ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (3කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම්

මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ Gajabahu and Gajabahu Synchronism වශයෙන් මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ The Ceylon journal of the Humanities සඟරාවේ පළමු වෙළුමේ පළමු අංකයේ පලවු රචනාවේ මෙම සිංහල පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලදුව මහාචාර්ය ජයන්ත අමරසිංහ සංස්කරණයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය විසින් පල කරන ලද සිරි ගුණසිංහ උපහාර ලිපි සංග්‍රහයේ පල විය.

ගජබාහු පුරාණෝක්තිය හා ඉතිහාසය අතර ගැටලුව පිළිබඳ සවිස්තර සාකච්ඡාවක් මෙහි එයි. පත්තිනි ඇදහිල්ලේ ප්‍රභවය මෙන්ම දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් සිංහල බෞද්ධ සමාජයට අනුකලනය වීම පිළිබඳ විග්‍රහයකින් ද යුතු මෙම දීර්ඝ රචනාවේ තෙවැනි කොටස මෙහි පල කරමු.

ගජබාහු සහ කරිකාල

ගජබාහු පුරාණෝක්තිය අධ්‍යයනය කරද්දී හමු වන සිත් ගන්නා සුලූ ගැටලූවලින් එකක් නම් කාවේරි නදියේ වැඩ කටයුතු සඳහා ගජබාහුගේ පියරජුගේ කාලයේ දී ලංකාවෙන් සිරකරුවන් ලෙස සිංහල මිනිසුන් ගෙන ගිය බව කියවෙන පූජාවලිය හා රාජාවලිය යන ග‍්‍රන්ථ වල එන සඳහනයි. ගජබාහු ගියේ මේ ජනතාව බේරා ගන්නටයි. මෝසස් ද කලේ එවැන්නකි. චෝළ රාජයාගේ නම ගැන විශේෂ සඳහනක් නැතත් මෙයින් පැහැදිලි වශයෙන් කියවෙන්නේ කරිිකාල නම් මහා චෝළ රජු ගැනය. නීලකණ්ඨශාස්ත‍්‍රීගේ අදහසට අනුව මේ රජු රජ කළේ ක‍්‍රි.ව. දෙවැනි ශතවර්ෂයේදීය. එවිට එය ඓතිහාසික වශයෙන් ගජබාහුගේ පිය රජුගේ කාලයට අයත්ය. අට වැනි ශත වර්ෂයට පසු කාලයක රචිත තෙළිඟු සහ දමිළ සාහිත්‍ය කෘතිවල ද අභිලේඛන වල ද කරිකාල ලත් එක් කාර්ය සාධනයක් සේ දැක්වෙන්නේ ගංගාවක් විශාලකරණයයි. මේ සමකාලීනකරණයෙන් අප වටහා ගත යුත්තේ් කුමක්ද? එය මේ සිදුවීම් වල ඓතිහාසිකත්වය වැඩිපුර තහවුරු කරන්නේද? නැත්නම් එය දකුණු ඉන්දියාවට සහ ලංකාවට පොදු වූ පුරාණෝක්ති සම්භාරයක ඇති අන්තර් සම්බන්ධයක්ද? කරිකාල රජු ඓතිහාසික පුද්ගලයෙකු ලෙසත් පුරාණෝක්තිගත පුද්ගලයෙකු ලෙසත් යන දෙආකාරයෙන් ගෙන පරීක්‍ෂා කර බැලීමෙන් මේ ගැටලූව විසඳා ගැනීමට අපට හැකිවනු ඇත.

කරිකාල රජු ගැන පවත්නා ඓතිහාසික තොරතුරු පශ්චාත්කාලීනව එකට බැඳී කා වැදුණු පුරාණෝක්තිගත තොරතුරු වලින් ගලවා ගැනීමට සාහිත්‍යයික සහ අභිලේඛනාත්මක සාධක උපකාරයට ගෙන නීලකණ්ඨ ශාස්ත‍්‍රී ලියු චෝළ ඉතිහාසය සහ පරිපාලනය නම් විද්වත් ග‍්‍රන්ථයක් තිබීම අපට වාසනාවකි. එයට ප‍්‍රබල සාධකයක් වන්නේ කරිකාල රජු පිළිබඳ කතාව ද වර්ධනය වී ඇත්තේ ගජබාහු කතාවට සමාන ලෙස වීමයි. සමකාලීන හෝ ආසන්නම මුලාශ‍්‍රය ඇසුරින් එන ඓතිහාසික විස්තර වලට පශ්චාද්කාලීන කෘතිවල එන අසීරු සහ විභූතිසම්පන්න විස්තර මිශ‍්‍රවීම මේ රජවරුන් දෙදෙනාටම පොදුය.(33) ආදි සාහිත්‍යය ඇසුරින් නීලකණ්ඨ ශාස්ත‍්‍රී කරිකාලගේ රාජ්‍ය සමය ගැන පහත දැක්වෙන කරුණු ගෙන හැර දක්වයි.

