාශය ය.

ආරන්ඩ්ට් ට අනුව මහජන ලෝකය යනු “අතර” අවකාශය, කෙනෙක් අනෙකාට පෙනී සිටින නැතහොත් දෘශ්‍යමානවන අවකාශය වේ. නමුත් මෙහි, පෙනී සිටීම හෙවත් දෘශ්‍යමානවීම යන්න, ජීවන විලාශ ආයිත්තම් වලින් සැරසී පෙනී සිටීම සහ ඒවායින් අපගේ ඇල්ම ප්‍රකාශ කොට සිටින්නේ කුමන භූමිකාවටද එම භූමිකාව නිරූපණය කිරීමද හඟවන්නේ නැත. “අතර – භාවය” වියහැකි වන්නේ සහ අර්ථවත් වන්නේ, මහජන පරිමණ්ඩලය එකම විටම අප වෙන්කරමින් සහ සම්බන්ධ කරමින් සහ මෙලෙසින් දේශපාලන ජීවිතය, විය හැකි සහ එමෙන්ම අත්‍යවශ්‍ය ද යන බවට පත්කරමින් අප එකට රැස්කරන නිසාය. මේ නිසා මෙම පරිමණ්ඩලය තුළ පෙනී සිටීම යනු ක්‍රියාවේ ජවනිකාව තුළ විද්‍යාමාන වීම වන අතර ආරන්ඩ්ට්ට අනුව එය ශ්‍රේෂ්ඨත්වයට එයම පෙන්නුම් කළ හැකි ස්ථානය යි. මෙහිදී තමාගෙන් ඉල්ලා සිටින දෙය වන්නේ ඉංගිතියට වඩා සංවාදයට තුඩුදෙන ආකල්පයක් ඇති කරගැනීම වේ. මෙම තමා, ජීවන විලාශයන්ගේ සංඥාර්ථවේදී විදහා පෑම සමග නොව ලෝකය පිළිබඳ සම්භාෂණීය භව්‍යතාවය සමඟ බැඳී ඇත: එහි සුරක්ෂිතභාවය ඇත්තේ එය ප්‍රාරම්භක වශයෙන් නිරූපණය කරන දෙය තුළ නොව සංවාදය ප්‍රයෝජනය සහිතය යන එහි විශ්වාසනීයත්වය තුළය.

මහජන සහ පෞද්ගලික යන්න පිළිබඳ විකල්ප අවබෝධයන්ගේ මෙම කැඳවුම ප්‍රජාව ට තනි පුද්ගලයාගේ ඇති සම්බන්ධය පිළිබඳ ප්‍රශ්නය මතුකරයි. තියුණුව වෙන් වෙන්ව පවත්නා භව්‍යතාවයන් දෙකක් කෙනෙකුට පරිකල්පනය කළ හැක. පළමු වැන්න නම් ශක්තිය සහ අනන්‍යතාව පුද්ගලයා ප්‍රජාවෙන් උකහාගන්නේය යන්නයි. ඒ නිසා ඔහුට ප්‍රජාව යන්න ඒ ප‍ිළිබඳ ඔහු අභිමානය ඇතිකරගන්නා සහ සම්පතක් වශයෙන් පිහිට සොයා යන යමකි. දෙවැනි භව්‍යතාවය නම් තම සාමාජිකයන්ට හිමිව ඇති සහ විදහාපෑමට ඇති ජීවිත සහ අනන්‍යතාවයන්ගේ එකතුවකට වඩා වැඩි යමක් නොවන, මේ නිසාම සංස්කෘතික අනන්‍යතාවය නම් අදහසට අපහසු සම්බන්ධයක් ඇති ප්‍රජාවකි. මෙම අපහසු බව හටගන්නේ එවැනි ප්‍රජාවක් හුදෙක් එහි සැබෑ සවරූපයෙන් පමණක් දැකිය හැකි වන නිසාය, එනම් ප්‍රජාව ජීවනවිලාශයන් ලෙස වටහා ගන්නා එහි අනේකාකාර සාමාජිකයන් ගතකරන කවරාකාරයේ හෝ සුවිශේෂී ජීවන ආකාරයක් තුළ අභිමානය ඇතිකරගැනීමට සහ ඒ සමඟ අනන්‍යවීමට නොහැකි ප්‍රජාවකි, මක් නිසාද එය ඒවා සලකන්නේ ප්‍රකෘතීන්, පරමාණු සහ ප්‍රශ්න කළ නොහැකි සම්භවයන් ලෙස හෙයිනි. සාප්පු සංකීර්ණය මෙන්, එවැනි ප්‍රජාවක ප්‍රධාන සැලකිල්ල ඇත්තේ එය නිදහස හෝ වරණය — බහුවරණය ලෙස කල්පනාවට ගන්නා දේ පිළිබඳ ය, සැබැවින්ම, එහිදී සෑම තේරීමක්ම සමව ලබාගත හැකි සහ පිළිගතහැකි ය.

