ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ කරන පරිදි රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පළාත් මට්ටමින් ඔබ්බට ගම්සභා සහ සුළු නගර සභා මට්ටමට බලය බෙදීම පුළුල් කිරීමේ යෝජනාව බෙහෙවින් වැදගත් ය. නමුත් ගැට‍ළුව වන්නේ බලය බෙදීමේ යෝජනාවට සිංහල බෞද්ධ ජාතිකවාදීන් එකඟ කරවා ගැනීමට එය ප්‍රමාණවත් වේද? යන්න යි. ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර විශ්වාසය ගොඩ නැඟීමයි. මේ සඳහා රට නො බෙදෙන පරිදි ෆෙඩරල් නැතහොත් සන්ධිය ක්‍රමයට පළාත් සභා වලට මෙන් ම ඉන් ඔබ්බට ගමට සහ නගරයටත් බලය බෙදීමෙන් ලංකාව එක්සත් තනි රටක් වශයෙන් පැවතිය හැකි බව සිංහලයන් බහුතරයකට ඒත්තු ගැන්වීමේ ව්‍යාපාරයක් දේශපාලනඥයන්, බුද්ධිමතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සහ පුරවැසියන් එක් ව රට පුරා ගොඩ නැඟිය යුතු ය. මේ කර්තව්‍යය කෙටි කාලීන දේශපාලන අරමුණු උදෙසා හදිසියේ කුමන හෝ උපාය යොදමින් සම්මත කර ගන්නා ව්‍යවස්ථාවක් අරමුණු කොට සාක්ෂාත් කර ගත හැකි නොවේ.”

( මෙම ලිපිය මුලින්ම පළකරන ලද්දේ 2016 ජූලි  මාසයේ පළ කළ නීතිය හා සාමය භාරයේ මාසික සංග්‍රහයේය.) 

හැඳින්වීමවත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය තීන්දු වී ඇත්තේ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක රෙජිමය යළිත් බලයට එනු ඇතයි වත්මන් පාලක රෙජිමය වෙළා ගෙන ඇති බිය සහ ඔවුන්ට නව ලිබරල් ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කර ගැනීමේ අපේක්ෂාව මත පදනම් ව යැයි යන අදහස සත්‍යයෙන් එතරම් ම දුරස්ථ ප්‍රකාශයක් නොවන බව පෙනෙයි. මහින්ද රාජපක්ෂට සිංහල බෞද්ධ බලවේගවල සහාය ලැබේ යැයි විශ්වාස කරන හෙයින් ඒවා අවුළුවා ලන ආකාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් නො කළ යුතු ය යන තීරණයට ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති සෙයකි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුවක් දක්වන ඇතැම් “සිවිල් සමාජ සංවිධාන” ද එම ස්ථාවරය පිළිගෙන ඇති සෙයකි.

‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ ඇති ගැට‍ළුව නම් එහි නිර්දේශ වල එන වැදගත් මාතෘකා පිළිබඳ එකඟතාවක් නොමැතිකම’ යැයි ඇතමුන් කියන විට එහි සැඟවුන අදහසක් නම් ‘මෙම අපේක්ෂිත එකඟතාව ආණ්ඩුව කල් තබා ම එළඹ ඇති තීරණය අපේක්ෂා කරන්නකි’ යන්න යැයි තර්කයක් ඉදිරිපත් කෙරෙන්නට ඉඩ තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම ඇරඹීමටත් ප්‍රථම ජනාධිපති සහ අගමැති වෙන් වෙන් ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණේ වත්මන් ව්‍යවස්ථාවේ ‘ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් සැලකීම’ සහ ‘බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දීම’ ඉදිරියටත් නො වෙනස් ව පැවතිය යුතු බවයි. මහත් බලාපොරොත්තු ඇති කරමින් ආරම්භ කෙරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ වාර්තාව දැන් පළ කොට ඇත. මෙම අවස්ථාවේ ආණ්ඩුව සහ ඇතැම් “සිවිල් සමාජ” සංවිධාන එම වාර්තාව ගැන දක්වන එළඹුම වටහා ගත හැක්කේ ඉහත පදනම මත විය හැකි ය. එම වාර්තාව සම්පාදනය කරන ලද්දේ අමාත්‍ය මණ්ඩලයෙන් නිර්දේශ කළ, මහජන නියෝජිත කමිටුවක් මඟින් නමුත් මේ දක්වා එය පාර්ලිමේන්තුවෙහි සභා ගත කොට නැත.

මහජනයා කුමන අදහස් නියෝජනය කළත්, මේ මොහොතේ තම දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වනු ඇත. එය ආණ්ඩුවට කෙතරම් වැදගත් ද යන්න, ජාත්‍යන්තර නිරීක්ෂණයට පවා ලක් වී ඇති පරිදි, තමන් අනු යන ‘යහපාලන’ ප‍්‍රතිපත්ති පිළිබඳ පවා මෙම කරුණේ දී සම්මුති ගැසීමට ආණ්ඩුව සූදානම් බව පෙන්නුම් කිරීමෙන් වටහා ගත හැකි ය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමට ආණ්ඩුවේ ඇති අපේක්ෂාව මත කෙරෙන සන්ධාන පක්ෂ දේශපාලනයේ ඇති සංකීර්ණ භාවය, එකිනෙක මත අති පිහිති වන අමාත්‍යාංශ වගකීම් සහිත අති පුළුල් අමාත්‍ය මණ්ඩලයක් තිබීමෙන් සහ වග වීම වැනි තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් මිශ්‍ර පණිවුඩ නිකුත් කිරීමෙන් ප්‍රකාශ වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලේකම් සයීඞ් කුමරු නිල ප්‍රකාශයකින් සඳහන් කළේ ය.
මේ මොහොතේ ආණ්ඩුවට අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල හරය ලෙස විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම, දෙමළ ප්‍රජාවේ දේශපාලන ප‍්‍රභූන්ට සහ ඒ මඟින් ජාත්‍යන්තරයට පිළිගැනෙන ආකාරයට බලය බෙදීම, සහ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති මෙරට ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව ස්ථාපිත කිරීම සඳහන් කළ හැකි ය.