‘‘ඔහුට චෝළ සිහසුන හිමි වූයේ ළමයෙකුව සිටියදීය. ඔහුගේ උත්පත්ති උරුමය ලබාගැනීම නැති කරන්නට ඔහුගේ ඥාතීහු නීති විරෝධි ප‍්‍රයත්න දැරුවාහු සමහර අවස්ථාවල ඒවා සාර්ථකත්වයට ද පත් කළහ. මේ විරෝධය නැති කර ගන්නට බොහෝ කරුණු උදව් විය. යම් යම් කාර්යයන් සැලසුම් කරන්නටත් ඒවා සාර්ථක ලෙස ක‍්‍රියාවට නංවන්ටත් දක්‍ෂතා කුමාරයා සතුව තිබුණි. ශක්තිමත් චරිතයක් හිමි කුමරාට මිතුරන්ගෙන් ද පිටත සිටි ප‍්‍රබල පාක්‍ෂිකයන්ගෙන් ද උපකාර ලැබුණි. එවැනි සහායකයන් අතර මවගේ පැත්තෙන් මාමා වූ ඉරුම්බිදර්තෙලෙයි ද සිටින්නට ඇත. ටික කාලයක් හිර අඩස්සියේ සිටි කරිකාල දඟයෙන් පැන ගොස් රජකමට පත් වූයේය. කුඩා කල සිදු වූ අනතුරකින් ගින්නට අසු වුණු කුමාරයාගේ කකුල ජීවිතාන්තය දක්වා කොර වී ගියේය. ඒ බව වඩාත් හොඳින් තහවුරු කරන්නේ ඔහුට ලැබි ඇති නාමයයි.’’(34)

අටවැනි සියවසේ සිට ඉතිහාසගත කරිකාල අනුක‍්‍රමයෙන් තෙළිඟු සහ දමිළ විස්තර වල කරිකාල පුරාණෝක්තිය බවට පත් වූයේය. ඔහුගේ කාර්ය සාධනයේ විවිධ අවස්ථාවලින් අපගේ සාකච්ඡුාවට අදාළ වන කතා දෙකක් ඇත. ඒවා නම් කාවේරි ගෙඟ් ඉවුරු බැඳීම සහ ත‍්‍රිනේත‍්‍ර පල්ලව හෙවත් ත‍්‍රිලෝචන පල්ලව ආදී නම්වලින් හැඳින්වෙන ඇස් තුනක් ඇති රජු සමඟ කළ සටනත්ය. 7 හෝ 8 වැනි ශත වර්ෂයේ රචිත පුණ්‍ය කුමාරගේ මාලේපාඩු පුවරු කරිකාල රජු බොහෝ හාස්කම් කළ බව කියයි. ඒවා අතර ‘‘කාවේරි නදිය ඉවුරු තළා ගලා යාම පාලනය කිරිම ද “එකකි.(35) පළමු වැනි රාජේන්ද්‍රගේ තිරුවාලන්ගාදු පුවරුවල ද මේ ගැන 10 සහ 11 ශත වර්ෂවලදී වාර්තා වෙයි. ඒ කතාව ම ලේඩන් ප‍්‍රදානයෙහි ද කියැවෙයි. කන්‍යා කුමාරි සෙල්ලිපියෙහි මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් සටනක් වෙයි. ඒ විස්තර සටහනෙහි කරිකාල රජුට වහලූන් ලෙස සේවය කළ රජවරුන් ගැන කියවෙයි.