එය සංස්කෘතික අනන්‍යතාවයේ දෙගිඩියාවන්ට සහ සාංකාවන්ට සම්බන්ධවන්නා හාම, එකල්හි නූතනත්වය, පුද්ගලයා සාමාජිකත්වය තුළ ශක්තිය සොයා ගන්නේය, ගැනීමට ඉඩ ඇත යන භව්‍යතාවය ප්‍රතික්ෂේප කිරීමක් ලෙසින් වටහා ගත හැකිය, මන්ද, ඉතිහාසයට හා සම්ප්‍රදායට ඇති බැඳීමක් මින් හෙළිදරව් වනු ඇති අතර පුද්ගලයා ඔහුගේම අදහස් උදහස් වලට වඩා වෙනත් යමකට ගෞරව කිරීමට අවශ්‍ය බව පිළිගනු ඇති හෙයිනි. දෙවෙනි භව්‍යතාවය ඔස්සේ යමින් නූතනත්වය ප්‍රජාවම සාප්පුසංකීර්ණයක් මෙන්යැයි සැබවින්ම වටහාගනී, ඉන් කියැවෙන්නේ, එය පුද්ගලයාට පවසන්නේ ප්‍රජාව, අවස්ථාවන්ගේ සමාහාරයක්, මනාපයන්ගේ භවනක්, අනාගතයන් සහ අනන්‍යතාවන්ගේ සමෘද්ධිශෘංගයක් බවය. සමාජයක ජීවත්වීම යන්නෙන් අදහස් කරන දෙය පිළිබඳ මෙම හැඟීම ප්‍රකාශනය කිරීමේ සමකාලීන ආකාරය සැබවින්ම, ජීවන විලාශය නම් අදහස මගින් නිවැරදිවම පළකරනු ලබයි. නූතනත්වය යටතේ පරිණතභාවයට පැමිණෙන ඕනෑම ප්‍රජාවකට තර්ජනයක් බවට පත්වන්නේ මෙම බැඳීසිටීම බව තර්ක කළ හැකිය.

නමුත්, පුද්ගල ජීවිතවල හැඩය සහ ප්‍රජාව වෙසෙසි කොට දැක්වෙන අනන්‍යතාව අතර අපහසු සම්බන්ධය කැටි කොට දක්වන්නේ ජීවන විලාශය නම් අදහ‍සෙහි එන කුමකින්ද? ජීවන විලාශය යන්න වඩා හොඳින් තේරුම් ගනු ලබන්නේ බාගවිට අරමුණුවත් ජීවිතයක් යන නමට වඩා හොඳ නමක් නැති විකල්පයකට ප්‍රතිපක්ෂවය. නිවැරදිවම, ජීවන විලාශය තුළ හිඟව ඇති දේ වන්නේ අරමුණ පිළිබඳ කවර හෝ සාර්ගර්භ අදහසක් වන අතර, මෙය සත්‍ය වන්නේ අරමුණුවත් ජීවිතයක් ගත කිරීමට බැඳුනු පුද්ගලයෙක්, වටාපිටාවේ තත්ත්වයන් සමග අරමුණු සහයෝගීවීමෙන් හටගන්නා ජීවිතයට එහි හැඩය, එහි දර්ශනතලයන්, එහි මෙවලම් සහ එහි රංග ප්‍රයෝග — කෙටියෙන් කිවහොත් එහි දෘෂ්‍යමානය මෙසේ විය යුතු යැයි කියා සිටිය නොහැකි බව අවශ්‍යයෙන්ම ඉගෙන ගනු ඇති නිසාය. හුදෙක් අරමුණක් සතුවීම යනු, යහපත් ජීවිතය පිළිබඳ යම් සංකල්පනයක් වෙනුවෙන් ක්‍රියාකිරීමට සහ එම යහපත සාක්ෂාත් කරගැනීම උදෙසා මාධ්‍යය වශයෙන් මෙම වටාපිටාවේ තත්ත්වයන් සැලකිල්ලට ගන්නා මාර්ගයන්ගෙන් ක්‍රියාකිරීමට සූදානම් වීමයි. ශක්තිමත් ඒකාබද්ධ වූ ජාතියකින් කෙනෙක් බලාපොරොත්තු වනු ඇති ආකාරයේ දෙය සැබවින්ම මෙය වේ, එනම්, එය අනාගතයකට ගමන්කරන්නා හාම, එනම් නැවුම් අහම්බයන්ගේ සහ වෙනස්වන වටාපිටාවේ තත්ත්වයන්ගේ කක්ෂය තුළට ගමන්කරන විට එය කුමන ස්වරූපයක් ගනීදැයි එය දන්නේ හෝ දිගින් දිගට සිතන්නේ නැති නමුත්, ක්‍රියාව සිදුවන තැන ලෙසින් කුමක් ඉෂ්ඨසිද්ධ වුවද, තමන් අනුගමනය කරන්නාවූ ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිඵලය සාධනය කරගැනීමට එය දෘඪ ලෙසින් ක්‍රියාකරනු ඇති බව එය දනී.

