සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලිපි පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් දාන්න බැහැ- ආචාර්ය අමරදාස වීරසිංහ

ආචාර්ය අමරදාස වීරසිංහ

“එදා ‘සංස්කෘති’ සඟරාවට සම්බන්ධව හිටපු ගනනාථ ඔබේසේකර, ආරිය රාජකරුණා වගේ අය උපාධි අපේක්ෂකයන් ලෙසයි හිටියේ. නමුත් අද විශ්වවිද්‍යාලවල ඉන්න සමහර තරුණ ආචාර්යවරුන් ලියන ලිපිවත් ‘සංස්කෘති’ සඟරාවේ පළ කරන මට්ටමක නැහැ. කොටින්ම පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පළ කරන්න පුළුවන් මට්ටමක් ඒ ලිපිවල නැහැ. මේක කනගාටුදායක තත්ත්වයක්.”

ආචාර්ය අමරදාස වීරසිංහ ප්‍රමුඛ ස්වාධින බුද්ධිමතෙකි. 1953 දී ආරම්භ කොට මේ දක්වා පවත්වා ගෙන එන ‘සංස්කෘති’ ශාස්ත්‍රීය සඟරාවේ ආරම්භක සංස්කාරකවරයා හා ගාමක බලවේගය ඔහුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිධාරීයෙක් වන ඔහු අමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (එම්.ඒ) හා දර්ශනශූරී (පී.එච්.ඩී) උපාධිය ලබා ගත් ආචාර්ය වීරසිංහ කලත් රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු , සිංහල අංශ ප්‍රධාන හා කලා පීඨයෙහි පීඨාධිපති තනතුරු දැරීය. මේ සිළුමිණ පුවත් පතේ පලවු ඔහු සුනිල් මිහිඳුකුල සමග කළ සාකච්ඡාවකි.පසුගිය 7 වෙනිදා ආචාර්ය අමරදාස වීරසිංහ මහතා අභාවප්‍රාප්ත වු අතර ඔහු කල ශාස්ත්‍රීය දායකත්වය වෙනුවෙන් මෙය යළි පල කරමු.

අවුරුදු ගණනාවක් ඇමෙරිකාවේ පදිංචිව සිටි ඔබ නැවතත් ලංකාවට එනකොට අපේ රටේ දැකපු සංස්කෘතික වෙනස්කම් කෙබඳුද?

අපේ හරපද්ධතීන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙන බව මට පෙනී ගියා. අපේ සමහර දේශපාලනඥයන් ‘සංස්කෘතිය’ කියලා හිතන්නේ මල් මාලා දාන එකයි. නටන එකයි විතරයි. නමුත් සංස්කෘතිය කියන්නේ ඊට වඩා බෝහෝම බැරෑරුම් විෂය ක්ෂේත්‍රයක්. කොටින්ම මුළු මනුෂ්‍ය ජීවිතයම සංස්කෘතියට අයිතියි.

අද අපේ රටේ සංස්කෘතික පරිහානියක් තිබෙනවා නම් ඒකට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයෙක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙලා හිටපු සර් අයිවර් ජෙනිංග්ස්. ඔහුගේ මෙහෙයවීමෙන් විශ්වවිද්‍යාලයවලින් බිහිවුණේ අපේ රටට ගැලපෙන උගතුන්, බුද්ධිමතුන් පිරිසක් නෙමෙයි. හිතන්න පුරුදු කරන පරම්පරාවක් බිහිකරන්න පහුගිය කාලේ අපේ විශ්වවිද්‍යාල වලට බැරිවෙලා තිබෙනවා. ඒකට හේතුව ජෙනිංග්ස්ගේ අධ්‍යාපන වැඩපිළිවෙළයි. බියර් බෝතලයයි, සිගරට් ටිකකුයි කියන එක තමයි ජෙනිංග්ස්ගේ චින්තනය වුණේ.