‘‘සූර්යයා මෙන් දීප්තිමත් වූ කරිකාල රජු අකීකරු අයගේ මාන්නය බිඳ දැම්මේය. වරින් වර කෙරෙන දෙගොඩතලා යන ගංවතුරු නිසා මෙහි මතින් නිපදෙවන ද්‍රව්‍යයන් අහිමි කළ කාවේරි නදිය ද පාලනය කර මර්දනය කළේය. එසේ කළේ – සතුරු – රජවරුන් ලවා අතින් ගත් පස් කුඩාවලින් වේල්ලක් බැඳීමෙනි.’’(36)

කාලිංගත්තුප්පරණී ග‍්‍රන්ථයෙහි ද කරිකාල කළ මෙවැනි වීරවික‍්‍රමාන්විත ක‍්‍රියාවන් තව දුරටත් විස්තර වෙයි. එවැනි එක් තොරතුරකට අනුව ඔහු සතුරු රජකුගේ තුන් වැනි ඇස නැති කර දැම්මේය. මේ කතාව ම 12 වැනි සියවසේ රචිත ඔට්ටක්කුත්තම්හි ද එයි. එහි රචකයා උලාස්ය. කාවේරි වේලි බඳින්නට නොආ චෝළ රජෙකුගේ ඇස ගළවා දැමූ චෝළ කරිකාල රජු යටත් රජවරුන් හිස මතින් පස් ගෙන ගොස් (37) යනුවෙන් ද ඒ කවියා ම දෙවැනි කුලෝත්තුංග රජු ගැන කළ කාව්‍යයෙහි නැති වූ තුන්වැනි ඇස අයිතිකරු මුඛරි නැමැත්තෙකු බව ද කියයි. එසේ කරන ලද්දේ අනුකරණාත්මක අභිචාර අන්ත කොඩිවිනයකින් වීමට ඉඩ තිබේ.

‘‘සතුරු වූ මුඛරිගේ ඇස් තුනින් එකක නැතිකර දැමූ බව” (38) එහි පැහැදිලිව සඳහන් වෙයි. 14 වැනි සියවසට අයත් කන්නඩ මුල් කෘතියක තෙළිඟු පරිවර්තනයක් වු නවෝචෝලචරිත මේ කතාව වඩාත් විස්තර සහිතව දිගු කොට කියන්නේ තවත් අලූත් කරුණු මූලාංග දෙකක් එකතු කිරීමෙනි. ඒවා නම් ‘‘වැවක් බැඳීම සහ යටත් රජවරුන්ට විරුද්ධව සටන් කිරීමත්ය. කරිකාල රජු ගෙඟ් දෙපස ඉවුරු ඔසවා ලන්නට වේල්ලක් බඳින්නටත් වැවක් හාරන්නටත් ඒවායේ පිං ලැබ ගන්නටත් තීරණය කළේය. එසේ සිතූ රජු විවිධ පළාත් වල තම රාජධානියේ විවිධ පළාත් වල සිටි සාමන්තයන් – යටත් නායකයන් – කැඳවූයේය. භාස්කර චෝළ සහ මුක්කන්ති චෝළ යන දෙදෙනා හැර අන් සියල්ලෝ ම පැමිණියහ. ඔවුහු අපතින් ද තවත් හේතු නිසා ද වැදගත් අය වූහ. දෙදෙනාට දඬුවම් දීමට දණ්ඩ යාත‍්‍රාවක ගිය රජු ඔවුන් යටත් කොට හිරකරුවන් ලෙස ගෙනවුත් කාවේරි නදියේ වේල්ල බඳින වැඩට එහි අවසානය දක්වාම යොදවන ලද්දේ ය.’’(39) මේ ග‍්‍රන්ථයෙහි තුන් වැනි ඇසක් ඇති රජකු ගැන කියවුණේ නැතත්, 14 වැනි සියවසට අයත් තෙලිඟු සෙල්ලිපියක මේ ඇස නැති වූ රජු පල්ලව රජකු බව සඳහන් වෙයි.

කරිකාල පුරාණෝක්තිය විකාශනය සම්බන්ධ පහත දැක්වෙන අංග ලක්‍ෂණ පාඨකයාගේ සිත්හි තබා ගැනීම වටනේ ය.

1. කරිකාල කාවේරි නදී ඉවුරු උස් කළේ ය.

2. මේ ව්‍යාපෘතියේ දී යටත් රජවරු සාමාන්‍ය කම්කරුවන් ලෙස සේවය කළහ.

3. මුකරි හෝ ති‍්‍රනේත‍්‍ර පල්ලව හෝ ති‍්‍රලෝචන පල්ලව නැමැති ඇස් තුනක් ඇති රජකු කරිකාලගේ ඉල්ලීම නොසලකා හැරියේ ය. කරිකාල රජු බොහෝ දුරට කොඩිවිනයක් වැනි අභිචාර ක‍්‍රමයකින් ඔහුගේ තුන්වැනි ඇස මකා හැරියේ ය.