ශක්තිමත් සහ එක්සත් ජාතියක් ජීවන විලාශයක් ලෙසින් තෝරාගත නොහැකි බව දැන් පැහැදිලිය, මක් නිසාද ජීවන විලාශය නම් අදහසට අත්‍යවශ්‍ය දේ හරියටම එය සතුව නොපවතින නිසාය: ජීවත් වූ අනාගතය අනෙකුත් අයට (සහ එහෙයින් තමාට) පෙනීයනු ඇත්තේ කුමන අයුරින්ද යන්න පිළිබඳ නිමි ප්‍රතිරූපයක් හෝ ප්‍රතිරූප රාශියක් – “රැඟුම් පෙලගැස්ම” යන ජනප්‍රිය වචනය මෙයට යුක්තිය ඉටුකරනු ඇත – මෙය දැනගැනීම, දෘෂ්‍යමානයන්ගේ සංඥාර්ථවේදී අගය දැනගැනීම, කෙනෙක් පරිභෝජනය කරනු ඇත්තේ කුමක්ද සහ පරිභෝජනය කරන්නේ යැයි දකිනු ඇති සහ වටහාගනු ඇති දෙය දැනගැනීම ජීවන විලාශය නම් අදහසේ හදවත වන නිසාය. මෙහි අනන්‍යතාවයේ පිටපතක් ඇති බව කිවමනා නොවේ. කෙනෙක් දෘෂ්‍යමාන වන්නේ කුමන ලෙසින්ද, ඔහු එසේම වනු ඇති අතර, එහෙයින් යමෙකුට විය හැකි දේවල් – ලබාගත හැකි අනන්‍යතාවයන්ගේ පෙළ – වර්තමාන සංඥාර්ථවේදී වාංමාලාව මත රඳාපවතිනු ඇත. ජීවන විලාශවාදියාට කැපවුනු ජීවිතයක් පිළිබඳ අපෝහකයේ අවදානම ගත නොහැකිය. මන්ද, කුමන ප්‍රතිපලයක් උදාවනු ඇතිද යන්න හෝ එහෙයින්, ඔහු දෘෂ්‍යමාන වනු ඇති ආකාරය ගැන කල් තබා කීමක් නැති නිසාය.

අප කවුද? සහ අප කවරෙක්ද? යන්න අප දැනගන්නේ වෙනස් වෙනස් අනන්‍යතාවන්ගෙන් යුතු අනෙක් අය සමග වෙනස්කොට දැකීම (අනන්‍යතාවය පිළිබඳ සොසිරියානු සංකල්පන ආකාරයක්) තුළින් බව එය යෝජනා කරන බව පෙනෙන්නේය, යන හේතුවෙනි : කතාවට කියන පරිදි අප කවුරුන්ද යන්න අනෙකුත් අය විසින් පරිභෝජනය කරනු ලබන අතර ඔවුන් පරිභෝජනය කරන්නේ යැයි වටහා ගනු ලැබූ දෙය බවට පත්වීමට අපි ආශාකරමු. …………..රූපකාලංකාරයෙන් කථාකරන්නේ නම්, නිවහනේ සිටින විට තමා කවුදැයි සොයාගැනීමට පිටරට යෑම අවශ්‍ය කෙරේ.