දේශීය සංස්කෘතිය නැංවීම සඳහා ඔහු එක්ක විශාල අරගල කරන්න මහාචාර්ය ධර්මසිරි රත්නසූරියට, මහාචාර්ය ගුණපාල මලලසේකරට, මහචාර්ය හේමචන්ද්‍ර රායිට සිද්ධ වුණා. 56 පෙරළියෙන් සිදුවූ සංස්කෘතික ප්‍රබෝධය මේ රටේ ඉතා වැදගත් අවස්ථාවක්. මාර්ටින් වික්‍රමසිංහ පවා කොළඹ නගර සභා පිටියේ පවත්වපු ප්‍රථම විජයග්‍රාහී රැළියට සහභාගි වූයේ රෙද්දයි බැනියමයි ඇඳගෙන. ඔහු ළඟින්ම තමයි මමත් හිටියේ.

ඔබ දැන් නැවතත් ‘සංස්කෘති’ සඟරාව පළ කිරීම ආරම්භ කර තිබෙනවා?

අපි ‘සංස්කෘති’ පටන් ගත්තේ 1953 දියි. ඊට මඟ පෙන්නුවේ මහාචාර්ය ධර්මසිරි රත්නසූරියයි. ඔහු තමයි ලංකාවේ ප්‍රථම සිංහල මහාචාර්යවරයා. ‘සංස්කෘතිය’ ඔහු දැඩි ලෙස අවධානය යොමු කළ විෂය ක්ෂේත්‍රයක්. කොටින්ම ‘සංස්කෘතිය’ කියන වචනය පවා ඔහුගේ නිර්මාණයක්.
ඊට කලින් සභ්‍යත්වය, ශිෂ්ටාචාරය වගේ වචන තිබුණත් ‘සංස්කෘතිය’ කියා වචනයක් සිංහල භාෂා සන්දර්භයේ තිබුණේ නැහැ. 1968 දි විතර ‘සංස්කෘතිය’ පළ කිරීම නැවතුණා. ඒ වන විට මම වැඩ කරමින් හිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයේ. මම වැඩිදුර ඉගෙනුම සඳහා අමෙරිකාවට ගියා. අවුරුදු තුනකින් මම ආපහු ලංකාවට ආවත් ඒ වන විට ඉහත විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ අංශය අහෝසි වෙලා තිබුණා. ඒ නිසා මට තනතුර නැති වුණා. මට මේ රටේ විශ්වවිද්‍යාලයක රස්සාවක් හොයා ගන්න බැරි වුණා. මට රස්සාවක් හොයා දෙන්න මගේ මිත්‍ර මාර්ටින් වික්‍රමසිංහ අපමණ වෑයම් කළත් ඒ උත්සාහය හරි ගියේ නැහැ.

මගේ රටෙන් කිසි පිළිසරණක් ලබා ගත නොහැකි වූ නිසා මම යළිත් අමෙරිකාවට ගියා. මම පිටරට ගොස් අවුරුද්දක් ගියාට පසු ‘සංස්කෘති’ සංවිධානය කැඩී නතර වුණා. අසූ ගණන්වලදී එස්. ජී. සමරසිංහ එවක පැවැති ආණ්ඩුවත් සමග සම්බන්ධව ‘සංස්කෘති’ සඟරාව ආයෙත් පළ කරන්න පටන් ගත්තත් ඒ අවස්ථාවේදි ඒක අසාර්ථක වුණා. මේ වැඩපිළිවෙළට මගේ කැමැත්තක් තිබුණෙත් නැහැ. මොකද, ආණ්ඩුවත් එක්ක ගැට ගැහිලා මේවගේ ශාස්ත්‍රීය සඟරාවක් පළ කරන්න බැහැ. එකක් නිලධාරීවාද. (ආණ්ඩුවේ නිලධාරීන් දෙනෙක් ඒ අවස්ථාවේ ‘සංස්කෘති’ සංස්කාරක මණ්ඩලයේ හිටියා) අනික ස්වාධීන මත පළ කරන්න ඉඩ නැතිකම. මම ලංකාවට ආවට පස්සේ 2000දි යළිත් තුන්වැනි වතාවට ‘සංස්කෘති’ පළ කිරීම ඇරඔුණා.

‘සංස්කෘති’ අලුත් කලාප කියවද්දි දැනෙන අඩුවක් තමයි අලුත් විද්වත් පරපුරක් ඊට සම්බන්ධව නැතිය කියන කාරණය?