විධායක බලතල ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවට සහ එනයින් ඇමති මණ්ඩලයට සහ අවසානයේ අගමැති අතට ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය ය. විධායක ජනාධිපති ධුරය අහෝසි කොට ඒ වෙනුවට විධායක අගමැතිවරයෙකු පත් කර ගැනීම සඳහා යෝජනාවක් ව්‍යවස්ථා සම්පාදනය සඳහා වන පාර්ලිමේන්තු කමිටුවේ සාකච්ඡාවට ඉදිරිපත් කෙරී ඇති බවට වාර්තා වී තිබේ. එමෙන්ම, අවම වශයෙන් පශ්චාත් මහින්ද රෙජිමය සමයේ ලංකා ආර්ථිකය ගොඩ නැඟීමට අවශ්‍ය ජාත්‍යන්තර පිළිගැනීම සහ සහයෝගය ලබාගැනීම සඳහා දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන් හි දේශපාලන ප්‍රභූන් එකඟ වන ආකාරයේ බලය බෙදීමක් ව්‍යවස්ථාවෙන් කළ යුතු ව තිබේ. නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති මෙරට ස්ථාපිත කිරීම සඳහා නෛතික රාමුව සකස් කිරීමට ඉඩ සලසන වෙනස්කම් අධිකරණ පද්ධතිය තුළ ඇති කරමින් ඒවා ව්‍යවස්ථාවේ ආරක්ෂිත විධිවිධාන ලෙසින් නිදන් කෙරෙන පරිදි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කිරීමට ආණ්ඩුවට අවශ්‍ය ය.

ආණ්ඩුවේ මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අපේක්ෂිත පරිදි සම්මත කර ගැනීමට සිංහල බෞද්ධ ජන ප්‍රජාවෙන් කොතෙක් දුරට අනුබලයක් ලැබේ ද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ ඉදිරිපත් කොට ඇති අදහස් පසුබිමෙහි මෙම ලිපියේ ඉදිරි කොටසින් අප සාකච්ඡා කරන්නට අදහස් කරන්නේ ඉහත කරුණයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව: ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය සහ ජාතික ප‍්‍රතිසන්ධානය පිළිබඳ පොදු එකඟතාව
මෙම කමිටු වාර්තාව ‘කමිටුවට ඉදිරිපත් කෙරුණ මහජන නියෝජනයන් අතර පොදු එකඟතාවක් පෙන්නුම් කරන අදහස් බොහොමයක් ඇති බව අවධාරණය කරයි. එසේ තිබිය දීත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඉදිරි මග තීරණය කරනු ඇත්තේ පොදු එකඟතාවක් ඇති ඒවාට වඩා ජනයා බෙදා වෙන් කරන අදහස් බව පෙනෙන්නට තිබේ. මූලික ව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කතිකාව තුළ සූත්‍රගත කෙරුණු මෙම පොදු අදහස් කුමන හෝ ප්‍රජාවක ජනවාර්ගික දෘෂ්ටියෙන් ඉදිරිපත් කෙරෙන අදහස් වලින් අවුලට යවයි.

‘මේවා ළඟා කර ගත හැක්කේ කෙසේ ද?’ යන්න ගැන ඔවුන් අතර වෙනස් මත තිබුණාත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය සහ ජාතික ප‍්‍රතිසන්ධානය ඇති කළ යුතු ය යන්න ගැන පොදු එකඟතාවක් තිබෙන බව වාර්තාව අවධාරණය කරයි. මෙම පොදු අදහස් පළාත් භේදයකින් තොර ව, කමිටුව ඉදිරියේ අදහස් දැක්වූ අයගෙන් බහුතරයේ අදහස් මත පදනම් වෙයි. නමුත්, එය සමස්ත ලාංකේය පුරවැසි සමාජයේ අදහස් පිළිබඳ සාධාරණ නියෝජනයක් ලෙස සාමාන්‍ය කරණය කළ හැකි ද? යන ගැට‍ළුව මෙහි දී මතු විය හැකි ය. එයට හේතු වන ප්‍රධාන කරුණු කිහිපයක් ගැන පමණක් අපට දැනට කල්පනා කළ හැකි ය.

පළමු ව, ප්‍රජාතන්ත්‍රවාදය කමිටුවට කරුණු ඉදිරිපත් කළ සැමගේ අපේක්ෂාවක් නොවේ. සිංහල බෞද්ධ ජාතිකවාදී මත ඉදිරිපත් කළ බොහොමයක් දෙනා ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු කෙරෙහි අවධානයක් නො දැක්වීය යන්න මගේ නිරීක්ෂණයයි.
තවද හිතා මතා තම අදහස් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටි ජන කොටස්වල අදහස් මෙම පොදු එකඟතාවට අඩංගු නොවේ. එයිනුත් වැදගත් ව, පොදුවේ ගත් කල, සිංහල බෞද්ධ, ජාතිකවාදී මත දරණ දේශපාලන පක්ෂ, සංවිධාන, සහ පුද්ගලයන් කමිටුව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණියේ සාපේක්ෂව අඩුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පිල නොහොත් “පොදු විපක්ෂය” මෙම මහජන අදහස් දැක්වීමේ ක්‍රියාවලියට සහභාගී වූ බවක් දැකිය නො හැකි වී ය. මහජන එක්සත් පෙරමුණ සහ ජාතික හෙළ උරුමය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ද කමිටුවේ සාමාජිකයන් ලෙස නියෝජිතයන් නම් කිරීමට රජයෙන් ඔවුන්ට කෙරුණු ඇරයුමට ප්‍රතිචාර නො දැක්වූ බව වාර්තා විය. මේ තත්ත්වය අදාළ කණ්ඩායම් සහ පක්ෂවල සාමාජිකයන් සහ හිතවතුන් කමිටුවට කරුණු දැක්වීමට පැමිණීම අධෛර්යමත් කළා විය යුතු ය. සිංහල බෞද්ධ මතවාදයේ වත්මන් බුද්ධිමය නායකයන් ලෙස පිළිගැනෙන ආචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය ගුණදාස අමරසේකර වැනි විද්වත්තු ද මෙම ක්‍රියාවලියට සහභාගී නො වූහ.

මෙම ක්‍රියාවලියට සංවිධානාත්මක ව මැදිහත් වීම් කළ දේශපාලන පක්ෂ සහ සංවිධාන, සහ බලපෑම් කණ්ඩායම්වලට සාපේක්ෂව තම අදහස් නියෝජනයට සාමාන්‍ය පුරවැසි ජනතාව ඒ සඳහා කැඳවීමේ සංවිධානාත්මක, පුළුල් වැඩ පිළිවෙළකින් තොර ව ඔවුන්ගේ ස්වාධීන අදහස් පුළුල් ව නියෝජනය වීමේ ඉඩ කඩ අඩු වීම ද මෙහි ලා ඉදිරිපත් වූ පොදු අදහස් වල ස්වරූපයට බලපාන්නට ඉඩ තිබුණේ ය. තවද, මෙම කටයුත්තෙහි ලා මහජන නියෝජනය හුදු සංඛ්‍යානමය කරුණකට ලඝු නො කළ යුතු නමුදු එසේ කිරීමට ඇති නැඹුරුවෙන් ගම්‍ය වන දේශපාලනය ද මෙහි ලා සැලකිය යුතු ය.