4. නව චෝළ චරිත කෘතිය ඇස් තුනක් ඇති රජකු ගැන සඳහනක් නො කරයි. ඒ වෙනුවට කාරිකාලගේ අණ නොතැකූ යටත් රජවරුන් කිහිප දෙනෙකු සිටි බවත් ඔහුන්ට විරුද්ධව කරිකාල සාර්ථක ලෙස යුද්ධ කළ බවත් කියැවෙයි.

5. මේ විස්තර කරිිකාල වැවක් බැඳවූ බවත් සඳහන් කරයි. එහෙත් කාවේරි ගෙඟ් වේල බැඳීම සමඟ වැව හෑරීමේ සමබන්ධය කුමක්දැයි කිසිදු ආකාරයකින් පැහැදිලි නො වේ. ගජබාහු පුරාණෝක්තිය සහ ලංකාවේ පවත්වනා අදාළ අනික් පුරාණෝකති සමඟ මේ පුරාණෝක්ති මූලිකාංගවල අදාළ බව අපි පරීක්‍ෂා කර බලමු.

ගජබාහු පුරාණෝක්තියත් කරිකාල පුරාණොක්තියත් අතර ඇති සම්බන්ධය මතු ව ආයේ රාජාවලිය හා පූජාවලිය ඒ ගැන කරන සඳහනෙනි. ඒ දෙතැන ම කියැවෙන්නේ චෝළ රජු සිංහල ජනයා අල්ලා ගෙන කාවේරි ගෙඟ් වැඩට යෙදවූ බව යි. මෙය කෙළින් ම සම්බන්ධ වන්නේ කරිකාල පුරාකථාවට යි. එහෙත් ඉන්දිය පුරාණෝක්ති එකකවත් සිංහලයන් අල්ලා ගෙන ගිය බවක් සඳහන් නොවෙයි.

අප කලින් දැක් වූ සිංහල ශාන්තිකර්ම සාහිත්‍යයට අයත් පොතක් වන ගජබා කථාවේ කාවේරි නදියෙහි වැඩට බලහත්කාරයෙන් සිංහල සිරකරුවන් යොදා ගත් අන්දම ගැන පැහැදිලි ව කියවෙයි. ගජබා කතාවේ මුල් කොටස සමහර විට හඳුන්වන්නේ අංකොට හටන නමිනි. එහි දැක්වෙන අන්දමට ගජබාහුගේ පියාගේ කාලයේ දී දිළිඳු සිංහල ගැමියෙක් සිටියේ ය. ඔහුට කොට අං දෙකක් ඇති මීමෙක් සිටියේ ය. මේ මීමා ගමේ අනික් අය බලයෙන් තම කුඹුරු සීසෑම් ආදියට අල්ලා ගනිති. අයිතිකරුවා රජුට මේ ගැන පැමිණිලි කළ විට රජ කළේ පැමිණිලිකරුට විරුද්ධ අනික් ගැමියන්ගේ පැමිණිලි බාර ගැනීම යි. අංකොටගේ අයිතිකාර ගැමියාට අසාධාරණයක් ම සිදු විණි. ගැමියා අවසානයේ සොළී රටට – චෝළ රටට – යන්නට තීරණය කළේය. සොළී පුර රජු ගැන පහත දැක්වෙන ආකාරයට විස්තර වෙයි.

තුන් නෙත් හිමි මහ පඬි……නිරිඳුන්නේ
බලය බිඳැර ජල කඳ …….නවතින්නේ
වෙනත් මඟක් මට පිහිට ….නොවන්නේ
සොළී පුරට යන්නට ……සැරසෙන්නේ