ඒ ප්‍රශ්නය බලපාලා තියෙනවා. එදා ‘සංස්කෘති’ සඟරාවට සම්බන්ධව හිටපු ගනනාථ ඔබේසේකර, ආරිය රාජකරුණා වගේ අය උපාධි අපේක්ෂකයන් ලෙසයි හිටියේ. නමුත් අද විශ්වවිද්‍යාලවල ඉන්න සමහර තරුණ ආචාර්යවරුන් ලියන ලිපිවත් ‘සංස්කෘති’ සඟරාවේ පළ කරන මට්ටමක නැහැ. කොටින්ම පත්තරේක ශාස්ත්‍රීය අතිරේකයකවත් පළ කරන්න පුළුවන් මට්ටමක් ඒ ලිපිවල නැහැ. මේක කනගාටුදායක තත්ත්වයක්.

මේ බුද්ධි පරිහානියට හේතුව ද්වීභාෂික හෝ බහු භාෂක නොදැනුවත්කම ද? එහෙමනේ සාමානයයෙන් හුඟ දෙනෙක් කියන්නේ?

නැහැ. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. ඉංග්‍රීසි දන්නේ නැති එක මදි කමක් කියලත් දන්න එක ලොකුකමක් කියලත් හිතන පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒක වැරැදියි. ද්වී භාෂක දැනුමක් – ඥානයක් තිබූ පමණින් කෙනෙක් ශාස්ත්‍රඥයෙක් වෙන්නේ නැහැ. ඒක තමයි මගේ තර්කය. අමෙරිකාවේ විශ්වවිද්‍යාල වලට ජපානයෙන්, කොරියාවෙන් එන අයට ඉංග්‍රීසි කතා කරගන්නවත් බැහැ. නමුත් ඒ අය අතරින් ශාස්ත්‍රඥයන් බිහිව තිබෙනවා. ඉංග්‍රීසි දන්නේ නැති එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් එකම දේ, අලුත් පරපුරට ලැබුණේ අතරමංවෙච්ච අධ්‍යාපනයක්.

‘සංස්කෘති’ මඟින් ආරම්භයේ ඉඳන්ම නව විචාර මාර්ගයක් ගොඩනැංවීමේ ක්‍රියාදාමයක් පවත්වාගෙන ගියා. දැන් මොකද ඒකට වෙලා තියෙන්නේ?

අපේ විචාර මඟ වුණේ භාවිත විචාරයයි. (PRACTICAL CRITICISM) භාවිත විචාරය මේ රටට හඳුන්වලා දුන්නේ ‘සංස්කෘති’ සඟරාවෙන් ඇත්තෙත් ම ඔය ‘භාවිත විචාරය’ කියන නමක් අපේ නිර්මාණයක්. භාවිත විචාරය එක් ගුරු කුලයකට, එක් වාදයකට, පමණක් සීමා වුණේ නැහැ. එහි මූලික මඟ වුණේ විග්‍රහය යි. විචාරය කියන දේ අවශ්‍යයෙන් ම තර්කානුකූල විග්‍රහයක් විය යුතුයි. අප ‘සංස්කෘති’ පළමු කලාපයේ ඉඳන්ම චිත්‍රපට විචාරත් පළ කළා. ඒ සඳහා මූලික වශයෙන් කරුණු දෙකක් බලපෑවා. එකක් තමයි එකල සිනමාව ගැන උගතුන් දැක්වූ උදාසීනත්වය. අනික් එක තමයි පුවත්පත් විචාරවල තිබුණු අපරිණත ස්වභාවය. පුවත්පත්වල පළවන විචාරවල යම් යම් සීමා තියෙනවා. රෙජී සිරිවර්ධන ඒ සීමාවන් බොහේ දුරට ජය ගත් විචාරකයකු ලෙස මගේ සැලකිල්ල ලබනවා. සමමස්තයක් වශයෙන් ගත්තම පුවත්පත් විචාර ගැඹුරින් තොරයි. බොහෝ විට කෙරෙන්නේ චිත්‍රපටයක් දිහා මතුපිටින් බැලීමක් පමණයි.
ඔබේ (එසේම සංස්කෘති සඟරාවේ) විචාර මඟ වුණේ භාවිත විචාරය වුණත් ඒ එම්. ජී. සිරිමාන්න ගේ ‘භාවිත විචාරය’ පොත පළවූ අවස්ථාවේ ඔබ එක් පැත්තකිනුත් මහාචාර්ය නන්දසේන රත්නපාල තව පැත්තකිනුත් ඒ පොත නිර්දය විදියට විවේචනය කළා.
එහෙම කළේ සිරිමාන්නට ප්‍රශ්නයක් තිබුණා, අපේ පැරණි සාහිත්‍ය ගැන ඔහු ඒ සාහිත්‍යය වැඩක් නැති දෙයක් ලෙස නිගමනය කළා. ඒ සඳහා ඔහු යොදා ගත්තේ ඒ තරම් ම සාර්ථඛ නැති පැරණි සාහිත්‍ය කෘති. ඔහු ‘කව්සිළුමිණ’, ‘ගුත්තිලය’ වැනි සාහිත්‍ය කෘති මේ සඳහා යොදා ගත්තේ නැහැ.
භාවිත විචාරයේත් පෙරදිග ‘සංස්කෘත’ විචාරයේත් කිසියම් සමානකමක් තිබෙනවා නේද?