සංඛ්‍යානමය අගය

නියෝජනයන් ඉදිරිපත් කළ පුද්ගලයන් හා සංවිධාන සංඛ්‍යාව උපරිමයෙන් 3600 ට ආසන්න සංඛ්‍යාවක් ලෙස සැලකිය හැකි ය. මෙයින් සෑහෙන පිරිසක් සමාජයට කළ හැකි බලපෑම අතින් වැදගත් වන ‘මතධාරීන්’ විය හැකි ය, යන්න සැලකිල්ලට ගත යුතු නමුත්, මිලියන පහළොවක් වන ඡන්දදායකයන් පිරිසක් නියෝජනයට සාමාන්‍ය කරණය කිරීමේ උත්සාහයට නියැදියක් ලෙස එය යොදාගැනීමේ ඇති ගැට‍ළු නො සලකා හැරිය නො හැකියි.

මෙහි දී ‘නියෝජනය කෙරුණු සංවිධාන වල අති විශාල සාමාජික සංඛ්‍යාවක් සිටින්නේ ය’ යන කරුණ මත නියෝජනයේ සංඛ්‍යාත්මක අගය ඉහළ දැමීමේ උත්සාහය, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ලා මහජන නියෝජනයන් ඉදිරිපත් කිරීම තනි සක්‍රීය පුරවැසියාගේ දේශපාලන වගකීම ඉටු කිරීමේ ඉහළතම අවස්ථාවකි’ යන්න සංවිධානයක සාමාජිකයෙකු වීමට ලඝු කරන්නට ගන්නා උත්සාහයකි. මන්ද සෑම එක් පුරවැසි නියෝජනයක් ම එම පුරවැසියා විසින් පරෙස්සමෙන් සලකා බලා ගත් තීරණයක් මත පදනම් විය යුතු හෙයිනි. කිසියම් සංවිධානයක සමස්ත සාමාජිකත්වය එම සංවිධානයෙන් ඉදිරිපත් කෙරෙන නියෝජනයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ය, යන්න ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළට පිළිගැන්වීමට නම් එම සංවිධානය තම සංවිධානයේ සියලු සාමාජිකයන් තනි තනි ව අදාළ යෝජනා පරෙස්සමෙන් සලකා බලා තීරණ ගැනීමට ඉඩ සලසන ක්‍රියාවලියක් මඟින් එක් එක් සාමාජිකයාගේ එකඟතාව ලබා ගත යුතු ව තිබුණේ ය. මේ අනුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජනය එක් එක් පුරවැසියා තම දේශපාලන වගකීම ඉටු කිරීම පිළිබඳ කරුණක් මිස, යමකු කිසියම් සංවිධානයක සාමාජිකයෙකු නිසා එම සංවිධානයේ නමින් පොදු නියෝජනයක් ඉදිරිපත් කිරීම මත ඉබේටම සිදුවන හෝ හුදු පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපාරයකින් තීන්දු වන දෙයක් බව පිළිගත හොත් එය “ජනතා පරමාධිපත්‍යය” නිසි ලෙස නියෝජනය කිරීමක් නොවන ඇත.

අනෙක් අතට සියලු පුරවැසියන්ගේ අදහස් ඔවුන්ගේ තරාතිරම නො බලා වැදගත් වන මෙම කාර්යයේ දී පුද්ගලයන්ගේ තරාතිරම සලකා ලැබී ඇති නියෝජනවල සංඛ්‍යානමය අගය ඉහළ දැමීමට ගන්නා උත්සාහය ව්‍යවස්ථා සම්පාදනය විශේෂඥයන්ගේ කාර්යයක් ලෙස හුවා දැක්වීමකි. ව්‍යවස්ථා සම්පාදනයට විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය කෙරෙන තැනක දී එය කළ හැකි නමුත් මහජන අදහස් නියෝජනයේ දී යමකුගේ විශේෂඥ දැනුම මත ඔවුන්ගේ නියෝජනවලට සෙසු පුරවැසියන්ගේ ඒවාට වඩා වැඩි අගයක් ලැබිය යුතු නැත.

කෙටියෙන් කියතොත් කුමන හෝ හේතු දක්වමින් මහජන නියෝජනයන් පිළිගැනීමට සංඛ්‍යානමය පදනමක් ඇතයි කියා සිටින්නට ගෙනෙන තර්ක නියෝජනාත්මක නියැදියක් නොවන ජන පිරිසක ගේ නියෝජනයන් ජාතික මට්ටමේ සාමාන්‍ය කරණයක් සඳහා යොදන්නට ගන්නා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උත්සාහයකි.

මෙවැනි ම තවත් ගැට‍ළුවක් වාර්තාවේ එන නිර්දේශ සම්බන්ධයෙන් ද මතු වී තිබේ. එය නම් දෙන ලද මාතෘකාවක් පිළිබඳ වාර්තාවේ එන නිර්දේශ කිහිපයක් අතුරෙන් තමන්ට විවේචනය කිරීමට අවශ්‍ය එකක් ගෙන එය ව්‍යවස්ථාවට ඇතුළු කරන්නට යන්නේ යැයි කියමින් සිංහල බෞද්ධ ජාතිකවාදීන් ගෙන යන දේශපාලන ප්‍රචාරයට ප්‍රතිචාර වශයෙන් දෙන ලද නිර්දේශයක් වෙනුවෙන් පෙනී සිටින කමිටු සාමාජිකයන්ගේ සංඛ්‍යාව ඉදිරිපත් කරමින් තර්ක කිරීමට ඇතමුන් ගන්නා උත්සාහය යි. වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී කමිටුවේ අදහස වූයේ දෙන ලද මාතෘකාවක් යටතේ ඉදිරිපත් කෙරෙන සියලු නිර්දේශ වැදගත් කම අතින් එක හා මට්ටමක ලා සැලකිය යුතු බවයි. මන්ද ඒවා ජනතාවගේ නියෝජනයන් මත පදනම් ව ඉදිරිපත් කෙරෙන බැවිනි. ජනතාවගේ නියෝජනවලට සංඛ්‍යානමය අගයක් දීමට වලංගු පදනමක් සැපයීමට නො හැකි හෙයින් එසේ නො කිරීමට කමිටුව එකඟ වුණි. ඒ ලෙසින් ම කමිටුවේ සාමාජිකයන් වැඩි දෙනෙක් දෙන ලද නිර්දේශයක් වෙනුවෙන් පෙනී සිටින්නේ ද යන්න මත එම නිර්දේශයට අන් ඒවාට වඩා වලංගුභාවයක් පැවරිය නො හැකි යැයි ද කමිටුව එකඟ වීය. කමිටුව එකඟ වූයේ මහජන නියෝජනයන් මත පදනම් ව සියලු නිර්දේශ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාකච්ඡාව සඳහා එක හා සමාන වැදගත් කමකින් සලකා ඉදිරිපත් කිරීමට ය.එවැනි තත්ත්වයක් තුළ සිංහල බෞද්ධ ජාතිකවාදී ප‍්‍රචාරණයන්ට ප්‍රතිචාර වශයෙන් වුව නිර්දේශයක් වෙනුවෙන් පෙනී සිටින කමිටු සාමාජික සංඛ්‍යාව සාකච්ඡා කිරීම එම නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණ පරාජය කරයි.
සිදු විය යුත්තේ සංඛ්‍යානමය අගය මත වාර්තාවේ එන අදහස් හා නිර්දේශ බහුතරයක් නියෝජනය කරන්නේ ය යන බහුතරවාදී ආකල්පය ගැනීම නොව, දේශපාලනික ව ප්‍රගතිශීලී වන අදහස් සඳහා සියලු ජන කොටස් දිනා ගැනීමේ කටයුත්තයි.