සිංහල රටින් බැහැර ව ගිය තැනත්තා සොළී රජු විශ්වාසයට ගෙන කාවේරි නදියේ වතුර බඳින්නට රජු පොළඹවා ගත්තේය. සොළී රජු දේස දහ අටේ පාලකයන්ට සන්දේශ යැව්වේ හැමදෙනාම ගඟ බැදීමේ වැඩට ආ යුතු බව කියමිනි. කොතරම් තැත් කළත් කාවේරි ගෙඟ් දිය පහරට ගොඩ නැඟූ මඩ සේද්ී ගියේ ය. පිටරැුටියා රජුට කියා සිටියේ වේල්ල බඳින්නට අවශ්‍ය මිනිසුන් සොයා ගන්නට ය. නැව් විශාල සංඛ්‍යාවක් සහ භටයින් සමඟ ලංකාවට යාත‍්‍රා කර ගිය රජු මාගමට ගොඩ බැස්සේය. ඔහු භටයින්ට අණ කළේ හැකි තරම් සිංහල ගැමියන් අල්ලා ගන්නටය. ඔවුහු සිංහලයන් 12000 ක් සිර භාරයට ගත්හ. එක රැුයකින් මෙසේ අල්ලාගෙන ඒ පිරිසත් සමඟ චෝළ රටට ගියේ ය. ඔවුහු කාවේරි නදියේ වැඩට යොදාවන ලදහ.

කරිකාල කතාවත් ගජබාහු පුරාණෝක්තියත් එකිනෙකට සම්බන්ධ කර ගත් ආකාරය ගැන ඕනෑම කෙනෙකුට සාධාරණ ලෙස විරුද්ධ වීමට ඉඩ ඇත. පූජාවලිය හා රාජාවලිය ගජබාහු පුරාකථාව දක්වන හැටියෙන් අපට පෙනෙන්නේ ‘‘ජනපදකරණ පුරාණෝක්තියක්’’ එනම් ලංකාවේ දකුණු ඉන්දියානු ජනතාව වාසය කිරිමට හේතු වුණු වරපත‍්‍රයක් දැක්වීමයි. මෝසස් පුරාණෝක්තිය මෙන් ම ගජබාහු මිථ්‍යාකතාවත් හිරකරුවන් ආපසු ගෙන ඒමක් සිදු කෙරෙයි. පුරාණෝක්තියට හිරකරුවන් ආපසු ගෙන ඒමක් සිදුකෙරෙයි. පුරාණෝක්තියට හිරකරුවන් පිළිබඳ අදහස ආවේ කෙසේද? එයට දීමට හැකි පිළිතුර ඉතා සරල යයි මම සිතමි. ලංකාවේ පදිංචි වුණු විදේශික දකුණු ඉන්දියානු කණ්ඩායම් වලට සමහර මාර්ගවලින් මෙහි ඔවුන් සිටීම යුක්තිසහගත කරන්නට නැත්නම් නීත්‍යානුකූල කරන්නට අවශ්‍ය විය. ඒ අනුව ඔවුන්ට අවසරයක් සැපයීම කළ යුතුය. පැහැදිලිවම ඔවුන් විදේශිකයන් බවට දැක්වීම අවශ්‍ය විය. එසේම ඒ අතරම ඔවු විදේශිකයන් නොවන බව ද දැක්වීම අවශ්‍ය විය. ඔවුන් ඇත්තෙන්ම මෙරටට අයිති බවත් දැක්වීමට වුවමනාය. ඔවුහු මේ රටේ ස්වභාවිකවම රටවැසිකම ලැබූ පිරිස යි. විශාල සමාජයක කවර හෝ සංක‍්‍රමණික ජාතියකට හෝ මෙය නිතැතින් මතු වන ගැටලූවකි. සංක‍්‍රමණික කණ්ඩායමක් එකම අවස්ථාවක විදේශිකයන් වන්නේත් නොවන්නේත් කෙසේදැයි යන ප‍්‍රශ්නයට දිය හැකි හොඳම විසඳුම මේ හිරකරුවන් පිලිබඳ තේමාවයි. පුරාණෝක්තිය දක්වන්නේ මේ පිරිස මුලින් සිංහලයන් වූ බවත්, පදිංචිව සිටියේ දකුණු ඉන්දියාවේ චෝළ රටේ බවත්, එසේ වීමට හේතුව මුල් රටින් එනම්, ලංකාවෙන් ඔවුන් පැහැරගෙන ගිය නිසා බවත්ය. මේ අයුරින් බලන විට සංක‍්‍රමණික කණ්ඩායමට නීත්‍යානුකූල අයිතියක්- වාසය පිළිබඳ බලපත‍්‍රයක් – මේ පුරාණෝක්තියෙන් ලැබිණි. බහුතරයක් වූ සිංහල ජනතාව අතර ඔවුන් පදිංචි කරවීම කෙසේ වුවත් ඔවුන් පැත්තකට කර තැබීමට ඉඩකඩ සැලසීමත් ඒ පුරාණෝක්තිය සක‍්‍රීය කර වීමෙන් ද ඔවුන් විදේශිකයන් බව සඳහන් කිරිමෙන් ද චෝල විදේශික පිරිස ඔවුන්ගේ මහාරාජයා වූ ගජබා විසින් අල්ලාගෙන එවන ලද බවද අඟවන්නකි. එසේම ගජබාහු කොටස් දෙකක මිනිසුන් මෙරටට ආපසු ගෙනාවේය. ගජබාහුගේ පියාගේ කාලයේ චෝළ රජු අල්ලාගෙන ගිය සිංහල පිරිස එක් කණ්ඩායමකි. අනෙක් පිරිස චෝළ දේසයෙන් සිරකරුවන් ලෙස ගත් පිරිසයි. මුල් සිංහල ජනතාව හිරකරුවන් බවට පත්වූයේ කෙසේදැයි යන ප‍්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් ගජබාහු හා කරිකාල පුරාණෝක්ති එකට සම්බන්ධ කිරීමෙන් ලැබේ. දකුණු ඉන්දීය ජනතාවට කරිකාල ගජබාහු වැනිම සංස්කෘතික වීරයෙකි. ඔහු අත්භූත හාස්කම් පාමින් හිරකරුවන් කාවේරි නදීබඩ වැඩට යෙදෙව්වේය. ගජබාහු යම්සේ ලංකාවට වීරයෙකු ලෙස වැදගත් වේද දකුණු ඉන්දියාවට කරිකාල ද එවැනිම වීරයෙක් වූයේය. නිත්‍ය වශයෙන්ම ගජබාහු මෙන්ම කරිකාල ද එක්තරා වර්ගයක ජනපදකාරකයෙකි. මේ පුරාණෝක්තියේ විවිධ ප‍්‍රවාච්‍ය වලට අනුව ඔහු කාංචිපුරය යළි ගොඩනැගූ වීරයාය. ඒ පුරයේ සංක‍්‍රමණිකයන් පදිංචි කරවූයේ ද කරිකාලයි. ඒ නිසා මේ ආකාරයෙන් ගජබාහු සහ කරිකාල පුරාණෝක්ති එකට සම්බන්ධ කිරීම ඉතාම උචිතය.