‘භාවිත’ විාචරයේ මූලධර්ම සංස්කෘත විචාරයේත් තිබෙනවා. මේ දෙකේම මූලික දේ විග්‍රහය මම ‘සංස්කෘති’ සඟරාවට ‘ගුත්තිලය’ ගැන විමර්ශනයක් කළේ භාවිත විචාරයත් සංස්කෘත විචාරයත් යන දෙකෙන් ම ආභාසයක් ලබාගෙනයි.

පෞද්ගලිකව ඔබත් කාලයක් සාහිත්‍ය විචාර ලිව්වා. ‘බැද්දේගම’ ගැන, ‘විරාගය’ ගැන අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ ‘දෙපා නොලද්දෝ’ වැනි නවකතා ගැන හොඳම විචාර ලියූ දෙතුන් දෙනාගෙන් ඔබත් කෙනෙක්?

එකක් වුණේ මම රට ගියා. අනික වෙනත් විචාරක පිරිසක් ඇතිවුණා. මහාචාර්ය සරච්චන්ද්‍ර වික්‍රමසූරිය, ධර්මසිරි ඒකනායක හොඳ පුහුණුවක් ඇතිව සාහිත්‍ය විචාර ලිව්වා.

ඒ වගේම ඔබ චිත්‍රපට විචාරත් ලිව්වා?

මම ‘එදා රෑ’, ‘ප්‍රේම තරගය’, ‘සුජාතා’, ‘පුදුම ලේලි’ වගේ චිත්‍රපටවලට විචාර ලිව්වා. ඒ කාලෙදිම මම චිත්‍රපට විචාර ලියන එක අතහැරියා. මට එපාවුණා. ඒ කාලේ නිපැයුණු සිංහල චිත්‍රපට ඉතාම පහත් මට්ටමකයි තිබුණේ. ඒවා බලන් ඉන්න බැහැ. ඒක අපා දුකක් බව චිත්‍රපටයක් දෙකක් බලද්දිම මට දැනුනා. ඇත්තටම මම සමහර විට චිත්‍රපටයක් බැලුවේ විවේක කාලය වන තෙක් විතරයි. ඒකත් බොහෝම අපහසුවෙන්. ඇතැම් චිත්‍රපට විචාරයට පවා සුදුසු නැහැ. මම ‘පුදුම මල්ලි’ චිත්‍රපටය හැඳින්වූයේ විාචරය කිරීමෙන් පලක් නැති චිත්‍රපටයක් යනුවෙන්. පෞද්ගලිකව මගේ භාග්‍යයටත් පොදුවේ ‘සංස්කෘති’ සඟරාවේ භාග්‍යයටත් රෙජී රණසිංහ නමැති තරුණයෙක් සිනමා විචාර ලියන්න භාර ගත්තා. ඔහු එක්තරා අවස්ථාවක සමහර විට පෞද්ගලික ප්‍රශ්න නිසා චිත්‍රපට විචාරයෙනුත් සංස්කෘති සඟරාවෙනුත් සමුගත්තා.