ප්‍රජාතන්ත්‍රවාදය, සාමය හා ප‍්‍රතිසන්ධානය අත්පත් කර ගන්නේ කෙසේ ද?

ඉතින්, කමිටුව ඉදිරියේ නියෝජනයන් ඉදිරිපත් කළ වැඩි දෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත්, තියුණු කිරීමටත්, සාමය හා ප‍්‍රතිසන්ධානය වෙනුවෙනුත් කැමැත්ත පළ කළා වුවත් එසේ නො කළ අයගේ අදහස් ‘සාමය, සමගිය අත්පත් කර ගන්නේ කෙසේ ද?’ යන්න සම්බන්ධ කොට ගෙන ඉදිරිපත් වන කළ පළමු අදහස යටපත් කරන ආකාරය වාර්තාවේ ඉදිරිපත් වූ නියෝජනයන් සලකා බලමින් විමසුමට ලක් කළ හැකියි. (මෙහි ඉදිරියට වරහන් ඇතුළත දැක්වෙන අංක කමිටු වාර්තාවේ සිංහල පිටපතේ එන අදාළ පිටු අංක ය. තවද, වාර්තාවේ එන අදහස් ඉදිරිපත් කිරීමේ දී එහි එන භාෂාව ම මෙම ලිපියේ යොදා ගන්නා ලදී.)

“පූර්විකාව”

“යෝජිත ව්‍යවස්ථාවේ පූර්විකාවේ ……… අනාගතයට පාඩමක් හා සිහි ගැන්වීමක් ලෙස රාජ්‍යයේ අතීත සිදුවීම් ගැන සඳහනක් ඇතුළත් කිරීමට සමහරුන්ට අවශ්‍ය විය” (9) යැයි වාර්තාව කියා සිටින නමුත් එම අතීත සිදුවීම් නිශ්චිතව දක්වනවා වෙනුවට සඳහන් කෙරෙන්නේ “කෙසේ වෙතත් පූර්විකාවේ ඇතුළත් විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය” නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, මානව අභිමානය, සාධාරණත්වය, සමානත්වය, බහුවිධතාව, විවිධත්වය, සාමය ආදිය ප්‍රවර්ධනය කිරීමටත්, ගරු කිරීමටත්, කැපවීම බවට එකඟත්වයක් ඇති විය” යනුවෙනි. එකඟතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් වුව ද, රාජ්‍යයේ අතීත සිදුවීම් සඳහන් කිරීමේ අවශ්‍යතාව තුළ නියෝජනය කෙරෙන ජනවර්ග වල අවශ්‍යතාව අප කැප කරන්නේ සිංහල බෞද්ධයන් රැකීමට කැමති රාජ්‍ය ප්‍රතිරූපය වෙනුවෙන් නොවේ ද යන්න මෙහි දී සලකා බැලිය යුතු ය.

ආගම
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ආගම පිළිබඳ කරුණු ඇතුළත් කළ යුතු ආකාරය ගැන ජනතාව දැක්වූ අදහස් (15-16) අතර ‘වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙහි ඇති පරිදි බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙමින් රාජ්‍යය එය ආරක්ෂා කළ යුතු ය’ යන්න වෙයි. බුද්ධාගමට ව්‍යවස්ථාවෙහි ප‍්‍රමුඛතාව දී තිබීම වෙනස් කිරීමට ඇති අකමැත්ත බැඳී ඇත්තේ, රාජ්‍ය ආරක්ෂාවෙන් තොර ව බුද්ධාගම සහ සංඝ සමාජය පිරිහීමට ඇති ඉඩ පිළිබඳ බිය සහ එය සිංහල ජනයාගේ ස්වයං අනන්‍යතාවේ පැවැත්මට ගැට ගැසී ඇතයි විශ්වාස කිරීම සමඟයි.

කලින් පොදු එකඟතාවක් ඇතයි පෙන්නුම් කළ කරුණු ද මෙහි දී අර්බුදයට ලක් වෙයි. එහෙයින් මේ වෙනුවෙන් පෙනී සිටින ජනයා කලින් කී පොදු එකඟතාවට අයත් නොවනු ඇත. මෙම යෝජනාව සමානාත්මතාවේ මූලධර්ම උල්ලංඝනය කරන අතර, ආගමික අසමගියට ද හේතු විය හැකි හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය, සමගිය, සහ ප‍්‍රතිසන්ධානය සඳහා නොවේ. මේ අනුව ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යනු බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය යි. සමානාත්මතාව, සමගිය සහ ප‍්‍රතිසන්ධානය සිංහල බෞද්ධ බහුතර ප්‍රජාවේ එකඟතාව මත ගොඩ නැගෙන දෙයක් විය යුතු ය.

‘මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා, බෞද්ධ නොවන අයගේ අයිතීන් වලට හානි වන ආකාරයට බෞද්ධ ආගමික කණ්ඩායම් හෝ පුද්ගලයන්ට ක්‍රියා කිරීමට ඉඩ නො දිය යුතු ය යන පදනම මත බුද්ධාගමට ප්‍රධාන ස්ථානය දෙන අතර, අන් සියලු ම ආගම් ද, සමාන ආකාරයට රජයෙන් ආරක්ෂා කළ යුතු ය’ යන ස්ථාවරයත්, ‘බුද්ධ ධර්මයට රජයේ ආරක්ෂාව දෙන නමුත් එය ආයතනික ආගමෙන් වෙන් කළ යුතු ය’ යන මතයත්, වාර්තාවට අනුව එළඹිය හැකි සම්මුති වන්නේ ය. නමුත් ඉහත සිංහල බෞද්ධ ස්ථාවරය එබඳු සම්මුති යෝජනා ප්‍රතික්ෂේප කරන්නකි.
සම්මුති යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ “ප්‍රායෝගික දෘෂ්ටියකිනි.” පෞද්ගලිකව අනාගමික රාජ්‍යයකට කැමති වුව ද වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙන වගන්ති වෙනස් කිරීම ගැටුමකට හේතුවක් මෙන් ම එය සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ම බලපෑ හැකියි යන බිය නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට උනන්දුවක් දක්වන පිරිස් තුළ පවතී.