සිංහල ශාන්තිකර්මයක එන කරිකාල ශ‍්‍රැතිය :

ලංකාවේ කරිකාල සම්ප‍්‍රදායන් අධ්‍යයනයෙන් පමණක් ගජබාහු හා කරිකාල පුරාණෝක්ති සම්බන්ධ කිරීම නොනවතී. තවත් සිංහල මිථ්‍යා කථාමය සම්ප‍්‍රදාය දෙකක් ඇත. එය කලින් සාකච්ඡුා කළ සම්ප‍්‍රදායට වඩා වෙනස්ය. එය දකුණු ඉන්දියාවේ කරිකාල සම්ප‍්‍රදායේ එන මිථ්‍යා කථා ලක්‍ෂණ උකහා ගත්තකි. නොවැරදීම මෙවැනි විවිධතා අපට කියාපනාන්නේ දකුණු ඉන්දියානු කරිකාල සම්ප‍්‍රදායන් ලංකාව පුරා පැතිරී ගිය බවයි. එසේම ඒ කතා අන්තර්ග‍්‍රහණය කරගත් සමාජ ආර්ථික පරිසරයට අනුව කතාව සංස්කරණය වූ බවයි. නීලකණ්ඩ ශාස්ත‍්‍රී විස්තර කල දකුණු ඉන්දියානු කරිකාල සම්ප‍්‍රදාය හා ශ‍්‍රැතිය සිංහල ත්‍රෝත‍්‍රයකට ඇතුලත්ව ඇති ආකාරයට පළමුව පැහැදිලි කර දක්වන්ට පුළුවන. මෙහිදී මා භාවිතා කරන සිංහල පිටපත පතහයි. ඒ නාට්‍යමය ලෙස රඟපා පෙන්වන්නේ ගම්මඩුව නම් ශාන්තිකර්මයේදීය. මේ මඩු ත්‍රෝත‍්‍රය ගැන මම වෙනත් තැනක විශ්ලේෂණය කර ඇති නිසා මෙහිදී මේ ශාන්තිකර්මයේ වර්තමානයේ පවත්නා සමහර අංග මතුකරමින් කරිකාල පුරාණෝක්ති සමඟ ඇති සම්බන්ධය දක්වන්නට තැත් කරමි.(40)

මේ පුරාණෝක්තිය රඟදැක්වීම පතහ නම් අංකයේ දී දැකිය හැකිය. පාඬි රජු දුෂ්ටයෙකි. අහංකාර රජෙකි. ඔහුට ඇස් තුනකි. එකක් ඇත්තේ නළළ මැදය. ඔහු වාසය කරන නගරය නිර්මාණය කළේ විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයාය. එය දෙව්ලොව හා සමානය. දහ අට දේසයක් පාලනය කළ රජු ඉතා අපූරු පාලකයෙකි. ඒ බව කවිවල කියවෙයි.