ඊට පස්සේ තමයි පියල් සෝමරත්න චිත්‍රපට විචාර ලියන්න පටන් ගත්තේ. පියල් පසුකාලයකදී මාක්ස්වාදයෙන් පෝෂණයක් ලැබ තම විචාර පදනම සකස් කර ගත්තා. මෑතක දී මම ‘බැද්දේගම’ චිත්‍රපටය ගැන විවේචනයක් ලිව්වා.

වර්තමාන විචාර කලාව ගැන ඔබ මොනවද හිතන්නේ?

අද විචාරයක් කියලා දෙයක් ලියන කෙනෙක් නැති තරම්.

එතකොට මහාචාර්ය සුචරිත ගම්ලත්ලා වගේ අය ඔය විචාර ලියන්නේ?

ආවාට ගියාට, කටට එන එන පළියට එක එක දේවල් කියන එක එහෙමත් නැත්නම් මිනිසුන්ට බනින එක විචාරය නෙමෙයි නේ. එහාට මෙහාට ගිහිල්ලා ඉන්න තැන දන්නැති තත්ත්වයකට දැන් සුචරිත පත්වෙලා තිබෙන බව පේනවා.

එදා ඔබ අනුදුටු භාවිත විචාරය අදටත් වලංගුයි කියලා ඔබ හිතනවද?

බුද්ධිමත් විදියට පාවිච්චි කරනවා නම් අද වුණත් යොදා ගන්න පුළුවන්.

සමකාලීන සාහිත්‍ය සම්බන්ධයෙන් ඔබ මොනවද දරන මතවාද?

ගුණදාස අමරසේකර මේ ළඟදි සාහිත්‍ය ගැන අදහස් දක්වලා තිබුණ නේ? ඔහු කියපු හුඟක් දේවල්වලට මාත් එකඟ වෙනවා. එකඟ නොවන්නේ ඔහු ඒවා කියපු විදිය සම්බන්ධයෙනුයි. මාර්ටින් වික්‍රමසිංහත් ඔය විදියමයි. ඔහුත් අමු වචනවලින් තමයි කතා කරන්නේ. ගුණදාසත් මට පේන හැටියට ඒ පිළිවෙළට ම කතා කරනවා.

මම නම් ඔහොම කතා කරන්නේ නැහැ. අපි කිසියම් ශික්ෂණයකින් බැඳිලා ඉන්නවා. ගුණදාසගේ අදහස්වල වරදක් නැහැ. මමත් එකඟයි ඔහු ගේ හුඟාක් දේවල්වලට. අද සාහිත්‍යය විතරක් නෙමෙයි සමස්ත කලාවම පරිහානියට පත්වෙලා නේ තියෙන්නේ.

අමරසේකර ගේ වර්තමාන සාහිත්‍ය කෘතිවලිටත්සාධනීය ලක්ෂණ නැද්ද?

අමරසේකර දැන් නවකතා ලියන්නෙ නොසැලකිල්ලෙන් බවක් පේන්න තියෙනවා. ඔහු ගේ මුල් නවකතා එක්ක සාපේක්ෂව බලද්දී ඒක පැහැදිලිවම පේනවා.

ඔබ ජනශ්‍රැති පර්යේෂකයෙක්. ඔබට ආචාර්ය උපාධිය ලැබිලා තියෙන්නෙත් ඒ විෂයය ක්ෂේත්‍රයට. අපේ රටේ පවතින ජනශ්‍රැති විද්‍යාව ගැන ඔබ මොනවද හිතන්නේ?

මම ජනශ්‍රැතිය ඉගෙන ගන්න අමෙරිකාවට යන කොට හුඟාක් අය හිනාවුණා. කොටින්ම මහාචාර්ය මලලසේකර පවා ප්‍රශ්න කරලා තිබුණා. නමුත් ජනශ්‍රැතිය විද්‍යාවක් විදියට දියුණු වුණේ අමෙරිකාවේ බව ඔවුන් නොදැන හිටියා වෙන්න පුළුවන්. ඒ වෙන කොට මහාචාර්ය නන්දදේව විජේසේකර වගෙ අය ජනශ්‍රැති ගැන පර්යේෂණ කරලා තිබුණු බව හැබෑව. ඇත්තට ම ඔහු තමයි ලංකාවේ ප්‍රථම ජනශ්‍රැතිවේදියා ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ. අපේ රටේ තවමත් විශ්වවිද්‍යාලවල ජනශ්‍රැති අංශයක් නැහැ.