සැබෑ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්, සැබෑ සාමය සහ ප‍්‍රතිසන්ධානය ගොඩ නැඟිය හැක්කේ සැමට සමානාත්මතාව සහ යුක්තිය, අන්‍යෝන්‍ය ගරුත්වය, සියලු පුරවැසියන් එක හා සමාන කොටස්කරුවන් ලෙස සැලකීම යනාදී ප‍්‍රතිපත්ති මත මිස අසමානත්වය මත නොවේ. එලෙස ව්‍යවස්ථාව අසමානත්වය නිදන් කරන නමුත් අධිකරණය විසින් එය අනාගමික ව්‍යවස්ථාවක් ලෙස අර්ථ දක්වා තිබීම සහනයක් ලෙස පිළිගන්නට එයින් ව්‍යවස්ථාව තමන්ට අසමාන ලෙස සලකන්නේ යැයි විශ්වාස කරන ජනයා සූදානම් ද යන්න අප විමසිය යුතු ය. රාජ්‍යය අනාගමික ලෙස ප්‍රකාශ කරන්නට ව්‍යවස්ථාව අපොහොසත් වීම අසමානතාව පිළිබඳ අනෙකුත් සියලු කරුණු නිරාකරණය කළ නො හැකි අන්දමට බලපාන කරුණක් ලෙස සලකන්නට සිංහල බෞද්ධ නොවන ජන කොටස්, විශේෂයෙන් දෙමළ ජනයා පෙලඹීමට ඉඩ තිබේ. බුද්ධාගමට රාජ්‍යයේ ප‍්‍රමුඛතාව දීම යුද්ධ සමය තුළ අත්දැකීම් පසුබිමෙහි රාජ්‍යය මිලිටරි කරණය සමඟ බැඳී ඇත යන්න සමඟ ඇති සම්බන්ධය අපට අමතක කළ නො හැකියි.

ජනවාර්ගික, ආගමික අනන්‍යතා වෙනුවෙන් කරන ඉල්ලීම දිගින් දිගටම පැවතීම පිළිබිඹු කරන්නේ බහුවිධතාව හා විවිධත්වයට ගරු කරන පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩ නැඟීමට අප අසමත් වීම බව සැබෑ ය. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා යුක්තිය හා සමානත්වය සහතික කිරීම මඟින් පමණක් දෙමළ ජනයා අත් විඳින බිය සහ සැක සංකා බොහෝ දුරට අඩු කර ගැනීමට හැකි වනු ඇති ද? යන්න බරපතළ ගැට‍ළුවකි. මෙය දේශපාලන බලය බෙදීමට විකල්පයක් ලෙස දෙමළ ජනතාවට පිළිගැන්විය හැකි ද යන්න සැක සහිත ය.

රාජ්‍යයේ ස්වභාවය

රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ මහජන නියෝජනවල දී (19-21) සිංහල ජනයා ෆෙඩරල් නැතහොත් සන්ධිය ක්‍රමයට – එනම් මධ්‍යම රජයට ඒකපාර්ශ්වික ව වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ නො හැකි ලෙස එක්සත් රාජ්‍යයක් තුළ පළාත් හෝ ප්‍රාන්ත වලට – බලය බෙදීමේ යෝජනාවට එරෙහිව ඒකීය රාජ්‍යයකට ඇති කැමැත්ත ප්‍රබල ලෙස ප්‍රකාශ කර තිබුණි. බොහෝ අය ෆෙඩරල් ක්‍රමයට විරුද්ධ වන්නේ එය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉන්දියාව විසින් ලංකාව මත බලෙන් පැටවූ යැයි විශ්වාස කරන නිසා සහ බෙදුම්වාදය පිළිබඳ අදහසට ප්‍රබල ලෙස සම්බන්ධ කොට බව පැහැදිලි ය. මෙහි දී, ඒකීය රාජ්‍යය යනු නො බෙදිය හැකි රටක් ලෙස සලකනු ලැබෙයි.

ෆෙඩරල් රාජ්‍යයක් පිළිබඳ සිංහල ජනතාව අතර ඇති බියට හේතුව අවසානයේ රට දෙකඩ වීමට එය හේතු විය හැකියි යන විශ්වාසයයි. දකුණු ඉන්දියාවේ වෙසෙන අතිවිශාල දෙමළ ප්‍රජාව සමඟ එක් වී ලාංකේය දෙමළ ප්‍රජාව සිංහලයන්ට තර්ජනයක් එල්ල කළ හැකියි යන උපකල්පනය මත ඇති කර ගත් බිය හා අනාරක්ෂිත හැඟීම මෙය පසුබිමෙහි තිබේ. මේ හා සම්බන්ධ කොට, රටේ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ ප්‍රශ්න ආමන්ත්‍රණය නො කොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ද සිංහල බෞද්ධ මතවාදය විරුද්ධ වනු ඇත.

මෙයට අමතරව පහත සාකච්ඡා කරන පරිදි ජාතික ධජය, ජාතික ගීය, පාර්ලිමේන්තුව උත්තරීතර කිරීම වෙනුවට ව්‍යවස්ථාව උත්තරීතර කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදාහැරීම සහ බලය බෙදාහැරීමේ ඒකකය, පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවට පැවරීම, පළාත් ආණ්ඩුකාරවරයාගේ විධායක බලතල අහිමි කිරීම, සහ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර විෂය පථ සම්පූර්ණයෙන්ම දෙකට බෙදීම යනාදී මාතෘකා බලය බෙදීම පමණක් නොව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ වම පවා සිංහල බෞද්ධයන්ගේ බිය සහ සැක සංකා මතු කරන කරුණු වෙයි.