ගුණ අකකුත් මොහු සිතෙහි….නොමෝරා
අණ සක දවසින් දවසට……….මෝරා
පැන යකු සේ බලමින් සිත…….මෝරා
රණමුඛ රාවණ සදිසිව ……….මෝරා

පඬි රජුට තමා ‘‘වැවක්’’ කළ යුතු යැයි සිතේ. එවිට තම පුරය ශක‍්‍රයාගේ පුරයට සමාන වේ. ශක‍්‍ර භවනයේ ද විශාල පොකුණක් ඇත. ඔහු තම ඇමතිවරුන්ට වැවක් කරන සේ අණ කළේ ය. මානයෙන් ඉදිමුණ රජු පැරණි චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු නොකර අසුබ දවසක අසුභ වේලාවක වැව කැණීම ආරම්භ කළේය. වැව් බැඳීමේ වැඩ ඇරඹිණි. මිනිස්සු වහලූන් ලෙස එහි සේවය කළහ. රජු තෙමේ ම වැඩ අධික්‍ෂණය කළේ ය.

රන්දා සක් වන රිසිමෙන් තෙද…..වට
මුතු දා සක් කග ලෙලවා ඉස……වට
එනදා රාවණ රජ සේ……….යුදයට
එකදා නරනිඳු ආවයි………..පතසට
අල්ලන හළ රුපු බිඳ ඔද …….පලවා
කොල්ලන් මරමින් ඇඟ මස් …කපවා

කඳවුර වටා පැතිර යන්නේ බියත් අකමැත්තත්ය. මහජනතාව මේ ගැන මෙසේ පැමිණීලි කළහ.

තුට්ටන් නළලත වන් පඬි……මෝඩා
තුට්ටන් කරවා ගෙන ලොකු…..කූඩා
ඉට්ටත් සව්සත විඳි දුක් ……..පීඩා
තට්ටත් විය ඔළු ඇද පස් ……කූඩා

අනතුරුව රජු අණ කළේ දහ අට දේසයක රජවරුන්ට පැමිණ පතහ කපන වැඩ කරන ලෙසයි. සොළී රට රජු හැර අනික් සියලූ ම දෙනා එහි ආහ. ඔවුන් සාමාන්‍ය කම්කරුවන් ලෙස වැඩට යොදවන ලදි.

වට කළපන් වැට මෙන් දන …එක්වී
කට කළෙ සිඳෙමින් සිතු දුක්…නැලවී
සිට කොල මිරිකන ගොන් සේ .නැලවී
යට කළ පවිනුත් යනු බැරි…..ගැලවී

සොළී රට රජතුමා ඒම ප‍්‍රතික්‍ෂේප කළා පමණක් නොව පාඬි රජුගේ සංදේශය ගෙනා දූතයාගේ නාසය සහ කණ කපා දමා ඔහුට අසූචි ද කැව්වේය. එනමුත් මඩුවේදී සොළී රජු දක්වා ඇත්තේ ඉතා ධර්මිෂ්ට රජෙකු ලෙසය. ඔහු පාඬිරජු මෙන් දුෂ්ටයෙක් නොවේ. ලංකාවේ එළාර රජුට හිමිකර දුන් ආකාරයෙන්ම ගතානුගතික ධර්මාන්විත ක‍්‍රියාමාලාවන් හැම දකුණු ඉන්දියානු රජෙකුටම අයිතිකර දී ඇත. සොළී රජුට ද එසේමය. සොළී රජුගේ ක‍්‍රියාවන් නිසා පඬිරජු කෝපයට පත්විය. පාඬිරජු සොළී රජුට විරුද්ධව සටන් කරනු රිසි වූයේ, තම හමුදාව සමඟ සොළී රටට ගියේය. ඒ ගැන සැලකිලිමත් නොවූ සොළී රජු තම ජය සක පිම්ඹේය. ඔහුගේ මිත‍්‍ර සක‍්‍ර දෙවියෝ ඒ හඬ අසා මහ වැස්සක් වස්සවා ගංවතුර ගලන්නට සලස්වා පඬිරජුගේ හමුදාව විනාශ කර දැමූහ. පාඬිරජු පණ බේරාගෙන මදුරා පුරයට ගියේය. ඔහු සොලී රජුට සාප කළේය. මේ සාපයේ ප‍්‍රතිඵලයක් ලෙස සොළී පුරය නියඟයකින් ද අළු වී ගියේය. ඒ සමඟම දුර්භික්‍ෂ භය ද, මරණ භයද පැතිර ගියේය. ගම්මඩුවල අඹ විදමන නමින් රඟ දක්වන තවත් ජවනිකාවක ශක‍්‍රයා පොළවට පැමිණ පාඬිරජුගේ තුන්වැනි ඇස විනාශ කර දැමුවේය. සොළී දේසයෙහි නියඟය එතැනින් අවසාන විය.