නිගමනය
සංස්කෘතික අනන්‍යතාවය ගැටළුකාරීවන ආකාරය සහ ප්‍රථමකොටම එය සැලකියයුතු ප්‍රපංචයක් බවට පත්කෙරෙන්නේ කුමන දෙයකින්ද යන ප්‍රශ්නය මේ දක්වා මම නගා නැත. සංස්කෘතික අනන්‍යතාවය, අරමුණුවත් ජීවිතයක් සහ ජීවන විලාශය අතර මා දැක්වීමට උත්සාහ කරන ලද වෙනසට අනුරූපී වන චිත්ත ස්වභාවයන් දෙකක් තුළ අවලෝකනය කළ හැකිය. නිසැකවම, අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය නැගීමේ එක් මාර්ගයක්, ප්‍රජාවන්ගේ ප්‍රජාව තුළ ප්‍රජාව ට ඇති තැන – කැනේඩියානුවීම අනෙක් අය තේරුම් ගන්නේ කෙසේද, එනම්, ඇමෙරිකානු හෝ යුරෝපීයවීමට ප්‍රතිපක්ෂව කැනේඩියානුවීමේ කීර්තිය – පිළිබඳ සැලකිල්ලට අදාල වෙයි. ජීවන විලාශය නම් අදහසට සමාන කොට දැක්විය හැක්කේ සංස්කෘතික අනන්‍යතාවයේ මෙම පිටපත ය, ඒ, අප කවුද? සහ අප කවරෙක්ද? යන්න අප දැනගන්නේ වෙනස් වෙනස් අනන්‍යතාවන්ගෙන් යුතු අනෙක් අය සමග වෙනස්කොට දැකීම (අනන්‍යතාවය පිළිබඳ සොසිරියානු සංකල්පන ආකාරයක්) තුළින් බව එය යෝජනා කරන බව පෙනෙන්නේය, යන හේතුවෙනි : කතාවට කියන පරිදි අප කවුරුන්ද යන්න අනෙකුත් අය විසින් පරිභෝජනය කරනු ලබන අතර ඔවුන් පරිභෝජනය කරන්නේ යැයි වටහා ගනු ලැබූ දෙය බවට පත්වීමට අපි ආශාකරමු. ජීවන විලාශ පර්යාලෝකය ඇතුළත ජීවිතයේ සාරය තේරුම්ගත හැකි සහ පරිභෝජ්‍ය බවට පත්කරන්නේ මෙම පෙළගැසීම සහ තේරීම වන නිසා, පෙළගැසීමකින් තෝරා ගන්නා ලෙසින් තමාවම දැකීමට ජීවන විලාශවාදියාට අවශ්‍යවන්නා සේ , මෙම මානසික රාමුව තුළින් සංස්කෘතික අනන්‍යතාව වෙත එළඹෙන කෙනා, රූපකාලංකාරයෙන් කථාකරන්නේ නම්, නිවහනේ සිටින විට තමා කවුදැයි සොයාගැනීමට පිටරට යෑම අවශ්‍ය කෙරේ.

නමුත් සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ සිතාබැලීමේ විකල්ප චිත්ත ස්වභාවය, සංස්කෘතික අනන්‍යතාව සංකේතයක් නොව සම්පතක් ලෙසින් කෙනෙකුට සිතීමට හැකි මාර්ගයක් වේද ඊට ආමන්ත්‍රණය කරයි. ශක්තිමත් සංස්කෘතික අනන්‍යතාවයක් එවිට තමා පෝෂණය කරනු ඇති අතර පුරවැසියන් සැකසීමේ ක්‍රියාදාමයට ඇතුළුවී අභිමානය සහ පක්ෂපාතී බව ඇතිකරනු ඇත. නූතනත්වය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති ස්වයං – අවබෝධයේ ආකාරය තුළ අපි දෙගිඩියාවෙන් සිටින්නේ යම් දේ සම්බන්ධයෙන් ද එම දේ අභිමානය හා පක්ෂපාතීභාවය බව පෙනේ. ඒවායින් ඇඟවෙන්නේ සුවිශේෂ දේ පිළිබඳ, සීමාසහිත දේ පිළිබඳ සහ එලෙසින් – කියනු ලැබේ – දෘෂ්ඨිවාදය පිළිබඳ ය. නූතනත්වය, මගින් පොරොන්දු වූ පරිදි, ප්‍රබුද්ධත්වය, විශ්වීයභාවය සඳහා එහි ඇති තල්ලුව තුළදී “ගතානුගතික” යැයි එය නම් කරන හුදු නිෂේධක ස්ථාවරය ලෙසින් එය සිතන දේ, එනම් මෙම සංදර්භය තුළදී කෙනෙකුගේ ප්‍රභවයන් සමඟ සංතෘෂ්ඨියට පැමිණීම වැනි යමක් ඇඟවිය යුතු වූ දේ, සම්බන්ධයෙන් සැක කරන සුළුය.