ජාතික ධජය

ජාතික ධජය, අනාගමික රාජ්‍යයක් හෝ සියලු ආගම් වලට සමානව සලකන රාජ්‍යයක් බව සංකේතවත් කරන ලෙස වෙනස් කිරීමට කෙරෙන කුමන හෝ යෝජනාවකට සිංහල බෞද්ධ ජාතිකවාදී දෘෂ්ඨියෙන් ප්‍රබල විරෝධතා එල්ල වනු ඇත යන්න කමිටු සැසි වාර වල දී ඉදිරිපත් වූ නියෝජන වලින් (11) මෙන් ම කමිටු වාර්තාව පළ වීමෙන් පසු ඒ ගැන පළ වන මහජන අදහස් වලිනුත් පෙනී යයි.

ජාතික ගීය

ජාතික ගීය සම්බන්ධයෙන් කමිටු වාර්තාවේ සඳහන් වන්නේ (12) “ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් ය, යන්න එක් මතයක් වූ අතර තවත් විකල්ප මතයක් වූයේ එය භාෂා දෙකෙන් ම ගායනා කළ යුතු” බවයි.

ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගැයීමට මනාපයක් ඇත්තේ ඉන් සිංහලයන් මෙන් ම දෙමළ කථා කරන ජනතාවත් යන දෙපිරිසට පිළිගැනීමක් ලැබෙන බැවිනි. ඉන් රටේ සිටින ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුනට ම සමානත්වයක් ලැබෙයි. ‘ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු ය,’ යන ස්ථාවරය සිංහල නොවන අයට සමානත්වයක් ලබා දීමෙන් සිංහල අනන්‍යතාවට තර්ජනයක් එල්ල විය හැකි බව විශ්වාස කරයි. 2000 ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි සඳහන් ව ඇති ජාතික ගීය පිළිබඳ වගන්තියේ සඳහන් වන්නේ සිංහල බසින් ලියැවුණු ජාතික ගීයේ සංගීත රචනය පමණි. නමුත් 1978 ව්‍යවස්ථාවේ දෙමළ පිටපතෙහි ජාතික ගීයේ සංගීත රචනය දෙමළ භාෂාවෙන් ද දක්වා තිබේ. එමෙන්ම වත්මන් රජය යටතේ ජාතික ගීය සිංහලෙන් හා/හෝ දෙමළෙන් ගායනා කිරීම දැනටමත් ක‍්‍රියාත්මක කොට තිබේ. එහෙයින් ජාතික ගීය දෙබසින් ම ගායනා කිරීම ව්‍යවස්ථාවට ඇතුළු කිරීම බරපතළ ගැට‍ළුවක් ඇති කරනු ඇතයි සිතිය නො හැකි ය.

පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය

පාර්ලිමේන්තුව උත්තරීතර විය යුතු යැයි ද, එය ස්වෛරී ආයතනයක් විය යුතු යැයි ද, කෙරෙන යෝජනාව ද හුදෙක් ජනාධිපතිගේ බලතල සමඟ සංසන්දනය කරමින් ජනාධිපති තනතුරට ප‍්‍රතිව්‍යතිරේකයක් ලෙස ද (26), ඉදිරිපත් කෙරෙනවාට වැඩි දෙයක් ලෙස සිංහල බෞද්ධ ජන කොටස් දකිති. මෙය පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය පළාත් සභාව වැනි වෙනත් ආයතනවලට පැවරීමේ උපක්‍රමයක් ලෙස සිංහල බෞද්ධ මතවාදීහු දකිති.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

දේශපාලන ස්ථාවරත් වය සහතික කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යා යුතු ය (31-32), යන්න ප්‍රධාන කොට ම සිංහල බෞද්ධ ජාතිකවාදී මතයයි. ජනාධිපති ජාතික වශයෙන් ඡන්දයෙන් තෝරා පත් කර ගැනීම මඟින් සුළු ජාතීන්ට ආරක්ෂාව සැපයෙන බවට සිංහල බෞද්ධ නොවන ජන කොටස්වල මතය සමඟ ද මෙය පෑහීම උත්ප‍්‍රාසජනක ය.

බලය බෙදීම

බලය බෙදීම පිළිබඳ කරුණ පොදු එකඟතාව බිඳින මූලික කරුණක් වෙයි. “මධ්‍යගත පාලනය නිසා සිදු වූයේ යැයි සිතන කොන් කිරීම හා වෙනස් ලෙස සැලකීම නිසා පළාත් හා උප-ඒකකවලට ස්වයං-පාලනයක් හා බලය වැඩිපුර විමධ්‍යගත කිරීමක් අවශ්‍ය යැයි සමහර ප්‍රදේශවල ජනයා ඉල්ලා සිටි අතර” අනිත් අයගේ ඉල්ලීම වූයේ පර්යන්තයට වැඩිපුර බලතල විමධ්‍යගත කිරීමයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාබද්ධතාව ශක්තිමත් කිරීමේ මඟක් ලෙස ඔවුන් ඉදිරිපත් කළේ බලය බෙදාහැරීම හා විමධ්‍යගත කිරීමයි (8).”

මෙම ආස්ථාන දෙකෙන් පළමුවැන්න දෙමළ, මුස්ලිම් සහ මලයහ නොහොත් උඩරට දෙමළ ජනයාගේ සහ සංවිධානවල නියෝජනවල ඉල්ලීම් මුල් කර ගෙන ඉදිරිපත් වන අතර, දෙවැන්න විටෙක පළමුවැන්නට එරෙහිව යන එකක් ලෙසත් විටෙක එසේ නොමැතිව ජනවාර්ගික පදනමක් මත බලය විමධ්‍යගත කිරීමට අමතරව ගම් හෝ නගර මට්ටමට බලය විමධ්‍යගත කිරීමක් ලෙසත් සංකල්ප ගත කෙරෙයි.

මෙහි දී ජනවර්ග පදනම මත මෙයින් එක් කුමන හෝ ආකාරයකට පමණක් බලය විමධ්‍යගත කිරීම ජනවර්ග අතර බෙදීමක් ඇති කරන ආස්ථානයක් වන හෙයින් ව්‍යවස්ථායි එකඟතාවකට බාධා කරයි. මෙම යෝජනා දෙක එකිනෙකට පරස්පර හෝ විකල්ප ඒවා ලෙසින් ගන්නවාට වඩා අනුපූරක ලෙසින් ගැනීම යෝග්‍ය යැයි සිතමි.

රජයේ කේන්ද්‍රයේ ඇති බලය ජනවාර්ගික පදනමක් මත කුමන හෝ ආකාරයට බෙදීමට සිංහල බෞද්ධ මතවාදය විරුද්ධ ය. එය කේන්ද්‍රය දුර්වල කොට, රට බෙදීමට මඟ පාදන බව එම මතවාදයේ විශ්වාසයයි. බහුතරය විසින් යටපත් කරනු ලැබේ යැයි බියක් ඇති අන් සුළුතර කණ්ඩායම් වල අත්දැකීම් හා ඉල්ලීම් හා දෙමළ ජනයා සිංහල බෞද්ධ ආධිපත්‍යය ඇති රාජ්‍යය යටතේ විඳි අත්දැකීම් හා සමාන කිරීම ඔවුන් බලය බෙදීම සඳහා කරන ඉල්ලීම ලඝු කිරීමේ උත්සාහයක් බවට පෙරළීමට යොදාගැනීමට හැකියි.