කරිකාල පුරාණෝක්ති සම්භවය වූයේ කවර මිථ්‍යා කථා ශ‍්‍රැතියකින් ද ඒවා ම ඇසුරු කරගෙන සිංහලයන් පතහ රචනය කළ බව පැහැදිලිය. මේවා අතර ඇති සමානතා පුදුම සහගතය. නවචෝළ චරිතයෙහි මෙන් වැවක් බැඳීම, ඔටුනු ලා ගත් රජවරුන් සේවයෙහි යෙදවීම හා ඔවුන් දුක් වින්ද ආකාරය මෙන් ම ඇස් තුනක් ඇති පඬිරජු ද එවැනි සමානතාය. සමහර ඉතිහාසඥයන් මේවා ආශ‍්‍රය කරගෙන ඒවායේ ඓතිහාසිකත්වය තහවුරු කරන්ට තැත් දැරුව ද මේවා පුරාණෝක්ති බවට නීලකණ්ඩ ශාස්ත‍්‍රී දරන මතය සමග සිංහල දත්තයන් විශාල ලෙස එකඟතාවයක් දක්වයි. එසේ ම ඒකාන්තයෙන් ම මේ පුරාණෝක්ති සියල්ල ම ශාන්තිකර්ම නාටක ලෙස රඟපෑ බව ද පෙනේ. ඒවා උපන් දකුණු ඉන්දියාවේ ද තත්ත්වය එසේමය. මුඛරි හෙවත් ත‍්‍රිනේත‍්‍ර පල්ලවගේ තෙවැනි ඇස මකා දැමීම දැඩි සේ අඟවන්නේ එම ශාන්තිකර්ම අංගයයි. සිංහල ගම්මඩුවේ දී පාඬි රජුගේ තුන්වැනි ඇස මකා දැමීම සමඟ මෙය සම්බන්ධ වෙයි.

ගජබා කතාවේ හැටියට චෝළ රජු වේල්ල බඳියි. ඔහු සතුරා විනාශ කර දමයි. ඇස් තුනක් ඇති පාඬිරජු සිංහල පුරාණෝක්තිවල දැක්වෙන්නේ දුෂ්ට කමේ සංකේතයක් ලෙසය. පතහ නම් කෝල්මුරයේ දී මේ පුද්ගලයන් දෙදෙනා උනුනට වෙනස් වුවත් එකට එකතු වෙත්. ඇස් තුනක් ඇති දුෂ්ට පාඬි රජු පාඨ ග‍්‍රන්ථවල හැටියට ති‍්‍රිනේත‍්‍ර පල්ලව නම් දකුණු ඉන්දියානු රජු වැවක් බඳින්නට ගිය විට ඔහු සහ සොළී රජු අතර ගැටුමක් ඇති වෙයි. සොළී රජු දහ අට දේසයෙන් එකක රජෙකි. මේ හැම පුරාණෝක්තියක්ම එක මූලාශ‍්‍රයකින් ප‍්‍රභවය ලැබු ඒවාය. පතහ කෝලමුරයේ දී ඒවා උපකාරයට ගන්නේ වෙනත් සමාජීය කාර්යයක් සඳහාය. මා මේ ගැන වෙනත් තැනක කරුණ දක්වා ඇත.(41)

කතිකා අධ්‍යයන කවයේ අවසරකින් තොරව මෙතැනින් උපුටා පල කිරීම තහනම්.

Advertisements