ඒ නිසා මේ විෂයය අපේ විශ්වවිද්‍යාලවල උගන්වනවද නැද්ද කියලා කියන්න මං දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. සංස්කෘතික මානව විද්‍යාවවත් අපේ රටේ උගන්වනවයි කියලා මට තවම ඒත්තු යන්නේ නැහැ.

ජනශ්‍රැති හා පුරාණෝක්ති (MYTHOLOGY) අතර තිබෙන සම්බන්ධය කෙබඳුද?

පුරාණෝක්ති කියන්නෙත් ජනශ්‍රැතියේම කොටසක්. හැබැයි ඒක වෙනමම අරගන්නත් පුළුවන්. සමහර විශ්වවිද්‍යාලවල මේ අංශය හඳුන්වන්නේ ‘ෆෝක් ලෝර් ඇන්ඩ් මයිතෝලොජි’ කියලයි. නමුත් ඇමෙරිකාවේ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ එය ‘ෆෝක් ලෝර්’ නමින් පමණක් හඳුන්වනවා.

එතකොට වාග්විද්‍යාවත් එක්ක ‘තියෙන සම්බන්ධය’?

මේක වාග්විද්‍යාවටත් සම්බන්ධ කර ගන්න පුළුවන්. ජනශ්‍රැති හඳුනාගන්න වාග්විද්‍යාව ඉවහල් කර ගන්න පුළුවන්. වාග්විද්‍යාඥයෝ ජනශ්‍රැති විද්‍යාඥයන් බවට පත්වුණු අවස්ථා තිබෙනවා.

ජනශ්‍රැති අධ්‍යනයේ මූලික සිද්ධාන්ත මොනවාද?

අනික්විදයාවන්ටත් තියෙන සිද්ධාන්තම තමයි මේකටත් තියෙන්නේ. කරුණු එකතු කිරීම, වර්ග කිරීම හා විග්‍රහ කිරීම තමයි මූලික ක්ෂේත්‍රවලට ගිහිල්ලත් කරුණු එකතු කරන්න පුළුවන්. පුස්තකාලවලට ගිහිල්ලත් කරුණු එකතු කරන්න පුළුවන්. හැබැයි පුස්තකාලවලට ගිහිං කරුණු එකතු කිරීම ප්‍රමාණවත් නැහැ. ජනතාව අතරට අනිවාර්යයෙන් ම යන්න ඕනෑ. මගේ පර්යේෂණයේ දී මම ක්ෂේත්‍රය කර ගත්තේ කොට්ටාවේ මාලපල්ල ප්‍රදේශය. මගේ පර්යේෂණ මාතෘකාව වුණේ ‘ගැටුම් නිරාකරණය කිරීමට ජනශ්‍රැතිය කොයිතරම් දුරට ඉවහල් වේද’ යන්නයි. ඊළඟට සමාජවිද්‍යාවේ පිළිවෙළට අනික් පියවර ගන්න ඕනෑ. අවසානයේ දී නිගමනයකට එනවා. සාමාන්‍යයෙන් ජනශ්‍රැතිය පවතින්නේ ගමත් එක්කයි.

නාගරික මට්ටමෙන් ජනශ්‍රැති පර්යේෂණවල කිසියම් අඩුවක් දක්නට ලැබෙනවා නේද?

නගරයේත් අනන්ත ජනශ්‍රැති තිබෙනවා. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ගැන හොඳ හොඳ ජනශ්‍රැති තියෙනවා. විශ්වවිද්‍යාලවල, පත්තර කන්තෝරුවල, කාර්යාලවල හොඳ ජනශ්‍රැති තිබෙනවා. ඒ විතරක් නෙමෙයි පොදු වැසිකිළිවල ඇති කුරුටු සටහන් ද ජනශ්‍රැතියට අයිතියි. ඒවා අධ්‍යයනය කළ යුතුයි.

Advertisements