බලය බෙදාහැරීමේ ඒකකය

බලය බෙදාහැරීමේ ඒකකය ලෙස පළාත සැලකීමට ද, උතුරු නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ කිරීමට ද සිංහල බෞද්ධ මතවාදය එක හෙළා විරුද්ධ වන්නේ (44-48) එය වෙනම රාජ්‍යයක් පිහිටුවීමට දෙමළ ජනතාවට අයිතියක් ලබා දීමක් ලෙස දකින බැවිනි. එහෙයින් පළාත් සභා වෙනුවට බලය බෙදා හැරීමේ විකල්ප ඒකක යෝජනා කෙරෙයි.

එමෙන්ම, රාජ්‍යයේ බලය කේන්ද්‍රයේ රැඳී තිබිය යුතු අතර පළාත්වලට බලය පැවරිය හැකි නමුත් අවශ්‍ය විටෙක එම බලය යළි පවරා ගැනීමට මධ්‍යම රජයට හැකි විය යුතු යැයි යෝජනා කෙරෙයි. ඒ අනුව පළාත් වලට කිසිදු ආකාරයේ ඒකාබද්ධ වීමට ඉඩ නො දිය යුතු ය. එයට ඉඩ දෙන වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) 3 වෙනි වගන්තිය ඉවත් කළ යුතු ය. භාෂාව, ජාතිය, ආගම හෝ ජනවර්ගය මත පදනම් ව කුමන හෝ ඒකකයකට බලය නො පැවරිය යුතු ය.

පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීමට සිංහල බෞද්ධ මතවාදය තදින් විරුද්ධ ය (51-56). මෙම ප්‍රතිපාදන ඉවත් කර ගන්නා ලෙසත්, මෙම බලතල ක‍්‍රියාත්මක කිරීම මධ්‍යම රජයේ කාර්යයක් විය යුතු බවත් එය කියා සිටියි.

පොලිස් බලතල

අන්තවාදීන්ගේ ප්‍රයත්න අසාර්ථක වී ඇතත්, අනාගතයේ උතුරු නැගෙනහිර පළාත් ලංකාවෙන් වෙන් කිරීමට තැත් කරන කණ්ඩායම්වලට පළාත් සභා පරිපාලනය සහයෝගය දීමට ඉඩ ඇති නිසා පොලිසිය ඔවුන් යටතට පත් නො කළ යුතු බව කියා සිටින නියෝජනවල ප්‍රධාන තර්කය (51-54) වූයේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වලට පොලිස් බලතල දීම රටේ භෞමික අඛණ්ඩතාවට නිරන්තර තර්ජනයක් විය හැකියි යන්න යි.

රජයේ ඉඩම්

බලය පැවරීමට විරුද්ධ කණ්ඩායම්, බලය පවරන ඒකකයේ විෂය කරුණක් ලෙස ඉඩම් ඇතුළත් කිරීමට සම්පූර්ණයෙන් ම විරුද්ධ වෙති (54-56). බලය පැවරීමට පක්ෂ ව කරුණු ඉදිරිපත් කළ සමහර අයගේ තර්කය වූයේ ද, රජයේ ඉඩම් මධ්‍යම රජයේ අයිතියක් ලෙස පවත්වා ගත යුතු බවයි.
“මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ තවත් මතයක් වන්නේ රටේ සම්පූර්ණ භූමිය ම රටේ ජනතාවට අයිති බවත් රටේ ඕනෑම කෙනෙකුට එය අයිති කර ගැනීමටත්, භාවිතයට ගැනීමටත්, ඉඩ තිබිය යුතු බවයි.” ඒ අනුව, “කිසිම කණ්ඩායමකට හෝ ප්‍රජාවකට රටේ භූමියෙන් කොටසක් ඔවුන්ට අයිති යැයි කීමට හෝ එය ඔවුන්ගේ වාස භූමි යයි කීමට හෝ අයිතියක් නැත. රටේ ඕනෑම කොටසක ජනයා පදිංචි කර වීම රජයේ නීත්‍යනුකූල කාර්යයකි.”
ඉඩම් බලතල පැවරීමට විරුද්ධව ඉදිරිපත් වූ තර්ක වල දී රටේ භූමියෙන් කොටසක් ඓතිහාසික වශයෙන්, මානව වංශ විද්‍යාව අනුව හෝ පුරාවිද්‍යාත්මක වශයෙන් තමන්ට පමණක් අයිති යයි ප්‍රකාශ කිරීම ප්‍රශ්න කරන ලදී. දැන් දෙමළ ප්‍රජාවේ ඓතිහාසික නිජ භූමි ලෙස හඳුන්වන ප්‍රදේශ මුලදී සිංහල බෞද්ධයන් ජීවත් වූ ප්‍රදේශ බව පෙන්වා දෙන ලදී.

සංවර්ධනයට වඩාත් සුදුසු රජයේ නැවුම් ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් සභා වලට “ඉඩම් බලතල පැවරීමෙන් අනිත් පළාත්වල ඉඩම් නැති ජනතාවට අවාසියක් වනු ඇතයි ද, පෙන්වා දෙන ලදී. මෙවැනි ඉඩම් බලතල පැවරීමකින් රටේ ඉඩම් ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ ජනවාර්ගික සුළුතරයක පාලනය යටතට පත් වනු ඇතයි ද, තර්ක කරන ලදී” (56).

ආණ්ඩුකාරවරයාගේ බලතල අහිමි කිරීම

ආණ්ඩුකාරවරයාගේ විධායක බලතල අහිමි කිරීමට සිංහල බෞද්ධ මතවාදය බලවත් සේ විරුද්ධ වෙයි (57). මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර විෂයය පථ සම්පූර්ණයෙන්ම දෙකට බෙදීම උග්‍ර ලෙස විවාදාත්මක උත්සාහයක් වනු ඇත. මන්ද යත් පොලිස් බලතල, ඉඩම් බලතල, අන්තර්ජාතික ප්‍රදාන, සෘජු විදේශ ආයෝජන, ජාත්‍යන්තර සංවර්ධන ආධාර, ජාත්‍යන්තර ණය, යුක්තිය පසිඳලීම ආදී විෂයය ගණනාවක් පළාත් සභාවට පැවරීමට දැඩි විරෝධතා මතු කෙරෙනු ඇති හෙයිනි.