නූතනත්වය තුළදී සංතෘෂ්ඨිය සැක කරනු ලබන්නේය, මන්ද, අප කවුරුන් වන්නේද යන්න සහ තාක්ෂණය (ග්‍රාන්ට්ගේ අර්ථයෙන්) අපට වීමට හැකියැයි පොරොන්දුවන දේ අතර පරතරය අගය කිරීමේ අසමත්කම ගැන එය කථාකරන හෙයිනි.

සංස්කෘතික අනන්‍යතාව සම්බන්ධයෙන් වන උභතෝකෝටිකය මෙය වේ. සංස්කෘතික අනන්‍යතාවට මහත්සේ ආශාකරන නූතන ප්‍රජාවක් සතුව එක්කෝ ජීවන විලාශයක සාමූහික ස්වරූපයට වඩා වැඩි යමක් තම මනසේ නැත. එසේ නැතහොත් නූතනත්වයට හිමිනැතැයි පෙනෙන සම්පතක් උදෙසා අවශ්‍යතාවය ප්‍රකාශකිරීමේ උගුලක එය සිරවී ඇත. ටෲඩෝ ශක්තිමත් එක්සත් ජාතියක් හෝ සාප්පුසංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානයක් යන විකල්පයන් පිළිබඳ කතා කිරීමෙන් අපගේ අවධානයට රැගෙන එන දේ වන්නේ, තේරීමක් ඇත යන කවරාකාරයේ හෝ මතයකට පූර්වයෙන්, තේරීම් පිළිබඳ අපගේ සංකල්පනයන්ටම ආධාරකයන් සපයන නූතනත්වයේ එම පාර්ශ්වයන් පිළිබඳ සිතා බැලීම අත්‍යාවශ්‍ය බවය. මෙම අවලෝකනය ආරම්භකිරීමෙන් ශක්තිමත් සහ එක්සත් ජාතියක අපේක්ෂාව නූතනත්වයට ප්‍රතිරෝධය දැක්වීමට අප සතු හැකියාව මත රඳාපවතින බව එළිදරව් වන්නේ යැයි මම යෝජනා කර ඇත්තෙමි. නමුත් මම කලින් පැවසූ පරිදි ප්‍රතිරෝධය දැක්වීම යනු ප්‍රතික්ෂේප කිරීම නොවේ. නූතනත්වය රජ කරන ලෝකයක කැනඩාවට තම සංස්කෘතික ඉරණම බේරුම්කරගැනීමට සිදුවනු ඇත. ශක්තිය උදාවන්නේ ප්‍රාර්ථනා කළ අනන්‍යතාව ප්‍රථමයෙන් සැළසුම් කළ යුතු අතර ඊළඟට ක්‍රියාවේ යෙදිය යුතුය යන උපකල්පනයට වඩා, මින් උරුමවන ජීවිතය ඇතිකරගැනීම තුළිණි – මෙය එය විසින්ම ගත් කළ ඒ සඳහා තිර පිටපතක් සම්පාදනය කළ හැකි දෙයක් හෝ ඇඳුමක් මෙන් ගැළපේදැයි ඇඳ බැලිය හැක්කක් නොවේ. නූතනත්වයට ප්‍රතිරෝධය දැක්වීම, හරියට අපගේ වටාපිටා තත්ත්වයන් ඒවාට කිසිදු සුවිශේෂ වූ ප්‍රතිචාරයක් දැක්විය නොහැකි තත්ත්වයක ඇත්තාක් මෙන් යහපත් දේ සහ ප්‍රයෝජනවත් දේ තවදුරටත් භව්‍ය නොවේයැයි දක්වන ශූන්‍යතාවාදයෙන් සහමුලින්ම වෙනස් වෙයි. මෙසේ සිතීම වනාහී, සාමූහික මෙන්ම තනිපුද්ගල ජීවිතයේ ද කර්තව්‍යය, දී ඇති දේ සමග වැඩ කිරීම සහ එහිදී යම් අරමුණකින් වැඩ කිරීම බව නියම ලෙසම අමතක කිරීමක් වනු ඇත.

කතිකා ලංකා ප්‍රාරම්භක කලාපයෙනි

Advertisements