පුද්ගල නීති

එමෙන්ම ආගමික හා වාර්ගික කණ්ඩායම්වලට සුවිශේෂ චාරිත්‍රානුකූල හා සාම්ප්‍රදායික සියලු ම පුද්ගල නීති ඉවත් කිරීම එම නීති නිසා පීඩා විඳින එම ජනවර්ග වලට අයත් සමහර සාමාජිකයන් සාමාජිකාවන් වෙතින් මෙන් ම සිංහල බෞද්ධ ප්‍රජාවෙන් ද ඉදිරිපත් කෙරෙන යෝජනාවකි (107). එවැනි නීති පැවතීම ඒ ජනවර්ග වලට සුවිශේෂී වරප්‍රසාද සැලසීමක් ලෙස සිංහල බෞද්ධ මතවාදය දකියි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලධර්මවලට පටහැණි නීතිවලට පැවතීමට ඉඩ ලබා දෙන වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 16 වැනි වගන්තිය සංශෝධනය ද (87) මූලික වශයෙන් අදාළ වන්නේ ඉහත ආකාරයේ නීති වලටයි. එහෙයින් 16 වැනි වගන්තිය අහෝසි කිරීමේ යෝජනාව ද ඉහත යෝජනාවට සම්බන්ධය.

බලය බෙදීමට සිංහල බෞද්ධ විරෝධයේ පදනම

බලය බෙදීමට සිංහල බෞද්ධයන්ගේ විරෝධයේ පදනම් වන්නේ ‘සිංහල බෞද්ධ අනන්‍යතාව යටපත් කිරීමේ ජාත්‍යන්තර සහයෝගය ලබන කුමන්ත්‍රණයක් ඇත. එය දෙමළ සහ මුස්ලිම් ජනයාට සිංහලයන් හා සමාන ස්ථානයක් ලබා දීමේ මුවාවෙන් සිංහල බෞද්ධයන්ගේ පැවැත්මට අනතුරු එල්ල කරන්නේ ය’ යන බිය හා සැක සංකා ය.

මීට ප්‍රධාන හේතුවක් වන්නේ ගෝලීයකරණය යුගයේ නව ලිබරල්වාදී ආර්ථික සහ සංස්කෘතික වෙනස් වීම් හමුවේ සංඝ සමාජයේ පැවැත්මට එල්ල වී ඇති බරපතළ තර්ජනයයි. එම අභියෝගයට මුහුණ දීම තමන්ගේ සාමූහික වගකීමක් කර ගන්නවා වෙනුවට සිංහල බෞද්ධ සමාජය යොමුව ඇත්තේ අතීතයේ සිට සිදු වූයේ යැයි ඔවුන් විශ්වාස කරන රජය විසින් සංඝ සමාජය රැක ගැනීම සඳහා, සංඝ සමාජය විසින් රජයට කෙරෙන බල කිරීමට අනුගත වීමයි. ගෝලීයකරණ යුගයේ නව ලිබරල් ආර්ථික සහ සංස්කෘතික වෙනස් වීම් හමුවේ සංඝ සංස්ථාව පමණක් නොව සිංහල බෞද්ධ සමාජය පොදුවේ ආර්ථික සහ සංස්කෘතික අර්බුදයකට මුහුණ පා සිටියි. රාජ්‍යය වෙනුවට පෞද්ගලික ව්‍යවසාය සහ වෙළෙඳපොළ ආදේශ වීම රජයේ ආදායම මත යැපුණු මධ්‍යම පාන්තික සහ පහළ පාන්තික සමාජ කොටස් ආර්ථික සහ සමාජ අර්බුදයකට ඇද දමා ඇත. ගෝලීය ජනමාධ්‍යය සහ සමාජ මාධ්‍ය පිපිරීම හමුවේ ගතානුගතික සිංහල බෞද්ධයා සංස්කෘතික අර්බුදයකට මුහුණ පා ඇත. සිංහලයන්ට ඇති එක ම රට ශ්‍රී ලංකාව පමණක් වන හෙයින් සිංහල භාෂාව, සංස්කෘතිය හා ආගම දුර්වල වීමේ තර්ජනයක් ද, ඇතයි සිංහල බෞද්ධයෝ විශ්වාස කරති. මේ සියල්ලට පහසු විසඳුමක් ලෙස අතීත කාමය බොහෝ සිංහල බෞද්ධයන් විසින් තෝරා ගෙන තිබේ.

බලය බෙදීමේ යෝජනාවට සිංහල බෞද්ධයන් එකඟ කර ගත හැක්කේ කෙසේ ද?

බලය බෙදීමට එරෙහිව ඇති සිංහල බෞද්ධ මතවාදය පිළිබඳ වත්මන් ආණ්ඩුවේ ආකල්පය වන්නේ එයට අභියෝග නො කොට, එයින් පැනවෙන මූලික සීමා යටතේ ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන ප්‍රභූන් එකඟ වන ආකාරයේ බලය බෙදීමක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය දිනා ගැනීමට උපාය යෙදීමයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ කරන පරිදි රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පළාත් මට්ටමින් ඔබ්බට ගම්සභා සහ සුළු නගර සභා මට්ටමට බලය බෙදීම පුළුල් කිරීමේ යෝජනාව බෙහෙවින් වැදගත් ය. නමුත් ගැට‍ළුව වන්නේ බලය බෙදීමේ යෝජනාවට සිංහල බෞද්ධ ජාතිකවාදීන් එකඟ කරවා ගැනීමට එය ප්‍රමාණවත් වේද? යන්න යි. ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර විශ්වාසය ගොඩ නැඟීමයි. මේ සඳහා රට නො බෙදෙන පරිදි ෆෙඩරල් නැතහොත් සන්ධිය ක්‍රමයට පළාත් සභා වලට මෙන් ම ඉන් ඔබ්බට ගමට සහ නගරයටත් බලය බෙදීමෙන් ලංකාව එක්සත් තනි රටක් වශයෙන් පැවතිය හැකි බව සිංහලයන් බහුතරයකට ඒත්තු ගැන්වීමේ ව්‍යාපාරයක් දේශපාලනඥයන්, බුද්ධිමතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සහ පුරවැසියන් එක් ව රට පුරා ගොඩ නැඟිය යුතු ය. මේ කර්තව්‍යය කෙටි කාලීන දේශපාලන අරමුණු උදෙසා හදිසියේ කුමන හෝ උපාය යොදමින් සම්මත කර ගන්නා ව්‍යවස්ථාවක් අරමුණු කොට සාක්ෂාත් කර ගත හැකි නොවේ.
ඡායාරූපය-චතුර

Advertisements